වලිගය කරකවතේ
දිය මත පාව යතේ
දඟර වලිග ලප වානර
දස්කම් දක්වනවා...
ඒ ගීතය ලංකාවේ ගොඩක් අය අතර ප්‍රසිද්ධ දඟර වලිග ලප වානර ගැනයි. දැන් ලංකාවේ වෙනත් වානරයෙක් ගැන මුළු ලෝකයම දන්නවා. දඟර වලිග ලප වානරටවත් කළ නොහැකි වූ වික්‍රමයක් මේ වානරයා විසින් කරලා තියෙනවා. ඒ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරමින් තත්පර පහකින් ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියම අකර්මන්‍ය කිරීමයි.
මේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල වුනේ 2025 පෙබරවාරි 9 ඉරිදා දින හරියටම උදේ 11:13ට පානදුරේ ග්‍රිඩ් උපපොළේදීයි. එවැනි වඳුරු ප්‍රහාරයක් එල්ල නොවූ බවට අදාළ ස්ථානයේ සේවයේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු විසින් සිදු කළ ප්‍රකාශයකට විශාල මාධ්‍ය අවධානයක් ලැබුණු අතර මේ වන විට හිරණ පොලීසිය එම ආරක්ෂක නිලධාරියාගෙන් කට උත්තර ලබාගෙන තිබෙනවා. එම පොලිස් නිලධාරීන් විසින් වඳුරාගේ පිළිස්සුනු මළ සිරුරද සොයා ගෙන ඇති අතර එහි ඡායාරූපද ප්‍රසිද්ධ කර තිබෙනවා.
මුළු රටටම විදුලිය නැති වුනේ මේ වඳුරා නිසා බව මේ වෙද්දී පැහැදිලියි. එක් වඳුරෙක් නිසා මේ විදිහට ලංකාවටම විදුලිය නැති වුනේ කොහොමද?
වඳුරා මුලින්ම ගැටී ඇති බව පෙනෙන්නේ ග්‍රිඩ් උපපොළෙහි සිට විදුලිය බෙදා හරින කිලෝ වෝල්ට් 33 නිය දඬුවක හෙවත් බස් බාර් එකකයි. එහිදී සිදුවුනු ලුහුවත් වීම නිසා, එහි පරිපථ බිඳීනය එසේත් නැත්නම් ට්‍රිප් ස්විච්චය ක්‍රියාත්මක වී තිබෙනවා. මෙය සිදු වී තිබෙන්නේ එදින පැය 11:13:39.520ටයි.
එයින් මිලි තත්පර 1060කට පසුව, එනම් පැය 11:13:40:580ට, එම නිය දඬුවට විදුලිය සපයන ට්‍රාන්ස්ෆෝමරයෙහි දඟර දෙකේම පරිපථ බිඳීනයන් ක්‍රියාත්මක වී තිබෙනවා. මෙසේ සිදු වී තිබෙන්නේ අදාළ උපකරණ වල ආරක්ෂාව තකා ඒවා එලෙස සැලසුම් කර ඇති බැවිනුයි. මෙලෙස නිය දඬුවක පරිපථ බිඳීනය ක්‍රියාත්මක වීම නිසා ඒ හරහා විදුලි බලය සැපයුණු පානදුර මූලික රෝහල ඇතුළු ප්‍රදේශයේ විදුලිබල සැපයුම බිඳ වැටෙනවා.
මේ අයුරින් ට්‍රාන්ස්ෆෝමරය විසන්ධි වීම නිසා එයට විදුලි බලය සැපයූ කිලෝ වෝල්ට් 132 තෙකලා සම්ප්‍රේෂණ රැහැනෙහි වෝල්ටීයතාවය සුළු වේලාවකට කිලෝ වෝල්ට් 75 පමණ දක්වා පහත වැටෙනවා. වෝල්ට් 132 සම්ප්‍රේෂණ රැහැනක වෝල්ටීයතාවය 10%කින් අඩු වැඩි වීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, මෙය 40%ක පමණ පහත වැටීමක්. කෙසේ වුවත්, තත්පර 1.1ක් (මිලි තත්පර 1100ක්) ඇතුළත වෝල්ටීයතාවය 132 මට්ටමට නැවත ඉහළ යනවා. එසේ වෝල්ටීයතාවය පෙර මට්ටමට ආපසු පැමිණියත්, විදුලියේ සංඛ්‍යාතය දිගින් දිගටම අඩු වී තත්පර 5.2ක් ඇතුළත හර්ට්ස් 49.5 සීමාවට එනවා. එය සාමාන්‍යයෙන් පද්ධතියේ සංඛ්‍යාතය පවත්වා ගන්නා අවම සීමාවයි.
මේ අයුරින් පද්ධතියේ සංඛ්‍යාතය අවම සීමාව ඉක්මවා පහත වැටෙද්දී පද්ධතිය ස්ථායී ලෙස පවත්වා ගැනීම සඳහා පූර්ව සැලසුමකට අනුව, ස්වයංක්‍රීය ලෙස පද්ධතියේ කොටස් වල විදුලිය විසන්ධි කිරීම සාමාන්‍යයෙන් සිදු වන දෙයයි. මෙම සිදු වීමෙන් පසුවද එය එසේ සිදු වී තිබෙනවා. එහෙත්, මේ අයුරින් අදාළ ආරක්ෂක පද්ධතිය අදියර පහක් දක්වාම නිසි පරිදි ක්‍රියාත්මක වීමෙන් පසුවද සංඛ්‍යාතය පහත වැටීම දිගටම සිදු වී තිබෙනවා. සාමාන්‍යයෙන් සිදු විය යුත්තේ එක් අදියරකින් හෝ අදියර කිහිපයකින් පසුව සංඛ්‍යාතය අවශ්‍ය සාමාන්‍ය සීමාවට පැමිණීමයි.
වඳුරා පනින විට පද්ධතියේ සංඛ්‍යාතය තිබී ඇත්තේ හර්ට්ස් 50.113 මට්ටමේ. ඒ පැය 11:13:39ට. මෙය හර්ට්ස් 48.74 දක්වා පහත වැටීමෙන් පසුව පැය 11:13:48ට ආරක්ෂක පද්ධතියේ පළමු අදියර ක්‍රියාත්මක වී තිබෙනවා. එහෙත්, එයින් පද්ධතියේ සංඛ්‍යාතය යථා තත්ත්වයට පත් නොවූ බැවින් පිළිවෙලින් ආරක්ෂක පද්ධතියේ දෙවන, තෙවන, සිවුවන අදියරද ක්‍රියාත්මක වී පැය 11:13:54ට පස්වන හෙවත් අවසාන අදියරද ක්‍රියාත්මක වී තිබෙනවා. මේ වන විට සංඛ්‍යාතය හර්ට්ස් 47.516 මට්ටමට පහත වැටිලා.
ආරක්ෂක පද්ධතියේ පස්වන සහ අවසාන අදියරද ක්‍රියාත්මක වීමෙන් පසුව පද්ධතිය යථා තත්ත්වයට පත් නොවුවහොත් එය පාලනයෙන් ගිලිහෙනවා. මේ අනුව, ඉන්පසුව ඉතා වේගයෙන් එහි සංඛ්‍යාතය පහත වැටී තිබෙනවා. සංඛ්‍යාතය හර්ට්ස් 40.195 දක්වා පහත වැටීමෙන් පසුව නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනක යන්ත්‍ර තුනෙන් එකක පරිපථ බිඳීනය ක්‍රියාත්මක වී එය ක්‍රියා විරහිත වී තිබෙනවා.
මේ සිද්ධිය වන විට ගල් අඟුරු ජනක යන්ත්‍ර තුනම ක්‍රියාත්මකව පැවතී ඇති අතර ඒවායින් එකක් ක්‍රියා විරහිත වීමෙන් පසුව රට පුරා පිහිටි, ඒ වන විට ක්‍රියාත්මකව තිබුණු, අනෙක් ජනක යන්ත්‍ර වල පරිපථ බිඳීනයන්ද එකින් එක ක්‍රියාත්මක වී ඒවා එකින් එක ක්‍රියා විරහිත වෙනවා. අවසානයේදී මුළු රටටම විදුලිය නැති වෙනවා.
ඉහත තොරතුරු තිබෙන්නේ ලංවිම විසින් ඉදිරිපත් කර තිබෙන මූලික වාර්තාවේ. මා මේ හා අදාළ විශේෂඥයෙකු නොවෙතත්, එහි පැහැදිලි කිරීම් වල අපැහැදිලි කරුණු ගණනාවක් තිබෙනවා. මෙම සිද්ධිය හා අදාළ නොවැදගත්ම කරුණ මාධ්‍ය අවධානයට වැඩියෙන්ම හේතු වී ඇති වඳුරාගේ වීර වික්‍රමයයි. සිද්ධියට හේතුව වඳුරෙක් වුනත් නැතත්, මෙහිදී සිදු වී තිබෙන්නේ විදුලිය බෙදා හරින එක් ග්‍රිඩ් උප පොළක සිදු වූ ලුහුවත් වීමකින් පසුව එම වැරැද්ද සහිත ග්‍රිඩ් උප පොළ පද්ධතියෙන් ස්වයංක්‍රීය ලෙස විසන්ධි වීමයි.
පානදුර ග්‍රිඩ් උප පොළ යනු ලංකාව පුරා පිහිටි, මා සිතන පරිදි සියයකට ආසන්න, ග්‍රිඩ් උප පොළවල් ප්‍රමාණයකින් එකක් පමණයි. එහි කිසියම් ලුහුවත් වීමක් වීමෙන් පසුව සිදු විය යුතු පරිදිම එය පද්ධතියෙන් විසන්ධි වී තිබෙනවා. මෙවැනි දෙයක් සිදු වීම අසාමාන්‍ය දෙයක් හෝ දුලබ දෙයක් නෙමෙයි. වඳුරෙකු පැනීම හෝ වෙනත් හේතුවක් නිසා එවැනි දෙයක් විය හැකියි. සැබෑ ප්‍රශ්නය වන්නේ එවැනි "සුළු වරදක්" මුළු රටේම විදුලිබල සැපයුම බිඳ වැට්ටවීමට හේතු වූයේ ඇයි කියන එකයි. යම් හෙයකින් සම්ප්‍රේෂණ පද්ධතියේ ප්‍රධාන සම්ප්‍රේෂණ රැහැනක අනපේක්ෂිත ලුහුවත් වීමක් නිසා මෙවැනි තත්ත්වයක් ඇති වීනම් එය තේරුම් ගැනීම අපහසු නැහැ.
පානදුර වැනි එක් විදුලි උප පොළක් පද්ධතියෙන් ඉවත් වූ විට පද්ධතියට සිදු විය හැකි උපරිම ක්ෂණික බලපෑම විදුලි ඉල්ලුම ආසන්න වශයෙන් 1%කින් පමණ අඩු වීම පමණයි. එවැනි සුළු අඩුවීමක් සාමාන්‍යයෙන් පද්ධතියකට දරාගන්න අමාරු නැහැ. නමුත් මෙහිදී සිදු වී තිබෙන්නේ මෙම සුළු සිදුවීම පද්ධතිය පුරා පැතිරීමයි. එමෙන්ම අදියර පහකින් ඉල්ලුම අඩු කිරීමෙන් පසුවද පද්ධතියේ සංඛ්‍යාතය දිගින් දිගටම පහත වැටී තිබෙනවා. මෙහි තේරුම් ගැනීමට අසීරු යම් සැඟවුණු දෙයක් තිබෙනවා.
කෙසේ වුවත්, දැනට එය අමතක කර ඉන් පසු සිදු වූ දේවල්ද විමසා බලමු.
ලංවිම සේවකයින් විසින් ලහිලහියේ වඳුරා ගැටීම නිසා පිලිස්සී ගිය පානදුර උප පොළේ උපාංග ප්‍රතිස්ථාපනය කර අදාළ පරිපථ යථා තත්ත්වයට පත් කරන අතර ජනන අංශය විසින් මුලින්ම ඉහළ කොත්මලේ ජනන යන්ත්‍රය පණ ගන්වා දහවල් 12:01ට පද්ධතියට එකතු කරනවා. එයින් ලැබෙන විදුලි බලය පස්වරු 12:23ට බියගම, සපුගස්කන්ද සහ කැළණිය ග්‍රිඩ් උප පොළවල් පද්ධතියට සම්බන්ධ කරමින් බෙදා හරින නමුත් මෙම පළමු උත්සාහය සාර්ථක වන්නේ නැහැ. දහවල් 12:40ට නැවත පද්ධතිය බිඳ වැටෙනවා. සමස්ත පද්ධතියම බිඳ වැටුණු පසු එහි තුලනය පවත්වා ගනිමින් නැවතත් කොටස් එකින් එක සම්බන්ධ කිරීම අසීරු කාර්යයක්.
කෙසේ වුවත්, දෙවන උත්සාහය සාර්ථක වෙනවා. එහිදී ඉහළ කොත්මලේ, කොත්මලේ සහ වික්ටෝරියා ජනන යන්ත්‍ර යොදා ගනිමින් බියගම, සපුගස්කන්ද, කැළණිය, කොටුගොඩ සහ කැලණිතිස්ස ග්‍රිඩ් උප පොළවල් හරහා විදුලිය බෙදා හරිමින් පස්වරු 2:35 වෙද්දී කොළඹ ප්‍රදේශයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කෙරෙනවා. ඉන් පසුව, තාප බලාගාරද නැවත පණ ගන්වමින් සහ පුනර්ජනනීය බලශක්තියද නැවත පද්ධතියට එකතු කරමින් පස්වරු 3:45 වන විට මුළු රටේම විදුලි පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කෙරෙනවා.
කෙසේ වුවද, අක්‍රිය වුනු ගල් අඟුරු බලාගාර නැවත සක්‍රිය කිරීම හදිසියේ කළ නොහැක්කක් බැවින්, උපරිම ඉල්ලුමක් තිබෙන පස්වරු 5:00-9:30 අතර කාලයේදී විදුලි කප්පාදුවක් කිරීමට සිදු වෙනවා. මෙහිදී අවධාරණය කළ යුත්තේ මෙය පද්ධතිය බිඳ වැටීමෙන් පසුව එය නැවත යථා තත්ත්වයට පත් කෙරෙන තුරු ඇති වී තිබෙන තාවකාලික තත්ත්වයක් මිස දෙවසරකට පෙර ඇති වූ ආකාරයේ විදුලි අර්බුදයක් නොවන බවයි.
සාමාන්‍ය කරුණක් ලෙස විදුලිය ගබඩා කර තබා ගත නොහැකියි. දැන් කෙනෙකුට ප්‍රතිචාරයක් දක්වමින් විදුලිය ගබඩා කර තබා ගත හැකි විවිධ ක්‍රම තිබෙන බව පෙන්වා දී ඒවා විස්තර කරන්න පුළුවන්. එවැනි ක්‍රම තිබෙනවා. නමුත් ලංකාවේ දැනට තිබෙන ප්‍රායෝගික තත්ත්වය සැලකුවහොත්, අවශ්‍ය විදුලි ඉල්ලුම ඒ මොහොතේම සැපයිය යුතුයි. යම් මොහොතක රටට අවශ්‍ය උපරිම ඉල්ලුම මෙගා වොට් 3000 දක්වා ඉහළ යා හැකිනම්, එම ඉල්ලුම සැපිරීම පිණිස අවම වශයෙන් ඒ ප්‍රමාණයේ ජනන ධාරිතාවයක් රටට අවශ්‍ය වෙනවා. තාක්ෂනික හේතු ගණනාවක් නිසා සාමාන්‍යයෙන් පද්ධතියේ ධාරිතාවය උපරිම ඉල්ලුමට වඩා වැඩි විය යුතුයි.
ලංකාවේ විදුලි බල පද්ධතියේ සමස්ත ධාරිතාවය මෙගා වොට් 5000 ඉක්මවනවා. නමුත්, එසේ වූ පමණින්, ඕනෑම මොහොතක මෙගා වොට් 5000ක් හදන්න බැහැ. සූර්ය බල විදුලිය නිපදවිය හැක්කේ දවල් කාලයේදී පමණයි. ජලාශ වල ප්‍රමාණවත් තරම් වතුර නැත්නම් ජල විදුලිය පූර්ණ ධාරිතාවයෙන් නිපදවන්න බැහැ. පොසිල ඉන්ධන ආනයනය කරන්න ඩොලර් නැත්නම් තාප විදුලිය හදා ගන්න බැරි වෙනවා. ඔය වගේ සීමාවන් තිබුණත් සාමාන්‍යයෙන් රටේ උපරිම විදුලි ඉල්ලුම සැපිරිය හැකි ධාරිතාවක් මේ වෙද්දී රටේ තිබෙනවා. "වඳුරා පැනපු" අවස්ථාවේදී රට පුරාම විදුලිය නැති වුණේ විදුලිය ඉල්ලුමට සරිලන සැපයුම් ධාරිතාවයක් නොතිබුණු නිසා නෙමෙයි.
මේ වෙද්දී බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වල වාර්තා වී තිබෙන පරිදි "වඳුරා පැනීම" හෝ වෙනත් කවර හෝ එවැනි අහඹු සිද්ධියක් සිදු වී තිබෙන්නේ ඉරිදා දිනයක් වන පෙබරවාරි 9 දින උදේ වරුවේදීයි. ඉරිදා දිනයක උදේ වරුව කියා කියන්නේ ලංකාවේ විදුලි ඉල්ලුම අඩුම වෙලාවක්. ලංවිම දත්ත අනුව, මේ වෙලාවේ පැවති විදුලි ඉල්ලුම මෙගාවොට් 739ක් පමණයි. එය ඉතාමත්ම අඩු මට්ටමක්. මෙවැනි අඩු මට්ටමක ඉල්ලුමක් ඇති විටෙක විදුලි සැපයුම ප්‍රශ්නයක් වීමට කිසිදු ඉඩක් නැහැ. පද්ධතියේ ධාරිතාවය එමෙන් හත් ගුණයකටත් වඩා වැඩියි. ඒ නිසා, ඉතා පැහැදිලිවම කිව යුත්තේ මේ බිඳ වැටීමට හේතුව පද්ධති කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයක් මිස විදුලි සැපයුම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවයි. ඒ නිසා, විදුලි සැපයුම ඉහළ නැංවීම හා අදාළ ඇතැම් අයගේ යෝජිත විසඳුම් වලින් මෙවැනි තත්ත්වයන් ඇති වීම වලකාගත නොහැකියි.
මතු සම්බන්ධයි.
මේකේ උඩ දාල තියෙන ගීතය දැකපු ගමන්ම මතක් වෙන්නේ තඹුත්තේගම පච වානරයා හෙවත් කෙබර කොටාණෝනේ,
ReplyDeleteදඟර වලිග ලප වානර
මේක තමයි වඩාත්ම ගැලපෙන නම...
අඩේ ඉකොනොමැට්ටා මම කවදාවත් බියර් එකක්වත් බීපු කෙනෙක්නෙවි, ඒත් මේ ආණ්ඩුව ආවට පස්සේ ඇතිවුණ අලුත් ප්‍රශ්න නිසාත් ආණ්ඩුව ඒ ප්‍රශ්න වලට උත්තර ලෙස දීපු වඳුරු කතන්දර සහිත පැහැදිලි කිරීම් අහල ඒව තේරුම්ගන්න නම් සෑහෙන්න බොන්න ඕනේ කියලා කට්ටිය කියපු නිසාත් වඳුරන් තුන්දෙනෙක්ම බෝතලේම ගහල තියෙන මන්කි ෂෝල්ඩර් කියන බ්ලෙන්ඩඩ් මෝල්ට් ස්කොච් විස්කි එකක් බීලා කල්පනා කරා තේරුම් ගන්න උත්සාහ කළා, ඔහොම දිගටම කරගෙන ගිහිල්ල දැන් දිනපතාම බොන්න පටන් ගත්තා, ඒකට ඇබ්බැහිවෙලා දැන් හොඳටම බොනවා රෑ 1 ට 2 ට ගෙදර යන්නෙ දවසක් වැටිල දතක් සහ අතකුත් කැඩිල ඉන්නෙ දැන් හැමදාම නෝන ගෙන් බැණුම් අහනවා ගුටිත් කනවා හැමදාම රණ්ඩු, මාලිමාවට ඡන්දය දීපු කෙනෙක් විදියට ජනාධිපති අනුර දිසානායක සහෝදරයාට තෑන්ක්ස් කරන්න ඕන අපට වඳුරු කතන්දර කියලා මේ විදියට බොන්න උනන්දු කරල පුරුදු කලාට, බොහොම ස්තූතියි !
ReplyDeleteමම පළමු ලිපියට දැක්වූ ප්‍රතිචර්යම තමා නැවතත් ලියන්න වෙන්නේ . එකොනෝ ලිව්වට ස්වයංක්‍රීය විසන්ධිවිමක් ගැන එහෙමෙ වෙන්නේ අමෙරිකාවේ හෝ එංගලන්තයේ . (හෝ ජර්මනියේ ) ඔය සිදුවීමේදී එහෙම වෙලා නැහැ . එතකොට මොකක් හරි ෂෝර්ට් සර්කිට් එකකදී වෙනව වගේ ට්‍රාන්සියන්ට් කරන්ට් එක නිසා අ නිත් ඒවා ඕෆ් වේගෙන යන්න ඇති . bad management indeed . දැන් කවුරුහරි ඇවිල්ල සීරියස් ටෝක් එකක් දෙයි . හරි මම වැඩ කරලා නැහැ . විදුලි ඉංජිනේරු උපාධියක් පමණයි තියෙන්නේ . දන්නා විදුලි ඉන්ජිනේරුවෝ දෙතුන් දෙනෙක් එක්කත් කතා කළා . සත්‍යය බොහොම සරලයි කියල තමා පෙනෙන්නේ .
ReplyDeleteට්‍රාන්සියන්ට් කරන්ට් එක නිසා අනිත් ඒවා ඕෆ් වේගෙන ගියත් ඒක ස්වයංක්‍රීය විසන්ධිවිමක්නේ. ග්‍රිඩ් එකේ Over-current protection activate වෙලා තිබෙනවා. load shedding plan එකත් ස්වයංක්‍රීය ලෙස හරියට වැඩ කරලා තිබෙනවා. load shedding plan එක කුමක් හෝ හේතුවක් නිසා ප්‍රමාණවත් නොවූ බැවින් (හේතු ගැන ඊළඟ කොටසේ) එයින් එහාට low frequency protection activate වෙන එකයි වෙලා තියෙන්නේ.
Delete