Friday, March 17, 2023

ඩොලරයක මිලේ විචලනය

 

ඩොලරයක මිලට සිදු වෙමින් පවතින දේ ගැන යාවත්කාලීන කිරීමක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලපු නිසයි මේ සටහන ලියන්නේ. මේක සෑහෙන දුරකට අඳුරේ අතපත ගෑමක්. මිල වෙනස්වීම පිළිබඳ නිරීක්ෂණයන් හැරුණු විට පෙර සටහන් පළ කිරීමෙන් පසුව අලුත් තොරතුරු කිසිවක් තවමත් ප්‍රකාශයට පත් වී නැහැ. ඒ නිසා, බරපතල විග්‍රහයක් කිරීමේ හැකියාවක් නැහැ. එවැන්නක් කළ හැක්කේ මහ බැංකුවේ මැදිහත්වීම් ගැන නිවැරදි තොරතුරු ඇත්නම් පමණයි. 

ඊට කලින් ඩොලරයක මිල කියන්නේ කුමක්ද කියා පැහැදිලි කරගනිමු. වෙළඳපොළේ විකිණෙන ඩොලරයක මිල කියා කියන්නෙත් සීනි මිල වගේ දෙයක්. තොග මිල සිල්ලර මිලට වඩා වෙනස්. සිල්ලර මිල වුනත් කඩේකින් කඩේකට වෙනස්. ඩොලරයක මිලත් ඒ වගේ තමයි. ඒ නිසා, අපි මුලින්ම කතා කරන්න යන ඩොලරයක මිල කුමක්ද කියා පැහැදිලි කරගෙන ඉන් පසුව ඉදිරියට යමු. 

ඩොලර් ගනුදෙනු සිදුවන ආකාර හා තැන් ගණනාවක් තිබෙනවා. ලිපිය දිගු වන නිසා ඒ හැම එකක් ගැනම කතා කරන්න යන්නේ නැහැ. වැඩි විස්තර එක්ක පසු අවස්ථාවක වීඩියෝ එකක් දමන්නම්. දැනට මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන මේ මිල ගණන් තුන ගැන අවධානය යොමු කළමු.

බරිත සාමාන්‍ය එතැන් (Spot) ගනුදෙනු මිල - අන්තර්බැංකු වෙළඳපොළේ ඒ කියන්නේ වානිජ බැංකු එකිනෙක අතර ඩොලර් ගනුදෙනු සිදුවන සාමාන්‍ය මිල. මහ බැංකුව විසින් මැදිහත්වීම් කරන්නෙත් මේ වෙළඳපොළට.

සාමාන්‍ය විද්‍යුත් හුවමාරු (TT) විකුණුම් මිල - ආනයනකරුවන් වැනි බැංකු වල පාරිභෝගිකයින් විසින් බැංකු හරහා විද්‍යුත් හුවමාරු ක්‍රමයට ඩොලර් වලින් ගෙවීම් කිරීමේදී බැංකුවක් විසින් පාරිභෝගිකයින්ට ඩොලර් විකුණන මිල.

සාමාන්‍ය විද්‍යුත් හුවමාරු ගැණුම් මිල - අපනයනකරුවන් වැනි බැංකු වල පාරිභෝගිකයින් වෙත විද්‍යුත් හුවමාරු ක්‍රමයට ලැබෙන ඩොලර් බැංකු විසින් මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් පාරිභෝගිකයින්ට ගෙවන මිල. 

පාරිභෝගිකයින් විසින් ඩොලර් නෝට්ටු හා ඩොලර් චෙක්පත් මිල දී ගැනීම හා විකිණීමද සිදු වුනත් එම ගනුදෙනු සාමාන්‍යයෙන් කුඩා ගනුදෙනු. ලොකු ගනුදෙනු බොහොමයක්ම සිදු වන්නේ විද්‍යුත් හුවමාරු ක්‍රමයටයි. 

කිසියම් දවසක් තුළ බැංකුවකට ලැබෙන සහ බැංකුවෙන් යන ඩොලර් ප්‍රමාණය ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ විද්‍යුත් හුවමාරු ඉල්ලුම හා සැපයුම මතයි. ඒ අනුව, දවස අවසානයේ බැංකුවක් තුළ ඩොලර් හිඟයක් හෝ අතිරික්තයක් ඇති වෙනවා. අතිරික්තයක් ඇති විට එම ඩොලර් අන්තර්බැංකු වෙළඳපොළ හරහා වෙනත් බැංකුවකට විකුණනවා. හිඟයක් ඇති විට වෙනත් බැංකුවකින් ඩොලර් මිල දී ගන්නවා.

මෙහෙම කිවුවත් මෙය මීට වඩා සංකීර්ණයි. මිල ඉහළ යන බව පෙනෙනවානම් බැංකුවක් විසින් අතිරික්ත ඩොලර් නොවිකුණා තියාගෙන ඉන්න පෙළඹෙනවා. ඒ වගේම මිල පහත වැටෙද්දී සමහර වෙලාවට "නැති ඩොලර්" විකුණනවා. කොහොම වුවත් ඉහත විණිමය අනුපාත සාමාන්‍යයෙන් පැවැතිය යුත්තේ පහත පිළිවෙළටයි. 

විද්‍යුත් හුවමාරු විකුණුම් මිල > එතැන් ගනුදෙනු මිල > විද්‍යුත් හුවමාරු ගැණුම් මිල

හේතු පැහැදිලි විය යුතුයි. විද්‍යුත් හුවමාරු ගැණුම් මිල හා විකිණුම් මිල අතර වෙනස තමයි බැංකුවේ ලාබය. ඒ නිසා, විකිණුම් මිල ගැනුම් මිලට වඩා වැඩි විය යුතුයි. ඒ වගේම, පාරිභෝගිකයින්ගෙන් අඩුවට ඩොලර් මිල දී ගන්න පුළුවන්කම තියෙද්දී බැංකුවකට වෙනත් බැංකුවකින් ඊට වඩා වැඩි මිලකට ඩොලර් මිල දී ගන්න හේතුවක් නැහැ. අනෙක් අතට, පාරිභෝගිකයන්ට වැඩියෙන් විකුණන්න පුළුවන්කම තියෙද්දී වෙනත් බැංකුවකට අඩුවට ඩොලර් විකුණන්න හේතුවකුත් නැහැ. ඒ නිසා, එතැන් මිල විද්‍යුත් හුවමාරු ගැණුම් මිල හා විකිණුම් මිල අතර පැවතිය යුතුයි. 

හැබැයි මෙහෙම නොවන අවස්ථා තිබෙනවා. ඒ වෙළඳපොලේ විශාල ඩොලර් හිඟයක් හෝ අතිරික්තයක් ඇති විට.

දැන් අපි මේ සමඟ පළ කර තිබෙන ප්‍රස්ථාරයට සහ එහි පහළින් ඇති දත්ත වලට යමු. පසුගිය සති තුන තුළ සිදු වූ විචලනයන්ට පෙර, පෙබරවාරි 24 දින එතැන් මිල තිබුණේ රුපියල් 362.67 මට්ටමේ. විද්‍යුත් හුවමාරු ගැනුම් මිල 358.72යි. ඒ කියන්නේ රුපියල් 3.94ක් අඩුයි. විද්‍යුත් හුවමාරු විකිණුම් මිල 368.77යි. ඒ කියන්නේ රුපියල් 6.10ක් වැඩියි. 

එතැන් මිල විද්‍යුත් හුවමාරු විකිණුම් මිලට කිට්ටුනම් එයින් පෙන්වන්නේ වෙළඳපොළ ඩොලර් ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බවයි. ගැනුම් මිලට වඩා කිට්ටුනම් එයින් පෙන්වන්නේ වෙළඳපොළ ඩොලර් ද්‍රවශීලතා හිඟයක් ඇති බවයි. 

මාර්තු 3 දිනෙන් අවසන් වූ "පළමු සතිය" තුළ ඩොලරයක එතැන් මිල රුපියල් 346.17 දක්වා පහත වැටුණා. විද්‍යුත් හුවමාරු ගැනුම් මිල ඊට වඩා රුපියල් 11.67කින් පහත වැටී තිබුණා. විද්‍යුත් හුවමාරු විකිණුම් මිල තිබුණේ රුපියල් 1.86ක් ඉහළින්. මෙයින් අදහස් වුනේ බැංකු පද්ධතිය තුළ විශාල ඩොලර් අතිරික්තයක් පැවති බවයි. එම සතිය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 308ක් මිල දී ගෙන තිබුණා. එසේ නොවන්නට මිල මීට වඩා බොහෝ සේ පහත වැටෙනවා.

කෙසේ වුවත්, මාර්තු 3 දිනෙන් අවසන් වූ "දෙවන සතිය" තුළ මහ බැංකුව විසින් එවැනිම මැදිහත් වීමක් සිදු කළේද යන්න පැහැදිලි නැහැ. මාර්තු 7 දින රුපියල් 337.67 දක්වා එතැන් මිල පහත වැටෙනවා. එම මිල විද්‍යුත් හුවමාරු විකිණුම් මිලටත් වඩා අඩු මිලක්. ඒ කියන්නේ බැංකු වලට තමන් සතු ඩොලර් කාගේ හෝ ඇඟේ ගසා නිදහස් වන්නට අවශ්‍ය වන තරම් ඩොලර් අතිරික්තයක්. ඉන් පසුව මාර්තු 8 දින රුපියල් 326.32 දක්වා රුපියල් 11.35කින් එතැන් මිල පහත වැටෙනවා. බැලූ බැල්මටම පෙනෙන්නේ මෙය "නිදහස් කඩා වැටීමක් (Freefall)" බවයි.

මාර්තු 7 හා 8 දින වල ඩොලරයක මිල මෙතරම් වේගයෙන් පහත වැටීම මහ බැංකුවේ අභිමතය පරිදි සිදු වූවක් කියා හිතන්න බැරිකමක් නැහැ. විශේෂයෙන්ම මාර්තු 8 දින එක්කෝ මහ බැංකුව විසින් කිසිදු මැදිහත්වීමක් කර නැහැ. එසේ නැත්නම් ප්‍රමාණවත් මැදිහත්වීමක් කර නැහැ. කවර හෝ හේතුවක් නිසා මිල පහත වැටෙනු දැකීම මහ බැංකුවේ අභිලාශය වූ බව පෙනෙනවා. මෙය උපාය මාර්ගික තීරණයක් වෙන්න පුළුවන්. නිකම්ම අහම්බයක් වෙන්නත් පුළුවන්. 

සතිය තුළ මිල තව දුරටත් පහත වැටී මාර්තු 10 වන විට එතැන් මිල රුපියල් 318.63 දක්වා අඩු වෙනවා. මේ වන විට පැවති විද්‍යුත් හුවමාරු මිල ගණන් අනුව පෙනී යන්නේ සතියේ අවසාන දින දෙක තුළ මහ බැංකුව විසින් අතිරේක ඩොලර් ද්‍රවශීලතාව අවශෝෂණය කරගෙන අවසන්ව ඇති බවයි.

ඒ අනුව, මාර්තු 17න් අවසන් වූ "තුන්වන සතිය" ඇරඹෙද්දී ඩොලරයක මිල තව දුරටත් පහළ යාමේ ඉඩක් ඉතිරි වී නැහැ. මෙම සතිය තුළ සිදු වූ මිල විචලනයන් අනුව පෙනී යන්නේ මේ වන විට බැංකු පද්ධතිය තුළ යම් ඩොලර් ද්‍රවශීලතා හිඟයක් ඇති වී ඇති බවයි. 

අද (මාර්තු 17) වන විට ඩොලරයක එතැන් මිල රුපියල් 336.80 මට්ටමට පැමිණ ඇති අතර විද්‍යුත් හුවමාරු විකිණුම් මිල රුපියල් 350.23 දක්වාත්, විද්‍යුත් හුවමාරු ගැනුම් මිල රුපියල් 332.30 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඩොලර් ද්‍රවශීලතා හිඟය වෙළඳපොළ ඉල්ලුම මතම සිදු වූවක්ද, එසේ නැත්නම් මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගැනීම නිසා සිදු වූවක්ද යන්න ස්ථිරව කිව නොහැකි වුවත්, පළමුවැන්න වීමට ඉඩකඩ වැඩියි.

සිදු වුනේ ඔය දෙකෙන් කවර එකක් වුවත්, මෙයින් පෙනෙන්නට තිබෙන්නේ මහ බැංකුව මිල ඉහළ යාම ප්‍රශ්නයක් සේ නොදකින බවයි. සිදු වුනේ පළමුවැන්නනම් මිල ඉහළ යන්නේම මහ බැංකුවේ මැදිහත්වීම මතයි. බොහෝ විට සිදුව ඇති පරිදි, සිදු වුනේ දෙවැන්නනම්, මහ බැංකුව විසින් කරන්නේ ඉල්ලුම හා සැපයුම අනුව මිල ඉහළ යන්නට ඉඩ දී පැත්තකට වී බලා සිටීමයි. IMF නිර්දේශය වන්නේද එවැන්නක්. අද වන විට එතැන් වෙළඳපොළ හා විද්‍යුත් හුවමාරු වෙළඳපොළ මිල ගණන් අතර දැකිය හැකි ආන්තරයන් අනුව එලඹෙන සඳුදා ඩොලරයක එතැන් මිල තවත් යම් තරමකින් ඉහළ යාමේ හැකියාවක්ද පෙනෙන්නට තිබෙනවා. 

මහ බැංකු අධිපති විසින් පැවසූ පරිදි "පළමු සතිය" තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 308ක් මිල දී ගෙන තිබෙනවා. ඩොලරයක් රුපියල් 350 බැගින් මිල දී ගත් සේ සැලකුවහොත් මේ හේතුවෙන් රුපියල් බිලියන 108ක පමණ සංචිත මුදල් ඉහළ යාමක් සිදු විය යුතුයි. පෙරේදා (මාර්තු 15) මහ බැංකුව විසින් රුපියල් බිලියන 113ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම සැලකූ විට අවම වශයෙන් රුපියල් බිලියන 221ක සංචිත මුදල් වැඩි වීමක් සිදු විය යුතුයි. එහෙත්, ඉහත සඳහන් තෙසතියක කාලය තුළ සංචිත මුදල් ඉහළ යාම රුපියල් බිලියන 196ක් පමණයි. 

මේ අනුව පෙනී යන්නේ පසුගිය තෙසතියක කාලය තුළ ශුද්ධ වශයෙන් විදේශ සංචිත ඉහළ යාම ඩොලර් මිලියන 300කට නොවැඩි බවයි. එසේනම්, එක්කෝ මහ බැංකුව විසින් "පළමු සතිය" තුළ ඩොලර් මිලියන 308ක් මිල දී ගැනීමෙන් පසුව වෙළඳපොළට මැදිහත් වී නැහැ. එසේ නැත්නම්, පසු දෙසතිය තුළ මිල දී ගත් ඩොලර් ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් ණය ගෙවීමක් හෝ වෙනත් කටයුත්තක් වෙනුවෙන් නැවත විකුණා තිබෙනවා. බොහෝ විට සිදු වුනේ දෙවැන්න විය හැකියි. 

6 comments:

  1. ආන්ඩුවයි, මහබැංකුවයි එකතු වෙලා ගේමක් ගහලා වගේ තමයි....රට ඇතුලෙ තිබ්බ ඩොලර් ටික එකතු කර ගන්න, පොඩ්ඩක් රුපියල අධිප්‍රමානය වෙන්න දීලා, ඒ එකතු කර ගත්ත ඩොලර් ටික ආන්ඩුවට දීලා වගේ... සංචිත මුදල් ගැන විස්තරය දැන ගත්තම හරියටම වෙලා තියෙන්නෙ මොකක්ද කියලා කියන්න පුලුවන් වෙයි නේද?

    ReplyDelete
    Replies
    1. දැන් සංචිත මුදල් පිළිබඳ තොරතුරු තිබෙනවා. අන්තිම හරියේ තිබෙන්නේ ඒ ගැන. ඔබ කියනවා වගේ දෙයක් වී ඇති බව තමයි පෙනෙන්නේ. මිල අඩු කරලා හංගාගෙන හිටපු ඩොලර් ටික එකතු කරගෙන ණයක් ගෙවලා වගේ. අන්තිම සතියේ සංචිත මුදල් වැඩිවීම රුපියල් බිලියන 62ක් පමණයි. ඒ කියන්නේ මිල දී ගත් ඩොලර් යම් ප්‍රමාණයක් විකුණලා.

      Delete
  2. දස්ස නිස්සො අතරේ ඇතිවිට බලය
    වැරදි වෙන්න තිබෙනා ඉඩ හරි අඩුය
    පුස්සො කබ්බො අතරේ තිබුණම බලය
    නිවැරදි වෙයිද උන් කරනා ජරමරය?

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා කිව්වට තරහ ගන්න එපා ඔබේ පෝස්ට් හරියට shoot in to the darkness වගේ දැන් ටික දවසකට කලින් එක දවසක කියනවා මම හිතුවට වඩා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වෙනවා කියලා, ආයේ තව දවසක් ඩොලරය රුපියල් 320 සීමාවේ ස්ථාවර වෙනවා කියලා කැට තියලා කියනවා, ඔන්න ඊට පස්සෙ ආයේ කියනවා දැන් වෙන බයිලාවක් හෙට ආයේ තව එකක් කියයි එක එක දවසට එක එක කතන්දර හරියට චන්ද්‍රසිරි බණ්ඩාර මංජුල පීරිස් වගේ මේක මම හිතන්නේ ආර්ථික විද්‍යාව කියන විෂයයේ ප්‍රශ්නයක් මිසක් ඔබේ වරදක් නෙවෙයි මේක හරියට ආර්ථික විද්‍යාව කියලා කියන්නේ "මූල්‍ය ජ්‍යෝතිෂ්‍ය" කියලා කියුවොත් එම විෂය නිවැරැදිව හඳුනා ගැනීමට හැකි බවයි, ලංකාවේ ජනයා රටට ලැබෙන ණය දිහා බලලා සතුටු වෙනකොට රටේ ආර්ථිකය සංකෝචනය වෙලා වර්ධනය හිර වෙලා. වෘත්තිය සමිති කාරයෝ දන්නේ නෑ ඇත්තටම වෙනදේ. උන් කරන්නේ රඡයේ කොන්තරාත්තුවක්. පාර්ලිමේන්තුවේ 225 ම එක පැත්තේ. ටිකක් හිතලා බලන්න එක පාර්ලිමේන්තු මන්තිරිවරයෙක් වත්, දේශපාලන පක්ෂයක්වත් IMF එකේ රටේ ආර්ථිකය වර්ධනයට හානිකර කොන්දේසි පිලිබද වචනයක් කතා කරනවාද කියලා. අඩුගානේ ජෙප්පො, මාලිමාවො නිකමට මේවා ගැන කතා කරනවාද ? නෑ. උන් ඔක්කොම කරන්නේ ලොකු කොන්තරාත්තුවක්. රටේ මිනිස්සු බුද්ධිමත් වෙලා එක පක්ෂයකටවත් සහය දෙන්න එපා. ලංකාවේ රජය කුඩා කරලා වියදම් පාලනය කරගන්න හැකි තරම් පුද්ගලික අංශයේ ව්‍යවසායයන්ට සහාය ලබා දෙන පරිසරයක් නිර්මාණය කළ යුතුමයි. ණය වෙලා ආණ්ඩුවේ පින්පඩි කාරයෝ හුරතල් කිරීම නවතා රටේ ආදායම් වැඩි කර ගැනීම සඳහා පුද්ගලයන් පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් සේවා අපනයන වර්ධනය කළ යුතු නමුත් ණය අරගෙන ඔය ලංකාවේ තියෙන මගුල දිගටම කරගෙන ගිහින් වෙන්නේ ආයෙත් මේ චක්‍රයේ හිරවෙන එක, රටත් එතනමයි මිනිස්සුත් එතනමයි

    ReplyDelete
    Replies
    1. මගේ ඊළඟ ලිපියට ඇනෝ මෙහි කමෙන්ට් එකක් දමනවාද, එහෙම දමනවානම් ඒ කමෙන්ට් එක මොකක්ද කියලා දැන් හිතාගන්න පුළුවන්ද? ක්‍රිකට් ගහද්දී ඊළඟ බෝලයට ගහන විදිහ බෝලය දමන්න කලින් කියන්න පුළුවන්ද? වාහනයක් එලවද්දී ඊළඟ හැතැම්ම ඇතුළත කී පාරක් බ්‍රේක් එකට කකුල තියන්න වෙයිද කියලා කලින් හිතාගන්න පුලුවන්ද? නිදහසේ තීරණය වන මිලක් කීයට යයිද කියලා කාටවත් ගොඩක් කලින් කියන්න බැහැ. දවසකට පමණ කලින් දිශානතිය ගැන යම් අදහසක් ගන්න පුළුවන්. ටික දවසකට කලින් මම හිතුවට වඩා ඩොලරයට සාපේක්ෂව රුපියල කෙටිකාලීනව ශක්තිමත් වුනා. ඒක හරි. ඊට පස්සේ ඩොලරය පහළ යන එක නැවතී රුපියල් 320 සීමාවේ ස්ථාවර වුනා. ඒකත් හරි. සඳුදා තව එකක් කියන්න වෙයි. මොකද අද තිබෙන තත්ත්වය හෙට වෙනස් විය හැකියි. නිදහස් වෙළඳපොළක් කියා කියන්නේ කාටවත් සැලසුම් කළ හැකි එකක් නෙමෙයි. කොහේවත් මම "කැට තියලා" නම් නැහැ. විණිමය අනුපාතය කලින් පුරෝකථනය කළ නොහැකි බව පැහැදිලි ලෙසම ලියා තිබෙනවා. එය ඔබට පැහැදිලි වී නැත්නම් අඩු වශයෙන් දැන් හෝ තේරුම් ගෙන මතක තියා ගන්න.

      //ලංකාවේ ජනයා රටට ලැබෙන ණය දිහා බලලා සතුටු වෙනකොට රටේ ආර්ථිකය සංකෝචනය වෙලා වර්ධනය හිර වෙලා.//

      ඒ කියන්නේ ඔබටත් අවශ්‍ය රටේ ආර්ථිකය සංකෝචනය වෙන එක නවත්තගන්න කියන එකනේ. ඒක කරන්නනම් තවත් විශාල ප්‍රමාණයක් විදේශ ණය ගන්න වෙනවා. ඔය දෙකෙන් එකක් මිසක් දෙකම කරන්න බැහැ. ඔබ ඇතුළු ලංකාවේ ගොඩක් අය ජීවත්වෙන්නේ පරස්පර ඇතුළේ. බිත්තරේ පරිස්සම් කරගෙන ඔම්ලට් කන්න බැහැ.

      Delete
  4. Due to the costs of purchasing and maintaining equipment as well as employing and training staff, setting up a customer service center may be expensive. Save time and satisfy customers with call center outsourcing services

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.