වෙබ් ලිපිනය:

Thursday, January 23, 2025

මෝල්හිමියෝ වී හංගනවද?

ලංකාවේ වී මෝල්හිමියන්ගේ මාෆියාවක් ඇති බවත්, අස්වනු කැපෙද්දී වී මෝල්හිමියන් විසින් කුණු කොල්ලයට මිල දී ගන්නා වී තොග පසුව සහල් කර අධික ලාබයක් තියාගෙන විකුණන බවත් ජනප්‍රිය කතාවක්. මේ කතාව "පොදු ජනයාගේ" කතාවක් මිස මාලිමාවේ කතාවක් නොවුනත්, මාලිමාව විසින් කාලයක් තිස්සේ මේ ජනප්‍රිය අදහස උස්සාගෙන ගියා. මාලිමාවට ප්‍රතිවිරුද්ධ සම්ප්‍රදායික දේශපාලන කඳවුරද අඩු වැඩි වශයෙන් මේ අදහස වෙනුවෙන් පෙනී සිට ඇති බවත් මෙහිදී මතක් කළ යුතුයි. 

වෙළඳපොළ ක්‍රියාකාරිත්වය හා අදාළ මූලික සිද්ධාන්ත පිළිබඳ දැනුමක් ඇති අයෙකුට මෙවැන්නක් සිදු විය නොහැකි බව තේරුම් ගැනීම සඳහා හමුදාව සමඟ ගොස් වී මෝල් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. වී නිෂ්පාදනය සහ සහල් පරිභෝජනය පිළිබඳ දත්ත සියයට සියයක් නිවැරදිව අවශ්‍ය වන්නේත් නැහැ. වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කිරීමෙන් පමණක් පහසුවෙන්ම පිළිතුර හොයා ගන්න පුළුවන්.

එහෙත්, මේ අයුරින් වෙළඳපොළ මිල ගණන් නිරීක්ෂණය කර ඉහත ප්‍රශ්නයට පිළිතුර සොයා ගැනීම සඳහා එක්කෝ යම් තරමකින් වියුක්ත ලෙස සිතන්නට හැකි විය යුතුයි. එසේ නැත්නම් ආර්ථික විද්‍යා ප්‍රවාද "විශ්වාස කළ" යුතුයි. කෙසේ වුවත්, අදාළ ප්‍රවාද තේරුම් ගත හැකි අයෙකු එසේ එම ප්‍රවාද විශ්වාස කළ යුතු වන්නේ නැහැ. වියුක්ත ලෙස සිතීමේ හැකියාව ප්‍රගුණ කර නැති, ආර්ථික විද්‍යා ප්‍රවාද විශ්වාස නොකරන අයෙකුට ඇත්ත තත්ත්වය දැන ගැනීම සඳහා සංයුක්ත නිරීක්ෂණ අවශ්‍ය වෙනවා. ඇතැම් අයට ඒ සඳහා තමන්ට විශ්වාස කළ හැකි අයෙකු විසින් සිදු කරන තහවුරු කිරීමක් ප්‍රමාණවත් විය හැකියි. 

ඉතා දක්ෂ මහජන සන්නිවේදකයෙකු වන ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වී මෝල්හිමියන් විසින් වී තොග හංගන්නේ නැත්තේ ඇයි කියන කරුණ ඉතා හොඳින් සහ කෙටියෙන් පැහැදිලි කර තිබෙනවා. මේ සමඟ පළ කර තිබෙන වීඩියෝවේ තිබෙන්නේ ඔහුගේ එම පැහැදිලි කිරීමයි. 

රටකට ඉදිරියට යාම සඳහා අවශ්‍ය වැදගත්ම දෙයක් වන්නේ හැකි තරමින් දැනුමෙන් සන්නද්ධ වීමයි. ඒ අනුව, ජනාධිපති දිසානායක විසින් කෙටි කාලයක් ඇතුළත මේ හා අදාළ නිවැරදි දැනුම උකහාගෙන වෙනත් අයද දැනුවත් කිරීම අගය කළ යුත්තක්. 

මෙහිදී ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ පහත ආකාරයේ පිළිතුරක් නෙමෙයි.

"අපි ගිහින් පරීක්ෂා කළා. වී මෝල් වල තොග හංගාගෙන නැහැ."

ඉහත ආකාරයේ පිළිතුරක් හැඳින්විය හැක්කේ දේශපාලනික පිළිතුරක් ලෙසයි. එවැනි පිළිතුරකින් මේ මොහොතේ ඔය කියන විදිහේ ප්‍රශ්නයක් නැති බව තහවුරු කළ හැකි විය හැකියි. එහෙත්, එවැනි පිළිතුරකින් ප්‍රශ්නයට සාධාරණ (general) පිළිතුරක් ලැබෙන්නේ නැහැ. මේ මොහොතේ වී මෝල්හිමියන් විසින් තොග හංගාගෙන නොසිටියත්, සාමාන්‍යයෙන් එසේ කරන්නේය යන අදහස තව දුරටත් ඉතිරි වෙනවා. නමුත් ජනාධිපති දිසානායක විසින් ලබා දෙන්නේ වඩා වියුක්ත, එහෙයින්ම වඩා නිවැරදි හා සාධාරණ (general) පිළිතුරක්. 

කෙසේ වුවත්, ජනාධිපති දිසානායකගේ පැහැදිලි කිරීමෙන් පසුවද එක් නිවේදකයෙකු විසින් අසන්නේ "ඔබ වී මෝල් ඇතුළට ගොස් පරීක්ෂා කර බලා තහවුරු කර ගත්තාද?" මාදිලියේ ප්‍රශ්නයක්. එයින් පෙනෙන්නේ ලංකාවේ නිවේදකයින් සිටින තැනයි. ඇතැම් විට එම නිවේදකයා ලංකාවේ "පොදු ජනතාව" වෙනුවෙන්, ඔවුන් නියෝජනය කරමින් එම ප්‍රශ්නය ඇසුවා විය හැකියි.

මේ ප්‍රශ්නය මෑතකදී මගේ පෞද්ගලික මිතුරෙකු විසින්ද මතු කර මා සමඟ වාදයක පැටලුනු ප්‍රශ්නයක් (මා සාමාන්‍යයෙන් එවැනි වාද වල පැටලෙන්නේ ඉතා හොඳ මට්ටමේ පෞද්ගලික මිතුරුකමක් ඇත්නම් පමණයි. ඒ නිසා මෙවැන්නක් සිදු වන්නේ කලාතුරකින්). සක්‍රිය මාලිමා ක්‍රියාකාරිකයෙකු වන ඔහු තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. එහෙත් ආර්ථික විද්‍යාවේ මූලික සංකල්ප ගැන අදහසක් ඔහුට තිබුණේ නැහැ. 

වී මෝල්හිමියෙකුට තමන් කැමති පරිදි සහල් මිල වැඩි කිරීමේ හැකියාවක් නැහැ. සහල් වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම සෑහෙන තරම් අනම්‍ය වුවත් එය පූර්ණ අනම්‍ය ඉල්ලුමක් නෙමෙයි. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ලංකාවේ සහල් වෙළඳපොළේ සැපයුම් අංශයේ පූර්ණ ඒකාධිකාරයක් නැහැ. එහි සැලකිය යුතු තරඟයක් තිබෙනවා. යම් හෙයකින් ඔය දෙකම ඔය විදිහට සිදු වී වී මෝල් හිමියෙකුට අභිමත පරිදි මිල තීරණය කළ හැකි (උපකල්පිත) තත්ත්වයක් තිබුණත්, ව්‍යාපාරිකයෙකු විසින් තමන්ගේ ලාබ වැඩි කරගන්නේ භාණ්ඩයක මිල පුලුවන්ම තරම් වැඩි කිරීම මගින් නෙමෙයි. එය කරන්නේ පිරිවැටුම වැඩි කර ගැනීම මගින්. මිල යනු පිරිවැටුම වැඩි කරන එක් සාධකයක් පමණයි. වී තොග නොවිකුණා තියා ගැනීමෙන් බොහෝ විට වී මෝල්හිමියෙකුට සිදු වන්නේ පාඩුවක්.

ලංකාවේ අතරමැදි වී මෝල්හිමියන් විසින් කරන්නේ වී කොටා සහල් බවට පත් කිරීම පමණක් නෙමෙයි. එම වී ගබඩා කර තබා ගැනීම හා බෙදා හැරීම කරන්නේද ඔවුන් විසින්.

මෙම වීඩියෝවේ ජනාධිපති දිසානායක විසින් පැහැදිලි කරන පරිදි සහල් වල ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා වී තොග මාස දෙකක පමණ කාලයක් ගබඩා කර තියා ගන්නට සිදු වෙනවා (මෙය සියලුම සහල් වර්ග වලට එක සේ බලපාන දෙයක් නොවිය හැකි බව මගේ අදහසයි). ඊට අමතරව, ලංකාවේ වී සැපයුමේ ස්වභාවය අනුව, මාස හයක් දක්වා කාලයක් වී ගබඩා කර තබා ගන්නට සිදු වෙනවා. ඒ වී අස්වනු කැපෙන කන්න දෙකක් අතර කාලයයි.

වී ගබඩා කර තබා ගැනීම වියදම් අධික වැඩක්. වී ලෙස ගබඩා කෙරෙන්නේ තමන්ගේ හෝ ණයට ගත් ධනයයි. ණය පොලිය 10% ලෙස සැලකුවහොත්, මාස හයක කාලයක් සඳහා 5%ක පොලියක් ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, මිල දී ගන්නා වී වැඩි කාලයක් සහල් නොකර තියා ගන්නවා කියන්නේ දවසින් දවසම පිරිවැය ඉහළ යාමක්. ඊට අමතරව ගබඩා වල වී සුරක්ෂිත ලෙස තබා ගැනීමේ පිරිවැයක්ද තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඕනෑම වී මෝල්හිමියෙකු විසින් ඉදිරි කන්නයේ අස්වනු කැපෙන්නට පෙර තමන්ගේ වී තොග සහල් කර විකුණා ගැනීම අපේක්ෂා කළ හැකි දෙයයි. එය ජනාධිපති දිසානායක විසින් කෙටියෙන් වුවත් හොඳින් පැහැදිලි කරනවා. 

විපක්ෂයේ සිටින විට මුවන් සමඟ දුවන අතරම වෘකයින් සමඟ දඩයමේ යන්නත් පුළුවන්. නමුත් ආණ්ඩුවක් කරද්දී එහෙම කරන්න බැහැ. පාරිභෝගිකයින්, වී ගොවීන්, සුළු වී මෝල්හිමියන් ඇතුළු විවිධ කණ්ඩායම් එකවර සතුටු කළ හැකි විසඳුම් හොයන එක ලේසි වැඩක් නෙමෙයි. ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව අනුර කුමාර දිසානායක විසින් වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ගැන ඔහුගේ අවබෝධය වැඩි දියුණු කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම සහල් වෙළඳපොළ හා අදාළව, ඔහුගේ මෙම දැනුම හා අවබෝධය ඉදිරි මාස හයක සිට වසරක් දක්වා කාලය තුළ තව දුරටත් බොහෝ වැඩි දියුණු වීමට නියමිත බවයි දැනට පෙනෙන්නට තියෙන්නේ. තැත් වරද ක්‍රමය වියුක්තව තේරුම් ගැනීම අසීරු දේවල් තේරුම් ගැනීම සඳහා හොඳ ක්‍රමයක්!

9 comments:

  1. ඉකොනෝ

    ඔයාත් ඉතින් කිසිම ආකාරයක ප්‍රායෝගික දැනුමක් නැති පොතේ ගුරු හාන්සි පුටු පණ්ඩිත Armchair Pundit නැත්නම් sofa strategies පෝස්ට් කරන Desk-bound theorist කෙනෙක් නිසා ඕවා හෙන පට්ට මැජික් වගේ පේනවා ඇති. ඔය කතාව සම්පූර්ණ අහන්න පැය ගානක් දිගට යන කයිවාරු ගොන්නක්.

    කොහොම වුණත් ඔය අනුර ඔතන කියන ඔය කතන්දර සේරම ලංකාවේ ප්‍රධාන හාල් මෝල් හිමියන් අවුරුදු ගණනාවක් තිස්සේම දශකයකට වැඩි කාලයක්, කොටින්ම නාකි මයිනා ජනාධිපති වෙලා හිටපු කාලේ ඉඳලාම ගහන බයිලා මූ අලුතෙන් හොයාගත්තා වගේ කියනවා.

    උදාහරණ විදිහට සොයාබලන්න ඩඩ්ලි සිරිසේන 2019 විතර දෙරණ Talk with Chathura එකට ඇවිල්ල ඔය සේරම කතා ඔය විදියටම සහ ඔයිටත් වඩා ලස්සනට උදාහරණ සාධක සහිතව කතා කරන ආකාරය. අරලිය හාල් ව්‍යාපාර හිමි ඩඩ්ලි වගේම නිපුණ සහල් හිමි සිරිපාල ගම්ලත්, රත්න සහල් ආරිය සහල් ආදී ලංකාවේ හාල් වෙළඳපොලේ 28% ක් විතර මෙහෙයවන මහා පරිමාණ මෝල් හිමියන් දශකයක් විතර මාධ්‍ය අමතා කියන කතාව ආයේ වතාවක් කටපාඩම් කරගෙන ඇවිල්ල අනුර කුමාර මෝල් හිමියන්ගේ Media Spokesman වගේ දොඩවනවා විතරයි.

    හැබැයි ඔය අනුරලාම ඒ කාලේ විපක්ෂයේ ඉද්දි ඔය කියන කතාව පිලිගත්තේ නෑ ආණ්ඩුව මිල පාලනය කිරීමට මැදිහත්වීම අත්‍යවශ්‍ය බව පැහැදිලිවම කියමින් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ලෙස උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධානය කරලා ආණ්ඩුවලට දැඩි ලෙස බලපෑම් එල්ල කළා. දැන් මේ අය යූටර්න් ගහලා මෝල්කාරයෝ පුන පුනා ප්‍රකාශ කරල තියෙන එක ආයේ අපට කියනවා. දැන් මොකක්ද අපට ඕකේ තියෙන වැදගත්කම?

    ReplyDelete
  2. පැහෙනකොටයි පොල්වල තෙල් වැඩි වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. කුරුවල් පොල් ගෙඩිවල තෙල්
      හිඳින්න බෑනේ

      Delete
    2. @ උදාර

      සහතික ඇත්ත!

      කවියකින් කියන්න පුළුවන්.

      සුභ නැකතට...
      තඩි ගොනෙකුට...
      දුන් පාපෙට...
      විඳවයි රට...
      😢🤌😵‍💫🤬

      Delete
  3. මුදල් හම්බ කරමු

    ReplyDelete
  4. මෙයින් පෙනෙන්නේ, ජනාධිපතිවරයා කලින් අවබෝධයෙන් බොරු කියා ඇති බව හෝ දැන දැනම , ඡන්දය ගැනීමට මිනිසුන් ගොනාට අන්දවා ඇති බවයි.
    නමුත් තවමත්, අනවශ්ය ලෙස මිල පාලනයට මැදිහත් වීම සහ සහල් හිඟය පියවීමට අවශ්‍යය පරිදි සහල් ආනයනයට ඉඩ නොදීම නිසා සහල් හිඟය තවමත් පවතී.
    මේ සඳහා ජනප්‍රිය සංදර්ශන දානවාද එසේත් නැතිනම් ප්‍රායෝගිකව විසදුමක් දෙනවාද යන්න, ජනාධිපතිවරයාට භාරය.

    ReplyDelete
  5. විපක්ෂයේ සිටින විට මුවන් සමඟ දුවන අතරම වෘකයින් සමඟ දඩයමේ යන්නත් පුළුවන් +++++++ (Ian)

    ReplyDelete
  6. දිනපු දා ඉඳලම නැට්ටේ ඉඳන් ගොම, ආණ්ඩුව පත් වෙච්ච දවසේ ඉඳලාම කරන හැම වැඩක්ම හත්පොළක ගැගෙන පීචං වෙච්ච ආණ්ඩුවක් පහුගිය අවුරුදු තිහ ඇතුලත දැක්කමයි. අනික අපි උපදින්නට ඉස්සර තිබුන ආණ්ඩු එකක් වත් මෙච්චර කාලෙකට මෙහෙම පීචං වුණා කියල අහලා නෑ, හද්දා චොර... තව වැඩි දවසක් ආණ්ඩුවට මෙහෙම යන්න ලැබෙයිද කියල හිතනනත් අමාරුයි. හාල් වියාපාරිකයෝ මාධ්‍ය වලට ඇවිල්ල කියන දේ වරද්ද වරද්ද ආපහු කියනවා. ඔය වී ගත්ත ගමන්ම කොටන්න බෑ කියන කතාව ගොඩක්ම අදාල වෙන්‍නේ කීරි සම්බා වලට, ඩඩ්ලි සිරිසේන කියපු විදියට මාස හයක්ද කොහෙද ගබඩා කරලා තියන්න ඕන අනුරට ඒක පැටලිලා මාස දෙකක් කියලා කියවුණේ ක්රෑම දාල කටපාඩම් කරගෙන ආපුව අමතක වුණාම එවෙලෙට හිතෙන හැටියට ගණන් කියලා දාලා බොරු කියනවා, හරිම වීස්වාසයෙන් බය නැතුව බොරු කියන්න නම් පුළුවන් මේ අයට, පස්සේ ප්‍රසිද්ධියේ කියනවා අපි නම් එහෙම කිව්වේ නෑ කියල නේද? මාධ්‍ය කාරයෝ සහ සෝෂල් මීඩියා වල වීඩියෝ දෙකම එකටම සෙට් කරලා දවසත් එක්ක දැම්මම රෙදි ඉල්ලෛ.

    ReplyDelete
  7. @Economatta

    මේ මාතෘකාවට අදාල නොවන වෙනත් කාරණයක් ඔබෙන් අහන්න ඕනේ ලංකාවේ රජයට වාහන මිලදී ගැනීමක් නිසා ඉන් රටේ ආර්ථිකයට වන බලපෑම සහ ඉන් රජයේ මූල්‍ය අංශයට වෙන පාඩු පිළිබඳව.

    ඔයාට පුළුවන්ද දැනට ලංකාවේ බලයේ සිටින ජා.ජ.බ. අළුත් ආණ්ඩුව නටන්න හදන අලුත් වාහන නාටකය ගැන ආර්ථික සහ මූල්‍ය පැත්තෙන් විග්‍රහ කරන්න?

    මේ කතාව කියන්නේ ඇමති විජිත හේරත් ජනවාරි 20 දෙරණ 360 දී කළිඳු එක්ක. හැබැයි ඇමති කියන්න කලින් සමහර දේශපාලන නිරීක්ෂකයන් මේ ආණ්ඩුවේ වාහන ප්‍රෝඩාව ගැන සැක පල කළා Rich country beautiful life ජාජබ policies ඇනලයිස් කරලා.

    ලංකාවේ 1948 සිට මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිම ආණ්ඩුවකින් වාහන දුන්නේ නෑ. දුන්නේ තමන්ගේ අතින් වියදම් කරලා වාහනයක් ගේන්න බදු රහිත බලපත්‍රයක්. ඒකෙන් ආණ්ඩුවට හෙන බදු ආදායමක් අහිමි වෙනවා කියලා ජවිපේ එදා ඉදලා පොලවේ පස් කකා කෑ ගැහුවාට වාහන පර්මිට් එක නිසා ආණ්ඩුවට සත පහක වියදමක්වත්, දිගුකාලීන පාඩුවක්වත් උනේ නෑ. පර්මිට් දෙද්දි රජයේ බදු ආදායම අහිමි උනා නම් පහුගිය අවුරුදු පහට ඒ ආදායම ලැබෙන්න ඕන නේ වාහන පර්මිට් නොදුන් නිසා?

    මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන එක වසර පහකට පෙර නතර කරා. ඒක නතර කරේ අනුර නෙමයි. ඒ අපි අරගල කරලා එලවපු ගෝඨාභය. 2021 වසරේදී ගෝඨාභය නතර කරපු පර්මිට් එක ඊට පසුව බලයට ආපු රනිල් 23/24 දී දුන්නෙත් නෑ.

    ඊට ඉස්සර පර්මිට් එක දෙන කාලේ වුණත් ආණ්ඩුවට මන්ත්‍රීවරුන්ගේ වාහන සම්බන්ධයෙන් වියදමක් විදියට ගියේ මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කය අනුව ලබා දෙන ඉන්ධන දීමනාවක් සහ රියදුරු වැටුපක් කියලා සෑම මාසයකම නිශ්චිත ගානක් විතරයි. ඒ ඇරෙන්න මන්ත්‍රී වාහන සම්බන්ධ කිසිම බැදීමක් ආණ්ඩුවට නෑ.

    දැන් විජිත හේරත් කියන විදියට ආණ්ඩුව මේ කරන්න යන්නේ රජය විසින් මුදල් වියදම් කරලා අළුත්ම අළුත් කිරි කිරි ටොයියා වගේ 2025 brand new වාහන 225 ක් මන්ත්‍රීවරුන්ට ගෙන්නන්න හදනවා. පහුගිය කාලේ රජයේ වාහන අසූ දාහක් විතර තියෙනවා කියලා ජාජබ ජනාධිපති අනුර සහ ඇමති විජිත කිව්වානේ. එතකොට මෙච්චර කල් ආණ්ඩුවේ අච්චර වාහන තියනවා මෙච්චර වාහන තියනවා කියපු විජිතලා දැන් කියනවා මන්ත්‍රීවරුන්ට ගැලපෙන වාහන නෑලු. ඒ නිසා අළුතින් ගේන්න වෙනවලු. එතකොට සම්පූර්ණ වියදම රජයෙන්.

    වාහනේ අයිති රජයට නිසා ඒක මන්ත්‍රීවරුන්ට දෙන්න වෙන්නේ පාර්ලිමේන්තු කටයුතු, රාජ්‍ය පරිපාලන වගේ අමාත්‍යංශයකට අනියුක්ත කරලා. දැනට පවතින පරිපාලන රෙගුලාසිවලට අනුව රජයේ වාහනයක් කාටවත් නිකං දෙන්න බෑ. ඒකට රජයේ රියදුරෙක් ඕනෑ වාහනය භාර වෙනනේ රියැදුරන්ට. එතෙකාට අළුතින් රියදුරන් බර තොගයක් බදවා ගන්න වෙනවා. නිවාඩු යන අයටත් එක්ක හරියන්න සංචිතයක්ම ගන්න වෙනවා.

    එතකොට රජයේ රියදුරන් ගත්තම කලින් පෞද්ගලික අයට වගේ නිශ්චිත ගානක් දීලා බෑ. පඩියට අමතරව රජයේ නිවාඩු දින වලට OT බටා විශ්‍රාම රක්ෂණ ඔය ඔක්කොම දෙන්න ඕනි. නිකමට හොයලා බලන්නකෝ සාමාන්‍ය රජයේ රියදුරෙක් දැනට ගන්න සම්පූර්ණ මාසික පඩිය ගැන.

    ඊළගට වාහනය රජයේ නිසා අවුරුදු පහම නඩත්තුව රජයෙන්. ආයේ ඉතිං ගෙදර මිදුලේ වාහනේ හෝදන්නවත් ඕනි නෑ. අමාත්‍යංශය ඒ සේරම බලනවා. ඇණයක්වත් අතේ වියදමින් දාන්න ඕනි නෑ. රක්ෂණය ආදායම් බලපත්‍ර පවා ආණ්ඩුවෙන්.

    මේකේ හොඳම සෙල්ලම එන්නේ අන්තිමට. ඇමති විජිත හේරත් කියන විදියට මන්ත්‍රී ගෙදර යද්දි කැමති නම් රජයේ තක්සේරුවට අනුව වාහනේ ගාන ගෙවලා පැදපු වාහනේ ගෙදර ගෙනියන්න පුළුවන්. තක්සේරුව කියන්නේ 5 වෙනි අවුරුද්දේ තක්සේරුව. අන්න පුතේ පල්ලම.

    සාමාන්‍ය රජයේ
    ගිණුම්කරන තක්සේරු වලට අනුව සාමාන්‍යයෙන් වසර 6 ක් තුල වාහනයක් සම්පූර්ණ ක්ෂය වෙනවා. එලියේ මාර්කට් එකේනේ ඉතිං පරණ වෙන්න වෙන්න වාහන වලට රත්තරන් මිළක් හැදෙන්නේ. හැබැයි රජය තක්සේරු කරන්නේ ගිණුම් ප්‍රමිති වලට. ආණ්ඩුව වියදම් කරලා වාහන ගෙනත්, අවුරුදු පහම ආණ්ඩුව ගානේ වාහන පැදලා, අන්තිමට කුණු කොල්ලෙට ඒ වාහනේ මන්ත්‍රීවරු ගෙදර අරන් යනවා. මිනිස්සු හිටපු අපත හොරු ටික එලවලා දැම්මට ඒ වෙනුවට අලුතෙන් පත්වෙච්ච බයිසිකලයක්වත් ගන්න අතේ සල්ලි නැතුව තාප්ප වලට, බෝක්කු වලට දියවෙවී හිටපු බහුතර ජවිපෙ අයට දැන් කොහොමද ඇදෙන්න යන ලොතරැයිය? මේ ගැන වැඩි විස්තර පැහැදිලි කරලා පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: