වෙබ් ලිපිනය:

Thursday, January 30, 2025

සහල් වෙළඳපොළ තනි වෙළඳපොළක් නොවේ!

විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි.

- ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව සැපිරෙනවා. දිගුකාලීනව (2010-2023) රටේ සහල් නිෂ්පාදනය සහල් අවශ්‍යතාවයෙන් 93.2%ක් පමණ වෙනවා.

- ලංකාවෙන් අපනයනය කෙරෙන්නේ රටේ සහල් නිෂ්පාදීතයෙන් ඉතා සුළු කොටසක් (0.3%) පමණයි. මෙම සහල් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ඉලක්ක කර අපනයනය කෙරෙන අතර ඉතා ඉහළින් මිල කෙරෙනවා. 

- රටේ සහල් නිෂ්පාදනය හොඳ මට්ටමක ඇති විට පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙත්, එවැනි වසර වලදීද සහල් සුළු ප්‍රමාණයක් ආනයනය කෙරෙනවා. මෙසේ ආනයනය කෙරෙන්නේ බාස්මතී වැනි මිල අධික සහල් වර්ගයි. මෙම සහල් ඉල්ලුම සාමාන්‍යයෙන් රටේ සහල් ඉල්ලුමෙන් 1%කට වඩා අඩුයි.

- එහෙත් රටේ සහල් නිෂ්පාදනය අඩු වන වසර වලදී පොදු පොදු පරිභෝජනය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. මෙම අවශ්‍යතාවය රටේ සහල් ඉල්ලුමෙන් 25%ක් පමණ දක්වා ඉහළ යා හැකියි. 

- ඉහත පරිදි සහල් ආනයනය කෙරෙන්නේ රටේ සහල් සැපයුම අඩු වකවානු වලදී බැවින් එවැනි අවස්ථා වල සාමාන්‍යයෙන් දේශීය සහල් මිල තිබෙන්නේ ඉහළ මට්ටමකයි. ඒ නිසා, කලාපයේ රට වලින් ඊට වඩා අඩු මිලකට සහල් ආනයනය කළ හැකියි. 

කෙසේ වුවද, සහල් යනු සමීප ආදේශක ගණනාවක් හඳුන්වන තනි වචනයක් මිස සමජාතීය භාණ්ඩයක් නෙමෙයි. විවිධ සහල් වර්ග ගණනාවක් තිබෙනවා. ලංකාවේ සහල් භාවිතයේ විවිධත්වය පහත පරිදියි.

සුදු කැකුළු - 17.8%

සුදු කැකුළු සම්බා - 2.2%

රතු කැකුළු - 23.9%

රතු කැකුළු සම්බා - 1.0%

සම්බා - 15.6%

රතු නාඩු - 3.5%

සුදු නාඩු - 33.7%

බාස්මතී - 0.2%

වෙනත් - 1.9%

රටේ දිස්ත්‍රික්ක ගණනාවකම ජනප්‍රියම සහල සුදු නාඩු සහලයි. මෙම දිස්ත්‍රික්ක රටේ මැද කොටසේ සහ නැගෙනහිර පළාතේ පිහිටි දිස්ත්‍රික්කයි. දකුණු, බටහිර හා උතුරු කලාප වල වෙරළබඩ දිස්ත්‍රික්ක වල වෙනස් රුචිකත්වයන් හඳුනා ගත හැකියි. සුදු නාඩු වඩාත්ම ජනප්‍රිය දිස්ත්‍රික්ක වල ඊළඟට ජනප්‍රිය සහල සුදු කැකුළු හෝ සම්බා සහලයි. මෙම දිස්ත්‍රික්ක වල රතු කැකුළු ඇතුළු රතු සහල් වර්ග භාවිතා වෙන්නේ ඉතා අඩුවෙන්. පහත තිබෙන්නේ දිස්ත්‍රික්ක කිහිපයක සුදු කැකුළු, සම්බා සහ සුදු නාඩු භාවිතයේ ප්‍රමාණයයි. 

අනුරාධපුර - 95%

පොළොන්නරුව - 96%

කුරුණෑගල - 97%

පුත්තලම - 96%

කෑගල්ල - 94%

මහනුවර - 91%

මාතලේ - 96%

ත්‍රිකුණාමලය - 90%

අම්පාර - 87%

ගම්පහ දිස්ත්‍රික්කයේද ජනප්‍රියම සහල් වර්ග තුන ඉහත තුනම වුවත් ඒ අතරින් වඩා ජනප්‍රිය සම්බා සහලයි. රතු කැකුළු එතරම් ජනප්‍රිය නැහැ.

ගම්පහ - 88%

මෙයින් වෙනස්ව දකුණේ ජනප්‍රියම සහල රතු කැකුළු සහලයි. දෙවන තේරීම සුදු කැකුළු සහලයි. ඌව පළාත තුළ සුදු කැකුළු මුල් තැනට පමණ රතු කැකුළු දෙවන තැනට පැමිණෙනවා. නාඩු භාවිතය ඉතා අඩු එම ප්‍රදේශ වල රතු කැකුළු හා සුදු කැකුළු සහල් භාවිතය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. 

ගාල්ල - 84%

මාතර - 95%

හම්බන්තොට - 96%

රත්නපුර - 84%

බදුල්ල - 87%

මොණරාගල - 93%

උතුරේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක වල ජනප්‍රියම සහල රතු නාඩු සහල වන අතර රතු කැකුළු සහ සම්බා ඔවුන්ගේ ඊළඟ තේරීම් දෙකයි. මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්ක වලදී රතු කැකුළු මුල් තැනට පැමිණෙන අතර, මන්නාරමේදී සම්බා මුල් තැනට එනවා. එම ප්‍රදේශ වල සුදු නාඩු සහල් ජනප්‍රිය නැහැ. අදාළ දිස්ත්‍රික්ක වල රතු නාඩු, රතු කැකුළු සහ සම්බා සහල් භාවිතය පහත පරිදියි.

යාපනය - 95%

කිලිනොච්චි - 84%

මුලතිවු - 85%

වවුනියා - 74%

මන්නාරම - 79%

කොළඹ සහ කළුතර දිස්ත්‍රික්ක වල දැකිය හැක්කේ මිශ්‍ර රටාවක්. කොළඹදී සම්බා සහල් සහ කළුතරදී රතු කැකුළු සහල් මුල් තැනට පැමිණෙන නමුත් ලංකාවේ ජනප්‍රිය අනෙකුත් සහල් වර්ග භාවිතයද ආසන්න මට්ටම් වල තිබෙනවා. 

මේ අනුව, ලංකාවේ සහල් රුචිකත්වය අනුව ප්‍රධාන කලාප හතරක් සහ අතුරු කලාප ගණනාවක් හඳුනා ගත හැකියි. ඒ අතරින් විශාලම කලාපය සුදු නාඩු - සුදු කැකුළු - සම්බා කලාපයයි. එහි අනු කලාප තුනක් තිබෙනවා.

සුදු නාඩු - සුදු කැකුළු ප්‍රදේශ 

සුදු නාඩු - සම්බා ප්‍රදේශ 

සම්බා - සුදු නාඩු ප්‍රදේශ 

සම්බා භාවිතය රුචිකත්වයට වඩා ආදායම් මට්ටම මත තීරණය වන්නක් විය හැකියි.

දෙවන ප්‍රධාන කලාපය කැකුළු කලාපයයි. ඒ තුළ රතු කැකුළු අනු කලාපයක් සහ සුදු කැකුළු අනු කලාපයක් තිබෙනවා.

තෙවන ප්‍රධාන කලාපය උතුරේ රතු නාඩු - රතු කැකුළු - සම්බා කලාපයයි. එහිද අනු කලාප තුනක් දැකිය හැකියි. 

සිවු වන ප්‍රධාන කලාපය මිශ්‍ර කලාපයක් වන අතර එය ඉහත පළමු කණ්ඩායම් දෙකේ මිශ්‍රණයක් ලෙසද සැලකිය හැකියි.

සාමාන්‍ය වසරකදී ඉහත සියලු පාරිභෝගික කණ්ඩායම සඳහා අවශ්‍ය සහල් ප්‍රමාණය රට තුළ නිෂ්පාදනය වෙනවා. එහෙත් එම සහල් නිපදවෙන්නේ රටේ එක් කොටසකයි. සහල් අතිරික්ත කලාපය ලෙස හඳුනාගත හැකි එම කලාපයන් බාහිරව සහල් හිඟ කලාප දෙකක් තිබෙනවා. ඒ නිරිතදිග තෙත් කලාපයේ දිස්ත්‍රික්ක දහයක් අයත් විශාල කලාපය සහ උතුරේ යාපනය දිස්ත්‍රික්කයයි. මේ කලාප වලට සහල් අතිරික්ත කලාපයෙන් සහල් සැපයෙනවා.

එහෙත් අස්වනු අඩු වසර වලදී රටේ සහල් අවශ්‍යතාවය සඳහා සහල් ආනයනය කිරීමට සිදු වෙනවා. එවැනි අවස්ථා වලදී මෙන්ම සාමාන්‍ය වසරකදී වුවද සහල් හිඟ කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් අඩු මිලට සහල් මිල දී ගැනීමටයි. එහෙත් සහල් අතිරික්ත කලාපයේ වැසියන්ට අවශ්‍ය වන්නේ හැකි තරම් වැඩි මිලකට තමන්ගේ වී අස්වනු විකුනා ගැනීමටයි. රජය විසින් ආනයන බදු හා ආනයන පාලනය මගින් මේ කණ්ඩායම් දෙකේ අවශ්‍යතා අතර තුලනයක් පවත්වා ගන්නවා. 

මතු සම්බන්ධයි.

2 comments:

  1. ඉකොනොමැට්ටා

    මේ සංඛ්‍යාලේඛන දත්ත නිවැරැදි ද? මම හිතන්නේ මේ දත්ත ඒ තරම් නිවැරදිව අප්ඩේට් නොකරපු යම් හිතලු සහ අනුමාන මත වාර්තා කළ නිරවද්‍යතාව අඩූ දත්ත වලින් නිර්මිත සංඛ්‍යාලේඛන බවයි. අනෙක අනුරගේ සහ මාළිමා පාළනය මාස තුනක් යාමටත් පෙර සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට මේ සාවද්‍ය දත්ත පදනම්ව ගත්ත තීරණ හේතු වෙනවා නේද?

    මතකද එකල ඔවුන් පැවසුවා මාළිමා රජය බලයට පත් වු පසු විදේශගත මාලිමා හිතවතුන් අවම වශයෙන් සියදෙනෙකු ඩොලර් මිලියනය බැගින් මිලියන 100 එවන බවත් ඊට අමතරව පොදුවේ විදේශගත අය කෙනෙක් අමතර ඩොලර් 500 ගානේ මාළිමාව රජය බවට පත්වීම නිසාම ඩොලර් මිළියන ගනනින් රටට මුදල් එවන ඩොලර්බ බිලියන දෙකක පමණ නව සංචිතයක් හදනවා කියලා වේදිකාවල කීවාට.

    පිටරට මිලියනපති මිනිස්සු 100 ඩොලර් මිලියනය බැගින් රටට එව්වේ නැහැ

    විදේශගතව මුදල් උපයන මිනිස්සු අතිරේකව ඩොලර් 500 ගානේ එව්වේද නැත.

    රනිල් ජනාධිපති ලෙස එකල එකතු කර තිබූ විදේශ විනිමය සංචිතය ඔහු බලයෙන් ඉවත්වෙන විට එකතු ⁣කර රැස් කර තිබු ඩොලර් මිලියන 6000 ක මුදල තවමත් අනුරට ඩොලර් මිලියන 6500ක් බවට පත්කිරීමටවත් නොහැකි වී එකතැන පල්වනු පෙනේ.

    වැරදි දත්ත සහ සැලසුම් මත අනුරගේ සහ මාළිමා පාලනය ඩොලර් එකතු කිරීමේදී අසාර්ථක වන්නේ එහෙමයි

    ඊළඟට අනුර ජනාධිපති වන විට රටේ පොල් ගෙඩිය රු 100 පහලින් සහ හාල් කිලෝව 170.00 ක් පමණි. අද වනවිට මාලිමාවේ අය පොරොන්දු වූ රජයේ මිල පාලනය දියත් කිරීමෙන් පසු සහල් සහ පොල් මිළ පාළනයේදී රජය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි, ඒ වගේම ලුණුද ආනයනය කරන්න වී ඇති බවට කියති. සහල් ඇටයක් වත් ආනයන නෙකෙරන බව කීවාට සහල් මෙ ටො එක් ලක්ෂ පනස් දහසක් පමණ පෞද්ගලික අංශය ලවා ආනයනය කර ආනයන බදු ලෙස රැ බිලියන 10 වඩා ජනතාවට බදු පටවා උපයාගෙන ඇත.

    ඒ වගේම වැරදි දත්ත මත අනුර සහ මාළිමා රජය බලයට එනවිට ලංකාවේ ගොවි ජනතාවට දුන්න බලාපොරොත්තුව වුයේ රටේ ලොකුම වී තොග රැස් කරන්නා රජය වන බවත් වී මිල හා සහල් මිළ මීට පසුව පාලනය කරන්නේ රජය බවත්ය. වී මිළට ගන්න වෙන් කරන මුදල ලෙස ඔවුන් කීවේ කෝටි 3000 ක් බවයි.

    එහෙත් අද වනවිට රජය ගබඩා සියල්ල සූදානම් කරා කියා බොරු කයිවාරු ගසමින් කාලය නාස්ති කළත් රජයෙන් වී තොග රැස් කිරීමට තවම අතගසා නැත.පෞද්ගලික අංශය දැනටමත් වී තොග ලෙස මෙ ටො ලක්ෂ එකහමාරක් රැස්කරගෙන ඇති බව මාධ්‍ය වල පැවසේ.

    ඒ අතර රජය දැන් පවසන්නේ වී තොග ලෙස රජය රැස් කරන්නේ රු මිලියන 500ක් හෙවත් කෝටි 50 ක් පමණක් බවයි.

    එනම් කෝටි 3000 ක වීමිළට ගන්න බලාපොරොත්තු දුන් රජය පටන්ගැනීමේදීම අසාර්ථකය වී ඇත.

    මීළඟට අනුර සහ මාළිමාව විපක්ෂයේ සිටියදී කිවේ, ලංකාවේ වැඩිම හොරකම්,වන්නේ වරාය සහ රේගුව හරහා බවය. තමන්ට බළය ලැබුනොත් මුලින්ම හොරකම වන එම ස්ථාන වහනවා කීවාට

    අනුර සහ මාළිමාව යටතේ ලංකාවේ ලොකුම කන්ටේනර් වරායෙන් පැන්න වීමේ විශාලතම රේගු වංචාවට අනුර සහ රජය සහභාගී වී අහවරයි.

    ජනතාවට ලබා දුන්න රාජ්‍ය පාලනය විශ්වාසය පිළිබදව අනුර සහ රජය අතිඅසාර්ථකය.

    ඒ වගේම දැනට ක්‍රියාත්මක වන්නේ රටේ රනිල් වික්‍රමසිංහ හරහා ක්‍රියාත්මක වුන IMF ව්‍යාපෘතියයි. බලය ලැබෙන්න පෙර ඒ සම්බන්ධව අනුර සහ මාළිමා කංඩායම ලෙස ජනතාවට මැව්ව බිල්ලන් පැත්තක තබා ජනතාවට කොචෝක් කරමින් රනිල්ට වඩා හොදින් IMF ව්‍යාපෘතියයට අදාල කාරණා අනුර සහ මාළිමා රජය පවත්වා ගෙන යන බවට ජනතාවට කොකා පෙන්වා IMF එකට දැඩි භක්තියක් පෙන්නන තරමටම ගැති වීමට සිදුවී තිබේ.

    IMF ව්‍යාපෘතිය ගැන සැක සංකා ජනතාවට මතුකල අනුරලාම අද වනවිට ජනතාවට IMF ගැන මවපු බිල්ලා බලය ලැබුන පසු බොරු බව අදහන්න යැයි කියන තැනට පත්ව ඇත.

    ReplyDelete
    Replies
    1. එමෙන්ම ලංකාවට භූ දේශපාලනික වශයෙන් වැඩිම බලපෑම සිදු කරන ඉන්දියාව සම්බන්ධව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ද්වී පාර්ශවික ලෙස වැඩි දියුණු කිරීමේ සැලසුමේ සිට සාම්පුර්,බලාගාර ව්‍යාපෘතිය සහ ලංකාවේ ප්‍රධාන ඖෂධ සියල්ල ඉන්දීය ඖෂධ නිෂ්පාදන වලීන් ආනයනය කිරීමේ පිළිවෙතේ සිට සියළු ඉන්දීය එකගතා ගැන ජනතාවට ඉන්දියාව එපා කෙරෙව්වේ අනුරලායි. රනිල් හරහා ලංකාවේ ආර්ථික කඩා වැටීම සමග ඉන්දියවෙන් ලංකාව මතට පැටවු ඉන්දියාව යොජනා කරන ලද ත්‍රිකුණාමලය ආශ්‍රිත ආයෝජන, දෙරට යා කරන පාලම් ව්‍යාපෘතිය, ආදානිගේ කම්පනි හරහා ක්‍රියාත්මක වන සුලං සහ සූර්ය පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ගැන බිල්ලන් මැවිවේ මාලිමා ජවිපයයි

      අද බළය ලැබුන පසු අනුර සහ මාළිමාව අපි එදා විරැද්ධ වුන ඒවා ගනන්,නොගෙන ඉන්දියව රනිල්ලා හරහා එකග වු සියල්ල ක්‍රියාත්මක කරන්න ගැති වෙන තැනට පතිවීම තුළ පෙන්වන්නේ.

      අනුර සහ මාළිමා රජය ජනතාවට බලය ලැබීමට පෙර පැවසු අදහස් පිළිබද ඇත්ත පිළිබද විශ්වාසය රකින්න අසාර්ථක වී ඇති බවයි

      මීට අමතරව ජනතාවට ඔවුන් ශපථ කළ පරිදි ජනතාවට නොලැබෙන කිසිම වරප්‍රසාදයක් තමන්ගේ රජයක් යටතේ මහජන නියෝජිතයෙකුට නොලැබෙන බවට සහ ජනතා ජන්දයෙන් පරාජයට පත්වු කිසිවෙකුට රජයේ තනතුරු නොදෙනවා වගේ කථාද දැඩිලෙස බිද වැටෙමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ගේ දැඩි අසාර්ථක බවත් දැන් දැන් පෙන්වමින් තිබේ.

      සිල්ලර ජනප්‍රියවාදී මාතෘකා කොපමණ ඉදිරිපත් කරත් ජනතාවට වේදිකා වල අනුර සහ මාළිමාව බරතැබු කාරණා සියල්ලම පාහේ පිළිබද විශ්වාසය පිළිබදව ඔවුන්ම බිඳ දමා ඇති අතර සෑම අතින්ම ඔවුන්ව දැඩිලෙස අසාර්ථක වී එහි ඵලය ලෙස බහුතර ජනතාව දැඩි ඉච්චා-භංගත්වයකට පත්වී ඇත. මෙම තත්ත්වය වෙනස් කිරීමට ඔබ යෝජනා කරන වැඩපිළිවෙල කුමක්ද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: