වෙබ් ලිපිනය:

Friday, January 17, 2025

දෙවන පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය සහ විදුලි බිල


මෙය එකිනෙකට සෘජු සම්බන්ධයක් නැති කරුණු තුනක් ගැන සටහනක්. යෝජිත දෙවන තෙල් පිරිපහදුව, චීන මුදල් හුවමාරු ණය ගිවිසුම අලුත් කිරීම සහ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම කියන කරුණු තුන සහ මේ දේවල් වල අපේක්ෂිත බලපෑම ගැන. පළමු කරුණු දෙකම චීනයට සම්බන්ධයි.

මුලින්ම මම 2023 නොවැම්බර් 27 දින පළ කළ "දෙවන පිරිපහදුව චීනයට" ලිපියේ මුල් කොටස උපුටා දක්වන්නම්.

"ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.

දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි."

ඔය දැන් ආවා කියන ආයෝජනය ඕකම තමයි. නමුත් මුදල ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙනවා. ඇතැම් විට යෝජිත පිරිපහදුවේ ධාරිතාව කලින් සැලසුම් කළාට වඩා අඩු වෙලා වෙන්න පුළුවන්. එය එසේනම්, එය ලංකාවට අවාසියක්. 

මේ ආයෝජනය අරන් ආවේ රනිල්ද, අනුරද කියන එක ගැනත් දැන් යම් විවාදයක් ඇති වෙලා තිබෙනවා. ඒ තරම් තේරුමක් නැති ප්‍රශ්නයක් වුනත්, රනිල්ට හෝ අනුරට අවශ්‍ය වුනා කියලා ඔය වගේ ආයෝජන රටට ගේන්න බැහැ. මේ වගේ ආයෝජන ලංකාවට එන්නේ චීනයට ක්‍රමෝපායිකව අවශ්‍ය නිසා. රනිල්, අනුර, සජිත්, නාමල් වගේ කවුරු හිටියත් චීනයට අවශ්‍යනම් ඔය වැඩේ විය හැකිව තිබුණා. අනුර යටතේ ආයෝජනය එන එකේ ප්‍රධාන වෙනස මේ ගැන විවේචන නැති වී තිබීම.

ඔය ආයෝජනය ගැන මුලින්ම කියවුණු කාලයේ මාලිමාව පැත්තෙන්ම ආපු විවේචනයක් වුනේ රුපියල් වෙළඳපොළට එන මේ වගේ ආයෝජන වලින් රටට වැඩක් නැහැ කියන එක. මේ තර්කයට පදනමක් නැතුවම නෙමෙයි. රුපියල් වෙළඳපොළට එන විදේශ ආයෝජන වලින් ලංකාවට ලැබෙන්නේ සාපේක්ෂව අඩු වාසියක්. නමුත් වැදගත් කරුණ එය තව දුරටත් වාසියක් මිස පාඩුවක් නොවීමයි. 

පළමුව, මේ ආයෝජනය නිසා ආරම්භයේදී රටට එන මුදල සැලකුවොත්, ඒ මුදල බොහෝ දුරට ආනයන ලෙස නැවත චීනයටම ආපසු යන මුදලක්. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් රටේ ඉතිරි වෙන එකක් නැහැ. නමුත් දේශීය අමු ද්‍රව්‍ය හා ශ්‍රමය යම් තරමකින් හෝ යොදා ගන්න අවශ්‍ය වන නිසා සංචිත වලට හෝ අනෙකුත් විදේශ විණිමය අවශ්‍යතා වෙනුවෙන් යම් හෝ මුදලක් ඉතිරි වෙයි. 

මේ වැඩෙන් මුල් වසර වලදී සිදු වනු ඇත්තේ ආනයන වියදම් ඉහළ ගොස් වෙළඳ හිඟය තවත් වැඩි වෙන එකයි. ඒ හේතුව නිසාම, දැනට අතිරික්තයක්ව පවතින ජංගම ගිණුමේ ශේෂය නැවතත් හිඟයක් බවට පත් වෙන්න පුළුවන්. නමුත් එම හිඟය පියවන්න අවශ්‍ය විදේශ විණිමය ප්‍රමාණය චීනයෙන් රටට එන නිසා මෙය විදේශ විණිමය තුලනය කෙරෙහි නරක විදිහට බලපාන්නේ නැහැ. 

චීන ණය සහ අනෙකුත් ණය අරගෙන ආයෝජන කරද්දීත් සිදු වුනේ ඔය වැඩේට කිට්ටුවෙන් යන වැඩක්. එක පැත්තකින් ආනයන වැඩි වෙද්දී අනෙක් පැත්තෙන් විදේශ ණය විදිහට විදේශ විණිමය රටට ඇවිත් විණිමය වෙළඳපොළ තුලනය වුනා. නමුත් එය සිදු වුනේ අනාගත ණය ගෙවීමේ වගකීම් නම් වූ කාල බෝම්බයේ නූල පත්තු කරමිනුයි. කාල බෝම්බය පිපිරුණු ආකාරය අපි හැමෝම හොඳින්ම දැක්කා.

ණය ගැනීමට කිට්ටුවෙන් යන දෙයක් වුනත් දැන් මේ පිරිපහදුව සඳහා අවශ්‍ය අරමුදල් එන්නේ ආයෝජන ලෙස මිස ණය ලෙස නෙමෙයි. ඒ නිසා, රටට විණිමය අර්බුදයකට මුහුණ දෙන්න වෙන්නේ ඔය ආයෝජනය ආපසු අරගෙන ගියොත් පමණයි. මේ වගේ ආයෝජන වල ස්වභාවය නිසාම එවැන්නක් සිදු වෙන්නේ නැහැ. රටේ විදේශ බැරකම් ඉහළ ගියත්, තෙල් පිරිපහදුව රටට අයිති නැති වත්කමක් ලෙස රට ඇතුළේ ඉතිරි වෙනවා. 

ගොඩක් අයට ප්‍රශ්නයක් වී තිබුණේ තෙල් විකුණන්නේ රුපියල් වලින් වුවත්, මේ වගේ සමාගම් විසින් ඔවුන්ගේ ලාබ ඩොලර් ලෙස රටෙන් අරගෙන යනවා කියන එක. කතාව ඇත්ත. නමුත් වැදගත් ප්‍රශ්නය මේ හේතුව නිසා ශුද්ධ වශයෙන් විදේශ විණිමය රටෙන් එළියට යාමක් සිදු වෙනවද කියන එක. බැලූ බැල්මට පෙනෙන්නේ නැති විය හැකි වුවත්, එවැන්නක් වෙන්නේ නැහැ.

ලංකාවේ බොර තෙල් නැති නිසා ලංකාවේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා අවශ්‍ය වන බොරතෙල් ප්‍රමාණය කොහොමටත් ආනයනය කරන්න සිදු වෙනවා. ඒ වෙනුවෙන් විදේශ විණිමය වැය කරන්න සිදු වෙනවා. ඒ විදේශ විණිමය යම් ක්‍රමයකින් හොයා ගන්නත් සිදු වෙනවා. රටේ ඉන්ධන පිරිපහදු කිරීමේ ධාරිතාවය සීමිත නිසා, පිරිපහදු කළ ඉන්ධනද සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කරන්න වෙනවා. ඒ වෙනුවෙන්ද විදේශ විණිමය උපයා ගන්න සිදු වෙනවා.

චීන පිරිපහදුව ලංකාවට ආවාට පස්සේ වෙන්නෙත් ඔය ටිකමයි. කලින් තෙල් සංස්ථාව හරහා එළියට ගිය විදේශ විණිමය ප්‍රමාණයෙන් කොටසක් දැන් සිනොපෙක් සමාගම හරහා රටෙන් එළියට යනවා. මෙහි විශේෂ වාසියක් හෝ පාඩුවක් නැහැ.

එතකොට ලාබ කොටස? ඔව්. ලාබ කොටසත් විදේශ විණිමය ලෙස එළියට යන්න පුළුවන් තමයි. නමුත් තව දුරටත් දේශීය ඉන්ධන මිල තීරණය කරන්නේ තෙල් සංස්ථාව හරහා ශ්‍රී ලංකා රජය නිසා සිනොපෙක් සමාගමට හෝ වෙනත් සමාගමකට ඊට වඩා වැඩියෙන් ඉන්ධන විකුණන්න බැහැ. 

තෙල් සංස්ථාව තෙල් විකුණන්නේ යාන්තමින් පිරිවැය ආවරණය වන මිලකටයි. අනෙක් තරඟකරුවන්ට ඒ මිලටම තෙල් විකුණලා ලාබයකුත් හොයා ගන්න වෙනවා. ඒ සඳහා හැකි තරම් අඩු මිලකට තෙල් ආනයනය කරන්න වෙනවා. එහිදී විදේශ විණිමය ඉතිරියක් වෙනවා. අවසාන වශයෙන් ඒ ඉතිරි වන විදේශ විණිමය ටික හෝ එයින් කොටසක් තමයි ලාබ විදිහට රටෙන් එළියට යන්නේ. ඒ නිසා, ශුද්ධ වශයෙන් මෙයින් විණිමය තුලනය කෙරෙහි ලොකු බලපෑමක් වෙන්න ඉඩක් නැහැ.

ප්‍රායෝගිකව, සිනොපෙක් වැනි සමාගම් වලට රට ඇතුළේ තව දුරටත් ව්‍යාප්ත වීමේ උවමනාවක් තිබෙන නිසා ඔවුන්ගේ ලාබ රටෙන් ගෙන නොයා නැවත රට තුළම ආයෝජනය කරන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම, මෙම සමාගම් වල ලාබ වලින් රජයට බදු එකතු වෙනවා. එය රාජ්‍යමූල්‍ය තුලනය කෙරෙහි හිතකර ලෙස බලපානවා. පාරිභෝගිකයින්ට වාසියක් ලැබෙන එකනම් ඉක්මණින්ම වෙන එකක් නැහැ. එය සිදු වනු ඇත්තේ තව දුරටත් වෙළඳපොළ ප්‍රමුඛයා වන තෙල් සංස්ථාවේ කාර්යක්ෂමතාවය වැඩි වන ආකාරය අනුවයි. හැබැයි යම් කාලයකට පසුව හෝ එය සිදු විය යුතුයි.

පසුගිය වසරේ ප්‍රසිද්ධ වී තිබුණු තොරතුරු අනුව යෝජිත දෙවන පිරිපහදුවේ ධාරිතාවය ලංකාවේ පිරිපහදු ඉන්ධන අවශ්‍යතා හිඟය ඉක්මවා යන්නක්. ඒ අනුව, සැලසුම වී තිබුනේ රට තුළ ඉන්ධන පිරිපහදු කර අපනයනය කිරීමයි. රට අසලින් යන නැව් වලට ඉන්ධන සැපයීමද ඉන්ධන අපනයනය කිරීමට සමාන දෙයක්. මෙවැන්නක් සිදු වන තරමට, ඒ හේතුවෙන් රට තුළ සිදු වන අගය එකතු කිරීම ඉහළ යනවා. ඒ කියන්නේ රටේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යනවා. ආයෝජනයේ ප්‍රමාණය කොපමණද යන්න වැදගත් වන්නේ ඒ නිසා. මුලින් යෝජනා වී තිබුණු ඩොලර් බිලියන 4.5 ආයෝජනය ඩොලර් බිලියන 3.7 දක්වා අඩු වී තිබෙන්නේ පිරිපහදු ධාරිතාවයේ අඩු වීමක්ද සමඟනම්, එසේ නැති වෙන්නේ මෙම ගනුදෙනුවේ වාසිදායකම කොටසකුයි. කෙසේ වුවත්, දේශීය ඉන්ධන වෙළදපොළ ඉලක්ක කර පිරිපහදුව හැදුවත් එයින් අපේක්ෂිත වාසිය අඩුවීමක් මිස පාඩුවක් සිදු වන්නේ නැහැ. 

මුලින් සඳහන් කළ දෙවන කරුණට ගියොත්, චීනයෙන් ලබාගත් යුවාන් බිලියන දහයක මුදල් හුවමාරු ණය ආපසු ගෙවීමේ කාලය තවත් වසර තුනකින් දීර්ඝ කරගෙන තිබෙනවා. මේ අනුව, 2027 වසර අවසන් වන තුරුම එම ණය මුදල ආපසු ගෙවිය යුතු වන්නේ නැහැ.

මේ යුවාන් වලින් වැඩක් ගන්නේ නැත්නම් ආපසු නොගෙවා තියාගෙන ඉන්නේ ඇයි කියන ප්‍රශ්නය කෙනෙකුට අහන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කිවුවොත් රටක නිල විදේශ සංචිත කියා කියන්නේනම වැඩක් නොගෙන තියාගෙන ඉන්න අරමුදල්. මේ අරමුදල් තියාගෙන ඉන්නේ හදිසියකදී ප්‍රයෝජනයට ගන්න බව ඇත්ත. නමුත් ඕනෑම රටක් උත්සාහ කරන්නේ එවැනි හදිසි ඇති නොවන බවට වග බලා ගැනීමටයි. 

දැන් ලංකාවේ ඉලක්කය වී තිබෙන්නේ ටිකෙන් ටික සංචිත ගොඩ නගා ගැනීම මිසක් තියෙන සංචිත "ප්‍රයෝජනයට ගැනීම" නෙමෙයි. ඒ නිසා ප්‍රායෝගිකව චීන මුදල් හුවමාරු ණය වලින් වෙන්නෙත් ඉතිරි සංචිත වලින් සිදු වන දෙයමයි. ඒ කියන්නේ විණිමය වෙළඳපොළ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා එම සංචිත උදවු කර ගැනීම. මෙම ගිවිසුම අලුත් කිරීම නිසා ලංකාවට "නියම ක්‍රමයට" සංචිත ගොඩ නගා ගැනීමට තවත් අවුරුදු තුනක කාලයක් ලැබෙනවා. ඒ කියන්නේ සංචිත ඉලක්ක වලට යාම වඩා පහසු වෙනවා. ඩොලරයක මිල ඉහළ යාමේ අවදානම අඩු වෙනවා. එහි හොඳ වගේම නරකත් තිබෙන එක වෙනම කරුණක්.

තුන්වන කරුණ යෝජිත විදුලි ගාස්තු අඩු කිරීම. අනුමත වුවහොත්, මෙය සැලකිය යුතු අඩු කිරීමක්. ගාස්තු අඩු කිරීම සිදු කර තිබෙන්නේ පිරිවැය පදනම සලකා බලමින් කියා මම හිතනවා. එය එසේ නොවුනත්, මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරීම නෙමෙයි.

යෝජිත විදුලි ගාස්තු අඩු කිරීමේ සෘජු ප්‍රතිඵලයක් ලෙස දැනට පවතින අවධමන තත්ත්වය කලින් අපේක්ෂා කළ පරිදි ඉක්මණින් "යථා තත්ත්වයට" පත් වෙන එකක් නැහැ. සංකල්පීය ලෙස ගත්තොත් උද්ධමනය කියන්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීමම නෙමෙයි. නමුත් උද්ධමනය මනින්නේ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුවට 5% උද්ධමන ඉලක්කයක් ලබා දී තිබෙන්නේත් මෙම දර්ශකය හා සම්බන්ධ කරමිනුයි.

උද්ධමනය හා පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීම ආසන්න ලෙස හෝ එකට යන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව මල ගණන් වෙනස් වන්නේනම් පමණයි. නමුත් විදුලි ගාස්තු වෙනස් වෙන්නේ වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම අනුව නෙමෙයි. එය සිදුවන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් හරහා පරිපාලනමය තීන්දු ලෙසයි. ලංකාවේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි පරිභෝජන ඉල්ලුම පහත වැටී නැති අතර විදුලිබල සැපයුමේ විශාල වැඩිවීමක්ද සිදු වී නැහැ. එහෙත් විදුලි ගාස්තු අඩු වී තිබෙනවා. වර්ෂාපතනය වැඩිවීමේ බලපෑමක් ඇති.

මහ බැංකුවට මිල මට්ටම ස්ථාවරව පවත්වා ගත හැක්කේ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම පාලනය කිරීම මගිනුයි. එය කරන්නේ පොලී අනුපාතික වෙනස් කිරීම මගින්. කලින් පෙනෙන්නට තිබුණේ මහ බැංකුව විසින් පොලී අනුපාතික 8% මට්ටමේ පවත්වා ගැනීමට ඉඩ තිබුණු බවයි. උද්ධමනය 5% මට්ටමකට ගැනීම සඳහා පොලී අනුපාතික තව දුරටත් අඩු කළ යුතු වූයේ නැහැ. එහෙත්, විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස අඩු වුවහොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික තව දුරටත් අඩු කිරීමේ ඉඩක් දැන් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, පොලී අනුපාතික 7.5% වැනි මට්ටමකට පහත වැටීමේ ඉඩක් අපට පෙනෙන්නට තිබෙනවා.

9 comments:

  1. ගොඩ යමු ඉකොනො

    ReplyDelete
  2. විදුලි බිල අඩුන්කරන්නෙ ආන්ඩුවට ඕන නිසා නෙවි කොමිසම නිසා. ආන්ඩු බලය තිබ්බට තාම රාජ්‍ය බලය නෑ කියන එකට තව උදාහරණයක් ඒක

    ReplyDelete
  3. දෙවතාවක්වත් කියවා ගත යුතුය
    කරුණු නිවැරදිව එතකොට වැටහේය!

    ReplyDelete
  4. මලේසියාව දියුණු වුනේ චින්නු නිසා
    ඉන්දුනිසියාව දියුණු වුනේ චීන්නු නිසා
    සිංගප්පූරුව දියුණු වුනේ චින්නු නිසා
    ලංකාව විනාශවුනේ දෙමෙල්ලු නිසා.
    ලංකාවේ දෙමෙල්ලු වෙනුවට චීන්නු හිටියනම් මේ රට ඉහත කියපු හැම රටකටම වඩා සුන්දර රටක් වෙන්න තිබුනා.


    මට චීන භාෂාව බෑ.
    මට හරි ලැජ්ජයි ඒක ගැන.
    මම කම්පාවෙනවා ඒ ගැන.
    මම හැකි ඉක්මනින් චීන ඉගෙනගතයුතුයි.

    ReplyDelete
  5. මුදල් හම්බ කරමු

    ReplyDelete
  6. කලින් යෝජනං කරපු ආයෝජනයම තමං කියන එකත් ඇත්ත . මහින්ද අරනිල් නෙමේ මොකා හ්ටියත් චීනය ඕක හදනව කියන එකොන් කියන කත්වත් ඇත්ත . මොකද ඒක තමා වැඩ පිළිවෙල . දැන් එකොන් නොකියපු කාමර එඉන්න අලියා තමා - චීනය සහ ජපානය දෙකම ආයෝජන නතර කරපු බව - ඉල්ලන කොමිස් මුදල් ප්‍රමාණය වැඩි නිසා . ජපාන හා කොරියානු තානාපතිවරු මේක කෙලින්ම කීව. මුලදී මහින්දලට දුන්නත් චීනය පස්සේ පස්ස ගැහුවා අනිත් රටවලට දෙන කොමිස් ගානට වැඩිය දෙන්න කැමති නැහැ අක්වුරුත් . අපේ දේශපාලකයෝ පෙරේත වැඩි වුනා . රනිල්ට කරගන්න දෙයක් තිබ්බේ නැහැ . පොහොට්ටුවෝ නේ හිටියේ ආණ්ඩුවේ . දැන් මෝඩ යෝ ටික කෑ ගහනව අපි තමා කලින් යෝජනා කලේ අරව මේවා . මුන්ට තවම තේරිලා නැහැ චීනය වගේ ලොකු රටවල් ආණ්ඩු වෙනස් කරලා හරි තමන්ගේ වැඩේ කර ගන්නවා කියල .

    ReplyDelete
  7. @ Economatta

    What do you think about the current forced IMF programme in Sri Lanka at the moment? It leads to another crisis as seems isn't it? Express your honest opinion.

    Historically IMF has been severely accused of prioritizing the interests of Western nations, particularly the U.S., which has significant influence due to its voting power.

