වෙබ් ලිපිනය:

Thursday, September 2, 2021

ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද?


ලංකාව මේ වෙලාවේ විශාල ආර්ථික අර්බුදයක සිටින බව කවුරුත් වගේ දන්න, බොහෝ දෙනෙකුට තේරෙන දෙයක්. නොතේරෙන දෙය මෙයින් ගොඩ යන්නේ කොහොමද කියන එකයි. විශේෂයෙන්ම ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියන එක බොහෝ දෙනෙකුගේ හිතට වද දෙන ප්‍රශ්නයක්.

ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියා මම දන්නේ නැහැ. මට එවැන්නක් දැනගත හැකි සම්බන්ධකම් කිසිවක් නැහැ. ආණ්ඩුව කරන්න හදන්නේ මොකක්ද කියා ආණ්ඩුවවත් හරියට දන්නවද කියලත් මම දන්නේ නැහැ. මේ ඒ ගැන මට හිතෙන දේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා බොහෝ දෙනෙකු විසින් ඉදිරිපත් කර තිබුණු යෝජනාව අයිඑම්එෆ් යන එකයි. දැන්නම් මේ වැඩේටත් පරක්කු වැඩි වුවත්, ගොඩ යන්න තිබුණු ලේසිම ක්‍රමය අයිඑම්එෆ් යන එක කියන එක මගෙත් අදහසයි. කොහොම වුනත්, මේ අයිඑම්එෆ් යාම ගැන වැඩිපුර කතා කළ බොහෝ දෙනෙකුට එජාප/සජබ පදනමක් තිබුණු බව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි වූ දෙයක්. එහි දේශපාලනික අරමුණු නොතිබුණු බව කාටවත් කියන්න බැහැ.

යම් හෙයකින් මේ වෙලාවේ ආණ්ඩු බලය තිබුණේ රනිල් වික්‍රමසිංහ අතේනම්, මේ වෙද්දී අනිවාර්යයෙන්ම අයිඑම්එෆ් ගිහින්. එසේ වූවානම්, බොහෝ විට අයිඑම්එෆ් යාමේ අවශ්‍යතාවයක් ඇති නොවෙන්නම වුනත් තිබුණා. රනිල් වික්‍රමසිංහ විසින් පෙනී සිටි ආර්ථික ආකෘතිය ඇතුළේ මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න තිබුණු පැහැදිලි, හොඳම ක්‍රමය වගේම එකම ක්‍රමය අයිඑම්එෆ් යන එකයි.

ඉහත කී ආර්ථික ආකෘතිය ඇතුළේ සිට හිතන අයට පෙනෙන විදිහට ආණ්ඩුවට කොයි වෙලාවක හෝ අයිඑම්එෆ් යන්නම වෙනවා. ආණ්ඩුව කලින්ම අයිඑම්එෆ් නොගොස්, සියල්ල අනාගත්තාට පස්සේ අන්තිමට අයිඑම්එෆ් යන්න වෙනවා කියන්නේ විශාල දේශපාලන පරාජයක්. එජාප/සජබ කණ්ඩායම මේ මොහොත එන තුරු බලා ඉන්න බවක් පේනවා.

කොහොම වුනත් මේ ආණ්ඩුව හිතන්නේ රනිල් වික්‍රමසිංහ විසින් පෙනී සිටි ආර්ථික ආකෘතිය ඇතුළේ සිට නෙමෙයි. ඒ නිසා, හොම්බ බිම ඇනුනත් ආණ්ඩුව අයිඑම්එෆ් නොයා සිටිය හැකියි. වෙන විදිහකට මෙයම කිවුවොත් හොම්බ බිම ඇනුනාට පසුව වුනත්, පවතින ආණ්ඩුවට අයිඑම්එෆ් යාම ගැන හිතන්න පුළුවන් වන දේශපාලන වාතාවරණයක් නොහැදෙන්න පුළුවන්.

ආණ්ඩුව හිතන ආකාරය ගැන තොරතුරු අප වෙත නොවෙතත්, මේ පිළිබඳ පූර්ව විනිශ්චයකට එළැඹීමට උදවු වන වෙනත් සංසිද්ධීන් කිහිපයක් ඇසුරෙන් අපට ආණ්ඩුව කටයුතු කරන ආකාරය තේරුම් ගත හැකියි. එයින් වැදගත්ම එක මේ ආණ්ඩුවට MCC ආධාර මුදල අත හැර දමන්න සිදු වීම.

මා මේ වියුණුව හරහා MCC ආධාර ව්‍යාපෘතීන් වෙනුවන් පැහැදිලිව හා සෘජුව පෙනී සිටි හා කරුණු ඉදිරිපත් කළ අයෙක්. ඒ වෙද්දී මේ ආණ්ඩුවට සම්බන්ධ කොටස් ලාබ ජනප්‍රියත්වය වෙනුවෙන් කිසිදු පදනමක් නොතිබුණු අසත්‍ය තොරතුරු අධි පීඩනයකින් ලංකාව පුරා විදිමින් සිටියා. මේ හා අදාළව මා ඒ අවස්ථාවේ සටහන් කළ හැම දෙයකම වලංගු භාවය තව දුරටත් එලෙසම තිබෙනවා.

වැඩි දෙනෙකුගේ විවේචනය එල්ල වී තිබුණේ ප්‍රධාන MCC ආධාර ව්‍යාපෘති දෙක අතරින් ඉඩම් ව්‍යාපෘතිය කෙරෙහියි. මා අදටත් මේ ව්‍යාපෘතිය දකින්නේ මෑතකාලීනව යෝජනා වූ හොඳම ව්‍යාපෘතියක් ලෙසයි. ලංකාවට මැදි ආදායම් උගුලෙන් මිදී විශාල පිම්මක් පනින්නට උදවු විය හැකි ව්‍යාපෘතියක් ගැන කවුරු හෝ මගෙන් අහනවානම් මම මුලින්ම යෝජනා කරන්නේ ලංකාවේ ඉඩම් වෙළඳපොළ ගනුදෙනු සක්‍රිය කෙරෙන ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මණින් සිදු කිරීමයි. MCC ආධාර නැතත්, ණය අරගෙන කළත්, මෙවැනි ව්‍යාපෘතියක් ලංකාවට දිගුකාලීනව වාසිදායකයි.

ආධාර මුදලේ වාසිය මත පදනම්ව බොහෝ දෙනෙකු MCC ආධාර ව්‍යාපෘති දිහා බලද්දී මා වැඩි අවධානයක් යොමු කළේ ආධාර මුදල් යොදා ගෙන කරන්නට නියමිතව තිබූ ව්‍යාපෘති වල දිගුකාලීන වාසි දෙස වුවත්, මේ හරහා ලැබෙන්නට තිබුණු ආධාර මුදල් වල සෘජු වාසිය ලංකාවේ පැත්තෙන් බැලූ විට හිතා ගන්නවත් බැරි තරමේ ලොතරැයියක්. ඩොලර් මිලියන පන්සීයක් පමණ ලැබෙන්න නියමිතව තිබුණේ නිකම්ම නිකම්. ඒ මුදල ආපසු ගෙවිය යුතුව තිබුණු ණයක් නෙමෙයි. ලංකා ඉතිහාසයේ කවදාවත් මෙවැනි විශාල මුදලක් ආධාර සේ ලැබී ඇතැයි මා හිතන්නේ නැහැ.

මෙහි වාසිය කොපමණද කියා තේරෙන්නේ මාස කිහිපයකින් පොලියත් සමඟ ගෙවන්නට අතමාරුවට ඩොලර් මිලියන පණහක් සීයක් ගන්නත් බංග්ලාදේශය වැනි රටවල් පසුපස හිඟමනේ යන තැනට මේ වෙද්දී ලංකාව වැටී සිටිනු දකින විටයි. නිකම්ම ලැබෙන ඩොලර් මිලියන පන්සීයක් කියා කියන්නේ ලංකාවේ ආර්ථිකයේ ජීවිතය හා මරණය අතර බෙදුම් ඉර ලකුණු කළ හැකිව තිබුණු මුදලක්.

බලයට පත් වීමේදී මේ වගේ කතා කිවුවත් බලයට පත් වීමෙන් පසුව මේ ආධාර මුදල නිකම්ම අතහැර දැමීමේ අදහසක් ආණ්ඩුවට තිබුණා කියා මම හිතන්නේ නැහැ. නමුත්, දැන් ලංකාවේ හඳෙන් හාල්, ඇටඅට, තුනයි පණහේ පාන්, යුගය අවසන්. බලයට පත් වන ආණ්ඩුවකට මැතිවරණ සමයේ කියන දේවල් ඒතරම් ලේසියකට කණපිට හරවන්න දැන් බැහැ. යහපාලන ආණ්ඩුවට බලයට පත් වූ වහාම රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරන්න සිදුවීමත්, මේ ආණ්ඩුවට බලයට පත් වූ වහාම විශාල ලෙස බදු අඩු කරන්න සිදු වීමත් පෙන්නුම් කළේ මේ යථාර්තයයි. කිවුවොත් කරල පෙන්නන්නත් වෙනවා! කළොත් විපාක වලට මුහුණ දෙන්නත් වෙනවා!!

එන්නත්කරණය ඇරඹුණු මුල් දවස් වල ලංකාවේ වගේම ලෝකයේත් එන්නත් විරෝධීන් සෑහෙන්න හිටියා. එවැන්නන් දැනුත් ඉන්නවා. මේ අතරින් ඇතැම් අයට තිබුණේ ප්‍රදර්ශනාත්මක එන්නත් විරෝධයක්. තත්ත්වය දරුණු වීගෙන එද්දී මේ ගොඩක් අය තමන්ගේ "කීර්ති නාමය" පැත්තකට දමලා විවිධ බොරු හේතු හදාගෙන එන්නත් පෝලිම් වලට එකතු වුනා. එහෙත්, එහෙම යූ-ටර්න් ගහන්න අමාරු තරම් දුර ගිහින් සිටි අයත් ඉන්නවා. ඒ අය අතර, කෝවිඩ් හදාගෙන බටහිර බෙහෙත් වලින්ම යාන්තමින් ජීවිතය බේරාගත් අයත් ඉන්නවා.

ගොඩක් අයට තියෙන ප්‍රශ්නය ආණ්ඩුව තමන්ගේ "කීර්ති නාමය" පැත්තකට දමලා, බොරු හේතු ටිකක් ඉදිරිපත් කර, අයිඑම්එෆ් යන්නේ කවදද කියන එකයි. ඒ වැඩේ වෙන එකක් නැහැ කියා මට හිතන්නේ තවත් විශේෂ හේතුවක් නිසා. සරලව හා කෙටියෙන් කිවුවොත්, කෝවිඩ් නිසා ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වී තිබෙන ආර්ථික ප්‍රශ්න ආණ්ඩුව කම්පනය කළ, ආණ්ඩුව කිසිදා අපේක්ෂා නොකළ, තත්ත්වයක් නෙමෙයි. මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න ආණ්ඩුවට විශාල පෙර සූදානමක් වගේම සැලසුමක්ද තිබුණා කියන එක මගේ අදහසයි. කෝවිඩ් ආවේ අනපේක්ෂිතව වුවත්, කෝවිඩ් නිසා ඇති වූ තත්ත්වය මේ ආණ්ඩුවේ උඩ තට්ටුව අපේක්ෂාවෙන් සිටි තත්ත්වයක්.

තරමක් අතීතයට ගිහින් යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන්න ආසන්නව තිබුණු තත්ත්වය මතක් කර ගන්න. යහපාලන ආණ්ඩුව බලයට පත් වී ප්‍රශ්නය අනාගතයට තල්ලු නොකළේනම් 2016 වැනි වසරකදී මේ අර්බුදය ඇවිත්. ඒ එක්කම, 2015දී රාජපක්ෂලා ආණ්ඩු බලය අතහැර ගෙදර යන්න වෙයි කියා හිතාගෙන හිටියෙත් නැහැනේ. ඒ කියන්නේ, ආණ්ඩු මාරුව සිදුනොවුනානම් රාජපක්ෂලාටම අද ඔවුන් විසදුම් සොයන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මෙය ඔවුන් නොදැන සිටි දෙයක් නෙමෙයි.

දැන් ඒ කාලයේ නිතර කතා කෙරුණු මානව හිමිකම් ප්‍රශ්න, සම්බාධක පැනවීම්, විදුලි පුටු වගේ දේවල් මතක් කර ගන්න. මානව හිමිකම් වැනි දේවල් ගැන කතා කිරීම නරක දෙයක් නොවුනත්, බටහිර රටවල් ලංකාවට ඔය දේවල් සම්බන්ධ බලපෑම් කළේ පාරිශුද්ධ චේතනාවකින්ම නොවන බව හැමෝම නැතත් ගොඩක් අය එකඟ වෙන දෙයක්නේ. මෙහි රාජපක්ෂලා හීලෑ කරගැනීම වැනි ඉලක්කයක් පැහැදිලිව පෙනෙන්න තිබුණා. ගෝලීය බල දේශපාලනය හැර, ඔය දේවල් හා ධනවාදය හෝ ප්‍රජාතන්ත්‍රවාදය අතර ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ නිසාම, රාජපක්ෂලාට ඒ වෙලාවේ බටහිර ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන්න ප්‍රායෝගික හැකියාවක් තිබුණේ නැහැ. 

මම හිතන විදිහට බටහිර විශ්වාසය වුනේ ලංකාවට බටහිර මගහැර යන ආර්ථික ගමනක් ගැන සිතිය නොහැකි නිසා රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් කර නම්මවා ගත හැකි වීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් බවයි. මේ තත්ත්වය හමුවේ රාජපක්ෂලා චීනය වෙත සමීප වුනා. එසේ වුවත්, වැල් පාලමක පැද්දෙමින් ඉස්සරහට ගිය ආර්ථිකය තරමක හුළඟකින් ගඟට වැටී ගහගෙන යාමේ අවදානම තිබුණා. බටහිරින් සම්බාධක වැටෙනවා කියා කියන්නේ ඔය වැඩේ තීන්දු වුනා කියන එකයි.

යම් හෙයකින් 2015දීත් මහින්ද රාජපක්ෂම දිනලා ඉන් පසුව බටහිර රටවල සම්බාධක වලට රටට මුහුණ දෙන්න වුනානම් ඇති වන්නේ දැන් කෝවිඩ් නිසා ඇතිව තිබෙන තත්ත්වයම තමයි. ආර්ථිකය එක වර රැල්ලට ගහගෙන යන්නේ එය කාලයක් තිස්සේ වැල්ලේ හැදූ මාලිගාවක් වූ නිසා වුවත්, මාලිගාව කඩා වැටෙන්න ආසන්න හේතුව රැල්ල නිසා රැල්ල පෙන්වා වගකීමෙන් නිදහස් වීම රාජපක්ෂ උපාය මාර්ගයව පැවතුණා.

මිනිස්සුන්ට කන්න නැතත්, හොම්බෙන් යන්න වී තිබුණත්, වැරදිකරු ඔවුන්ගේ ආරක්ෂකයාව සිටින රාජපක්ෂලා නොව, පැත්තක ඉන්න බටහිර සතුරන් බව මිනිස්සුන්ට ඒත්තු ගැන්වීම රාජපක්ෂලාගේ තක්සේරුව අනුව අසීරු දෙයක්ව තිබුණේ නැහැ. ඒ වෙනුවෙන් ජනමනස සකස් වෙමින් තිබුණා. රටේ මිනිස්සු යුද්ධය අවසන් කළ වීරයාට ප්‍රශස්ති ගයමින්, මඤ්ඤොක්කා කොළ කන්න සිදුවීම ගැන බටහිරටම දෙස් දෙවොල් තබන බවට වග බලා ගනු පිණිස මාධ්‍ය මෙහෙයුම් ඇතුළු අනෙකුත් සැලසුම් හා උපාය මාර්ග ක්‍රියාත්මක වෙමින් තිබුණා. ආණ්ඩුවට ගෙදර යන්න වූ නිසා ඔය වැඩේ සිදු වුනේ නැහැ. 

ඉන් පසුව, රාජපක්ෂලා යහපාලන ආණ්ඩුවේ දේශපාලන බලය උදුරා ගෙන හැදූ ආණ්ඩුව රටේ දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා කෙටිකලකින් බිඳ නොවැටුනේනම්, ඒ වෙලාවේ වෙන්නේද ඔය දෙයමයි. අවස්ථා දෙකේදීම රාජපක්ෂලාට තිබුණු එකම සැලසුම ආර්ථිකය කඩා වැටෙන එක නොවැලැක්විය හැකි දෙයක් සේ බාර ගෙන, එහි වැරැද්ද පැටවිය හැකි බාහිර සතුරෙකු රටේ ජනමනස තුළ කලින් සිටම පැලපදියම් කරවීමයි.

කෝවිඩ් නිසා රාජපක්ෂලාට අවශ්‍යව තිබූ තත්ත්වය පහසුවෙන්ම නිර්මාණය වී තිබෙනවා. මේ සතුරා බාහිර සතුරෙක්. ලංකාවට සම්බාධක වැටුනානම් එය වුනේ ආණ්ඩුවේ වැරැද්දෙන් කියා, රටේ බහුතරය නොවුවත්, සැලකිය යුතු පිරිසක් කියයි. විපක්ෂ බලවේග විසින් ඒ කතාව යම් තරමකින් හෝ ජනගත කරයි. එහෙත්, කෝවිඩ් ආවේ රාජපක්ෂලා නිසා කියන කතාව ඒ තරම්වත් ජනගත කළ හැකි කතාවක් නෙමෙයි. 

කොහොමටත් එන්න තිබුණු ආර්ථික අර්බුදය, ආණ්ඩුවේ පැත්තෙන් බැලුවොත්, ආණ්ඩුවට වඩාත්ම වාසිදායක ක්‍රමයකට ඇවිත් තිබෙනවා. ආණ්ඩුව කාලයක් තිස්සෙම සූදානම්ව සිටි ආකාරයට අර්බුදයට මුහුණ දෙනවා. අයිඑම්එෆ් යන එක මේ සැලසුමේ කොටසක්ව තිබුණු දෙයක් නෙමෙයි!

48 comments:

  1. ඔබ කියන්නේ බාහිර සතුරෙකු පෙන්නලා අර්බුදය තුලම තමන්ගේ දේශපාලන ක්‍රීඩාව කරයි කියලද? අර්බුදයෙන් ගොඩ එන්න කිසිම සැලසුමක් හිතලා නැති බවක් ද පේන්නේ? නමුත් අපේ බහුතර පිරිසකගේ දේශප්‍රේමය බඩ පිරිලා තියනකන් විතරක් නිසා මඤ්ඤොක්කා කොළ කකා ප්‍රශස්ති ගායනා කරයි කියලා බලාපොරොත්තු වෙන එක high odds සූදුවක් නේද?

    ReplyDelete
    Replies
    1. රාජපක්ෂලාගේ ආර්ථික ප්‍රතිපත්ති කියන්නේම කොහොමටත් high odds සූදුවක්. (ග්‍රීක බැඳුම්කර කියා කියන්නේ මෙය පැහැදිලිව ප්‍රදර්ශනය වූ අවස්ථාවක්). සාමාන්‍ය මූලධර්මයක් ලෙස high return එකක් අපේක්ෂා කළ හැක්කේ high risk එකක් ගැනීමෙන් පමණයි.

      Delete
    2. ආණ්ඩුව යොමු වන බව පෙනෙන්නේ 1970-77 මාදිලියේ ආනයන පාලන, මිල පාලන හා සලාක මත පදනම් වූ ක්‍රමයක් වෙතයි. මෙහිදී සමාජයේ පහළ තට්ටුවට සාපේක්ෂව වැඩි පීඩාවකට පත් වන්නේ ආනයන මත පදනම් වූ ඉහළ පරිභෝජන මට්ටමක් පවත්වා ගන්නා මධ්‍යම පන්තියයි. ආණ්ඩුවට එම කණ්ඩායම අතර වන ජනප්‍රියත්වයට මෙයින් බලපෑමක් වන බව පැහැදිලියි. සමාජ ජාල වල ආණ්ඩුව විවේචනය කරන්නේ මේ පිරිසයි. යම් හෙයකින් ආණ්ඩුව අයිඑම්එෆ් මාවත තෝරා ගෙන ඔවුන් අනුදැන වදාරන පිළිවෙත අනුගමනය කළහොත් එයින් වැඩි බලපෑමක් වන්නේද මේ කණ්ඩායමයි. මේ ආණ්ඩුව බලයට පත් වුනේ පසුගිය ආණ්ඩුව විසින් අනුගමනය කළ අයිඑම්එෆ් මාදිලියේ ආර්ථික ප්‍රතිපත්ති මේ පිරිස අතර ජනප්‍රිය නොවූ නිසා. දැන් නැවත ඒ ප්‍රතිපත්ති වෙතම යාම යනු එජාප ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමක්. එහිදී රාජපක්ෂවාදයට තිබෙන දේශපාලන අවකාශය අහිමි වී යනවා. 1970-77 මාදිලිය වෙත නැඹුරු වීමෙන් සිදු වන අවාසි බොහෝ දුරට අයිඑම්එෆ් මාර්ගයේ යාම තුළද එලෙසම තිබෙනවා. අයිඑම්එෆ් විසඳුම්ද කෙටිකාලීන විසඳුම් මිසක් දිගුකාලීන විසඳුම් නෙමෙයි. ඒ නිසා, අයිඑම්එෆ් නොයාමෙන් ආණ්ඩුව විශාල දේශපාලනික හානියක් සිදු කර ගන්නේ නැහැ.

      Delete
    3. //මෙහිදී සමාජයේ පහළ තට්ටුවට සාපේක්ෂව වැඩි පීඩාවකට පත් වන්නේ ආනයන මත පදනම් වූ ඉහළ පරිභෝජන මට්ටමක් පවත්වා ගන්නා මධ්‍යම පන්තියයි//
      තමන්ගේ එදිනෙදා ආහාර හා සෙසු මූලික අවශ්‍යතා සපුරා ගන්න පෝළිම්වල ඉන්න උනොත් මේ කියන කාණ්ඩ දෙකම එක වගේ පිඩාවට පත් වෙනවා නේද. මට හිතෙන විදිහට එදා වේල හොයන කෙනාට පෝලිමේ රස්තියාදු වෙන එක ඔහුගෙ ඉපයීමට කෙලින් ම බලපානවා.

      //අයිඑම්එෆ් විසඳුම්ද කෙටිකාලීන විසඳුම් මිසක් දිගුකාලීන විසඳුම් නෙමෙයි//
      70-77 කියන්නේ සමාජවාදයේ අසාර්ථක උනු අත්හදා බැලීමක්. ඒ වගේ ක්‍රමයකට ගියොත් සිදුවන සමාජීය හා තාක්ෂණික පසුබෑමේ අනිටු ප්‍රතිඵල ගොඩ එන්න පුළුවන් ද?

      Delete
    4. මම මේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවා නෙමෙයි. මම කියන්නේ ආණ්ඩුවට තිබෙන දේශපාලනික තේරීම මෙය බවයි.

      Delete
    5. ඇත්තම කතා කළොත් ඔය එදා වේල හොයා ගන්න මිනිස්සුන්ට අතිරික්ත කාලයක් තියෙනවා. කාලය පිළිබඳ ප්‍රශ්නය වැඩිපුර තියෙන්නෙත් මධ්‍යම පාන්තිකයින්ටයි.

      Delete
    6. සමාවෙන්න! ඔබ මෙම ප්‍රතිපත්ති වලට පෙනී සිටිනවා කියන පූර්ව නිගමනය මත නෙමෙයි මම මේ ප්‍රශ්න ඇසුවේ.
      නමුත් මෙම තෝරාගැනීම රාජපක්ෂ වරුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි political naivety එකක්.

      Delete
    7. නිකම්ම ලැබුණු ඩොලර් මිලියන 500ක් අතහැර දැමීම බලාපොරොත්තු විය හැකිව තිබුණු දෙයක්ද? (හොඳ වෙලාවට එන්නත්නම් එපා කිවුවේ නැහැ.)

      Delete
    8. මිලියන 500 නිකම්ම ලැබුණු ඩොලර් කියල කවුද කියන්නෙ.

      Delete
    9. //මිලියන 500 නිකම්ම ලැබුණු ඩොලර් කියල කවුද කියන්නෙ.//

      අදහස් කරන දේ පැහැදිලි නැහැ.

      Delete
    10. මේ කියන්නෙ ඇමෙරිකාව අත ලෙවකන්න බලාගෙන නෙමෙයි සල්ලි ටික දෙන්නෙ කියල.

      Delete
    11. AnonymousSeptember 3, 2021 at 6:14 PM

      එන්නත්, වෙන්ටිලේටර්, මෑතකදී කතාවක් නැතිව භාර ගත් අනෙකුත් ඇමරිකන් ආධාර ආදියට ඔය කතාව අදාළ නැද්ද? ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකාවෙන් කවර හෝ ආධාර ලබා ගන්න ඔය තරම් මහන්සි වෙන්නේ ඇයි?

      Delete
  2. පහුගිය ආණ්ඩුව ජන්දයක් අස්සේ MCC ගෙනාවේ, මේ ආණ්ඩුවට එක ගන්න බැරි තැනට වැඩ සලස්වන්න මිසක් වෙන දේකට නෙමෙයි

    ReplyDelete
    Replies
    1. මම එසේ සිතන්නේ නැහැ. මෙය හදිසියේ ගෙන ආ දෙයක් නෙමෙයි. 2017 පමණ සිට සිදු වූ ක්‍රියාවලියක අදියරයක්.

      Delete
  3. //ආණ්ඩුව කාලයක් තිස්සෙම සූදානම්ව සිටි ආකාරයට අර්බුදයට මුහුණ දෙනවා//
    මේ "ආකාරය" මොන වගේ වෙයිද කියලා අදහසක් තියනවාද?

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව යොමු වන බව පෙනෙන්නේ 1970-77 මාදිලියේ ආනයන පාලන, මිල පාලන හා සලාක මත පදනම් වූ ක්‍රමයක් වෙතයි. ඉහළ දැමූ ප්‍රතිචාරය බලන්න. මෙහිදී ආර්ථික වර්ධනය අඩාල වෙනවා. අයිඑම්එෆ් ගියත් වෙන්නේ එයමයි.

      Delete
    2. නමුත් 6%-8% ආර්ථික සංවර්ධන වේගය වැනි ජනප්‍රිය සටන් පාඨ සදහා වෙන ආදේශක හොයාගන්න වෙයි

      Delete
    3. ආර්ථිකය ඉතා ඉක්මණින් විශාල ලෙස කඩා වැටුනොත් ඒ වැටුණු තැන සිට ලොකු ආර්ථික වර්ධනයක් (ටික කලකට) පෙන්විය හැකියි.

      Delete
    4. වෙන කරන්නම දෙයක් නැත්නම්, ආර්ථික වර්ධනය කියන්නේම බටහිර අදහසක් කියලා ඕක හදන එකම අත ඇරලා වෙන ආදේශකයක් යොදා ගන්න වුනත් පුළුවන්නේ.

      Delete
    5. ඒක වෙන්න පුළුවන්. Gross National Piousness වගේ දෙයක් එයි

      Delete
  4. //වැඩි දෙනෙකුගේ විවේචනය එල්ල වී තිබුණේ ප්‍රධාන MCC ආධාර ව්‍යාපෘති දෙක අතරින් ඉඩම් ව්‍යාපෘතිය කෙරෙහියි. මා අදටත් මේ ව්‍යාපෘතිය දකින්නේ මෑතකාලීනව යෝජනා වූ හොඳම ව්‍යාපෘතියක් ලෙසයි. ලංකාවට මැදි ආදායම් උගුලෙන් මිදී විශාල පිම්මක් පනින්නට උදවු විය හැකි ව්‍යාපෘතියක් ගැන කවුරු හෝ මගෙන් අහනවානම් මම මුලින්ම යෝජනා කරන්නේ ලංකාවේ ඉඩම් වෙළඳපොළ ගනුදෙනු සක්‍රිය කෙරෙන ප්‍රතිසංස්කරණ ඉතා ඉක්මණින් සිදු කිරීමයි. MCC ආධාර නැතත්, ණය අරගෙන කළත්, මෙවැනි ව්‍යාපෘතියක් ලංකාවට දිගුකාලීනව වාසිදායකයි.// එකඟයි . මේ අදහසම වගේ දෙයක් මග ජවිපෙ සහ පෙසප යහළුවන්ට මම කීවේ . MCC එක මෙතනදී හොන්ඩ අබව. ඔවුන් කිසිවෙක් පිළිගත්තේ නහ. නිකම් ඇමෙරිකානු විරෝධය පමණයි.

    ReplyDelete
    Replies
    1. අනුර කුමාර සෘජුවම පෙනී සිටියේ දැනට ගොවිතැනෙහි යෙදෙන පවුල් වල අය ගොවිතැනෙහිම හිර කර තැබිය යුතුය කියන මතය වෙනුවෙන්. සමාජවාදී දෘෂ්ඨි කෝණයකින් බැලුවත් එය ඉතාම පසුගාමී ප්‍රවේශයක්.

      Delete
  5. ඉඩම් ප්‍රතිසන්ස්කරනය කියන්නෙ මොකක්ද සහ දැනට තියෙන ඉඩම් ප්‍රශ්නය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. දැනට ලංකාවේ ඉඩම් වලින් විශාල ප්‍රමාණයක අයිතිය යම් ආකාරයකින් රජය සතුයි. ගොවීන් බොහෝ දෙනෙකුට ඔවුන් පරම්පරා ගණනක් ජීවත් වන, වගා කරන ඉඩම් වල පූර්ණ අයිතියක් නැහැ. ඊට අමතරව සමස්තයක් ලෙස රටේ ඉඩම් වල අයිතිය සහ භුක්තිය අතර විශාල පරස්පර තිබෙනවා. මේ අවුල් විසඳා රටේ ඉඩම් අයිතිය නිරවුල් කෙරෙන ප්‍රතිසංස්කරණ කිරීමෙන් මිනිසුන් රටේ ප්‍රදේශ අතර හා රැකියා කාණ්ඩ අතර සංචරණය වීම වැඩි කළ විට රට ඇතුළේ ශ්‍රමය අවශ්‍ය වන තැන් වලට ශ්‍රමය කාර්යක්ෂම ලෙස ගලා යන නිසා රැකියා නියුක්තිය ඉහළ ගොස් සැලකිය යුතු ආදායම් වැඩි වීමක් සිදු වෙනවා.

      Delete
    2. //ඊට අමතරව සමස්තයක් ලෙස රටේ ඉඩම් වල අයිතිය සහ භුක්තිය අතර විශාල පරස්පර තිබෙනවා.//
      උදාහරනයක් ලෙස මගේ කුඹුරක් අවුරුදු ගානක් අඳේට වෙන අයෙක් වගා කරනවනම් එය වගා කරන කෙනාට හිමිවිය යුතුයි වගෙ අදහසක්ද ඔබ කියන්නෙ?එහෙම නෙමෙයි නම් රජයේ ඉඩම් අනවසර වගා කිරීම වගේ දෙයක්ද?

      Delete
    3. ඔය දෙකම නෙමෙයි. මම උපකල්පනය කරනවා ඔබේ ගම තෙත් කලාපයේ කියලා. මෙය බොහෝ දුරට වියලි කලාපයේ ප්‍රශ්නයක්.

      Delete
    4. හරියට හරි. මම ඒක කියන්නත් හදල නිකන් හිටිය. අත්දැකීම් නැති නිසා ඔබ කියන්න හදන දේ පැහැදිලි නෑ.

      Delete
    5. කෙටියෙන් කිවුවොත් ඔය වියලි කලාපයේ තෙත් කලාපයේ මෙන් පාරම්පරික ඉඩම් කියා දෙයක් නැහැනේ. කාලයකට පෙර රජයෙන් ඉඩම් දී පදිංචි කළ අයයි ඉන්නේ. නමුත් දැන් මේ ඉඩම් වල ඉන්නේ එසේ ඉඩම් ලබා ගෙන සංක්‍රමණය වූ අයගේ තුන්වන හතරවන පරම්පරා වල අය. ඒ අයට මේ ඉඩම් තමන්ගේ පාරම්පරික ඉඩම්ම තමයි. තෙත් කලාපයේ අයට වගේම. ඒ වගේම, මේ අයගේ සීයලා ගොවීන් වූ පමණින් මේ අයත් ඔය රස්සාවම කළ යුතු නැහැනේ. නමුත්, මේ ඉඩම් වල අයිතිය සීමිත අයිතියක්. ඔවුන්ට තෙත් කලාපයේ සින්නක්කර ඉඩමක් අයිති අයෙකුට තිබෙන තෝරා ගැනීම් නැහැ. ගොවිතැන් කරන්න කැමති නැත්නම් කළ හැකි එකම දෙය ඉඩම බදු දෙන එකයි.

      Delete
    6. බලපත්‍ර ඉඩම් සීන් එකද? විකුනන්න බැරි කතාවක් අහල තියෙනව.
      ඉතින් ඕක නීතියෙ පොඩි වෙනසකින් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නේද? ඩොලර් මිලියන 500ක් විතර ඕකට ඕන වෙන්නෙ ඇයි.

      Delete
    7. ආධාර දුන්නේ ඉඩම් වෙළඳපොළ සක්‍රිය කිරීම සඳහා අවශ්‍ය ඇතැම් මූලික කටයුතු සඳහා.

      ලංකාවේ රජය විසින් ව්‍යාපෘති දෙකක් සඳහා ඇමරිකන් ආධාර ඉල්ලා තිබුණා.
      1. ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 350ක්
      2. ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 67ක්

      ඉඩම් ව්‍යාපෘතිය යටතේ අනු ව්‍යාපෘති පහක් තිබුණා.
      1. ලංකාවෙන් 28%ක් ආවරණය වන දිස්ත්‍රික් 7ක ඇති ඉඩම් වල සිතියම් පරිගණකගත කිරීම - ඩොලර් මිලියන 23.4ක්.
      2. ඉඩම් හිමිකම් ලේඛණ (ඔප්පු) ස්කෑන් කර පරිගණකගත කිරීම - ඩොලර් මිලියන 11.4ක්.
      3. ඉඩම් වල වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම - ඩොලර් මිලියන 6.5ක්.
      4. රජයට අර්ධ අයිතියක් ඇති පුද්ගලයින් සතු ඉඩම් වල අයිතිය අදාළ පුද්ගලයින්ට ලබා දීම - ඩොලර් මිලියන 19.3ක්.
      5. ඉඩම් ප්‍රතිපත්ති පිළිබඳ පර්යේෂණායතනයක් ඇති කිරීම - ඩොලර් මිලියන 6.7ක්.

      ලංකාවේම ඉඩම් මැන පරිගණකගත කිරීම බොහෝ කලකට පෙර ආරම්භ වී මුදල් නැති කම නිසා ඉතා මන්දගාමීව සිදුවෙමින් පවතින කටයුත්තක්. ඇමරිකාවෙන් ආධාර ලබා ගැනීම සඳහා ව්‍යාපෘති යෝජනාව හදද්දී මේ කටයුත්ත වේගවත් කිරීම පිණිසත් මුදල් ඉල්ලා තිබෙනවා. නමුත්, මේ ආධාර ක්‍රමය යටතේ ලැබිය හැකි ආධාර ප්‍රමාණයේ උපරිම සීමාවක් තිබෙන නිසා මුළු ලංකාවම සිතියම්ගත කරන්න ඇමරිකාවෙන් ආධාර ඉල්ලන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා, කිසියම් ප්‍රදේශයක් තෝරා ගන්න වෙනවා. මෙහිදී ලංකාව පැත්තෙන් ව්‍යාපෘති යෝජනාව හදපු අය සහශ්‍ර අභියෝගිතා ගිවිසුමේ ඉඩම් ව්‍යාපෘතිය යටතේ සිතියම්ගත කෙරෙන ප්‍රදේශ ලෙස ලංකාවේ දිගුකාලීන ජාතික භෞතික සැලැස්මෙහි ප්‍රමුඛතා කලාපයක් සේ හඳුනාගෙන තිබෙන කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා වන ආර්ථික කලාපය තෝරා ගෙන තිබෙනවා.

      ලංකාවේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 85.8%ක්ම අයිති රජයටයි. පෞද්ගලික අයිතිය යටතේ තිබෙන්නේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් 14.2%ක් පමණයි. රජයට අයිති ඉඩම් වලින් 21%ක් විවිධ යෝජනා ක්‍රම යටතේ වගා කටයුතු සඳහා බෙදා දී තිබෙනවා. එවිට ඉතිරි ප්‍රමාණය 64.6%ක්. එහෙත්, මේ ඉතිරි ඉඩම් ඇත්තටම නිදහස්ව තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඔය ඉඩම් බොහොමයක් විවිධ පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙනයි තියෙන්නේ. මේ ගැන දැන ගන්න වෙන්නේ රටේම ඉඩම් නැවත මැන සිතියම්ගත කළහොත් පමණයි.

      රටේ මිලියන 21.4ක ජනගහණයකට මිල දී ගන්න හෝ විකුණන්න අයිතිය තිබෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 0.93ක් හෙවත් අක්කර මිලියන 2.3ක් පමණයි. ජීවිතය ගොඩ නගා ගන්නා තරුණයෙකුට හෝ ව්‍යවසායකයෙකුට ඉඩමක් මිල දී ගන්න බොහෝ අසීරු වෙන්න මෙය ප්‍රධාන හේතුවක්.

      ප්‍රශ්නය විසඳෙන්නනම් රජය සතු ඉඩම් වලින් කොටසක් පුද්ගලික අංශය සතු විය යුතුයි. රජයට තමන් සන්තකව තිබෙන ඉඩම් වෙළඳපොල මිලට විකුණා එක පැත්තකින් රටේ ඉඩම් ප්‍රශ්නය විසඳමින් අනෙක් පැත්තෙන් රජයේ ආදායම් ප්‍රශ්නයත් විසඳාගත හැකියි. විකිණීම ප්‍රශ්නයක්නම් බදු දෙන්නත් පුළුවන්. ඇමරිකාවට හෝ විදේශිකයින්ට විකිණීම හෝ බදු දීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත්, රටේ ආර්ථික සංවර්ධනයට දායක කර නොගැනෙන ඉඩම් වල අයිතිය පුද්ගලික අංශය වෙත මාරු වෙන යාන්ත්‍රණයක් අවශ්‍යයි. මේ ඉඩම් වැඩි ප්‍රමාණයක් තිබෙන බව හඳුනාගෙන තිබෙන්නේ ප්‍රස්තුතයට අදාළ දිස්ත්‍රික්ක වලයි.

      ඉහත තිබෙන්නේ ඒ දවස් වල පළ කළ ලිපි වලින් උපුටාගත් (සුළුවෙන් සංස්කරණය කළ) කොටස්. වැඩි විස්තර මුල් ලිපි වල තිබෙනවා.

      Delete
    8. ස්තුතියි. මෙච්චර වේගෙන් පිලිතුරු ලියන්නෙ කොහොමද?

      Delete
    9. අක්කර දොළොස් ලක්ෂයක් ඇමරිකාවට!
      http://economatta.blogspot.com/2019/11/blog-post_4.html

      දොළොස් ලක්ෂයක් නෙමෙයි විසිනව ලක්ෂයක්!
      http://economatta.blogspot.com/2019/11/blog-post_6.html

      Delete
    10. //මෙච්චර වේගෙන් පිලිතුරු ලියන්නෙ කොහොමද?//

      මේවා කලින් ලියපුවා. මේ වෙද්දී මෙහි ලිපි 1000ක් පළ කර තිබෙනවා. එම ලිපි වල බොහෝ දේවල් ගැන කතා කර තිබෙනවා.

      Delete
  6. තම තමන්ගේ පවුල් ගැන මිස රටේ බහුතරයකගේ පවුල් ගැන නොවැටහෙන හෝ නොතකන පිරිසක් විසින් තීන්දු ගැනීම සිදු වෙද්දී.....; කිසිම ප්‍රතිපත්තියක් නැතිව දිග ගමනක් යන්න හදද්දී මෙහෙම අවුල් ඇතිවීම පුදුමයක්ද?

    ReplyDelete
  7. 'ඒ අය අතර, කෝවිඩ් හදාගෙන බටහිර බෙහෙත් වලින්ම යාන්තමින් ජීවිතය බේරාගත් අයත් ඉන්නවා'. හිකි හිකි හිකි... එහෙම වෙලත් බටහිර වෙදකමට බනින එක දිගටම කරගෙන යනවා. තමන්ට ලැබුනු ඉතාම සුලු දේකට වුනත් කෘතවේදී වෙන්න බැරිකම හෝ දන්නෙ නැතිකම අපේ මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්.

    මේ දවස්වල තදින්ම කොවිඩ් පැතිර යන අපේ ප්‍රාන්තවල ආණ්ඩු ප්‍රධානීන් (premiers) දිනපතා මාධ්‍ය ඉස්සහරට ඇවිල්ල ජනතාවට අප්ඩේට්ස් දෙනවා. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඔවුන් හැමවෙලේම හරියටම හරි දේ කරන්නෙ හෝ කියන්නෙ නැහැ. සමහර මාධ්‍යවලින් ඔවුන්ට පලු යනකම් බනිනවා. ඒත් premier, ප්‍රධාන වෛද්‍ය නිලදාරී ඇතුලු කීප දෙනෙක් දිනපතා මිනිස්සු ඉස්සහරට එනවා. ලංකාවෙ මිනිස්සුන්ට අඩුම තරමෙ නිවැරදි තොරතුරු ලබාගන්න ක්‍රමයක් තියෙනවද, දියසෙන්ලා මිනිස්සු ඉස්සරහට එනවද.

    ReplyDelete
    Replies
    1. අපේ ප්‍රාන්තයේ අධිපති, අනෙකුත් ප්‍රධාන නිලධාරීන්ද සමඟ, වසරක පමණ කාලයක් පුරා සතියකට වරක් මෙවැනි යාවත්කිරීමක් සහ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ සැසියක් පැවැත්තුවා. මෙය නැවැත්වුවේ අවශ්‍ය හැම කෙනෙකුටම එන්නතක් ලැබීමෙන් හා කෝවිඩ් විශාල ලෙස අඩු වීමෙන් පසුවයි.

      Delete
  8. Thanks for your very informative article. I love reading your article - good facts and nice logic. I would like to know your views on applying these principles in setting where people are very narrow, money minded community, like Sri Lankans. For example, micro finance. What I am worried about people would start selling their lands and become landless and would force the gov to provide them lands. You could say this happens in the USA, but the numbers would be higher in SL and we always assume the duty of the gov is to rescue us in SL.

    ReplyDelete
    Replies
    1. This line of hierarchical socialist thinking draws a line separating “people” and the “government”. “People” are not capable of deciding what is the best among available alternatives and will be doomed unless the “government” steps in and decide what they should do. The “government” comprises of “supermen” with skills far better than those of “people”.
      The facts, however, show the contrary. The government (successive governments) has clearly shown that they are not better than the people who are trapped in microfinance loans. Isn’t the government which has started selling their assets to the rest-of-the-world, debt-ridden and expect that the rest-of-the-world should rescue them, be it China, IMF, or Bangladesh? Let the people decide their own fate and they will thrive. How can a government which cannot take care of its own finances be financial advisors to others?

      Delete
  9. ඉකොන්, ශිරාන් ඉලේපෙරුම විසින් තබා ඇති ට්විටර් පොස්ටුවක මතුකර ඇති කරුණ ගැන යමක් පැවසිය හැකිද? Sri Lanka's inflation plotted against annual changes in FAO's food price index. Notice something?(https://twitter.com/s_illanperuma/status/1433646925526409224)

    ReplyDelete
    Replies
    1. I personally have noticed this connection 15 years ago and explained it to a wider audience. It tells a lot. Probably, too technical for a blog post.

      Delete
    2. සරල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
    3. මේ කරුණට තරමක් අදාළ ලිපියක්. අවසන් පිටු දෙක (177-178 පිටු) කියවන්න. එහිත් අන්තිම ඡේදය හා ඊට පහළින් ඇති ප්‍රස්ථාර දෙක අද තත්ත්වයට ගොඩක් ගැලපෙනවා.

      https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/publications/annual_report/archives/si/2007_11_Chapter_07.pdf

      මෙහි සඳහන් නැති තවත් දේවල් තිබෙනවා. උද්ධමනය ලෙස මනින්න උත්සාහ කරන්නේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව මුදලේ දේශීය අගය පිරිහීම. උද්ධමනය නිවැරදිව මැනිය හැක්කේ නිදහස් වෙළඳපොළක් ඇත්නම් පමණයි. ලංකාවේ ආහාර මිල බොහෝ දුරට නිදහසේ තීරණය වන නමුත් අනෙක් අංශ වල වෙළඳපොළ එතරම් දුරට දියුණු වී නැති නිසා සමස්ත උද්ධමනය බොහෝ දුරට ආහාර උද්ධමනය සමඟ එකට යනවා. ආහාර මිල පාලනය කිරීමෙන් "පණිවුඩකරු" විසින් ගෙන එන "පණිවිඩය" වෙනස් කළ හැකි වුවත් සැබෑ උද්ධමනය එලෙසම තිබෙනවා.

      Delete
  10. ආණ්ඩුවට ඒ තරම් සෙල්ලම් දාන්න තරම් චන්ද පරතරයක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඡන්ද පරතරය නඩත්තු කළ හැක්කේ ප්‍රධාන විපක්ෂය යෝජනා කරන දෙයට වඩා වෙනස් දෙයක් කිරීමෙන්.

      Delete
    2. නමුත් පෝලිම් යුගයක් ආවොත් ඔය මොනව කිව්වත් වැඩක් වෙන එකක් නෑ මහිතෙ

      Delete
  11. I do not agree with you in this regard simply I dont think government is planning that much. These people are playing based on how the ball comes. I presume they might have intended to issue few more bonds since acquiring the government and that would help to rollover the government. My proposition is Covid is like a heart attach to an already debt ridden family. Had it not been there they could run for few more years but this has stopped their activity.

    ReplyDelete
    Replies
    1. I agree with all what you say. This government, obviously, did not expect a pandemic and without the pandemic they would have enjoyed the privilege of running the county smoothly, probably, for a couple of years. However, they did expect a similar outcome followed by some sort of sanctions if they won in 2015. So, a similar situation was expected for many years, even though the pandemic was not expected.

      Delete
  12. What you mentioned about MCC and necessity of land reforms are correct. Many research report point out the land related approval is one of the main deterrent for the investments.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: