වෙබ් ලිපිනය:

Friday, February 14, 2025

විදුලිය නැති කළ වඳුරා කවුද?

මෑතකදී ලංකාවේ විදුලි බල පද්ධතියම එකවර බිඳ වැටුනා. මේ වැඩේ දැන් තරමක් කෙටි කාලාන්තර තුළ නැවත නැවත සිදු වෙන දෙයක් වෙලා. එක් ප්‍රවාදයකට අනුව වග කිව යුත්තා වඳුරෙක්. පොල් ගණන් ගිහින් තියෙන්නෙත් වඳුරෝ නිසා කියලා කියනවනේ. එහෙම බැලුවහම වඳුරෝ දැන් ලංකාවේ ඉන්න ලොකුම ආණ්ඩු විරෝධී කණ්ඩායම වගේ. යන විදිහට 2030 දිනන්නේ වඳුරෝ වෙන්නත් බැරි නැහැ. 

කොහොම වුනත්, තවත් ප්‍රවාදයක් තියෙනවා. ඒ ප්‍රවාදයට අනුව, විදුලි බල පද්ධතිය ස්ථාවරව තියාගන්න අසීරු වී තියෙන්නේ සූර්ය බල විදුලිය ඕනෑවට වඩා පද්ධතියට එක් කිරීම නිසා. මේ සටහන ඒ ගැන විමසා බැලීමක්.

මෙය ආර්ථික විද්‍යා විමසුමක් නෙමෙයි. නමුත් කතා කරන්න තියෙන්නේ ඉල්ලුම, සැපයුම සහ ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන. ආර්ථිකය හසුරුවන මධ්‍යගත සැලසුමක් නොවෙතත්, කතාවේ මධ්‍යගත සැලසුමකුත් තිබෙනවා. 

විදුලිය ගබඩා කර තියා ගන්න බැහැ. ඒ නිසා, විදුලිය නිපදවන විටම පරිභෝජනය කරන්න වෙනවා. පරිභෝජන ඉල්ලුම විචලනය වන්නක් නිසා, ඉල්ලුමට ගැලපෙන විදිහට සැපයුම කළමනාකරණය කරන්න වෙනවා. මේ වැඩේ කරන්නේ මධ්‍යගත ක්‍රමයකට. සාමාන්‍යයෙන් කොයි රටක වුනත් ඔය වැඩේ කරන්නේ ඔය විදිහට. සමහර කටයුතු වලදී මධ්‍යගත සැලසුම් වඩා කාර්යක්ෂමයි. 

ලංකාවේ විදුලිය නිපදවන ක්‍රම ගණනාවක් තිබෙනවා. ඒ අතරින් සම්ප්‍රදායික ක්‍රම වන්නේ ජල විදුලි උත්පාදනය සහ තාප විදුලි උත්පාදනය. පුනර්ජනනීය බලශක්ති කියන්නේ සාපේක්ෂව අලුත් දෙයක්. 

ජල විදුලි උත්පාදනයේදී සිදු වෙන්නේ ඉහළ උසක තිබෙන ජලයේ විභව ශක්තිය යොදා ගනිමින් ටර්බයිනයක් කරකවා එමගින් ඒ විභව ශක්තිය චාලක ශක්තිය බවට හරවාගෙන ඉන් පසුව එම චාලක ශක්තිය විදුලි බලය බවට හරවා ගැනීම. විදුලි ජනකයකින් කරන්නේ චාලක ශක්තිය විදුලි බලය බවට හරවන එක. 

තාප විදුලිය හදද්දී වෙන්නෙත් මීට කිට්ටුවෙන් යන දෙයක්. එහිදී උණුසුම් ජල වාෂ්ප වල තිබෙන තාප ශක්තිය චාලක ශක්තිය බවට හරවාගෙන ඉන් පසුව එම චාලක ශක්තිය විදුලි බලය බවට හරවා ගන්නවා. ඩීසල්, ස්වභාවික වායු, ගල් අඟුරු වගේ කොයි ඉන්ධනයක් යොදා ගත්තත් එයින් කරන්නේ ඉන්ධනය දහනය කරද්දී ලැබෙන තාප ශක්තිය යොදා ගෙන ටර්බයිනයක් කරකවන එක. එක්කෝ උණුසුම් ජල වාෂ්ප වලින්. එහෙම නැත්නම් උණුසුම් ස්වභාවික වායු වලින්. ඔය දෙකෙන්ම කලවමේ වෙන්නත් පුළුවන්. කොහොම හරි අන්තිමට විදුලිය හැදෙන්නේ දඟරයක් ඇතුළේ චුම්බකයක් කරකැවෙන එකෙන්. 

ලංකාවේ භාවිතයේ නැතත්, න්‍යෂ්ඨික බලාගාර වල වෙන්නෙත් ඔය වැඩේමයි. න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාවකින් හැදෙන තාප ශක්තිය චාලක ශක්තිය වෙලා පසුව විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් විදුලි ශක්තිය බවට පත් වෙනවා. බයිසිකලයක් පදින කොට එහි ප්‍රධාන විදුලි ලාම්පුව පත්තු වෙන්නෙත් ඔය ක්‍රමයට. බයිසිකලය පාගද්දී ලබා දෙන චාලක ශක්තිය බයිසිකලයේ තිබෙන කුඩා විදුලි ජනකයෙන් විදුලි ශක්තිය බවට හරවනවා. 

ඔය ක්‍රම වලින් හැදෙන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා (AC) විදුලිය. ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලියේ වෝල්ටීයතාව කිසියම් නිශ්චිත කාලාන්තරයක් තුළ ධන සෘණ ධන සෘණ ලෙස දිශාව මාරු කරනවා. මෙය සිදු වෙන්නේ සුමට විදිහටයි. එකවර ධන සෘණ මාරු වෙන්නේ නැහැ. ටිකෙන් ටික අඩු වෙලා, බිංදුවට ආවට පස්සේ සෘණ පැත්තට යනවා. ඒ වගේම ටිකෙන් ටික වැඩි වෙලා බිංදුවට ආවට පස්සේ නැවත ධන පැත්තට යනවා. මේ චක්‍රයක් සම්පූර්ණ වෙන්න යන කාලය විදුලිය නිපදවන ජනක යන්ත්‍රය කැරකෙන වේගයට සමානුපාතිකයි. 

නමුත් සූර්ය කෝෂ වලින් හදන්නේ ඔය විදිගේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය නෙමෙයි. එය සරල ධාරා විදුලිය (DC).  ධන සෘණ ලෙස දිශාව මාරු වීමක් නැහැ. වෝල්ටීයතාවය ස්ථාවර මට්ටමක දිගටම තිබෙනවා. 

අපේ ගෙවල් වලට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය. ඒ නිසා, ගෙවල් වල විදුලි උපකරණ බොහොමයක් හදලා තියෙන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලියෙන් වැඩ කරන විදිහට. ඒ වගේම රටක ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලියේ වෝල්ටීයතාවය සහ සංඛ්‍යාතය පිළිබඳ සම්මතයක් තිබෙනවා. ලංකාවේ සම්මතය වෝල්ට් 230 සහ සංඛ්‍යාතය හර්ට්ස් 50. ඇමරිකාවේනම් වෝල්ට් 120 සහ සංඛ්‍යාතය හර්ට්ස් 60. මේ වෙනස නිසා ඇමරිකාවේ භාවිතා වෙන විදුලි උපකරණයක් සෘජුවම ලංකාවේ විදුලියට සම්බන්ධ කරන්න බැහැ. එහෙම කරන්නනම් අතරමැදි උපකරණයක් අවශ්‍ය වෙනවා. 

මෙහි සංඛ්‍යාතය කියා කියන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය තප්පරයකදී සම්පූර්ණ කරන චක්‍ර ගණන. එහෙමත් නැත්නම් ධන සෘණ මාරු කරන වාර ගණන. එය එම විදුලිය නිපදවන ජනක යන්ත්‍ර තත්පරයකට කැරකැවෙන වාර ගණනට සමානුපාතිකයි.

ලංකාවේ ජනක යන්ත්‍ර සියල්ලම එක් තනි පද්ධතියක් ලෙස සම්බන්ධ කරලයි තියෙන්නේ. ලෝකයේ අනෙක් රටවල ඒ වැඩේ වෙන්නත් ඔය ක්‍රමයට. මේ ජනක යන්ත්‍ර සියල්ලෙන්ම පද්ධතියට ලැබෙන විදුලිය ඉන් පසුව රට පුරා තිබෙන ග්‍රිඩ් උප පොළවල් හරහා පාරිභෝගිකයන්ට බෙදා හරිනවා. ඒ සඳහා මධ්‍යගත සැලසුමක් අවශ්‍යයි.

මේක අපි ලංකාවේ සහල් වෙළඳපොළට සමාන කළොත් මුළු රටේම සහල් ටික රජය විසින් එකතු කරගෙන පාරිභෝගිකයින්ට බෙදා දෙන එක වගේ වැඩක්. හැබැයි හාල් ගබඩා කර තියා ගන්න පුළුවන්. විදුලිය ගබඩා කර තියා ගන්න බැහැ. ඒ නිසා, හැම මොහොතකම ඉල්ලුම හා සැපයුම සමතුලිතව තියා ගන්න වෙනවා. වෙළඳපොළ මිල යාන්ත්‍රනය හරහා ඉබේටම සිදු වන ආකාරයේ සමතුලිතතාවයක් මෙහිදී ඇති වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පවතින මිල දෙස බලා ප්‍රතිචාර දැක්විය හැකි වුවත්, ජනක යන්ත්‍ර වලට එහෙම කරන්න බැහැ.

නමුත්, වෙළඳපොළ මිල සංඥාව වගේ එකක් මෙතැනත් තියෙනවා. වෙළඳපොළේ සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යනවනේ. ඒ වගේම, විදුලි බල පද්ධතියේ සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් ජනක යන්ත්‍රයකට වටයක් කැරකෙන්න යන කාලය වැඩි වෙනවා. ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් මොකද වෙන්නේ? වෙළඳපොළකනම් මිල අඩු වෙනවා. විදුලි බල පද්ධතියේ වෙන්නේ ජනක යන්ත්‍ර කැරකෙන්න ගතවන කාලය අඩු වෙන එක. 

ජනක යන්ත්‍රයකට වටයක් කැරකෙන්න යන කාලය වැඩි වෙනවා කියන්නේ කැරකෙන වේගය අඩු වෙනවා කියන එක. ඒක හරියට කරත්තෙකට බර ගොඩක් පැටෙවුවහම කරත්තේ අදින ගොනාගේ වේගය අඩු වෙනවා වගේ වැඩක්. ගොනාට බර දරාගන්න අමාරු වෙනවා වගේම, විදුලි ජනක යන්ත්‍ර වලටත් විදුලි ඉල්ලුම වැඩි වීමේ බර දරාගන්න අමාරු වෙනවා. 

අනෙක් අතට විදුලි ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් වෙන්නේ පල්ලමක් බහිද්දී බයිසිකලයක වේගය වැඩි වෙනවා වගේ වැඩක්. ජනක යන්ත්‍ර කරකැවෙන වේගය වැඩි වෙනවා. ඒ කියන්නේ තප්පරයකට කැරකෙන වට ගණනත් වැඩි වෙනවා. නිපදවන විදුලියේ සංඛ්‍යාතය ඉහළ යනවා.

දැන් ඔය විදිහට විදුලි ඉල්ලුම හා සැපයුම වෙනස් වෙද්දී පද්ධතියේ සංඛ්‍යාතයත් අඩු වැඩි වෙනවා. ඒ විදිහට සංඛ්‍යාතය වෙනස් වෙද්දී ඉල්ලුම හා සැපයුම සමතුලිත කරලා සංඛ්‍යාතය නැවත අවශ්‍ය මට්ටමට ගන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද?

මේ වැඩේ කරන්නනම් ඉල්ලුම වැඩි වේගෙන යද්දී සැපයුම වැඩි කරන්න වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී නැවත සැපයුම වැඩි කරන්න වෙනවා. මේ වැඩේ කරන්නේ සංඛ්‍යාතය දිහා බලාගෙන. එක තමයි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය පිළිබඳ සංඥාව. 

මේ විදිහට සැපයුම අඩු වැඩි කරන්න අවශ්‍ය වූ විට විදුලි ජනක වලට ලබා දෙන බලය සීරුමාරු කරලා ඒ වැඩේ සාපේක්ෂව පහසුවෙන් කරන්න පුළුවන්.  ජල විදුලිය නිපදවද්දී අවසානයේදී විදුලි බලය බවට පත් වෙන්නේ පහළට වැටෙන ජලය. ඒ නිසා ජල ප්‍රමාණය පාලනය කරලා විදුලි සැපයුම පාලනය කරන්න පුළුවන්. ඩීසල් විදුලි ජනකයක්නම් දහනය කරන ඩීසල් ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. 

හැබැයි මේ විදිහට විදුලි සැපයුම වැඩි කළ හැක්කේ විදුලි ජනකයක් එහි උපරිම ධාරිතාවයෙන් වැඩ කරන්නේ නැත්නම් පමණයි. ඒ නිසා, ඉල්ලුම යම් සීමාවක් ඉක්මවා ඉහළ යද්දී අලුතෙන් විදුලි ජනකයක් පණ ගන්වන්න වෙනවා. ඉල්ලුම ලොකුවට අඩු වෙනවානම් විදුලි ජනකයක් අක්‍රිය කරන්න වෙනවා.

ක්‍රියාත්මක විදුලි ජනකයක සැපයුම වැඩි කරන එක ක්ෂණයකින් මෙන් කළ හැකි වුවත්, අලුත් විදුලි ජනකයක් පණ ගන්වලා පද්ධතියට එකතු කරන එක ඒ තරම්ම හදිසියෙන් කරන්න බැහැ. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා, ඉල්ලුම ඉහළ යාගෙන එන බව පෙනෙද්දීම විදුලි ජනකයක් ක්‍රියාත්මක කරන වැඩේ පටන් ගන්න වෙනවා. එසේ කරන්නනම් විදුලි ඉල්ලුම වෙනස් වෙන විදිහ පිළිබඳව නිවැරදි පුරෝකථනයක් කරන්න වෙනවා.

පද්ධතියේ ධාරිතාව ඉල්ලුමට වඩා අඩුනම් මොන විදිහකින්වත් අවශ්‍ය ඉල්ලුම සපයන්න බැහැ. ලයිට් කපන්න වෙන්නේ එහෙම වුනාම. සමහර අය අහන ප්‍රශ්නයක් තමයි "හරියටම ලයිට් ඕනෑ වෙලාවටම ලයිට් කපන්නේ ඇයි?" කියන එක. පද්ධතියේ ඉල්ලුම හා සැපයුම සමතුලිතව තියා ගන්නනම්, ලයිට් කපන්න වෙන්නේ හරියටම ඒ වගේ වෙලාවකම තමයි. විදුලි ඉල්ලුම වැඩි වෙන්නේ වැඩිපුරම ලයිට් අවශ්‍ය වෙලාවට!

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂමේ නිර්දේශ අනුව, ලංකාවේ විදුලියේ සංඛ්‍යාතය උපරිම වශයෙන් හර්ට්ස් 1කට වඩා අඩු වැඩි වෙන්න බැහැ. ඒ කියන්නේ හර්ට්ස් 49-51 පරාසයේ තිබිය යුතුයි. ලංවිම සාමාන්‍යයෙන් මෙය හර්ට්ස් 49.5-50.5 පරාසයේ තියා ගන්නවා. එසේ කරන්නේ සැපයුම පාලනය කිරීම මගින්. රට පුරා තිබෙන විදුලි ජනක නිශ්චිත සැලසුමකට අනුව පණ ගැන්වීම සහ අක්‍රිය කිරීම මගින් ඒ වැඩේ කරනවා. මෙසේ කරද්දී වෙනත් අමතර සාධක ගණනාවක්ද සලකා බලන්න සිදු වෙනවා. රටේ තැන් තැන් වල වෝල්ටීයතාවය අඩු නොවී අවශ්‍ය මට්ටමේ තබා ගැනීම, හැකි තරම් අඩු පිරිවැයකින් විදුලිය උත්පාදනය කිරීම වගේ දේවල්.

හදිසියේ අනපේක්ෂිත බිඳ වැටීමක් වෙලා විදුලි සැපයුම එක පාරට අඩු වුනොත් සහ පද්ධතියේ ක්‍රියාත්මකව තිබෙන ජනක යන්ත්‍ර ධාරිතා මට්ටම ආසන්නයේ ක්‍රියාත්මකව ඇත්නම්, වැඩේ ගොඩ දාගන්න අමාරුයි. අලුතෙන් ජනක යන්ත්‍රයක් පණ ගන්වන්න යම් අවම කාලයක් යනවා. ඒ කාලය තුළ, සංඛ්‍යාතය ගොඩක් අඩු වෙන්න පුළුවන්. එය වලක්වා ගැනීම සඳහා කළ හැක්කේ යම් ප්‍රදේශයක, සාමාන්‍යයෙන් බිඳ වැටීම සිදු වුනු ප්‍රදේශයේ, විදුලි සැපයුම විසන්ධි කරන එක. මේ වැඩේ ස්වයංක්‍රීය ලෙසම සිදු වෙනවා. අනපේක්ෂිතව ලොකු බිඳ වැටීමක් වුනොත් රටේම විදුලිය ක්ෂණිකව විසන්ධි වෙන්න පුළුවන්. එහෙම වෙන විදිහට පද්ධතිය සැලසුම් කරලා තියෙන්නේ උපකරණ වල ආරක්ෂාව සඳහා. ඔය වගේ බිඳ වැටීමක් සිදු වුනාට පස්සේ ජනක යන්ත්‍ර සියල්ලම නැවත එකින් එක පණ ගන්වමින් පරිස්සමින් පද්ධතියට එකතු කරන්න වෙනවා. පද්ධතියේ තුලනය පවත්වා ගෙන ඔය වැඩේ කරන්න යම් කාලයක් ගත වෙනවා. පසුගිය දවස් වල සිදු වුනේ ඕක. 

මේ ආකාරයෙන් මුළු රටකම ජනනය වන විදුලි ශක්තිය එකම පද්ධතියකට සම්බන්ධ කර එම විදුලි ශක්තිය රට පුරා බෙදා හරින ඉහත විස්තර කළ ආකාරයේ පද්ධති මුලින්ම සැලසුම් කරද්දී පුනර්ජනනීය බලශක්ති භාවිතයක් තිබුණේ නැහැ. මොන ක්‍රමයෙන් විදුලිය ජනනය කළත් අවසාන අදියරේදී සිදු වුනේ ජනක යන්ත්‍රයක් මගින් ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය නිපදවීමයි. එකට එකතු කෙරුනේ එසේ නිපදවනු ලැබූ "එකම වර්ගයේ" විදුලියයි. 

සූර්ය බල විදුලිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය මේ තත්ත්වය කෙරෙහි බලපාන්නේ කොහොමද?

පෙර කී පරිදි සූර්ය කෝෂ වලින් හදන්නේ සරල ධාරා (DC) විදුලියයි. එහෙත්, නිවෙස් වල භාවිතය සඳහා අවශ්‍ය වන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා (AC) විදුලියයි. ඒ නිසා, නිවෙස් වල භාවිතය සඳහා අපවර්තකයක් (inverter) යොදා ගෙන සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට පරිවර්තනය කර ගත යුතු වෙනවා. මුල් කාලයේදී මෙසේ සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හරවා ගැනීම සඳහා යොදා ගත්තේ යාන්ත්‍රික අපවර්තකයි. එහිදී සිදු වූයේ මුලින්ම නිපදවන විදුලියෙන් DC මෝටරයක් කරකවා එම මෝටරය මගින් ජනක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමයි. මේ ක්‍රමයෙන් මුලින් විස්තර කළ වර්ගයේ "පිරිසිදු" ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා (AC) විදුලිය නිපදවා ගත හැකි වුවත් එම ක්‍රමයේදී සිදු වූ කාර්යක්ෂමතා හානිය ඉතා විශාල වූ බැවින් යාන්ත්‍රික අපවර්තක භාවිතයෙන් ඉවත් වුනා. 

දැන් සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හරවා ගැනීම සඳහා උපයෝගී කරගන්නේ විද්‍යුත් පරිපථ පාදක කරගත් අපවර්තකයි. මෙහි ක්‍රියාකාරිත්වය සරලව පැහැදිලි කිරීම සඳහා, සරල ධාරාවක් උත්පාදනය කරන බැටරියක ධන හා සෘණ අග්‍ර දෙක වරින් වර එකිනෙක මාරු කරමින් කිසියම් පරිපථයකට විදුලි බලය සපයන්නේයැයි සිතමු. එක සමාන කාලාන්තර වලදී, තත්පරයකට 50 වරක් මේ අග්‍ර මාරුව සිදු කරන්නේයැයි සිතමු. මෙහි ප්‍රතිඵලය වන්නේ සරල ධාරා විදුලිය සංඛ්‍යාතය 50 වූ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය බවට හැරීමයි. එහෙත්, මෙහිදී නිපදවෙන්නේ "පිරිසිදු" ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා නොවෙයි. 


කෙසේ වුවද, ඉහත ක්‍රියාවලියේදී ධන සෘණ මාරු කිරීම සඳහා යොදා ගන්නා ස්විච්චය වෙනුවට එවැනි ස්විච්ච කිහිපයක් යොදා ගනිමින් සහ එම ස්විච්ච හරහා ගලා යන විදුලිය එකට එකතු කරමින් වඩා "පිරිසිදු" ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය නිපදවා ගත හැකියි (මේ සමඟ පළ කරන රූප සටහන බලන්න). සූර්ය කෝෂ වලින් ගෙදර හදා ගන්නා විදුලිය ගෙදර භාවිතයට ගන්නේනම් එතැනින් ප්‍රශ්නය ඉවරයි. අපවර්තකයේ "ස්විච්ච ගණන" වැඩි වන තරමට වඩා හොඳ විදුලිය හැදෙනවා. 

නමුත්, මේ විදිහට "ගෙදර හදා ගන්නා" සූර්ය බල විදුලිය පෙර විස්තර කළ ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරද්දී තවත් දේවල් සැලකිල්ලට ගන්න වෙනවා. ඒ අතරින් පළමු ප්‍රශ්නය මේ විදිහට අපවර්තනය කර නිපදවන ප්‍රත්‍යාවර්ත්‍ය විදුලිය සමමුහුර්ත කර ගැනීමයි. එනම්, රූප සටහනේ විදුලි තරංගයේ උසම හා පහළම තැන් ජාතික විදුලි බල පද්ධතියේ විදුලි තරංගය උස් පහත් වන රටාව හා හරියටම ගැලපීමයි. මේ සඳහා තවත් අමතර උපාංග අවශ්‍ය වෙනවා.

ඉහත කී සමමුහුර්තකරණය සඳහා සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ ජාතික විදුලි බල පද්ධතියේ විදුලි තරංගය "කියවා" ඒ අනුව ඊට ගැලපෙන තරංගයක් කෘතිමව හැදීමේ (phase locked loop) තාක්ෂනයයි. මෙම ක්‍රියාවලියේදී අපවර්තනය කර හදන කෘතීම ප්‍රත්‍යාවර්ත්‍ය ධාරාවේ සංඛ්‍යාතයද ජාතික විදුලි බල පද්ධතියේ එම සංඛ්‍යාතය සමඟ හරියටම ගැලපෙනවා මෙන්ම එය වෙනස් වන ආකාරය අනුව වෙනස් වීමද සිදු වෙනවා. දැන් ඒ ප්‍රශ්නයත් ඉවරයි. 

දැන් නැවතත් මුලින් කතා කළ ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය වෙත ගියොත්, සූර්ය බල විදුලිය නිපදවෙන්නේ සූර්යාලෝකය වැටෙන විදිහටයි. සූර්යාලෝකය අඩු වැඩි වෙද්දී නිපදවෙන විදුලිය ප්‍රමාණයද විචලනය වෙනවා. නමුත් සම්ප්‍රදායික ක්‍රම වලට විදුලිය ජනනය කරද්දී මෙවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැහැ. ලබා දෙන ජල ප්‍රමාණය හෝ දහනය කරන ඉන්ධන ප්‍රමාණය හරියටම පාලනය කළ හැකි නිසා සැපයුම අවශ්‍ය මට්ටමේ තියා ගන්න පුළුවන්. විචලනය වෙන්නේ ඉල්ලුම පමණයි.

නමුත් සූර්ය බල විදුලිය පද්ධතියට එකතු කිරීමෙන් පසුව ඉල්ලුම මෙන්ම සැපයුමද විචලනය වෙනවා. සූර්ය බල භාවිතය අඩුනම් මේ විචලනය ඒ තරම් ප්‍රශ්නයක් නොවුනත් භාවිතය ඉහළ යන තරමට පද්ධති පාලනය අසීරු වෙනවා. මේක පළමු ප්‍රශ්නය. 

දෙවන ප්‍රශ්නය ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. ඉල්ලුමට වඩා සැපයුම අඩුනම් විදුලි තරංගයේ සංඛ්‍යාතය අඩු වෙන බව කලින් කිවුවනේ. සම්ප්‍රදායික ජනන යන්ත්‍ර පමණක් සම්බන්ධ කර තිබේනම්, පද්ධතියේ එක් කොටසක සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩි වෙද්දී එසේ නැති වෙනත් පැත්තකින් ඒ පැත්තට විදුලිය ගලා එනවා. ඒ හරහා සංඛ්‍යාතය පහළ යාම පාලනය වීමක් සිදු වෙනවා. අනෙක් පැත්තටත් එහෙමයි. නමුත් සූර්ය කෝෂ වලින් එකතු වන විදුලියේ සංඛ්‍යාතය පාලනය කෙරෙන යාන්ත්‍රික ක්‍රියාවලියක් නැහැ. ඒ වෙනුවට, පද්ධතියේ සංඛ්‍යාතය පහත වැටෙද්දී වෙන්නේ ඒ දිහා බලාගෙන සූර්ය කෝෂ විදුලි අපවර්තකයෙන් හදන විදුලියේත් සංඛ්‍යාතය අඩු කරන එක. මේ වැඩෙන් ප්‍රශ්නය තවත් උග්‍ර වෙනවා. 

තව තුන්වන ප්‍රශ්නයකුත් තිබෙනවා. පද්ධතියට අලුතෙන් ජනක යන්ත්‍රයක් පණ ගන්වා එකතු කරද්දී හෝ ජනක යන්ත්‍රයක් පද්ධතියෙන් ඉවත් කරද්දී එක වරම විදුලි සැපයුම විශාල ලෙස ඉහළ හෝ පහළ යන්න පුළුවන්නේ. එසේ වුවහොත් සංඛ්‍යාතයද එක වර විශාල ලෙස වෙනස් වෙනවා. නමුත් ජනක යන්ත්‍ර යාන්ත්‍රික මෙවලම් නිසා එය ඒ විදිහටම වෙන්නේ නැහැ. ජනක යන්ත්‍රයකට ලබා දෙන ජල හෝ තාප සැපයුම නැවැත්වුවත්, අවස්ථිතිය  නිසා එය දිගටම කැරකෙනවා. නවතින්නේ යම් වෙලාවක් ගිහින්. පණ ගන්වද්දී වුනත් අවශ්‍ය වේගය එන්නේ ටික වෙලාවක් ගිහින්. මේ පමාව පද්ධති පාලකයින්ට වාසියක්. ඔය කාලය අතරතුර අවශ්‍යනම් ජනක යන්ත්‍රයක් මාරු කරන්න පුළුවන්. එය සුමට ලෙස පද්ධතියට එකතු වෙනවා. නමුත් ඔය විදිහේ යාන්ත්‍රික සම්බන්ධයක් නැති අපවර්තනය කළ සූර්ය කෝෂ විදුලිය එක්ක ඔය වැඩේ කරන්න අමාරුයි. 

ඉහත විස්තර කළ හේතු සියල්ලම නිසා අවසාන වශයෙන් වෙන්නේ පද්ධති පාලනය වඩා අසීරු වීම. අපවර්තිත විදුලිය පද්ධතියට වැඩියෙන් එකතු කරන තරමට ප්‍රශ්නය උග්‍ර වෙනවා. 

මේ ප්‍රශ්නය තියෙන්නේ සූර්ය බල විදුලියේ පමණක් නෙමෙයි. සුළං බලාගාර වලත් ඔය ප්‍රශ්නය තියෙනවා. නමුත් සුළං බලාගාර වල නිපදවන්නේ සරල ධාරා විදුලිය නෙමෙයි. එහිදී වෙන්නෙත් සුළං බලයෙන් ජනක යන්ත්‍රයක් කරකවලා විදුලිය හදන එක. එහෙමනම් සුළං බල විදුලිය ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?

හදන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය විදුලිය වුනත්, සුළං බලාගාර වලින් ජල විදුලිය හෝ තාප විදුලිය මෙන් "පිරිසිදු විදුලිය" හැදෙන්නේ නැහැ. ඊට හේතුව ජල විදුලිය හෝ තාප විදුලිය නිපදවන විට මෙන් අවර පෙති කැරකෙන වේගය පාලනය කළ නොහැකි වීමයි. ඒවා කැරකෙන්නේ සුළං හමන වේගයට. ඒ නිසා හැදෙන විදුලියේ සංඛ්‍යාතයද සුළඟ හමන වේගය අනුව තීරණය වෙනවා සහ විචලනය වෙනවා. ප්‍රායෝගිකව බොහෝ විට කරන්නේ මෙම ප්‍රත්‍යාවර්ත්‍ය ධාරා විදුලිය පළමුව සරල ධාරා විදුලිය බවට හරවා දෙවනුව අවශ්‍ය පරිදි අපවර්තනය කිරීමයි. ඒ නිසා, සූර්ය බල විදුලියේ තිබෙන ප්‍රශ්න සුළං බල විදුලියේත් තිබෙනවා.

සම්ප්‍රදායික ක්‍රම වලදී විදුලිය බවට නොහැරෙන බල ශක්තිය වෙනත් ආකාරයකින් රඳවා ගන්න පුළුවන්. ඉහළ ජලාශයක තිබෙන වතුර ලෙස හෝ ගල් අඟුරු වැනි ඉන්ධනයක් විදිහට. ඒ නිසා අවශ්‍ය අවස්ථාවක සැපයුම වැඩි කරන්න පුළුවන්. නමුත් පුනර්ජනනීය විදුලිය හදද්දී එවැන්නක් කරන්න බැහැ. සූර්ය තාපය හෝ සුළං බලය ඒ මොහොතේම විදුලිය බවට හැරෙව්වේ නැත්නම් එම ප්‍රමාණය අපතේ යනවා. 

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වැඩිපුර යොදා ගනිද්දී ඉල්ලුම හා සැපයුම කළමනාකරණය කිරීම සඳහා යොදා ගන්නා එක් පිළියමක් වන්නේ නිපදවන විදුලි බලයෙන් යම් කොටසක් පද්ධතියට එක් නොකර ආපතික සංචිතයක් ලෙස (contingency reserve) පවත්වා ගැනීමයි. සංචිතයක් කිවුවත් මෙය සංචිතයක්ම නෙමෙයි. පද්ධතියේ සංඛ්‍යාතය අඩු වේගෙන එන කොට ඒ කොටසත් එකතු කරනවා. සංඛ්‍යාතය වැඩි වේගෙන යනවානම් එකතු කරන බල ශක්තියෙන් කොටසක් එකතු නොකර ඉන්නවා. මේ වැඩේට තවත් අමතර උපාංග අවශ්‍ය වෙනවා. ඒ වගේම බල ශක්තිය සැලකිය යුතු තරමකින් නාස්ති වීමක් වෙන්න පුළුවන්. බැටරි වලින් නාස්තිය වලකා ගත හැකි වුනත් බැටරි මිල අධිකයි. 

මීට අමතරව නිවාස මට්ටමේදීම ඉල්ලුම් කළමනාකරණය කරන්නත් පුළුවන්. පද්ධතියේ සංඛ්‍යාතය අඩු වේගෙන යද්දී පොඩි වෙලාවකට ගෙවල් වල වායු සමීකරණ ක්‍රියා විරහිත කෙරෙනවා. අපේ ගෙවල් වල ඒ වැඩේ කරන්න උපාංගයක් සවි කරලයි තියෙන්නේ. සුළු වෙලාවකට කරන වැඩක් නිසා එය ගෙදර අයට දැනෙන්නේ නැහැ. එක වර වායු සමීකරණ යන්ත්‍ර ගණනාවක් පොඩි වෙලාවකට ක්‍රියා විරහිත කළාම පද්ධතියේ සංඛ්‍යාතය හරියනවා. මේ වැඩේ එකම ගෙවල් ටිකට එක දිගට නොකර ගෙවල් මාරු කිරීමෙන් කාගෙවත් ගෙවල් උණුසුම් වෙන්නේ නැහැ. ඊට පෙර වායු සමීකරණ යන්ත්‍ර නැවත ක්‍රියාත්මක වෙනවා. වායු සමීකරණ යන්ත්‍ර කොහොමටත් එක දිගට වැඩ කරන්නේ නැහැනේ.

කෙටියෙන් කිවුවොත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව එකතු කරද්දී පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගන්න අසීරු වෙනවා. ඒ වගේම, මේ ප්‍රශ්නයට විසඳුම්ද තිබෙනවා. අවසාන වශයෙන් මේ ප්‍රශ්නයත් පිරිවැය අවම කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක්!

20 comments:

  1. මුදල් හම්බ කරමු

    ReplyDelete
  2. 'ශක්තිය යොදා ගනිමින් ටර්බයිනයක් කරකවා එමගින්'

    අපිට රිලව් දම්මලා, සමාවෙන්න, රිලව් නෙමෙයි. මාලිමාවේ සාමාජිකයෝ දම්මලා ටර්බයින් කරකලා විදුලිය ගන්ඩ බැරිවෙයිද ඉකොනෝ?

    ReplyDelete
  3. වැදගත් ලිපියක්! මේක ලංකාවේ පත්තරයකට දාන්න පුළුවන් නම් සැබෑ ප්‍රශ්නය ගැන වැඩි දෙනෙක්ට අවබෝධයක් ඒවි... ඉකොනොමිස්ට් ඇතුලේ ඉන්නා ඉංජිනේරුවා මෙහෙම කලාතුරකින් හරි මතුවෙන එකත් මරු.

    //අවසාන වශයෙන් මේ ප්‍රශ්නයත් පිරිවැය අවම කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආර්ථික ප්‍රශ්නයක්!// මේකට නම් හිනා ගියා... හරියට අර මැක්කාගේ කතාව වගේ :)

    ReplyDelete
  4. //වැදගත් ලිපියක්! මේක ලංකාවේ පත්තරයකට දාන්න පුළුවන් නම් සැබෑ ප්‍රශ්නය ගැන වැඩි දෙනෙක්ට අවබෝධයක් ඒවි... ඉකොනොමිස්ට් ඇතුලේ ඉන්නා ඉංජිනේරුවා මෙහෙම කලාතුරකින් හරි මතුවෙන එකත් මරු.//

    එකඟයි එක පයින් උදයගෙ කතාවට
    ලක් වේවා ලිපිය වැඩි දෙනගේ ඇසට

    ReplyDelete
  5. ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. විද්‍යා දැනුම තරමක් හෝ තිබෙන කෙනෙකුට (පාරිභාෂික වචන භාවිතයට ගැනීමට සිදුවී තිබෙන නිසා ) වුවද පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි මෙම විදුලි ප්‍රශ්නය තේරුම් ගැනීම සඳහා පිවිසුමක් ලබාදීම ගැන "ඉකොනෝ " සහෘදයාට අපගේ ප්‍රණාමය. මේ ගැටලුව මේ ආකාරයට තේරුම් කර නොදී අහිංසක වඳුරන් මෙයටත් ගාවා ගැනීමට උත්සාහ කළ විදුලි බලයට සම්බන්ධ ඉංජිනේරුවන්ට සහ ඒ පස්සේ ම එලවූ පන්ඩිතයින්ටත් හොඳ 'ටොක්කක් ' ඇන තිබීම හරි අගෙයි . ඉහත උදය දිසානායක සඳහන් කර තිබෙන ආකාරයට මෙම ලිපිය, රටෙහි සිංහල කියවන (Blog නොකියවන) ජනතාවටත් දැ න ගැනීම පිණිස පත්තර වලටත් යොමු කිරීම හොඳයයි යෝජනා කරන්නට කැමතිය .

    ReplyDelete
  6. මම මෙහෙම ප්‍රහසනයක් ඇසුවා . ෆේස්බුක් එකේ ඉන්න විදුලි ඉන්ජිනේරුවන් ගෙන් . https://web.facebook.com/share/p/1B7bXdp8pR/, මොකද ඔය ඉකොන් කියන හදිසි සිදුවීමක් වුනොත් ඒ ප්‍රදේශය ග්‍රිඩ් එකෙන් අයින් කිරීමක් සිදු වෙලා නැහැ . ශාප් ඩ්‍රොප් එකක ඇවිත් පද්ධතිය අකර්මණ්‍ය වෙලා තියෙන්නේ ඒකයි . මහාචාර්ය චන්දිම ගෝමෙස් නුත් එහෙම ප්‍රශ්නයක් අහල තිබ්බ කියල කෙනෙක් ලින්ක් එකක් දාල තිබ්බ . ඒකත් දැන්නම්

    ReplyDelete
    Replies
    1. ඒක කවුරුවත් කරන දෙයක් නෙමෙයිනේ. ට්‍රිප් වෙලා ඒ පැත්ත ස්වයංක්‍රීය ලෙස අයින් වෙන එකනේ වෙන්නේ. එසේ ස්වයංක්‍රීය ලෙස කොටසක් අයින් වීම නිසාම තමයි පද්ධතිය අකර්මන්‍ය වී තිබෙන්නේ. ලොකු කොටසක් අයින් වුනාම ලෝඩ් එක එක පාරටම අඩු වෙනවා. ජෙනරේෂන් කොටසක් අයින් වුනොත් අනෙක් පැත්ත වෙනවා. ප්‍රමාණවත් spin reserves නැත්නම් ඒ කම්පනය පද්ධතියට දරා ගන්න බැහැ. ඒ නිසා ඉතිරි කොටස් එකින් එක ට්‍රිප් වෙනවා. පුනර්ජනනීය බලශක්තිය වැඩියෙන් එකතු කරන තරමට පද්ධතියේ ස්ථායීතාවය අඩු වෙනවා. ඒ නිසා එක තැනක වෙන අහඹු දෙයකින් පද්ධතියම ක්ෂණිකව ට්‍රිප් වීමේ (කොහොමටත් තිබෙන) ඉඩකඩ ඉහළ යනවා. එය වලක්වා ගන්නනම් කෘතීම ලෙස අවස්ථිතියක් ඇති කළ යුතුයි. ඒ නිසා, පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට එකතු කරගෙන යද්දී අවස්ථිති කළමනාකරණය ගැන අවධානය යොමු කරන්න වෙනවා. පෙනෙන විදිහට ලංකාවේ ඒ වැඩේ හරියට වෙලා නැහැ.

      Delete
    2. එහෙම ස්වයංක්‍රීයව isolate නොවුනේ ඇයි කියන එකයි අපේ ප්‍රශ්නය . අපාට් වෙනම නිව්ස් එකක් සහ එකොන් ට වෙනම එකක් ලැබී ඇති හදයි . අවසාන සෙන්ටෙන්ස් එක - ආණ්ඩුවට බැන්නට - වැඩේ හරියට අද වෙන තෙක් වෙලා නැත්තේ ඇයි කියන එක තමා අපිත් අහන්නේ .20% පුනර්ජන්නනිය තියෙන ජර්මනියෙත් එහෙම වෙන්න එපැයි

      Delete
    3. මම හිතන විදිහට මේ ප්‍රශ්නය එලෙස ස්වයංක්‍රීයව isolate වීම නිසාම ඇති වූ ප්‍රශ්නයක්. එසේ නොවුනානම් බොහෝ විට ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ. මම හිතන විදිහ ඉදිරි කොටසක ලියන්නම්.

      Delete
  7. චන්දිම ගෝමෙස් ගේ සාකච්චාව - https://web.facebook.com/share/p/14ypdzQAkf/

    ReplyDelete
    Replies
    1. ඔහු මේ සම්බන්ධ විශේෂඥතාවයක් ඇති අයෙක් කියා මම හිතනවා. නමුත් මෙහි තියෙන්නේනම් උඩින් පල්ලෙන් ප්‍රශ්නය දෙස බලා සිදු කළ වොයිස් කට් ප්‍රකාශයක් පමණයි. කරුණු විමසා බලා පැහැදිලි කිරීමක් කරලා නැහැ. මම කියන්නේ ඔහුගේ ප්‍රකාශය හරි හෝ වැරදියි කියන එක නෙමෙයි. එය හරි වුනත් වැරදි වුනත් ඔහු කියන නිසා පිළිගන්නාවානම් හැර ඊට වඩා දෙයක් එහි නැහැ. සාමාන්‍ය සම්ප්‍රේෂණ රැහැනක් ට්‍රිප් වීම නිසා මුළු පද්ධතියම බිඳ වැටෙනවානම්, එයද විය හැකි දෙයක් වුනත්, එහි ප්‍රශ්නයක් තියෙනවා තමයි. නමුත් අධී වෝල්ටීය සම්ප්‍රේෂණ රැහැනක බිඳ වැටීමක් වුනොත් ඇති වන්නේ වෙනස් තත්ත්වයක්.

      Delete
    2. @ Economatta

      මේකේ මේ කියන චන්දිම ගෝමස් කියන පුද්ගලයා කවුද කියල දන්නේ නෑ නමුත් ඔහු ප්‍රායෝගිකව විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව කිබීම අවබෝධයක් නැති මූලික වශයෙන් සරලව භෞතික විද්‍යාවේ විදුලිය ගැන කියන මූලික දේවල් පමණක් දන්නා පුද්ගලයකු බවයි පේන්න තියෙන්නේ. කුඩා ප්‍රදේශයක සිදුවන breaker/ isolation එකක් සහ high voltage transmission පද්ධතියකට සිදුවන ඉම්පැක්ට් එකකදී විදුලි ජනනය කරන පද්ධතියකට සිදුවන බලපෑම ගැන ඔහුට එතරම් අවබෝධයක් නැතුව මූලික විදුලිය පිළිබඳව ඇති සරල අවබෝධයකින් යම් යම් "පණ්ඩිත" කතා කියන බවයි මට නම් තේරෙන්නේ, ඔබ ඒ පිළිබඳව හිතන්නේ කොහොමද?

      Delete
    3. මුලින් භෞතික විද්‍යාව හදාරා ඇතත්, මගේ අදහස ඔහු විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු බවයි. ඒ වගේම, මේ කියා තිබෙන කතාව පදනමක් තිබෙන එකක්. නමුත් ඔහු මේ ගැන මීට වඩා පැහැදිලි කිරීමක් කළානම් තමයි ප්‍රයෝජනයක් තියෙන්නේ.

      Delete
    4. ගෝමස් මහතා B-Sc හිදී UOC භෞතික විද්‍යාව හදාරා තිබුනද ඔහු ඒඅතර Engineering Council Examination UK මගින් වරලත් ඉංජිනේරු වරයෙකු ලෙස සුදුසුකම් ලබා ඇති බව දන්නේ.

      Delete
  8. කෙටියෙන් කිවුවොත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව එකතු කරද්දී පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගන්න අසීරු වෙනවා. - මේක පිලි ගන්න බැහැ එකොන් . ලංකාවේ එහෙම ඕන කමින් කරල තියනවා. මට ඉන්ජෙක් කීව සෝලර් දෙන අයට කතා කරලා කෝල් කරලා ඕෆ් කරගෙන යන්න ඕනෙලු . ඊට පස්සේ හෙමින් හෙමින් අනිත් ස්ටේෂන් ආපහු ස්ටාට් කරන්න ඕනෙලු . ඒක වැරදි නැත්ද ? . දැන් අපිත් අපේ වැඩි විදුලිය ග්‍රිඩ් එකට දෙනවා එංගලන්තයේ ඒවා සබ් ස්ටේෂන් එකින් අයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද . අනික පුනර්ජනිය ඒවා බේස් ලෝඩ් එකට වැටෙන්නේ නැහැ . බේස් ලෝඩ් එක කොහොමත් අනිත් බලශක්ති ප්‍රභව වලින් ගෙනියන්නේ .

    ReplyDelete
    Replies
    1. ඕනෑකමින් කරපු දෙයක් කියලා මම හිතන්නේ නැහැ. කෙටිකාලයකින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව එකතු කරගෙන යද්දී අවස්ථිති කළමනාකරණය ගැන ප්‍රමාණවත් අවධානයක් යොදවා නැහැ කියලයි මම හිතන්නේ.

      Delete
  9. බොහෝ දියුණු රටවල පුනර්ජනනීය බලශක්ති ගබඩා කර තබා ගැනීමට "Water Battery" පාව්චිචි කරනවා. නිසි ක්‍රම වේදයක් නොමැතිව "දුවන්නන් වාලේ දුවන" ජාතික ප්‍රතිපත්ති ඇති හීනමානය ජාතික වස්තුවක් වී ඇති පුරවැසියන් සමූහයක් ඇති රටකට මෙවැනි පුනර්ජනනීය බලශක්ති පවා හෙනයක්.

    ReplyDelete
  10. හොඳ පැහැදිළි කිරීමක්. ස්තූතියි.

    ReplyDelete
  11. I would like to commend our blogger colleague, Economatta, for shifting focus from conventional boring econometric analyses and bitter politically charged discourse to highlight a topic of broader technical and societal relevance. Some people who has limited knowledge and experience in electrical engineering becoming stars in SL social media platforms like "so called Prof Gomes"

    Such people active in Sri Lankan social media, despite lacking genuine expertise in electrical engineering, highlights a concerning trend. It underscores the power of misinformation and the ease with which fabricated narratives can spread online, especially when targeting audiences unfamiliar with the technical complexities of the subject matter.

    I had to emphasise that Engineering innovations often go underappreciated without a foundational understanding of their complexity, and it is through an engineer’s perspective that we can fully grasp the significance of these advancements.

    Consider the evolution of microprocessor technology. Modern smartphones now integrate computational capabilities that would have rivaled supercomputers of the late 20th century. Early CPUs operated at clock speeds measured in hundreds of megahertz, often requiring manual intervention such as the ‘Turbo’ button—a rudimentary form of dynamic frequency scaling. Today’s processors, however, autonomously optimize clock speeds and power consumption through sophisticated algorithms, balancing performance with energy efficiency in real time.

    This principle of iterative engineering progress extends to mechanical systems as well. Take automotive engines: advancements in combustion efficiency, materials science, and electronic control systems have dramatically enhanced power output and fuel economy over decades. For instance, a 2018 Volkswagen Polo generates over three times the horsepower of the original Volkswagen Beetle while achieving comparable fuel consumption metrics. Such progress underscores the importance of interdisciplinary collaboration—aerodynamics, thermodynamics, and software integration—to achieve these gains.

    While quantitative metrics like horsepower or transistor count are illustrative, the true value of engineering lies in understanding the *mechanisms* driving these improvements. Without dissecting the interplay of design, innovation, and problem-solving, such advancements risk being reduced to abstract statistics. It is this analytical depth—the ‘how’ and ‘why’—that transforms technical milestones into meaningful progress for both engineers and society at large.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: