Monday, July 13, 2015

පරම්පරා ගණනක් තිස්සේ අතේ පැලවෙන සබරගමුවේ ගල් පැලය

ඉකොනොමැට්ටා දවස් දෙකකට කලින් සබරගමුවේ සමන් දේවාලය පැත්තේ ගියේය. නොමිනේෂන් දීමට පෙර පූජා වට්ටියක් තියා භාරයක් වීමට නොවේ. අලුතින් වාහනයක් ගත් නිසාද නොවේ. හරියටම කියනවානම් හැබැහින්මත් නොවේ.

ඉකොනොමැට්ටා සමන් දේවාලේ ගියේ යාංහෑල්ල ලියන සුරංගගේ වටවංදනා බස් එකේය. බස් එකට නැගගත් පසු දශක දෙකතුනක් අතීතයට යන්නට ගතවන්නේ කලවානේ සිට මානානට යනවාටත් වඩා ඉතා කෙටි කාලයකි.

ඔය කියන බස් ලියවිල්ලේ සමන් දේවාලයේ ගල් පැලය ගැනත් සඳහනක් තිබුණේය. ඒ ගැන රසික ප්‍රතිචාර කිහිපයක්ද පහළින් තිබුණේය. Praසන්ன සටහන් කර ඇති පරිදි ඔහු සමඟ "කතාකල වයස අවුරුදු 40ක පමණ මහත්මයෙකු" ඔහුට පවසා ඇත්තේ "ඔහු කුඩා කල මෙම ගල කුඩාවට තිබු බවක්ය.".

Praසන්னට හමු වූ ආකාරයේ මහත්තුරු සහ නෝනාවරු මහ ගොඩක් කාලයක් තිස්සේ ඉකොනොමැට්ටාටත් හමු වී තිබේ. සමහර අය වැඩිහිටි ඥාතීන්ය.

ඉකොනොමැට්ටා ඔය ගල්පැලය මුලින්ම දකින කොට Praසන්ன සඳහන් කරන වයස අවුරුදු 40ක පමණ මහත්මයා බොහෝවිට ඉපදී නැත. මතක හැටියට ඒ කාලයේදීත් ඔය ගල් පැලය තබා ඇති වීදුරු පෙට්ටිය එයට පොඩි වැඩිය. ඒ නිසා කොළ නැති ගල් පැලයේ අන්තිම දල්ල වීදුරු පෙට්ටියේ වහලයේ වැදී නතර වී තිබුණු අතර ගල්පැලය ඇඹරී දඟර ගැසී තිබුණේය. බැලූ බැල්මටම පේන විදිහට ගල්පැලය පෙට්ටිය කඩා ගෙන එලියට එන්නට පෙර එය වඩා ලොකු පෙට්ටියක තැන්පත් කිරීමට කාලය හරි වගේය.

අවුරුදු හතළිහකට පමණ පෙර හුජ්ජ කොල්ලෙකු වූ ඉකොනොමැට්ටා ඔය ගල්පැලය මුලින්ම දුටු කාලයේ එවකට වයස අවුරුදු 40ක පමණ වූ මහත්මයෙක් ඉකොනොමැට්ටාට කී පරිදි ඔහු කුඩා කාලයේ මේ ගල් පැලය අඟල් හත අටක පොඩි පැලයකි. මේ කතාවෙන් උත්කර්ෂයට පත්වූ ඉකොනොමැට්ටාට ගල්පැලයේ මූලාරම්භය ගැන දැනගැනීමට ලොකු ඕනෑකමක් ඇති වූ නිසා එවකට වයස අවුරුදු 70ක පමණ වූ ආච්චි කෙනෙක්ගෙන් වැඩි විස්තර විමසීමට සිදුවිය. ඈ තහවුරු කළ පරිදි ඇයගේ කුඩා කාලයේදී මේ මේ ගල්පැලය අඩි දෙකකට වඩා උස නැත.

මේ අනුව ගල්පැලය පැලවෙන්නේ අතේ මිස වීදුරු කූඩුව ඇතුලේ නොවන බව ඉකොනොමැට්ටා තහවුරු කරගත්තේ ඉතා කුඩා කාලයේදීමය. ඔය කාලයේ පණ්ඩිත කතා කියා නිතර කට වරද්දාගන්නා ඉකොනොමැට්ටා ගල්පැලය ගැන වැඩිපුර අදහස් පළ නොකර හිටියේ සමන් දෙවියන්ගේ උදහස කෙසේ වුවත් ගෙදර වැඩිහිටියන්ගේ උදහසට ලක්වීමට තිබුණු බය නිසාය.

ඉකොනොමැට්ටා අවසන් වරට සමන් දේවාලයට ගියේ අවුරුදු දෙකකට පෙරය. අවුරුදු හතළිහක් තිස්සේ වැඩී තිබුණු ගල්පැලය ඒ වනවිටත් ඉකොනොමැට්ටාට පෙනුණේ හුජ්ජ කොල්ලා කාලයේ දැක්කාට වඩා වෙනස් අයුරකින් නොවේ.

කෙසේවුවද, අනූව දශකයේ ආරම්භයේදී ගත්, අවුරුදු විසිපහක් පමණ පැරණි ගල්පැලයේ ඡායාරූපයක් ඉකොනොමැට්ටා සතුව තිබේ. මෙය ගත්තේ ඉකොනොමැට්ටා පළමු උපාධිය හැදෑරු සරසවියේ ඉකොනොමැට්ටාට වඩා කණ්ඩායම් කිහිපයක් උඩින් සිටි ජේෂ්ඨ උත්තමයෙක්ව ඉකොනොමැට්ටා විසින් සමන් දේවාලය පෙන්වීමට රැගෙන ගිය අවස්ථාවකදී ඔහු විසිනි. ඒ කාලයේ ඉකොනොමැට්ටාට කැමරාවක් නොතිබුණු නිසා ඔහුගේ ඡායාරූපයේ මුද්‍රිත  පිටපතක් ඉකොනොමැට්ටාටත් ලැබුණේය. උඩින්ම දමා ඇත්තේ ඒ ඡායාරූපයේ ස්කෑන් පිටපතකි.

වසර දෙකකට පෙර අවසන් වරට එහි ගිය අවස්ථාවේදී කැමරාව කරේම තිබුණත් අධික තදබදය නිසා ඡායාරූපයක් ගැනීමට නොහැකි විය. සමන් දේවාලයට යන කෙනෙකුට ඉහත ඡායාරුපය සමඟ සසඳා ගල්පැලයේ වසර විසිපහක වර්ධනය හරියටම දැනගත හැකිය.

වටවන්දනාකරු සුරංගයන් විසින් සඳහන් කර ඇති මගේ අවධානයට මින් පෙර ලක් වී නොතිබුණු කරුණක් වූයේ සමන් දේවාලයේ පිං පත්තර නැති බවයි. එමෙන්ම, සමන් දේවාලයේ භාරකරුවන් ගල්පැලය පෙන්වමින් මුදල් ගරන්නේ නැති බවද කිවයුතුය. (මගේ අදහස පරිදි සමන් දේවාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය දේවාලයට ලැබෙන පුදපඬුරු නොව දේවාලය සතු ඉඩකඩම් වලින් ලැබෙන මැණික් සහ අනෙතුත් ආදායම්ය.)

'ගල්පැලය' යන නාමපුවරුවට අමතරව එය තවමත් වැවෙන බවට වූ සඳහනක් මා සමන් දේවාලයේ කොතැනකවත් දැක නැත. ගල්පැලය වැවෙන්නේ ගල් වලට දළු ලෑ හැකි සරු පසක් තවමත් ඇති අපේ සංස්කෘතික වටපිටාවේය. ඔය පසට තවමත් පෝර වැටේ.

සබරගමුවේ පතලකින් හමු වූ සැබෑවටම වර්ධනය වන ගලක් මා සියැසින්ම දැක තිබේ. මේ ගල මතුපිට පීරකින් ඉරක් සටහන් කර දින කිහිපයක් යන විට ඒ ඉර මැකී යයි. (මා දන්නා මැණික් ව්‍යාපාරිකයෙකු වෙත අලෙවිය සඳහා මේ ගල රැගෙන එනු ලැබූ අතර මිල දී ගැනීමට පෙර දින කිහිපයක් ගල අගුළු ලෑ වීදුරු අල්මාරියක තබාගෙන ඔහු මේ බව තහවුරු කර ගත්තේය.) මෙය කිසියම් කොරල් විශේෂයක් වීදැයි මා හරියටම දන්නේ නැත. පාෂාණයේ රසායනික සංයුතිය අනුව වායුගෝලයෙන් අම්ලකර හෝ වෙනත් වායුවක් අවශෝෂණය කර ගනිමින් වර්ධනය විය හැකි වීම විශාල පුදුමයක් නොවේ.

සමන් දේවාලයේ ඇති ගල පෙනෙන ආකාරයට පෙර සඳහන් කර ආකාරයේ ගලක් නොවේ. මා සිතන ආකාරයට ලාවා ඝනීභවනය වීමේදී පොළොවේ ඇති නාලාකාර සිහින් සිදුරක් තුළ ලාවා එකතු වී මෙවැනි පාෂාණමය ආකෘතියක් ස්වභාවිකව නිර්මාණය විය හැකිය. කුඹුරක මැණික් සොයන පතල්කරුවෙකුට මෙවැන්නක් හමුවී දේවාලයට පූජා කරන්නට ඇත. මේ ගල් පැලය දැන් පෙට්ටිය කැඩෙන තරමට ලොකු වී ඇත. ඒත් ගල් පැලය එය තිබිය යුතු ලොකු පෙට්ටියකට දමන්නට තවමත් සූදානමක් නොපෙනේ.
ගල්පැලය අමතක කලත් රත්නපුරේ මහා සමන් දේවාලය පුරා විද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයකි. මේ ස්ථානය කලක් පෘතුගීසි බලකොටුවක්ව පැවතී ඇත. දෙවන ඡායාරූපයේ ඇති සියවස් හතරක් පමණ පැරණි ගල් කැටයමින් සැමරෙන්නේ පෘතුගීසි කපිතාන් වරයෙකු වූ සිමාවෝ පින්හාවෝ විසින් පෘතුගීසින්ට විශාල තර්ජනයක්ව සිටි සිංහල රණශූරයෙකු වන කුරුවිට රාළව යටත් කර ගනු ලැබීමයි.

19 comments:

  1. //"ගල්පැලය වැවෙන්නේ ගල් වලට දළු ලෑ හැකි සරු පසක් තවමත් ඇති අපේ සංස්කෘතික වටපිටාවේය"// නියම කතාව. ගල් පැලය ලොකු පෙට්ටියකට දැමු පසු 40ක 50ක කෙනෙකුට එය නැවත උස ගිහින් ඇති බවට පෙන්නටත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඕනෑවට වඩා ලොකු වෙන්ඩ කලින් අඩි හයක පෙට්ටියකට නොදැම්මොත් ගල්පැල විනාශකාරී වියහැකියි.

      Delete
    2. එකඟයි. මේ ඡන්දෙදිවත් ඒක කරමු...

      Delete
  2. ඔය 40 මහත්තයා හමුඋනේ මට නොවන බවත් නඩේ ගුරා බ්ලොග් එකට ලියන දිලාන්ට බවත් මුලින්ම කියන්න ඕනෑය. ඒ බව -නඩේ ගුරා- ලෙස අන්තිමට සඳහන් කර ඇත.

    දේවාලයේ ආධාර එකතු කිරීමක් සිදු නොකරන බව මටත් කල්පනා වූයේ සුරංගගේ ලියැවිල්ලෙන් පසුවය. දේවාලය සතු ඉඩම් මේ පැතිවලත් ඇති නිසා ඒවායින් ලබන ආදායම දේවාලයේ කටයුතු සඳහා ප්‍රමාණවත් ඇති බව මගේත් හැඟීමයි.

    අවුරුදු 70 ආච්චිට අඩි දෙකක් වූ පැලය අවුරුදු 40 මහත්තයාට අඟල් හත අටක් ලෙස පෙනුනේ පැලය බලාගන්නා අදාල පුද්ගලයින් එය කප්පාදු කර තිබූ නිසා විය හැකිය.
    අපේ අය ගල්, මුල්ගල් පැළ කිරීමට බොහෝ දක්ෂතා දක්වන නිසා තව අනාදිමත් කාලයක් ඔය ගල් පැළය වීදුරු කූඩුව තුල වර්ධනය වනු ඇත.

    ReplyDelete
    Replies
    1. තවත් දෙයක් නම් දේවාලයට කීප වතාවක් ගොස් ඇති මුත් ඔය කියල පැළය දෙස ඕනෑකමින් බැලීමක් මා කිසිවිටෙකත් සිදුකර නොමැත.

      Delete
    2. ස්තුතියි Praසන්ன! නඩේගුරාව මට හමුවී තිබුණේ නැහැ. කියවන්න ඕනෑ.

      බලාගන්න අය ඕක කප්පාදු කරන්නේ නැහැ. ගල වැවෙන බව හිතන්න ගොඩක් අය (යටි හිතින් හරි) කැමතියි. මා පළ කර ඇති ඔය ඡායාරූපය ගන්නා කාලයේ ගල් පැලය පොඩියට තියෙනවා 'දැකපු' අය තවමත් ඕනෑ තරම් හොයා ගත හැකියි. ගොඩක් තරුණ අය පවා.

      තව ඔය සමන් දේවාලයේ තියෙනවා ලිඳක්. ඕකට නෙළුම් මලක් දැම්මාම හැතැම්ම හත අටක් එහායින් තියෙන පොත්ගුල් විහාරයේ (ඔබ දන්නවා ඇති, මේ ස්ථානය) ඇති තවත් එවැනිම ළිඳකින් මතු වන බවත් මේ වගේම කතාවක්. අන්තිමට යන කොටනම් ලිඳ බැලිය නොහැකි ලෙස ආවරණය කරලයි තිබුණේ. ඔය දෙවෙනි කතාවටනම් සමහර විට පදනමක් ඇති. පැරණි උමඟක් වැනි.

      Delete
    3. මාත් ඔය ළිඳේ කතාව අහල තියෙනව. අපේ අය නෙළුම් මල් වෙනුවට සමන් දේවාලෙ තියෙන ඔක්කොම කුණු පොත්ගුල් විහාරෙට යවන්න ළිඳට දාන හින්ද වෙන්නැති ඕක ආවරණය කරන්න ඇත්තෙ.

      Delete
    4. ඇත්තටම ඒකම තමයි සිදු වෙලා තියෙන්නේ.

      Delete
  3. /* කලවානේ සිට මානානට යනවාටත් වඩා ඉතා කෙටි කාලයකි. */

    කොච්චර කියලා නං ගිහින් ඇද්ද කලවානේ සිට මානානට!

    ReplyDelete
    Replies
    1. කලවානෙන් බැහැල මානානට නොගිහින් ආපහු ආපු වෙලාවල් වැඩියිද මන්දා...

      Delete
  4. /* අවසන් වරට එහි ගිය අවස්ථාවේදී කැමරාව කරේම තිබුණත් අධික තදබදය නිසා ඡායාරූපයක් ගැනීමට නොහැකි විය. */

    ගල් පැලේ ගැන විතරක් නොවෙයි මේ කතාව එහෙනං ගල් ආඳෙක් ගැනත් එක්කයි!

    ReplyDelete
    Replies
    1. ගල් ආඳා වැඩ ගොඩක් තියෙනවා. තවම ලියල නෑ.

      Delete
  5. /* පෘතුගීසි කපිතාන් වරයෙකු වූ සිමාවෝ පින්හාවෝ විසින් පෘතුගීසින්ට විශාල තර්ජනයක්ව සිටි සිංහල රණශූරයෙකු වන කුරුවිට රාළව යටත් කර ගනු ලැබීමයි. */

    ජා රටේ සෙන්පතියා, එංගලන්ත සභාවේ කුරුවිට රාළව පරද්දයිද මන්දා!

    ReplyDelete
    Replies
    1. පේන ගණිතය අනුව එහෙම නොවෙයිම කියන්නනම් බැහැ. ඒක වලක්වා ගන්නනම් කුරුවිට රාලටත් ජා අවි පාවිච්චි කරන්නම වෙනවා. විනාශකාරී ජා අවි පාවිච්චි නොකරන්න පොරොන්දු වෙලා සටනට එන කුරුවිට රාලට අරමුණ ඉටු කර ගැනීමට ජා අවි පාවිච්චි කළ යුතුව තිබීමේ උභතෝකෝටිකයක් තිබුණත් එහෙම නොකළොත් ආපහු මුලට යන්න වෙනවා.

      Delete
  6. සමන් දේවාලෙට ගියත් ගල් පැලයක් දැක්කෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඕක ඔහේ පැත්තක තියෙනවා මිස සමන් දේවාලයෙන් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. ඒකත් එක විදිහක ප්‍රවර්ධනය කිරීමක් තමයි.

      Delete
  7. සිමාවෝ කකියන එකෙන්ද දන්නෙනෑ සිරිමාවෝ නම හැදුනෙ.. රත්වත්තලා සබරගමුවෙනෙ

    ReplyDelete
    Replies
    1. සිමාවෝ පින්හාවෝ (Simão Pinhão) කියන එක බොහොම සාමාන්‍ය පෘතුගීසි නමක්. Simão කියන්නේ සයිමන් කියන නමේ පෘතුගීසි ආකාරය. පෘතුගීසින් 50-60ක් පමණ කඩුගා දමා ඇති රණ ශුරයෙක් වන කුරුවිට රාළ ඔවුන්ගේ බය උපදවන සතුරෙක්. යාපාපටුන ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවති සටන් රැසක් සාර්ථක ජයග්‍රහණයකන් කරා මෙහෙයවන සිමාවෝත් ඉතා දක්ෂ සෙනෙවියෙක්. සිමාවෝ විසින් කුරුවිට රාළව යටත් කරගැනීම සුවිශේෂී යුද ජයග්‍රහණයක් ලෙස සැමරෙන්නේ මේ නිසයි. සතුරෙකු වුවත් කුරුවිට රාළගේ රණකාමීත්වය පෘතුගීසින් විසින්ද අගය කෙරෙනවා.

      සිරිමාවෝගේ උපන් නිවස වන මහවලතැන්න වලව්ව තිබෙන්නේ බලංගොඩ නගරයට ආසන්නව. ඇගේ නම ශ්‍රීමා යන නමට ගෞරවාර්ථයක් එක් කර තනාගෙන ඇති බවයි මගේ අදහස. බාන්ස් රත්වත්තේ සිය දරුවන්ට නම් තැබීමේදී මැකී, ක්ලිෆර්ඩ් වැනි ඉංග්‍රීසි නම් වගේම සිරිමාවෝ, සීවලී වැනි පසුගිය සියවසේ මුල් කාලයේදී එතරම්ම ප්‍රචලිතව නොතිබුණු සිංහල ඌරුවේ නමුත් යොදා ගෙන තිබෙනවා.

      Delete
  8. මේ නිර්මාණය පෘතුගීසි කපිතාන් සයිමන් පිඤ්ඤෝ විසින් යාපනේ පාලක පුවිරාජ පණ්ඩාරම් පරාජය කරන අවස්ථාව දක්වන මුර්තියක්

    රත්නපුර මහ සමන් දේවාලයේ පිහිටි පෘතුගීසි නිර්මාණය
    http://eatuwawa.blogspot.com/2013/03/stone-sculpture-of-portuguese-captain.html

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget