වෙබ් ලිපිනය:

Saturday, February 11, 2023

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන වරින් වර අහන්නට ලැබෙනවා. තොරතුරු සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ කර නැතත්, ශ්‍රී ලංකා බලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කරගත් බව අපි දන්නවා. මේ එකඟතාවය කුමක්ද?

මේ හා අදාළව යම් තොරතුරු ප්‍රමාණයක් මුදල් අමාත්‍යංශය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ ඇසුරෙන් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ "කොන්දේසි" පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. මේ කොන්දේසි මොනවාද?

කොන්දේසි කියා කිවුවත්, මෙයින් ඇතැම් ඒවා ඉලක්ක හා ඇස්තමේන්තු ලෙස හැඳින්වීම වඩා නිවැරදියි. 2027 වසර දක්වා වන කාලය සඳහා මෙවැනි ඉලක්ක, ඇස්තමේන්තු හා කොන්දේසි හතරක් ප්‍රකාශිතව තිබෙනවා. ඒවානම්,

- උද්ධමන ඉලක්ක, 

- ආර්ථික වර්ධන ඉලක්ක,

- ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක, හා 

- ජංගම ගිණුම් ශේෂ ඉලක්කයි.


උද්ධමන ඉලක්ක 

2022 - 48.2%

2023 - 29.5%

2024 - 6.0%

2025 - 5.9*

2026 - 5.2%

2027 - 5.0%


ආර්ථික වර්ධන ඉලක්ක 

2022 - (-8.7)%

2023 - (-3.0)%

2024 - 1.5%

2025 - 2.6%

2026 - 3.0%

2027 - 3.1%


ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක

2022 - (-4.0)%

2023 - (-0.7)%

2024 - 0.8%

2025 - 2.3%

2026 - 2.3%

2027 - 2.3%


ජංගම ගිණුම් ශේෂ ඉලක්ක

2022 - (-3.4%

2023 - (-2.0)%

2024 - (-1.2)%

2025 - (-1.2)%

2026 - (-1.2)%

2027 - (-1.2)%

මෙම ඉලක්ක 2027 දක්වා කාලය සඳහා ඉදිරිපත් කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික ලැබීමට නියමිතව ඇත්තේ වසර හතරක කාලයක් තුළ නිසායි. මෙම 2023 වසරේ මුල් භාගය තුළ අරමුදලේ පළමු වාරිකය ලැබුණොත්, 2026දී අවසන් වාරිකය ලැබෙනවා. එහෙත්, ඒ සඳහා මෙම වසර හතර තුළම ඉහත සඳහන් ඉලක්ක තුළ රැඳී සිටිය යුතුයි. එසේ රැඳී සිටියහොත් 2027 වන විට ප්‍රකාශිත ඉලක්ක වෙත ගොස්, ආර්ථිකය නැවතත් 2019 මට්ටමට ඔසොවා, එතෙක් නොගෙවා පැහැර හැර ඇති ණය ගෙවන්නට පටන් ගත හැකියි. 

ඉහත ඉලක්ක අතරින් ප්‍රමුඛ ඉලක්කය වන්නේ උද්ධමන ඉලක්කයයි. 2022 අවසන් වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 46.4%ක්. මෙය ඉලක්කගත මට්ටම වූ 48.2%ට වඩා තරමක් හොඳ මට්ටමක්. එහෙත්, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ එම අගය 50.4% මට්ටමේ පැවතුණා. එය ඉලක්කයට වඩා ඉහළ මට්ටමක්. 

මෙම 2023 වසර අවසන් වෙද්දී වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 29.5% දක්වා අඩු වීමටනම් වසර අවසන් වෙද්දී උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටිය යුතුයි. ඉහත ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක හා ජංගම ගිණුම් ශේෂ ඉලක්ක ලඟා කර ගත හැකිනම්, ආර්ථික වර්ධනය පසුපස පන්නන්නේ නැත්නම්, මුදල් ප්‍රතිපත්ති කලට පෙර ලිහිල් නොවේනම්, වසරේ මුල් භාගය තුළ අරමුදලේ සහාය ලැබේනම්, වසර අවසන් වන විට අපේක්ෂිත උද්ධමන ඉලක්කය කරා යා හැකියි. එසේ යා හැකිනම්, ඉදිරි වසර හතර තුළද අදාළ ඉලක්ක තුළ රැඳී සිටිය හැකියි. 

ආර්ථික වර්ධන ඉලක්ක අනුව, මුල් වසර දෙක තුළ ප්‍රමුඛ අවධානය යොමු කෙරෙන්නේ උද්ධමනය පාලනය කිරීම වෙතයි. එහිදී ආර්ථිකය සංකෝචනය වීම වැළැක්වීමේ හැකියාවක් නැහැ. පවතින අර්බුදය තුළ ආර්ථිකය කොහොමටත් හැකිළෙන නමුත් එසේ සිදු වන වෙනත් අවස්ථාවකදී මෙන් ලිහිල් මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් (සල්ලි අච්චු ගසා) එය වැළැක්වීමේ හැකියාවක් මේ වන විට නැති නිසා, ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන්නට සිදු වන්නේ උද්ධමනය පාලනය වීමෙන් පසුවයි. ඉන් පසුව වුවද ඉලක්ක කර තිබෙන්නේ ශ්‍රී ලංකාවට ප්‍රායෝගිකව ළඟා කරගත හැකි 3%ක පමණ වූ ආර්ථික වර්ධන ඉලක්කයක්. මෙම ඉලක්කයට වුවද යා හැක්කේ ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක හා ජංගම ගිණුම් ශේෂ ඉලක්ක මෙන්ම උද්ධමන ඉලක්කද සපුරා ගත හැකිනම් පමණයි. 

අසන්නට ලැබී ඇති නිල නොවන තොරතුරු අනුව, 2022දී ආර්ථිකය හැකිළී තිබෙන්නේ ඉහත ඇස්තමේන්තු වල ඇති 8.7%ට වඩා අඩුවෙන්. එහෙත්, එම අඩුව මේ වසරට එකතු වී මේ වසර තුළ ආර්ථිකය 3.0%ට වඩා තරමක් වැඩියෙන් හැකිළීමට නියමිතයි.

ඉහත ඉලක්ක ඒ අයුරින්ම සපුරා ගතහොත්, 2027 වසර වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතය 2017දී පැවති මට්ටම ආසන්නයට එනවා. එම මට්ටම ඉක්මවන්නේ 2028 වසරේදී. ඒක පුද්ගල ආදායම 2017 මට්ටමට එන්නට තවත් වසර තුන හතරක්වත් යා හැකියි. ඒ කියන්නේ දළ වශයෙන් 2030 පමණ වෙනවා. කෙසේ වුවත්, ඉහත ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්ක හා ජංගම ගිණුම් ශේෂ ඉලක්ක ලඟා කර ගත නොහැකි වුවහොත් ආර්ථිකය 2017 පැවති මට්ටමට පැමිණෙන්නට මීටත් වඩා කාලයක් යා හැකියි. මෙම ප්‍රකාශය කරන්නේ පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ පහත සඳහන් යාවත්කාලීන දත්තද සැලකිල්ලට ගනිමිනුයි.

2018 - 2.3%

2019 - (-0.2%)

2020 - (-3.5%)

2021 - 3.3%

2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය - (-7.1%)

අරමුදලේ කොන්දේසි ගැන කතා කරනවානම්, ප්‍රධානම කොන්දේසිය වන්නේ ඉහත සඳහන් පරිදි ප්‍රාථමික අයවැය ශේෂය 2025 වසර වන විට දදේනියෙන් 2.3%ක අතිරික්තයක් බවට පත් කොට එම මට්ටමේ හෝ ඊට ඉහළින් දිගටම පවත්වා ගත යුතු බවයි. අරමුදල වෙත නොගියත්, රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා අනිවාර්යයෙන්ම මෙවැන්නක් කළ යුතුයි. බදු වැඩි කිරීම් හා වියදම් කැපීම් අවශ්‍ය වන්නේ මෙම ඉලක්කයට යාමටයි. 

විපක්ෂ දේශපාලන පක්ෂ විසින් වත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය විවේචනය කරමින් විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. මෙවැනි විකල්ප බදු ප්‍රතිපත්තියක් අරමුදල විසින් සාධනීය ලෙස භාර ගැනීමේ ඉඩක් තිබෙනවා. එහෙත් එසේ වනු ඇත්තේ අදාළ විකල්පය ශක්‍ය විකල්පයක් වන්නේනම් පමණයි. 

රජයේ ආදායම් වැඩි කරගත යුත්තේ කෙසේද යන්නත්, වියදම් කැපිය යුත්තේ කෙසේද යන්නත් අරමුදල විසින් දමා ඇති කොන්දේසි නෙමෙයි. එහෙත්, මොන විදිහකින් හෝ ආදායම් වැඩි කරගෙන, වියදම් සීමා කර, ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය කරා යාම අරමුදලේ කොන්දේසියක්. දැනට සිදු කර ඇති බදු වැඩි කිරීම් හා වියදම් සීමා කිරීම් වලින් පසුවද, පසුගිය වසරේ ප්‍රාථමික අයවැය ශේෂය 0.7%ක හිඟයක්. එය මෙම වසරේදී 0.8%ක අතිරික්තයක් බවට පත් විය යුතු අතර 2023 වන විට 2.3%ක අතිරික්තයක් විය යුතුයි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

මෙම (2023) වසර තුළදී මෙන්ම ඉදිරි (2024) වසර තුළදීද දදේනියෙන් 1.5%කට සමාන වියදම් කැපීමක් හෝ ආදායම් ඉහළ යාමක් සිදු විය යුතුයි. මෙය කරන ආකාරය දේශපාලන අධිකාරියට තීරණය කළ හැකියි. එහෙත්, කෙසේ හෝ ඉලක්කයට යා යුතුයි.

දැනටමත් විශාල ලෙස ඉහළ දමා ඇති බදු අනුපාතික තව දුරටත් ඉහළ දැමීමේ හැකියාවක් ප්‍රායෝගිකව නැහැ. එමෙන්ම ආර්ථිකය තව දුරටත් හැකිලෙද්දී එහි ප්‍රතිඵලයක් ලෙසද බදු ආදායම් වල අඩු වීමක් සිදු වෙනවා. රජයේ වියදම් බොහෝ දුරට රාජ්‍ය සේවකයින් ගණනට සමානුපාතිකයි. රාජ්‍ය සේවකයින් ප්‍රමාණය ඉහළ යද්දී ඔවුන්ගේ වැටුප් වලට අමතරව, ගමන් වියදම්, නිල ඇඳුම් දීමනා, ලිපි ද්‍රව්‍ය හා අනෙකුත් කාර්යාල උපකරණ, කාර්යාල පහසුකම්, විදුලි හා ජල බිල්පත්, දුරකථන බිල්පත් ආදී අනෙකුත් වර්තන වියදම්ද සමානුපාතික ලෙස ඉහළ යනවා. 

රාජ්‍ය සේවකයින් ප්‍රමාණය අඩු වෙද්දී ඉහත අනෙකුත් වියදම්ද අඩු වෙනවා. එහෙත් රාජ්‍ය සේවකයින් ප්‍රමාණය ක්‍රමිකව මිස එකවර අඩු කිරීම ප්‍රායෝගිකව නොකළ හැක්කක් නිසා රජයේ වියදම් තවදුරටත් අඩු කිරීමද අසීරු කාර්යයක්. ඉහත සඳහන් ක්‍රම දෙකට අමතරව, වසරකට දදේනියෙන් 1.5%කින් ප්‍රාථමික අයවැය ශේෂය අඩු කර ගැනීම සඳහා තිබෙන එකම ක්‍රමය රාජ්‍ය වත්කම් විකිණීමයි. 

ඉදිරි වසර දෙක තුළ මේ ආණ්ඩුව විසින් වසරකට දදේනියෙන් 1.5% බැගින් ප්‍රාථමික අයවැය ශේෂය අඩු කර කර ගන්න යන්නේ කෙසේද කියා මම දන්නේ නැහැ. එය කරන්න යන්නේ කෙසේ වුවත්, අදාළ සැලසුම අරමුදල වෙත ඉදිරිපත් කර අරමුදලේ අනුමැතිය ලබා ඇති බව පැහැදිලියි. මේ තත්ත්වය තුළ දැනට ඉහළ දමා ඇති බදු අඩු කිරීම ප්‍රායෝගිකව කිරීම ඉතාම අසීරුයි. එවැන්නක් යෝජනා කරන අයෙකුට අනිවාර්යයෙන්ම අදාළ තීරණය නිසා පුළුල් වන ප්‍රාථමික අයවැය ශේෂය නැවත ඉලක්ක මට්ටම දක්වා අඩු කර ගන්නා ආකාරයද අරමුදලට පැහැදිලි කරන්නට සිදු වෙනවා. එසේ නොකර අරමුදලේ වැඩසටහන සමඟ රැඳී සිටීමේ හැකියාවක් නැහැ. මෙවැනි විකල්ප තිබිය නොහැකි බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. 

කෙසේ වුවද, ප්‍රාථමික අයවැය ශේෂය දදේනියෙන් 2.3%ක අතිරික්තයක් වුවද, එම අතිරික්තය ණය වාරික හා පොලී ගෙවීම සඳහා ප්‍රමාණවත් නැහැ. ප්‍රාථමික අයවැය හිඟය 4%ක්ව පැවති 2022දී වාර්ෂික ණය අවශ්‍යතාවය දදේනියෙන් 37.9%ක් වුනා. එයින් අදහස් වන්නේ, පරණ ණය හා පොලී ගෙවීම සඳහා පමණක් දදේනියෙන් 33.9%කට සමාන අරමුදල් ප්‍රමාණයක් අවශ්‍ය වූ බවයි. වෙනත් අයුරකින් කිවහොත්, ණය හා පොලී ගෙවන්නට අලුතෙන් ණය නොගෙන ඉන්නටනම් 33.9%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් අවශ්‍ය වූ බවයි. 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් මේ වැඩේට හැරෙන්නවත් මදි!

පසුගිය ජූනි මාසය අවසන් වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය දදේනියෙන් 145.0%ක්. මධ්‍යම රජයේ ණය ප්‍රමාණය පමණක් දදේනියෙන් 127.2%ක්. ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල (12.0%) සහ මහ බැංකුවේ (5.8%) ණය. ස්ථායිකරණ වැඩ පිළිවෙළ හදද්දී උපකල්පනය කර තිබෙන පරිදි පොලී අනුපාතික 10% ලෙස සැලකුවොත්, මධ්‍යම රජයේ ණය වෙනුවෙන් පොලිය ගෙවන්න පමණක් දදේනියෙන් 12.7%ක් අවශ්‍ය වෙනවා. ණය වල සාමාන්‍ය පරිණත කාලය වසර 5ක් සේ සැලකුවොත්, ඒ කියන්නේ තියෙන ණය වලින් ආසන්න වශයෙන් 20%ක් වසරක් තුළ ගෙවිය යුතු සේ සැලකුවොත්, එම ප්‍රමාණය දදේනියෙන් 25.4%ක්. ඔය කොටස් දෙක එකතු කළාම දදේනියෙන් 37.1%ක් වෙනවා. 2.3%ක ප්‍රාථමික අතිරික්තය මේ වැඩේට යොදා ගත්තට පස්සේ පරණ ණය හා පොලී ගෙවන්න දදේනියෙන් 34.8%ක් අලුතෙන් ණය ගන්න වෙනවා. පොලී අනුපාතික 10%ට තියා ගන්න බැරි වුනොත්, ණය ප්‍රමාණය තවත් ඉහළ ගියොත්, ඔය අවශ්‍යතාවය තවත් ඉහළ යනවා.

අරමුදලේ ඇස්තමේන්තුව අනුව ශ්‍රී ලංකා රජයට වසරකට ඔය මට්ටමේ ණය ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, ගත් ණය ආපසු ගෙවීමේ හැකියාවකුත් නැහැ. ණය තිරසාරත්වය නැති වෙලා කියා කියන්නේ ඔය හේතුව නිසා. 

ණය තිරසාරත්වය නැති වෙලා නිසා අරමුදලේ අනෙක් ඉලක්ක ඒ විදිහටම ළඟා කර ගත්තත්, ආර්ථිකය ස්ථාවර කර ගන්න බැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ ඔය හේතුව නිසා. ඉහත සඳහන් දදේනියෙන් 127.2%ක් වන මධ්‍යම රජයේ ණය වලින් 58.8%ක් දේශීය ණය. තව 17.4%ක් බහුපාර්ශ්වීය ණය. ඉතිරි 51.0% දැනට ගෙවීම පැහැර හැර තිබෙන ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය. ඒ කොටස පැත්තකින් තිබ්බොත්, ඒ කියන්නේ ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය හා පොලිය ගෙවන එක අමතක කළොත්, දදේනියෙන් 127.2%ක් වන මධ්‍යම රජයේ ණය ප්‍රමාණය දදේනියෙන් 76.2% දක්වා අඩු වෙනවා. වසරක් තුළ මේ ණය වලින් 20%ක් ආපසු ගෙවිය යුතු ලෙසත්, පොලිය 10% ලෙසත් සැලකුවොත් දදේනියෙන් 22.9%ක්. 2.3%ක ප්‍රාථමික අතිරික්තය ඔය වෙනුවෙන් වෙන් කළාට පස්සේ තවත් 20.6%ක අඩුවක් ඉතිරි වෙනවා. 

ඒ කියන්නේ ඔය උපකල්පන යටතේ වුවත්, දදේනියෙන් 20.6%ක දළ අරමුදල් අවශ්‍යතාවයක් තව දුරටත් ඉතිරි වෙනවා. ශ්‍රී ලංකා රජයට අඩු වශයෙන් ඔය ප්‍රමාණයට ණය ගන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ දළ අරමුදල් අවශ්‍යතාවය ආසන්න වශයෙන් දදේනියෙන් 20% මට්ටමට ආවොත් ණය තිරසාරත්වය ඇති වූ සේ සැලකිය හැකිද?

මේ කාරණයේදී වැදගත් වෙන්නේ අරමුදලේ මතය. පසුගිය කාලයේ අරමුදල සමඟ වැඩ සටහන් වලට ගිය වෙනත් රටවලට එම රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් දීමේදී අරමුදල විසින් දළ අරමුදල් අවශ්‍යතාවය අඩු කරගත යුතු මට්ටම පිළිබඳ විවිධ ඉලක්ක ලබා දී තිබෙනවා. එම ඉලක්ක ලබා දී තිබෙන්නේ අදාළ රටවල පැවති තත්ත්වයන් මත පදනම්ව.

ආජන්ටිනාව - 5%

ඉක්වදෝරය - 6%

යුක්‍රේනය - 10%

බාබඩෝස් - 15%

ලංකාවට ලබා දී තිබෙන දළ අරමුදල් අවශ්‍යතා ඉලක්කය හා අදාළව මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය විසින් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැහැ. මෑතකදී ස්වෛරිත්ව බැඳුම්කර හිමියන් කණ්ඩායමක් විසින් අරමුදල ලෙස යවා ඇති ලිපියෙහි උපකල්පනය කර තිබෙන්නේ ඉහත අනුපාතය 13% ලෙසයි. 

අරමුදලේ අනෙකුත් ප්‍රධාන කොන්දේසිය වන්නේ ජංගම ගිණුමේ හිඟය දදේනියෙන් 1.2% මට්ටම දක්වා අඩු කරගෙන ඒ මට්ටමේ පවත්වාගත යුතු බවයි. මෙයින් දළ වශයෙන් අදහස් කරන්නේ උපයන විදේශ විණිමය පමණක් වියදම් කළ යුතු බවයි. වැඩ සටහන යටතේ වුවත්, විදේශ ණය හා පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්නට සිදු වෙනවා.

දදේනියෙන් 1.2%ක හිඟයක් යන්නෙන් ආසන්න වශයෙන් අදහස් වන්නේ දැනට ලංකාවේ ආයෝජනය කර ඇති විදේශ ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජකයින් විසින් ලබා ගන්නා ප්‍රතිලාභ වලට ආසන්න මුදලක්. එම ප්‍රතිලාභ බොහෝ විට නැවත රට තුළම ආයෝජනය වන නිසා ජංගම ගිණුමේ මෙම හිඟය ප්‍රාග්ධන ගිණුමේ එවැනිම අතිරික්තයකින් තුලනය වෙනවා. ඒ නිසා, මේ හිඟයෙන් විණිමය වෙළඳපොල තුලනය කෙරෙහි බලපෑමක් වෙන්නේ නැහැ. 

මේ වන විට ලංකාවේ විදේශ අංශය හා අදාළ ආර්ථික ප්‍රතිපත්තිය වී තිබෙන්නේ රටට ලැබෙන විදේශ විණිමය පමණක් වියදම් කිරීමයි. අරමුදලේ සහාය ලැබුණද එම තත්ත්වයේ වෙනසක් සිදු වීමේ ඉඩක් නැහැ. ණයට ගෙන පරිභෝජනය කළ යුගය අවසන් වුනේ සදහටම මිස තාවකාලිකව නෙමෙයි. එවැනි යුගයකට නැවත යාම සිදුවිය නොහැක්කක් නොවුනත්, එය දුරස්ථ ඉලක්කයක්. 

අරමුදලේ වැඩසටහන තුළ කෙටිකාලීනව සිදු වනු ඇත්තේ අලුතෙන් ලැබෙන අරමුදලේ ණය ඇතුළු බහුපාර්ශ්වීය ණය වලින් දැනට ගෙවිය යුතු බහුපාර්ශ්වීය ණය හා පොලිය දිගටම ගෙවාගෙන යන එක පමණයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී එකඟ වෙන ණය පමා කාලය අවසන් වී, නැවත වාණිජ හා ද්විපාර්ශ්වීය ණය ගෙවන්නට සිදු වූ විට එය කරන්නට සිදු වන්නේ අලුතෙන් වාණිජ හෝ ද්විපාර්ශ්වීය ණය ලබා ගැනීම මගිනුයි. 

ආනයන ඇතුළු රටේ විදේශ විණිමය අවශ්‍යතා සඳහා යොදා ගැනෙනු ඇත්තේ රටට ලැබෙන විදේශ විණිමය නිසාත්, ජංගම ගිණුමේ ශේෂය පියවීමට පුනර්-ආයෝජන ලැබීම් හැර වෙනත් ලැබීම් යොදා නොගැනෙනු ඇති නිසාත්, වැඩසටහන තුළ විණිමය අනුපාතය බොහෝ දුරට ස්ථාවර මට්ටමක පැවතෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. උද්ධමන ඉලක්කය 5% වීමත්, ඇමරිකාවේ උද්ධමන ඉලක්කය 2% වීමත් සැලකූ විට ඩොලරයක මිල දිගුකාලීනව 3%කින් ඉහළ යන්නට සැලැස්වීම ප්‍රශස්ත තත්ත්වය වුවත්, මහ බැංකුව සිතන පරිදි මේ වන විට රුපියල ඕනෑවට වඩා අවප්‍රමාණය වී ඇති නිසා එසේ සුළු වශයෙන් රුපියල අවප්‍රමාණය වීමේ අවශ්‍යතාවය නොසලකා හරින්නට ඉඩ තිබෙනවා. 3%ක අවප්‍රමාණය වීමක් සිදු වුවත්, එය වසරකට රුපියල් 10ක පමණ වූ සාපේක්ෂව සුළු වැඩිවීමක් පමණයි. ඒ නිසා, වැඩ සටහන තුළ යම් මොහොතක ආනයන සීමා ඇතුළු සීමාවන් ඉවත් කරනු ලැබුවද ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමේ ඉඩක් නැහැ. 

අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සඳහා දැනට තිබෙන බාධාව චීනයේ සහයෝගය නොලැබීමයි. චීන සහයෝගය ලැබෙන තුරු මේ කටයුත්ත සිදු වන්නේ නැහැ. අධ්‍යක්ෂ්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු ඉලක්ක දළ අරමුදල් අවශ්‍යතාවය ගැන හරියටම දැනගන්නට ලැබෙයි. එම ඉලක්කය 20% වැනි මට්ටමක තිබුණොත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. එහෙත්, එම ඉලක්කය 13% වැනි මට්ටමක් වුවහොත් දේශීය ණය වල පොලී කපා හැරීමක් හෝ ආපසු ගෙවීමේ කාලය දිගු කිරීමක් සිදු විය හැකියි. 

17 comments:

  1. රජය දේශීය ණය restructure කළොත් මිනිස්සු බැංකු වල දාල තියෙන FD වලට මොන වගේ බලපෑමක් වෙන්න පුළුවන්ද කියල කරුණාකර පැහැදිලි කරන්න

    ReplyDelete
    Replies
    1. වැදගත් මටත් මෙකරුණ නම් දැනගැනුම
      වැඩිහිටි අපට 'අබ සරණ'ද උරුමකම?

      Delete
    2. ඉකොන්ගේ පසුගිය ලිපි සේරම මේ ගැන තමයි ලියලා තියෙන්නේ ...

      Delete
    3. කල් පිරෙන දවසට අදාළ මුදල ලැබෙයි. එම මුදල් නැවත FD දමනවානම් අඩු පොලියකට දමන්න වෙයි.

      Delete
    4. //ඉකොන්ගේ පසුගිය ලිපි සේරම මේ ගැන තමයි ලියලා තියෙන්නේ ...// ඒක කියවල තේරුනේ නැති නිසා තමයි බූරුවෝ අයෙත් අහන්නේ, පුප දෙන්නේ නැතිව ඉන්නවද

      Delete
  2. ඉකොනෝමැට්ටා,

    මේක නං අතුරු ප්‍රශ්නයක්. ශානුක ඔබට පැවසුවේ නැද්ද පළාත්පාලන මැතිවරණය ගැන විස්තර මොකුත් ?

    ReplyDelete
  3. ජමුලේ කොන්දේසි වලට අනුර කුමාරලැයි පුංචි අම්මා අකැමති කියනවා හිකොනෝ මහත්තයා

    ReplyDelete
  4. මම නම් දේශපාලන පක්ශ වලින් අහන්නේ ඔය iMF කොන්දේසී සපුර ගන්න ඒගොල්ලොන්ගේ තියෙන වැඩ පිලිවෙල. ඉල්ක්කක්ම් හා කාල වකවානු එක්ක.

    ඕවාට උත්තර බැලුවොත්, මොකා ආවත් කරන්න තියෙන්නේ එකම දේවල් ටිකක් විතරයි කියලා හැමෝටම තේරේයි.

    මම දන්න විදිහට සජබෙත් රනිල්ගේ ආර්තික ප්‍රතිපත්තියම තමයි කරන්නේ බලය ලැබුනොත්. සජපේ විතරක් නෙවෙයි මාලිමාවටත් වෙන විකල්පයක් නෑ. IMF යනවා හැරෙන්න කාටවත් වෙන විකල්පයක් නෑ. එතකොට නිකං ගැලරි ටෝක්ස් නොදී, කතා කරන්න ඔනේ IMF එක පෙන්වන ආර්තික ඉලක්ක ලඟා කර ගන්න හැටි මිසක් තමන්ගේ පෞරුශය ගැන මහන්තත්ත කතා නෙවෙයි.

    ලංකාවේ බලය ලබා ගන්න හදන ඕනෑම දේශපාලන ව්‍යාපාරයකින් අපි අහන්න ඔනේ ප්‍රශ්නේ තමයි

    1, IMF යනවද නැද්ද?
    2. යන්නැත්තං ඩොලර් ණය ගන්නේ කොහෝමද? ( මේවා ඉලක්කම් , නිශ්ඡිත වකවානු එක්ක කතා කරන්න ඔනේ. නැත්තං ජෙවිපි එවුන් කියන බොලද කථා, අර පිටරට වැඩ කරන ලංකාවේ එවුන්ගෙන් එකතු කරලා ණය ගෙවනවා වගේ එවා කියලා මිනිස්සු අන්දනවා)
    3. IMF යනවා නම්, IMF ආර්තික ඉලක්ක සපුර ගන වැඩ පිලිවෙල මොකක්ක්ද?

    මේවාට උත්තර නැතුව වෙන දේවල් කිය කිය මිනිස්සු අන්දන්නේ දේශපාලන ‍රැලි හදන තක්කඩි

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි ටික දෙනෙක්ට අවශ්‍ය වුනත් මිනිස්සු බොහෝ දෙනෙක් ඔය ප්‍රශ්න අහන්න යන එකක් නැහැ. ඒ නිසාම, මේ හදිසියේ ඔය ප්‍රශ්න වලට ප්‍රමාණවත් පිළිතුරු ලැබෙන එකකුත් නැහැ. නමුත්, ඕනෑම පක්ෂයක් ලංකාවේ බලය ගත්තොත් හෝ බලය ගැනීමට ආසන්න වුවහොත් අනිවාර්යයෙන්ම ඔය ප්‍රශ්න වලට අභිමුඛ වෙන්න සිදු වෙනවා. එහිදී මග හැර යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ප්‍රශ්න එන්නේ රටට පිටින් සහ රට ඇතුළේ ව්‍යාපාරික ප්‍රජාවගෙන්. මේ ප්‍රශ්න වලට සෘජු පිළිතුරු නොදී ආණ්ඩුවක් කළ හැක්කේ ඉතා කෙටි කාලයක් පමණයි.

      Delete
    2. වෙන රටවල මේවා අහන්නේ ජනමාධ්‍ය, රටේ උගතුන්....ඒත් අපේ රටේ මේ අංශ දෙකම දේශපාලකයාට පි‍ටුපසින්..පි‍ටු පසින් විතරක් නෙවෙයි දේශපාලකයනේ ගොට්ටො....මේ තත්වය තියෙනකං දේශපාලකයන්ට පොදු මහජනතාව අන්දන එක සරල දෙයක්...

      ඉකෝන් වගේ අය සිංහල කියවන මිනිස්සුන්ට් දීලා තියෙන දැනුමවත් ප්‍රධාන පෙලේ මහලොකු ජනමාධ්‍ය වේදීන්ට දීලා නෑ....දෙන්න උන් දන්නෙත් නෑ....

      Delete
  5. මේ වගේම IMF එකත් එක්ක ගමනක් ගිහිල්ලා ලෝකය ජයගත් උදාහරණයක් අපිට ලඟම තියෙනවා..

    ඒ තමයි ඉන්දියාව..

    1991 දි ආචාර්‍ය මන මෝහන් සිං අගමැති වෙලා , අපි වගේම කෙල වෙල ඉන්න කොට එයාIMF එකත් එක්ක ගිහිල්ලා , ඉන්දියාව අද ඉන්න තැනට එන්න ඕනේ මූලික වැඩ පිලිවෙල ඇති කලා.

    ඒක හින්දා මං ආරාධනා කරන්නේ ලෝකයෙන් උදාහරන ගන්න. වෙනිසුයුලාව, ආජෙන්ටිනාව, ග්‍රීසීය, ඉන්දියාව ස්ට්ඩි කරන්න....අපට ඉස්සෙරට යන්න තියෙන්නේ ඔය රටවල් ගිය පාරේ, ඒ අත්දැකීම් තමයි අපි සට්ඩි කරනන ඕනෑ

    ReplyDelete
  6. මේ ගැන සිපිපියා, ලපිපියා සහ කැපිපියා ගේ අදහස් මොනවාද ?

    ReplyDelete
  7. මේ ලිපියේ සදහන් දෙයින් මොකක් කරන්න හදනවා කියලද ඔබට හිතෙන්නේ?
    https://www.ft.lk/front-page/China-reclassifies-some-bi-lateral-loans-to-commercial-loans/44-745207

    ReplyDelete
  8. රනිල් ගැන ගොඩක් අය‍ අදහන බොරු අතරෙ මං විශ්වාස කරන බොරුවකුත් තියෙනවා. මං හිතන්නෙ නෑ රනිල් ගැන ඇත්ත අපි කිසි කෙනෙක් දන්නවා කියල. එහෙම කවුරුවත් ගැන දැනගන්න තරම් දේශපාලනයේදී සාවධාන වීමක් සිද්ද වෙන්නෙ නෑ කොයි පැත්තකින් වුනත්. ඒත් මෙහෙම දෙයක් තියෙනවා. හැමවෙලාවකම බහුතරය ඉන්න පැත්ත කියන්නෙ අනිවාර්ය ලෙසම වැරදි පැත්ත. අසංවේදී පැත්ත. වඩා අන්ධ වූ ඇදහිලිවන්ත පැත්ත.

    රනිල් ගැන මගේ බොරුව මෙහෙමයි. රනිල් කියන්නෙ තමන්ගෙ දේශපාලන ඉතිහාසය ඇතුලෙ කිසිම දවසක ජාතිවාදය, වර්ගවාදය වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක් නෙමෙයි. දේශපාලන බලය වෙනුවෙන් මේ තුරුම්පුව ලංකාවෙ අනිත් හැම කෙනෙක්ම පාවිච්චි කරලා තියෙනවා. ජවිපෙ මේක උඩින්ම පාවිච්චි කරපු පක්ෂයක්. අදත් ජවිපෙට මේ අන්තය අතාරින්න අමාරුයි. සජිත් ඕන වෙලාවක මෙතන හිටගන්නවා. ඒක තමයි ලංකාවෙ බලය දිනන ලේසිම ක්‍රමය.
    අනික ලංකාවෙ බහුතරයට රනිල් එක්ක තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක්. උන් රනිල්ට කැමති නෑ. රනිල් විසින් උන්ව ඉන්ටිමේඩේට් කරනවා. අපහසුතාවයට පත්කරනවා. හීනමානයක් ඇති කරනවා. මං කැමතියි එහෙම පෞර්ෂයන්ට. අපිව පර්සනලි අවුල් කරන මිනිස්සුන්ට. ආදරෙන් බදා වැළඳගෙන පපුවෙන් කතා කරන හැගුම්බර මිනිස්සුන්ට වඩා අපිව එකසිස්ටන්ෂල් ක්‍රයිසිස් එකකට දාන මිනිස්සු අසිරිමත්.

    රනිල් ඉන්නෙ තනියම. රනිල් කියන්නෙ පක්ෂයක් නෙමෙයි. හැමෝටම තමන්ගේ පිරිස වැඩි කරගන්න කියන්න වෙන බොරු, ඇති කරගන්න වෙන එකගතාවලට වඩා තනියම තමන් පිළිගන්න ස්ථාවරයක පෙනී ඉන්න මිනිස්සුන්ට මං කැමතියි. මිනිස්සු තමන් ඉන්න පැත්තට ආවොත් මිස තමන් මිනිස්සු ඉන්න පැත්තට නොයන එළඹුමට මං ගරු කරනවා. ජවිපෙ මෙතනදි ඉතාම දුර්වලයි. ඊයෙ විවේචනය කරපු දේ වෙනුවෙන් අද පෙනී ඉන්න තරම් පෞර්ෂයෙන් දුර්වලයි. උදා විදිහට මෑතක වෙනකල්ම ජවිපෙ විශ්වාස කලේ සමලිංගිකත්වය රෝගයක් කියල. කාන්තාවන් මත්පැන් පානය කිරීම වැලැක්විය යුතුයි කියල. ආගම අබිං කියල. අයිඑම්එෆ් යන්නෙ නෑ කියල. රජයේ රස්සා වැඩි කරන්න ඕන කියල. තව බොහෝ දේවල්. අඩුම තරමෙ ඒ පෙනී හිටපු අතීත තැන ගැන විවේචනයක් හෝ නැතිව ජවිපෙ ආස්ථාන මාරු කරනවා. ඒක මානසික රෝගී තත්වයක්.
    මං කැමතියි හුදකලා වෙන මිනිස්සුන්ට. රංචුව විසින් ඔසවා ගන්න මිනිස්සුන්ට වඩා. ගෝටාබය වුනත් ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා හුදකලා වුනු තැන පටන් මං මනුස්සයෙක් විදිහට ගෝටාට ආදරය කරනවා. ඒ වේදනාව හෝ හුදකලාව බෙදාගන්න පුළුවන් නම් ඒක කරනවා. හුදකලාව විසින් මිනිස් පැවැත්මේ ඉතා ගැඹුරු තලයන් ස්පර්ශ කරනවා.

    රනිල් කියන්නෙ හුදකලා මිනිහෙක්. ලිංගික අනන්‍යතාවයක් විදිහට මහා සමාජය විසින් හුදකලා කළ මිනිහෙක්. පොදු සංස්කෘතියට පිටස්තර සංස්කෘතියක් දැරීම නිසා හුදකලා කරන මිනිහෙක්. පොදු විශ්වාසයන් සමග අනන්‍ය නොවන නිසා හුදකලා කරන මිනිහෙක්. එතනදි රනිල්ව මට දැනෙන ප්‍රමාණය පොදු එක සමග අනන්‍ය මිනිහෙක් දැනෙන ප්‍රමාණයට වඩා වැඩියි.
    අනික මේ වෙලාවෙ රනිල් පිහිටන තැන. ඒක ඓතිහාසිකයි. ජනවරමකින් නැතිව ව්‍යවස්ථා වරමකින් ලැබුණු ධුරයක්. බංකොලොත් රටක්. පිස්සු කෙළින ජනතාවක්. තමන්ගෙ එකම හයියට ඉන්නෙ ඉතිහාසයක් පුරා තමන්ගෙ ප්‍රතිවාදියාම වුනු තැනක්. අවසාන අවස්ථාවක්.
    ඒක තනි මිනිහෙකුට සෙල්ලම් කරන්න ලේසි ගේම් එකක් නෙමෙයි. අනුර වගේ කෙනෙක් නම් කලිසමේ මුත්‍රා පහවෙන තරමෙ එකක්. ඒත් රනිල් තෝරගන්නවා උත්සාහ කරමින් මියැදීම යහපත් කියල. ඒක මිනිහෙක් විදිහට ජීවිතේ ගහන අවසාන කැරැල්ලක්. ඒ ගැන මට තියෙනවා ගෞරවයක්.

    ඉතිං ඔය විදිහට රනිල් ගැන මගේ බොරුව තව දුර යනවා.

    ReplyDelete
  9. ඉකොනෝමැට්ටා, ඔබගේ අනුමානය අනූව ආනයන වියදම පාලනය ගැන සෘජු කොන්දේසියක් IMF ඉදිරිපත් කරයිද? විශේෂයෙන් මේ වසර තුල වාහන ආනයන සීමා ඉවත් කිරීම ඇතුලුව.

    ReplyDelete
  10. JVP එකට ආණ්ඩු බලය ලැබුනත් යන්න වෙන්නේ IMF එකේ පාරේ තමා. ඒත් තත්වය හරියට අවබෝද වෙනකන් ගොඩ වෙදකම් කරන්න උත්සහ කරයි කියන එක මගේ අදහස. ඒ ගොඩ වෙදකම් වලින් ආර්ථිකය තවත් නරකට හැරවෙයි කියලා බයක් තියෙනවා. JVP එකේ ආර්ථික උපදේශකයන්ගේ අදහස් වල හැටියට ප්‍රධාන රාජ්‍ය ව්‍යසායන් (CEB, CEPETCO, වරාය ) රජය යටතේ තිබිය යුතුයි කියන එකත් දේශීය ණය restructure කිරීමට සිදුවිය හැකි බවත් ප්‍රකාශ වෙනවා. ඒ වගේම ඔවුන් විස්වාශ කරනවා රාජ්‍ය ආයතන කාර්යක්ෂම තාවය වැඩිකිරීම තුලින් පෞද්ගලික කරණය කිරීමකින් තොරව පවත්වාගෙන යා හැකි බව (ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයත් මේ බව තහවුරු කරනවා). දෙවෙනි කරුණ ඔවුන් ජන්ද ලබාගැනීමේ අරමුණින් ඔවුන් සතුව වෙන විසදුමක් ඇති බවක් ජනතාවට හඟවනවා. ඒ වගේම ඔවුන්ගේ යටිපෙළ නායකත්වය සහ සාමාජිකයනුත් විස්වාශ කරනවා JVP එකට මේ ආර්ථික අර්බුදය වේදනාකාරී නොවන විදිහකට විසඳිය හැකි බව. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එන ලොකුම බාදාව ඇතුළෙන්ම මතු වියහැකියි . ඒ නිසා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉක්මනින්ම කල නොහැකියි. ඒ කාලය තුල පැලැස්තර උත්තර ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: