වෙබ් ලිපිනය:

Thursday, September 24, 2015

ඔබේ වීරයාගේ මිල කීයද?

හෝමෝ සේපියන්ලා වන අපට ලොකු බලාපොරොත්තු, සිහින තිබේ. එහෙත්, බොහෝ විට අපට මේ බොහොමයක් සිහින සැබෑ කර ගැනීමට නොලැබේ. අප සිහින දකින, එහෙත් අපට ලඟා වීමට නොහැකි වූ ඉලක්ක වලට ළඟා වූ අය අපේ වීරයෝ වෙති.

රවීගේ වීරයින් ලැයිස්තුවේ උඩින්ම ආගමික ශාස්තෘ වරයෙක් සිටී. වෙනත් අයගේ ලැයිස්තුවල වෙනත් ආගමික ශාස්තෘ වරු සිටිති. එමෙන්ම, දේශපාලනඥයෝ, කලාකරුවෝ, ක්‍රීඩකයෝ, දාර්ශනිකයෝ ආදීහුද මෙවැනි වීර ලැයිස්තු වල සිටිති. පැය අටේ වැඩමුරය වෙනුවෙන් චිකාගෝහිදී දිවිදුන් කම්කරු නායකයින් ඇතැම් අයගේ වීරයන් වන අතර, පොප් රජු ලෙස විරුදාවලි ලත් මයිකල් ජැක්සන් තවත් අයගේ වීරයෙකි.

අපි බොහෝ දෙනෙකු වීරයෝ වීමට කැමැත්තෙමු. ඒ සඳහා, ඇතැම් විට අප කරන්නේ අපේ වීරයෙකුව අනුගමනය කිරීමයි. වෙනත් ඕනෑම අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහා මෙන්ම වීරයකු වීමේ අවශ්‍යතාවය වෙනුවෙන්ද මිලක් ගෙවීමට අප සුදානම්ය. මෙමඟින් ඉල්ලුමක් ජනිත වේ.

ඉල්ලුමක් ඇති තැන එය සපයන්නෙකුට ඉඩකඩක් විවෘත වේ.



චේ ගුවේරා බොහෝ දෙනෙකුගේ වීරයෙකි. ටී ෂර්ටයක චේගේ රුව ගසා ගැනීමෙන් තමන්ටත් තරමක් දුරට හෝ මේ වීරයාගේ තැනට ලං විය හැකියැයි සිතන අය සිටිති. එය හඳුනාගන්නා නිෂ්පාදකයෙක් එවැනි ටී ෂර්ටයක් වෙළඳපලට ඉදිරිපත් කරයි. මෙවැන්නක් මිලදී ගන්නා පාරිභෝගිකයෙකු ඇඳුමක් ඇඳීමේ අවශ්‍යතාවය සමඟ වීරයෙක් (හෝ පොරක්) වීමේ අවශ්‍යතාවයද සපුරා ගනී. ඒ නිසා ඇඳුමක් සඳහා සාමාන්‍යයෙන් ගෙවන මිලට වඩා රුපියල් පණහක් හෝ සීයක් වැඩිපුර ගෙවීමට ඔහු හෝ ඇය නොපැකිලේ.

චේ වීරයෙකු ලෙස සලකන තවත් ඇතැමුන් චේ වැනි වීරයෙකු වීම සඳහා ඔහුගේ රුව සහිත ටී ෂර්ටයක් පැළඳීම ප්‍රමාණවත් නොවේයැයි සිතති. ඔවුන් චේ වැනි වීරයෙකු වීම සඳහා ඊට වඩා විශාල මුදලක් ගෙවීමට සුදානම්ය.

කොලොම්බියාවේ අල්වාරෝ චේගේ රුව සහිත ඇඳුමක් වෙනුවෙන් පෙසෝ කිහිපයක් වැඩිපුර ගෙවා පොඩි වීරයෙකු වෙද්දී, ඔහුගේ මිතුරු පාව්ලෝට වැඩි මිලක් ගෙවා ලොකු වීරයෙකු වීමට අවශ්‍ය වේ. කොලොම්බියාවේ ජාතික විමුක්ති හමුදාව මේ සඳහා ඔහුට අවස්ථාවක් සපයයි. තමන්ගේ සරසවි අධ්‍යාපනය, හොඳ රැකියාවක් කිරීමට ඇති අවස්ථාව, මිතුරන් සමඟ විනෝද වීමට ඇති කාලය ආදී සියල්ල අතහරිමින් ලොකු මිලක් ගෙවන පාව්ලෝ ජාතික විමුක්ති හමුදාවෙන් ගෙවන සුළු මාසික දීමනාවෙන් අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගනිමින් වීරයෙකු වීමේ සතුට විඳියි. ඔහුගේ ජීවිතය අහිමි වීමේ අවදානමද මේ මිලට එකතු වේ.

පොඩි කාලේ ක්‍රිකට් ගැන හාන්කවිසියක් නොදැන සිටි තුෂාරගේ දැන් ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ඔහුට ක්‍රිකට් වලින් ඉහළට ගිය සංගක්කාර වීරයෙකි. වීරයෙකු අනුගමනය කිරීමෙන් පොඩි වීරයෙකු විය හැකිය.

ඇන්ලීන් කිරිපිටි පැකට්ටුවක් රුපියල් හයසීයට විකිණෙද්දී ඇන්ලීන් පානය කළ තුෂාර මේ මිල රුපියල් හයසිය පණහක් වෙද්දී පාවිච්චිය නවත්තයි. ඇන්ලීන් පැකට්ටුවකට තුෂාර දෙන වටිනාකම රුපියල් හයසීයට වැඩිවුණත් හයසිය පණහට වඩා අඩුය. නිෂ්පාදන වියදම් ඉහළ ගොස් ඇති නිසා ෆොන්ටෙරා සමාගමට තවදුරටත් ඇන්ලීන් පැකට්ටුවක් රුපියල් හයසියයකට විකිණිය නොහැක. මේ නිසා තුෂාර තවදුරටත් ඇන්ලීන් බොන්නේ නැත. ඒ නිසා සමාගමට ලාභයක්ද නැත.

සංගක්කාර තමන්ගේ මහන්සියෙන් වීරයෙකුව නිෂ්පාදනය කර තිබේ. මේ වීරයාගේ කොටස් ඔහුගේ රසිකයින් ළඟ ගබඩා කර තිබේ. මෙය සංගක්කාර සතු ප්‍රාග්ධනයකි. ඔහු සතු ප්‍රාග්ධනය ඔහුට අවශ්‍ය විටක මුදල් කළ හැකිය. ඔහුට පෙර මෙසේ ප්‍රාග්ධනය එකතු කළ ක්‍රිකට් ක්‍රීඩකයින් වූ රණතුංගලා සහ ජයසූරියලා ඔවුන් සතුව තිබූ ප්‍රාග්ධනය මැතිවරණ වලදී මුදල් කළහ. සංගක්කාර ප්‍රසිද්ධියේ ඔහුගේ බිරිඳව සිපවැළඳ ගන්නා විට ඔහු කලක් තිස්සේ එකතු කළ ප්‍රාග්ධනයෙන් කොටසක් වැයවේ. එහෙත්, වැඩි ප්‍රමාණය තවමත් ඉතිරි නිසා සංගක්කාර තවමත් වීරයෙකි.

සංගක්කාර ෆොන්ටෙරා සමාගම වෙනුවෙන් වෙළඳ දැන්වීමකට පෙනී සිටී. ඇන්ලීන් කිරිපිටි බීමෙන් තමන් මෙන් වීරයෙකු වීමට හැකි බව ඔහු තමන්ගේ රසිකයින්ට පැහැදිලි කර දෙයි. කිරිපිටි වලට රුපියල් හයසීයකට වඩා ගෙවීමට කැමති නැති තුෂාර, සංගක්කාර වැනි වීරයෙකු වීම සඳහා රුපියල් දෙසීයක් ගෙවීමට කැමතිය. ෆොන්ටෙරා සමාගම මේ දෙක එකතු කර පැකේජයක් සදා රුපියල් හත්සීයකට මිල කරයි. තුෂාර මේ පැකේජය මිල දී ගනී. ඔහු මේ පැකේජයට ගෙවීමට සූදානම් වන මුදලට වඩා රුපියල් සියයක් අඩුවෙන් ඔහුට එය ලැබේ.

ෆොන්ටෙරා සමාගම ඔවුන්ගේ නිෂ්පාදන වියදමට වඩා රුපියල් පණහක් තුෂාරගෙන් එකතු කර ගනී. මෙයින් විසිපහක් සංගක්කාරට යයි. ෆොන්ටෙරා සමාගමට තවත් විසිපහක් ඉතිරි වේ. සියල්ලෝම සතුටෙනි.


වීරයන් වෙඩි තබා, බෝම්බ ගසා හෝ සුදු වෑන් යවා විනාශ කළ නොහැකිය.

ඔබේ වීරයා වෙනුවෙන් ඔබ ගෙවන මිල වැඩියි වගේද?

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

25 comments:

  1. අර වීරයෝ අපි ගාව ඉතුරැ කරන පස්සේ මුදල් කරන ප්‍රාග්ධනයේ කතාව හිතට වැදුනා
    අපි හැවොම දුදරැ දෙමාපිය සම්බන්දතා සිට මිතුරැ කම් දක්වා මෙය යම් තරමකට කරනවා නේද කියලා හිතුනා

    එතකොට අපිට ඉපදෙන කොටම ලැබෙන ලේබල් ආගම ජාතිය වැනි
    ඒවායෙත් පස්සේ අලෙවි කල හැකි ප්‍රාග්ධන වටිනාකමක් නැත්තේ නෑ නේද

    ReplyDelete
    Replies
    1. සින්දුවකුත් මතක් උනා
      මාලි කරේ
      චේ පපුවේ

      Delete
    2. ඔවු, ජේපී. ඒවත් මවුපියන්ගෙන් ලැබෙන දේපල, ඉඩකඩම් වගේම විකිණිය හැකි දේවල් තමයි. හමේ පාට, ශරීර ප්‍රමාණය, වාසගම වගේ දේවල් පවා. හැබැයි ඉතින් මිල (ඉල්ලුම) කාලයට සහ දේශයට සාපේක්ෂයි. පස්මහ බැළුම් බලා ඉපදිය හැකිනම් සමාජයට කළ හැකි බලපෑම වැඩියි.

      Delete
  2. //මේ වීරයාගේ කොටස් ඔහුගේ රසිකයින් ළඟ ගබඩා කර තිබේ. මෙය සංගක්කාර සතු ප්‍රාග්ධනයකි. ඔහු සතු ප්‍රාග්ධනය ඔහුට අවශ්‍ය විටක මුදල් කළ හැකිය.//

    නියම අදහස.... ඇත්ත කතාව........

    ReplyDelete
  3. අර තුෂාරටත් සීයක් ලාබවෙලා වෙලා සංගක්කරටත් 25ක් ගිහින් තවත් 25ක අමතර ලාබයකුත් ෆොන්ටේරා එකට ගිය මාකටින් ප්ලෑන් එක පට්ට නෙහ්..

    එතකොට සංගක්කාර යෙහාලිව සිප ගත්තම ප්‍රාග්ධනයෙන් කොටසක් අඩුවෙච්චි එක.. හැක හැක.. සංග දන්නවනම් ආයි ලොවෙත් ගෑනිව ඉඹින්න යන්නේ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. යෙහාලිව සිප ගැනීමේ පරිභෝජන වටිනාකම අඩුවන ප්‍රාග්ධනයට වඩා වැඩි ඇති.

      Delete
  4. ඇගට පතට නොදැනී විරයන් වෙනුවෙන් කරනා ගෙවිම් ගැන හොද අවබෝධයක් ගන්නට හැකි වුණා. වීරයන් තැනිමත් එක්තරා සාර්ථක ව්‍යාපරයක් තමා එතකොට.
    බලනකොට හැම වීරයාම හොඳ ප්‍රාග්ධනයක් හදාගන වෙලාවට එකෙන් වැඩ අරන්. විරයෙක් වෙන එක හොඳ ආයෝජනයක්. අමාරුවෙන් හෝ කරගන්නට හැකිනම්.

    ReplyDelete
    Replies
    1. වැඩේ හිතන තරම්ම ලේසි නෑ, නලින්. ඉල්ලුමක් නැත්නම් බඩු විකිණෙන්නේ නැහැ. ඉල්ලුමක් ඇති දේ විකිණීම වඩා ලාභයි. තරඟයට මුහුණ දෙන්නත් වෙනවා.

      Delete
  5. වීරයන් වර්තමානයේ නිර්මාණය වෙන්නේ වෙළඳපොල අවශ්‍යතා සඳහා පමණද?

    ReplyDelete
    Replies
    1. සමහරුන් වීරයෙක් වීමට චේගේ රුව තම බ්ලොග් රූපය වෙනුවට භාවිතා කරති.....

      Delete
    2. වෙළඳපොළ නිසා අවශ්‍යතා සෑදීම සිදු නොවන දෙයක් නොවුණත් බොහෝ විට සිදුවෙන්නේ අවශ්‍යතා වෙනුවෙන් වෙළඳපොළක් සැදීමයි.

      Delete
  6. අපි නං සත පහක් වියදම් කරන්නෑ...... මොකද මගේ වීරයා මං..... අාය මං තරං පොරක් කොහෙද ලෝකේ.........

    ReplyDelete
    Replies
    1. ඔබ මට වඩා වැඩියෙන් පොරක්ද නැත්නම් අඩුවෙන් පොරක්ද කියා සසඳන්නේ කොහොමද?

      Delete
  7. Replies
    1. හැබෑටම කෝ උන්නැහේ දැන්?

      Delete
    2. සිළුමිණෙන් එයාට යන්න වුණා. කොන්ත්‍රාත් කාළය දිගුකළේ නෑ. ඔහු සිටි සිළුමිණ මුල් පුටුවට ආවා ලක්ෂමන් පියසේන.

      Delete
    3. මේ ලින්ක් ටික කියවලා අප්ඩේට් වුනා. මොහු මාත් ඉතා කැමතිව සිටි පුද්ගලයෙක්. වත්මන් තත්ත්වය ගැන වැඩි දෙයක් දන්නේ නැහැ.

      Delete
  8. මටනම් වීරයන් නැහැ. මා අගය කරන අය සිටියත් මා තුල ඔවුන් ගැන භක්තියක් ශ්‍රද්ධාවක් නැහැ. පුද්ගලයන් කරන කියන දේ එම පුද්ගලයාගෙන් වෙන් කර ගන්න මා පුරුදුවෙලා ඉන්නවා.උදාහරනයකට ගීයක් රස වින්දා කියා එය ගායනය කරන ගායකයා අදහන්න මට ඕන නැහැ.ඒ වගේමයි අනෙක් විශයනුත්.
    පුද්ගල ක්‍රියා සමාජ සංදර්භයට සාපේක්ෂයි.පුද්ගලයා සමාජ ක්‍රියාවන්ගෙ නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. වෙනස් නොවන පුද්ගලයෙක් නැති තැනක වෙනස් නොවන 'සැබෑ' වීරයන් වීරයන් සිටිය නොහැකි වුනත් අපට එවැනි අයව මවා ගත හැකියි. හැබැයි නිෂ්පාදන වියදම (හෝ එයින් කොටසක්) ගෙවන්න වෙනවා.

      Delete
  9. කවුරු හරි අද කරන දේ අගය කිරීම හැර මට වීරයන් නැත. එවිට හෙට කරන දේ හෙලා දැමීම හැර වෙන දුකක් හෝ අපේක්ශා භංගත්වයක් නැත

    ReplyDelete
    Replies
    1. නිදහස් වෙළඳ ක්‍රමයක් යටතේ භාණ්ඩයකට ඇති ඇල්ම වැඩිවීම සහ එයට ගෙවිය යුතු මිල අතර ඇත්තේ ධනාත්මක සම්බන්ධතාවක්. ආර්ථික ක්‍රමය වෙන එකක් වුණත් මේ මුලික සිද්ධාන්තය වෙනස් වෙන්නේ නැහැ. සමහර විට අපි ගෙවිය යුතු මිලෙන් කොටසක් වෙන කෙනෙකුට ගෙවන්න වුනත් මේ සම්බන්ධතාවය වෙනස් වෙන්නේ නැහැ. ද්‍රව්‍යමය දේවල් වලට වගේම ද්‍රව්‍යමය නොවන දෙයකට ඇති බැඳීම වැඩි වූ විටත් වෙන්නේ ඔය දෙයම තමයි. වීරයින් නඩත්තු කිරීම මිල අධික කාර්යයක්. වීරයා මැරුවහම ගාණ ඉතුරුයි. වීරයින් නඩත්තු කිරීම හෝ නොකිරීම ඒකීය පුද්ගල කැමැත්ත. එසේ කිරීමේදී මේ මිල ගැන අවබෝධයක් ඇතුව තීරණය ගන්නවානම් එය දැනුවත් තීරණයක්. සමහර අය වීරයන් නඩත්තු කරන්නේ මේ වියදම ගැන අවබෝධයක් නැතුව.

      Delete
  10. සකලලෝකවීරවික්‍රමSeptember 25, 2015 at 2:08 PM

    ---------වීරප්‍රශ්ණපහක්.---------

    1. වීරයෙක් අපේ ජීවිතයට ඕනද ?

    2.වීරයන්ව අපි නඩත්තු කල යුතුද ?

    3.මගේ වීරයා මමම වීම (නාසිස් කුමාරයන්) අහම්බයක් ද?

    4.වීරයන් නැති ලොවකදී අපි ඔක්කොම සමානයෝද?

    5. වීරයෝ හදන ෆැක්ටරී දැකල තියෙනවද ?

    ReplyDelete
    Replies
    1. හොඳ කමෙන්ට් එකක්, වීරවික්‍රම. මම මේ ලිපිය ලියුවේ ඔය ප්‍රශ්න ගැන සිතීමට පෙළඹවීමක් වශයෙන්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: