වෙබ් ලිපිනය:

Wednesday, July 8, 2015

බුෂ්ව ජනාධිපති කළ පන්සිය තිස්හතේ කණ්ඩායම

ඇමරිකාවේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන්නේ මහජනතාවගේ ඡන්දයෙන් වුවත් එය සිදුවන්නේ ලංකාවේදී මෙන් බහුතර ඡන්දයෙන් නොවේ. පළමුව එක් එක් ප්‍රාන්තයේ සහ වොෂින්ටන් ඩීසී අගනුවර පිහිටි ප්‍රදේශයේ ඡන්දදායකයෝ ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීම සඳහා සුදුසුකම් ලබන නිශ්චිත නියෝජිතයින් සංඛ්‍යාවක් තෝරා පත්කරගනිති. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනෙන්නේ මේ නියෝජිතයින්ගේ ඡන්දයෙනි. මේ ක්‍රමය අනුව බහුතර ඡන්දය ලැබූ අපේක්ෂකයා ජනාධිපති නොවීමේ ඉඩකඩක් ඇති අතර කිහිපවරක්ම එය සිදුවී තිබේ.

වර්තමානයේදී මෙසේ එක් එක් ප්‍රාන්තයෙන් සහ වොෂින්ටන් ඩීසී වෙනුවෙන් පත්කරගන්නා මුළු නියෝජිතයින් ගණන 538කි. ඒ අනුව, ඇමරිකාවේ ජනාධිපති වීමට මේ නියෝජිතයින්ගෙන් 270 දෙනෙකුගේ ඡන්ද අවශ්‍ය වේ.

නියෝජිතයින් 538 එක් එක් ප්‍රාන්ත අතර බෙදී යන නිශ්චිත ක්‍රමවේදයක් ඇත. පළමුව, ප්‍රාන්ත 50 වෙනුවෙන් එක් ප්‍රාන්තයකට නියෝජිතයින් දෙදෙනා බැගින් වෙන් කෙරේ. ඇමරිකානු සෙනෙට් සභාවේ නියෝජිතයින් 100දෙනා පත් වන්නේද මේ ආකාරයටය. තවත් 435ක් එක් එක් ප්‍රාන්තයේ ජනගහණයට සමානුපාතිකව සහ සෑම ප්‍රාන්තයකටම අඩු වශයෙන් එක් නියෝජිතයෙකු ලබා දෙමින් වෙන් කෙරේ. ඇමරිකානු නියෝජිත මන්ත්‍රී සභාවේ සාමාජිකයින් 435 ප්‍රාන්ත අතර බෙදී යන ආකාරයටමය. මේ අනුව ඇමරිකානු ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ බලය ඇති 'ඉලෙක්ටොරල් කොලේජ්'හි සාමාජිකයින් 535ක් පත් වන්නේ ප්‍රාන්ත 50 නියෝජනය කරමින් වන අතර සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී සභාවේ එකතුවක් වන ඇමරිකානු කොන්ග්‍රසය තුළ එක් එක් ප්‍රාන්තය නියෝජනය කරන සාමාජිකයින් ගණනට සමාන සාමාජිකයින් ගණනක් ඉලෙක්ටොරල් කොලේජ්‍ නියෝජිත කණ්ඩායම සඳහාද පත්වේ. මේ නියෝජිත කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් තිදෙනා වොෂින්ටන් ඩීසී අගනුවර පිහිටි වෙනත් කිසිදු ප්‍රාන්තයකට අයත් නොවන ප්‍රදේශය නියෝජනය කරති.

වත්මන් මැතිවරණ ක්‍රමය අනුව, එක් එක් ප්‍රාන්තය සතු (ප්‍රාන්ත දෙකක පමණක් තරමක වෙනසක් ඇතත්) නියෝජිත ගණන මුළුමනින්ම පත්වන්නේ අදාළ ප්‍රාන්තයේ බහුතර ඡන්දය හිමිකරගන්නා දේශපාලන පක්ෂයෙන්ය. වොෂින්ටන් ඩීසීහිද මෙසේමය. පිළිවලින් සාමාජිකයින් සිවුදෙනෙකු හා පස්දෙනෙකු නියෝජනය කෙරෙන මේන් සහ නෙබ්‍රස්කා ප්‍රාන්ත වල පමණක් ප්‍රාන්තයේ බහුතර ඡන්දයෙන් නියෝජිතයින් දෙදෙනා බැගින්ද, ප්‍රාන්තය තුළ මැතිවරණ දිස්ත්‍රික්ක තුළ බහුතර ඡන්දයෙන් ඉතිරි සාමාජිකයින්ද පත් කරගැනේ.

විය යුතු පරිද්ද්දෙන්ම, ඉලෙක්ටොරල් කොලේජ්‍හි සංයුතියේ ජනගහණය වැඩි කැලිෆෝර්නියා, ටෙක්සාස් සහ නිව්යෝර්ක් වැනි ප්‍රාන්ත වන නියෝජනය විශාලය. මේ අනුව, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී සෛද්ධාන්තිකව මේ ප්‍රාන්ත වලට ඉලෙක්ටොරල් කොලේජ්‍හි වැඩි ආන්තික බලයක් හිමිවේ. අනෙක් අතට ජනගහණය අඩු ප්‍රාන්ත වලට අඩුම වශයෙන් නියෝජිතයින් තිදෙනෙකු හිමිවන නිසා මේ ප්‍රාන්ත වල ඡන්දදායකයින්ට ඉලෙක්ටොරල් කොලේජ්හි වැඩි නියෝජනයක් හිමි වේ. අවසාන ප්‍රතිඵලය ලෙස ඇමරිකානු ජනාධිපතිවරණදී භාවිතා කරන සෑම ඡන්දයක්ම නෛතිකව කෙසේ වෙතත් ආන්තික තල්ලුවක් යෙදීමේ හැකියාව අනුව වටිනාකමින් සමාන නැත.

ප්‍රබල ද්විපක්ෂ ක්‍රමයක් ඇති ඇමරිකාවේ දැනට බලයේ සිටින ඩිමොක්‍රටික් පක්ෂය හා රිපබ්ලිකන් පක්ෂය හැර වෙනත් සුළු පක්ෂයකට නියෝජනයක් ලබා ගැනීමට ඇත්තේ ඉතා අඩු ඉඩකඩකි. මේ වන විට ඇමරිකාවේ බොහොමයක් ප්‍රාන්ත තුල දේශපාලන බලය මේ පක්ෂ දෙකෙන් එකක් වෙත ධ්‍රැවීකරණය වී තිබේ. සුදු ජාතිකයින් බහුතරයක් වෙසෙන, ග්‍රාමීය, කෘෂිකාර්මික ප්‍රදේශ වලදී රිපබ්ලිකන් පක්ෂය ඉදිරියෙන් සිටින අතර සුළුතර ඇමරිකානුවන් වැඩි, නාගරික ප්‍රදේශ වල ඩිමොක්‍රටික් පක්ෂය බලවත්ය. ඉලෙක්ටොරල් කොලේජ්‍හි වැඩි නියෝජනයක් ඇති කැලිෆෝර්නියා සහ නිව්යෝර්ක් ප්‍රාන්ත පසුගිය කාලයේ දිගටම ඩිමොක්‍රටික් පක්ෂය විසින් ජයග්‍රහණය කර ඇති අතර ටෙක්සාස් ප්‍රාන්තයේ ජයග්‍රහණය දිගටම හිමි වී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂයටය.

බහුතරය ලබාගන්නා පක්ෂයට ප්‍රාන්තයක නියෝජනය මුළුමනින්ම හිමිවන ඇමරිකානු ඡන්ද ක්‍රමය යටතේ ඡන්ද කාලයේදී මෙවැනි ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් බලකොටු වෙත යොමුවෙන්නේ අඩු අවධානයකි. මේ ප්‍රාන්තවල ඡන්දදායකයකු සතුවන්නේ ඉතා සුළු ආන්තික බලයකි. උදාහරණයක් වශයෙන්  අවසන් වරට පැවැත්වුණු ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය කැලිෆෝර්නියා ප්‍රාන්තයෙන් වැඩි ඡන්ද ලක්ෂ 30ක්ද, නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වැඩි ඡන්ද ලක්ෂ 20ක්ද ලබාගත් අතර රිපබ්ලිකන් පක්ෂය ටෙක්සාස් ප්‍රාන්තයෙන් වැඩි ඡන්ද ලක්ෂ 12ක් ලබා ගත්තේය. එහෙත්, මේ ප්‍රාන්තවල ඉලෙක්ටොරල් කොලේජ්‍හි මුළු නියෝජනයම (පිළිවෙලින් නියෝජිතයින් 55ක්, 29ක් හා 38ක්) ලබාගැනීමට අවශ්‍ය වූයේ එක් වැඩි ඡන්දයක් පමණි.

එක් පක්ෂයක ජයග්‍රහණය ස්ථිර කැලිෆෝර්නියා වැනි ප්‍රාන්තයක ඡන්දදායකයින් කිහිපයකගේ තීරණය වෙනස් කිරීමෙන් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් කළ නොහැකි බව පක්ෂ දෙකේම ක්‍රියාකාරීහු මෙන්ම ඡන්දදායකයෝද දනිති. මේ නිසා මෙවැනි ප්‍රාන්ත වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පක්ෂ දෙකෙන්ම වෙන් වන්නේ අඩු පිරිවැයකි. එමෙන්ම, ඡන්දය භාවිතා කිරීමට ඇත්තේද අඩු උනන්දුවකි.

ඇමරිකානු ජනාධිපතිවරණයකදී වැඩි අවධානයක් යොමු වන්නේ 'දෝලන ප්‍රාන්ත' ලෙස හඳුනා ගැනෙන පක්ෂ දෙකටම ජයග්‍රහණය කිරීමේ යම් විභවයක් ඇති ප්‍රාන්ත වෙතය. මෙවැනි ප්‍රාන්ත අතරින් වැඩිම නියෝජනයක් ඇති, ඒ නිසා වැදගත්ම, ප්‍රාන්තය ෆ්ලොරිඩා ප්‍රාන්තයයි. බොහොමයක්ම මැතිවරණ වලදී ෆ්ලොරිඩා ප්‍රාන්තය ජයගන්නා පක්ෂයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා පත්වී තිබේ.




වසර  15කට පෙර 2000 වසරේදී පැවති 54වන ඇමරිකානු ජනාධිපතිවරණයෙදී ප්‍රධාන අපේක්ෂකයන් වූයේ රිපබ්ලිකන් පක්ෂයේ ජෝජ් බුෂ් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ඇල් ගෝර්ය. වෙනත් මැතිවරණ වලදී මෙන්ම මේ මැතිවරණයේදීද ෆ්ලොරිඩා ප්‍රාන්තය මුල සිටම වැඩි අවධානයකට ලක් විය. මැතිවරණ ජයග්‍රහණය සඳහා ඉලෙක්ටෝරල් කොලීජියේ ඡන්ද 270ක් ලබා ගත යුතු වූ අතර එයින් ඡන්ද 25ක හිමිකම ෆ්ලොරිඩා නියෝජිතයින් සතු විය. කරට කර සටනක් තිබුණු ෆ්ලොරිඩාහි ජයග්‍රහණය හිමි වන පක්ෂයෙන් මේ නියෝජිතයින් 25 දෙනාම පත් වේ.

ෆ්ලොරිඩා ප්‍රාන්තය හැර අනෙකුත් ප්‍රාන්ත සියල්ලේ ප්‍රතිඵලය අනුව අවසන් ප්‍රතිඵලය අවිනිශ්චිතව පැවතියේය. ඒ වන විට තත්ත්වය පහත පරිදි විය.
ඩිමොක්‍රටික් නියෝජිතයින් ගණන- 267
රිපබ්ලිකන් නියෝජිතයින් ගණන- 246

මුළු ඡන්ද ගණන අනුවද ඡන්ද ලක්ෂ පහමාරකින් පමණ ඉදිරියෙන් සිටියේ ඩිමොක්‍රටික් පක්ෂයයි.

මේ වන විට මුළු ඡන්ද ගණන අනුව මෙන්ම ඉලෙක්ටෝරල් කොලීජියේ නියෝජිත ඡන්ද අනුවද ඉදිරියෙන් සිටි ඇල් ගෝර්ට ඇමරිකාවේ හතලිස් තුන්වන ජනාධිපතිවරයා වීමට අවශ්‍ය වූයේ තවත් නියෝජිත ඡන්ද තුනක් පමණි. බුෂ්ට තවත් ඡන්ද විසිහතරක් අවශ්‍ය විය. කෙසේ වුවද, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බහුතර ඡන්ද ලබාගන්නා පක්ෂයේ අපේක්ෂකයාට නියෝජිත ඡන්ද විසිපහක් හිමිවන බැවින් හතලිස් තුන්වන ඇමරිකානු ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ආන්තික තල්ලුව ඇල් ගෝර් වෙතට හෝ ජෝජ් බුෂ් වෙතට යෙදීමේ හැකියාව ෆ්ලොරිඩා ඡන්දදායකයා සතුවිය.

කිහිප වරක් ගණන් කිරීමෙන් පසුව ප්‍රකාශයට පත් කෙරුණු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නිල ප්‍රතිඵලය මෙවැන්නකි.
ඩිමොක්‍රටික් පක්‍ෂය - 2,912,253
රිපබ්ලිකන් පක්‍ෂය- 2,912,790

වැඩි ඡන්ද 537ක් ලබා ගත් රිපබ්ලිකන් පක්ෂයට ෆ්ලොරිඩාවෙන් නියෝජිතයින් 25 දෙනෙකු හිමිවීමත් සමඟ ඉලෙක්ටොරල් කොලීජියේ රිපබ්ලිකන් නියෝජනය 271 දක්වා ඉහළ ගියේය. මෙය අවශ්‍ය ප්‍රමාණයට වඩා යාන්තම් එකකින් වැඩිය. එහෙත් රටේ බහුතර ඡන්දය හිමිව තිබුණේ ඩිමොක්‍රටික් පක්ෂයටය.

ඇමරිකන් ඡන්ද ක්‍රමයේ ඇති එකම දුර්වලතාව බහුතර ඡන්දය ලබන්නා ජනාධිපති නොවීමේ හැකියාව පමණක් නොවේ. ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා එක් එක් ප්‍රාන්තයෙන් තෝරා පත් කරගන්නා නියෝජිතයින් තමන් පක්ෂපාතිත්වය දක්වා සිටි ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන්ම ඡන්දය පාවිච්චි නොකිරීමේ අවදානමක්ද මේ ක්‍රමය තුළ තිබේ. එසේ කිරීමට ඇතැම් ප්‍රාන්ත වල නීතිමය බාධා තිබුණත් ප්‍රාන්ත සියල්ලේම එවැනි බාධාවන් නැත. මේ අනුව රිපබ්ලිකන් අපේක්ෂකයින් තිදෙනෙකු සිය පක්ෂපාතිත්වය වෙනස් කළේ නම් ප්‍රතිඵලය වෙනස් වන බව කිවයුතු නොවේ. එවැනි සිදුවීම් ඇමරිකාවේ විරල වුවද සිදුවුණු අවස්ථා තිබේ.

කෙසේවුවද, ඉලෙක්ටොරල් කොලීජියේ වැඩි ඡන්ද හිමිකරගත් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ජෝජ් වෝකර් බුෂ් ඇමරිකාවේ හතළිස් තුන්වන ජනාධිපති ලෙස පත් විය. ඔහුට අපේක්ෂා කළ පරිදිම ඉලෙක්ටොරල් කොලීජියේ ඡන්ද 271ක් හිමි විය. එක් ඩිමොක්‍රටික් නියෝජිතයෙකු ඡන්දය ලකුණු නොකර හිස් පත්‍රිකාවක් දැමීම නිසා ඩිමොක්‍රටික් අපේක්ෂක ඇල් ගෝර්ට හිමිවූයේ ඡන්ද 266ක් පමණි.

නීතිය අනුව 43වන ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝජ් ඩබ්ලියු බුෂ්ව තෝරා පත් කර ගත්තේ ඡන්දය අවලංගු කළ වොෂින්ටන් ඩීසී නියෝජිතයා හැර ඉලෙක්ටොරල් කොලිජියේ ඉතිරි නියෝජිතයින් 537දෙනාය. එහෙත්, ඇමරිකා එක්සත් ජනපදයේ බහුතර ඡන්දදායකයින්ගේ කැමැත්තටද එරෙහිව සැබැවින්ම ඔහුව තෝරා පත් කර ගත්තේ ඒ සඳහා ආන්තික තල්ලුව ලබා දුන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ නම නොදන්නා ඡන්දදායකයින් 537දෙනෙකි.


(ඡායාරූප අන්තර්ජාලයෙනි)

7 comments:

  1. අනේ උන්ගේ ප්‍රජාතන්ත්‍රවාදේ...!!!

    මං අහලා තියෙන විදියට ජේආර් පප්පාත් ඔය ඉලෙක්ටොරල් කොලීජි ක්‍රමය ගැනත් සලකා බැලුවා 1978 ව්‍යවස්ථාව හදන කාලේ.

    ලංකාවේ 2015 ජනාධිපති ඡන්ද ප්‍රතිඵලයට පලාත් සභා අනුව මේ ක්‍රමය දාලා හැදුවොත් දිනන්නේ මරා නේද?

    ReplyDelete
    Replies
    1. ඉලෙක්ටොරල් කොලේජ්ම ඕනෑ නෑ. ජනවාරි ඡන්ද ටික දැනට තියෙන සමානුපාතික ක්‍රමයටම බෙදුවත් ලැබෙන්නේ වෙනස් ප්‍රතිපලයක්.

      Delete
  2. මටත් මතකයි ඔය ඡන්දෙ . එදා ඇල්ගෝර් දිනුවනම් ඉරාක යුද්දෙ සිදුනොවී ලෝක ඉතිහාසය වෙනස් වෙන්නත් ඉඩ තිබුන නේද

    ReplyDelete
    Replies
    1. සමහර පොඩි දේවල් වලින් අනාගතය මුළුමනින්ම වෙනස් වෙන්න පුළුවන්. 1989 ජවිපෙ වර්ජනය සහ තර්ජන නොතිබුනානම් බොහෝවිට දිනන්නේ ප්‍රේමදාස නෙමෙයි සිරිමාවෝ. සිරිමාවෝ දිනුවානම් උතුරේ ප්‍රශ්නය සමහර විට මීට කලින් විසඳෙන්නත් තිබුණා. එහෙම වුණානම් ගොඩක් වෙලාවට ප්‍රේමදාස නොමැරී ජීවත් වෙලා 1994දී හෝ පසුව ජනාධිපති විය හැකිව තිබුණා. චන්ද්‍රිකා එතකොට නොවැදගත් චරිතයක්. ලලිත්, ගාමිණීලා ජීවත් වුණානම් රනිලුත් මේ තරම් උඩට එන්නේ නැහැ. කොහොම වුණත්, නොවුන දේවල් මොන විදිහට විය හැකිව තිබුණද කියලා අපිට හරියටම තීරණය කරන්න බෑ. වැදගත් කරුණ හැම පොඩි මිනිහෙකුගේ පොඩි තීරණයකින්ම ලෝක ඉතිහාසය වෙනස් විය හැකියි.

      Delete
  3. මෙතන 537 දෙනෙක් නෙමෙයි එක්කෙනෙක් නේද? එක වැඩි ඡන්දයක් ආපු ගමන්ම ඒ පැත්ත දිනනවානෙ. ඉතින් ඉතුරු 536 අවශ්‍ය නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්, ෆ්ලොරිඩා වලින් එක වැඩි ඡන්දයක් ලැබුණත් බුෂ් තමයි දිනන්නේ. බුෂ්ට ඡන්දය දුන් අන්තිම 537න් 269කගේ ඡන්ද ඇල් ගෝර්ට මාරුවුනානාම් දිනන්නේ ඇල් ගෝර්.

      Delete
  4. පාලිත පෙරේරා - ටොරොන්ටෝOctober 28, 2016 at 12:44 PM

    බොහොමත්ම ස්තුතියි!....දැන් තමයි නිසි අවබෝධයක් ලැබුණේ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: