වෙබ් ලිපිනය:

Monday, January 12, 2026

Death of a Currency මුදල් ඒකකයක මරණය


ලොකු සද්දයක් එක්ක රුපියල් 310 සීමාවෙන් උඩට ගිය ඇමරිකන් ඩොලරයක මිල කිසිම සද්දයක් නැතිව නැවත 310 සීමාවෙන් පහළට ඇවිත් තිබෙනවා. අද (ජනවාරි 12) ඩොලරයක මැදි මිල රුපියල් 309.38යි. 

තවත් ටික දවසකින් ඩොලරයක මිල නැවත රුපියල් 310 සීමාවෙන් උඩට යන්න පුළුවන්. ඉල්ලුම සැපයුම අනුව දෛනිකව විණිමය අනුපාතයේ සිදුවන මෙවැනි විචලනයන්ට විණිමය අනුපාතය කඩා වැටීමක් කියලා කවුරුවත් කියන්නේ නැහැ.

මුදල් ඒකකයක් කඩා වැටෙනවා කියන්නේ කුමක්ද කියන එක ඉරානයේ රියාලය දෙස බලා සිටියොත් දැන් සජීවීව බලාගන්න පුළුවන්. මේ වෙද්දී ඇමරිකන් ඩොලරයක මිල ඉරාන රියාල් 1,429,500 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2022දී ලංකාවේ රුපියලටත් මෙවැනි දෙයක් වීමේ ඉඩකඩක් තිබුණා. 





Sunday, January 11, 2026

දේශීය ඉතිරි කිරීම් සහ විදේශ ප්‍රාග්ධනය

කලින් සටහන පළ කළේ, කිහිප දෙනෙකු විසින්ම අහපු, "විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්නේ කොහොමද?" කියන ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි. නමුත් ලිපියේ පිළිතුරු දී තිබෙන්නේ "වැඩි කර ගන්නේ කොහොමද?" කියන  ප්‍රශ්නයට නෙමෙයි. "වැඩි වෙන්නේ කොහොමද?" කියන ප්‍රශ්නයටයි. "වැඩි කර ගන්නේ කොහොමද?" කියන එක දේශපාලනික කරුණක්. නමුත් ඒ දේශපාලනික ප්‍රශ්නයට පිළිතුරු හොයන්න පුළුවන් වෙන්නේ "වැඩි වෙන්නේ කොහොමද?" කියන එක ගැන අදහසක් ඇත්නම් පමණයි. 

මෙහිදී අප මේ සටහන් ලියද්දී වැඩි අවධානයක් යොමු කරන්නේ ලංකාව කෙරෙහි නිසා ලංකාවට අදාළ කර ගත නොහැකි දේවල් කතා කිරීමෙන් ඒ තරම් පලක් නැහැ. වත්මන් ලංකාවට දඬු මොණරයකින් ගිහින් පැය කිහිපයක් ඇතුළත වෙනත් රටක රාජ්‍ය නායකයෙක් පැහැර ගෙන එන්න බැහැ. අසල්වැසි රටක් රටේ ගුවන් සීමාව ආක්‍රමණය කරලා පරිප්පු දැම්මොත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වගේ රටකට ලෝකය කැරකෙන විදිහ බලලා කැරකෙනවා මිසක් ලෝකය කැරකෙන විදිහ වෙනස් කරන්න බැහැ. 

අනෙක් අතට ලංකාව කියන්නේ කුඩා නාගරික රාජ්‍යයක් හෝ විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙන රටකුත් නෙමෙයි. කවුරු කවදා කොහොම කිවුවත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පමණක් රට ගොඩ දමන්න බැහැ. ලොකු ආර්ථිකයක් නැති, ලෝක බලවතෙකු නොවන පර්යන්තයේ පිහිටි රටක් වුනත්, ලංකාව කියන්නේ මිලියන 21කට වඩා වැඩි ජනගහණයක් ඉන්න රටක්. රටට ඉදිරියට යා හැක්කේ ඔය මිලියන 21ක ජනගහණය ඉදිරියට තල්ලු කරගෙනයි. ඒ නිසා ලෝක බලවතෙකුට කළ හැකි දේ වගේම කුඩා නාගරික රාජ්‍යයකට කළ හැකි දේවලුත් ලංකාවට කරන්න අමාරුයි.

ලෝකයේ රටවල් තිබෙන්නේ දෙසීයකට ආසන්න ප්‍රමාණයක්. මේ රටවල් දෙසීය එකිනෙකට වෙනස් රටවල්. ලංකාවට වෙනත් අයෙකු දෙස බලා වෙනස් වෙනවානම් එසේ බලන්න වෙන්නේ බොහෝ කරුණු අතින් ලංකාවට සමාන රටක් දෙසයි. මෑත කාලයේදී ලංකාවේ ආදායම් මට්ටමේ සිට වේගයෙන් දියුණු වූ, එසේ ලංකාව හා සමාන කළ හැකි රටවල් නැති තරම්. ලංකාව හා සමාන කළ නොහැකි වුවද, එසේ වේගයෙන් දියුණු වූ රටවල් වුනත් තිබෙන්නේ අතළොස්සක් පමණයි. ඒ නිසා, ලංකාවට එසේ බැලිය හැකි තනි රටවල් නැති තරම්.

ලංකාව හා සංසන්දනය කළ හැකි, වේගයෙන් දියුණු වූ තනි රටවල් නැත්නම්, ලංකාවට බලන්න වෙන්නේ එසේ වේගයෙන් දියුණු වූ රටවල් සහ අනෙකුත් රටවල් අතර වෙනස්කම් මොනවාද කියන එකයි. එවැනි වෙනස්කම් හඳුනාගත්තත්, සමහර දේවල් වෙනස් කරන්න බැරි දේවල්. උදාහරණයක් විදිහට රටේ පිහිටීමේ බලපෑමක් පෙනෙන්න තිබුණා කියලා රට වෙනත් තැනකට අරගෙන යන්න බැහැ. ඒ නිසා, අවධානය යොමු කිරීමට අවශ්‍ය වන්නේ වෙනස් කර ගත හැකි දේවල් කෙරෙහියි.

පෙර ලිපියෙහි කරුණු ඉදිරිපත් කළේ ඔය පදනම මත. එහි පෙන්වා දුන් විභව ආර්ථික වර්ධනය ඉහළ දමන පළමු කරුණ ලෝකයේ දියුණු රටවල් දෙස බලා ඵලදායීත්වය වැඩි කරගැනීම. මෙය දියුණුම රටවල් හැරුණු විට අනෙක් හැම රටකටම කළ හැකි දෙයක්. ඒ වගේම අඩු වැඩි වශයෙන් කරන දෙයක්. එහෙමත් නැත්නම් සිදු වන දෙයක්. ඒ නිසා, අතළොස්සක් හැර ලෝකයේ බොහොමයක් රටවල් වල ආර්ථිකයන් වසරින් වසර වර්ධනය වෙනවා වගේම දියුණු රටවල් වලට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙනවා. නමුත් ඒ රටවල් අතරින්, කෙටි කාලයක් ඇතුළත වර්ධන වේගය සැලකිය යුතු ලෙස වැඩි කරගෙන, වෙනම තලයකට ගිහින් තියෙන්නේ රටවල් අතළොස්සක් පමණයි.

විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම නොකරන රටක් නැති තරම්. ඒ රටවල් වල ආර්ථිකයන් බොහොමයක් වසරින් වසර දියුණු වන බවත් පේනවා. ලංකාවත් මේ රටවල් අතර ඉන්නවා. නමුත් මේ රටවල් අතරින් කෙටි කාලයක් තුළ විශාල පිම්මක් පැනපු රටවල් ප්‍රමාණය අතළොස්සක් පමණයි. ඒ අනුව, පැහැදිලි වනු ඇත්තේ මේ පරිවර්තනයට හේතුව විදේශ ප්‍රාග්ධනය නොවන බවයි. 

ඔය විදිහට විශාල පිම්මක් පැනපු රටවල් සහ එසේ නැතුව ලංකාව වගේ සාමාන්‍ය වේගයකින් හෙමිහිට වර්ධනය වන රටවල් අතර හඳුනාගත හැකි ප්‍රධාන වෙනසක් වන්නේ එසේ දියුණු වූ රටවල දේශීය ඉතිරි කිරීම් අනුපාතය එක දිගට විශාල කාලයක් ඉහළ මට්ටමක තිබීමයි. අනෙකුත් රටවල එසේ සිදු වී නැහැ. මේ විදිහට දියුණු වූ රටවල් අතර චීනය වැනි විශාල රටවල් වගේම සිංගප්පූරුව වැනි කුඩා රටවල්ද තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ මේ වර්ධනයට දායක වී තිබෙන්නේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය මිස රටේ ප්‍රමාණය නොවන බවයි. 

පහත තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක දේශීය ඉතිරි කිරීම් අනුපාත. විශේෂයෙන් සඳහන් කර නැත්නම් 2024 අගයයන්. 

අයර්ලන්තය - 60.5%

සිංගප්පූරුව - 57.9%

බහරේන් - 46%

කටාර් (2022) - 67.6%

චීනය - 43.4%

ඕමාන් - 42.1%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (2023) - 42.9%

වියට්නාමය - 37.2%

ඉන්දුනීසියාව - 36.9%

දකුණු කොරියාව - 34%

ඉන්දියාව - 28.6%

ලංකාව - 24.3%

බංග්ලා දේශය - 24.0%

ආජන්ටිනාව - 18.4%

ග්‍රීසිය - 12.7%

වෙනිසියුලාව - 12.5%

පකිස්ථානය - 6.4%

නේපාලය - 6.2%

රටක දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තිබේනම්, ඒ රටට විදේශ ප්‍රාග්ධනය නොමැතිව රට තුළ විශාල ලෙස ආයෝජන කළ හැකියි. දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ බොහොමයක් රටවල් රට තුළ  විශාල ආයෝජන කරනවා පමණක් නොව, රටින් පිටතද තමන්ගේ ඉතිරි කිරීම් ආයෝජනය කරනවා.

පහත තිබෙන්නේ පසුගිය වසර වල සිංගප්පූරුවට ආ ශුද්ධ විදේශ ප්‍රාග්ධනය (මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශුද්ධ ශේෂය). වරහන් ඇතුළේ තිබෙන්නේ සෘණ ගණන්.

2024 - S$ Bn (88.1)

2023 - S$ Bn (39.4)

2022 - S$ Bn (288.7)

2021 - S$ Bn (27.9)

2020 - S$ Bn 17.6

2019 - S$ Bn (92.7)

2018 - S$ Bn (61.3)

2017 - S$ Bn (47.3)

2016 - S$ Bn (81.7)

2015 - S$ Bn (72.1)

ඒ කියන්නේ ශුද්ධ වශයෙන් විදේශ ප්‍රාග්ධනය රටෙන් එළියට ගිහින් කියන එක. 1994 සිට පසු ගිය වසර 31ක කාලය තුළ, 2020දී හැර, අනෙක් සියලුම වර්ෂ වලදී සිදු වී තිබෙන්නේ සිංගප්පූරුවට එන විදේශ ප්‍රාග්ධනයට වඩා වැඩියෙන් සිංගප්පූරුවේ ප්‍රාග්ධනය රටින් එළියට යන එකයි.


මෙයින් අදහස් වන්නේ සිංගප්පූරුවට විදේශ ප්‍රාග්ධනය පැමිණ නැති බව නෙමෙයි. 2024 වසර සැලකුවොත්, සිංගප්පූරු ඩොලර් බිලියන 203.0ක සෘජු විදේශ ආයෝජන රටට පැමිණ තිබෙනවා. එහෙත් ආයෝජන ලෙස සිංගප්පූරුවේ සිට රටින් පිටතට ගොස් ඇති මුදල ඊට වඩා සිංගප්පූරු ඩොලර් බිලියන 88.1කින් වැඩියි.

ඕනෑම රටකට විදේශ ආයෝජන ලැබෙන එකේ වාසි ගණනාවක්ම තිබෙනවා. විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන වල. ප්‍රධානම වාසිය සෘජු විදේශ ආයෝජනත් එක්ක රටේ දැනට නැති තාක්ෂනය රටට එන එක. සෘජු විදේශ ආයෝජන ලැබෙන එක වුනත්, විදේශ විණිමය ප්‍රභවයක් ලෙස සැලකුවොත් අමතර ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. 

රටකට විදේශ ප්‍රාග්ධනය එනවා කියන්නේ ඒ රටේ මුදල් ඒකකය අධිප්‍රමාණය වෙනවා කියන එක. විදේශ ප්‍රාග්ධනය එන රටකට වඩාත්ම වාසිදායක ආකාරය වන සෘජු විදේශ ආයෝජන සැලකුවත්, ඒ එක්ක මුදල් ඒකකය අධිප්‍රමාණය වීමේ අවාසිය තිබෙනවා. මුදල් ඒකකය අධිප්‍රමාණය වූ විට රට ඇතුළේ ආනයනික භාණ්ඩ ලාබ වෙනවා. පරිභෝජනය ඉහළ යනවා. ඉතිරි කිරීම් අඩු වෙනවා. දේශීය නිෂ්පාදකයින්ට ආනයන එක්ක තරඟ කරන්න බැරි වෙනවා. අවසාන වශයෙන් රටේ නිෂ්පාදිතය සීමා වෙලා සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණි විදේශ විණිමය ටික ආනයන විදිහට රටින් එළියට යනවා. 

ප්‍රශ්නය වඩා දරුණු වෙන්නේ විදේශ ණය සහ අනෙකුත් මූල්‍ය ආයෝජන විදිහට විදේශ ප්‍රාග්ධනය රටට එද්දී. මේ විදියට එන විදේශ ප්‍රාග්ධනය යම් නිශ්චිත කාලයකට පසුව අනිවාර්යයෙන්ම රටෙන් ආපසු යනවා. ඒ යන්නේ කලින් මුදල් ඒකකය අධිප්‍රමාණය වීමේ වාසිය පොලියත් එක්ක ආපහු අරගෙන. ඊට අමතරව රටේ නිෂ්පාදිතයත් කඩා දමලා. වැඩේ කෙළවර වෙන්නේ ආයෝජන තියා ණය විදිහටවත් විදේශ ප්‍රාග්ධනය එකතු කරගන්න බැරි තැනකට වැටිලා. ලංකාවට වුනෙත් ඕක.

ගොඩක් රටවල් මේ උගුලේ පැටලී හිටියත් සිංගප්පූරුව, චීනය, දකුණු කොරියාව වගේ මේ උගුලේ පැටලුනේ නැති රටවලුත් තිබෙනවා. ඒ රටවල් විදේශ ප්‍රාග්ධනය ඇවිත් තමන්ගේ මුදල් ඒකකය අධිප්‍රමාණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එයින් ඇත්තටම වෙන්නේ ආර්ථිකය ශක්තිමත් වීමක් නොවන බව ඒ රටවල් තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා, මේ රටවල් කරන්නේ රටට එන විදේශ ප්‍රාග්ධනය වෙළඳපොලෙන් ඉවත් කරගෙන මුදල් ඒකකය අවප්‍රමාණය වෙන්න අරින එක.

මුදල් ඒකකය අවප්‍රමාණය වෙද්දී ආනයන මිල අධික වෙනවා. ඒ නිසා ආනයන ඉල්ලුම අඩු වෙනවා. රටේ නිෂ්පාදනය ඉහළ යනවා. පරිභෝජනය අඩු වෙනවා. දේශීය ඉතිරි කිරීම් ඉහළ යනවා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන නිසා තව තවත් විදේශ ප්‍රාග්ධනය ගලාගෙන එනවා. ඉතිරි කිරීම් තවත් ඉහළ යනවා. රටට රටින් පිටට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය යවන්න පුළුවන් වෙනවා.

පසුගිය වසරේ චීනයේ සිට ඩොලර් බිලියන 434.0ක් ප්‍රාග්ධනය විදිහට ශුද්ධ වශයෙන් එළියට ගිහින් තිබෙනවා. සිංගප්පූරුව වගේම චීනයත් වැඩි වැඩියෙන් ආයෝජන කරන්නේ රටේ දේශීය ඉතිරි කිරීම් වලින් මිසක් විදේශ ප්‍රාග්ධනය අරගෙන නෙමෙයි. අනෙක් බොහොමයක් රටවල් වලට වඩා වේගයෙන් ආර්ථිකය වර්ධනය කරගෙන තිබෙන අතළොස්සක් රටවලට පොදු විශේෂ ලක්ෂණයක් වන්නේ විදේශ ප්‍රාග්ධනය මත යැපෙන්නේ නැතිව, පරිභෝජනය සීමා කර, දේශීය ඉතිරි කිරීම අනුපාතය ඉහළ මට්ටමක තබා ගෙන සිටීමයි. 

සිංගප්පූරුව මේ වෙද්දී ලෝකයේ ධනවත්ම රටක්. චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය. ඒ වගේ රටකට ඉතිරි කිරීම් අනුපාතය උඩින් තියාගෙන ඉන්න පුළුවන් වුනත් ලංකාවට එහෙම කරන්න බැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ඔය රටවල් ඔය වැඩේ කළේ අද ඊයෙක නෙමෙයි. මෙය ආදායම් මට්ටම ඉහළ යන්න කලින්ම කළ වැඩක්. ආදායම් මට්ටම වේගයෙන් ඉහළ ගියේ ඒ නිසා. ලංකාවට ආසන්න ඒක පුද්ගල ආදායමක් ඇති රටක් වන වියට්නාමයත් මේ වෙද්දී ඉතිරි කිරීමේ අනුපාතය විශාල ලෙස ඉහළ දමාගෙන තිබෙනවා. ඉදිරි වසර විස්සක කාලය ඇතුළත එහි ප්‍රතිඵල දකින්න හැකි වෙයි. 

Saturday, January 10, 2026

විභව ආර්ථික වර්ධන වේගය වැඩි වෙන්නේ කොහොමද?


නාමික දළ දේශීය නිෂ්පාදිතය සහ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය අතර වෙනස ගැන පෙර ලිපියක පැහැදිලි කළා. මේ දෙක අතරින්, රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට ඉවහල් වෙන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමයි. සාමාන්‍යයෙන් ආර්ථික වර්ධනය ලෙස හඳුන්වන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගයයි.

රටක ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යන්නේ දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වන්නේනම් පමණයි. ඒ නිසා රටකට වඩා වැදගත් වන්නේ දිගුකාලීනව, සාමාන්‍ය වර්ධන වේගය ඉහළ දමා ගැනීමයි. මෙම දිගුකාලීන සාමාන්‍ය වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගය ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, කිසියම් නිශ්චිත වසරක් ගත්තොත්, සත්‍ය ආර්ථික වර්ධන වේගය විභව ආර්ථික වර්ධන වේගයට හරියටම සමාන වෙන්නේ නැහැ. එය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. 

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහනයක් දිගටම එකම නිශ්චිත වේගයකින් ගමන් කරන්නේ නැහැ. නමුත් අවසාන වශයෙන් වැදගත් වන්නේ ගාල්ල දක්වා යන්න කොපමණ කාලයක් ගත වුනාද කියන එකයි. මේ ගමන හැකි ඉක්මණින් යන එක වැදගත් වුනත්, ඒ සඳහා අනුගමනය කළ යුතු හොඳම උපාය මාර්ගය පුලුවන්ම තරම් වේගයෙන් ගමන යන එක නෙමෙයි. 

වංගු වැනි අවදානම් තැන් වලදී වේගය අඩු කරන්න සිදු වෙනවා. ලොකුවට වැස්සොත් වේගය අඩු කරන්න සිදු වෙනවා. ඒ වගේ තැන් වල සහ ඒ වගේ අවස්ථා වල වේගය අඩු කළේ නැත්නම් අනතුරක් වී ගමන වඩා ප්‍රමාද වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාහන තදබදය වැනි හේතු නිසාත් වේගය අඩු කරන්න වෙනවා. ඔය වගේ ප්‍රශ්නයක් නැති තැන් වල සහ අවස්ථා වල වැඩි වේගයකින් වාහනය ධාවනය කරන්න පුළුවන්. අවසාන වශයෙන් ගාල්ලට යන්න ගත වන කාලය තීරණය වන්නේ සාමාන්‍ය වේගය මතයි.

පසුගිය වසර 75ක පමණ කාලය දෙස ආපසු හැරී බැලුවොත්, ලංකාවේ ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4.4%ක පමණ සාමාන්‍ය වේගයකින්. 1977 සිට වසර 50කට ආසන්න කාලය සැලකුවත්, මෙම වේගය 4.6%ක් පමණ. ඇතැම් වසර වල සත්‍ය වර්ධන වේගය මෙම අගයට වඩා වැඩි වුවත්, එවැනි ඉහළ වර්ධන වේගයක් පැවති හැම විටකම මෙන් පසුව එම වර්ධන වේගය අඩු වී තිබෙනවා. ඒ වගේම, වර්ධන වේගය අඩු වූ වකවානු වලින් පසුව නැවත වර්ධන වේගය වැඩි වී තිබෙනවා. අවසාන වශයෙන්, පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ, සත්‍ය වර්ධන වේගය වරින් වර වෙනස් වුවද, එහි සාමාන්‍ය අගය, එනම් විභව වර්ධන වේගය, 4.5%ට ආසන්න මට්ටමක නොවෙනස්ව තිබී ඇති බවයි.

අපට මෙවැනි ගණනයක් වෙනත් රටවල් හා අදාළවද කළ හැකියි. එවිට පෙනී යන්නේ බොහොමයක් ඉහළ ආදායම් රටවල විභව ආර්ථික වර්ධන වේගය 2%-3% අතර මට්ටමක නොවෙනස්ව ඇති බවයි. ලංකාවට ආසන්න ආදායම් මට්ටමක සිටින රටවල වර්ධන වේගය බොහෝ විට 4%-5% වැනි මට්ටමක්. මෙය සාමාන්‍ය තත්ත්වයයි. ඔය අතර යම් කාලයක් වඩා අඩු වේගයකින් හෝ වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇති රටවල්ද තිබුණත් එය පොදුවේ දැකගත හැකි තත්ත්වයක් නෙමෙයි.

මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ කිසියම් වසරක, කිසියම් රටක සිදු වන භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා අපට ශ්‍රමය, ප්‍රාග්ධනය සහ තාක්ෂනය අවශ්‍ය වෙනවා. මේ අතරින්, අද වන විට, නිෂ්පාදිතය වැඩි කර ගැනීම සඳහා ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වන්නේ ප්‍රාග්ධනය සහ තාක්ෂනය කියන සාධක දෙකයි. අද වන විට මූලික ශ්‍රමය ඒ තරම්ම වැදගත් සාධකයක් නෙමෙයි. පුහුණු ශ්‍රමයේ කාර්ය භාරය අප‍ට තාක්ෂනය යටතේම සලකා බලන්න පුළුවන්. ඒ නිසා, ප්‍රායෝගිකව විභව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීමට ඉවහල් කර ගත හැක්කේ ප්‍රාග්ධනය සහ තාක්ෂනය කියන සාධක දෙකයි.

රටක ප්‍රාග්ධන සංචිතය තිරසාර ලෙස වැඩි කර ගැනීමට ඉවහල් වන්නේ ඉතිරි කිරීමේ අනුපාතිකයයි. විදේශ ණය ගැනීම මගින්ද ප්‍රාග්ධන සංචිතය වැඩි කරගත හැකි නමුත් එම ණය ආපසු ගෙවන විට නැවතත් ප්‍රාග්ධන සංචිතය අඩු වෙනවා. ඒ නිසා මේ ක්‍රමයට ප්‍රාග්ධනය වැඩි කරගෙන තාවකාලිකව ආර්ථික වර්ධන වේගය ඉහළ දමා ගත හැකි වුවත්, ඒ වර්ධනය තිරසාර වර්ධනයක් නෙමෙයි. ඒ ක්‍රමයට විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න අමාරුයි.

රටක ඉතිරි කිරීම් අනුපාතය ඉහළ ගියහොත් තිරසාර ලෙස ප්‍රාග්ධන සංචිතයද ඉහළ යනවා. ඒ හේතුවෙන් ආර්ථිකයේ ප්‍රමාණයද විශාල වෙනවා. මෙය සිදු වන කාලය තුළ ආර්ථික වර්ධන වේගයද ඉහළ යනවා. නමුත් ආර්ථිකයක් විශාල වන තරමට ආර්ථිකය ඒ මට්ටමේ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රාග්ධන සංචිතයයේ ප්‍රමාණයද ඉහළ යනවා. ඒ නිසා, ඉතිරි කිරීම් අනුපාතය ඉහළ ගියත් ඒ හේතුවෙන් ආර්ථිකය දිගින් දිගටම වර්ධනය වෙන්නේ නැහැ. විදේශ ණය ගැනීමට සාපේක්ෂව මෙහි තිබෙන ප්‍රධාන වෙනස වන්නේ වර්ධන වේගය පසුව අඩු වුනත්, ආර්ථිකය කඩා වැටී ඒ වන විට සිදු වූ වර්ධනය අහිමි නොවීමයි. නමුත් විදේශ ණය වල උදවුවෙන් ආර්ථිකය ප්‍රසාරණය කළ විට වර්ධන වේගය අඩු වීමට අමතරව, ආර්ථිකය කඩා වැටී ඒ වන විට සිදු වූ වර්ධනයේ ප්‍රතිලාභ වුවද අහිමි වෙන්න පුළුවන්. 

රටක ආර්ථිකයේ ප්‍රමාණය තිරසාර ලෙස දිගින් දිගටම ප්‍රසාරණය වන්නේ ඵලදායීත්වය ඉහළ යාම නිසායි. මෙය බොහෝ දුරට සිදු වන්නේ තාක්ෂනය වැඩි දියුණු වීම නිසා. 

ඇමරිකාව වැනි ඉහළ ආදායම් රටක තාක්ෂනය වැඩි දියුණු වී ඵලදායීත්වය ඉහළ යාම සඳහා නවෝත්පාදන අවශ්‍ය වෙනවා. දිගින් දිගටම නවෝත්පාදන බිහි කිරීම පහසු කාර්යයක් නෙමෙයි. එහෙත්, ඇමරිකාවේ ආර්ථිකය දිගුකාලීනව 3%ක පමණ වේගයකින් වර්ධනය වෙනවා. මෙයින් පෙනී යන්නේ ඇමරිකන් සමාජය තුළ නවෝත්පාදන බිහි වීම සඳහා උපකාරී වන තත්ත්වයන් දිගින් දිගටම පැවතී ඇති ආකාරයයි. 

වසර 75කට පෙරත් (1950දී) ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම 2024 ඩොලර් වලින් 20,327ක්. ලංකාවේ 2024 ඒක පුද්ගල ආදායම වුවද ඩොලර් 4,516ක් පමණයි. ඒ කියන්නේ වසර 75කට පෙරත්, ඇමරිකාවේ ඵලදායීතා මට්ටම ලංකාවේ දැන් මට්ටම මෙන් හතර ගුණයකටත් වඩා වැඩියි. වෙනත් අඩු හා මැදි ආදායම් රටවල් සැලකුවත්, ඒ රටවල් තවමත් ඉන්නේ ඉහළ ආදායම් රටවල් සියවසකටත් කලින් හිටපු මට්ටමටත් වඩා පහළින්. 

මේ වගේ විශාල ඵලදායීතා පරතරයක් පැහැදිලිව පෙනෙන්න තියෙද්දී, ලංකාව වැනි රටකට සිය නිෂ්පාදිතය සහ ආදායම් මට්ටම වැඩි කරගැනීම සඳහා ඇමරිකාව මෙන් නවෝත්පාදන බිහි කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම, ප්‍රායෝගිකව අද ලෝකයට අවශ්‍ය නවෝත්පාදන ලංකාව වැනි රටක සිට බිහි කරන එක පහසු කටයුත්තකුත් නෙමෙයි. ඇමරිකාව වැනි රටක් අද ඉන්න තැනට ආවේ කොහොමද කියන එක දිහා බලාගෙන අවශ්‍ය දේවල් කිරීමෙන් පමණක් ලංකාවේ ආර්ථිකය දැන් තිබෙන මට්ටම මෙන් විසි ගුණයක් පමණ දක්වා විශාල කර ගන්න පුළුවන්. 

ඉහත කී විභවය තිබුණත්, ලංකාව වැනි රටකට වසරක් හෝ වසර කිහිපයක් ඇතුළත රටේ ඵලදායීතාව ඇමරිකාවේ මට්ටමට වැඩි කරගන්න බැහැ. දැනට වෙනත් රටක තිබෙන තාක්ෂනය ලබා ගන්න වුනත් රටකට සැලකිය යුතු කාලයක් යනවා. 

ඇමරිකාව වැනි රටක විභව ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ නවෝත්පාදන බිහි කර ගැනීම මගින් ඵලදායීත්වය ඉහළ දමා ගන්නා වේගය. ලංකාව වැනි රටක විභව ආර්ථික වර්ධන වේගය කියා කියන්නේ ඇමරිකාව වැනි රටක දැනටම දියුණු කර තිබෙන තාක්ෂනය සහ ඵලදායීත්වය වැඩි කරන ක්‍රමවේද උකහා ගන්නා වේගය. දැනටම කවුරු හෝ කළ දෙයක් ඒ විදිහටම කරන එක ඵලදායීත්වය තවත් වැඩි කරගත හැකි ක්‍රම අලුතෙන්ම හොයා ගන්න එක තරම් අමාරු නැහැ. චැට්ජීපීටී වගේ මෙවලමක් හදන්න විශාල ආයෝජනයක් කරන්න වෙනවා. නමුත් එවැනි මෙවලමක් කවුරු හෝ විසින් හැදුවට පස්සේ එය ප්‍රයෝජනයට ගන්න එක පහසුවෙන් කළ හැකි දෙයක්. 

ඉහත හේතුව නිසා, අඩු ආදායම් රටකට වැඩි වේගයකින් වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා. නමුත් ආදායම ක්‍රමයෙන් ඉහළ යද්දී ඒ හැකියාවත් ක්‍රමයෙන් අඩු වෙනවා. ඊට හේතුව ආදායම ක්‍රමයෙන් ඉහළ යද්දී වෙනත් අයගෙන් ගත හැකි දේවල් අවසන් වෙන්න පටන් ගැනීමයි. මේ ප්‍රශ්නය ඇති වන්නේ ජපානය, සිංගප්පූරුව වගේ මට්ටමකට පැමිණියාට පසුවයි. ලංකාව වගේ රටකට තවත් විශාල කාලයක් මේ ක්‍රමයට වර්ධනය වෙන්න පුළුවන්.

ලංකාව වගේ රටක් හා අදාළව විභව ආර්ථික වර්ධන වේගය වැඩි කර ගැනීම කියා කියන්නේ දැනටම වෙනත් රටවල් විසින් අනුගමනය කරන සාර්ථක ක්‍රම උකහා ගන්නා වේගය වැඩි කර ගැනීම. ලංකාව වැනි රටකට අවශ්‍ය ව්‍යවසායකත්වය කියා කියන්නෙත් මේක. මේ ක්‍රමයට විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්නම්, වෙනත් අයගෙන් ගත හැකි දේවල් ගන්න තිබෙන බාධාවන් හඳුනාගෙන ඒවා ඉවත් කරගන්න වෙනවා.

මේ කාර්යයේදී වුවත්, ප්‍රාග්ධනය හා මානව ප්‍රාග්ධනය සීමාකාරී සාධක වෙනවා. ප්‍රාග්ධනය ප්‍රමාණවත් නැත්නම් දියුණු රටවල් කරන සමහර දේවල් කරන්න බැහැ. ප්‍රාග්ධනය තිබුණත් අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැත්නම් දියුණු ක්‍රමවේද උකහා ගන්න බැහැ. 

කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කරන වාහනයකට එක දිගටම එකම නිශ්චිත වේගයකින් ගමන් කරන්න බැහැ. වේගය අවශ්‍ය පරිදි අඩු වැඩි කරන්න වෙනවා. නමුත් බොරළු පාරක් කාපට් පාරක් වෙද්දී මේ ගමනට ගත වෙන සාමාන්‍ය කාලය අඩු වෙනවා.  කාපට් පාර අධිවේගී මාර්ගයක් වෙද්දී මේ ගමනට ගත වෙන සාමාන්‍ය කාලය තවත් අඩු වෙනවා. ඔය බැව් දැනගෙන හිටියත්, පාර කාපට් කරන්න අවශ්‍ය ප්‍රාග්ධනය නැත්නම්, කරන්න දෙයක් නැහැ. ප්‍රාග්ධනය තිබුණත්, අවශ්‍ය මානව ප්‍රාග්ධනය නැත්නම් සමහර දේවල් කරන්න බැහැ. මැදපෙරදිග රටවල් බොහොමකට විදෙස් ශ්‍රමිකයින් අවශ්‍ය වී තිබෙන්නේ මේ නිසා.

ඔය සීමාවන් නිසා රටකට වෙනත් රටවල් වලින් ගත හැකි දේ අරගෙන වුවද ඵලදායීතාවය වැඩි කරගත හැකි වන්නේ ප්‍රාග්ධනය සහ මානව ප්‍රාග්ධනයද ක්‍රමයෙන් වැඩි කරගන්නා අතරයි. ලංකාව හා අදාළව මානව ප්‍රාග්ධනය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවට අවශ්‍ය ආකාරයේ දියුණුවක් ලබා ගන්න නොබෙල් තෑග්ග ගන්න පුළුවන් මට්ටමේ අය අවශ්‍ය වන්නේ නැහැ. විදේශගත වන ලංකාවේ වෘත්තිකයින් බොහෝ දෙනෙකුගේ ඵලදායීතාවය ක්ෂණිකව ඉහළ යන්නේ අවශ්‍ය මානව ප්‍රාග්ධනය ඔවුන් සතුව තිබෙන නිසා. ලංකාවේ සීමාකාරී සාධකය භෞතික ප්‍රාග්ධනය.

භෞතික ප්‍රාග්ධනය සීමාකාරී සාධකයක් වන්නේ ලංකාවට පමණක් නෙමෙයි. මෙය අඩු ආදායම් රටවලට පොදු තත්ත්වයක්. ප්‍රශ්නයට විසඳුමක් ලෙස කාලයක් තිස්සේ ලංකාව ඇතුළු බොහෝ රටවල් විසින් අනුගමනය කර තිබෙන ක්‍රමයක් වන්නේ විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම. නමුත් ඒ ක්‍රමයට ගොඩ ගිය රටවල් දකින්න නැහැ. අඩු ආදායම් මට්ටමක සිට වේගයෙන් ඉහළට ආ රටවල් බොහොමයක් එසේ කර තිබෙන්නේ ඉතිරි කිරීම් අනුපාතය කාලයක් තිස්සේ එක දිගටම ඉහළ මට්ටමක තබා ගැනීම මගින්. 

ඉතිරි කිරීම් අනුපාතය වැඩි කර ගැනීම මගින් ලංකාව වැනි රටකට යම් කිසි කාලයක් වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්. දකුණු කොරියාව, චීනය, සිංගප්පූරුව වගේ රටවල් බොහොමයක් ආදායම් මට්ටම වෙනම තලයකට උස්සා ගත්තේ ඔය ක්‍රමයට. හදිසියේ තෙල් නිධියක් හමු වීම වැනි හේතුවක් නිසාත් ප්‍රාග්ධන සංචිතය ඉහළ ගිහින් රටක තත්ත්වය ඉහළට එසැවෙන්න පුළුවන්. නමුත් ඒවා වාසනාවට වෙන දේවල් මිසක් සැලසුම් කර කළ හැකි දේවල් නෙමෙයි.

ඉතිරි කිරීම් අනුපාතය ඉහළ දමා ගැනීම සඳහා රජයට කළ හැකි කාර්ය භාරයක් තිබෙනවා. නමුත් මෙය ප්‍රධාන වශයෙන්ම තීරණය වන්නේ රටේ ජනතාවගේ චර්යාවන් මතයි. තනි තනි පුද්ගලයින් විසින් තමන්ගේ පරිභෝජනය සීමා කර ඉතිරි කිරීම් වැඩි කරද්දී සමස්තයක් ලෙස රටේ ඉතිරි කිරීම්ද ඉහළ යනවා. මේ ක්‍රමයට ආර්ථිකයේ විභවය දිගින් දිගටම වැඩි වෙන්නේ නැතත්, වසර 20ක පමණ කාලයක් වේගවත් වර්ධනයක් පවත්වා ගැනීම මගින් වෙනම මට්මකට යන්න පුළුවන්.

මීට අමතරව, විභව වර්ධන වේගය වැඩි කරගැනීම සඳහා කළ හැකි වෙනත් දේවල්ද තිබෙනවා. ඒ දියුණු රටවල් දියුණු වීමට හේතු වූ දේ අනුගමනය කිරීමට බාධාවක් වන මානසික හා සංස්කෘතික සීමා වලින් මිදීම. එම බාධා වැඩි රටවල් වල ආදායම් මට්ටම අඩු වුනත්, දියුණු රටවල් එක්ක පරතරය වඩා වැඩි වුවත්, විභව වර්ධන වේගය සීමා වෙලයි තියෙන්නේ. මේ බාධාවන් ඉවත් කරගත් සමාජ කෙටි කාලයක් ඇතුලත වේගයෙන් දියුණු වී තිබෙනවා. ඒ එක්කම සමාජයේ වේගවත් සංස්කෘතික පරිවර්තනයකුත් වෙනවා. ඒ සංස්කෘතික පරිවර්තනය ජපානයේ, සිංගප්පූරුවේ, දකුණු කොරියාවේ සිට තායිලන්තය දක්වා දකින්න පුළුවන්.

මෙවැනි සංස්කෘතික පරිවර්තනයක් සමාජය වේගයෙන් බටහිරකරණය වීමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. අපි කැමති වුනත් අකැමැති වුනත්, නූතන සංවර්ධනයේ තිඹිරිගෙය බටහිර සංස්කෘතිය කියන එක අපට අමතක කරන්න බැහැ.

Friday, January 9, 2026

ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 8 ඉක්මවයි!


ඉතිහාසයේ පළමු වරට, පසු ගිය වසර තුළ ලංකාවට ඇමරිකන් ඩොලර් බිලියන 8 ඉක්මවන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා. දෙසැම්බර් මාසය තුළ පමණක් ඩොලර් මිලියන 879.1ක ශ්‍රමික ප්‍රේෂණ රටට ලැබී ඇති අතර ඒ අනුව වසර තුළ ලැබුණු මුළු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 8,076.2ක්. මෙය පෙර වසරට සාපේක්ෂව 22.8%ක වර්ධනයක්.

මීට පෙර ලංකාවට වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුනේ 2016 වසරේදීයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 7,241.5ක්. 

වසරේ පළමු මාස 11ක කාලය ඇතුළත ශ්‍රමික ප්‍රේෂණ වල 20.7%ක වර්ධනයක් සිදු වී තිබුණා. ඒ ප්‍රවණතාව අනුව වුවද, අනිවාර්යයෙන්ම මෙම වසරේ ඉතිහාසයේ වැඩිම ශ්‍රමික ප්‍රේෂණ වාර්තා වීමට නියමිතව තිබුණත්, ඩොලර් බිලියන 8 සීමාව ඉක්මවීමට හේතු වී තිබෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ලැබුණු අමතර ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයයි. එම ප්‍රමාණය ඩොලර් මිලියන 140ක් පමණ විය හැකි බව ඇස්තමේන්තු කළ හැකියි.

මෙම වසරේ ලැබී ඇති ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 7.8 ලෙස ඇතැම් තැන් වල සඳහන්ව තිබුණද එම ගණන නිවැරදි නැහැ. 

Thursday, January 8, 2026

රුපියල ශක්තිමත් වෙන්නේ කොහොමද?


ඇමරිකන් ඩොලරය, යුරෝව ආදිය ශක්තිමත් මුදල් ඒකක. ලංකාවේ රුපියල එවැනි ශක්තිමත් මුදල් ඒකකයක් නෙමෙයි. මෙය කවුරුත් දන්නා දෙයක් නිසා අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ.

කිසියම් රටක මුදල් ඒකකයක් ශක්තිමත් කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් මෙයින් අදහස් වෙන්නේ අදාළ මුදල් ඒකකය නිකුත් කරන රටින් පිටතද එම මුදල් වර්ගයට සැලකිය යුතු ඉල්ලුමක් තිබෙනවා කියන එකයි. දුර්වල මුදල් ඒකකයකට එවැනි ඉල්ලුමක් තිබෙන්නේ එම මුදල් ඒකකය නිකුත් කරන රට ඇතුළේ පමණයි. 

කිසියම් මුදල් ඒකකයක් ශක්තිමත් වෙනවා කියන එකෙන් අදහස් වන්නේ කුමක්ද?

මෙයින් අදහස් වන්නේ එම මුදල් ඒකකය සඳහා වන ඉල්ලුම සාපේක්ෂව ඉහළ යනවා කියන එකයි. මෙහිදී සාපේක්ෂව ඉල්ලුම ඉහළ යාම දෙස දෙයාකාරයකින් බලන්න පුළුවන්. ඒ භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුමට සාපේක්ෂව සහ වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂවයි.

ඕනෑම මුදල් ඒකකයකට එය නිකුත් කරන රට තුළ, භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව යම් හෝ ඉල්ලුමක් තිබෙනවා. එවැනි ඉල්ලුමක් නැති මට්ටමට මුදල් ඒකකයක් දුර්වල වුවහොත් ඒ මුදල් ඒකකය භාවිතයෙන් ඉවත්ව යනවා. මුදල් ඒකකයක ශක්තිය මූලික වශයෙන්ම තීරණය කරන්නේ මෙම දේශීය ඉල්ලුමයි. අවසාන වශයෙන්, වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව මනින මුදලක බාහිර ඉල්ලුම තීරණය කරන්නේද මුලින් මේ අයුරින් රට තුළ මුදලක ශක්තිය ඉහළ යාමයි.

මුදල් කියන්නේ හුවමාරු මාධ්‍යයක් පමණයි. ඒ හැර, මුදල් වලට එහිම වූ නෛසර්ගික වටිනාකමක් නැහැ. නමුත් භාණ්ඩ හා සේවා වලට නෛසර්ගික වටිනාකමක් තිබෙනවා. කිසියම් මුදල් ඒකකයක ශක්තිය වන්නේ එම මුදල් ගෙවා මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා වල වටිනාකම නිසා ලැබෙන ශක්තියයි. 

ආදායම් ඉපදවීම කියා කියන්නේ, අවසාන වශයෙන්, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමයි. ඇතැම් අය එසේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරනවා. තවත් සමහර අය තමන් නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩියෙන් පරිභෝජනය කරනවා. එසේ කරන්නේ වෙනත් අයගෙන් ණයට ගැනීම මගින්. මුදල් භාවිතයක් නැත්නම්, මෙසේ ඉතිරි කරන හා ණයට ගන්නා භාණ්ඩ හා සේවා අතර තුලනයක් තිබිය යුතුයි.

මුදල් භාවිතය තුළ, පරිභෝජනය කර ඉතිරි කරන්නන් විසින් තමන් සතු අතිරික්තය මුදල් බවට පරිවර්තනය කරනවා. එසේ කරන්නේ එම මුදල් වලටද භාණ්ඩ හා සේවා වලට මෙන් වටිනාකමක් ඇතැයි විශ්වාස කරමිනුයි. මේ විශ්වාසය වැඩි වන තරමට කිසියම් මුදලක් සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් එම මුදල ශක්තිමත් වෙනවා. 

අනෙක් අතට, ණය ගන්නා අය කරන්නේ තමන් සතුව "නැති මුදල්" භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරමින් තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කිරීමයි. ඔවුන්ට ඒ වෙනුවෙන් පොලියක් ගෙවන්නට සිදු වෙනවා. සංසරණය වන මුදල් ප්‍රමාණය වෙනස් නොවේනම්, රටක සියල්ලන්ටම ලබා ගත හැකි සමස්ත ණය ප්‍රමාණය සහ රටේ සියල්ලන්ගේම සමස්ත ඉතිරි කිරීම් ප්‍රමාණය සමාන විය යුතුයි. එසේ නොවන්නේනම්, ණය ඉල්ලුම සහ ණය සැපයුම තුලනය වන්නේ නැහැ.

යම් හෙයකින් ණය ඉල්ලුම ණය සැපයුමට වඩා වැඩිනම්, ඉතිරි කරන්නන්ට හෙට්ටු කර වැඩි පොලියක් ඉල්ලා සිටිය හැකි නිසා, පොලී අනුපාතික ඉහළ යනවා. ඒ විදිහටම, ණය ඉල්ලුම ණය සැපයුමට වඩා අඩුනම්, පොලී අනුපාතික පහළ යනවා. 

ලංකාවේ සමාජය කාලයක් තිස්සේම තමන්ගේ ආදායම ඉක්මවා පරිභෝජනය කරන්න හුරු වී සිටින සමාජයක්. ණය ගන්න බලාගෙන ඉන්න පිරිස වැඩියි. ඊට සාපේක්ෂව ඉතිරි කිරීම් අඩුයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ණය ඉල්ලුම සහ සැපයුම තුලනය වීම සඳහා පොලී අනුපාතික සැලකිය යුතු තරම් ඉහළ මට්ටමක පැවතිය යුතු වීමයි. 

චීනයේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 43.4%ක්. දකුණු කොරියාවේ 34.0%ක්. සිංගප්පූරුවේ 57.9%ක්. දැන් දේශීය ඉතිරි කිරීම් අනුපාතය පහත වැටී තිබුණත්, 1970දී ජපානයේ ඉතිරි කිරීම් අනුපාතය 43.3%ක්. මේ රටවල් වේගයෙන් දියුණු වුණේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය වැඩි කර ගෙන කාලයක් එසේ පවත්වා ගැනීම මගිනුයි. 

එහෙත් ලංකාවේ ඉතිරි කිරීම් අනුපාතය 24.3%ක් පමණයි. රටක ඉතිරි කිරීම් අනුපාතය අඩුනම්, ඒ හා ගැලපෙන පරිදි ස්වභාවික ලෙසම පොලී අනුපාතික ඉහළ යනවා. ආයෝජන සීමා වෙනවා. ඒ මගින්, විභව දළ දේශීය නිෂ්පාදිතයද සීමා වෙනවා. 

රටක මහ බැංකුවට මැදිහත් වී පොලී අනුපාතික පහත දමන්න පුළුවන්. එහි අරමුණ වන්නේ ආයෝජන දිරිමත් කර ආර්ථික වර්ධනය වේගවත් කිරීමයි. එහෙත් පොලී අනුපාතික ඒ අයුරින් පහත දමද්දී ණය ඉල්ලුම රටේ ඉතිරි කිරීම් ඉක්මවා ඉහළ යනවා. පොලී අනුපාතික අඩු මට්ටමක තියාගන්නනම් මේ අඩුව පිරවෙන පරිදි මුදල් සැපයුම ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනයක් ඇති වෙනවා. 

ඇමරිකාවේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය 17.1%ක් පමණයි. මෙය ඉතා අඩු මට්ටමක්. එහෙත් ඇමරිකාවේ පොලී අනුපාතික ලංකාවේ තරම් ඉහළ නැහැ. ඊට හේතුව විදේශිකයින්ගේ ඉතිරි කිරීම්ද ඇමරිකාවට පැමිණීමයි. ශක්තිමත් මුදල් ඒකක තිබෙන රටවලට මේ වාසිය තිබෙනවා. ඒ නිසා, එවැනි රටවල් බොහොමයක් උද්ධමනය 2% මට්ටමේ පවත්වා ගන්නවා. නමුත් මෙවැනි විශේෂ වාසියක් නැති ලංකාව වැනි රටක් උද්ධමනය 5% වැනි වඩා ඉහළ මට්ටමක තබා ගැනීමට ඉලක්ක කළද, පොලී අනුපාතික ඇමරිකාවේ මට්ටමට අඩු වෙන්නේ නැහැ. ඉහළ පොලී අනුපාතික ආයෝජන සීමා කර එමගින් ආර්ථික වර්ධනයද සීමා කරනවා. චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව හා ජපානය වැනි රටවල් මේ අහියෝගය ජයගෙන කෙටිකාලයක් තුළ වේගයෙන් දියුණු වුනේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තබා ගැනීම මගිනුයි.

විදේශ ණය ගැනීමත් මේ ප්‍රශ්නයට පිළියමක් වුවත්, එහිදී සිදු වන්නේ අනාගතය උගසට තබා පරිභෝජනය වැඩි කර ගැනීමක්. ඇමරිකාව විසින් විදේශිකයින්ගේ ඉතිරි කිරීම් ආකර්ශනය කර ගැනීමේදී සහ ලංකාව විසින් විදේශ ණය ගැනීමේදී සිදු වන්නේ එකම දෙයක් නෙමෙයි. පොලී අනුපාතික අඩු වීම, ආයෝජන ඉහළ යාම සහ එමගින් ආර්ථික වර්ධනය ඉහළ යාම හා අදාළව වෙනසක් නැති වුනත්, ඇමරිකාව ණය ගන්නේ ඔවුන්ගේම මුදල් ඒකකයෙන්. ඒ නිසා, ඇමරිකාවට මුදල් සැපයුම වැඩි කර පහසුවෙන්ම එම ණය ආපසු ගෙවන්න පුළුවන්. 

ලංකාවේ රුපියල ඇමරිකන් ඩොලරය මෙන් ශක්තිමත් මුදල් ඒකකයක් නොවන නිසා ලංකාවට ණය ගන්න වෙන්නේ වෙනත් රටක මුදල් ඒකකයකින්. ඒ මගින් පොලී අනුපාතික අඩු කරගෙන, ආයෝජන ඉහළ දමා, ආර්ථික වර්ධන වේගයද වැඩි කර ගත හැකි නමුත් මේ සියල්ල තාවකාලිකයි. ණය ආපසු ගෙවන්න සිදු වූ විට ලබාගත් ජයග්‍රහණ ආපසු හැරවෙනවා. ඒ නිසා, විදේශ ණය වල උදවුවෙන් පොලී අනුපාතික අඩු කරගෙන එමගින් ආර්ථික වර්ධන වේගය වැඩි කරගැනීම ලංකාව වැනි රටකට තිරසාර ක්‍රමෝපායක් නෙමෙයි. 

වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව කිසියම් මුදල් ඒකකයක ශක්තිය තීරණය වන්නේ මුදල් ඒකකයක බාහිර ඉල්ලුම මතයි. ශ්‍රී ලංකා රුපියලේ බාහිර ඉල්ලුම ඉහළ යන්නේ රට තුළ නිපදවන භාණ්ඩ හා සේවා සඳහා බාහිර ඉල්ලුම ඉහළ යන තරමටයි. එම ඉල්ලුම ඉහළ යන තරමට රුපියල ශක්තිමත් වෙනවා. එහෙත්, රට තුළ ආනයන ඉල්ලුම වැඩි වන තරමට රුපියල දුර්වල වෙනවා. 

ලංකාවෙන් පිටත ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ලංකාව තුළ ආනයන ඉල්ලුම වැඩියි. මෙවැනි වෙනසක් ඇති විට එය තුලනය වන්නේ රුපියලේ බාහිර අගය අඩු වීම හරහායි. ඩොලරයක රුපියල් මිල නිරන්තරයෙන් ඉහළ යාම මගින් මෙය පිළිබිඹු වෙනවා. ආනයන ඉල්ලුම වැඩි වෙද්දී, ඊට අනුරූපව රටේ විදේශ විණිමය ඉපැයීම් ඉහළ නොයන්නේනම්, විදේශ විණිමය ඉපැයීම් හා සමාන මට්ටමක් දක්වා ආනයන ඉල්ලුම අඩු වන තෙක් ඩොලරයක මිල ඉහළ යා යුතුයි. 

රටේ මුදල් සැපයුම ඉහළ යද්දී දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන සඳහා වන ඉල්ලුම මෙන්ම ආනයන ඉල්ලුමද ඉහළ යනවා. මෙහිදී දේශීය භාණ්ඩ හා සේවා සැපයුම ඊට අනුරූපව ඉහළ නොයාමේ ප්‍රතිඵලයක් ලෙස එම භාණ්ඩ වල මිල ඉහළ යන නමුත් ආනයන වලට එවැනි සැපයුම් සීමාවක් නැති නිසා ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය දේශීය නිෂ්පාදන වලට සාපේක්ෂව ආනයන වඩා ලාබ වී ආනයන ඉල්ලුම තවත් වැඩි වීමයි. 

මේ ආකාරයෙන් රටේ මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වී, ආනයන ඉල්ලුමද වැඩි වී, ඩොලර් ඉල්ලුම ඉහළ ගිය විට අවසාන වශයෙන් ඩොලරයක මිලද ඉහළ යනවා. එමගින් ආනයන ඉල්ලුම නැවත පෙර පැවති මට්ටම දක්වා අඩු වෙනවා.

මෙහිදී රුපියල දුර්වල වන්නේ ඩොලරයක මිල ඉහළ යන අවස්ථාවේදී නෙමෙයි. මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන විට රුපියල දුර්වල වී අවසානයි. ඊට අනුරූප ලෙස ඩොලරයක මිලද ඉහළ නොගියහොත් සිදු වන්නේ දිගින් දිගටම ආනයන ඉහළ ගොස් රුපියල තව තවත් දුර්වල වීමයි. ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් එසේ රුපියල දිගින් දිගටම තව තවත් දුර්වල වීම වැළකෙනවා. 

මුදල් සැපයුම ඉහළ ගොස්, දේශීය භාණ්ඩ හා සේවාවන්හි මිල වැඩි වන වී රුපියල දුර්වල වීමෙන් පසුව ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගත හැකි එකම ක්‍රමය මහ බැංකුව මැදිහත් වී සංචිත විකිණීමයි. එහෙත් මෙසේ ඩොලරයක මිල ඉහළ යාම වලක්වා ගැනීමට හෝ සීමා කිරීමටනම් මුලින්ම සැලකිය යුතු විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගෙන තිබිය යුතුයි. 

විදේශ සංචිත රැස් කරද්දී වෙළදපොළේ ඩොලර් සැපයුම අඩු වෙනවා. රුපියල් සැපයුම වැඩි වෙනවා. ඒ හරහා රුපියල දුර්වල වී ඩොලරය ශක්තිමත් වන බවක් පෙනෙනවා. නමුත් සංචිත ඉහළ යාම නිසා අනාගතයේදී රුපියල දුර්වල නොවී ශක්තිමත්ව තබා ගැනීමේ හැකියාව ඉහළ යනවා. ඒ නිසා, දිගුකාලීනව බලද්දී ඇත්තටම මෙහිදී සිදු වන්නේ රුපියල ශක්තිමත් වීමක් මිසක් දුර්වල වීමක් නෙමෙයි. 

ලංකාව දැන් ඉන්නේ දිගුකාලීනව රුපියල ශක්තිමත් කර ගැනීමේ ඉලක්කයකයි. ඒ සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත එක්රැස් කරගත යුතුයි. මෙය කරන ආකාරය පිළිබඳ සැලසුමක් තිබෙනවා. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරතුරේ ඩොලරයක මිලද ඉහළ යන්නේනම් එමගින් සිදු වන්නේ ආනයන ඉල්ලුම අඩු වීමක් සහ රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය සීමාවීමක්. ඩොලර් ඉල්ලුම අඩු වීමක්. ඒ කියන්නේ රුපියල ශක්තිමත් වීමක්.

සංචිත විකුනමින් හෝ විදේශ ණය ගනිමින් ඩොලරයක මිල පහතින් තියාගනිද්දී ඇත්තටම සිදු වන්නේ කිහිප ආකාරයකින්ම රුපියල දුර්වල වීමයි. එක පැත්තකින් ආනයන ඉල්ලුම ඉහළ ගොස් ඩොලර් රටින් යනවා. ඩොලර් ඉල්ලුම ඉහළ යනවා. අනෙක් පැත්තෙන් අනාගතයේ ණය ආපසු ගෙවීමේ අවදානම සහ රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් යොදා ගත හැකි සංචිත නොමැති වීමේ අවදානම ඉහළ යනවා. මේ හැම දෙයකින්ම වෙන්නේ රුපියල දුර්වල වීමයි. 

සාරාංශයක් ලෙස, රුපියල ශක්තිමත් වීම කියා කියන්නේ ඩොලරයක මිල අඩු වීම නෙමෙයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීමයි. සමස්තයක් ලෙස රටේ විදේශ අංශය ශක්තිමත් වීම නිසා ඩොලරයක මිල අඩු වේනම් එය හොඳ තත්ත්වයක්. ඩොලරයක මිල වැඩි වන අතර විදේශ අංශය ශක්තිමත් වේනම් එයද හොඳ තත්ත්වයක්. ඒ වගේම, රටේ විදේශ අංශය දුර්වල කරමින්, විදේශ ණය ගැනීම හා සංචිත විකිණීම මගින් ඩොලරයක මිල පහතින් තියා ගනිද්දී ඇත්තටම සිදු වන්නේ රුපියල දුර්වල වීමක් මිසක් ශක්තිමත් වීමක් නෙමෙයි.

Wednesday, January 7, 2026

ඩොලරයක මිල රුපියල් 310ක් වුනේ ඇයි?


අද (ජනවාරි 7) ඩොලරයක මැදි මිල කලකට පසු රුපියල් 310 සීමාව ඉක්මවා ගියා. රටේ නිල විදේශ සංචිත ඉහළ යද්දී මෙහෙම වෙන්නේ ඇයි කියලා කිහිප දෙනෙක්ම අහලා තිබුණා.

පළමුව, රටේ නිල විදේශ සංචිත ඉහළ යාම හෝ පහළ යාමත්, ඩොලරයක මිල ඉහළ යාම සහ පහළ යාමත් අතර සෘජු සම්බන්ධයක් නැහැ. බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ඉල්ලුමට වඩා සැපයුම වැඩිනම් මිල පහළ යනවා. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යනවා. 

සාමාන්‍යයෙන් මහ බැංකුව වෙළඳපොලෙන් ඩොලර් මිල දී ගන්නේ බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් සැපයුම ඉල්ලුමට වඩා වැඩි දවස් වලටයි. එවැනි දවස් වලට ඩොලරයක මිල පහළ යනවා. මහ බැංකුවේ මැදිහත් වීම නිසා මිල පහත වැටෙන එක සීමා වෙනවා. නමුත් යම් තරමකින් හෝ පහත වැටෙනවා. 

උදාහරණයක් විදිහට පසුගිය සිකුරාදා (ජනවාරි 2) ඩොලරයක මිල පෙර දවසට වඩා ශත 46කින් අඩු වී තිබෙනවා. ඇතැම් විට එදින මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගත්තා වෙන්න පුළුවන්. නමුත් අද (ජනවාරි 7) ඩොලරයක මිල ශත 17කින් ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතුව බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම සුළු වශයෙන් වැඩි වීම. මේ වගේ අවස්ථාවක ඩොලරයක මිල ඉහළ යනවා.

කිසියම් දවසක් ඇතුළත බැංකු පද්ධතිය ඇතුළේ විශාල ඩොලර් හිඟයක් ඇති වී ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යමින් ඇති බව පෙනී ගියොත් මහ බැංකුව යම් ඩොලර් ප්‍රමාණයක් විකුණලා මිල ඉහළ යාම පාලනය කරනවා. එසේ කරද්දී සංචිත අඩු වෙනවා. නමුත් දවසක් ඇතුළත ඔය වගේ ශත ගණනකින් ඩොලරයක මිල ඉහළ ගියා කියලා මහ බැංකුව විසින් එවැනි මැදිහත්වීමක් කරන්නේ නැහැ. 

ආර්ථික අර්බුදයෙන් පසුව මහ බැංකුව ඉන්නේ විදේශ සංචිත වැඩි කරගැනීමේ දිගුකාලීන ඉලක්කයක. ඒ නිසා, පුළුවන් හැම වෙලාවකම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා නමුත් ඩොලර් විකුණන්නේ එසේ නොකරම බැරි දවස් වල පමණයි. ඉල්ලුමට වඩා ඩොලර් සැපයුම වැඩි දවස් වල මහ බැංකුව විසින් අනිවාර්යයෙන්ම මෙන් ඩොලර් මිල දී ගන්නවා. නමුත් ශත කිහිපයකින් ඩොලරයක මිල ඉහළ ගියා කියලා මහ බැංකුව ඩොලර් විකුණන්නේ නැහැ. ඒ නිසා ඩොලරයක මිල එදිනෙදා ඉහළ වගේම පහළද යන නමුත් අවසාන වශයෙන් හෙමින් හෙමින් ඉහළ යනවා. 

ඩොලරයක මිල රුපියල් 310ක් වීම ගැන ගොඩක් අය ප්‍රශ්න කර තිබෙන්නේ මේ කරුණ මාධ්‍ය විසින් බර තබා වාර්තා කර තිබෙන නිසා. කරුණක් ලෙස ගත්තොත් මෙය නිවැරදියි. නමුත් මේ විදිහේ මාධ්‍ය වාර්තා දකින බොහෝ දෙනෙක් ඩොලරයක මිල රුපියල් 310 වුනේ කීයේ ඉඳලද කියන එක හොයා බලන්නේ නැහැ.

පසුගිය වසර අවසානයේ, දෙසැම්බර් 31 දින, ඩොලරයක මැදි මිල රුපියල් 309.99යි. ඊයේ (ජනවාරි 7) වන විට මෙය රුපියල් 310.02ක් වී තිබෙනවා. වසර තුළ, මේ දක්වා, ශත තුනක සුළු වැඩිවීමක්. දශම ගණන් බැලුවොත් ශත දෙකහමාරක වැඩි වීමක්. 

සතියක් ඇතුළත ඩොලරයක මිල ශත තුනකින් වැඩි වෙලා කියලා වාර්තා කළොත් එහි ප්‍රවෘත්තිමය වටිනාකමක් නැහැ. හැම දවසකම ඩොලරයක මිල යම් තරමකින් අඩු වැඩි වෙනවා. නමුත් ඩොලරයක මිල කාලයකට පසු රුපියල් 310 සීමාව පන්නලා කියලා වාර්තා කළාම එය ගොඩක් අයගේ අවධානයට ලක් වෙනවා. වැඩි වූ ශත තුනට ඊට වඩා වැඩි ප්‍රවෘත්තිමය වටිනාකමක් ලැබෙනවා. නමුත් ඇත්තටම මෙහි කනස්සළු විය යුතු තරමේ දෙයක් නැහැ.

පසුගිය අවුරුද්දම සැලකුවොත් ඩොලරයක මිල 5.6%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මහ බැංකුව උත්සාහ කරන්නේ දිගුකාලීනව උද්ධමනය 5% මට්ටමේ තියාගන්න. එයින් අදහස් වන්නේ දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන රට ඇතුළේ විකුණන අයට ලැබෙන නාමික ආදායමද වසරකට 5%කින් ඉහළ යනවා කියන එකයි. දේශීය භාණ්ඩ හා සේවා නිෂ්පාදන අපනයනය කරන හෝ වෙනත් විදිහකින් විදේශ විණිමය උපයන අයටත් ඒ හා සමාන ආදායම් වැඩිවීමක් වෙන්නනම් ඩොලරයක මිලද අවශ්‍ය පමණ ඉහළ යා යුතුයි.

විදේශ සංචිත වල විශාල ඉහළ යාමක්!


දෙසැම්බර් මාසය තුළ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,825 දක්වා ඩොලර් මිලියන 791කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය ආර්ථික අර්බුදයෙන් පසුව වාර්තා වන ඉහළම විදේශ සංචිත ප්‍රමාණයයි. 

මහ බැංකුව විසින් මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 222.5ක මුදලක් මිල දී ගෙන ඇති අතර, මූල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් මිලියන 206ක් ලැබුනා. ඊට අමතර ණය හා ආධාර ලෙස රජයට සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ලැබී ඇති බව පෙනෙන්නට තිබෙනවා. 

වෙබ් ලිපිනය: