වෙබ් ලිපිනය:

Wednesday, January 22, 2025

දෙවන ට්‍රම්පාගමනය


මේ වන විට ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති ලෙස දෙවන වරටද වැඩ භාරගෙන අවසන්. ඔහුගේ දෙවන ධුර කාලය තුළ වඩාත් ආක්‍රමණශීලී ප්‍රතිපත්ති අනුගමනය කෙරෙනු ඇති බව මේ වන විටද ප්‍රදර්ශනය වී අවසන්. ජනාධිපති ට්‍රම්ප් දෙවන වරට ධවල මන්දිරය වෙත පිවිසෙන්නේ පළමු වර පැමිණියාට වඩා බෙහෙවින්ම ශක්තිමත් විධායකයෙකු ලෙසයි.

ජනාධිපති ට්‍රම්ප් පළමු වර තේරී පත්වීම බොහෝ දෙනෙකු විසින් දුටුවේ අහම්බයක් ලෙසයි. බොහොමයක් පුරෝකථන අනුව ජනාධිපති තරඟය තුළ ඉදිරියෙන් සිටියේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටනුයි. එහෙත් මෙවර ඔහුගේ තේරී පත් වීම පිළිබඳව මුල සිටම එතරම් සැකයක් තිබුණේ නැහැ.

ඇමරිකාවේ මැතිවරණ ක්‍රමය අනුව පළමු වාරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති සේ පත් වුවද, එම ජනාධිපතිවරණයේදී ඔහු ලබා ගත්තේ හිලරි ක්ලින්ටන් විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා මිලියන 2.9කින් පමණ (2.1%කින්) අඩු ඡන්ද සංඛ්‍යාවක්. එහෙත් මෙවර ඔහු ප්‍රතිවාදී අපේක්ෂිකාවට වඩා මිලියන 2.3ක (1.5%ක) ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා.

පළමු වර ධවල මන්දිරය වෙත පැමිණියේ එතරම් අත්දැකීම් නොමැති ජනාධිපතිවරයෙක්. එහෙත්, මෙවර නැවත ධවල මන්දිරය වෙත පැමිණෙන්නේ වසර හතරක් ජනාධිපති ධුරයේ කටයුතු කර අත්දැකීම් ඇති අයෙක්. ඒ නිසා, ඔහුට මෙවර "ඉගෙන ගැනීම සඳහා" කාලය අවශ්‍ය වන්නේ නැහැ. 

ජනාධිපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පළමු දිනයේදීම ජනාධිපති ට්‍රම්ප් විසින් විධායක නියෝග ගණනාවකට අත්සන් කළා. මේ කිසිවක් අනපේක්ෂිත තීරණ නෙමෙයි. බලයට පත් වූ වහාම ඔහු ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණ සමය තුළ ඔහු විසින් දිගින් දිගටම කියා සිටි දේවලුයි. මෙම විධායක නියෝග දෙස බැලීමෙන් ඉදිරි වසර හතරක කාලය තුළ ඇමරිකාවේ දිශානතිය පිළිබඳව අදහසක් ගත හැකියි.

ඇමරිකාව විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර මනා බල සමතුලනයක් ඇති රටක්. එබැවින්, ජනාධිපතිවරයෙකු විසින් නිකුත් කරන විධායක නියෝග අධිකරණයේදී අභියෝගයට ලක් කළ හැකියි. ජනාධිපති ට්‍රම්ප්ගේ විධායක නියෝග ගණනාවක්ම ඒවා නිකුත් කළ සැණෙකින්ම මෙන් අධිකරණය තුළ අභියෝගයට ලක් කර තිබීමද නිරීක්ෂණය කළ හැකියි. 

A) රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම පිණිස අලුත් දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීම: මෙහි අරමුණ මෘදුකාංග භාවිතය, ඩිජිටල්කරණය, ස්වයංකරණය ඇතුළු නවීන තාක්ෂණ ක්‍රමවේද යොදා ගනිමින් රාජ්‍ය අංශයේ කාර්යක්‍ෂමතාවය ඉහළ නැංවීමයි. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඊලන් මස්ක්ව නම් කර තිබෙනවා. මෙම දෙපාර්තමේන්තුවේ ආයතනික ව්‍යුහය දැනටමත් අධිකරණයේදී අභියෝගයට ලක් කර ඇතත්, එමගින් එහි ආයතනික ව්‍යුහය පවතින නීති රාමුවට අනුගත වීම හැර වෙනත් දෙයක් සිදු වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ.

2. රාජ්‍ය අංශයේ සියලු සිවිල් බඳවා ගැනීම් අත්හිටවීම: මෙම නියෝගය අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අංශයේ දැනට පවතින පුරප්පාඩු පිරවීම සහ අලුත් තනතුරු ඇති කිරීම අත්හිටවා තිබෙනවා.

3. රාජ්‍ය අංශයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීම සඳහා ලබා දී තිබුණු අවසරය ඉවත් කිරීම: මේ අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ට නැවතත් පෙර මෙන් දිනපතා සේවයට වාර්තා කිරීමට සිදු වෙනවා. අපේ ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රාන්ත රජයයන් විසින්ද ෆෙඩරල් රජය අනුගමනය කරමින් මෙම අවසරය ඉවත් කර තිබෙනවා.

4. රාජ්‍ය අංශයේ අනාගත බඳවා ගැනීම් මුළුමනින්ම කුසලතාවය මත පදනම්ව, ඉක්මණින් හා කාර්යක්ෂම ලෙස සිදු කෙරෙන පරිදි වැඩ පිළිවෙලක් සකස් කිරීම. 

B) සුළුතර කොටස් වලට තිබුණු විශේෂ වරප්‍රසාද හා/හෝ පිළිගැනීම් අහෝසි කරමින් ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. දින 60ක කාලයක් ඇතුළත රජයේ බඳවාගැනීම්, සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු ආදියේදී "විවිධත්වය, සමානාත්මතාවය සහ සියල්ලන් ඇතුළු කරගැනීම" තහවුරු කිරීම පිණිස ඇති කර තිබුණු සියළු තනතුරු අහෝසි කිරීම, මේ හා අදාළ පුහුණු කිරීම් සිදු කිරීම සඳහා ලබා දී තිබුණු කොන්ත්‍රාත්තු අවලංගු කිරීම.

2. ෆෙඩරල් රජයේ නිල ප්‍රතිපත්තිය ලෙස, ස්ත්‍රී හා පුරුෂ යනුවෙන්, වෙනස් කළ නොහැකි, උපතේදී ජාන අනුව තීරණය වන, ලිංග දෙකක් පමණක් ඇති බව පිළිගැනීම සහ එම ලිංග දෙකට අමතරව වෙනත් ලිංග ලෙස හඳුනාගෙන තිබෙන සංක්‍රාන්ති-ලිංගික වැනි අර්ථදැක්වීම් පිළි නොගැනීම.

3. ගුවන් නියමුවන් බඳවා ගැනීමේදී "විවිධත්වය, සමානාත්මතාවය සහ සියල්ලන් ඇතුළු කරගැනීම" යන පදනම මත අඩු කුසලතා ඇති අය බඳවා ගෙන ඇත්නම් ඔවුන් වෙනුවට වැඩි කුසලතා ඇති අය ආදේශ කිරීම. 

4. උතුරු ඇමරිකාවේ උසම කන්ද වන ඇලස්කාවේ පිහිටි ඩනාලි කන්ද මැකින්ලි කන්ද ලෙස නැවත නම් කිරීම. මැකින්ලි යනු ඇමරිකාවේ 25වන ජනාධිපති වරයාගේ නම වන අතර 2015 දක්වා මෙම කන්දේ නිල නමයි. ඩනාලි යනු ස්වදේශිකයින් විසින් සියවස් ගණනක් තිස්සේ භාවිතා කළ නමයි.

C) පාරිසරික නීති ඉවත් කරමින් හා පාරිසරික ක්‍රියාමාර්ග නොසලකා හරිමින් ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. දින 60ක කාලයක් ඇතුළත රජයේ බඳවාගැනීම්, සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු ආදියේදී "පාරිසරික යුක්තිය" තහවුරු කිරීම පිණිස ඇති කර තිබුණු සියළු තනතුරු අහෝසි කිරීම, මේ හා අදාළ පුහුණු කිරීම් සිදු කිරීම සඳහා ලබා දී තිබුණු කොන්ත්‍රාත්තු අවලංගු කිරීම.

2. විදුලි වාහන සඳහා ලබා දී ඇති විශේෂ සහන ඉවත් කිරීම.

3. මාළුන් රැකගැනීමට වඩා මිනිසුන් රැක ගැනීම වැදගත් බැවින් පාරිසරික හේතු මත නවත්වා ඇති ජාල සම්පාදන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම.

D) සංක්‍රමණික වරප්‍රසාද සීමා කරමින් ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. මෙතෙක් ඇමරිකාවේදී ඉපදෙන සියලු දරුවන්ට හිමි වූ උපතින් ලැබෙන පුරවැසි අයිතිය අහෝසි කිරීම. මේ අනුව, ඇමරිකානු පුරවැසියෙකුගේ හෝ ස්ථිර පදිංචිකරුවෙකුගේ ජීව විද්‍යාත්මක දරුවෙකු නොවේනම්, දින 30ක කාලයකින් පසුව (පෙබරවාරි 20 දින සිට), ඉපදෙන දරුවන්ට පුරවැසිකම හිමි නොවේ. මෙම විධායක නියෝගය දැනට අධිකරණයේදී අභියෝගයට ලක් කර ඇති අතර ඒ අනුව මෙම නියෝගය ව්‍යවස්ථාවට අනුකූලද යන ප්‍රශ්නය ඉතිරි වී තිබෙනවා.

2. ජනාවාරි 27 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සරණාගතයින් ඇමරිකාවට ඇතුළු කර ගැනීම අත් හිටවා තිබෙනවා.

3. ඇමරිකාවේ දකුණු මායිමේ භෞතික තාප්පයක් බැඳීම, එම මායිමේ නීතියේ පාලනය දැඩි කිරීම සහ එම දැඩි පාලනය දිගටම පවත්වා ගෙන යාම. අවේක්ෂණය සඳහා මිනිසුන් රහිත නිරීක්ෂණ උපකරණ යොදා ගැනීම.

4. රට තුළ දැනට සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් අත් අඩංගුවට ගැනීම,  පිටුවහල් කරන තුරු තාවකාලිකව රඳවා තබා ගැනීම සහ රටින් පිටුවහල් කිරීම. නීති විරෝධී සංක්‍රමණිකයින්ට අපරාධ දඬුවම් නියම කිරීම. නීති විරෝධී සංක්‍රමණිකයින්ට පහසුකම් සලසන්නට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.

5. ඇමරිකාවේ දකුණු සීමාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ එම සීමාව හරහා රටට ඇතුළු වීමට උත්සාහ කරන්නන් ආක්‍රමණිකයින් ලෙස හඳුනා ගැනීම.

E) නීතියේ පාලනය දැඩි කරමින් ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. මරණ දඬුවම පැනවිය හැකි වැරදි සඳහා මරණ දඬුවම පැනවීමට ප්‍රතිපත්ති තීරණයක් ගැනීම. ඒ සඳහා අවශ්‍ය පහසුකම් (විෂ එන්නත් ආදිය) අවශ්‍ය පමණ ඇති බව තහවුරු කිරීම. වෙනත් සාධක කවරක් වුවද (අ) නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු ඝාතනය කර ඇති විට; සහ (ආ) නීති විරෝධී සංක්‍රමණිකයෙකු විසින් මරණ දඬුවම පැනවිය හැකි වරදක් කර ඇති විට මරණ දඬුවම පැනවිය යුතුයි.

F) බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. ජාතික බලශක්ති හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම.

2. ඇලස්කා ප්‍රදේශයේ බලශක්ති නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කටයුතු කිරීම.

G) ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:

1. ඉදිරියේදී ඇමරිකාවට සිදු කෙරෙන ආනයන මත අය කෙරෙන බදු ඉහළ දැමෙනු ඇත.

2. අලුතෙන් නියාමන නීති පැනවීම අත්හිටුවා ඇත.

H) ජාත්‍යන්තර සම්බන්ධතා හා අදාළ ක්‍රියාමාර්ග:

1. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වේ. එම සංවිධානය වෙනුවෙන් තවදුරටත් මුදල් වැය නොකෙරේ.

2. එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස පිළිබඳ සම්මුතීන්ගෙන් (පැරිස් සම්මුතියෙන්) ඇමරිකාව ඉවත් වනු ඇති අතර අදාළ කටයුතු වෙනුවෙන් තවදුරටත් මුදල් වැය නොකෙරේ.

මෙම විධායක නියෝග වලින් ඇමරිකාවට හා ලෝකයට තිබෙන බලපෑම ගැන ඉදිරියේදී කතා කරමු.



8 comments:

  1. තව දවස් 1459 යි.

    ReplyDelete
  2. ඉහත D 1 ව්‍යවස්තා විරෝදී කියල ට්‍රම්ප්ම පිලිඅරගෙන තියෙනවනෙ E වලදි

    ReplyDelete
  3. පේන විදිහට ට්‍රම්ප් මෙතනදී එක්සත් ජනපදය පැත්තෙන් බලනකොට සෑහෙන හොඳම තීරණ අරගෙන තියෙනවා නමුත් ඒවා ලංකාව වගේ වෙනත් රටවලට ඔය සමහර තීරණ අවාසි සහගත වෙන්න පුළුවන් උදාහරණ විදිහට ආනයන මත බදු බර අධික වීම නිසා ලංකාවේ අපනයන වලට අමාරු වීම සහ සංක්‍රමණික ලාංකිකයන්ට ටිකක් අමාරු වීම, යුක්රේනය වගේ රටවල කුලී පදනම මත සටන් කරන ලාංකික සොල්දාදුවන්ට වගේ..

    ලෝක සෞඛ්‍ය ගැන සුවිශේෂී තීරණයක් ගත්තා ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ඊයෙ. ඔහු ඊයෙ අත්සන් කල විශේෂ ගැසට් පත්‍රයක් මගින් IVERMECTIN නම් වූ බෙහෙත කොවිඩ් වලට එරෙහිව යොදාගත හැකි දැයි පරීක්ෂණ කිරීමට එරෙහිව ඇමෙරිකානු ඖෂධ අධිකාරිය (FDA) විසින් පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබුවා. මේක දැනට බොහෝ සේ සතුන්ට දෙන බෙහෙතක් ලෙසයි හඳුන්වන්නෙ නමුත් ivermectin පාවිච්චි කල බොහෝ කොවිඩ් රෝගීන් සුවය ලැබුවා නමුත් මේ ගැන පරීක්ෂණ කිරීම ඖෂධ මාෆියාවෙන් යැපෙන අධිකාරිය තහනම් කරනු ලැබුවා. මෙය පිලිකා සුව කිරීමටද යොදා ගත හැකි බව මතයක්. මේ තහනම් ඉවත් කිරීමට සිය ප්‍රථම දිනයේදීම නව ජනාධිපතිතුමා ගත් තීරණයෙන් හැඟෙන්නේ මෙහි යම් සත්‍යයක් ගැබ් වී ඇති බවයි. එසේම කොවිඩ් එරෙහි සටනේදි බොහෝ වැරදි තීන්දු තීරණ ගත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඉවත් වීමටත් ටෘම්ප් රජය තීරණය කලා. මෙය වසංගත හරහා ලෝක ප්‍රජාවගේ දිශානතිය තීරණය කරන ලෝක ඖෂධ මාෆියාවට මරු පහරක් වෙනු ඇති.

    IVERMECTIN is used to treat parasitic infections in both people and animals, but the type given to animals is unsafe for people. Although people believe it may help treat COVID, the FDA has not approved it for that purpose. One of the first executive papers signed by President Trump is to remove restrictions imposed on further clinical experiments & research of Ivermectin which some claim may help cure cancer.

    හැබැයි නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන්න කලින් හිටපු ජනාධිපති, ජෝ බයිඩන් නිල වශයෙන් තනතුරෙන් විශ්‍රාම ගැනීමට මිනිත්තු 15 ක් තිබියදී අත්සන් කළ අවසන් විධායක නියෝගය මගින් ඔහු, නඩු වැටීමේ අවදානමක් ඇති ඔහුගේ පවුලේ තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුටම කොන්දේසි විරහිත ජනාධිපති සමාවක් ප්‍රධානය කළා. ඒ අනුව 2014 වසරේ සිට 2025 ජනවාරි දක්වා කාලයේ ඔවුන් විසින් කළ නඩු දැමූ, නඩු නොදැමූ, හෙළි වූ සහ හෙළි නොවූ සියලූම බරපතල අපරාධ වැරදි වලට දූෂිත බයිඩන් නමැති අපරාධකාරී ක්රිමිනල් පවුලේ සාමාජිකයන් සියලූම දෙනාට ජනාධිපති සමාව ප්‍රධානය කර තිබෙනවා.

    මින්පෙර ඔහු ඔහුගේ පුත්‍රයා වන, ළමා අපචාර සහ මූල්‍ය වැරදි කිහිපයකට චෝදනා එල්ල වූ හන්ටර් බයිඩන්ටත් ජනපති සමාව ප්‍රධානය කළා.

    එමෙන්ම ඔහු ජනපති ට්‍රම්ප්ට එරෙහිව දේශපාලනික කුමන්ත්‍රණයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ රාජ්‍ය සේවකයන් පිරිසකටද ජනපති සමාව ලබා දුන්නා. අප කුඩා කාලයේ හිටපු තවත් අන්ත දූෂිත අසභ්‍ය ස්ත්‍රී දූෂකයකුවූ ඩිමොක්‍රටික පක්‍ෂයේම බිල් ක්ලින්ටන් ජනපතිගේත් අන්තිම විධායක නියෝගය උනේ , එයාගෙ සහෝදරයාට ජනාධිපති සමාව දෙන එක බවත් මතකයි නේද?

    බලාගෙන යනකොට අපි කුණු බැනුම් වලින් බනින ලංකාවේ හිටපු ජනපති උන් පවා කොච්චර හොඳද නේද?

    ReplyDelete
  4. @ ඉකෝන්

    ඇත්තටම ට්‍රම්ප් ජනාධිපති වුණ ගමන්ම ෂොට් එක දුන්න එක්සත් ජනපද ඩීප්#₹@%ස්^ටේටයට සම්බන්ධ කුමන්ත්‍රණකාරී බු^ද්ධි%/ අංශ ප්‍රධානීන් 51 දෙනා ගැන කවුරුවත් කතා නොකරන්නෙ ඇයි.

    මිනීමරු කාලකණ්නිම ජෝ බයිඩන් කියන පාහර යුධ අපරාධකාරයා තමයි යුක්රේනෙයි ගාසාවලයි මිනිස්සු ලක්ෂ ගානක් මරන්න සියලු නිල සහ වක්‍ර සහයෝගය වගේම අවශ්‍ය සියලුම පහසුකම් සහ අවි ආයුධ දුන්නෙ. ඇමරිකානුවන් පවා ඔහුව හඳුන්වන්නෙ ජෙනොසයිද් ජූ විදියට.

    අන්තිම මොහොතෙදිත් හන්ටර් බයිඩන් කියන තමන්ගෙ දූෂිත අපරාධකරුවකුවන පුතාට තිබුන සියලුම අපරාධ නඩුවලින් නිදහස් කරපු අතිශය පහත් අමන චරිතයක්.

    ධූරයෙන් සමුගන්න මේ නින්දිත යුධ අපරාධකාරයට සුබ පැතුම් වෙනුවට කියන්න තියෙන්න get out and rot in hell කියලා.

    කෙසේ වුවත් යුක්රේනයේ රුසියාවට එරෙහිව දියත්කල ජනඝාතක එක්සත් ජනපද මෙහෙයුමට වගකිව යුතු සියලු දෙනා පෙන්ටගනය විසින් සේවයෙන් පහ කර හෝ අත්හිටුවා ඇති බව දැනට එක්සත් ජනපදයේ සිටින යුක්රේන මාධ්‍යවේදී රෝමන් බොච්කාලා වාර්තා කළා.

    "යුක්රේනයට වගකිව යුතු සියලු දෙනා සේවයෙන් පහ කර හෝ අත්හිටුවා ඇත. තවත් ඊට දුරින් සිට අමතර සහාය දුන් බවට චෝදනා ඇති අය පවා වෙනත් තනතුරුවලට මාරු කරනු ලැබේ.

    මූථ සම්පූර්ණ නැවත ආරම්භයක් නිසාම අනිවාර්යයෙන්ම වෙනස්කම් සිදුවනු ඇත. සබඳතාවල නව ආකෘතියක්," ඔහු වොෂින්ටන් පෝස්ට් හි මාධ්‍යවේදීන් සමඟ පැවති හමුවකින් පසුව ෆේස්බුක් හි ලිවීය.

    මේ පිළිබඳව රාජ්‍ය ලේකම් රුබියෝ පැවසුවේ යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම එක්සත් ජනපද ප්‍රතිපත්තියේ නව ප්‍රධාන කරුණක් වනු ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. යුක්රේනය ආක්‍රමණය කළ පුටින් කියන ‍නාකි යුද්ධ අපරාධකාරයා ‍ෙහෝදමින් යුක්රේනයට දොස් කියන්නෙ ඇයි?

      Delete
  5. ට්‍රම්ප් ඇවිත් දින එකක් තුල පෙර පැවති අන්ත දූෂිත ජනඝාතක ඩිමොක්‍රටික රජයේ ජනතා විරෝධී තීන්දු 78ක් ආපසු හැරවීම් ඇතුළු විධායක නියෝග 200 සිදුකරමින් ඓතිහාසික ආරම්භයක් ලබා දෙනවා.

    ඒ අතර පහත දේ ප්‍රධානයි:

    (1) ජනවාරි 6 සිදුවීමට සම්බන්ධ වර්තමාන රිපබ්ලිකන් ආණ්ඩු පක්ෂයේ ආධාරකරුවන් බොහෝමයකට සමාව දීම

    (2) දකුණු දේශසීම මායිම සඳහා හදිසි තත්වයක් ප්‍රකාශ කිරීම

    (3) පොලිස් නිලධාරියෙකු ඝා\තනය කලහොත් ම\රණ දඬුවම ලබා දීම

    (4) ම\ත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ත්‍ර\ස්තා\වාදීන් ලෙස නම්කිරීම

    (5) ගෑණු සහ පිරිමි යන ලිංගිකත්ව දෙක පමණක් පිළිගැනීම.

    (6) රජයට නව බඳවා ගැනීම් නැවත්වීම

    (7) තාවකාලින සංක්‍රමණිකයන්ගේ ළමුන්ට පුරවෑසිකම අත්හිටවීම

    (8) ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන ගෙවීම් නවත්වා ඉන් ඉවත්වීම

    (9) තම රටට අවාසිසහගත පැරිස් කාලගුණික සම්මුතියෙන් ඉවත්වීම

    ඒ අතරේ අමුතු ඇටයේ තඹුත්තේගම මොංගල් පචෝරිස් බේගල් ජෝනා රජ වී මාස 4 ගිය පසු...

    තමන් රට පුරාම උද්ඝෝෂණ කර විවේචනය කර එපාම කියූ නමුත් ඒවා නොතකා තමන්ගෙන් ඇනුම් බැනුම් දොස් අහගෙන පෙර රජයන් වෙනත් රටවල් සමඟ එකඟ වූ ගිවිසුම් සහ ආයෝජන දැන් ලැජ්ජා නැතිව තමන්ගේ නමින් ලියාගැනීමට උත්සාහකොට කුජීත ලෙස කිච වීම, හාල් මෝල් කරුවන්ටත් පච වීම, ත්‍රීවිලර් බස් මල්ලිලාටත් පච වීම, ගෙවල් කුලි එකතු කරන්න ඕනේ කියා ළිඳ ළඟ සංගම්වල පීචං ටෝක් දී බලු වීම, තමන්ගේම කටින් මාසෙකට දෙකකට කලින් ප්‍රසිද්ධ වේදිකාවේ විලාප තබා කී දේ දැන ලැජ්ජ නැතිව "අපෝ අපි නම් එහෙම කීවේ නෑ කීම",..... etc. etc.etc.. වැනි ගොන් ආතල් සාගරයක් කරමින් සිටි...

    ReplyDelete
  6. ගොඩ යමු ඉකොනො. මුදල් සොයමු

    ReplyDelete
  7. // "විවිධත්වය, සමානාත්මතාවය සහ සියල්ලන් ඇතුළු කරගැනීම" තහවුරු කිරීම පිණිස ඇති කර තිබුණු සියළු තනතුරු අහෝසි කිරීම, මේ හා අදාළ පුහුණු කිරීම් සිදු කිරීම සඳහා ලබා දී තිබුණු කොන්ත්‍රාත්තු අවලංගු කිරීම.

    ෆෙඩරල් රජයේ නිල ප්‍රතිපත්තිය ලෙස, ස්ත්‍රී හා පුරුෂ යනුවෙන්, වෙනස් කළ නොහැකි, උපතේදී ජාන අනුව තීරණය වන, ලිංග දෙකක් පමණක් ඇති බව පිළිගැනීම සහ එම ලිංග දෙකට අමතරව වෙනත් ලිංග ලෙස හඳුනාගෙන තිබෙන සංක්‍රාන්ති-ලිංගික වැනි අර්ථදැක්වීම් පිළි නොගැනීම.

    ජනාවාරි 27 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සරණාගතයින් ඇමරිකාවට ඇතුළු කර ගැනීම අත් හිටවා තිබෙනවා.
    //

    Society will start to heal.. UK & EU should follow the same.

    - Udaya D

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: