Thursday, November 3, 2016

අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන්වී මම යන්නම්...

සංගීතය ගැන දන්නා කිසිම කෙහෙම්මලක් නැතත්, අමරදේවයන් නික්ම ගොස් ඇති මේ මොහොතේ කෙටියෙන් හෝ සටහනක් නොතබාම නොහැකිය.

ටික කලකට පෙර බ්ලොග් ලොව හමා ගිය ගීත රැල්ලට හසුවුණු ඉකොනොමැට්ටා විසින් පලකළ ගීත දහසයක ලැයිස්තුවෙන් තුනක්ම ගයන්නේ අමරදේවයන් විසිනි. මේ ගීත ගණන තුනක් වූයේ ඉකොනොමැට්ටා තේරුවේ අනුපිළිවෙලින් ප්‍රියතම ගීත සොළොසක ලැයිස්තුවක් නොව ගීත සොළොසක ප්‍රියතම පැකේජයක් වීම නිසාය. මේ දෙකේ වෙනස ගැන ඉකොනොමැට්ටා කලින්ම ලිවුවේය. එසේ නොකර තනි තනිව ගීත ගෙන ශ්‍රේණිගත කළේනම් අමරදේවට මීට වඩා වැඩි ඉඩක් වෙන්වනු ඇත.

අමරදේවගේ ගීත වලට ඉකොනොමැට්ටාගේ ඇති කැමැත්ත ගැටවර වියේ සිටම එන්නකි. ඒ කාලය පීචං ප්‍රබුද්ධ භේදය ලොකුවටම තිබුණු කාලයකි. අමරදේව හා නන්දා මාලිනිය වැනි අය ප්‍රබුද්ධ ගොඩේ උඩින්ම සිටිද්දී, ජෝතිපාල හා නිහාල් නෙල්සන් වැනි අය හිටියේ පීචං ගොඩේය. මේ පීචං ගායකයින්ට ගැලරියේ සිට විසිල් ගහන රසිකයෝද නොඅඩුව සිටියහ. (විසිල් නොගැහුවත්, එවැනි ගායකයින්ගේත් ඉකොනොමැට්ටා කැමති ගීත රැසක් තිබේ.)


ඉකොනොමැට්ටා අමරදේවගේ ගීත ප්‍රිය කළේ ප්‍රබුද්ධ වෙන්නට අවශ්‍ය වූ නිසා නොවේ. අමරදේව රිද්මයට හදවතින්ම බැඳුණු නිසාය. ඒ බැඳීම එදාමෙදාතුර වෙනස් වුණේ නැත. කෙසේවුවද, අනුන්ට පෙනෙන්නට රාක්ක ගණන් පොත් ගොඩගසන්නන් මෙන්ම ප්‍රබුද්ධ බව පෙන්වන්නට අමරදේව අහන අය ඒ කාලයේද සිටියහ.

මා හිතන ලෙස මේ ප්‍රබුද්ධ පීචං භේදය පැමිණියේ ඉන්දියාවෙනි. උත්තර භාරතීය රාගධාරී සංගීත ශීල්පීහු බොහෝ විට අනෙකුත් සංගීත සම්ප්‍රදායයන් පහත් කොට සලකති. මගේ අදහස පරිදි අනන්‍ය හා පුළුල් සංගීත සම්ප්‍රදායක් නොතිබුණු ලංකාවට ගැලපෙන සංගීත සම්ප්‍රදායක් සකස් කිරීම සඳහා අමරදේවයන් විසින් ලබාදුන් දායකත්වයට වැඩිම ආභාෂයක් ලැබුණේ උත්තර භාරතීය රාගධාරී සංගීතයෙනි. ඒ ඔහු සංගීතය හැදෑරුවේ ලක්නව්හි භාත්ඛන්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් බැවිනි. කෙසේවුවද, අමරදේව සංගීතයේ දකුණු ඉන්දීය, බටහිර හා බයිලා සංගීත ආභාෂය මෙන්ම දේශීය ජනගී ආභාෂයද තිබුණේය. ඔහුට පෙර සිංහල සංගීතය පෝෂණය කළ, ශාන්ති නිකේතනයේ උගත් ඇතැමුන් තුළ වඩා ඉස්මතු වූයේ රාබීන්ද්‍ර ශාන්ගීත් ආභාෂයයි.

මේ රාබීන්ද්‍ර ශාන්ගීත් සම්ප්‍රදායද මා ඉතා කැමති සංගීත සම්ප්‍රදායකි. එම සම්ප්‍රදායේ ගී වැඩිපුර රස විඳින්නට ලැබුණේ මා බංග්ලා දේශයේ ගතකල ටික කාලයේදීය. මේ ගී වලට පෙම් බැඳ සිටි මා දිනක් ධාකාහි ප්‍රධාන පෙලේ හෝටලයක අවන්හලක සජීවී සංගීතයට සවන් දෙමින් සිටියෙමි. මා සමඟ සිටි අපේ ආයතනය හා අනුබද්ධ බංග්ලාදේශ සමාගමේ ප්‍රධානියා එහි සංගීතය සැපයූ ගායකයා වෙත කිසියම් මුදලක් විසි කර කැමති ගීතයක් ඉල්ලීමේ අවස්ථාව මට ලබා දුන්නේය. මට එක් වරම සිහියට ආවේ මා කැමතිම රාබීන්ද්‍ර ශාන්ගීත් ගීයකි. මගේ මුවින් වචනය ගිලිහෙන පමාවටම ලොකු වරදක් වූ බව මට තේරුණේය. එක් වරම ගල් වූ ගායකයා සිය කටහඬ අවදි නොකරම මා දෙස බලා සිටී.

"සමාවෙන්න! ඔහු විදේශිකයෙක්!"

මගේ සගයා වහාම ගායකයාගෙන් සමාව ඉල්ලුවේය. එසේ නොකීවානම් ඔහු සිය සර්පිනාවද අකුලාගෙන පිටවනු නොඅනුමානය. උත්තර භාරතීය රාගධාරී සංගීත ශිල්පියෙකුගෙන් රාබීන්ද්‍ර ශාන්ගීත් ගීයක් ඉල්ලීම එතරම්ම ලොකු අපහාසයක් බව මම එතෙක් දැන නොසිටියෙමි. සිය සංගීත සම්ප්‍රදාය වෙනුවෙන් බත්පත අතහරින ගායකයන් ඉන්නේ ඉන්දියානු චිත්‍රපට වල පමණක් නොවේ. ඉන්දියාවේදී රාබීන්ද්‍ර ශාන්ගීත් සම්ප්‍රදාය සාමාන්‍යයෙන් වැටෙන්නේ පීචං ගොඩටය.



ඉහත සිදුවීමේදී හමුවූ 'ප්‍රබුද්ධ' ගායකයාගෙන් වෙනස්වූ අමරදේවටනම් සිය රසිකයෙකුගේ සම්මත 'පීචං' හැසිරීමක් හමුවේ වුවත් කෝප නොවී ඉවසිල්ලෙන් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තිබී ඇති බව පෙනේ.

අමරදේවනම් ගායකයා බිහිවීමේ කතාවම ඉල්ලුම හා සැපයුම පිළිබඳ කතාවකි. ඇල්බට් පෙරේරා අමරදේව වන්නේත්, මුදල් සම්මාදම් කර භාත්ඛන්ඩේ යවා මේ ගායකයාව බිහිකරගන්නට ජනතාව යොමුවන්නේත් රටේ අමරදේව වැනි ගායකයෙකුට ලොකු ඉල්ලුමක් පැවති නිසාය. අමරදේව මේ බරපැන සැපයූ මිනිස්සුන්ගේ බලාපොරොත්තු කඩකළේ නැත. 

මගේ කියවීම අනුව, අමරදේව කිසියම් ස්ථායී සමතුලිතතාවයක සිටි ගායකයෙකි. ඔහු උපන් වසරේ ලාංකිකයෙකුගේ අපේක්ෂිත ආයුකාලය සැලකූ විට අමරදේව දිගු කලක් ජීවත් වූ අයෙකි. හෘදයාබාධයකින් මියගොස් ඇතැයි සඳහන්වන ඔහු සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම ගැන පරමාදර්ශයක් නොවෙතත්, ජීවිතය විඳීම නිසි ලෙස කළමනාකරණය කරගත් ගායකයෙකි. එමෙන්ම, මා දන්නා තරමින් අමරදේව ජීවිතයේ අවසන් කාලයේ අනුන්ට දෙස් දෙවොල් තබමින් රජයෙන් හෝ මහජනතාවගෙන් ආධාර ඉල්ලූ කලාකරුවෙක්ද නොවේ. මා මේ කරුණු ලියන්නේ ලංකාවේ බොහෝ කලාකරුවන් එවැනි තැනකට වැටෙන නිසාය. වඩාත්ම වැදගත් කරුණනම් ගායකයෙකු ලෙස අමරදේවයන් එක දිගට දශක ගනනක් ස්ථායීව සිටීමයි.

බොහෝ කලාකරුවන්ට මරණයෙන් පසු පමණක් ලැබෙන ගරු සම්මාන හා උපහාර සිය ජීවිත කාලය තුලදීම ලබා ගන්නට තරම් අමරදේව වාසනාවන්ත විය. එහෙත් අමරදේව කිසිසේත්ම අධිතක්සේරුවකට ලක්වූ කලාකරුවෙකු නොවේ. ඔහු සිටියේ ඔහු සිටිය යුතු නියම තැනයි. සමාජය හෝ කිසියම් පිරිසක් විසින් ඕනෑවට වඩා පුම්බනු ලබන කලාකරුවන්ට වැඩිකලක් එක දිගට ජනප්‍රියව සිටිය නොහැකිය.

අමරදේවගේ ගීත වලට කැමති රසිකයින්ට පහත සබැඳිය වෙත ගොස් අද දවස පුරාම අමරදේවගේ ගීත රස විඳිය හැකිය.

http://sinhalasongs.org/WebRadio/


(Image: http://archives.dailynews.lk/2009/12/09/art01.asp)

12 comments:

  1. /* මා දන්නා තරමින් අමරදේව ජීවිතයේ අවසන් කාලයේ අනුන්ට දෙස් දෙවොල් තබමින් රජයෙන් හෝ මහජනතාවගෙන් ආධාර ඉල්ලූ කලාකරුවෙක්ද නොවේ */

    හොට් ගොසිප් නිවුස් - කතන්දරකාරයා අමරදේව ගේ නිවස මිල දී ගැනීමට යයි - Hot gossip about Amaradeva

    ReplyDelete
  2. /* මට එක් වරම සිහියට ආවේ මා කැමතිම රාබීන්ද්‍ර ශාන්ගීත් ගීයකි. මගේ මුවින් වචනය ගිලිහෙන පමාවටම ලොකු වරදක් වූ බව මට තේරුණේය. එක් වරම ගල් වූ ගායකයා සිය කටහඬ අවදි නොකරම මා දෙස බලා සිටී. */

    ඉකොනොමැට්ටාට තිබුණේ මෙන්න මේ සින්දුව කියන්නැයි ඉල්ලන්න!

    https://youtu.be/0UYtyMXwEuo

    ReplyDelete
  3. "...ඇල්ෆ්‍රඩ් පෙරේරා අමරදේව වන්නේත්..." මෙයට හේතුව එකල තිබු හෙළ හවුලේ ක්‍රියාකාරිත්වය.

    ReplyDelete
  4. මට අමරදේව පිස්සුව හැදුනේ අපේ පිචන්ම කාලේ වෙන ඒ ලෙවල් කරලා ඉවර උන ගමන්.. දකින දකින තැනක අමරදේවගේ කැසට් අරගෙන එකතු කරලා අපි වගේම පිස්සුව තිබ්බ දෙතුන් දෙනා එක්ක දවස පුරා ඒ සින්දු අහන්නත් ඒවගේ නිධාන කතා අලගිය මුල ගිය තැන හොයන්නත් ඒ සින්දු කියන්නත් ඇතිවෙච්චි පිස්සුව තමයි මම හිතන්නේ මුලින්ම ලෙඩකට කියල හැදිලා සනීප නොවුණු ලෙඩේ..

    ReplyDelete
  5. බරපතල විදියට දැනුන කෙනෙක් තමා සේකර.. සේකරගේ කවිවල බලපෑම මත සේකරගේ සිංදු අහු උනා. ඒ සිංදු වලින් අමරදේව හමු උනා. අවසානයේ සේකරයි අමර්දේවයි එකතු වෙලා මාව ඉස්කෝලේ කාලෙම පිස්සෙක් කරා.. තවමත් වැඩි පුර නෑසෙන අමරදේවගේ ලස්සන සිංදු සෙට් එකක් තියෙනවා නින්ද යද්දි මං අහන.. ඒකට ස්තුති කරන්න ඕන..

    ReplyDelete
  6. අමරදේවයන්ගේ මා දුටු වැදගත්ම ලක්ශනය තමයි..තමන් දන්නා දේ පමනක් කිරීම, ඒ වෙනුවෙන් දැක්වූ නිවැරදි මගපෙන්වීම සහ එය අන් අය හා බෙදාගැනීමට දැක්වූ දායකත්වය. අපට කලින් ඔබ වෙන්වී යෑම ගැන ඇත්තේ සාංකාවක්. ඒත් එය කෙදිනක හෝ සිදුවන බව නියතයි.


    ReplyDelete
  7. දර්ශන රුවන් දිසානායක කිව්ව කතාවක් මතක් උනා කවද හරි කොහේ හරි තැනක ලංකාවේ මනුස්සයෙකුගේ හඬ ගබඩා කරන්න ඕනි නම් ඒ අමරදේවගේ හඬ.ඒක ඒ තරමට අපිට අනන්‍යයි.

    ReplyDelete
  8. අපි පොඩි කාලේ ආසාවෙන් ඇහුවෙ නිහාල් නෙල්සන්ගෙ සිංදු.. ඒ කාලෙ අපි අමරදේවගෙ නිදිමත සිදු අහන්නේ පිස්සො කියලා හිතුවේ.. වයසින් මුහුකුරා යනකොට ඒ රුචිකත්වය මහ පුදුම විදිහට අනිත් පැත්ත හැරුනා.. හැබැයි ඒක "නිහාල් නෙල්සන්ගෙ" සිංදු අහන්නේ පිස්සො කියන මට්ටමට ගියේ නෑ...

    ReplyDelete
  9. මාස්ටර් අන්තිම කාලේ කියුවේ සායි බක්ති ගීත කිියනේ ඇත්තද

    ReplyDelete
  10. අමරදේවයන්වත් සමාජයට අමතකව ගිය කාලයක් තිබුනා.කපුගේ වගේම බැනුම් අහන ඔන්න මෙන්න තිබියදී කලාකරුවන් පිරිසක්ම මැදිහත්වී එතුමාගේ සායම බේරා ගත්තා.ඉන් පසුව එතුමා ගැන රජය පවා සොයා බැලීම් කලා.එතුමාත් අසූවන කඩඉම පසු කලත් ගී ගයමින් අදහස් බෙදාගනිමින් තමන්ගේ කාර්යය ඉටු කලා. බිරිඳගේ බැල්ම නිසා නම රැකුනු අවස්ථා පවා අසන්නට තියනවා.නිසි ලෙස නඩත්තු වූ අයිකනයක්.
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget