Friday, July 17, 2015

ඇමරිකන් මැදිහත්වීම සහ ගණිකාවගේ ශේෂ පත්‍රය

ඉකොනොමැට්ටා ඊයේත් කළේ ණය ගැන කතාකිරීම මිස හෝටල් ප්‍රශ්නය විසඳීම නොවේ. ප්‍රශ්න විසඳනවාට වඩා ප්‍රශ්න ගැන කතා කර කර ඉන්නවාට ගොඩක් අය කැමති නිසාම නොවේ. ඔය ප්‍රශ්නයට උත්තරය හොයා ගත්තා කියා එලොවටවත් මෙලොවටවත් වැඩක් නැති නිසාත් නොවේ. ඔය ප්‍රශ්නය නිසා  ඉකොනොමැට්ටාට මතක් වූ වෙනත් ප්‍රශ්න අතරේ ණය ප්‍රශ්නයත් තිබුණු නිසාය.

ප්‍රශ්නයකට උත්තරයක් ඇත්තේ යම්කිසි රාමුවක් ඇතුළේය. රාමුව වෙනස් වූ විට උත්තරයද වෙනස් විය හැකිය. බොහෝ ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු එකකට වඩා තිබේ. සමහර ප්‍රශ්න වලට උත්තර නැත. සමහර වෙලාවට රාමුව වෙනස් කළ විට ප්‍රශ්නයද අතුරුදහන් වන නිසා තව දුරටත් උත්තර අවශ්‍ය වන්නේ නැත.

දැන් මෙතන තියෙන්නේ ලාභ අලාභ ප්‍රශ්නයකි. නීත්‍යානුකූලව බදු අය කර ගැනීම වැනි කටයුතු සඳහා ලාභ අලාභ ගණනය කිරීමේ ක්‍රමවේදයක් තිබේ. එය පදනම් වන්නේ සම්මත ගිණුම්කරණ රෙගුලාසි මත පදනම්වය. සම්මත කියා කිවුවත් මෙය තැනින් තැනට, කලින් කලට වෙනස් විය හැකි සාපේක්ෂ සම්මුතියකි.

ඇතැම් කරුණු වෙනස් වන නමුත් බොහෝ දෙනා පිළිගන්නා මූලික ගිණුම්කරණ නීති වල වැඩි වෙනසක් නැත. ද්විත්ව සටහන් ක්‍රමය යටතේ සියළු මුදල් ගණුදෙනු ලෙජරයක සටහන් කිරීමෙන් පසු ඒ අනුසාරයෙන් පිළියෙළ කරගන්නා ශේෂ පත්‍රයකින් හා ලාභ අලාභ ගිණුමකින් අවසන් ප්‍රතිඵලය බලාගත හැකිය.

සම්මත ගිණුම්කරණ නීති අනුව ගණුදෙණුවක් සිදු වූ ලෙස සැලකෙන්නේ භාණ්ඩ හෝ සේවා හුවමාරුවක් සඳහා මුලින්ම මිල එකඟතාවක් ඇති වූ අවස්ථාවේදී මිස ගණුදෙනු පියවන අවස්ථාවේදී නොවේ. මේ කතාවේ එවැනි ගණුදෙණු කිසිවක් නැත. ඇමරිකන් කාරයා සහ හෝටල්කරු අතර ගණුදෙණුවක් ඇතිවීමට ආසන්න අවස්ථාවක් ඇතත් අවසානයේදී එවැන්නක් සිදු නොවේ. ඒ නිසා මෙහි කිසිවෙකුටත් ලාභයක් හෝ අලාභයක් සිදු නොවේ.

පළමුව අපි හෝටල්කරුගේ ශේෂ පත්‍රය වෙනස් වන ආකාරය විමසා බලමු.



ආරම්භක අවස්ථාවේදී හෝටල්කරුට ගණිකාවගේ ඩොලර් 100කට හිමි කමක් තිබේ. මෙය ඔහුගේ වත්කමකි. එමෙන්ම, හෝටල්කරු විසින් කඩකාරයාට ඩොලර් 100ක් ගෙවිය යුතුව තිබේ.එය ඔහුගේ බැරකමකි. වත්කම් බැරකම් සැසඳූ පසු ඔහු සතු කිසිදු ප්‍රාග්ධනයක් නැත.

ඇමරිකන්කාරයාගේ ඩොලර් 100 තැන්පතුවක් වශයෙන් ලබා ගත් විට හෝටල්කරුගේ වත්කම ඩොලර් 200දක්වා ඉහළ යන නමුත් ඇමරිකානුවාට හෝටල් කාමරයක් විකුණා නොමැති නිසා ඒ මුදල ඔහුගේ ලාභයක් වන්නේ නැත. එබැවින් එය ප්‍රාග්ධනය ඉහළ යාමක් නොවී බැරකමක් ලෙස පවතී.

ඩොලර් 100 කඩකාරයාට දුන්විට මේ අත ඇති මුදල ඔහුගේ වත්කම් වලින් අඩුවන අතරම ඩොලර් 100ක බැරකමක්ද අඩුවේ. වත්කම් බැරකම් තව දුරටත් සමානය.

තැබෑරුම්කරුගේ ණය ආපසු ලැබුණු විට හෝටල්කරුගේ ඩොලර් 100ක වත්කම ලැබීමට ඇති මුදලක සිට අත ඇති මුදලක් දක්වා වෙනස් වන අතර බැරකමෙහි වෙනසක් සිදු නොවේ.

අවසානයේදී, ඇමරිකානුවාගේ ඩොලර් 100යේ තැන්පතුව ආපසු ගෙවීමෙන් අනතුරුව හෝටල්කරුගේ ශේෂ පත්‍රයේ වත්කම් මෙන්ම බැරකම්ද ශුන්‍යයක් වේ.


ගණිකාවගේ, තැබෑරුම්කරුගේ, මස්කඩකරුගේ මෙන්ම සිල්ලර කඩකරුගේද ශේෂ පත්‍ර වෙනස් වන්නේ එකම ආකාරයකටය. ආරම්භයේදී, මේ හැම දෙනෙකුගේම ශේෂ පත්‍රවල ඩොලර් 100 බැගින් වූ වත්කමක් හා බැරකමක් ඇති අතර ඔවුන් කිසිවකු සතුව ඔවුන්ගේම ප්‍රාග්ධනයක් නැත. සිදුවීම් සියල්ල අවසානයේදී, මේ වත්කම මෙන්ම බැරකමද ඔවුන්ගේ ශේෂ පත්‍ර වලින් ඉවත් වන අතර ප්‍රාග්ධනය වෙනස් නොවේ.


ඇමරිකානුවා සතුව පමණක් ඩොලර් 100ක ආරම්භක ප්‍රාග්ධනයක් තිබේ. එය හෝටල් කළමනාකරු හමුවේ තැන්පත් කරන ඇමරිකානුවා අවසානයේදී සිය තැන්පතුව ආපසු ලබා ගනී. සිදුවීම් අවසානයේදී ඔහුගේ ශේෂ පත්‍රයේ කිසිදු වෙනසක් වී නැත.

කෙසේ වුවද සිදුවීම් සියල්ල අවසන් වන විට ආරම්භක සමතුලිතතාව වෙනස් වී ඇති නිසා මේ විග්‍රහයේ අවුලක් ඇති බව අපට දැනේ. අවුලක් ඇතත් අවුල ඉකොනොමැට්ටාගේ අවුලක් නොවේ. ගිණුම්කරණ ලාභය සැබෑවටම ගණනය කෙරෙන්නේ මේ ආකාරයෙනි.

ආර්ථික ලාභය ගිණුම්කරණ ලාභයට වඩා වෙනස් සංකල්පයකි. එය ඇතැම් විට ගිණුම්කරණ ලාභයට සමාන විය හැකි වුවත් හැම විටම එසේ නොවේ. ගිණුම්කරණයට විෂය වන්නේ මුදලින් වටිනාකම් මැනිය හැකි දේවල් පමණි.

ආර්ථික විද්‍යාවේදී එය හැම විටම එසේ විය යුතු නැත. ගිණුම්කරණය සම්මත නීති හා රෙගුලාසි පාදක කරගනිද්දී ආර්ථික විද්‍යාව පාදක කර ගන්නේ පුද්ගල රුචිකත්වයන්ය. ඒ නිසා ආර්ථික විද්‍යා රාමුවක් තුළ මේ සිදුවීම් පෙළ වෙනත් ආකාරයකින් විග්‍රහ කිරීමට පුළුවන. (අද නොවේ.)

අවසාන වශයෙන් මේ කතාවත් බලාගෙන ගිය විට අපේ ඇත්ත තත්ත්වයට වඩා වැඩිපුර වෙනස් නැත. වරාය, ගුවන් තොටුපොළ, මහා මාර්ග ආදී අපේ ප්‍රාග්ධන වත්කම් ඉහළ යයි. ඒ සමඟම අපේ ණයත් ඉහළ යයි. ශේෂ පත්‍රයේ වත්කම් බැරකම් සැසඳූ විට ලොකු වෙනසක් වී නැත. ගණිකාවගේ සිට හෝටල් කළමනාකරු දක්වා කතාවේ සිටින ලාංකිකයින් කවුරුත් රෝල් දමන නමුත් අතේ ප්‍රාග්ධනයක් නැත. ඒ නිසා මේ විදිහට රවුමට හිර වේ.

අන්තිමට හිර වී ඇති අපේ ආර්ථිකය ගොඩ ගැනීමට අපට අතේ ප්‍රාග්ධනය ඇති ඇමරිකානුවා එනතුරු බලා සිටීමට සිදුවේ. ඇමරිකන් කාරයා ඩොලර් 100ත් බේරාගෙන ආපහු යන්නේ අපේ කාමර වල ඇතුලේ ඇති ඇද පළුදු සියල්ලම කැමරාවේ සටහන් කරගෙනය. ඇමරිකන්කාරයාට අපේ කාමර ඇතුලේ ඡායාරූප අවශ්‍ය වන්නේ ඇයිදැයි දන්නේ ඇමරිකන්කාරයාම පමණි.

ඇමරිකන් කාරයා වෙනුවට චීනෙක් ආ විට වෙන්නේ වෙනස් දෙයක්දැයි සිතීම ඔබේ වැඩකි.

(උඩින්ම ඇති රූපය ගත්තේ ජේම්ස් බෘනෝගේ -http://jameslbruno.blogspot.com/2012/04/sin-sex-and-uncle-sam.html- බ්ලොගයෙනි.)

4 comments:

  1. /* ගණිකාවගේ, තැබෑරුම්කරුගේ, මස්කඩකරුගේ මෙන්ම සිල්ලර කඩකරුගේද ශේෂ පත්‍ර වෙනස් වන්නේ එකම ආකාරයකටය.....*/

    වැරදියි.
    ගණිකාවට පමණක් ඉකොනොමැට්ටා ගේ බ්ලොග් ලිපියේ හෙඩින් එකට ඇතුලු වීමට අවස්ථාව ලැබෙනවා.

    එමගින් පිරිවැයක් නොමැතිව ලැබෙන ප්‍රචාරයේ ඩොලර්වලින් මැනිය හැකි අගයක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ෂ්..ෂ්..පොඩ්ඩක් හිමින්....

      Delete
  2. මම මේ කටහ්ව කියවල තිබෙනවා. ඔවුන් ඔප්පු කරනන් හදන්නේ කිසිම නිෂ්පාදනයක් නැතිව කොහොමද නයෙන් පමණක් ජිවත් වෙන්නේ කියල. කොටින්ම නයෙන් ජිවත් වීම බොරුවක්. අන්තිමට හරියට නිෂ්පාදනයක් වත් හරියට අදායමක් වත් නැහැ කියල දැනගත්තම මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. ග්‍රීසියේ වගේ.
    http://nelumyaya.com/?p=3698

    ReplyDelete
  3. චීනා ආවනං පාඩුවක් නේද වෙන්නේ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget