Friday, September 18, 2015

කොයිසිටදෝ අපි එන්නේ? කොයිබටදෝ අපි යන්නේ?

හෝමෝ සේපියන්ලා වන අපේ ආරම්භය කොතැනද? ඉදිරියේදී හෝමෝ සේපියන්ලා වන අපට කුමක් වේද?

මේ ප්‍රශ්න කාලයක් තිස්සේම අප විසින් විසඳා ගැනීමට උත්සාහ ගනිමින් සිටිමු. සහශ්‍ර ගනනක් තිස්සේ විවිධ ආගම් හා දර්ශන මඟින් මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට උත්සාහ කර තිබේ. පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මේ අඛණ්ඩ උත්සාහය ඉදිරියට ගෙන ගියේ පරිණාමවාදීන්, පුරා විද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා ඉතිහාසඥයින් වැනි අයයි. මෑතකදී ජාන විශ්ලේෂකයින්ද මේ පිරිසට එකතු වූහ.

ඉතා මෑතක් වනතුරුම අපට සිතාගත හැකිව තිබුණු හොඳම පරිණාමයේ කතන්දරය උඩින් ඇති රූපයේ දැක්වෙන ආකාරයේ එකකි. මේ කතාවේ හැටියට වානරයෙකුගේ සිට නූතන මිනිසා දක්වා අප ක්‍රමයෙන් 'රේඛීයව' පරිණාමය වී තිබේ. කතාවේ මුල සිටින ඒක සෛලිකයෙකුගේ සිට වානරයා දක්වාද මේ රේඛාව දික් වේ. මේ අනුව, අප දැනටත් උපයෝගී කරගන්නා පරිණාම ආකෘතිය ගසක් වැනි එකකි. එහි කඳෙන් ලොකු අතුත්, ලොකු අතු වලින් පොඩි අතුත්, පොඩි අතු වලින් ඊටත් වඩා පොඩි අතුත් බෙදේ. ඒවායින් කුඩා රිකිලි බෙදී යයි.

මේ එක් එක් රිකිල්ල අග වෙනස් ජීවී විශේෂයක් සිටී. අප සිටින කුඩා රිකිල්ලේ සිට සිට ආපසු ගිය විට අප වෙනත් ජීවී විශේෂ වලින් වෙන්වූ මං සන්ධි හමුවේ. මේ ආකෘතිය අනුව බෙදී යන රිකිලි දෙකක් නැවත එක්වී අත්තක් වන්නේ නැත.

ඉහත ආකෘතියේ එක් එක් අදියරේදී අප පසු කළ මං සලකුණු ගැන හරියටම දැන ගැනීම සඳහා අපට පොසිල සාක්ෂි උපකාරී විය. එහෙත්, මේ පොසිල එකතු වල අඩුපාඩු තිබුණු නිසා ආකෘතිය සම්පුර්ණ කර ගැනීමට අපට වැඩි වැඩියෙන් පොසිල අවශ්‍ය විය. කෙසේ වුවද, අළුතෙන් හමුවන සංකීර්ණ පොසිල සාක්ෂි වලින් අපේ දැනුම වැඩි වෙද්දී අප දැන සිටි ආකෘතිය වඩාත් ප්‍රශ්නකාරී වී තිබේ.

දැනට වඳ වී ගොස් ඇති වෙනත් මිනිස් වර්ගයක් වන නියන්ඩතාල්ලා ගැන අඩු වශයෙන් සියවස් එකහමාරක සිට අපි දැන සිටියෙමු. ඔවුන් ගැන මෑතකදී අප දැනගත් කරුණු වන්නේ ඔවුන්ද හෝමෝ සේපියන්ස්ලා මෙන්ම දියුණු බුද්ධියක් ඇති කොටසක්ව සිට ඇති බවයි. හෝමෝ සේපියන්ස්ලා අප්‍රිකාවේ සිට මැදපෙරදිග හරහා ආසියාවට සහ යුරෝපයට සංක්‍රමණය වෙද්දී ඒ ප්‍රදේශ වල පැතිරී සිටියේ හෝමෝ නියන්ඩතාලන්සිස්ලාය. ඔවුහු යුරෝපයේ ශීත දේශගුණයට ඔරොත්තු දිය හැකි පරිදි විශාල ශරීර මෙන්ම හෝමෝ සේපියන්ස්ලාටත් වඩා විශාල මොලයක්ද සහිතව සිටි අතර හෝමෝ සේපියන්ස්ලා මෙන්ම ආයුධ තැනීම වැනි කටයුතුද කර තිබේ.

මෑතකාලීනව මේ ක්ෂේත්‍රයේ සිදුවූ අළුත් පොසිල සොයාගැනීම් සමඟ සේපියන්ස්ලාට අමතරව නියන්ඩතාල්ලා වැනි හෝමෝ ගණයේ වෙනත් විශේෂ දුසිමක් පමණ මිහිමත ජීවත් වී ඇති බව දැන් පෙනීයයි. 2010 වසරේදී සයිබීරියාවේ සේපියන්ස්ලා සහ නියන්ඩතාල්ලාද වාසය කළ ගුහාවකින් සොයාගත් ඩෙනිසෝවියන් මානවයා උදාහරණයකි.

මේ වෙනස් මිනිස් විශේෂ කලින් කලට ඔවුන් ජීවත් වූ ප්‍රදේශ වලට උචිත ලෙස අනුවර්තනය වූ අයයි. බාහිර ලෝකය සමඟ සම්බන්ධ නොවී ඉන්දුනීසියාවේ කුඩා දුපතක වෙනම පරිණාමය වූ හෝමෝ ෆ්ලොරසියෙන්සිස් වසර 12,000කට පමණ පෙර වඳ වන විට කිලෝග්‍රෑම් 25 කට වඩා බර නැති අඩි තුනහමාරක් පමණ උස මිනිස් විශේෂයකි. පරිභෝජනය සීමා කර, දිවයින තුළ ඇති සීමිත සම්පත් වලින් යැපීමට හැකි පරිදි කුඩා සිරුරු සහිතව ඔවුහු පරිණාමය වූහ.

මේ කණ්ඩායමට හෝමෝ නැලඩි දැන් අළුතින්ම එකතු වී සිටී. වසර දෙකකට පමණ පෙර දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් පොසිල මත පදනම්ව මේ මානවයා ගැන තොරතුරු පසුගිය සතියේ එළිදැක්වුනේය.

හෝමෝ සේපියන් මොළයක ප්‍රමාණයෙන් අඩකටත් වඩා කුඩා මොලයක් හිමි හෝමෝ නැලඩි ඔස්ට්‍රලොපිතකස් මෙන් වානරයෙක් ලෙස නොව මිනිස් විශේෂයක් ලෙස වර්ග කෙරී ඇත.

දැනට හමු වී ඇති පොසිල සැකිලි පහළොවක පමණ ප්‍රමාණය සමඟ වෙනත් සතුන්ගේ පොසිල මුසු වී ඇත්තේම නැති තරම්ය. එමෙන්ම, මේ සැකිලි වල වයස් සීමා සුසාන භූමියක ඇති සැකිලි වල වයස් සීමා සමඟ සැසඳේ. ඒවා එකවර තැන්පත් වූ ඒවා හෝ වතුරෙන් ගසාගෙන විත් තැන්පත් වූ ඒවාද නොවේ. මේ අනුව මේ සිරුරු සිතා මතාම එක් තැනෙක තැන්පත් කළ ඒවා බැව් අදහස් කෙරේ. මෙය සාපේක්ෂව දියුණු සමාජ ලක්ෂණයකි.

මින් පෙර මෙවැනි අවමංගල චාරිත්‍ර දක්නට ලැබී ඇති පැරණිම කාලය වසර ලක්ෂයකට පෙරය. ඒ නියන්ඩතාල්ලාගේය. හෝමෝ නැලඩි සැකිලි මීට වඩා බොහෝ පැරණියයි අදහස් කෙරේ. කෙසේ වුවද, දැනට දන්නා තොරතුරු අනුව හෝමෝ හෙවත් මිනිස් කුලයේ පළමු සාමාජිකයා ලෙස සැලකිය හැකි හෝමෝ නැලඩි ජීවත් වූ කාලය තවමත් හරියටම නිශ්චය කර නැත. රේඩියෝ කාබන් ක්‍රමයෙන් කාලය නිශ්චය කිරීමටද නොහැකි තරම් මේවා පැරණි වීම එක් හේතුවකි.

කෙසේ වුවද සාපේක්ෂව විශාල මොළයක් නැති, මෙතරම් කලකට ඉහත මිහිමත සිටි ජීවී විශේෂයකගෙන් අවමංගල චාරිත්‍ර වැනි සංකීර්ණ චර්යාවන් දක්නට ලැබීම පර්යේෂකයින්ව විමතියට පත් කර තිබේ. මේ ඇතැම් විද්‍යාඥයින් සිතන්නේ අප දැනට භාවිතා කරන අතු බෙදුණු ගසක් වැනි පරිණාමික ආකෘතිය තව දුරටත් ප්‍රමාණවත් නොවන බවයි.

දැන් පෙනෙන පරිදි පරිණාමයේදී අතු රිකිලි වී බෙදීමට අමතරව රිකිලි එකතු වී අතු නිර්මාණය වීමද සිදු වී තිබේ. අපි කිසිවෙකු කලින් සිතා සිටි පරිදි පිරිසිදු හෝමෝ සේපියන්ස්ලා නොවේ. නියන්ඩතාල්, ඩෙනිසෝවියන් වැනි ජානද අඩු වැඩි වශයෙන් අපට මුසුවී තිබේ. මේ හේතුව සහ වෙනත් හේතුන්ද නිසා අපි උපදින්නේම හරියටම සමාන පුද්ගලයින් ලෙස නොවේ.

ඒ නිසා අපට වෙනස් රුචි අරුචිකම් තිබීමද විය යුත්තකි.

(ඡායාරූපය අන්තර්ජාලයෙනි.)

11 comments:

  1. //මේ හේතුව සහ වෙනත් හේතුන්ද නිසා අපි උපදින්නේම හරියටම සමාන පුද්ගලයින් ලෙස නොවේ.

    ඒ නිසා අපට වෙනස් රුචි අරුචිකම් තිබීමද විය යුත්තකි.//
    දැස් ඉදිරිපිට වෙමින් පවතින්නේ එයයි. ඉතින් එය තවදුරටත් අරුමයක් ම නොවේ?.

    ReplyDelete
    Replies
    1. ඇස් පනා පිට තිබුණත් සමහර අය මේ වෙනස්කම් වලට සංවේදී නැති වීමයි අවුල.

      Delete
  2. යකුනේ මෙච්චර වෙනස්කම් ගොඩක් මැද්දෙන් ආපු අපිද මේ අද වෙනකොට කතා කරන භාෂාවයි හමේ පාටයි වෙනස් වෙලා මරා ගන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒවත් අපේ අතීතයෙන් එන ඇඟේම තියෙන ඒවා තමයි, කමී. අමාරුවෙන් පාලනය කරගත්තේ නැත්නම් ඒවා ඉබේම මතුවෙනවා.

      Delete
  3. අතෙතය නම් පැහැදිලියි. නමුත් අනාගතය?

    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. අනාගතය හරියටම ලියවිලා නැහැනේ විචාරක. අපිට අවශ්‍යනම් ආසියා/යුරෝපා මහාද්වීප තුල පැතිරී සිටි සේපියන්ස්ලා විදිහට හරි ඉන්දුනීසියාවේ පොඩි දූපතක වෙනම තනියම පරිණාමය වුනු අය විදිහට හරි ඉදිරියට යාමේ තෝරාගැනීම තියෙනවා.

      Delete
  4. නිට්ටෑවෝ?

    ප්‍රා ජේ පොතක් ලියා තියෙනවා නේද ඒ ගැන?

    ReplyDelete
    Replies
    1. පොත ගැන වැඩි විස්තරයක් කොහේ හරි තියෙනවද?

      Delete
  5. අප්‍රිකාවේ ඉඳලා ගිය පොඩි කණ්ඩායමකින් මුළු ලෝකෙම මිනිස්සු පැතිරුණා කියන එක දැන් ඔප්පුවෙලා ඉවරයි. තවමත් පුදුම ඔස්ට්‍රේලියාවට ගියේ කොහොමද කියන එක. මුහුදෙන් කොහොම එතෙර උනාද නැත්නම් වෙන ගොඩබිම් සම්බන්ධයක් තිබ්බද කියලා තවම හොයනවා නේද? හැබැයි ජාන වලින් ඕස්ට්‍රේලියන් ආදිවාසීනුත් අප්‍රිකානු මුල් මිනිස්සුන්ට සම්බන්ධකම් තියනවා....

    ReplyDelete
    Replies
    1. ඒ කතාව පසුගිය වසර තුන හතර ඇතුළත පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා, බණ්ඩා. ඒ කණ්ඩායමෙන් පැතිරුණු අය වෙන අය සමඟත් මිශ්‍රවෙලා තියෙනවා. කොහොමවුනත් තවමත් අපි නොදන්නා ප්‍රමාණය ගොඩක් වැඩියි.

      Delete
  6. පහසු වෙලාවක
    මේක කියවල බලන්න. You will not regret reading this.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget