වෙබ් ලිපිනය:

Friday, October 4, 2024

ණය ප්‍රතිව්‍යුහකරණය අවසන් අදියරට...


ඔබ දැනටමත් දන්නා පරිදි, ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් අතර ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන ආකාරය ගැන අවසන් එකඟතාවයක් ඇති කරගනු ලැබ, එම එකඟතාවය මත පදනම් වූ ගිවිසුමක් අත්සන් කළා. ඊට අමතරව ස්වෛරිත්ව බැඳුම්කරහිමි ශ්‍රී ලාංකික ආයෝජකයින් සමඟ සහ චීන සංවර්ධන බැංකුව සමඟද අවසන්  එකඟතාවන්ට පැමිණියා. මෙසේ එකතාවයන්ට පැමිණියේ වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ සිදු කළ සාකච්ඡා හා හෙට්ටු කිරීම් වලින් පසුවයි. මෙම එකඟතාවයන් සඳහා පසුගිය රජයේ කැබිනට් අනුමැතිය ලැබුණා.

කෙසේ වුවද, ජනාධිපතිවරණය පැවැත්වෙන විටද මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හා අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවයන් ඇති කර ගැනීම හැර වෙනත් නෛතික කටයුතු කිසිවක් සිදුව තිබුණේ නැහැ. ඒ නිසා, අවශ්‍යනම් එම එකඟතාවයන් තුළ හිර නොවී මුල සිට අලුතෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව ඉතිරි වී තිබුණා. දැන් පෙනී යන්නේ එවැනි අවදානමක් ගැනීමේ ස්ථාවරයක අලුත් ආණ්ඩුව නොසිටින බවයි.

ඇති කරගත් එකඟතාවය අනුව ඉදිරියට යන්නේනම් තවත් ඉතිරිව තිබුණේ පියවර කිහිපයක් පමණයි. එයින් පළමු පියවර වූයේ මෙම එකඟතාවය "සමානතා මූලධර්මය" උල්ලංඝනය නොකරන බව අනෙකුත් (ද්විපාර්ශ්වික) ණයහිමියන් විසින් පරීක්ෂා කර තහවුරු කිරීමයි. දෙවන පියවර වූයේ මේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය තහවුරු වන බව මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීමයි.

මේ වන විට ඉහත කටයුතු දෙකම සිදු වී තිබෙනවා. ඊට අමතරව, අලුතෙන් පත් වූ ආණ්ඩුව විසින්ද ඉහත එකඟතා සියල්ල එලෙසම පිළිගනිමින් හා අනුමත කරමින්, එම එකඟතා අනුව දිගටම කටයුතු කිරීමට සූදානම්ව සිටිනවා. ඒ අනුව සියලුම පාර්ශ්ව දැන් මේ වැඩ පිළිවෙලට එකඟයි. ඉන් පසුව කළ යුතුව තිබෙන්නේ ස්වෛරිත්ව බැඳුම්කර හුවමාරුව සිදු කිරීම සඳහා ණය කළමණාකරුවෙකු ලෙස ඒ සඳහා සුදුසු අයෙකු තෝරා පත් කර ගැනීමයි.

මේ සඳහා ණය කළමණාකරුවෙකු පත් කර ගනු පිණිස පසුගිය මාර්තු මාසයේදී අයදුම්පත් කැඳවනු ලැබූ අතර ආයතන පහක් ඒ සඳහා අයදුම් කර තිබෙනවා. එම ආයතන අතරින් වඩාත්ම සුදුසුම ආයතනය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සිටි බැංකුව තෝරා ගෙන තිබෙනවා. 

මේ අනුව, දැන් මෙම ක්‍රියාවලිය එහි අවසන් අදියර කරා පැමිණ තිබෙනවා. ඉතා ඉක්මණින්ම ණය හුවමාරුව සඳහා සිටි බැංකුව හරහා අයදුම්පත් කැඳවනු ලැබීමට නියමිතයි. ඊට සමාන්තරව චීන සංවර්ධන බැංකුව සමඟද ඉතා ඉක්මණින්ම අවසන් ගිවිසුමක් අත්සන් කෙරෙනු ඇති. 

ශ්‍රී ලංකා රජය විසින් ඇති කරගත් එකඟතා ආණ්ඩුව වෙනස් වීමෙන් පසුවද එලෙසම ඉදිරියට යාම ජාත්‍යන්තර වශයෙන් රට පිළිබඳව විශ්වාසනීයත්වය ශක්තිමත් කරවන්නක්. මීට සතියකට පෙර ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ බංකොලොත් තත්ත්වය තව දුරටත් තහවුරු කරමින් සඳහන් කර සිටියේ මැතිවරණයෙන් පසු අලුත් ආණ්ඩුවක් බලයට පත් වීම නිසා ප්‍රතිපත්ති පිළිබඳ අවිනිශ්චිතතාවයක් ඇති වී ඇති බවයි. එමෙන්ම, ඒ හේතුව නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද විය හැකි බවයි. ඔවුන්ගේ අදහස වූයේ අලුත් ආණ්ඩුවේ දිශානතිය ගැන හරියටම අදහසක් ගැනීම සඳහා නොවැම්බර් මාසයේදී අයවැය ඉදිරිපත් කරන තුරු බලා සිටින්නට වනු ඇති බවයි.

Policy Uncertainty Following Elections: Sri Lanka's September 2024 Presidential election was won by one of the opposition leaders. Fitch believes the result add uncertainty to the country's policy direction and could lead to a delay in the completion of the foreign-currency debt restructuring or renegotiation of the IMF programme. The upcoming 2025 budget, to be adopted by November 2024, could offer clarity on the new government's policies.

දැන් දැකිය හැකි තත්ත්වය ෆිච් රේටිං ආයතනය විසින් දැක ඇති තත්ත්වයට වඩා ශුභවාදී තත්ත්වයක්. අලුත් ආණ්ඩුව විසින්ද කලින් ආණ්ඩුව විසින් ඇති කරගත් එකඟතාවයන් අනුව එලෙසම ඉදිරියට යාමට තීරණය කිරීම නිසා ණය ප්‍රතිව්‍යුහකරණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට තවත් විශාල කාලයක් යන එකක් නැහැ. ඒ නිසාම අරමුදලේ ඊළඟ වාරිකය ලැබීමද ඉක්මන් වෙනවා. ඒ වගේම, බොහෝ විට මේ වසර අවසන් වීමට පෙර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ බංකොලොත් තත්ත්වය ඉවත් කර සාමාන්‍ය ණය ශ්‍රේණියක් ලබා දීමට ඉඩ තිබෙනවා. විණිමය වෙළඳපොළ ප්‍රවණතා වලින් පෙන්නුම් කරන්නේද මේ සාධනීය නැඹුරුව විය හැකියි.

Tuesday, October 1, 2024

අවධමනය හමුවේ ණය තිරසාරත්වය


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු සැප්තැම්බර් මාසයේදී 0.5%ක අවධමනයක් වාර්තා වී තිබෙනවා. උද්ධමනය අඩු වෙනවා කියන්නේ හෙමින් හෙමින් වුනත් මිල ඉහළ යනවා කියන එක. නමුත් අවධමන තත්ත්වයක් කියන්නේ සමස්තයක් ලෙස මිල මට්ටම පහත වැටීමක්. 

තෙල් මිල පහත වැටීමේ බලපෑමද සැලකූ විට මේ අවුරුද්ද අවසන් වන තුරු දිගටම අවධමන තත්ත්වයක් තියෙන්නයි ඉඩ තියෙන්නේ. මහ බැංකුවේ පුරෝකථන අනුව පේන්නෙත් ඒ තත්ත්වයයි. 

මෙහි ප්‍රතිඵලයක් විදිහට මේ අවුරුද්දේ නාමික දදේනි අගය ඇස්තමේන්තුවට වඩා සැලකිය යුතු ලෙස අඩු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ආදායම්, ප්‍රාථමික අයවැය අතිරික්තය ආදිය රුපියල් වලින් ඇස්තමේන්තු මට්ටමේම තියෙද්දී වුවත්, දදේනි අනුපාත ලෙස ඇස්තමේන්තු වලට වඩා උඩට යන්න පුළුවන්.

කොහොම වුනත්, මේ වගේ තත්ත්වයක් ලොකුවට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. මොකද දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණයත් ඔය විදිහටම වැඩි වෙනවා. ඒ නිසා, රාජ්‍ය ආදායම දදේනි අනුපාතයක් ලෙස ඉලක්ක මට්ටමට ගියත්, රුපියල් වලිනුත් අවශ්‍ය ඉලක්කයට යන්නම වෙනවා.

දැනට ආණ්ඩුව විසින් අරගෙන තිබෙන වියදම් වැඩි වෙන තීරණ වන පොහොර සහනාධාරය හා ධීවරයින්ට දෙන ඉන්ධන සහනාධාරය කලින්ම සැලසුම් කර තිබුණු ඒවා බවයි වාර්තා වී තිබෙන්නේ. ඒ නිසා, තිබුණු සැලසුමට සාපේක්ෂව අමුතුවෙන් වියදම් වැඩි වීමක් නැහැ. කොහොමටත් මේ වියදම් විශාල වියදම් නෙමෙයි.

ඊට සාපේක්ෂව, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම නොකරන්නේනම්, එයින් තිබුණු සැලසුමට සාපේක්ෂව සැලකිය යුතු ඉතිරියක් වෙනවා. සමහර දීමනා කප්පාදු කිරීම වගේ දේවල් වලින්නම් විශාල ඉතිරියක් වෙන්නේ නැහැ. සමස්තයක් ලෙස ගත්තහම දැනට සිදු කර තිබෙන වෙනස්කම් වලින් ඊළඟ IMF විමර්ශනයේදී ප්‍රශ්නයක් විය හැකි තරමේ දෙයක් වෙලා නැහැ. 

වෙබ් ලිපිනය: