පෙර සටහනක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා ඇති පරිදි, ලෝක සහල් නිෂ්පාදනයෙන් 50.6%ක් සිදු වන්නේත්, ලෝක සහල් පරිභෝජනයෙන් 50.9%කට වග කියන්නේත් චීනය හා ඉන්දියාවයි. එහෙත්, මේ දෙරටේම සහල් ප්‍රධාන ආහාරය වන්නේත්, සහල් නිපදවන්නේත්, රටේ එක් කොටසකයි. ඒ චීනයේ මෙන්ම ඉන්දියාවේද දකුණු හා ඊසානදිග කලාප වලයි. දෙරටේම වයඹදිග කොටස් තිරිඟු කලාපයි.
ඉහත හේතුව නිසා ලෝකයේ වැඩියෙන්ම තිරිඟු වවන සහ වැඩියෙන්ම තිරිඟු පරිභෝජනය කරන රටවල් වන්නේද චීනය සහ ඉන්දියාවයි. සහල් ඉන්දියාවක් සහ තිරිඟු ඉන්දියාවක් ඇති අතර සහල් චීනයක් හා තිරිඟු චීනයක්ද තිබෙනවා. මේ හේතුව නිසා, ඒක පුද්ගල සහල් පරිභෝජනය අනුව ඉදිරියෙන්ම සිටින රටවල් අතර චීනය හෝ ඉන්දියාව නැතත්, එම රටවල සහල් කලාප පමණක් සැලකුවහොත් වෙනස් රූපයක් දැකිය හැකියි.
ඉහත රටවල් දෙකට අමතරව බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය සහ මියන්මාරය යන රටවල් ඇතුළත් ප්‍රධාන "සහල් රටවල්" අට ලෝක සහල් පරිභෝජනයෙන් 76.8%කට වගකියන අතර (2023/24 දත්ත අනුව), ලෝක සහල් නිෂ්පාදිතයෙන් 76.4%ක් සිදු වන්නේද එම රටවලයි.
මෙම රටවල් අතරින් පිලිපීනය තුළ ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. පිලිපීනය වියට්නාමයෙන් සහල් ආනයනය කරනවා. එම ප්‍රමාණය පිලිපීනයේ මුළු සහල් ආනයන වලින් 85%ක් පමණ ප්‍රමාණයක්. වියට්නාමය පැත්තෙන් බැලුවත්, එහි ප්‍රධාන සහල් ගැනුම්කරු පිලිපීනයයි. පිලිපීනයට කිට්ටුවෙන්ම තිබෙන සහල් අපනයනය කරන රට වියට්නාමය වීමත්, එම දෙරට තුළ නිපදවන සහල් වර්ග අතර සමානත්වයත් මීට හේතු වෙනවා විය හැකියි. ඊට අමතරව, වියට්නාමය විසින් චීනයටද සහල් යම් ප්‍රමාණයක් අපනයනය කරනවා. ලංකාව සාමාන්‍යයෙන් වියට්නාමයෙන් සහල් ආනයනය කරන්නේ නැහැ.
බොහෝ දුරට තායිලන්තයේ නිෂ්පාදනයක් සේ සැලකිය හැකි සුවඳ සමන් එසේත් නැත්නම් ජැස්මින් සහල ලෝකය පුරාම විශාල ඉල්ලුමක් තිබෙන සහලක්. අස්වැන්න අඩු වුනත්, එම සහල අධි මිලකට විකිණිය හැකියි. තායිලන්තය ලෝක සහල් වෙළඳපොළ අල්ලාගෙන සිටින්නේ මෙම දේශීය සහල් වර්ගය සඳහා තිබෙන සුවිශේෂී ඉල්ලුම නිසා. කෙසේ වුවත්, ජැස්මින් සහල ලංකාවේ සාමාන්‍ය පාරිභෝගික රුචිකත්වය හා ගැලපෙන සහලක් නෙමෙයි.
ලෝකයේ ප්‍රධාන සහල් රටවල් අට අතර නැති පකිස්ථානය ලෝකයේ ප්‍රධාන සහල් අපනයනකරුවෙක්. මෙහිදී පකිස්ථානය සතු සුවිශේෂී වාසිය වනුයේ එරට තුළ සැලකිය යුතු සහල් නිෂ්පාදනයක් සිදු වුනත්, පකිස්ථානයේ ප්‍රධාන ආහාරය සහල් නොව තිරිඟු බැවින්, රටේ නිපදවන සහල් වලින් සැලකිය යුතු කොටසක් අපනයනය කළ හැකි වීමයි. ලංකාවද ඇතැම් විට පකිස්ථානයෙන් සහල් ආනයනය කරන නමුත් බොහෝ විට ලංකාවට සහල් ආනයනය කරන්නේ ඉන්දියාවෙන්.
පකිස්ථානය මෙන්ම ඉන්දියාව විසින්ද සැලකිය යුතු අධි මිලකට බාස්මතී සහල් අපනයනය කරනවා. එම සහල් මැදපෙරදිග කලාපයේ සහ බටහිර රටවල විකිණෙනවා. එහෙත්, ලංකාව සාමාන්‍ය පරිභෝජනය පිණිස ඉන්දියාවෙන් ආනයනය කරන්නේ දකුණු ඉන්දියාවේ නිපදවන ලාබ සහල් වර්ගයි. ඉන්දියාව එම සහල් වර්ග නිපදවන්නේ දේශීය පරිභෝජනය පිණිසයි. මිල අඩු මෙම සහල් වර්ග අප්‍රිකානු රටවලටද අපනයනය කෙරෙනවා.
ලෝකයේ ප්‍රධානම සහල් අපනයනකරු වන ඉන්දියාව ඒ ස්ථානයේ සිටින්නේ මිල තරඟය තුළ ඉදිරියෙන් සිටීම මගිනුයි. සහල් වෙළඳපොළ තුළ තායිලන්තය සහ පකිස්ථානය වැනි රටවලට ඉන්දියාව සමඟ මිලෙන් තරඟ කළ නොහැකියි. මීට ප්‍රධානම හේතුව ඉන්දියාව විසින් සහනාධාර මගින් වී ගොවිතැන විශාල ලෙස සුබසාධනය කිරීමයි. වී ගොවිතැන සුබසාධනය කිරීම ලංකාව ඇතුළු බොහෝ රටවල රජයයන් විසින්ද සිදු කරන දෙයක් වුවත් මේ කාරණයේදී ඉන්දියාව සිටින්නේ "සම කළ නොහැකි" තැනකයි.
සාමාන්‍යයෙන් කිසියම් රජයක් වී වැනි කර්මාන්තයක් සුබසාධනය කරන්නේ දේශීය ගොවිතැන රැකගැනීම සහ ඒ හරහා ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගැනීම යන අරමුණු පෙරදැරිවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශීය පාරිභෝගිකයින්ට අඩු මිලට සහල් මිල දී ගැනීමේ අවස්ථාවද ලැබෙනවා. කෙසේ වුවත්, මේ අයුරින් සුබසාධනය කර අඩු මිලට නිපදවන සහල් එම මිලටම අපනයනය කළහොත් සිදු වන්නේ රටේ ජනතාව ගෙවන බදු මුදල් වලින් වෙනත් රටක පාරිභෝගිකයින් සුබසාධනය කිරීමක්. ඒ නිසා, මෙසේ දේශීය වී ගොවිතැන විශාල ලෙස සුබසාධනය කරන ඉන්දියාව වැනි රටවල් සෘජු ලෙස සිදු කරන අපනයන පාලනය සහ අපනයන බදු පැනවීම මගින් මේ තත්ත්වය කළමනාකරණය කරනවා. සහල් සැපයුම පහත වැටෙන අවස්ථා වලදී මෙම අපනයන පාලනය විශේෂයෙන්ම දැකගත හැකියි.
කෙසේ වුවද, සැපයුම දේශීය අවශ්‍යතාවය ඉක්මවා විශාල ලෙස ඉහළ ගිය විට මේ ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. ඊට හේතු තේරුම් ගන්න අසීරු නැහැ. ඉල්ලුම ඉක්මවා රටේ දේශීය සැපයුම ඉහළ ගිය විට මිල විශාල ලෙස පහත වැටෙන අතර, රජයට සහතික මිලකට වී මිල දී ගැනීමට (හෝ සහතික මිලක් වී ගොවියාට ලැබෙන පරිදි සහනාධාර දීමට) විශාල මුදලක් වැය කරන්නට සිදු වෙනවා. අපනයන සීමා තාවකාලිකව ඉවත් කිරීම සහ අපනයන බදු තාවකාලිකව ඉවත් කිරීම මගින් මේ තත්ත්වය වෙනස් කර ගත හැකියි. එවිට රට ඇතුළේ වී මිල ඉහළ ගොස් ස්ථාවර වෙනවා. නමුත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර වෙළඳපොළේ සහල් මිල විශාල ලෙස පහත වැටෙනවා.
ඉන්දියාව විසින් ඉහත කී පරිදි දේශීය සහල් ඉල්ලුම සහ සැපයුම තුලනය වන පරිදි අපනයන කළමනාකරණය කරද්දී, ජාත්‍යන්තර සහල් මිල ඊට අනුරූපව උච්ඡාවචනය වෙනවා. ඒ නිසා, ඉන්දියාවේ දේශීය වී නිෂ්පාදනය පහත වැටී මිල ඉහළ යන විට, ඊට වඩා වැඩි වේගයකින් ජාත්‍යන්තර සහල් මිල ඉහළ යනවා. එවිට පකිස්ථානය සහ තායිලන්තය වැනි තරඟකරුවන්ට වාසිදායක පිටියක් සකස් වෙනවා. ඉන්දියාවේ වී සැපයුම ඉහළ යන විට මේ තත්ත්වය කණපිට හැරී ජාත්‍යන්තර වෙළඳපොළේ සහල් මිල විශාල ලෙස පහත වැටෙනවා.
මෑතකාලීන ප්‍රවණතා දෙස බැලුවොත්, 2023 ජූනි 20 දෙන ඉන්දියාව විසින් බාස්මතී හැර අනෙකුත් සහල් වර්ග අපනයනය කිරීම තහනම් කළා (Notification No 20/2023). ඒ වන විටද ඉන්දියාව විසින් බාස්මතී හැර අනෙකුත් සහල් වර්ග අපනයනය කරමින් සිටියේ 20%ක අපනයන බද්දකට යටත්වයි (2022 සැප්තැම්බර් 9 සිට). මෙය දේශීය සහල් මිල ඉහළ යද්දී ඉන්දියාව විසින් සාමාන්‍යයෙන් කරන දෙයක්. පසුගිය (2024) සැප්තැම්බර් මාසයේදී මෙම අපනයන තහනම ඉවත් කෙරුණු අතර 20% අපනයන බද්දද ඉවත් කෙරුණා. ඒ නිසා, මේ අවස්ථාවේදී ඉන්දියාව විසින් සහල් අපනයනය කෙරෙන්නේ සැලකිය යුතු අඩු මිලකට වුවත්, ඒ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.
මීට අමතරව මේ වන විට (2024 නොවැම්බර් 11) ඉන්දියාව විසින් විශාල ලෙස සහල් මිල සුබසාධනය කිරීමට එරෙහිව ඇමරිකාව විසින් කැනඩාව, ඕස්ට්‍රේලියාව, ආජන්ටිනාව සහ යුක්‍රේනය යන රටවල්ද සමඟ එකතුව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි පත්‍රයක් යවා තිබෙනවා (G/AG/W/250). එම රටවල් විසින් එහිදී ගණනය කර පෙන්වා දෙන පරිදි, ඉන්දියානු රජය විසින් ලබා දෙන සහනාධාර වල වටිනාකම එකතු කළහොත් ඉන්දියාවේ සහල් මිල 87.9%කින් ඉහළ යනවා. ඉන්දියාව විසින් එකඟ වී තිබෙන උපරිම සීමාව 10%යි. මෙම වෙනස සලකා බැලීමේදී ඉන්දියාවේ අවාසියට තීන්දුව ලැබෙන්නට සැලකිය යුතු ඉඩක් තිබෙන අතර එය එසේ වුවහොත් ඉන්දියානු සහල් අපනයන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යාමට ඉඩ තිබෙනවා.
මේ අවස්ථාවේදී ලංකාවේ සහල් මිලට වඩා ඉන්දියාවේ සහල් මිල සැලකිය යුතු තරම් අඩු මට්ටමක තිබෙන්නේ ඉහත තත්ත්වයන් සියල්ලේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසා, මේ අවස්ථාව කිසිසේත්ම සහල් ආනයන මත අය කෙරෙන බදු මුදල ඉවත් කිරීම සඳහා සුදුසු අවස්ථාවක් නෙමෙයි.
(Image: https://www.ifpri.org/blog/indias-new-ban-rice-exports-potential-threats-global-supply-prices-and-food-security/)
සෙල්ලම් වගේ පෙනුනට තියෙනා ප්‍රශ්න
ReplyDeleteගැට ගැහිලා තිබෙයි, තව රැසකට ප්‍රශ්න
ඈඳුණු කරුණු විමසාලා දැනගන්න
බලධරයන්ට අත්වේවා සිහි- නුවණ