Monday, July 27, 2015

අපි යන්නේ කොයි පාරේ?


"ශ්‍රී ලංකාව දැන් යන්නේ ග්‍රීසිය ගිය පාරේ" යන හෙඩිම යටතේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න සමඟ කළ සාකච්ඡාවක් මෙවර ඉරිදා දිවයිනේ පළ වී තිබේ. ඔහු පළකර ඇති අදහස් පසුගිය ලිපි කිහිපයකින් ඉකොනොමැට්ටා කියන්නට හැදූ දේවල් වලට බොහෝ සමානය. පහත ඇත්තේ ඒවායින් දෙකකි.


ජයග්‍රාහකයෙකු තෝරා නැති රුපියල් කෝටි හත් ලක්ෂ තිස් නමදාහේ මහා ණයමල්ල
සිරිසා පළමු ගල ගැහුවේ ප්ලූටස් ඝාතනයටද?

ඉකොනොමැට්ටා කියා ඇති කරුණු වලට අමතරව, සිරිමල් අබේරත්න කියා ඇති, ඉකොනොමැට්ටා කීමට බලාපොරොත්තුවෙන් සිටි කරුණක් වූයේ ග්‍රීසිය ගොඩ දැමීමට වෙනත් අය ඉදිරිපත් වීමේ හැකියාව ලංකාව එවැනි තත්ත්වයකදී ගොඩ දැමීමට කෙනෙකු ඉදිරිපත් වීමේ හැකියාවට වඩා වැඩි බවයි. මේ ලිපිය පමා වූයේ එය පැහැදිලි කිරීමට පෙර වෙනත් මුලික සංකල්ප කිහිපයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූ බැවිනි.

ඉකොනොමැට්ටා දෙන්නට හදන පණිවුඩය වෙනත් තැනක පැහැදිලිවම ඇති විට, කාලය නාස්ති නොකර අවශ්‍ය තැනට ඇඟිල්ල දික්කර පෙන්වීම පහසුය. සබැඳිය පහත තිබේ.

http://www.divaina.com/2015/07/26/politics03.html

මා සිතන පරිදි මේ සාකච්ඡාව කිරීමෙන් පසුව, මෙහි සඳහන් වන  "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ යුරෝපා මහ බැංකුවට ගෙවිය යුතු ණය වාරික දෙක" ග්‍රීසිය විසින් පසුගිය සතියේ ගෙවා දැම්මේය. ලෝස් නැතුව මෙසේ ණය ගෙවා දැම්මේ ග්‍රීසියට හදිසියේ ස්වීප් එකක් ඇදුණු නිසා නොවේ. යුරෝපීය කොමිසමෙන් තවත් යුරෝ බිලියන 7.2ක ණයක් ලබාගනිමිනි. අළුත් ණය මුළුමනින්ම වැය කළේ පරණ ණය ගෙවීමටය. ATM යන්ත්‍ර ඉදිරිපිට ඇති පෝලිම් සහ මුදල් ආපසු ගැනීමේ සීමාවන් ඇතුළු අනෙකුත් තත්ත්වයන් තවමත් එසේමය.

ආර්ථික විද්‍යාව විද්‍යාවකි. එය විද්‍යාවක් වන්නේ ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය විද්‍යාත්මක ක්‍රමය බැවිනි. අදාළ මුලධර්ම පිලිබඳ විධිමත් පුහුණුවක් ඇති ඕනෑම කෙනෙකු මේ මුලධර්ම නිසියාකාරව යොදාගත් විට ලැබෙන්නේ නිශ්චිත හෝ  සමාන ප්‍රතිපලයකි. ඉකොනොමැට්ටාට පෙනෙන දෙය ඒ ලෙසින්ම මහාචාර්ය සිරිමල් අබේරත්නටත් පෙනෙන්නේ ඒ නිසාය.

"දුවන මැෂින්" ගැන අධ්‍යයනය කරන ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි වෙනත් ඕනෑම ප්‍රායෝගික විද්‍යාවක ඇති අවිනිශ්චිතතාව ආර්ථික විද්‍යාවේත් තිබේ. විද්‍යාවේදී සරල හා නිශ්චිත පිළිතුරු ලැබෙන්නේ උපකල්පිත හෝ කෘතීම තත්ත්වයන් යටතේදී පමණි. මෙය ඕනෑම විද්‍යාවකට පොදුය. එසේ තිබියදී, ආර්ථික විද්‍යාව වෙනත් විද්‍යාවන්ට වඩා අවිනිශ්චිත බව පෙනීම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රශ්නයකි. මේ ගැන පැහැදිලි කිරීමක්ද පසුවටය.


අවසාන වශයෙන් ඉකොනොමැට්ටාට කියන්නට අවශ්‍ය, සිරිමල් අබේරත්න කියා ඇති, වැදගත් කරුණ මෙයයි. "ග්‍රීසිය වැටුණෙ ඡන්දෙ බලාගෙන සීමාවක්‌ නැතිව ඕනම දෙයක්‌ ජනතාවට දෙන්න ලෑස්‌ති දේශපාලකයොයි, ආණ්‌ඩුවෙන් හැමදේම නිකං ගන්න බලා හිටපු ජනතාවකුයි ග්‍රීසියෙ හිටපු හින්ද."

දේශපාලකයින් වෙනස් නොවූවත් ඔබට වෙනස්වීමට බාධාවක් නැත.


(ඡායාරූප ඉකොනොමැට්ටාගේය. මීළඟ සටහන් දෙක වන "අහිංසකට ලැබුණු ආන්තික තල්ලුව" සහ"රන් ත්‍රිශූලයේ ගැට ගැසූ රිදී පඬුර"ද මේ සටහන මෙන්ම ඔටෝ-පොස්ට් වීමට සලසා ඇත.)

12 comments:

  1. ආර්ථික විද්‍යාවට වඩා දෙවියන්ට යදින එකයි දේසපාලුවන්ට රැවටෙන එකයටි ඊට පස්සෙ අපිව රැවැට්ටුව රට කෑව කියල බයින එකයි ලේසියිනෙ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට දෙවියෝ පස්සේ යන්නෙත්, දේශපාලකයෝ පස්සේ යන්නෙත් එකම හේතුවකට. ඒ නිසා ප්‍රතිඵලයත් තරමක් සමානයි.

      Delete
  2. ග්‍රීසියයි ලංකාවයි සමාන කිරීම වැරදී. ඒක මෙච්චරසරල නෑ (ඒ කිවුවෙ ඔබේ සහ මහාචාර්ය සිරිමල්ගෙ විග්‍රහය). ග්‍රීසියේ කඩා වැටීම හුදෙක් තනිරටක කඩා වැටීමක් නෙවෙයි. එය සමස්ත යුරෝපයේම ආර්ථික අර්බුධයේ පිලිබිඹුවක්. ග්‍රීසිය කස කාරය පෙරහර තව පස්සට. ලෝක ආර්ථිකය ජාතික රාජ්‍ය සීමාවෙන් පිට පැනල ගොඩක් කල්. භූගෝලීය කරනය වෙච්ච ආර්ථිකයට ජාතික රාජ්‍ය සීමාවන් ඇතුලෙ විසදුම් නෑ. ඒ නිසා තමයි යුරෝපයම එකතුවෙලා අල්ලං ඉන්න ට්‍රයි කලේ. ඒත් දැන් ඒකත් බකල්. ධනේශ්වර ආර්ථික මූලධර්ම සහ ආර්ථිකයේ හැසිරීම මීටවඩා බැ‍රැරුම්ව තේරුම්ගන්න උත්සහ කරමු.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි! එයින් සංවාදයට ඉඩකඩක් මතුවේ. යුරෝ මුදල් සංගමයේ සාමාජිකයෙකු වීම නිසා, ග්‍රීසියට අදාළ, ලංකාවට අදාල නොවන සුවිශේෂී හේතු තිබේ. මේ කරුණු ඉදිරිපත් කිරීමට පෙර වෙනත් මූලික කරුණු ඉදිරිපත් කිරීමට සිදුවේ. මා උත්සාහ කරන්නේ මුලික සංකල්ප එකින් එක එක් කිරීමටය. එහෙත්, ඒ සඳහා සෑහෙන කාලයක් ගතවනු ඇත. එක් විචාරකයෙකු හේතු සහිතව කරුණු දක්වා ඇති පරිදි යුරෝපීය සංගමයේ ස්ථාවරත්වය සඳහා එයින් ඉවත් විය යුත්තේ ග්‍රීසිය නොව ජර්මනියයි. මා කියන කරුණ ඔබට පැහැදිලි ඇතැයි සිතමි. යුරෝ මුදල් සංගමයේ සාමාජිකයෙකු වීම නිසා ආර්ථික අවපාතයකදී රටකට ගත හැකි ඇතැම් මූලික ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමට ග්‍රීසියට නොහැකි විය. අනෙක් අතට මේ සාමාජිකත්වය ඔවුන්ට ආරක්ෂක දැලක්ද සපයා ඇත. මේ වෙනස්කම් තිබුණත්, ලංකාව මෙන් තනි රටක් වුවද ග්‍රීසිය මෙවැනි අර්බුදයකට මුහුණ පෑමේ හැකියාව තිබුණේය. වෙනස ඇත්තේ මූලික හේතු වල නොවේ. අවශේෂ සාධක වලය. "ලෝක ආර්ථිකය ජාතික රාජ්‍ය සීමාවෙන් පිට පැනල ගොඩක් කල්. භූගෝලීය කරනය වෙච්ච ආර්ථිකයට ජාතික රාජ්‍ය සීමාවන් ඇතුලෙ විසදුම් නෑ." ඇත්තටම ලෝක ආර්ථිකය ජාතික රාජ්‍ය සීමාවෙන් පිට පැන්නේ ශත වර්ෂ ගණනකට පෙරය. ඇතැම් අවස්ථාවල ඇතැම් රටවල් නැවත ජාතික රාජ්‍ය සීමා තුළ ජාතික ආර්ථික එකලස් කිරීමට හැදුවත් එය එතරම් සාර්ථක වුණේ නැත. ඇතැම් ප්‍රශ්න වලට ජාතික රාජ්‍ය සීමාවන් තුළ විසඳුම් ඇති අතර තවත් සමහර ප්‍රශ්න වලට ජාතික රාජ්‍ය සීමාවන් තුල විසඳුම් දිය නොහැක. විශාල රටකට ජාතික රාජ්‍ය සීමාවන් තුළ ලබා දිය හැකි බොහෝ විසඳුම්ද කුඩා රටකට ප්‍රායෝගික නොවේ. ග්‍රීසිය මෙන්ම ලංකාවද කුඩා රටවල්ය.

      Delete
  3. ඒ වගේම ඔබේ බොගෙන් කරන මේ සේවය ප්‍රසංසනීයයි.

    ReplyDelete
  4. /* ආර්ථික විද්‍යාව විද්‍යාවකි. එය විද්‍යාවක් වන්නේ ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදය විද්‍යාත්මක ක්‍රමය බැවිනි. අදාළ මුලධර්ම පිලිබඳ විධිමත් පුහුණුවක් ඇති ඕනෑම කෙනෙකු මේ මුලධර්ම නිසියාකාරව යොදාගත් විට ලැබෙන්නේ නිශ්චිත හෝ සමාන ප්‍රතිපලයකි. ඉකොනොමැට්ටාට පෙනෙන දෙය ඒ ලෙසින්ම මහාචාර්ය සිරිමල් අබේරත්නටත් පෙනෙන්නේ ඒ නිසාය. */

    මට නම් එකඟ විය නොහැක. ආර්ථික විද්‍යාව යනු කණා මුට්ටිය ගැසීමකි. සමහර විට හරියයි. බොහෝ විට යාන්නම් හරියයි. සමහර විට හොඳටම වරදී!

    සිරිමල් සහ මැට්ටාගේ මත සමපාත වුවත්, ඔබේ මතය හා අන් හැම ඉකොනොමැට්ටෙකු ගේ ම මත සමපාත වෙනවාද?

    එකම කරුණ ගැන විවිධ අනාවැකි මත පල කරන ඉකොනොමිස්ට් ලා, පසුව නොයෙකුත් තර්ක ගෙනැවිත් සැබෑවට සිදු වූ දෙය විස්තර කරන අයුරු බලා සිටීම අපූරු විනෝදයක් ගෙන දෙයි. කී දෙනෙක් නම් 2014 දී පෙට්‍රල් ලීටරය ඩොලර් දෙකට යන බව කීවාද? ඔසී ඩොලරය ඇමරිකන් ඩොලරයට වඩා 50% ක් නගින බව ද කීවා. දැන් වෙනත් බයිලා කියනවා!

    ReplyDelete
    Replies
    1. දුම්පානය පෙනහළු පිළිකා වලට හේතු වන බව වත්මන් දැනුම අනුව බොහෝ දෙනෙකුට එකඟ විය හැකි සත්‍යයකි. මෙය තර්කනය මත (ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීම්) මෙන්ම නිරීක්ෂණ මතද තහවුරු කර ඇති දෙයකි. එහෙත්, පෙනහළු පිළිකා හැදෙන්නේ දුම්පානය කරන අයගෙන් ඉතා සුළු ප්‍රතිශතයකටය. එමෙන්ම දුම්පානය නොකරන අයටත් පිළිකා සෑදේ. කෙසේ වුවද දුම්පානය කරන්නෙකුගේ පෙනහළු පිළිකා සැදීමේ අවදානම දුම්පානයෙන් වැලකී සිටින්නේකුගේ එම අවදානමට වඩා වැඩි බව (නිරපේක්ෂ සත්‍යයක් නොවූවත්) පුළුල් ලෙස එකඟ විය හැකි දෙයකි. එහෙත්, දැනට දිනකට සිගරැට් 20ක් පානය කරන්නෙකු තව අවුරුදු 5යි මාස 3යි දින 21කින් මිය යන බව කීමට කිසිවෙකුට නොහැකිය. වසර 20ක් ඇතුළත මියයන බව වුවද නිශ්චිතව කිව නොහැක. 2014 දී පෙට්‍රල් ලීටරය ඩොලර් දෙකට යන බව හෝ ඔසී ඩොලරය ඇමරිකන් ඩොලරයට වඩා 50% ක් නගින බව වැනි කරුණක් පර්යේෂණ පත්‍රිකාවක ඉදිරිපත් කරන හැම විටකම එය සඳහන් කරන්නේ සම්භාවිතා අගයක් සහ විශ්වාස සීමාවක්ද (confidence interval) සමඟය. උදාහරණයක් ලෙස $2 [ $ 1.90- 2.10, 90%] ලෙස. විද්‍යාවට මෙවැනි සීමා තිබේ. වෙනත් උදාහරණයක් ගතහොත්, අලුත් වාහනයක් පෙට්‍රල් ලීටරයකින් ධාවනය කළ හැකි කිලෝ මීටර ගණන භෞතික හා රසායනික විද්‍යා සමීකරණ භාවිතයෙන් නිශ්චිතව කිව නොහැකිය. එය බොහෝ විට පදනම් වේයැයි මා සිතන්නේ ප්‍රායෝගික නිරීක්ෂණ (හා ඇතැම් විට සීහුම් නැහැසුම් පිළිසකර කිරීම්) මතය. නිරවද්‍යතාව යම් සීමාවක් තුළ පමණි. එසේ වුවද මේ වාහනය සැලසුම් කිරීමේදී නිශ්චිත භෞතික හා රසායනික විද්‍යා සමීකරණ රැසක් උපයෝගී කරගැනේ. ඕනෑම ප්‍රායෝගික විද්‍යාවක 'නිශ්චිත' මත ඉදිරිපත් කළ හැක්කේ සම්භාවිතා රාමුවක් තුළ පමණි. ඒ නිසා ටක්කකෙටම හරියන අනාවැකි කීමට නොහැකි වීම විද්‍යාවක් වීමට නුසුදුසු කමක් නොවේ. මා සිතන පරිදි යම් කරුණක් විද්‍යාත්මකද යන්නට ඇති නිර්ණායකය, නිගමනයකට පැමිණීමට හේතු වූ සම්මත ක්‍රමවේදයක් තිබීම සහ ඒ ක්‍රමවේදය නිසිලෙස යොදාගත් විට ඕනෑම කෙනෙකුට අදාල ප්‍රතිපලය නැවත ලබා ගත හැකි වීමයි. ජනප්‍රිය මාධ්‍ය තුළ (බටහිර රටවල වුවද) '2014 දී පෙට්‍රල් ලීටරය ඩොලර් දෙකට යන බව හෝ ඔසී ඩොලරය ඇමරිකන් ඩොලරයට වඩා 50% ක් නගින බව වැනි' කරුණු නිශ්චිත කරුණු බව හැඟී යන පරිදි පළවේ. මෙය භාවිතාවේ ප්‍රශ්නයකි.

      Delete
    2. "සිරිමල් සහ මැට්ටාගේ මත සමපාත වුවත්, ඔබේ මතය හා අන් හැම ඉකොනොමැට්ටෙකු ගේ ම මත සමපාත වෙනවාද?"

      මේ ගැන පෙර ලිපියක තරමක් දුරට සාකච්ඡා කර තිබේ.

      http://economatta.blogspot.com/2015/05/blog-post.html

      ලිපියේ මාතෘකාව සහ අවසන් කොටස ඉදිරිපත් කළේ බොහෝ දෙනා එකඟ නොවන, ඇතැම් ආධුනිකයන්ගේ පර්යේෂණ ගැන කතා කිරීමටය. මෙවැනි මූලික 'සොයා ගැනීම්' ලොකුවට පුවත් මවන අතර එක සතියට මිලියන් ගණනින් හිට් වේ. එහෙත්, එවැනි මූලික අඩුපාඩු සහිත පර්යේෂණ වලට ජනප්‍රිය මාධ්‍යයෙන් ඔබ්බට පිවිසීමේ විභවයක් නොමැත. අපේක්ෂා කළ දෙවන කොටස තවමත් ලියවුනේ නැත. (අනෙත් බොහෝ ලිපිද අවසන් වී ඇත්තේ ඇත්තටම අවසන් නොවීය. )

      සෑම ප්‍රායෝගික විද්‍යාවකම නිශ්චිත ක්‍රමවේදයක් මෙන්ම, නිගමන වලට එළඹීමේදී කිසියම් නම්‍යතාවක්ද තිබේ. විශේෂඥයින් කියන දෙයම පිළිනොගෙන තම තමන්ගේ නිගමන වලට එළඹීම වඩා හොඳ ක්‍රමයයි. එහෙත්, එය කළ යුත්තේ නිවැරදි ක්‍රමවේදය තුළ රැඳෙමිනි. සම්මත ආර්ථික විද්‍යා මුලධර්ම හැදෑරීමේ අවස්ථාව ලංකාවේ බොහෝ දෙනාට නොලැබෙන බැවින් ටික ටික හෝ ඒවා එන්නත් කිරීමට මා උත්සාහ දරන අතර වෙනත් අයෙකුට මට වඩා හොඳින් ඒ මූලධර්ම ප්‍රයෝජනයට ගත හැකි විය හැකිය. ඕනෑම ආර්ථික විද්‍යාඥයෙකු නිගමන වලට එළඹීමේදී ඔහු හෝ ඇය තුළ සිටින සාමාන්‍ය පුද්ගල චරිතය ඉදිරියට පැමිණීම නොවැලැක්විය හැක්කකි. මෙය වෛද්‍යවරයෙකු වැනි වෙනත් වෘත්තිකයෙකුට මෙන්ම වඩාත් තාක්ෂණික කටයුත්තක් කරන පරිගණක ක්‍රමලේඛකයෙකුට පවා පොදු දෙයකි.

      Delete
  5. ටිකිරි මොළයක් සහිත දූපත් වැසියෙක් ....July 28, 2015 at 4:15 AM

    em,

    සරම් අදින කොමිස් මුදලාලීලා (මහින්ද චින්තනය) ලංකාවේ ආර්ථිකය විනාශකලේය.

    දැන් ඉතින් අපි කුමක් කරන්න ද ?

    ටයිකෝට් දාපු ආර්ථික විසේ+සංඥලා (මොඩර්න් කොමිස් මුදලාලිලා) දෙතුන්දෙනෙක් පාර්ලිමේන්තු යවා උන්ගේ ගොංකතා TV එකෙන් බලා නිදාගමු .

    ඉතින් ඊට පස්සේ .....

    ආර්ථික ප්‍රශ්න නාථ දෙයියන්ගෙන් විසදාගමු !

    ReplyDelete
    Replies
    1. තහවුරු කළ හැකි ප්‍රමාණවත් සාධක මා සතුව නොමැති නිසා කොමිස් කතා වලට ලොකුවට බර තැබීමට මා මැලි වුවත් පුද්ගලයෙකු වශයෙන් කරුණු සිදුවන ආකාරය මටත් හැඟේ. මෙතෙක් පැවති සෑම රජයක්ම අඩු-වැඩි වශයෙන් මුහුණ දුන් චෝදනාවක් වූයේ ඔවුන් දූෂණය අතින් ඔවුන්ට පෙර පැවති සියළු රජයයන්ට වඩා ඉදිරියෙන් සිටි බවයි. එසේ නොවීනම් ඒ ප්‍රමාණවත් කාලයක් බලයේ සිටීමට නොලැබී ආණ්ඩු කඩා වැටුණු අවස්ථා කිහිපයේදී පමණි. මේ ප්‍රවණතාව ඉදිරියේදී වෙනස්වේයැයි මා නොසිතන්නේ ඒ සඳහා මුල් වන මූලික හේතු වෙනස් වී නොමැති බැවිනි. ලංකාවේ, රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම (විශේෂයෙන්ම ටෙන්ඩර් වලට අදාලව) සේවය කර ලබා ඇති අත්දැකීම් අනුව ලංකාවේ පෞද්ගලික අංශය බොහෝ විට දුවන්නේ රාජ්‍ය අංශය මතය. ලොකු කුඩා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සෑම පෞද්ගලික ආයතනයකම පාහේ රාජ්‍ය අංශයේ ටෙන්ඩර් සඳහා විශේෂඥයින් වන අලෙවි විධායකයෝ හෝ කළමනාකරුවෝ සිටිති. පෞද්ගලිකව දුෂණයට එරෙහි මේ බොහෝ දෙනා ටෙන්ඩරය ලබා ගැනීමට නොකරන දෙයක් නැත. ඒ සඳහා අදාළ ආයතන වල ඉහළ කළමනාකාරිත්වයෙන් ලැබෙන්නේ නොමඳ සහයෝගයකි. ඇතැම් විශාල ලාභ ඇති අංශ වල සාර්ථක අලෙවි විධායකයෝ කාන්තාවෝය. මේ මා පෞද්ගලිකව හොඳින්ම දන්නා තවත් බොහෝ දෙනා දන්නා බව සිතන කරුණුය. මෙයට මා දකින විසඳුම රාජ්‍ය අංශය කුඩා කිරීමයි. එක් පෞද්ගලික ආයතනයකින් වැටුප් ලබමින් වෙනත් ආයතනයකට සේවය කරන්නන්ද ලංකාවේ අඩු නැතත් තරඟකාරිත්වය තුල එවැනි දෙයට ඇත්තේ අඩු ඉඩකි. එහෙත් රාජ්‍ය අංශය මැදිහත් වූ විට මෙවැනි තරඟකාරිත්වයක් නැත.

      Delete
  6. දැන් දෙන්නම් කියලා තියෙන දේවල් දැක්කාම හිනාත් යනවා අැඩෙන්නටත් ඒනවා....

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ට් එකෙන් මතුකරන බරපතල කාරණාවක්ද තිබේ. මේ බොහොමයක් ඡන්ද පොරොන්දු බොහොමයක් ඡන්දදායකයින්ට, දැනට ඇති පසුගාමී වටපිටාව තුළ වුවද, පට්ට ජෝක්ය. මේ ඡන්ද පොරොන්දු වලින් පෙනෙන්නේ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති සම්පාදකයින් සාමාන්‍ය ජනතාව ගැන සිතා සිටින ආකාරයයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget