Wednesday, May 22, 2019
අලුත් වෙසක්!
පාස්කු බෝම්බ පිපිරවීම් සිදු කර මාසයක් ගතව තිබෙන බව රසික විසින් මතක් කර ගොස් තිබුණා. ඔහු ඇත්තටම අදහස් කළේ බෝම්බ පිපිරී මාසයක් ගතව ඇති නිසා නැවත බ්ලොග් එකට පණ දිය යුතු බව වෙන්න පුළුවන්.
පසුගිය මාසයටම පළ කර තිබෙන්නේ එක් බ්ලොග් ලිපියක් පමණයි. එයත් ඔහේ ලියනවාට ලියපු එකක්. පසුගිය සති පහක පමණ කාලය තුළ බ්ලොග් එකට වැඩි අවධානයක් නොයෙදීම පාස්කු බෝම්බ ප්‍රහාර වලින් පසුව ලංකාවේ පැවති තත්ත්වය නිසාම සිදු වූවක් නෙමෙයි. නමුත්, එයත් එක් හේතුවක්. බ්ලොග් එක වෙනුවෙන් වැය වන කාලයේ ආවස්ථික පිරිවැය කෙතරම්ද කියා හොඳින් පැහැදිලි වෙන්නේ මේ විදිහට ටික කලක් එය අමතක කර ඒ කාලය වෙනත් වැඩකට යෙදූ විටයි.
බෝම්බ ප්‍රහාර වලින් මසකට පසුව නැවතත් ලංකාවේ ජනජීවිතය පෙර පැවති මට්ටම ආසන්නයට පැමිණ තිබෙනු දැකීම සතුටට කරුණක්. ආර්ථිකය මුළුමනින්ම පිළිසකර වෙන්නනම් තවත් කාලයක් යයි.
මේ සිද්ධියෙන් පසුව, ලංකාවේ සමාජයට බාහිර කම්පන වලට ඔරොත්තු දීමට තිබෙන හැකියාව නැවත වරක් තහවුරු වී තිබෙනවා. පසුගිය වාර වලදී වගේම මේ වාරයේදීත් ලොකු විනාශයක් නොවී වැලකුණේ සාමාන්‍ය ජනතාවගෙන් අති මහත් බහුතරය තනි තනිව හිතා නිවැරදි ලෙස ක්‍රියා කිරීම නිසා මිස දේශපාලන නායකත්වයේ උදවුවෙන් නෙමෙයි. දේශපාලන නායකත්වයට තමන්ගේ උවමනා එපාකම් අනුව මෙහෙයවිය හැකි පිරිස සුළුතරයක් කරමින් හිතන්න පුළුවන් මිනිස්සු පෙරමුණට පැමිණීම ඉතා හොඳ ප්‍රවණතාවයක්.
මේ අතරේ වෙසක් පසළොස්වක පෝය දවස ගෙවී ගියා. මෙවර වෙසක් සැමරුම වෙනත් ආගමිකයින්ගේද සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස පැවැත්වීම කැපී පෙනුණු හා කතාබහට ලක් වූ කරුණක්. ඉකොනොමැට්ටාගේ බොජුන්හල අරඹා සිවුවසරක් ගෙවී ගියේත් හරියටම වෙසක් පෝය දවසේයි. බ්ලොග් එක හා අදාළව, මේ සිවුවන අවුරුද්ද පෙර තෙවසරට සාපේක්ෂව නැගලා ගිය අවුරුද්දක් කියා කියන්න බැහැ. බ්ලොග් එක කියවන ප්‍රමාණය මුල් වසර තුනේදීම ක්‍රමයෙන් ඉහළ ගියත් සිවුවන වසරේදී දකින්න ලැබුණේ පසුබෑමක්. එය පටන් ගත්තේ තෙවන වසරේ මැද හරියේදීමයි. මම හිතන්නේ එය පොදුවේ සිංහල බ්ලොග් වල සිදු වූ පසුබෑමක්.
සිංහල බෞද්ධ රටක් නොවන ඇමරිකාවේ වෙසක් පෝය දවස නිවාඩු දිනයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙහිදී බෞද්ධ රටක් නොවන කියා නොලියා සිංහල බෞද්ධ රටක් නොවන කියා ලිවුවේ බෞද්ධ රටවල් සියල්ලේම වුවද වෙසක් දින සැමරුම එකම දිනක සිදු නොවන නිසයි. මහායාන රටවල් පැත්තකින් තිබ්බත් ථෙරවාද රටවල් අතර පවා පෝය නිර්ණය කිරීමේ වෙනස්කම් තිබෙනවා. මේ වෙනස්කම් ගැන මා මීට පෙර විස්තර කර තිබෙනවා.
ඇමරිකාවේ මා ජීවත්වන නගරයේ සිංහල බෞද්ධ පන්සලක් නැහැ. එහෙත්, පැය දෙකකින් හෝ අඩු කාලයකින් යා හැකි යාබද නගර දෙකක සිංහල බෞද්ධ පන්සල් දෙකක් තිබෙනවා. වඩා ආසන්න පන්සලට පැය එකහමාරකින් පමණ යා හැකියි. අප සාමාන්‍යයෙන් යන්නේ ඒ පන්සලටයි. ඒ බොහෝ විට සිංහල අවුරුදු, වෙසක් හෝ වස් අවසන් කිරීම වැනි විශේෂ වැඩසටහන් ඇති දවස් වලදීයි.
සිංහල බෞද්ධ රටක් නොවන ඇමරිකාවේ සිංහල අවුරුදු දවස හෝ පෝය දවස් නිවාඩු දින නොවන නිසා මේ උත්සව සාමාන්‍යයෙන් පවත්වන්නේ ආසන්න සති අන්තයකදීයි. එහිදී ළඟපාත තිබෙන පන්සල් දෙකක එකම උත්සවය එකම දින නොපැවැත්වීම පිළිබඳවත් සැළකිලිමත් වන නිසා වෙසක් හෝ අවුරුදු උත්සවයක් නියම දවසේ සිට සති දෙකකට පමණ පසුව පැවැත්වෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.
අපේ පන්සලේ මෙවර වෙසක් උත්සවය පැවැත්වෙන්නේ වෙසක් පෝය පසු වී සතියකට පසුව, එළැඹෙන සති අන්තයේදීයි. පන්සල සිංහල බෞද්ධ පන්සලක් වුවත්, පන්සලේ කටයුතු වලට සහභාගී වන්නේ සිංහල බෞද්ධයින් පමණක් නෙමෙයි. සිංහල කතෝලිකයින්, ලාංකික මුස්ලිමුන්, සිංහල නොවන බෞද්ධයින් වගේම සිංහල හෝ බෞද්ධ නොවන ඇමරිකානුවන් ඇතුළු විවිධ කණ්ඩායම් පන්සලේ කටයුතු වලට එකතු වෙනවා.
විශේෂයෙන්ම සිංහල අවුරුදු හෝ වෙසක් උත්සව පැවැත්වෙන දවස් වලදී සැලකිය යුතු පිරිසක් පන්සලට එකතු වෙනවා. මෙහිදී සැලකිය යුතු පිරිසක් කියා කියන්නේ ලංකාවේ පන්සලකට පෝය දවසකදී පැමිණෙන පිරිසට සාපේක්ෂව නෙමෙයි. එහෙම බැලුවොත්නම් ඉතා සුළු පිරිසක්.
මේ විදිහට වෙසක් වැනි දවසකට පන්සලට එකතු වන පිරිසගේ දිවා ආහාරයද ඇතුළුව දිවා දානය පිළියෙල වන්නේ පැමිණෙන අයගේම සම්මාදමෙන්. හැමෝම වගේ මුළු පිරිසට ප්‍රමාණවත් තරමට කිසියම් ආහාරයක් රැගෙන එනවා. අන්තිමේදී ආහාර වර්ග විශාල ප්‍රමාණයක් එකතු වෙනවා.
මෙය කිසියම් සැලසුමකට සිදු නොවුනොත් වෙන්නේ හැමෝම එකම ආහාරය පිළියෙළ කරගෙන එන එකයි. ඒ නිසා, හාමුදුරුවෝ කලින්ම ආහාර වට්ටෝරුවක් පිළියෙල කර විද්‍යුත් තැපෑල හරහා සංසරණය කරනවා. එවිට එක් එක් පවුලට තමන් රැගෙන එන දේ කලින්ම අනෙක් අයට දැනුම් දිය හැකියි. ඒ නිසා, එකම ආහාරය ඕනෑවට වඩා පිළියෙළ වී නාස්ති වීමක් වෙන්නේ නැහැ. ආහාර රැගෙන එන අය අතර සිංහල බෞද්ධයන්ට අමතරව පෙර කී සිංහල කතෝලිකයින්, ලාංකික මුස්ලිමුන්, සිංහල නොවන බෞද්ධයින් වගේම සිංහල හෝ බෞද්ධ නොවන ඇමරිකානුවන් ඇතුළු විවිධ කණ්ඩායම් සිටිනවා.
වෙසක් උත්සවයට එහි ආගමික මුහුණුවර ඉක්මවා සංස්කෘතික පැහැයක් ලැබීම ලංකාවට තරමක් අළුත් දෙයක්. එහෙත්, ලාංකික සංක්‍රමණිකයින් විශාල පිරිසක් ජීවත් නොවන, ලංකාවෙන් පිටත පිහිටි අපේ නගරය වැනි තැන් වලටනම් එය අළුත් දෙයක් නෙමෙයි. හැබැයි එහෙම වුනා කියලා මේ වගේ වෙලාවක පන්සල් එන අන්‍යාගමිකයින් සාමාන්‍යයෙන් බුදුන් වඳින්නේ නැහැ. ඒ වගේම, හිස්වැසුම් පාවහන් නොගලවා විහාර ගෙයට ඇතුළු වන්නේත් නැහැ.
Labels:
ආගම් හා දර්ශන,
ඇමරිකාව,
බුදු දහම,
සිංහල සංස්කෘතිය
Subscribe to:
Post Comments (Atom)
මෙවැනි ආගමික අන්තවාදී ලිපි ලියන්නේ ඇයි? ඔබතුමා සිංහල බෞද්ධයෙක් කියලා අනික් අයට බලපෑම් වෙන ලිපි ලියන්න එපා.
ReplyDeleteසහජීවනය අර්ථවත් කරන්න නම් පාස්කු ඉරිදා බෝම්බ වලින් තුවාල උන මිනිස්සු බලන්න යන්න.හිජාබය පැළඳගෙන වෙසක් පෙරහැරට එකතු වෙන එක හොඳ පොටෝ වලට පමණයි.
ReplyDeleteඥානසාරට ඇප
ReplyDeleteනාලක සිල්වාට සැප
ඇතිතුරා මේ කප
දිළින්දෝ නොලබති මෙවන් සැප
The difference/problem here is not everyone in included in Buddhist temple.
ReplyDeleteProblem is Muslims trying to create walls around them (in a Buddhist majority country) and planning and executing killing of others projects, and politicos providing cover for Muslims for money.
Above photo is just symbolic, we all know Muslims are at heart is not like the above photo.
We can get married to Sinhala, Tamil, Buddhists , Catholics and still be any of the above. And when we play cricket, they support B'desh or Pakistan, but we eat and shop from Muslims.
Blaming Sinhala Buddhist (mainly on Monks) for all of that is the popular fashion now.
ලංකාවෙ අවුරුද්දකට සිද්ධ වෙන දරු උපත් සංඛ්‍යාව දළ වශයෙන් 350,000 ක්.අවුරුද්දකට වැඩිම දරු උපත් සිද්ධ වෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ 60,000 ක් පමණ.ඊළඟට වැඩිම දිස්ත්‍රික්ක වන මහනුවර දිස්ත්‍රික්කයේත් උපත් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් බාගයකටත් වඩා අඩුයි.ලංකාවෙ හැම රෝහලකම දරු උපත් සිදු වෙනව.
ReplyDeleteපොඩි පොඩි රෝහල් වල සිදු වෙන දරු උපත් සංඛ්‍යාව නොසලකාම හැරියොත් (නොසලකා හරින්න බැරි තරමක් ඒවගෙත් වෙනව. ඒත් ඒ නෝමල් ඩිලිවරීස්. සිසේරියන් කරන්නෙ නෑ ඒවගෙ) සිසේරියන් සැත්කම් කරන්න පහසුකම් තියන රෝහල් 140 ක් ලංකාවෙ තියනව.2015 Annual Health Bulletin එකට අනුව සිසේරියන් සැත්කම් වලින් දරුවන් 104,000 ක් පමණ බිහි වෙන්නෙ.
කොළඹ තියන කාන්තා රෝහල් වල ඉතා ඉහල සංඛ්‍යා වලින් සිද්ධ වෙන දරු උපත් නොසලකා, පෞද්ගලික රෝහල් වල වෙන ගණං නොසලකා, සිසේරියන් සැත්කම් කරන්න පහසුකම් තියන රෝහලක අවුරුද්දකට සිද්ධ වෙන, මධ්‍යන්‍ය සිසේරියන් සැත්කම් ප්‍රමාණය ගණං හැදුවොත්, 745 යි.
ඔය වගේ රෝහලක ඉන්න වෛද්‍යවරු සංඛ්‍යාව ගැන සලකද්දි, එක වෛද්‍යවරයෙකුට, අවුරුද්දකට සිසේරියන් සැත්කම් 185 කට වඩා කරන්න වෙන්නෙ නෑනෙ ගණිතානුකූලව.එහෙම බැලුවම එක වෛද්‍යවරයෙකුට සිසේරියන් සැත්කම් 6000 ක් කරන්න යන කාලය අවුරුදු 32 ක්.ඔය අවුරුදු 32 ට වඩා යනව, මං කියපු විදිහට අනුපාතයට බෙදුවොත්.අපු කියමු සීසර් කරපු 4000ටම LRT ත් කළා කියල.ඒත් යනව අවුරුදු 22 ක්.
අද දවසේ ගණිත ගැටළුව
අර වඳ සැත්කම් කළා කියල කියන දොස්තරගෙ වයස කීයක් විය හැකිද?
ඉකොනෝ, මෙහේ - අපේ සුපිරිසිදු සිංහල බෞද්ධ සංස්කෘතිය කවම කවරදාකවත් වෙනස් නොවුණු; වෙනස් නොවෙන සදාකල් පවතින එකක්. හැබැයි බෞද්ධ දර්ශනයේ කියන්නෙම අනිත්‍යතාව; අස්ථිර බව ගැන. අනේ මන්දා......
ReplyDelete