    And as far as the IMF program in Sri Lanka... we could have a never-ending debate about whether it's a force for good or evil. Almost all the time, the IMF has never been concerned about the lives of citizens in client countries; it's focus is entirely on financial institutions and banks whom funding them and the western multinationals and big industries. This is why the IMF is often treated with distrust and suspicion by majority of the world population and developing countries. I've heard that the IMF has been trying to reform itself, but if Sri Lanka is any example, it still has a long way to go before it can be called a friend of the people.

    It is obvious that the IMF programs trap countries in cycles of debt dependency, as borrowing nations repeatedly require assistance without achieving sustainable growth. Sri Lanka itself has followed IMF programs since 1965 for 17 times and trapped in to the IMF debt trap in a notoriously worsened state.

    IMF programs: Key Examples

    A. Greece (2010-2018)

    The IMF, along with the European Central Bank and European Commission, provided bailout packages during Greece's debt crisis.These packages came with harsh austerity measures, including tax hikes, pension cuts, and labor market reforms.

    Result:
    The austerity measures deepened Greece's recession, causing GDP to shrink by 25%.Unemployment skyrocketed, and public unrest grew.The IMF later admitted it underestimated the negative impact of austerity on economic growth.

    B. Argentina (2001-2002, 2018-Present)

    Argentina defaulted on its debt in 2001 after years of IMF-backed policies, including fixed exchange rates and fiscal austerity.In 2018, the IMF provided a $57 billion loan, its largest ever, but Argentina struggled to stabilize its economy.

    RESULT

    IMF programs failed to address underlying structural issues, such as high inflation and weak exports.

    Critics argue the IMF's support exacerbated economic instability and social unrest.

    ASIA Africa & Caribbean (Very important)

    C. Asian Financial Crisis (1997-1998)

    IMF provided loans to countries like Thailand, Indonesia, and South Korea during the crisis, imposing strict austerity and structural reforms.

    Result:

    IMF's insistence on fiscal tightening worsened the economic downturn.

    Its approach to liberalizing financial markets is blamed for deepening the crisis.


    D. Sub-Saharan Africa (1980s-1990s)

    Many African countries implemented IMF-backed SAPs during debt crises.

    RESULT:

    These programs led to cuts in health and education spending, worsening poverty and inequality.

    Economic growth often failed to materialize, and debt levels remained high.

    E. Jamaica (1970s-Present)

    Jamaica has had a long history of IMF involvement, with repeated loans and structural adjustment programs.

    RESULT:

    Austerity measures led to stagnant economic growth and high debt levels.

    Social services suffered, contributing to widespread poverty.

    Refer to the above examples and most of other cases, the nations repeatedly following IMF programs experienced utter failures highlight the need for reforms to IMF itself to make its policies more inclusive, effective, and equitable.

    Could you please provide a detailed post on this blog regarding the above mentioned facts and issues?

    ReplyDelete
  8. මන්තීවරුන්ට වාහන රජයෙන් ගෙනත් දෙනවලු නේද? පර්මිට් එකත් එක්ක බලනකොට වියදම වැඩි නැද්ද? ලිපියක් දාන්නකො පුලුවන්නම්

    ReplyDelete
  9. ඉකොනෝ

    ඔයා ලංකාවේ හාල් මිල ගැන කියපු කතා වැරදියි නේද? ඒ ගැන අවබෝධයක් ලබාගැනීමට මේක බලන්න

    https://m.youtube.com/watch?v=Q0OR21i0krk

    මේ පොඩි වීඩියෝ ක්ලිප්එකේ කියන විදියට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වගේම මහබැංකුව සතු දත්ත සම්පූර්ණයෙන්ම වැරදියි නේද? ජනාධිපති හමුදා නිලධාරීන් යොදවලා මහාපරිමාණ හාල්මෝල් රජයේ හමුදා කණ්ඩායමක භාරයේ තබන බව ඉස්සරහට යෝජනා කරනවා, එය සාර්ථක වේවි කියලා මමත් හිතනවා. මේ හරහා හාල් මිල පහල දැමීමට පුළුවන් වෙයි නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: