වෙබ් ලිපිනය:

Friday, April 25, 2025

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (තෙවන කොටස)


මේ දින වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය හා අදාළව ඓතිහාසික කාල පරිච්ඡේද තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ 1870-1970 අතර කාලය, ඊට පෙර කාලය සහ ඊට පසු කාලය ලෙසයි. ඔය අතරමැදි කාලය එක දිගටම මෙන් වෙළඳ අතිරික්තයක් වාර්තා වූ කාලයක්. ඊට පෙර හා පසු කාල පරිච්ඡේද වලදී එක දිගටම මෙන් වෙළඳ හිඟයක් වාර්තා වුනා (Source: https://www.stlouisfed.org/on-the-economy/2019/may/historical-u-s-trade-deficits).

ඇමරිකාවේ වෙළඳ ගිණුමේ එක දිගටම හිඟයක් තිබීම ප්‍රශ්නයක් නැහැ කියා තර්ක කරන අය ඒ බැව් තහවුරු කිරීම සඳහා 1870ට පෙර කාලය වෙත අවධානය යොමු කරනවා. නමුත් එහිදී එසේ එක දිගට වෙළඳ හිඟයක් නඩත්තු කිරීමට හැකි වුනේ කොහොමද කියන එක ගැන එතරම් කතා කෙරෙන්නේ නැහැ. 

රටක එක දිගට වෙළඳ හිඟයක් නඩත්තු වෙනවා කියන්නේ ඒ රටෙන් එක දිගටම විදේශ විණිමය එළියට යනවා කියන එක. එවැනි දෙයක් වෙන්නනම්, එක්කෝ ඒ රට දිගින් දිගටම ණය විය යුතුයි. එහෙම නැත්නම් රටට විදේශ විණිමය ලැබෙන වෙනත් කවර හෝ ක්‍රමයක් හෝ ක්‍රම තිබිය යුතුයි.

දහනවවන සියවසේ පළමු අර්ධය කියන්නේ අද තිබෙන ඇමරිකාව ගොඩ නැගෙන කාලය. සියවස ආරම්භ වෙද්දී ඇමරිකාව කියන්නේ පළමු කොලනි දහතුන. අවුරුදු පණහක් යද්දී අද තිබෙන මහද්වීපික ඇමරිකාව බොහෝ දුරට හැදිලා. ඔය අතර කාලයේ සංඛ්‍යාලේඛණ ඒ තරම්ම නිවැරදි හෝ සම්පූර්ණ නැහැ. ඒ කාලය තුළ ඇමරිකාවට අයත් හා අයත් නැති භූමි ප්‍රදේශ අතර සීමා ඉර තරමක් බොඳ වූ එකක්. ඇමරිකානුවන් සහ විදේශිකයින් අතර සීමා ඉරත් ඒ වගේම බොඳ වූ එකක්. කෙසේ වුවත්, 1848දී මෙක්සිකෝ යුද්ධය ජයගෙන මෙක්සිකෝවෙන් බාගයක් ඇමරිකාවට එකතු කර ගැනීමෙන් පසුවනම් වෙළඳ හිඟයක් නඩත්තු වුනේ කොහොමද කියන එක ඉතාම පැහැදිලියි.

කැලිෆෝනියාවෙන් රත්තරන් හමු වෙන්නේ ඔය මෙක්සිකෝ යුද්ධය සිදු වෙන අතරවාරයේ. ඒ වන විටත් කැලිෆෝනියාව නිල වශයෙන් මෙක්සිකෝවේ කොටසක්. මෙහිදී කැලිෆෝනියාව යන්නෙන් අදහස් වන්නේ වර්තමාන කැලිෆෝනියා, නෙවාඩා, යූටා, ඇරිසෝනා, නිවු මෙක්සිකෝ, කොලරාඩෝ ආදී ප්‍රාන්ත හෝ ප්‍රාන්ත වල කොටස් ඇතුළත් විශාල ප්‍රදේශයක්. මෙක්සිකෝවේ කොටසක් වුනත්, මේ වෙද්දී ඇමරිකන් හමුදා විසින් මේ ප්‍රදේශ වල බලය අල්ලා ගෙනයි තිබුණේ. පසුව මෙක්සිකෝව විසින් මේ ප්‍රදේශ ඇමරිකාවට භාර දෙනවා.

කැලිෆෝනියාවෙන් මේ විදිහට මුලින්ම හමු වෙන්නේ පොළොව යට තිබෙන රත්තරන් නිධි නෙමෙයි. වල් ළූණු හාරද්දී හමු වෙන්න තරම් පොළොව මතුපිටට ආසන්නව තිබුණු රත්තරන්. 

ඔය කාලය වෙද්දී රත්තරන් වලට ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමක් ලැබිලා. සහශ්‍ර ගණනාවක් පුරාම ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුළ රත්තරන් වටිනා ලෝහයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. නමුත් බොහෝ සංස්කෘතීන් කියන්නේ හැම සංස්කෘතියම නෙමෙයි. 

රත්තරන් දුලබයි. ලස්සනයි. ඒ වගේම රත්තරන් වලින් පහසුවෙන් සියුම් ආභරණ ආදිය හදන්න පුළුවන්. චීනය, ඉන්දියාව, ඊජිප්තුව, මෙසපොතේමියාව වගේම දකුණු ඇමරිකාව ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශ වල රත්තරන් වලට සියවස් ගණනාවක් පුරා ලොකු වටිනාකමක් තිබුණා. නමුත් අනෙක් අතට රත්තරන් කියන්නේ ජීවත් වෙන්න අවශ්‍යම දෙයක් නෙමෙයි. අඩු වශයෙන් රත්තරන් වලින් ආයුධයක්වත් හදා ගන්න බැහැ. ඒ නිසා, ඔය කැලිෆෝනියා ප්‍රදේශයේ හිටපු දේශීය ඇමරිකානු ගෝත්‍ර වල අයට රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ. ඔවුන් මුදල් සේ භාවිතා කළේ සිප්පි කටු, වර්ණවත් ගල්, වඩා ප්‍රයෝජනවත් ලෝහයක් වන තඹ ආදියයි. ඔවුන්ගේ සංස්කෘතීන් වල රත්තරන් වලට තිබුණේ අඩු වටිනාකමක්. පසුව යුරෝපීයයන් පිස්සුවෙන් වගේ රත්තරන් හොයද්දී ඔවුන් තමන් දැන සිටි රත්තරන් තිබෙන තැන් යුරෝපීයයන්ට නොපැකිල පෙන්වා දී තිබෙනවා.

ඔය වෙද්දී අයිසෙක් නිවුටන් විසින් සිදු කළ වැරදි ගණනයක් නිසා එංගලන්තයේ රන් සම්මතයක් හැදිලා අවුරුදු සීයකටත් වැඩියි. බොහෝ රටවල මුදල් ඒකක රන් වටිනාකමට සම්බන්ධ කරලා තිබුණා. වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය බිහි වුනෙත්, ඔය නිරීක්ෂණ මත පදනම්වයි. 

රන් කියන්නෙත් තවත් එක් හුවමාරු භාණ්ඩයක් පමණයි. ඒ නිසා, එක් හුවමාරු භාණ්ඩයකින් අනෙක් හැම භාණ්ඩයකම වටිනාකම් තීරණය වෙනවා කියන්නේ පිළිගන්න අමාරු දෙයක්. එහෙමනම්, වටිනාකම් වල මූලය රන් වෙන්න බැහැ. එය වෙනත් දෙයක් විය යුතුයි. රන් වෙනුවට ශ්‍රම කාලය ආදේශ වුනේ ඔන්න ඔය පදනමින්. ඒ අනුව, රන් වල වටිනාකමට හේතුව රන් ගොඩ ගැනීම සඳහා ශ්‍රමය යෙදවිය යුතු වීම. නූතන ආර්ථික විද්‍යාව ඔය ශ්‍රම න්‍යායේ සිට බොහෝ දුර පැමිණ තිබෙනවා. 

අප හැම දෙනෙකුටම රත්තරන් වලින් පෞද්ගලිකව ප්‍රයෝජනයක් නැහැ. එහෙම කිවුවත් රත්තරන් පොරෝගෙන ඉන්න කැමති බොහෝ අය ඉන්නවා. අර එක සැරයක් බ්‍රේස්ලට් කතාවකුත් ජනප්‍රිය වුනේ. රන් ආභරණ වලට දකුණු ආසියාවේ කාන්තා පක්ෂය ගොඩක් කැමතියි. ලොකු රන් දම්වැල්, මුදු ආදියට කැමති පිරිමි පාර්ශ්වයේ අයත් ඒ තරම්ම අඩු නැහැ. ඔය අතර එවැනි කැමැත්තක් නැති මම වගේ අයත් ඉන්නවා.

හැබැයි මගේ වත්තේ වල් ළූණු හාරද්දී ලොකු රත්තරන් කෑල්ලක් දැක්කොත් මම ඒක නැවත පස් දමා වසන්නේ නැහැ. එය විකුණා මම වඩා කැමති, මට අවශ්‍ය, දේවල් මිල දී ගන්න පුළුවන් බව මම දන්නවා.

නමුත් කැලිෆෝනියා ප්‍රදේශයේ හිටපු දේශීය ඇමරිකානු ගෝත්‍ර වල අය බාහිර කණ්ඩායම් එක්ක ගනුදෙනු කළ අය නෙමෙයි. ඔවුන් එසේ කළානම්, ඔවුන්ට රන් විකුණා තමන්ට අවශ්‍ය වෙනත් දේවල් ලබා ගන්න තිබුණා. (එහෙම කරන්න ගියානම් ඒ ගෝත්‍ර වලට පසුව සිදු වූ විනාශය ඊට කලින්ම වෙන්නත් තිබුණා). එහෙත් ඔවුන් එසේ නොකර රත්තරන් විසිරුණු පොළොවක සියවස් ගණනක් ජීවත් වුනා. 

කොහොම හරි කැලිෆෝනියා රත්තරන් ගැන ආරංචිය ප්‍රචාරය වෙද්දී ඇමරිකාවේ අනෙක් ප්‍රදේශ වලින් වගේම ලෝකයේ විවිධ රටවලින් මිනිස්සු විශාල වශයෙන් කැලිෆෝනියාවට එන්න පටන් ගත්තා. ඉක්මණින් පෝසත් වෙන්න කෙටි මාර්ගයක් එහි තිබුණා. ඔය කාලය වෙද්දී කැලිෆෝනියා ඉඩම් වලට හරියකට දේපොළ අයිතියක් නැහැ. ඒ වගේම ඔය ප්‍රදේශයේ නීතියේ පාලනයක් කියලා එකකුත් නැහැ. ඇමරිකාව මෙක්සිකෝවෙන් මේ කොටස ලබා ගත්තත් නීතියේ පාලනය පිහිටුවන්න කාලයක් ගියා.

ඉඩම් වල මුල් පදිංචි කරුවන් වූ ස්වදේශිකයින්ව මේ විදිහට පැමිණි අය විසින් එළවා දමනු ලැබුවා. ඔවුන් බොහෝ දෙනෙකු ආහාර හිඟයෙන් මිය ගියා. ඔය දවස් වල ශ්‍රමිකයෙකුගේ සාමාන්‍ය දිනක වැටුප ඩොලරයක් වගේ. මාසයකටනම් ඩොලර් 20-30 පමණ. නමුත් රත්තරන් එකතු කිරීමෙන් එක දවසකට ඩොලර් 100ක පමණ දක්වා මුදලක් හොයාගන්න පුළුවන්කම තිබුණා. ශ්‍රම න්‍යාය අනුවනම්, රත්තරන් මිල අඩු විය යුතුයි. නූතන ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව වුනත් රන් මිල අඩු විය යුතුයි.

කැලිෆෝනියාවේ රත්තරන් මිල ඇත්තටම අඩු වුනා. නමුත් ඩොලර් වලට සාපේක්ෂව නෙමෙයි. අනෙකුත් භාණ්ඩ වලට සාපේක්ෂව. ලෝකයේ හා ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වලින් ඉතා කෙටි කාලයක් තුළ විශාල පිරිසක් රන් සොයා කැලිෆෝනියාවට එනවා කියන්නේ ඔවුන්ට ආහාර පාන ඇතුළු අනෙකුත් දේවල්ද විශාල වශයෙන් අවශ්‍ය වෙනවා කියන එක. නමුත් එවැනි ප්‍රමාණවත් සැපයුමක් කැලිෆෝනියාවේ තිබුණේ නැහැ. මෙහි ප්‍රතිඵලය වූයේ මෙම ප්‍රදේශයේ භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යාමයි. උදාහරණයක් ලෙස බිත්තරයක මිල ඩොලරයක සිට ඩොලර් තුනක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මට්ටමට ඉහළ යන්නේ ඩොලර් ශත තුනක හෝ ශත පහක මිලකට අලෙවි වෙමින් තිබුණු බිත්තර. ඉල්ලුම ඉහළ යද්දී, සැපයුම සීමිත නිසා, අනෙක් හැම දෙයක් වගේමත් ඔය විදිහට මිල වැඩි වී වෙනවා. 

අද අර්ථයෙන් කියනවනම් මෙය ඉතාම ඉහළ මට්ටමක අධි උද්ධමනයක්. බිත්තර වලින් බැලුවොත් උද්ධමනය 2000%-10000% පමණ. ඒ කියන්නේ සල්ලි ඉතාම විශාල ලෙස බාල්දු වීමක්. මීට හේතුව රන් මිල අවුන්සයක් ඩොලර් 20.67 ලෙස නියම කර තිබීම. ඒ නිසා, කොයි තරම් රත්තරන් ලැබුණත් රන් මිල අඩු වෙන්න විදිහක් තිබුනේ නැහැ. රන් සහ ඩොලර් අතර වටිනාකම් අනුපාතය නියතයක්. 

රන් මිල වෙනස් වෙන්නේ නැති නිසා සිදු වුනේ රන් වලට සාපේක්ෂව අනෙක් භාණ්ඩ හා සේවා හැම එකකම හුවමාරු වටිනාකම වැඩි වෙන එක. එහිදී එම භාණ්ඩ හා සේවා වල මිලට සාපේක්ෂව රත්තරන් බාල්දු වෙනවා. රත්තරන් වලට පෙග් කර තිබෙන නිසා ඩොලරයත් විශාල ලෙස බාල්දු වෙනවා. එහෙමත් නැත්නම් ඩොලරයක මිල දී ගැනීමේ හැකියාව විශාල ලෙස අඩු වෙනවා.

රන් සොයන්න ආ අයට සාමාන්‍ය ශ්‍රමිකයෙක් මාස හයකදී ලබන වැටුප පහසුවෙන්ම සතියෙන් හොයා ගන්න හැකි වී තිබෙනවා. නමුත්, එයින් අදහස් වන්නේ ඒ අනුපාතයෙන්ම ඔවුන් ධනවත් වූ බව නෙමෙයි. රන් හොයන අතර ආහාර පාන ඇතුළු වියදම් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් විශාල කොටසක් වැය කරන්න සිදු වී තිබෙනවා. 

පහසුවෙන්ම රන් එකතු කරගත හැකිව තියෙද්දී සහ එම රන් අලෙවි කර ඩොලර් එකතු කර ගත හැකිව තියෙද්දී රන් හා ඩොලර් වල වටිනාකම දැනෙන්නේ අඩුවෙන්. සල්ලි අත දිග හැර වියදම් කරන්න හිතෙනවා. නමුත් අතේ කොයි තරම් රන් හා ඩොලර් තිබුනත්, රාත්‍රී ආහාරය ගන්න තැනක් ළඟ පාතක නැත්නම් ඒ රන් වලින් හෝ ඩොලර් වලින් ඇති වැඩක් නැහැ. ස්වදේශිකයෝ රන් එකතු නොකළේ ඔය හේතුව නිසා. නවාතැන පිරෙන්න රන් එකතු කර ගොඩ ගසා ගත්තත්, දඩයමක් කර ගත්තේ නැත්නම් බඩගින්නේ මැරෙන්න වෙනවා. රන් වලින් කළ හැකි දෙයක් නැහැ.

නමුත් ස්වදේශිකයින් හා සංක්‍රමණිකයින් අතර එක් ලොකු වෙනසක් තිබුණා. සංක්‍රමණිකයින්ගේ සංස්කෘතිය හුවමාරු සංස්කෘතියක්. හුවමාරුව මගින් තමන්ට අවශ්‍ය දේ ලබා ගත හැකි බව ඔවුන් දැන සිටියා. රන් එකතු කරන ප්‍රදේශ වල ජනගහණය ඉහළ ගොස්, භාණ්ඩ හා සේවා ඉල්ලුම ඉහළ යද්දී ඒවා සපයන සැපයුම්කරුවන්ගේ ජාලද බිහි වෙන්න පටන් ගත්තා. මේ මගින් සෘජුව රන් එකතු නොකර, වක්‍රව රන් එකතු කර ධනවත් වීමටද මාර්ග පෑදුනා.

ඔය වගේ කාලයක හදිසියෙන් රන් සොයා එද්දී දරු මල්ලන් අරගෙන එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එන්නේ පිරිමි පමණයි. ඒ නිසාම, කාන්තාවන්ගේ වටිනාකම සහ කාන්තාවන් සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන රන් එකතු කරන පිරිමින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා පැමිණි කාන්තාවන් විසින් රන් එකතු නොකරම විශාල ලෙස රන් එකතු කරගෙන තිබෙනවා. රන් එකතු කළ ගොඩක් අය තමන්ට දවස අවසානයේ ලැබුණු මුදල් වලින් සැලකිය යුතු කොටසක් කාන්තා ඇසුර, මත්පැන්, සූදු ක්‍රීඩා ආදිය වෙනුවෙන් වැය කර තිබෙනවා. මේ ආදී හේතු නිසා අවසාන වශයෙන් වැඩිපුරම පෝසත් වී තිබෙන්නේ රන් මිල දී ගත් අතරමැදියෝ සහ වෙනත් සේවාවන් සපයපු අය. කොහොම වුනත්, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගත් නිසා විවිධ භාණ්ඩ හා සේවා සැපයුම් ව්‍යාපාර ගණනාවක්ම අලුතෙන් බිහි වී තිබෙනවා. ඒ සමහර ව්‍යාපාර මේ වෙද්දී දැවැන්ත ව්‍යාපාර.

රන් සුලභ කැලිෆෝනියා ප්‍රදේශයේ ආර්ථිකය සංවෘත එකක් වීනම් අවසාන වශයෙන් වෙන්නේ රත්තරන් ඉතා ලාභදායී ලෝහයක් වීම පමණයි. නමුත් කැලිෆෝනියා ආර්ථිකය ඇමරිකාවට වගේම ලෝකයටම විවෘතවයි තිබුණේ. කැලිෆෝනියාවෙන් පිටත ලෝකයේ රත්තරන් තව දුරටත් දුලබ ලෝහයක් වුනා වගේම සැලකිය යුතු ඉල්ලුමක් තිබුණු දෙයක්. ලෝකයේ රටවල් ගණනාවක්ම ඒ වෙද්දී තමන්ගේ මුදල් එක්ක රත්තරන් වලට පෙග් කර තිබුණු නිසා, ආභරණ සෑදීම ආදී "ඇත්ත හේතු" වලට අමතරව මිනිසුන්ට රන් එකතු කරන්න තවත් හේතුවක් තිබුණා. රත්තරන් තමන්ගේ වත්කම් ගබඩා කර ගත හැකි ක්‍රමයක්ව පැවතුණා. ඒ නිසා, රත්තරන් වලට කෘතීම ඉල්ලුමක් ඇති වී තිබුණා. එහි ප්‍රතිඵලය රන් මිල සාමාන්‍ය මිලට වඩා ඉහළින් නිර්ණය වීමයි. අද දක්වාම මේ තත්ත්වය දැකිය හැකියි.

භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව රන් හා ඩොලර් විශාල ලෙස බාල්දු වුනේ කැලිෆෝනියා ප්‍රදේශයේ පමණයි. අඩු වශයෙන් ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශ වල හෝ එවැන්නක් සිදු වී තිබුණේ නැහැ. මේ වගේ අවස්ථාවක ගනුදෙනු සංස්කෘතියක ඉන්න මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. අදාළ ප්‍රදේශයට භාණ්ඩ හා සේවා සැපයුම් වැඩි කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කැලිෆෝනියා ප්‍රදේශයේ භාණ්ඩ හා සේවා සැපයුම් ඉහළ ගොස් මිල ගණන් ක්‍රමයෙන් අඩු වුනා. ඒ කියන්නේ රන් සහ ඩොලර් වල වටිනාකම නැවත ක්‍රමයෙන් ඉහළ ගියා කියන එක. 

මෙය සිදු වීමට සමාන්තරව කැලිෆෝනියා රත්තරන් ඇමරිකාව පුරා පැතිරී යාමද සිදු වෙනවා. ඒ කියන්නේ සමස්තයක් ලෙස ඇමරිකාවේ රන් සැපයුම ඉහළ ගොස් රන් බාල්දු වීමක් සිදු වෙනවා කියන එක. රන් බාල්දු වෙනවා කියන්නේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව ඩොලරයද බාල්දු වෙනවා කියන එක. මොකද ඩොලරයක් කියන්නේ රන් අවුන්සයකින් 20.67කින් කොටසක වටිනාකම. වෙනත් විදිහකින් කිවුවොත්, කැලිෆෝනියා ප්‍රදේශයේ මෙන් අධි උද්ධමනයක් නොවුනත්, සමස්තයක් ලෙස ඇමරිකාවේම උද්ධමනයක් ඇති වෙනවා කියන එක. මොකද රන් සැපයුම, ඒ කියන්නේ මුදල් සැපයුම, වැඩි වූ තරමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. මෙවැන්නක් සිදු වීම වැළකුණේ කොහොමද?

මේ දවස් වල ඇමරිකාව කාර්මීකරණය වී නැහැ. නමුත් යුරෝපය කාර්මීකරණය වෙලා. ඇමරිකාවට යුරෝපයෙන් කාර්මික භාණ්ඩ ආනයනය කළ හැකිව තිබුණේ මූලික කෘෂිකාර්මික නිෂ්පාදන, බොරතෙල් වැනි ස්වභාවික සම්පත් ආදිය අපනයනය කිරීම මගිනුයි. ඒ දේවල් නිපදවීම සඳහා සැලකිය යුතු මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වුනා. කාර්මීකරණය වී සිටි යුරෝපය වඩා කාර්යක්ෂම ලෙස නිෂ්පාදන කටයුතු සිදු කළා. ඒ නිසා, ඇමරිකාවට අසීරුවෙන් වෙළඳ හිඟය පියවා ගැනීමට සිදු වී තිබුණා.

රත්තරන් හමු වීමත් එක්ක මේ සියල්ල වෙනස් වුනා. රත්තරන් අපනයනය කිරීම මගින් ඇමරිකාවට අවශ්‍ය බොහොමයක් දේවල් යුරෝපයෙන් ගෙන්වා ගත හැකි වුනා. රත්තරන් කියන්නෙත් තවත් භාණ්ඩයක් සේ සැලකුවහොත් ඇත්තටම ඔය කාලයේ ඇමරිකාවේ වෙළඳ ශේෂය අතිරික්තයක්. නමුත් රත්තරන් තවත් භාණ්ඩයක් සේ නොසැලකෙන නිසා, රත්තරන් අපනයන වෙළඳ ගිණුමේ සටහන් වන්නේ නැහැ. එය සැලකෙන්නේ මුදල් පියවීමක් ලෙසයි. ඉතින් ඔය කාලයේ ඇත්තටම සිදු වුනේ ඇමරිකාව විසින් "මහ පොළොවෙන් එකතු කරගත්" ඩොලර් ගෙවා ආනයන සිදු කිරීමයි. 

මේ අර්ථකතනය නිවැරදි වන්නේ, පළමුව, කැලිෆෝනියා රත්තරන් එකතු කර ගැනීම සඳහා යෙදවිය යුතු වූ ශ්‍රමය වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා යෙදවිය යුතු ශ්‍රමයට වඩා බෙහෙවින්ම අඩු වූ නිසා. විශේෂයෙන්ම අදාළ කාලයේදී ලෝකයේ වෙනත් ප්‍රදේශයකින් රන් ගොඩ ගැනීම සඳහා යෙදවිය යුතු ශ්‍රමයට (පිරිවැයට) වඩා බෙහෙවින්ම අඩු වූ නිසා. දෙවනුව, රන් හා ඩොලර් (සහ ලෝකයේ අනෙකුත් බොහෝ මුදල් වර්ග) අතර වූ නිශ්චිත සම්බන්ධය නිසා රන් හා මුදල් යනු දෙකක් නොව එකක් වූ නිසා. ඉතිං මෙය කතාවට කියන සල්ලි ගස් වලින් කැඩීම වැනි දෙයක්!

පොළොවෙන් "නිකම්ම" ලැබෙන රත්තරන් පිටරට පැටවීම මගින් ඇමරිකාවට ඔය කාලයේදී තමන්ගේ අනෙකුත් භාණ්ඩ හා සේවා අපනයන වලට වඩා බෙහෙවින්ම වැඩි ආනයන ප්‍රමාණයක් සිදු කළ හැකි වුණා. ඒ මගින් පරිභෝජනය ඉහළ මට්ටමකට තබා ගත හැකි වුනා. ඒ වගේම ඉක්මණින් කාර්මීකරණය වීම සඳහා උදවු වෙමින් ප්‍රාග්ධන භාණ්ඩ විශාල ලෙස යුරෝපයෙන් ආනයනය කිරීමටද මෙය උදවුවක් වුනා.

වෙළඳ හිඟයක් තිබෙනවා කියන්නේ රට තුළ හුවමාරු වන භාණ්ඩ ප්‍රමාණය රට තුළ නිපදවන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩියි කියන එකයි. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයට (වෙළඳ ගිණුම සමතුලිත තත්ත්වයට) සාපේක්ෂව රට තුල භාණ්ඩ සැපයුම වැඩි බවයි. මෙහි ප්‍රතිඵලය භාණ්ඩ මිල අඩු වී ඩොලරය ශක්තිමත් වීමයි. රන් සැපයුම වැඩි වීම වක්‍ර ලෙස ඩොලර් සැපයුමද වැඩි වීමක් වුවත්, වෙළඳ හිඟය පියවීම සඳහා ඩොලර් රටින් පිටතට යැවෙන බැවින් එය පාලනය වෙනවා. මේ කාලයේදී ඇමරිකාවෙන් හමු වූ රත්තරන් විශාල ලෙස යුරෝපයට (හා අනෙකුත් රටවලට) ගියා. ඇමරිකාවට විශාල ලෙස ආනයන භාණ්ඩ පැමිණුනා. ඒ සියල්ලේ මුල කැලිෆෝනියා රත්තරන් නිසා හිමි වූ ස්වභාවික වාසිය තිබුණා.

මේ කරුණ මා මේ තරම් විස්තර කරන්නේ ෆියට් මුදල් යුගයේදී සිදු වූ දෙයද මේ හා සංසන්දනය කළ හැකි නිසයි. පළමු යුගයේදී ඇමරිකාවට මුදල් ලැබුනේ ස්වභාවික වාසියක් නිසා. රත්තරන් වලට ලෝකයේ තිබුණු ඉල්ලුම මත පදනම් වූ වෙළඳපොළ වටිනාකමට සාපේක්ෂව එම රත්තරන් නිපදවීම සඳහා ඇමරිකාව විසින් පිරිවැයක් දැරිය යුතු වූයේ නැහැ. තුන් වන යුගයේදීද ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා විශාල ඉල්ලුමක් තිබුණා. ඒ ඉල්ලුම මත වෙළඳපොළ වටිනාකමක් හැදී තිබුණා. නමුත් ඇමරිකාවට ඩොලර් "නිපදවීම' සඳහා පිරිවැයක් දරන්නට අවශ්‍ය නොවූ තරම්. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟයක් නඩත්තු වුනා.

මෙයින් මා කිසිසේත්ම ඇමරිකානු ව්‍යවසායකත්වය වැනි දේ අවතක්සේරු කරන්නේ නැහැ. නමුත්, ලෝකය පුරා රන් වලට විශාල ඉල්ලුමක් ඇති විට, කිසියම් රටක විශාල රන් නිධියක් හමු වී වෙළඳපොළ මිලට වඩා බෙහෙවින්ම අඩු පිරිවැයකින් රන් නිපදවිය හැකි වූ විට, ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය තුළ එවැනි රටකට විශාල වාසියක් අත් වීම පැහැදිලි කරුණක්. මැද පෙරදිග රටවල් අද ඔවුන් සිටින තැන සිටින්නේ තනිකරම මෙන් තෙල් නිසා ලැබී තිබෙන ස්වභාවික වාසියේ උදවුවෙන්. තෙල් නොවන්නට මේ රටවල් අදටත් ඉතා දුප්පත් රටවල්.

මහ පොළොවේ රත්තරන් නැති, පොළොව යට තෙල් නැති, ලෝකයේ උතුම් රටකට පෝසත් වීම ඔය තරමටම  ලේසි නැහැ. රන් සම්මත ක්‍රමය තුළ, රන් නොමැති රටකට වුවද වෙළඳ අතිරික්තයක් පවත්වා ගැනීම මගින් රන් එකතු කර ගත හැකිව තිබුණා. නමුත් එය ප්‍රායෝගිකව ලේසි වැඩක් වුනේ නැහැ. කාර්මීකරණය වී නොමැති රටකට තේ, රබර්, පොල් නිපදවීම සඳහා මිනිස් ශ්‍රමය අවශ්‍යයි. එම මිනිස් ශ්‍රමය නඩත්තු කිරීම සඳහා ආහාර පාන ඇතුළු තවත් බොහෝ දේ අවශ්‍යයි. ඒ සියල්ල නිපදවන අතරම අපනයනය සඳහා තේ, රබර්, පොල් නිපදවීම සඳහාද මිනිස් ශ්‍රමය යෙදවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මිනිස් ශ්‍රමය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය දේවල් ආනයනය කරන්නට සිදු වෙනවා. මෙම හුවමාරුව මගින් විශාල අතිරික්තයක් එකතු වන්නේ නැහැ. ඊට සාපේක්ෂව රන්, ඉන්ධන වැනි දෙයක් අපනයනය කරන රටක විශාල අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. එම අතිරික්ත ප්‍රාග්ධනයේ උදවුවෙන් රටකට ඉක්මණින් කාර්මීකරණ කඩ ඉම පැනගන්න පුළුවන්. 

කැලිෆෝනියා රත්තරන් එකතු කර ගැනීම ඔය තරම්ම පහසුවෙන්ම කළ හැකි වූයේ වසර කිහිපයක් පමණක් බව මෙහිදී කෙනෙකුට පෙන්වා දිය හැකියි. එය ඇත්ත. කාලයත් සමඟ මේ කටයුත්ත වඩා අපහසු හා පිරිවැය වැඩි කටයුත්තක් බවට පත් වුනා. එහෙත් අඩු වශයෙන් වසර විසිපහක් පමණ කාලයක් ඇමරිකාවට මේ වාසිය තිබුණා. 1870 පමණ වන තුරු ඇමරිකාව වෙළඳ හිඟයක් නඩත්තු කළේ කැලිෆෝනියා රත්තරන් වල උදවුවෙන්.

ඉන් පසු එළඹුණු දෙවන යුගයේදී කැලිෆෝනියා රත්තරන් ඉවර වුනා. මෙහිදී ඉවර වුනා කියන එකෙන් අදහස් වෙන්නේ දේශීය ඉල්ලුම සැපිරීමෙන් පසුව අපනයනය කළ හැකි ශුද්ධ රත්තරන් අතිරික්තයක් තව දුරටත් ඇමරිකාවේ නිෂ්පාදනය වුනේ නැහැ කියන එක. රත්තරන් ඉවර වුනත්, ඉන්ධන වැනි අනෙකුත් ස්වභාවික සම්පත් ඉවර වුනේ නැහැ. ඉන්ධන අතිරික්තය තවත් අවුරුදු සීයක් යන තුරුම ඇමරිකාවට ධනවත් වීමට උදවු කළා. රත්තරන් අවසන් වෙද්දී පළමු යුගය අවසන් වුනා වගේම දෙවන යුගය අවසන් වුනේ ඉන්ධන ඉවර වෙද්දී. දැන් නැවතත් ඇමරිකාවේ ඉන්ධන අතිරික්තයක් ඇති වීමෙන් පසුව, තුන්වන යුගයද අවසන් වෙමින් තිබෙනවා. ඇමරිකාවට ෆියට් මුදල් ක්‍රමය අවශ්‍ය වුනේ ඔය අතරමැදි කාලයේදීයි. පැවති ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය අවශ්‍ය වූයේත් ඔය අතරමැදි කාලයේදීයි. 

මතු සම්බන්ධයි. 

Sunday, April 20, 2025

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (දෙවන කොටස)

පෙර ලිපියෙන් අපි නික්සන් කම්පනයෙන් පසු එළැඹුණු ෆියට් මුදල් යුගය තුළ ජාත්‍යන්තර වෙළඳාම වැඩි දියුණු වූ ආකාරය ගැන කතා කතා කළා. පහත පළ කරන 1970-2023 ලෝක බැංකු දත්ත අනුව නික්සන් කම්පනය සිදු වන විට ජාත්‍යන්තර වෙළඳාම ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 26%ක් පමණයි. 2008 මහා ආර්ථික පසුබෑම සිදු වන විට මෙම පරිමාව 61% දක්වා ඉහළ ගිහින්. ඒ කියන්නේ ලෝක දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ වේගය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වේගයකින් ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඉහළ ගිහින්. 


මේ විදිහට ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඉහළ යාමේ වාසිය ලැබුණේ කාටද? 

ඔය කාලයේ ඇමරිකාවේ ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය දිහා බැලුවොත් පෙනෙන පරිදි (මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බලන්න), ඔය කාලයේදී සිදු වී තිබෙන්නේ එම වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වීගෙන යන එකයි. අනෙක් අතට, ජාත්‍යන්තර වෙළඳාම තව දුරටත් වර්ධනය නොවුණු පසුගිය වසර 15ක කාලය තුළ ඇමරිකාවේ  ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගය ස්ථාවරව තිබෙනවා. 


පොදුවේ ඉහළ ආදායම් ලබන රටවල් දිහා බැලුවත් දැකිය හැක්කේ ඔය තත්ත්වයමයි. අඩු ආදායම් රටවල ඒක පුද්ගල ආදායමේ වර්ධන වේගයේ ලොකු වෙනසක් සිදු වෙලත් නැහැ. ජාත්‍යන්තර වෙළඳාම නිසා වැඩිම වාසියක් වී තිබෙන්නේ මැදි ආදායම් රටවලටයි. 2008න් පසුව එම වාසිය නැති වී මැදි ආදායම් රටවල වර්ධන වේගය පහත වැටෙමින් තිබෙනවා. 

ඇමරිකාව වගේ රටක ආර්ථිකය වර්ධනය වෙන්නේ නවෝත්පාදන නිසා සිදු වන ඵලදායීතා වර්ධනය නිසා මිසක් අනෙකුත් රටවල් සමඟ කරන වෙළඳාමේ උදවුවෙන් නෙමෙයි. ජාත්‍යන්තර වෙළඳාම හරහා සිදු වෙන්නේ ඇමරිකාව වගේ දියුණු රටක ආර්ථිකය වර්ධනය වීමට හේතු වූ සාධක අනෙකුත් රටවලට මහන්සියක් නැතිවම ලබාගත හැකි තත්ත්වයක් ඇති වීමයි. ලෝකයට විවෘතව සිටින මැදි ආදායම් රටක් රෝදය මුල සිටම හොයා ගන්න අවශ්‍ය නැහැ. කලින් රෝදය හදපු රටවල් දිහා බලලා රෝදය හදාගන්න පුළුවන්. හැබැයි ඒ විදිහට දියුණු රටවල් දිහා බලලා ඉගෙන ගන්න පුළුවන් වෙන්නෙත් ආර්ථිකයක් කිසියම් සීමාවකින් එහාට වර්ධනය වූ පසුවයි. අඩු ආදායම්ලාභී රටවල් වේගයෙන් වර්ධනය වී නැත්තේ ඒ නිසා.

ආර්ථික වර්ධනයේ හිණි පෙත්තේ නොසිටින රටවලට ජාත්‍යන්තර වෙළඳාම හරහා ලබා ගත හැකි වාසි ඉතාම පැහැදිලියි. එම රටවල නිෂ්පාදන ක්‍රමවේදයන් වඩා කාර්යක්ෂම කර ගත හැක්කේ ලෝකයට නිරාවරණය වෙන්න ඉඩ දෙන තරමටයි. නමුත් ආර්ථික වර්ධනයේ හිණි පෙත්තේ සිටින රට වලට මෙයින් ලැබෙන වාසිය කුමක්ද?

මෙහිදී අදාළ වන ආර්ථික විද්‍යා මූලධර්මය සංසන්දනාත්මක වාසියයි. ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන ඕනෑම රටකට සංසන්දනාත්මක වාසිය හේතුවෙන් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. 

ඇඩම් ස්මිත් විසින් මුලින්ම ජාත්‍යන්තර වෙළඳාම ප්‍රවර්ධනය කළේ පරිපූර්ණ වාසිය කියන සංකල්පය මත පදනම්වයි. ඒ අනුව, ඕනෑම රටකට අනෙක් රටවල් වලට වඩා කාර්යක්ෂම ලෙස මොනවා හෝ දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්නම් වෙළඳාම මගින් වාසියක් ලබා ගන්න පුළුවන්. 

සංසන්දනාත්මක වාසිය පිළිබඳ අදහස පසුව ඉදිරිපත් කළේ ඩේවිඩ් රිකාඩෝ විසින්. අදටත් පිළිගැනෙන එම අදහස අනුව, කිසිම භාණ්ඩයක් හා අදාළව පරිපූර්ණ වාසියක් නැති රටකට වුනත් වෙළඳාම මගින් වාසියක් ලබා ගන්න පුළුවන්. ඊට හේතුව ඕනෑම රටකට කවර හෝ භාණ්ඩ හා අදාළව සංසන්දනාත්මක වාසියක් තිබීමයි. ඒ නිසා, කිසිදු භාණ්ඩයකට පරිපූර්ණ වාසියක් නැති වීම ප්‍රශ්නයක් නෙමෙයි.

පරිපූර්ණ වාසිය සරලව මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ඇමරිකාවට ලංකාවට වඩා කාර්යක්ෂම ලෙස ඇඟලුම් නිපදවන්න පුළුවන්. ඒ වගේම ලංකාවට වඩා කාර්යක්ෂම ලෙස පරිගණක නිපදවන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔය දෙකේදීම පරිපූර්ණ වාසිය තියෙන්නේ ඇමරිකාවට. ලංකාවට දෙකෙන් එකක් හා අදාළව හෝ පරිපූර්ණ වාසියක් නැහැ. එසේ තිබියදී වුවද, ඇමරිකාවට ලංකාවේ නිපදවන ඇඟලුම් ආනයනය කිරීම වාසිදායකයි. ඊට හේතුව ලංකාවට ඇඟලුම් හා අදාළව සංසන්දනාත්මක වාසියක් තිබීමයි. 

ඇමරිකාව ලංකාවෙන් ඇඟලුම් ආනයනය කරන නිසා ඒ වෙනුවෙන් වැය කළ යුතු ශ්‍රමය ඇමරිකාවේ ඉතිරි වෙනවා. එසේ ඉතිරි වන ශ්‍රමය යොදවා පරිගණක සාදා ලංකාවට අපනයනය කර ලැබෙන ආදායමෙන් වඩා වැඩි ඇඟලුම් ප්‍රමාණයක් ආනයනය කරන්න පුළුවන්. සරල අදහස ඕකයි.

රිකාඩෝ විසින් සංසන්දනාත්මක වාසිය පිළිබඳ අදහස ඉදිරිපත් කරන කාලයේ අද අර්ථයෙන් ආර්ථික විද්‍යාවක් තිබුණේ නැහැ. ඒ යුගයේදී භාණ්ඩයක වටිනාකම ඒ වෙනුවෙන් යොදවන මිනිස් ශ්‍රමයට සමාන සේ සැලකුණා. ඒ අනුව, රිකාඩෝ විසින් සංසන්දනාත්මක වාසිය පිළිබඳ අදහස ඉදිරිපත් කරද්දී භාණ්ඩයක් නිපදවීමේ පිරිවැය ලෙස සැලකුවේ ඒ සඳහා යෙදවිය යුතු ශ්‍රම කාලයයි. මේ වෙද්දී මෙම මෙම ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය වෙනුවට ශ්‍රමයේ වෙළඳපොළ මිල මත පදනම් වූ පිරිවැය ආදේශ වී තිබෙනවා. 

සංසන්දනාත්මක වාසිය යන කාරණයේදී ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය වෙනුවට ශ්‍රමයේ වෙළඳපොළ මිල මත පදනම් වූ පිරිවැය ආදේශ වීමෙන් පසුව මූලික සංකල්පයේද යම් වෙනසක් සිදු වී සාපේක්ෂ පිරිවැය පිළිබඳ අර්ථකතන වෙනස් වී තිබෙනවා. උදාහරණයක් ලෙස දිනක් ඇතුළත ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට ඇඟලුම් 100ක් හැදිය හැකි නමුත් ලංකාවේ ශ්‍රමිකයෙකුට හැදිය හැක්කේ ඇඟලුම් 50ක් පමණක්නම් රිකාඩෝගේ මුල් ආකෘතිය අනුව ඇමරිකාවේ ශ්‍රමිකයා වඩා කාර්යක්ෂමයි. නමුත් ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට දිනකට ඩොලර් 100ක් ගෙවද්දී ලංකාවේ ශ්‍රමිකයෙකුට ගෙවිය යුත්තේ ඩොලර් 5ක් පමණක්නම්, ශ්‍රමයේ වෙළඳපොළ මිල අනුව, ලංකාවේ ශ්‍රමිකයා වඩා කාර්යක්ෂමයි.

ලෝකයේ රටවල් අතර ආදායම් පරතරය ඉහළ යද්දී ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය සහ ශ්‍රමයේ වෙළඳපොළ මිල මත පදනම් වූ පිරිවැය අතර වෙනසද වැඩි වෙනවා. එසේ වීම නිසා වැඩි ආදායම් රටකට තරඟකාරී වීම එන්න එන්නම අමාරු වෙනවා.

වසර කිහිපයකට පෙර අධිකරණයක් මගින් නීති විරෝධී ලෙස තීන්දු කර ඇතත්, චීනයේ 996 ලෙස හඳුන්වන වැඩ කිරීමේ සංස්කෘතියක් තිබෙනවා. එයින් අදහස් වන්නේ උදේ නවයේ සිට රෑ නවය දක්වා දිනකට පැය දොළහක්, සතියේ දින හයකදීම වැඩ කරනවා කියන එකයි. සතියකට පැය 72ක්. ඇමරිකාවේ හෝ යුරෝපයේ ශ්‍රමිකයන් සතියකට එපමණ පැය ගණනක් වැඩ කරන්නේ නැහැ. නමුත් ඇමරිකාවේ මම දන්නා බොහෝ දෙනෙක් තමන් වැඩ කරන කාලය තුළ මහන්සි වී වැඩ කරනවා. ශ්‍රම කාලය මත පදනම් වූ පිරිවැය සැලකුවහොත් ඇමරිකාවේ ශ්‍රමිකයෙක් සහ ලංකාවේ ශ්‍රමිකයෙක් අතර විශාල වෙනසක් තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. පිරිවැය වෙනසක් තිබෙන්නේ ශ්‍රමයේ වෙළඳපොළ මිල සැලකූ විටයි.

මෙහි යම් ආකාරයක උභතෝකෝටිකයක් දැකිය හැකියි. කිසියම් රටක ශ්‍රමිකයින් ශ්‍රම කාලය පදනම මත වඩා කාර්යක්ෂම වන විට (අනෙක් සියලු තත්ත්වයන් නොවෙනස්ව ඇත්නම්) ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. එවිට ශ්‍රමයේ මිල ඉහළ ගොස් ශ්‍රමයේ පිරිවැයත් ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමයේ වෙළඳපොළ මිල මත කාර්යක්ෂමතාවය නැති වෙනවා. 

රටවල් දෙකක් අතර ආදායම් පරතරය ගොඩක් වැඩිනම්, භෞතික කාර්යක්ෂමතාවය වැඩි කිරීම මගින් ඒ පරතරය පියවා ගන්න අමාරුයි. ඒ නිසා, වැඩි ආදායම් රටවල සිට ශ්‍රම මූලික නිෂ්පාදන කාර්යයන් අඩු ආදායම් රටවලට විතැන් වීම අනිවාර්යයෙන් සිදු විය යුතු දෙයක්. නමුත් මෙවැනි ඕනෑම ස්වභාවික ක්‍රියාවලියක් පාලනය වන කවර හෝ යාන්ත්‍රනද තිබිය යුතුයි. 

නිෂ්පාදනයේදී යොදා ගැනෙන්නේ ශ්‍රමය පමණක් නෙමෙයි. ඒ සඳහා ප්‍රාග්ධනයද අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් පිරිවැය තීරණය වෙන්නේ යෙදවූ ශ්‍රමයේ වෙළඳපොළ මිලට යෙදවූ ප්‍රාග්ධනයේ වෙළඳපොළ මිලත් එකතු වෙලා. රටක ආදායම් මට්ටම ඉහළ යද්දී ප්‍රාග්ධනයේ ආන්තික පිරිවැය පහළ යනවා. මේ හරහා ශ්‍රමයේ පිරිවැය ඉහළ යාමේ අවාසිය අඩු වැඩි වශයෙන් තුලනය කර ගන්න පුළුවන්. ඒ වගේම, යම් සීමාවන්ට යටත්ව ශ්‍රමය වෙනුවට ප්‍රාග්ධනය ආදේශ කරන්න පුළුවන්.

ඇමරිකාව විසින් දිගටම කෘෂිකාර්මික අංශයේ තරඟකාරීත්වය තියා ගත්තේ මේ විදිහටයි. කෘෂිකර්මය ක්‍රමයෙන් කාර්මීකරණය වෙද්දී නිෂ්පාදනයේදී යෙදිය යුතු ශ්‍රම ඒකක ප්‍රමාණය පහළ ගියා. ඒ නිසා, ශ්‍රම ඒකකයක් වෙනුවෙන් ගෙවිය යුතු මිල බොහෝ වැඩි වුනත්, සමස්ත පිරිවැය තරඟකාරී මට්ටමක තිබුණා. අඩු ආදායම් රටවලට මේ පිම්ම පනින්න අවශ්‍ය ප්‍රාග්ධනය නැති නිසා, නිෂ්පාදනයේදී තව දුරටත් වැඩි ශ්‍රම ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වුනා. ඒ නිසා, ශ්‍රමයේ මිල අඩු වීමේ වාසිය ලොකු වාසියක් වුනේ නැහැ.

කෘෂිකාර්මික නිෂ්පාදනය දේශ සීමා වලින් ඔබ්බට විතැන් කළ හැකි වීනම් මේ වැඩේ මේ විදිහට සිදු වෙන්නේ නැහැ. නමුත්, බොහොමයක් අඩු ආදායම්ලාභී රටවල වගා කළ හැකි අතිරික්ත ඉඩම් නොමැති වීම නිසා එවැන්නක් සිදු වීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඉංග්‍රීසින් විසින් ලංකාවට තේ වගාව හඳුන්වා දුන් කාලයේදීනම් මෙවැනි ශක්‍යතාවයක් තිබුණා. 

කෘෂිකාර්මික නිෂ්පාදන හා අදාළව පැවති ඉහත බාධාව කාර්මික නිෂ්පාදන සඳහා අදාළ වූයේ නැහැ. ඒ නිසා, කාර්මික නිෂ්පාදිතය අඩු මිල ශ්‍රමය ඇති තැන් කරා ටිකෙන් ටික විතැන් වුනා. එයින් අදහස් වුනේ ඒ තැන් භෞතික පදනමකින් වඩා කාර්යක්ෂම වූ බව නෙමෙයි. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. කාර්යක්ෂමතා වෙනසට හේතු වුනේ ශ්‍රමයේ මිල වෙනසයි. ශ්‍රමයේ මිල වෙනසට හේතු වුනේ රටවල් අතර ආදායම් වෙනසයි.

මේ ආකාරයෙන් නිෂ්පාදනය වැඩි ආදායම් රටවල සිට අඩු ආදායම් රටවල් දක්වා විතැන් වෙද්දී  වැඩි ආදායම් රටවල ශ්‍රමය නිදහස් වෙනවා. එසේ නිදහස් වන ශ්‍රමය උකහා ගත හැකි වෙනත් යාන්ත්‍රණයක් නැත්නම්, ශ්‍රම සැපයුම ඉහළ ගොස් ශ්‍රමයේ මිල අඩු වී නිෂ්පාදනය විතැන් වීම සීමා වෙනවා. නමුත් ඇමරිකාව වැනි රටවල මේ ආකාරයෙන් නිදහස් වන ශ්‍රමය සේවා අංශ විසින් උකහා ගත්තා. නිෂ්පාදනය සහ පරිභෝජනය එක වර සිදු වන නිසා සේවා ආනයනය කිරීමේ තාක්ෂණික හැකියාවක් මුල් කාලයේදී තිබුණේ නැහැ. දැන්නම් ඒ තත්ත්වය වෙනස් වෙලා සහ තව දුරටත් වෙනස් වෙමින් තිබෙනවා.

අඩු හා වැඩි ආදායම් රටවල සේවා නිෂ්පාදන සඳහා යොදවන ශ්‍රමයේ විශාල මිල වෙනසක් තිබුණත් කෘෂිකාර්මික හා කාර්මික භාණ්ඩ වලට මෙන් සේවා නිෂ්පාදන වලට බාහිර තරඟය විශාල තර්ජනයක් වුනේ නැහැ. තාක්ෂණයේ දියුණුව නිසා දැන් මේ තත්ත්වය වෙනස් වී තිබුණත්, දැනට වුනත් සේවා අංශ වලට තිබෙන ලොකුම තර්ජනය බාහිර තරඟය නෙමෙයි. කෘතීම බුද්ධියේ දියුණුව වැනි හේතු නිසා සංවෘත පද්ධතිය ඇතුළේම  ප්‍රශ්නයක් පිළිසිඳ ගෙන වැඩෙමින් තිබෙනවා. 

බටහිර රටවල අවම වැටුප් නීති, අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම වැනි ප්‍රතිපත්ති නිසාත් කාර්මික නිෂ්පාදන අඩු ආදායම් රටවලට විතැන් වීම ප්‍රවර්ධනය වුනා. මේ එක්ක අඩු ආදායම්ලාභී රටවලට ප්‍රාග්ධනය ගලා යාමද ප්‍රවර්ධනය වුනා. මෙසේ නිෂ්පාදන විතැන් වීම සහ ප්‍රාග්ධනය වැඩි ප්‍රතිලාභ ඇති තැන් වලට ගලා යාම ආර්ථික විද්‍යා අර්ථයකින් බැලුවොත් පැහැදිලි ලෙසම කාර්යක්ෂමයි. ආර්ථික විද්‍යාවේදී කාර්යක්ෂමතාවය අර්ථ දක්වන විට දේශ සීමා බෙදීම් සැලකිල්ලට ගැනෙන්නේ නැහැ. ඒ වගේම, ආර්ථික කාර්යක්ෂමතාවය ඉහළ යාම රටක නිරපේක්ෂ වර්ධනයට මිස සාපේක්ෂ වර්ධනයට හේතු වීම අනිවාර්ය කරුණක් නෙමෙයි. 

නමුත් බොහෝ විට රටක ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී සාපේක්ෂ වර්ධනය කෙරෙහි අවධානය යොමු කෙරෙනවා. ඊට හේතුව බොහෝ දෙනෙකු විසින් රටක දියුණුව සේ සලකන්නේ අනෙක් රටවලට සාපේක්ෂව තමන්ගේ රටේ ස්ථානය වීමයි.

මතු සම්බන්ධයි.

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (පළමු කොටස)


අපි අපට සංයුක්ත ලෙස නිරීක්ෂණය කළ හැකි දේවල් ඒ විදිහට සිදු වෙන්නේ ඇයි කියන එක පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වියුක්ත ආකෘති හදා ගන්නවා. නමුත් මේ ආකෘති කියන්නේ ඇත්තටම සිදු වන දෙය නෙමෙයි. යම් උපකල්පිත තත්ත්වයන් යටතේ සිදු විය හැකි දේ. හොඳ ආකෘතියක් කියන්නේ බොහෝ ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අපගේ නිරීක්ෂණ සමඟ ගැලපෙන ආකෘතියක්. මෙය ඕනෑම විද්‍යාවකට පොදු කරුණක්. 

බොහෝ විට, ශුද්ධ විද්‍යා ආකෘතියක් මගින් විස්තර කෙරෙන තත්ත්වයන් අප‍ට සාමාන්‍ය තත්වයන් යටතේ නිරීක්ෂණය කළ හැකි දේවල් සමඟ පහසුවෙන් ගලපා ගන්න පුළුවන්. ඒ ආකෘති වල විචල්‍යයන් අතර සම්බන්ධය සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැහැ. නමුත් සමාජ විද්‍යා ආකෘති සම්බන්ධව තත්ත්වය තරමක් වෙනස්. අප‍ට නිරීක්ෂණය කළ හැකි තරම් කෙටි කාලාන්තර ඇතුළත විචල්‍යයන් අතර සම්බන්ධය වෙනස් වෙනවා. එවිට ආකෘතියක වලංගුතාවය නැති වී යන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා ආකෘතියකින් කරන්නේ පවතින තත්ත්වය විස්තර කරන එක. පවතින තත්ත්වය වෙනස් කිරීම දේශපාලනය. දේශපාලනය හරහා සමාජයක පවතින තත්ත්වය වෙනස් කෙරෙද්දී ආර්ථික විචල්‍යයන් අතර සම්බන්ධතා වල ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. එවිට එතෙක් හොඳින් "වැඩ කළ" ආර්ථික විද්‍යා ආකෘතියක් ඒ විදිහටම වැඩ නොකරන්න පුළුවන්.

මේ වගේ අවස්ථාවකදී ආකෘතිය ඇත්තක් සේ සලකමින් සමාජයේ සිදු වන දෙය සිදු නොවිය යුතු, "වැරදි" දෙයක් කියා අපට කියන්න බැහැ. හරි වැරදි සෙවීම දේශපාලනයේ වපසරියට අයිති දෙයක්. දේශපාලනය හරහා සමාජය වෙනස් වෙනවානම්, ඒ වෙනස් වීම් වලින් පසුව කලින් වැඩ කළ ආකෘති තව දුරටත් සාර්ථකව වැඩ කරන්නේ නැත්නම්, කළ යුත්තේ ආකෘති වෙනස් කර ගන්න එක. එහෙම නැත්නම් අලුත්ම ආකෘති හදා ගන්න එක. 

සමාජයීය විචල්‍යයන් අතර සම්බන්ධතා වල ස්වරූපය වෙනස් වෙන්නේ දේශපාලනික වෙනස්කම් නිසා පමණක් නෙමෙයි. තාක්ෂනය වෙනස් වීම නිසාත් එම සම්බන්ධතා වල ස්වරූපය විශාල ලෙස වෙනස් වෙනවා. හැබැයි එයින් අදහස් වෙන්නේ මේ ආකෘති වලින් වැඩක් නැහැ කියන එක නෙමෙයි. ආකෘති බොහොමයක් විවිධ හා වෙනස් වන තත්ත්වයන් යටතේත් හොඳින් වැඩ කරනවා. ඒ තත්ත්වයේ වෙනසක් වෙන්නනම් එක්කෝ විශාල දේශපාලනික වෙනසක් විය යුතුයි. එහෙම නැත්නම් තාක්ෂනයේ විශාල වෙනසක් සිදු විය යුතුයි.

ප්‍රායෝගිකව තනි පුද්ගලයකුට සමාජය විශාල ලෙස වෙනස් කරන්න බැහැ. අප බොහෝ දෙනෙකු ජීවත් වන්නේ "දෙන ලද" සමාජයක. එවැනි සමාජයක අන්තර් සම්බන්ධතා තේරුම් ගත හැකි හොඳ ආකෘති තිබෙනවා. මේ ආකෘති වල උදවුවෙන් තනි පුද්ගලයෙකුට, ආයතනයකට හෝ රටකට වඩා හොඳ තීරණ ගන්න පුළුවන්.

කවුරු හෝ කෙනෙක් ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් කරනවානම් ඒ ක්‍රීඩාවේ නීති පිළිපදින්න වෙනවා. මේ නීති තමන්ට අභිමත පරිදි වෙනස් කරන්න බැහැ. නමුත් මේ නීති වෙනස් නොවෙන, ස්ථිර නීති නෙමෙයි. වරින් වර මේ නීති වෙනස් වෙනවා. ඇත්තටම කිවුවොත් වෙනස් කරනවා. එසේ කරන්නේ කිසියම් බලාධිකාරයක් විසින්. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය. ඒ බලාධිකාරියේ කොටසක් විය හැක්කේ පවතින නීති යටතේ ක්‍රීඩා කර උඩට එන කෙනෙකුට පමණයි. හරි වුනත්, වැරදි වුනත්, සාමාන්‍ය ලෝක ස්වභාවය ඕක තමයි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජිකත්වය ගන්න බැරි රටකට ක්‍රිකට් නීති වෙනස් කරන එක ගැන හිතන්න බැහැ. යම් හෙයකින් හිතුමතේට එවැනි වෙනසක් කළා කියලා වෙනත් කිසිවෙක් ඒ වෙනස පිළිගන්නේ නැහැ. ඒ රටේ ක්‍රිකට් තව දුරටත් ක්‍රිකට් නොවන එකයි අන්තිමට වෙන්නේ. නමුත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන රටක් යම් වෙනසක් යෝජනා කළොත් එය අලුත් සම්මතයක් වෙන්න පුළුවන්. එවැන්නක් වැළැක්විය හැක්කේත් කවුන්සලයේ රටකටම පමණයි. 

ජාත්‍යන්තර වෙළඳාම ගැන කියන්න තියෙන්නෙත් ඔය කතාවමයි. ලංකාව වගේ රටකට තියෙන නීති වලට අනුව ක්‍රීඩා කරනවා මිසක් නීති වෙනස් කරන එක ගැන හිතන්න බැහැ. නමුත් ඇමරිකාවේ ආණ්ඩුවට ක්‍රීඩාවේ නීති වෙනස් කරන්න පුළුවන්. එහෙම කරන්න උත්සාහ කරද්දී ලංකාව වගේ රටකට අඩු වශයෙන් විරුද්ධ වෙන්නවත් බැහැ. එහෙම කරන්න පුළුවන් "කවුන්සලය" ඇතුළේ ඉන්න චීනය වගේ රටවල් වලට පමණයි. 

ජාත්‍යන්තර වෙළඳ ක්‍රීඩාවේ නීති කාලයක් තිස්සේ වරින් වර වෙනස් වී තිබෙනවා. ඒ වෙනස්කම් සිදු කර තිබෙන්නේ හොඳින් ක්‍රීඩා කරන රටවල් විසින්. ඇමරිකාව වගේ රටකට තනිව වුවත් ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයේ විශාල පරිවර්තනයක් කරන්න පුළුවන්. 

සමහර සමාජ පරිවර්තන යම් නිශ්චිත පුද්ගලයෙක් විසින් යම් නිශ්චිත මොහොතක කරනවා. මෙවැනි අවස්ථාවක් දෙස මතු පිටින් බලා විග්‍රහ කරන කෙනෙක් අදාල පරිවර්තනය තනි පුද්ගලයෙකුගේ කාර්යයක් සේ සලකන්න පුළුවන්. නමුත් සමාජ පරිවර්තනයක් වෙන්නේ ඒ සඳහා අවශ්‍ය වාස්තවික තත්ත්වයන් තුළයි. වාස්තවික තත්ත්වයන් අනුව යම් සමාජ පරිවර්තනයක් සිදුවීමට ඉඩ ඇත්නම්, වෙනත් පුද්ගලයෙක් අතින්, ආසන්න වෙනත් අවස්ථාවක හෝ ඒ පරිවර්තනය සිදු වෙන්න විශාල ඉඩක් තිබෙනවා. මේ වෙලාවේ ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයේ සිදු වන්නේද එවැනි දෙයක්.

මේ සිදු වන දේවල් සිදු වන්නේ කිසිසේත්ම තනි පුද්ගලයෙක් නිසා නෙමෙයි. තනි පුද්ගලයෙක්ගේ තීරණ හරහා දැන හෝ නොදැන සිදු වන්නේ කොහොමටත් සිදු විය හැකිව තිබුණු පරිවර්තනයක්. ඒ පරිවර්තනය සිදු වීමට ප්‍රබල හේතු කිහිපයක්ම තිබෙනවා. 

සියවස් ගණනාවක් තිස්සේ ලෝකයේ රටවල් අතර ගනුදෙනු සිදු වුනා. නමුත් ඒ මුළු ඉතිහාසය තුළම ජාත්‍යන්තර වෙළඳ පරිමාව පැවතුනේ අද මට්ටමට වඩා ගොඩක් අඩු මට්ටමකයි. 1800 වන විට ලෝක වෙළඳ පරිමාව පැවතුණේ සමස්ත ලෝක නිෂ්පාදිතයෙන් 2%-3% අතර මට්ටමකයි. වාණිජ කෘෂිකර්මය ව්‍යාප්ත වීම, කාර්මික විප්ලවය ආදිය එක්ක, පළමු ලෝක යුද්ධය ආසන්න කාලයේදී මෙම පරිමාව 30% ආසන්න මට්ටමකට ඉහළ ගියත්, ඉන් පසුව, දෙවන ලෝක යුද්ධ කාලය තෙක් දැකිය හැකි වූයේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ක්‍රමයෙන් අඩු වීමක්. 

දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රෙටන් වුඩ් යුගය ඇරඹුනා. නික්සන් කම්පනයෙන් බ්‍රෙටන් වුඩ් යුගය අවසන් වී ෆියට් මුදල් යුගය ආරම්භ වුනා. ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඉතිහාසයේ කිසිදු කලෙක නොපැවති මට්ටමකට ඉහළ ගියේ මෙම ෆියට් මුදල් යුගය තුළයි. 

ලෝකයට නික්සන් කම්පන ප්‍රතිකාරය ලැබුණු 1971 වන විට ජාත්‍යන්තර වෙළඳ පරිමාව පැවතුණේ ලෝක නිෂ්පාදිතයෙන් 20%කට ආසන්නයි. 2008 මහා ආර්ථික පසු බැසීම සිදු වන විට මෙම පරිමාව 60% ඉක්මවා අවසන්. ඊට පෙර, ඉතිහාසයේ කිසිම යුගයක ජාත්‍යන්තර වෙළඳ පරිමාව ලෝක නිෂ්පාදිතයෙන් 30% සීමාවෙන් එහාට ගොස් තිබුණේ නැහැ. ඒ නිසාම, ෆියට් මුදල් ක්‍රමය පිළිබඳ කවර විවේචන තිබුණේ වුවද, ජාත්‍යන්තර වෙළඳාම විශාල ලෙස ව්‍යාප්ත වූයේ ෆියට් මුදල් ක්‍රමය හඳුන්වා දෙනු ලැබූ නික්සන් කම්පනයෙන් පසුවයි. ජාත්‍යන්තර වෙළඳාමේ මෙම "ස්වර්ණමය යුගය" හා සැසඳිය හැකි වෙනත් "ප්ලැටිනම් යුග" ඉතිහාසයෙන් හමු වන්නේ නැහැ. 

නික්සන් කම්පනයෙන් ආරම්භ වූ ජාත්‍යන්තර වෙළඳාමේ ස්වර්ණමය යුගය ට්‍රම්ප් කම්පනය නිසා අවසන් වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, 2008 මහා ආර්ථික පසු බැසීමෙන් පසුව මෙම යුගය කලකට පෙරම අවසන්ව තිබෙනවා. ඉන් පසු එළැඹුණු දශක එකහමාරක කාලය තුළ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රගතිය 60% සීමාව ආසන්නයේ එක තැන පල් වෙමින් තිබෙනවා. නික්සන් කම්පනයට පෙර දශක දෙකකට වැඩි කාලය තුළද මේ අයුරින්ම ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රගතිය 20% සීමාව ආසන්නයේ එක තැන පල් වෙමින් පැවතුණා. ඒ තත්ත්වය වෙනස් වුනේ නික්සන් කම්පනයෙන් පසුවයි. 

අපනයන ප්‍රමුඛ ආර්ථිකයන් පවත්වා ගැනීම මගින් ලෝකයේ ඇතැම් රටවල් වේගවත් වර්ධනයක් ලබා ගත්තේ ජාත්‍යන්තර වෙළඳාමේ ස්වර්ණමය යුගය වූ ෆියට් මුදල් යුගය තුළයි. ඊට පෙර, බ්‍රෙටන් වුඩ් යුගයේදීද ඇතැම් ආර්ථිකයන් වේගයෙන් වර්ධනය වුවත්, එහිදී සිදු වුනේ ලොකු සහෝදරයාගේ උදවුවෙන් ගොඩ යාමක් මිසක් පවතින ක්‍රමයට අනුවර්තනය වී ගොඩයාමක් නෙමෙයි. ලංකාව මේ අවස්ථාව මග හැර ගත්තා. 1977දී සිදු වූ සාපේක්ෂ විවෘත වීමෙහි වාසිදායක ප්‍රතිඵලයක් දැකිය හැකි වුවත්, එසේ ආරම්භ කළ ක්‍රියාදාමයේ සැලකිය යුතු ප්‍රගතියක් ඉන් පසුව දැකිය හැකි වූයේ නැහැ. අවාසනාවකට මෙන් ලංකාව දැන් මේ මාර්ගය දෙස හැරී බලන්නේ මාර්ගය වැසී දශක එකහමාරකට පමණ පසුවයි. එහෙත්, තවමත් ඊට වඩා හොඳ විකල්පයක් ඇත්තේද නැහැ. 

මහා ආර්ථික පසු බැසීමෙන් පසු දශක එකහමාරක පමණ කාලය තුළ ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රගතිය එක තැන පල් වෙමින් තිබෙනවා. එවැනි අවස්ථාවකදී ජාත්‍යන්තර වෙළඳ ක්‍රමයට කිසියම් අලුත් කම්පනයක් අවශ්‍ය වෙනවා. එවැනි කම්පනයක් ලබා දිය හැක්කේ ඇමරිකාව වැනි ප්‍රමුඛ ආර්ථිකයකටයි. අවශ්‍ය වන කම්පනය කුමක්ද කියා ආර්ථික විද්‍යා ආකෘති වලින් නිගමනය කරන්න බැහැ. ආර්ථික විද්‍යා ආකෘති වලින් කරන්නේ පවතින තත්ත්වය විග්‍රහ කිරීමයි. පවතින තත්ත්වය වෙනස් කිරීම දේශපාලනික කටයුත්තක්. දේශපාලනික කටයුතු වලදී පරිකල්පනය මත පදනම්ව සහ උපාය මාර්ගිකව සිතමින් අවදානමක් ගන්නට සිදු වෙනවා. 

ප්‍රබලයා විසින් බොහෝ විට නීති වෙනස් කරන්නේ තමන්ගේ වාසියට මිස සාධාරණත්වය අනුව නෙමෙයි. සාධාරණත්වය යන වචනය ඉදිරියට දැම්මත් එය අර්ථ දක්වනු ලබන්නේ තමන්ට අවශ්‍ය ආකාරයටයි. නීති වෙනස් කිරීමේ බලයක් නොමැති දුර්වල අයට එයින් අවාසියක් සිදු විය හැකි වුවත්, ඊට එරෙහිව කළ හැක්කක් නැහැ. කළ හැක්කේ පවතින අලුත් තත්ත්වය විග්‍රහ කරගනිමින් උපාය මාර්ගිකව කටයුතු කිරීම පමණයි.

මතු සම්බන්ධයි.

Friday, April 11, 2025

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!

 


මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් දකින්නට තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වසරකදී සිංහල අලුත් අවුරුද්දට පෙර එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් දැකිය හැකියි. එහෙත්, මෙවර ලැබී ඇති ඩොලර් මිලියන 693.3ක මුදල මාර්තු මාසයකදී වුවද ලැබී ඇති වැඩිම ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයයි.

මීට පෙර 2018 මාර්තු මාසයේදී ඩොලර් මිලියන 677.7ක මුදලක් වාර්තා වී තිබුණා. මෙවර ලැබී ඇති මුදල එම ප්‍රමාණය ඉක්මවා යනවා. කෙසේ වුවත්, වසරේ පළමු මාස තුනම සැලකූ විට, මෙවර ලැබී තිබෙන ඩොලර් මිලියන 1,814.4ක මුදල 2018 පළමු මාස තුනේදී ලැබුණු ඩොලර් මිලියන 1,978.6ක මුදලට මෙන්ම ආර්ථික අර්බුදයට පෙර 2021 පළමු මාස තුනේදී ලැබුණු ඩොලර් මිලියන 1,867.1ක මුදලටද වඩා අඩුයි. 

ඉහළ ගිය ශ්‍රමික ප්‍රේෂණ වල උදවුවෙන් මාර්තු මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 401.9ක මුදලක් වෙළඳපොළෙන් මිල දී ගැනීමට සමත්ව තිබෙනවා. අපනයන ආදායම් පිළිබඳව දැනට ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය හමුවේ ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙමින් තිබීම සුබදායී තත්ත්වයක්. 

Thursday, April 10, 2025

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?


ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු ගහන නිසා මේ වගේ දෙයක් කරන්න සිදු වුනු බව ජනාධිපති ට්‍රම්ප් විසින් කිවුවත්, ඇත්තටම බදු ලෙස සලකා තිබුණේ වෙළඳ හිඟය. ඉලක්ක කර තිබුණේ වෙළඳ හිඟය අඩු කර ගැනීම. එක් එක් රට සඳහා බද්ද නිර්ණය කර තිබුණේ වෙළඳ හිඟය අඩු කර ගැනීමේ ඉලක්කය මත පදනම්වයි. 

දැන් දින 90කට යම් බදු අත්හිටවීමක් කර තිබුණත්, එම දින 90 ගත වූ පසු නැවත කලින් හිටපු තැනට පැමිණීමේ ඉඩක් නැහැ. ඒ වගේම, බදු අත් හිටවීම බලපාන්නේ රටවල් සීමිත ප්‍රමාණයකට පමණයි. ලංකාවත් ඒ ගොඩේ ඉන්නවා. වැඩි බදු අත් හිටවා තිබුණත් 10%ක අවම බද්දක්‌ දැනටත් ක්‍රියාත්මකව තිබෙනවා. 

කැනඩාවට, මෙක්සිකෝවට සහ චීනයට (20%ක්) මුල් වටයේදී බදු පැනවූවා. කැනඩාවට හා මෙක්සිකෝවට පනවා තිබෙන බදු වෙළඳ ගිවිසුමකින් (USMCA) ආවරණය වන භාණ්ඩ වලට අදාළ වන්නේ නැහැ. චීනයට දෙවන වටයේදී තවත් 34%ක බද්දක් පැනවුවා. මේ වන විට චීන භාණ්ඩ මත අය කරන බද්ද 125% දක්වා වැඩි කර තිබෙනවා. 

පහත තිබෙන්නේ ලෝක බැංකු දත්ත අනුව විවිධ රටවල් විසින් ආනයන මත අය කරන බරිත සාමාන්‍ය බදු ප්‍රතිශතයි. මේවා 2022 දත්ත නිසා ඇතැම් රටවල මෙම ප්‍රතිශත මේ වෙද්දී වෙනස් වෙලා තියෙන්න පුළුවන්. වරහන් තුළ තිබෙන්නේ මේ එක් එක් රටට ඇමරිකාව විසින් පළමු වට දෙකේදී පැනවූ අමතර බදු ප්‍රමාණය. 

ඇමරිකා එක්සත් ජනපදය - 1.5%

එක්සත් රාජධානිය - 1.0% (10%)

යුරෝපීය සංගමය - 1.3% (20%)

ජපානය - 1.6% (24%)

වියට්නාමය - 1.1% (46%)

චීනය - 2.2% (20% + 34%)

කැනඩාව - 1.4% (25%*)

මෙක්සිකෝව - 1.6% (25%*)

ඉන්දියාව - 4.6% (26%)

බංග්ලා දේශය - 10.6% (37%)

පකිස්ථානය - 7.6% (29%)

මියන්මාරය - 0.8% (45%)

නේපාලය - 11.2% (10%)

ආජන්ටිනාව - 6.5% (10%)

බ්‍රසීලය - 7.3% (10%)

සිංගප්පූරුව - 0.0% (10%)

ශ්‍රී ලංකාව - 4.4% (44%)

තායිලන්තය - 3.7% (36%)

ඉහත දත්ත දෙස බැලූ විට පෙනෙන්නේ තීරු බදු අනුපාතික සහ වෙළඳ ශේෂය මත පදනම්ව පනවා ඇති අමතර බදු අතර කිසිදු නිශ්චිත සම්බන්ධයක් නොමැති බවයි. 10%ක අමතර බද්දක් එකතු වීමෙන් පසුව ඇමරිකාවේ තීරු බදු අනුපාතය ලෝකයේ රටවල් බොහොමයක සාමාන්‍ය තීරු බදු අනුපාතික ඉක්මවා යනවා. ඒ නිසා, ද්විපාර්ශ්වික සාකච්ඡා මගින් එකඟතාවයක් ඇති කර ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. 

ඉහත දත්ත වල ලංකාවේ බදු අනුපාතය 4.4% ලෙස සඳහන්ව තිබෙන්නේ 2022 දත්ත මත පදනම්වයි. පසුගිය 2024 වසරේදී ලංකාවේ තීරු බදු ආදායම රුපියල් බිලියන 111.1ක් වන අතර, ජාත්‍යන්තර වෙළඳාම මත පදනම් වූ මුළු බදු ආදායම රුපියල් බිලියන 400.1ක්. රුපියල් බිලියන 5,685.5ක මුළු ආනයන ප්‍රමාණයේ ප්‍රතිශත ලෙස මෙම බදු ප්‍රමාණ පිළිවෙළින් 2.0%ක් සහ 7.0%ක් වෙනවා. දෙවන ගණන තුළ අපනයන මත අය කරන බදුද ඇතුළත්ව තිබෙන බැවින් ආනයන මත අය කරන බදු ප්‍රමාණය ඊට වඩා අඩු විය යුතුයි. 

ආනයන මත ලංකාව විසින් අය කරන බදු අනුපාතය 0% දක්වා අඩු කළද වෙළඳ ශේෂය තුලනය වීමේ කිසිදු ඉඩක් නැහැ. අනෙකුත් රටවල් මත ඉහළ තීරු බදු අය කරන අතර, ඇමරිකාව මත එසේ බදු අය නොකරන්නේනම් පමණක් ඇමරිකාව සමඟ පවතින ද්විපාර්ශ්වීය වෙළඳ හිඟය අඩු කර ගත හැකි වනු ඇතත් එයද කිසිසේත්ම ප්‍රායෝගික අදහසක් නෙමෙයි.

Wednesday, April 9, 2025

බිල්පත් වෙන්දේසිය මුළුමනින්ම අසාර්ථකයි!

 


අද (අප්‍රේල් 9) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් රජය විසින් මිල දී ගැනීමට සමත්ව තිබෙන්නේ රුපියල් බිලියන 3.75ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. වෙන්දේසියට රුපියල් බිලියන 80ක බිල්පත් ඉදිරිපත් කර තිබුණා. 

රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම ඇතුළු කවර හෝ හේතු නිසා සති තුනක පමණ සිට පොලී අනුපාතික මත පීඩනය ඉහළ යමින් පැවති බව අප විසින් පෙර සටහනක පෙන්වා දුන්නා. ඇමරිකාව විසින් තීරු බදු වැඩි කිරීමෙන් පසුව ඇති වී තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ දැන් ඉහත තත්ත්වය ඔඩු දුවමින් තිබෙනවා.

පසුගිය වසර තුළ ආර්ථිකය ඉලක්ක මට්ටමට වඩා වර්ධනය වූ අතර උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩු වුනා. එහෙත් පොලී අනුපාතික ඉලක්ක මට්ටමට අඩු නොවූ බැවින් ඉහත යහපත් වර්ධනයන් නිසා රටේ ණය තිරසාරත්වයට ඇති වූ සාධනීය බලපෑමෙන් සැලකිය යුතු කොටසක් නිශේධනය වී ඇති බව මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී තිබුණා.

ප්‍රාථමික අයවැය අතිරික්තය ඉලක්ක මට්ටමේ තබා ගත්තේ වුවද, පොලී අනුපාතික ඉලක්ක මට්ටමේ රඳවා ගත නොහැකිනම්, සමස්ත අයවැය හිඟය ඉලක්ක මට්ටම ඉක්මවා යාම හේතුවෙන් ණය තිරසාරත්වය අවදානමට ලක් වෙනවා. 

සිංහල අලුත් අවුරුද්දට පෙර මුදල් ඉල්ලුම ඉහළ යාමේ බලපෑමද මෙහි තිබෙනවා විය හැකි බැවින් ඇතැම් විට මේ තත්ත්වය සිංහල අවුරුදු සතියෙන් පසුව යහපත් අතට හැරෙන්නට පුළුවන්. ඒ වන විට තීරු බදු යුද්ධයද යම් සමතුලිතතාවයකට පැමිණ තිබිය හැකියි. ඉන් පසුවද මේ තත්ත්වයේ වෙනසක් සිදු නොවුවහොත් එය ප්‍රශ්නයක්. 

Tuesday, April 8, 2025

සංගණන ප්‍රතිඵල සහ ඒක පුද්ගල ආදායම


පසුගිය වසර අවසානයේදී පැවති ජන හා නිවාස සංගණනයේ ප්රතිඵල අනුව 2024 දෙසැම්බර් 19 දිනය උදා වන මොහොතේ (එනම් 2024 දෙසැම්බර් 18 මධ්‍යම රාත්‍රිය පසු වූ මොහොතේ) ලංකාවේ ජනගහණය  21,763,170ක් ලෙස ගණනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි සංගණනයක් පවත්වන්නේ වසර 10කට පමණ කාලාන්තරයකට පසුවයි. මීට පෙර මෙවැනි සංගණනයක් පැවැත්වූයේ 2012 මාර්තු 20 දිනයි (2012 මාර්තු 19 මධ්‍යම රාත්‍රිය පසු වූ මොහොතේ). ඒ වන විට ලංකාවේ ජනගහණය 20,359,439ක්.

අන්තර් සංගණන වර්ෂ වලදී රටේ ජනගහණය ඇස්තමේන්තු කරන්නේ උපත් හා මරණ ලියාපදිංචි කිරීම් සහ ශුද්ධ විදේශගත වීම් සැලකිල්ලට ගනිමිනුයි. මේ අනුව, උපත් හා ආගමන ප්‍රමාණයෙන් මරණ හා විගමන ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන පිළිතුර ජනගහණයේ වෙනස සේ සැලකෙනවා. එහෙත් මෙම නිල සංඛ්‍යාලේඛණ සියයට සියයක්ම නිවැරදි නොවන නිසා වසර දහයක් පමණ ගොස් සංගණනයක් කළ විට දැන ගන්නට ලැබෙන රටේ සැබෑ ජනගහණයේ ප්‍රමාණය ඉහත ඇස්තමේන්තුවට හරියටම සමාන වන්නේ නැහැ.

සංගණන ප්‍රතිඵල නිකුත් වීමට පෙර සකස් කර තිබුණු ඇස්තමේන්තු අනුව 2024 වසර මැද ලංකාවේ ජනගහණය ආසන්නව 21,916,000ක්. එහෙත්, සංගණන ප්‍රතිඵල අනුව පෙනී යන්නේ ජනගහණය ඊට වඩා ලක්ෂ එක හමාරකින් පමණ අඩු බවයි. මෙය 0.7%ක පමණ අඩුවක්. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,516ක් සේ ගණනය කර තිබුණේ ජනගහණය 21,916,000ක් යන පදනම මතයි. රටේ ජනගහණය 21,763,170ක් සේ සැලකුවහොත්, ඒක පුද්ගල ආදායම ඩොලර් 4,548ක් පමණ විය යුතුයි. 

ප්‍රාථමික අයවැය ශේෂය - 2024


මහ බැංකුවේ නිල දත්ත අනුව, පසුගිය (2024) වසර අවසන් වන විට ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 649.6 දක්වා අඩු වී තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.9ක්ව පැවති අතර නොවැම්බර් මාසය අවසානයේදී රුපියල් බිලියන 927.9ක්ව පැවතුනා. මේ අනුව පෙනී යන්නේ වසරේ අවසන් මාසය තුළ ප්‍රාථමික අයවැය ශේෂය සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවයි. 

පළමු මාස නවයේ තත්ත්වය 

ආදායම - රුපියල් බිලියන 2927.8

වියදම (ණය හා පොලී ගෙවීම් හැර) - රුපියල් බිලියන 2142.9

අතිරික්තය - රුපියල් බිලියන 784.9


අවසන් මාස තුනේ තත්ත්වය 

ආදායම - රුපියල් බිලියන 1163.0

වියදම (ණය හා පොලී ගෙවීම් හැර) - රුපියල් බිලියන 1298.3

හිඟය - රුපියල් බිලියන 135.3


මාස දොළහේම තත්ත්වය 

ආදායම - රුපියල් බිලියන 4090.8

වියදම (ණය හා පොලී ගෙවීම් හැර) - රුපියල් බිලියන 3441.2

අතිරික්තය - රුපියල් බිලියන 649.6


පොලී ගෙවීම්ද ඇතුළුව වසරේ මුළු රාජ්‍ය වියදම රුපියල් බිලියන 6130.7ක් වන අතර, ඒ අනුව 2024 සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 2,029.9ක්. එයින් රුපියල් බිලියන 333.2ක් විදේශ ණය වලින් පියවා ඇති අතර ඉතිරි කොටස දේශීය ණය වලින් පියවා තිබෙනවා.

පසුගිය සති කිහිපය ඇතුළත නැවතත් දේශීය ණය ලබා ගැනීම අසීරු වී ඇති ආකාරය දැකිය හැකියි. මාර්තු 19 දින පැවති වෙන්දේසියේදී, පෙර මාස හයක පමණ කාලය තුළදී මෙන්ම, වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 143ක බිල්පත් ප්‍රමාණය විකුණා ගත හැකි වුවත්, ඉන් පසුව එම තත්ත්වය වෙනස් වී තිබෙනවා. මාර්තු 26 දින රුපියල් බිලියන 100ක බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළත්, පෙර සතියේ පැවති පොලී අනුපාතික යටතේ විකිණිය හැකි වූයේ රුපියල් බිලියන 73.4ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. ඉන් පසුව, අප්‍රේල් 2 දින පැවති වෙන්දේසියට රුපියල් බිලියන 140ක් ඉදිරිපත් කර පොලී අනුපාතික සුළු වශයෙන් ඉහළ යාමට ඉඩ දීමෙන් පසුවද විකිණිය හැකිව තිබෙන්නේ රුපියල් බිලියන 78.0ක බිල්පත් ප්‍රමාණයක් පමණයි.

පසුගිය වසර තුළ රාජ්‍ය ආදායමට සාපේක්ෂව වියදම් දැඩි ලෙස සීමා කරමින් සහ අවශ්‍ය ප්‍රමාණයට වඩා ණය ලබා ගනිමින් මුදල් සංචිතයක් හදා ගැනීමට රජය සමත් වුනා. මේ වෙද්දී එම සංචිතය අවසන් වී හෝ අවසන් වෙමින් තිබෙනවා විය හැකියි. හෙට (අප්‍රේල් 9) වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙන්නේ රුපියල් බිලියන 80ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. එම වෙන්දේසියේ ප්‍රතිඵල දෙස විමසිල්ලෙන් බලා සිටිය යුතුයි. 

පසුගිය දෙසතියේ ප්‍රවණතා දෙස බැලූ විට නැවතත් පොලී අනුපාතික මත පීඩනය වැඩි වෙමින් තිබෙන ආකාරය පැහැදිලිව දැකිය හැකියි. එයින් පිළිබිඹු වන්නේ රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය ඉහළ යාම පිළිබඳ වෙළඳපොළ අපේක්ෂාවයි. මෙය පසුගිය වසර අවසන් වෙද්දී පැවති තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක්. 

Monday, April 7, 2025

නිල විදේශ සංචිත - 2025 මාර්තු


මාර්තු මාසය අවසානයේදී නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,517 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය (2024) ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,472 මට්ටමේ පැවතුණත්, 2025 ජනවාරි මාසය වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 6,086 දක්වා පහත වැටුනා. ඊට හේතුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගෙවන්නට සිදු වූ මුදල විය හැකියි. කෙසේ වුවද, දැන් නැවතත් ඩොලර් බිලියන 6.5 සීමාවෙන් ඉහළට විදේශ සංචිත ගොඩ නැගී තිබෙනවා. මූල්‍ය අරමුදලේ සිවුවන වාරිකය ලැබීම ඊට ප්‍රධාන හේතුව විය හැකියි. 

මේ අයුරින් රටේ නිල විදේශ සංචිත ක්‍රමයෙන් ගොඩ නැගෙමින් තිබියදී ඇමරිකාව විසින් තීරු බදු ඉහළ දැමීම ලංකාවට විශාල අභියෝගයක්. සම්ප්‍රදායික තීරු බදු යුද්ධයකදීනම් මෙවැනි තත්ත්වයක් හමුවේ තීරු බදු අඩු කිරීම මගින් ප්‍රශ්නය විසඳා ගත හැකිව තිබුණත්, මෙවර ඇමරිකාව විසින් සිදු කර තිබෙන්නේ සම්ප්‍රදායික තීරු බදු යුද්ධයක් ඇරඹීම නෙමෙයි. මෙය ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය සහ ජාත්‍යන්තර ගෙවුම් පියවුම් ක්‍රමය මුළුමනින්ම වෙනස් කරන්නට ඉඩ තිබෙන වෙනස්ම ප්‍රවේශයක්. එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ට දරුණු බලපෑමක් කරනවා. 

ඇමරිකාවේ "ප්‍රහාරය" හමුවේ ලෝකයේ බොහොමයක් රටවල් විසින් "ප්‍රතිප්‍රහාර දීම" වෙනුවට  "යටත් වීම" තෝරා ගෙන ඇති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. බොහොමයක් රටවල් විසින් තමන්ගේ පැත්තෙන් තීරු බදු සහ බදු නොවන බාධක ඉවත් කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. දැඩි ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබෙනු දැකිය හැක්කේ චීනයයි. එම තත්ත්වය හමුවේ චීනය මත 50%ක තවත් අමතර තීරු බද්දක් එකතු වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. මෙම තත්ත්වය තුළ ඇමරිකාව හා චීනය අතර වෙළඳාම දැඩි ලෙස සීමා විය හැකියි.

ලංකාව විසින්ද සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. මෙම සාකච්ඡා සාර්ථක වීමටනම් ලංකාවට ඇමරිකාවෙන් වැඩිපුර ආනයන කරන්නට සිදු වෙනවා. සාකච්ඡා සාර්ථක නොවුවහොත් අපනයන ආදායම් අඩු වෙනවා. මේ තත්ත්වයන් දෙකෙන් කුමක් යටතේ වුවත් ඇමරිකාව හා ලංකාව අතර තිබෙන වාසිදායක වෙළඳ ශේෂයෙන් කොටසක් අහිමි වන බව පැහැදිලියි. ඒ නිසා, ලංකාවට විදේශ අංශයේ තුලනය පවත්වා ගැනීම සඳහා චීනය හා ඉන්දියාව සමඟ තිබෙන අවාසිදායක වෙළඳ ශේෂය අඩු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරන්නම සිදු වෙනවා. මේ ආකාරයේ හෙට්ටු කිරීමකට මෙතෙක් පැවති ලෝක තත්ත්වය තුළ ඉඩක් නොතිබුණත්, අලුත් සුසමාදර්ශීය තත්ත්වය තුළ එවැනි ඉඩක් විවර වී තිබෙනවා.

මහ බැංකු දත්ත අනුව, පසුගිය (2024) වසරේදී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් තිදෙනා සමඟ ලංකාව ගනුදෙනු සිදු කළේ පහත පරිදියි.

1. චීනය 

ආනයන = ඩොලර් මිලියන 4,639

අපනයන = ඩොලර් මිලියන 273

හිඟය = ඩොලර් මිලියන 4,093


2. ඉන්දියාව 

ආනයන = ඩොලර් මිලියන 3,870

අපනයන = ඩොලර් මිලියන 884

හිඟය = ඩොලර් මිලියන 2,986


3. ඇමරිකාව 

ආනයන = ඩොලර් මිලියන 443 

අපනයන = ඩොලර් මිලියන 2,911

අතිරික්තය = ඩොලර් මිලියන 2,468


ඉන්දියාව හෝ චීනය එක්ක සාකච්ඡා කළා කියලා අපනයනය කළ හැකි මහ ලොකු දේවල් ලංකාවේ නැහැ. ඔය රටවල් දෙකට ඇඟලුම් අපනයනය කරන්න බැහැ. කරන්න පුළුවන් දේ අපනයනය කළ හැකි දේවල් ලංකාවේ නිෂ්පාදනය කරන්න පොළඹවා ගන්න එක. ඒ මගින් වෙළඳ හිඟය අඩු කර ගන්න එක. 


Saturday, April 5, 2025

තීරු බදු යුද්ධයේ ජයග්‍රාහකයෝ හා පරාජිතයෝ

 



ඇමරිකන් ආණ්ඩුවේ අලුත් බදු හරිද, වැරදිද, සාධාරණද, අසාධාරණද වගේ ප්‍රශ්න වෙනම කතිකාවක්. මා සමඟ කතා කළ බොහොමයක් (සංක්‍රමණිකයින් නොවන) ඇමරිකානුවන් හිතන්නේ මේ බදු වැරදි සහ අසාධාරණ බවයි. එහෙම කියන්නේ සහ හිතන්නේ අනෙක් රටවල් වල පැත්තෙන් බලලා. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ මූලික ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් මේ වගේ බදු නිසා අකාර්යක්ෂමතාවය ඉහළ යන බව පෙන්වා දෙන්න අපහසු නැහැ. නමුත් කරුණක් ලෙස ගත්තොත් දැන් මේ බදු පනවා අවසන්. 

ලංකාවේ පැත්තෙන් ගත්තොත් මෙය අලුත් ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන සැබෑ අභියෝගයක්. ආණ්ඩුවක් පරීක්ෂාවට ලක් වන්නේ මේ විදිහේ සැබෑ අභියෝග හමුවේදීයි. මේ විදිහටම, කෝවිඩ් වසංගතය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට මුහුණ දෙන්න සිදු වුනු සැබෑ අභියෝගයක්. කෝවිඩ් වසංගතය ආවේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂට ඔය තරම් ඉක්මණින් ගෙදර යන්න වෙන්නේ නැහැ. 

ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව මෙතෙක් කල් බොහෝ දුරට කළේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන එක. දේශපාලනිකව ඒකත් අසාර්ථක ප්‍රවේශයක් නෙමෙයි. යම් සීමාවක් දක්වා, වැඩක් නොකළත්, ජන මනස නිවැරදිව කියවා කළමණාකරනය කිරීම මගින් බලයේ රැඳී ඉන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට සාර්ථක විය නොහැකි වූයේ මෙය කළ නොහැකි වූ නිසා. නමුත් මාලිමා ආණ්ඩුව මේ වැඩේ සාර්ථකව කරමින් සිටියා. හැබැයි ඇත්ත අභියෝගයක් හමුවේ මේ ප්‍රවේශය තව දුරටත් හරියන්නේ නැහැ.

දැන් ලංකාවට මුහුණ දෙන්න සිදු වී තිබෙන තත්ත්වය කෝවිඩ් වසංගතයටත් වඩා භයානක තත්ත්වයක්. මෙහි බරපතලකම කී දෙනෙකුට කොයි තරමින් තේරෙනවද කියා මා දන්නේ නැහැ. කෝවිඩ් වසංගතය වසරකින් හෝ දෙකකින් අවසන් වීමට නියමිතව තිබුණු අභියෝගයක්. මෙය එවැන්නක් නෙමෙයි.

දැනට ආණ්ඩුව විසින් අනුගමනය කර තිබෙන ප්‍රවේශය ආණ්ඩුවකට අනුගමනය කළ හැකි හොඳම දේශපාලනික ප්‍රවේශයයි. කවුරු බලයේ සිටියත්, ලංකාව වැනි රටක ආණ්ඩුවකට, මෙවැනි අභියෝගයක් හමුවේ කෙටිකාලීනව මීට වඩා දෙයක් කළ නොහැකියි. නමුත් අවාසනාවකට, මේ ප්‍රවේශයෙන් වුනත් තත්ත්වයේ ලොකු වෙනසක් සිදු වෙයි කියා හිතන්න අමාරුයි. ඒ නිසා, අමාරුවෙන් ගොඩ නගා ගත් ආර්ථිකය නැවත අවදානම් කලාපයකට යාමේ බැහැර කළ නොහැකි ඉඩක් පෙනෙන්නට තිබෙනවා.

ඇමරිකාවේ මේ තීරුබදු යුද්ධය නිසා ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය තුළ කොහොමටත් සිදු වීමට නියමිතව තිබුණු සුසමාදර්ශීය වෙනසක් වඩා ඉක්මණින් සිදු වෙමින් තිබෙනවා. භූ දේශපාලනය හා සංස්කෘතික කරුණු අත හැර මූලික ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් පමණක් සිදු වී ඇති සහ සිදු වීමට නියමිත දේ විග්‍රහ කර ගන්නා අයට චිත්‍රයේ කොටසක් නොපෙනී යාම පුදුමයක් නෙමෙයි. කොහොම වුනත් පොතක් ලියන්න තරම් කරුණු රැසක් මෙවැනි සටහනකින් විස්තර කරන්න බැහැ. ඒ නිසා, මෙම සටහනෙන් වෙනස් වෙමින් පවතින ලෝක තත්ත්වය පිළිබඳ පුළුල් විග්‍රහයක් කරන්න අදහස් කරන්නේ නැහැ. 

ජාත්‍යන්තර වෙළඳාම හරහා ලෝකය එකම කලාපයක් වීම බොහෝ දෙනෙකුගේ සිහින ලෝක වල තිබුණු දෙයක්. නමුත් ඇත්තටම සිදු වෙමින් පවතින්නේ ලෝකය භූගෝලීය කලාප ලෙස එකතු වීමක්. ඉදිරි දශකය තුළ මේ කලාප වල සීමාවන් වඩා හොඳින් ලකුණු වෙන්න පුළුවන්. ඇමරිකානුවන් විශාල පිරිසක් ඇතුළු ගොඩක් අය දකින "ඇමරිකාව තමන්ගේ මිතුරන් අහිමි කර ගැනීම" ඇස් බැන්දුමක් පමණයි. ඒ දෙසම බලාගෙන ඇස් ගිණිකණ වට්ටවා ගන්නා අයට ඇත්තටම සිදු වෙමින් තිබෙන දෙය හරියටම දැනගත හැකි වනු ඇත්තේ යම් කාලයකට පසුවයි. 

ඇමරිකාව අලුත් තීරු බදු පැනවූයේ දත්ත මත පදනම්ව, නිශ්චිත ගණිතමය සූත්‍රයකට අනුවයි. එහිදී දේශපාලනික කරුණු සැලකිල්ලට ගැනුනේ නැහැ. මේ සමඟ පළ කර තිබෙන්නේ එම සූත්‍රය මගින් ඇඳුනු ලෝක තීරු බදු සිතියමයි. ඒ දෙස බැලු විට තීරුබදු බල බලපෑම කලාප අනුව වෙනස් වන ආකාරය පැහැදිලිව දැකිය හැකියි.

ඇමරිකානු මහාද්වීපය මුළුමනින්ම මෙන් තිබෙන්නේ 10% බදු කලාපයේ. 20% ඉක්මවන තීරුබදු වලට මුහුණ දෙන්න වෙන්නේ බොහෝ දුරටම ආසියානු කලාපයටයි. ඒ අනුව, ජාත්‍යන්තර වෙළඳාම තුළ ඇමරිකාවට මුහුණ දීමට සිදුව තිබුණු ප්‍රධාන අභියෝගය ආසියානු කලාපය බව පැහැදිලියි. විශාලතම නැගීගෙන එන ආර්ථිකයන් දෙකක් වන චීනය සහ ඉන්දියාව මෙම කලාපයේ පිහිටා තිබීම ඊට හේතුවයි. 

බැලූ බැල්මටම ඇමරිකාව විසින් ලෝකයේ සෑම රටකටම බදු පනවා ("දඬුවම් දී") ඇති බවක් පෙනුනත් ඇත්තටම සිදු වී තිබෙන්නේ ලෝකයේ රටවල් කොටස් දෙකකට බෙදා එයින් එක් කොටසකට "දඬුවම් දීමයි". මේ බදු ප්‍රතිපත්තිය නිසා අවසාන වශයෙන් 10% රටවලට අවාසියකට වඩා සිදු වන්නේ වාසියක්. එමෙන්ම, ලංකාව වැනි රටකට සිදු විය හැකි අවාසිය පෙනෙනවාට වඩා වැඩියි. 

නිදහසින් පසු ලෝකයේ ඇතැම් රටවල් විවෘත වෙළඳපොළ ආර්ථික ක්‍රම වෙත යොමු වෙද්දී ලංකාව යොමු වුනේ සංවෘත සමාජවාදී ප්‍රතිපත්ති වෙතයි. ඒ නිසා ලංකාවට අග්නිදිග ආසියා දුම්රියේ නැගී සංවර්ධනය කරා වේගයෙන් පිය නැගීමට තිබුණු අවස්ථාව මග හැරුනා. මේ වෙද්දී ලංකාවේ වත්මන් ආණ්ඩුව ඇතුළු වාමාංශික කොටස් මෙන්ම දක්ෂිනාංශික කොටස් විසින්ද අපනයන මුල් කරගත් ආර්ථික ක්‍රමයක් පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා. නමුත් අවාසනාවට ලංකාව හැමදාමත් දුම්රියපොළට පැමිණෙන්නේ දුම්රිය පිටත් වූ පසුවයි.

ලෝකයේ රටවල් ගණනාවකට  අපනයන මුල් කරගත් ආර්ථික ක්‍රමයක් හරහා වේගයෙන් දියුණු වීමට හැකි වූයේ එම අපනයන "ගිල ගත හැකි" විශාල පරිභෝජන ආර්ථිකයක් ලෙස ඇමරිකාව පැවතුණු නිසා. ඇමරිකාවට එවැන්නක් කළ හැකි වූයේ ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා පැවති ප්‍රමුඛ තත්ත්වය නිසා. ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා තිබෙන ආධිපත්‍යය අභියෝගයට ලක් වෙද්දී ඇමරිකාවේ පරිභෝජන ආර්ථික ව්‍යුහය එලෙසම පවත්වා ගැනීම අසීරු වෙනවා. බාහිර තත්ත්වයන් වෙනස්වීම හේතුවෙන් එම ව්‍යුහය එක වර ක්ෂණිකව කඩා වැටීම වැළැක්වීමටනම්, එවැන්නක් සිදු වන්නට පෙර හෙමින් සීරුවේ "හුළං බැස්වීමක්" කරන්නට සිදු වෙනවා. මෙම තීරු බදු වලින් යම්තාක් දුරකට සිදු වී තිබෙන්නේ එම කාර්යයයි.

අලුත් තීරු බදු පැනවීමට ආසන්නව බ්‍රික්ස් මුදල් ඒකකයක් පිළිබඳ කතිකාවක් කරලියට පැමිණ තිබුණු බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. එවැන්නක ඉලක්කය වූයේ ඇමරිකන් ඩොලරය සතු ලෝක ආධිපත්‍යය බිඳ වැට්ටවීම හෝ දුර්වල කිරීමයි. මේ අරමුණම සහිතව සංචිත ලෙස ඇමරිකන් ඩොලර් තබා ගැනීම අඩු කිරීම ලෝකයේ රටවල් ගණනාවක් විසින් කරමින් සිටියා. 

යම් හෙයකින් ලෝකය පුරා ඇමරිකන් ඩොලරයට තිබෙන ඉල්ලුම අඩු වීම නිසා ලෝකයේ අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය 20%කින් අවප්‍රමාණය වුවහොත් සිදු වන්නේ කුමක්ද? මෙහිදී ඇමරිකාව තුළ සියලුම ආනයනික භාණ්ඩ වල මිල 20%කින් ඉහළ ගොස් එම භාණ්ඩ සඳහා ඇමරිකාව තුළ තිබෙන ඉල්ලුම අඩු වෙනවා. එම වෙළඳපොළ ඇමරිකාවේ දේශීය නිෂ්පාදන වලට ලැබෙනවා. ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය අඩු වෙනවා. එමගින් ඇමරිකාවට ලැබෙන වාසිය නිසා සිදු වන අවාසිය ලෝකයේ අනෙකුත් රටවල් අතර බෙදී යනවා. 

දැන් ඇමරිකාව විසින් ස්වේච්ඡාවෙන්ම සිදු කර තිබෙන්නේ බ්‍රික්ස් මුදල් ඒකක හැදීම, ඇමරිකන් ඩොලරය අතහැර ජාත්‍යන්තර ගනුදෙනු කිරීම ආදී ක්‍රම වලින් අනෙකුත් රටවලට කරන්නට අවශ්‍ය වූ දෙයයි. එනම් ඇමරිකන් පාරිභෝගිකයෙකුගේ පැත්තෙන් ඇමරිකන් ඩොලරයේ මිල දී ගැනීමේ හැකියාව අඩු කිරීමයි. නමුත් එය සිදු කර තිබෙන්නේ "දුරස්ථ පාලකය" ඇමරිකන් ආණ්ඩුව අතේ තියාගෙනයි. ඒ නිසා, වෙනත් රටවල ආණ්ඩු වලට සැලසුම් සහගත ලෙස ඇමරිකන් ඩොලරය දුර්වල කිරීමට තිබෙන ඉඩකඩ මෙමගින් යම්තාක් දුරකට ඇහිරෙනවා. අනෙක් අතට මෙම තීරු බදු පනවා තිබෙන්නේ ලෝකය කලාප දෙකකට බෙදමිනුයි. 

ලංකාව ඇතුළු බොහෝ රටවල් තමන්ගේ මුදල් ඒකක වල වටිනාකම දකින්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂවයි. නමුත් ලෝකයේ අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයේ වටිනාකම හැම මොහොතකම විචලනය වෙනවා. සාමාන්‍යයෙන් මෙම විචලනයන් සිදු වන්නේ +/- 20%ක පමණ පරාසයකයි. උදාහරණයක් ලෙස, ලෝකයේ සියලුම ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව 2006 ජනවාරි මාසයේදී ඇමරිකන් ඩොලරයක වටිනාකම 100 ලෙස සැලකුවහොත්, 2021 මැදදී මෙම අගය 110ක් පමණ වන අතර 2025 ජනවාරි මැදදී 130ක් පමණ වෙනවා. මේ වෙද්දී 126.67ක්.

ඉහත ගණනය සිදු කර තිබෙන්නේ උද්ධමන වෙනස්කම් හා ගැලපීමක් නොකරයි (නාමික ඵලදායී විණිමය අනුපාතය). උද්ධමනය හා ගැලපූ පසු මේ විචලනයන් වඩා පැහැදිලිව පේනවා. 2006ට සාපේක්ෂව, 2011 වසර මැදදී ඇමරිකන් ඩොලරයක වටිනාකම 83 දක්වා අඩු වුනා. 2015දී 100 මට්ටමට ආවා. 2016දී 110 පමණ දක්වා ඉහළ ගොස් 2018දී නැවත 100 මට්ටමට ආවා. දැන් තිබෙන්නේ 120 මට්ටමටත් වඩා උඩින්. 

වෙනත් රටක මුදල් ඒකකයක් මේ අයුරින් විචලනය වේනම් එය රටේ ආර්ථිකය කෙරෙහි විශාල බලපෑමක් කරනවා. නමුත් විශාල දේශීය ආර්ථිකයක් තිබෙන ඇමරිකාවට මෙවැනි විචලනය වීම් පහසුවෙන් දරාගත හැකියි. කොයි තරම් විවෘතව පැවතියත්, බාහිර කම්පන වලින් දැනෙන බලපෑමක් නොවන තරමේ ශක්තිමත් දේශීය ආර්ථිකයක් ඇමරිකාව සතුව තිබෙනවා.

ඇතැම් අය සිතාගෙන ඉන්නේ ඇමරිකාව විසින් කරන්නේ අධි තාක්ෂණ උපකරණ අපනයනය කර මූලික නිෂ්පාදන ආනයනය කිරීම බවයි. නමුත් ඇත්තටම ඇමරිකාව විසින් ආනයනය කරන හැම දෙයක්ම මෙන් රට ඇතුළත නිෂ්පාදනය කෙරෙනවා. එසේ තිබියදී ආනයන වලට ඉඩ දී තිබෙන්නේ තරඟකාරිත්වය පවත්වා ගැනීමේ අරමුණින් පමණයි. උදාහරණයක් ලෙස ඇමරිකාව ලෝකයේ ප්‍රධානම සහල් අපනයනකරුවෙක්.

ඇමරිකන් ඩොලරයක වටිනාකමේ කොහොමටත් සිදු වන සාමාන්‍ය උච්ඡාවචනය වීම් සැලකූ විට, ඇමරිකන් පාරිභෝගිකයින්ගේ පැත්තෙන්, ආනයනික භාණ්ඩ වල මිල 20%කින් වැඩි වීම විශාල කම්පනයක් නෙමෙයි. නමුත් මෙහිදී සිදුව තිබෙන්නේ ඩොලරයක මිල පහත වැටීමක් නෙමෙයි. එමෙන්ම පොදුවේ 20%ක තීරු බදු පැනවීමක්ද නෙමෙයි. 20% යනු ආසන්න වශයෙන් සියලු රටවලට පනවා තිබෙන තීරු බදු වල සාමාන්‍ය අගයයි. 
ඒ නිසා, මේ හරහා ලෝකයේ අනෙක් රටවලට සිදු වන බලපෑම රට අනුව වෙනස් වෙනවා. 

සාමාන්‍ය වශයෙන් මෙහිදී සිදුව තිබෙන්නේ ඇමරිකන් ඩොලරය 20%කින් අවප්‍රමාණය වීම වැනි තත්ත්වයක් ලෙස සැලකූ විට, ලෝක වෙළඳාම තුළ, මෙහි අවාසිය ඇත්තටම පැටවෙන්නේ 20% ඉක්මවන තීරු බදු ගෙවන්නට සිදු වන රටවලටයි. 10% හෝ ආසන්න තීරු බදු ගෙවන රටවලට ඇත්තටම සිදු වන්නේ වාසියක්.

උදාහරණයක් ලෙස, ලංකාවේ ඇඟලුම් වලට ඇමරිකන් වෙළඳපොළ තුළ ඉතාම අවාසිදායක තත්ත්වයක් ඇති වන බව කාට වුනත් පැහැදිලි විය යුතුයි. ඒ නිසා, ලංකාවට අහිමි වන වෙළඳපොළ ඇමරිකාව ඇතුළේම හැදෙයිද? ඇමරිකානුවන් ඇමරිකාව තුළ ඇඟලුම් මහන්න පටන් ගනියිද?

අඩු වශයෙන් කෙටි හා මැදිකාලීනව එවැන්නක් කිසිසේත්ම සිදු වෙන එකක් නැහැ. ඒ වෙනුවට සිදු වනු ඇත්තේ මෙම කර්මාන්ත ප්‍රධාන වශයෙන්ම දකුණු ඇමරිකානු කලාපය වෙත විතැන් වීමයි. එසේ වීමෙන් ඇමරිකාවට ලැබෙන වාසිය කුමක්ද?

ලංකාවෙන් ඇඟලුම් මිල දී ගැනීමට සාපේක්ෂව දකුණු ඇමරිකාවේ රටකින් ඇඟලුම් මිල දී ගැනීමේදී ඇමරිකාවට ලැබෙන වාසිය වන්නේ එහිදී එම රටවලට යන ඇමරිකන් ඩොලර් නැවත ඇමරිකාවෙන් භාණ්ඩ ආනයනය කිරීම හරහා ඇමරිකාවට පැමිණීමයි. ඒ අනුව, ඇමරිකාවේ ඇඟලුම් අංශයේ රැකියා අලුතෙන් හැදුනේ නැතත්, වෙනත් අංශ වල රැකියා අලුතෙන් හැදෙනවා. ඒ හරහා ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු වෙනවා.  

දකුණු ඇමරිකාව යනු ඇමරිකාව විසින් "සංවර්ධනය කිරීම සඳහා" තෝරා ගෙන තිබෙන අලුත් පෝෂක ප්‍රදේශයයි. ආසියාව සංවර්ධනය වී ඇති තරමට සහ ආසියාවේ විශාල ජනගහණයට සාපේක්ෂව ඇමරිකාවට වෙළඳපොළක් ලැබී නැහැ. උතුරු ඇමරිකාවේ, යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයන් ශක්තිමත් වුවත් එම රටවල, සමස්තයක් ලෙස, ජනගහණය අඩුයි. ඒ නිසා, ආසියානු කලාපයෙන් එන "තර්ජනය" හමුවේ උපාය මාර්ගිකව කළ යුතු වන්නේ විශාල ජනගහණයන් සිටින දකුණු ඇමරිකාව සහ අප්‍රිකාව ශක්තිමත් කිරීමයි. එම කලාප දෙක අතරින් ප්‍රායෝගිකව වඩා වැදගත් වන්නේ දකුණු ඇමරිකානු කලාපයයි.

මේ "ලොකු චිත්‍රය" ඇතුළේ කැනඩාව සමඟ වෙළඳ යුද්ධය "ගේ ඇතුළේ රණ්ඩුවක්" පමණයි. කැනඩාව ඇමරිකාවේ 51වන ප්‍රාන්තය විය යුතුය යන ප්‍රකාශය වගේම ග්‍රීන්ලන්තය ඇමරිකාවට එකතු කර ගැනීම ගැන කතාව පෙනෙනවාට වඩා පුළුල් අර්ථයක් තිබෙන කතා. භූ දේශපාලනික කලාප ලෙස ලෝකය බෙදී යද්දී කැනඩාව හා ග්‍රීන්ලන්තය ඇමරිකාව සමඟ සම්බන්ධ වූ එකම කලාපයක් බවට පත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතු දෙයක්. එවැන්නක් ඇමරිකාව විසින් කැනඩාව ආක්‍රමණය කිරීමක් ලෙස සිදු විය යුතු නැහැ. ඒ වගේම, යුරෝපීය සංගමය මත පනවා ඇති 20% තීරු බද්ද මගින් සිදු කර තිබෙන්නේ සමස්ත චිත්‍රය තුළ වාසි අවාසි ගැලපීමක් පමණයි. එම බද්ද විවිධ රටවලට පනවා ඇති බදු වල සාමාන්‍ය අගයට ආසන්නව සමානයි.

ලංකාව විසින් කාලයක් තිස්සේ කරමින් සිටියේ ඇමරිකාවෙන් හා යුරෝපයෙන් එකතු කර ගන්නා විදේශ විණිමය චීනයට හා ඉන්දියාවට ලබා දීමයි. ඒ නිසා, ඇමරිකාවේ පැත්තෙන් බලද්දී චීනය හා ඉන්දියාව පැත්තේ ඇති ප්‍රධාන තර්ජනය හමුවේ ලංකාව වැනි රටවල අතරමැදි කාර්ය භාරය නොසලකා හරින්න බැහැ. ලංකාවට යන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය සීමා කිරීම මගින් ඉන්දියාවට හා චීනයට වක්‍ර ලෙස යන ඇමරිකන් ඩොලර් ප්‍රමාණය සීමා කරන්න පුළුවන්.

අනෙක් අතට ලංකාව පැත්තෙන් බලද්දී ලංකාව ඇමරිකාවෙන් ආනයන සිදු නොකර ඉන්දියාවෙන් හා චීනයෙන් භාණ්ඩ ආනයනය කරන්නේ එය වඩා ලාබ නිසා මිස දේශපාලනික හේතුවක් නිසා නෙමෙයි. මෙය ස්වභාවික තත්ත්වයක්. දකුණු ඇමරිකානු රටවලට ඇමරිකාවෙන් භාණ්ඩ ආනයනය කරන එක වඩා ලාබ වුවත්, ලංකාවට ඉන්දියාවෙන් හෝ චීනයෙන් භාණ්ඩ ආනයනය කරන එක වඩා ලාබයි. මේ තත්ත්වය තුළ ඇමරිකාව සමඟ "කතාබහ කර" මේ ප්‍රශ්නය විසඳා ගැනීම පහසු දෙයක් නෙමෙයි.

ලංකාවට ඇමරිකන් වෙළඳපොළ අහිමිවීම සුළුපටු කරුණක් නෙමෙයි. මේ තත්ත්වය තුළ ලංකාවට "ගේම ඉල්ලීමේ" ඉඩක් තිබෙන්නේ ඉන්දියාවෙන් හා චීනයෙනුයි. ඊට හේතුව ලංකාවේ වෙළඳ ශේෂ හිඟය තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම එම දෙරට සමඟ වීමයි. මෙහිදී "ගේම ඉල්ලීම" යන්නෙන් මා අදහස් කරන්නේ ඇමරිකාව කළ ආකාරයේ දෙයක් කිරීම නෙමෙයි. ඇමරිකාව කරන දේවල් ලංකාවට කළ නොහැකියි. ආනයන නැත්නම් ඇමරිකාවට "ඕනෑම දෙයක්" රට ඇතුළේ හදාගන්න පුළුවන්. නමුත් ලංකාවට එවැන්නක් කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය හෝ තාක්ෂනය නැහැ. එසේ වුවත්, ඇමරිකාවේ අලුත් ප්‍රවේශය නිසා, තීරු බදු පදනම මත හිර නොවී, ද්විපාර්ශ්වික වෙළඳ ශේෂය මත පදනම්ව, එම රටවල් සමඟ හෙට්ටු කිරීමට ඉඩක් හැදී තිබෙනවා. 

ලංකාව සහ ඉන්දියාව සැලකුවහොත්, ලංකාවට අවාසිදායක වෙළඳ හිඟයට හේතුව තීරු බදු වෙනස්කම් නෙමෙයි. වෙළඳ ගිවිසුම් වලින් පසුවද වෙළඳ හිඟය අඩු වුනේ නැහැ. මා හිතන පරිදි සිදු වුනේ වෙළඳ හිඟය තවත් වැඩි වීමයි. පැවති සුසමාදර්ශය තුළ මෙවැනි තත්ත්වයක් හමුවේ කළ හැකි දෙයක් තිබුණේ නැහැ. වෙළඳ ගිවිසුම් වලදී වැඩි වශයෙන්ම සිදු වුනේ දෙපාර්ශ්වය එකඟ වී තීරු බදු අඩු කර ගැනීමයි. එයින් ඔබ්බට තිබෙන "තීරු බදු නොවන බාධක" ගැන ඉන්දියාවට අපනයන කරන අය දන්නවා. වෙළඳ ශේෂය මත පදනම්ව හෙට්ටු කිරීම් සිදු කිරීම අලුත් දෙයක් සහ සම්මත ආර්ථික විද්‍යා න්‍යාය සමඟ හොඳින් නොපෑහෙන දෙයක් විය හැකි වුවත්, ලංකාව විසින් කළ යුත්තේ ඇමරිකාව වැනි රටක් විසින් එවැනි පූර්වාදර්ශයක් ලබා දී තිබීම තමන්ගේ වාසියට හරවා ගැනීමට උත්සාහ කිරීමයි.

සුසමාදර්ශීය වෙනස යන්නෙන් මා අදහස් කළේ මෙය නොව කෘතීම බුද්ධි භාවිතය හා ස්වයංකරණය නිසා ශ්‍රම වෙළඳපොළේ හා නිෂ්පාදන තාක්ෂණයේ සිදු වෙමින් පවතින පරිවර්තනය සහ ධනවාදය එම වෙනසට අනුවර්තනය වීමයි. ඇමරිකාවේ අලුත් තීරු බදු නිසා සිදු වුනේ කෘතීම බුද්ධි භාවිතය හා ස්වයංකරණය නිසා ඉදිරි වසර කිහිපය තුළ ක්‍රමයෙන් සිදු විය හැකිව තිබුණු දෙයක් කළින්ම සිදු වීමයි. මේ ලිපිය තුළ එම තත්ත්වයන් විස්තර කර හෝ විග්‍රහ කර නැහැ. එය පසුවට.

Thursday, April 3, 2025

ඇමරිකාවේ අලුත් බදු ප්‍රතිපත්තිය


ඇමරිකාව විසින් ඇමරිකාවට සිදු කෙරෙන ආනයන මත සැලකිය යුතු තරම් ඉහළ බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ අය කෙරෙන බදු අනුපාතය තීරණය වන්නේ ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන රට කුමක්ද යන්න මතයි. රටින් රටට බදු අනුපාතික වෙනස් වෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට සිදු කෙරෙන අපනයන මත අප්‍රේල් 5 දින සිට 44%ක අමතර බද්දක් අය කෙරෙනවා. මෙම 44% බද්ද අය කරන්නේ දැනට විවිධ භාණ්ඩ සඳහා අය කෙරෙන බදු ඇත්නම් එම බදු වලට අමතරවයි. 

මේ අයුරින් අමතර බද්දක් අය කිරීමට හේතුව කුමක්ද?

පසුගිය වසර වල ඇමරිකාවේ භාණ්ඩ අපනයන හා ආනයන දෙස බැලුවොත් වසරකට ඩොලර් ට්‍රිලියනයක් ඉක්මවන හිඟයක් දිගින් දිගටම පැවතී ඇති ආකාරය දැකිය හැකියි. පහත තිබෙන්නේ 2024 තත්ත්වය.

භාණ්ඩ අපනයන - ඩොලර් බිලියන 2083.8

භාණ්ඩ ආනයන - ඩොලර් බිලියන 3295.6

හිඟය (2024) - ඩොලර් බිලියන (-1211.7)

මේ හිඟය ලංකාවේ දදේනිය මෙන් 12 ගුණයකටත් වඩා වැඩි දැවැන්ත හිඟයක්. පෙර වසර වල තත්ත්වය බැලුවත් ලොකු වෙනසක් නැහැ.

වෙළඳ හිඟය (භාණ්ඩ)

2021 - ඩොලර් බිලියන (-1083.2)

2022 - ඩොලර් බිලියන (-1179.4)

2023 - ඩොලර් බිලියන (-1063.3)

අලුත් බදු ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ ඉහත සඳහන් ඇමරිකාවේ වෙළඳ හිඟය අඩු කර ගැනීමයි. 

ඇමරිකාවේ වෙළඳ හිඟයට හේතුව කුමක්ද?

මෙය තනි කරුණකට ඌණනය කළ නොහැකි සංකීර්ණ කරුණු රැසක සංයුක්ත ප්‍රතිඵලයක්. පෙර ලිපි වල මේ පිළිබඳව විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. කෙසේ වුවද, මෙම අලුත් බදු පනවද්දී සැලකිල්ලට ගෙන තිබෙන ප්‍රධානම කරුණ වන්නේ විදේශ රටවල ආනයන හා අදාළව ඇමරිකාව විසින් අනුගමනය කරන සහනශීලී ප්‍රතිපත්තිය ඇමරිකාව හා අදාළව අනෙකුත් බොහොමයක් රටවල් විසින් එලෙසම අනුගමනය නොකරන්නේය යන්නයි.

ඇමරිකාව විසින් බොහොමයක් ආනයන මත අඩු තීරු බද්දක් අය කළත්, අනෙකුත් රටවල් විසින් ඇමරිකානු අපනයන මත ඉහළ බදු අය කරනවා. කෙසේ වුවත්, ඇමරිකානු අපනයන මත ඉහළ බදු අය කිරීම ජාත්‍යන්තර වෙළඳාමේදී ඇමරිකාවට අවාසිදායක පිටියක් සකස් වීමට හේතු වී තිබෙන එක් කරුණක් පමණයි. බදු ඉහළ නොදමා වෙනත් විවිධ ක්‍රම වලින් ආනයන සීමා කළ හැකියි. විවිධ නියාමන නීති හා විණිමය අනුපාතය පාලනය කිරීම එවැනි ක්‍රම දෙකක්. වෙළඳ හිඟය තුළ මෙවැනි බදු සහ බදු නොවන බාධා කිරීම් වල බලපෑම නිරූපණය වන බැවින් බදු ඇතුළු බාධාවන් එකින් එක වෙන වෙනම සැලකිල්ලට නොගෙන සමස්තයක් ලෙස එක් එක් රටවල් සමඟ පවතින ද්විපාර්ශ්වීය වෙළඳ ශේෂය සැලකිල්ලට ගෙන ඇමරිකානු අපනයන වලට තිබෙන අවාසිදායක තත්ත්වය ගණනය කිරීම ඇමරිකානු ආණ්ඩුව විසින් අනුගමනය කර තිබෙන ක්‍රමයයි.

බදු වැඩි කළ විට වෙළඳ හිඟය අඩු වෙන්නේ කොහොමද?

මෙහිදී ඇමරිකානු ආණ්ඩුව විසින් සිදු කර තිබෙන එක් උපකල්පනයක් වන්නේ ඇමරිකාව විසින් බදු වැඩි කළද, අනෙකුත් රටවල් විසින් ඊට ප්‍රතිචාර දක්වමින් බදු වැඩි කිරීමක් සිදු නොකරනු ඇති බවයි. එය කෙතරම් නිවැරදි උපකල්පනයක්ද යන්න දැන ගැනීමට වැඩි දවසක් යන එකක් නැහැ. කෙසේ වුවත්, එම උපකල්පනය යටතේ, ඇමරිකාවේ අපනයන එලෙසම තිබියදී, බදු වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන පහත වැටී වෙළඳ හිඟය අඩු වෙනවා. 

ධවල මන්දිරය විසින් සැලකිල්ලට ගෙන තිබෙන දැනට සිදු කර තිබෙන අධ්‍යයනයන් අනුව, 1%කින් බදු වැඩි කළ විට සාමාන්‍ය වශයෙන් 0.25%කින් ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. ආනයනික භාණ්ඩ වල මිල 1%කින් ඉහළ යද්දී එම භාණ්ඩ සඳහා ඉල්ලුම සාමාන්‍ය වශයෙන් 4%කින් අඩු වෙනවා. මේ අනුව, 1%කින් බදු වැඩි කළ විට, ආනයන ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් 1%කින් අඩු වී, ආනයන වල ප්‍රතිශතයක් ලෙස වෙළඳ හිඟයද 1%කින් අඩු වීමට නියමිතයි. එයින් අදහස් වෙන්නේ බදු වැඩි කරන අනුපාතයට අනුරූප ලෙස ආනයන වල ප්‍රතිශතයක් ලෙස වෙළඳ හිඟයද අඩු වන බවයි. 

සමස්තයක් ලෙස ගත් විට ඇමරිකාවේ 2024 වෙළඳ හිඟය ආනයන ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 36.8%ක්. ඒ අනුව, ඉහත උපකල්පන යටතේ, ආනයන මත 36.8%ක අමතර බද්දක් පැනවීම මගින් වෙළඳ හිඟය ශුන්‍ය මට්ටමට රැගෙන ආ හැකියි.

දැන් මේ පනවා තිබෙන අලුත් බදු නිසා ඇමරිකාවේ වෙළඳ හිඟය ශුන්‍ය වෙයිද?

අදාළ ගණනය කිරීම් අනුවම එසේ වෙන්නේ නැහැ. බදු පනවා තිබෙන්නේ වෙළඳ හිඟයෙන් 50%ක් අඩු කර ගැනීම ඉලක්ක කරගෙනයි.

බදු වැඩි කර තිබෙන්නේ කෙසේද?

මෙය සිදු කර තිබෙන්නේ එක් එක් රටෙන් ඇමරිකාව විසින් 2024 වර්ෂයේදී සිදු කර තිබෙන ආනයන ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස වෙළඳ හිඟය කොපමණද යන්න මතයි. මෙම අගය 20%කට අඩුනම් හෝ ද්විපාර්ශ්වික වෙළඳ ගිණුමේ අතිරික්තයක් ඇත්නම් 10%ක අවම අමතර බද්දක් අය කෙරෙනවා. ඉහත අගය 20% ඉක්මවන්නේනම්, එම අගයෙන් 50%කට සමාන අමතර බද්දක් අය කෙරෙනවා. මේ අනුව, තනි රටවල් 56කට සහ යුරෝපීය සංගමයේ සියලුම රටවලට 11% සිට 50% දක්වා පරාසය තුළ වෙනස් වන වැඩි බද්දක් ගෙවන්නට සිදු වෙනවා. අනෙකුත් සියලුම රටවලට 10%ක අවම බද්ද ගෙවන්නට සිදු වෙනවා.

ලෙසොතෝ - 50%

කාම්බෝජය - 49%

ලාඕස් - 48%

මැඩගස්කර් - 47%

වියට්නාමය - 46%

මියන්මාරය - 45%

ශ්‍රී ලංකාව - 44%

ෆෝක්ලන්ඩ් දූපත් - 42%

සිරියාව - 41%

මුරුසිය - 40%

ඉරාකය - 39%

ගයනාව, සර්බියාව, බොට්ස්වානා  - 38%

තායිලන්තය, බංග්ලා දේශය, ලීච්ටන්ස්ටේන් - 37%

බොස්නියාව සහ හර්සෙගොවිනාව - 36%

චීනය, හොංකොං හා මැකාවු - 34%

උතුරු මැසිඩෝනියාව - 33%

ඇන්ගෝලාව, ෆිජි, ඉන්දුනීසියාව, තායිවානය, ස්වට්සර්ලන්තය  - 32%

මොල්දෝවා, දකුණු අප්‍රිකාව, ලිබියාව  - 31%

ඇල්ජීරියාව, නාවුරු, පකිස්ථානය - 30%

ටියුනීසියාව - 28%

ඉන්දියාව, කසාක්ස්ථානය - 27%

දකුණු කොරියාව - 28%

බෘනායි, ජපානය, මැලේසියාව - 24%

වනාතු - 23%

අයිවරි කෝස්ට්, නැම්බියාව - 21%

යුරෝපීය සංගමයේ රටවල්, ජෝර්දානය - 20%

නිකරගුවා - 19%

පිලිපීනය, සිම්බාබ්වේ, මලාවි - 18%

සැම්බියාව, ඊශ්‍රායලය - 17%

නෝර්වේ, මොසැම්බික් - 16%

වෙනිසියුලාව - 15%

නයිජීරියාව, මලාවි - 14%

චාඩ්, ඉක්වටෝරල් ගිනීයා - 13%

කැමරුන් - 12%

කොංගෝ - 11%

අනෙකුත් සියලුම රටවල් - 10%

මෙහිදී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ මිතුරු හා සතුරු රටවල්, දුප්පත් රටවල් වැනි දේශපාලනික කරුණු කිසිවක් මෙම බදු පැනවීමේදී සැලකිල්ලට ගෙන නොමැති බවයි. ඒ නිසා, රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශ මගින් "කතාබහ කර මොකක් හරි කර ගැනීමේ" ඉඩක් ඉතිරි වී නැහැ. බදු අඩු කරගන්නට අවශ්‍යනම් වෙළඳ ශේෂය අඩු විය යුතුයි. 

ලංකාවට 44%ක ඉහළ බදු අනුපාතිකයක් පැනවුනේ ඇයි?

ශ්‍රී ලංකාව විසින් 2024දී ඇමරිකාවට සිදු කර තිබෙන අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 3.0ක් පමණ වුවත්, ඇමරිකාවෙන් ලංකාවට සිදු කර ඇති ආනයන ප්‍රමාණය ඩොලර් මිලියන 368ක් පමණයි. එම ප්‍රමාණය ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් සිදු කළ ආනයන ප්‍රමාණයෙන් 12%ක් පමණයි. ඒ අනුව, ශ්‍රී ලංකාව සමඟ ඇමරිකාවේ ද්වීපාර්ශ්වීය වෙළඳ හිඟය ලංකාවෙන් සිදු කළ ආනයන වලින් 88%ක්. ඉහත විස්තර කළ ගණන් හැදීම් අනුව, මෙම හිඟය නැති කර ගැනීමටනම් 88%ක අමතර බද්දක් පැනවිය යුතුයි. 44%ක බද්දක් පැනවීම මගින් හිඟයෙන් බාගයක් අඩු කර ගත හැකියි. ඇමරිකාව විසින් 44%ක අමතර බද්දක් පනවා තිබෙන්නේ එම පදනම මතයි. අනෙකුත් බොහොමයක් රටවලට ඒ තරම්ම ඉහළ බදු පනවා නැත්තේ එම රටවල් සමඟ ඇමරිකාවේ වෙළඳ අසමතුලිතතාවය එතරම්ම විශාල නොමැති නිසා.

මෙම බදු වැඩි කිරීම් ඇමරිකාවට බලපාන්නේ කෙසේද?

ධවල මන්දිරයේ ගණන් හැදීම් අනුවම, බදු අනුපාතික 20%කින් ඉහළ යද්දී ආනයනික භාණ්ඩ වල මිල 5%කින් ඉහළ යනවා. එහෙත්, දේශීය ආදේශක තිබෙන නිසා සමස්තයක් ලෙස ඇමරිකාවේ බඩු මිල එපමණකින් ඉහළ යන්නේ නැහැ. කෙසේ වුවත්, ඇමරිකාවේ බඩු මිලෙහි යම් වැඩි වීමක් සිදු වීමට නියමිතයි. මේ අයුරින් බඩු මිල තරමක් ඉහළ ගියද, ඇමරිකන් ෆෙඩරල් රජයේ ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ යන බැවින් ඇමරිකන් ජනතාවට යම් බදු සහනයක් ලැබෙන්න ඉඩ තිබෙනවා. දැනට ක්ෂණිකව සිදු වන්නේ ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යාමයි. 

මෙම බදු වැඩි කිරීම් ලංකාවට බලපාන්නේ කෙසේද?

ඉතා පැහැදිලි ලෙසම ලංකාවට මෙහි විශාල හා දරුණු බලපෑමක් තිබෙනවා. ඊට හේතුව, අනෙකුත් තරඟකාරී රටවල් වලට වඩා වැඩි බද්දක් ලංකාවට ගෙවන්නට සිදු වීමයි. මෙය ඉන්දියාවට වඩා ප්‍රතිශතාංක 17%ක්, පකිස්ථානයට වඩා 14%ක්, බංග්ලා දේශයට වඩා 7%ක්, චීනයට වඩා 10%ක්, පිලිපීනයට වඩා 26%ක්, ඉන්දුනීසියාවට වඩා 12%ක් වන අතර 10% බද්ද ගෙවන රටවල් විශාල ගණනකට වඩා 34%ක් වැඩියි. මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ නිෂ්පාදන වලට ඇමරිකන් වෙළඳපොළ පහසුවෙන්ම අහිමි වී යා හැකියි. ඇමරිකාවේ ප්‍රකාශිත ඉලක්කය වන්නේ ලංකාවෙන් ඇමරිකාවට යැවෙන අපනයන වලින් 44%ක් අඩු කිරීමයි. එවැනි තත්ත්වයක් විශාල විදේශ විණිමය අර්බුදයකට, විරැකියා ප්‍රශ්නයකට සහ ආර්ථිකයේ කඩා වැටීමකට හේතු විය හැකියි.

මේ තත්ත්වය හමුවේ ලංකාවට කළ හැක්කේ කුමක්ද?

චීනය හෝ කැනඩාව වැනි රටකට ඇමරිකාවට එරෙහිව දිගින් දිගටම එකට එක කිරීම් කළ හැකි වුවත්, ලංකාවට එසේ කිරීමේ හැකියාවක් නැහැ. ලංකාව ඇමරිකාවේ අපනයන මත ඉහළ බද්දක් පැනවුවද එයින් ඇමරිකාවට බලපෑමක් සිදු වන තරමේ ආනයන ලංකාව විසින් කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් හමුවේ ඇමරිකාව විසින් මේ බද්ද තවත් ඉහළ දමන්නට ඉඩ තිබෙනවා. අනෙක් විකල්පය බදු අඩු කිරීමයි. උදාහරණයක් ලෙස ලංකාව විසින් ඇමරිකානු මෝටර් රථ සඳහා අය කරන බදු ප්‍රමාණය විශාල ලෙස අඩු කළහොත් සහ ඉන්දියානු මෝටර් රථ මත තවදුරටත් ඉහළ බද්දක් අය කළහොත් ලංකාවට වඩා වැඩියෙන් ඇමරිකන් වාහන පැමිණ ඇමරිකාව සමඟ පවතින ගෙවුම් ශේෂ හිඟය අඩු වෙන්න පුළුවන්. නමුත් එලෙස අනෙක් රටවල් වලින් සිදු කරන ආනයන මත වැඩි බදු අය කරන අතර ඇමරිකන් භාණ්ඩ මත අඩු බද්දක් අය කිරීම මෙතෙක් පැවති වෙළඳ ප්‍රතිපත්තිය සහමුලින්ම වෙනස් කිරීමක් වෙනවා වගේම රාජ්‍ය ආදායම් කෙරෙහිද විශාල බලපෑමක් සිදු කරනවා. ඒ නිසා, එවැන්නක් සිදු වීමේ ඉඩකඩ ඉතා අඩුයි. සාමාන්‍යයෙන් ලංකාව වැනි රටවල් විසින් කරන පරිදි ඇමරිකානු බලධාරීන් හමු වී "දුක කියා" සහනයක් ඉල්ලීමේ දේශපාලනික ප්‍රවේශයද මෙවර හරියන ක්‍රමයක් නෙමෙයි. 

ලංකාවේ මෙන්ම අනෙක් රටවලද ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් පැහැදිලිව තේරුම් ගත යුත්තේ දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර වෙළඳාම සිදු වූ සන්දර්භයේ සුසමාදර්ශීය වෙනසක් සිදු වෙමින් ඇති බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ දක්වාම පැවති ක්‍රමය ඇමරිකාවේ මේ අලුත් බදු වලින් පටන්ගෙන ක්‍රමයෙන් කඩා වැටෙන්නට නියමිතයි. මෙය එක්තරා ආකාරයකින් බ්‍රෙටන් වුඩ් සම්මුතිය බිඳ වැටීමට සමාන තත්ත්වයක්. ඉදිරියේදී අනෙකුත් රටවල්ද එකින් එක ද්විපාර්ශ්වීය තුලනය ගැන අවධානය යොමු කිරීම සිදු වන්නට ඉඩ තිබෙන දෙයයි. ඒ අනුව, ලංකාව විසින් කළ යුත්තේ ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ තිබෙන දැවැන්ත ද්විපාර්ශ්වීය වෙළඳ හිඟය අඩු කර ගැනීම් සඳහා ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග ගැනීමයි. ට්‍රම්ප් ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය පූර්වාදර්ශය සපයා තිබෙනවා. 

Tuesday, April 1, 2025

US GDP Hotspots: Where Economic Power is Concentrated...

 


In 2023, the nominal GDP of the USA was $27,720.7 billion. Over 50% of this came from 24 metropolitan areas, marked in red on the map. The remaining areas contributed less than 50%. One key reason for this is the high population density in these metro areas, which are home to 41% of the U.S. population.

In that year, the US accounted for 26.3% of the world's GDP. Consequently, these 24 metro areas contributed 13.2% to global GDP, despite being home to only 1.7% of the world's population.

විදේශ අංශයේ වත්මන් තත්ත්වය


පසුගිය 2024 වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,206ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඊට පෙර, 2023 වසර තුළද ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වුනා. එහෙත්, 1956 වසරින් පසුව, 1965දී සහ 1977දී හැර, 2022 දක්වා සෑම වසරකදීම ලංකාවේ ජංගම ගිණුමේ දැකිය හැකි වූයේ හිඟයක්. 1965 සහ 1977 යනු ගෙවුම් ශේෂ අර්බුද හමුවේ රුපියලේ අගය විශාල ලෙස අවප්‍රමාණය කරනු ලැබු වසර දෙකක්. 

පසුගිය 2023 හා 2024 දෙවසර තුළද ණය හා පොලී ගෙවීම් නිසි පරිදි සිදු නොවූ බවත්, ආනයන පාලනය කර තිබූ බවත්, අපට තවමත් අමතක නැති කරුණු දෙකක්. ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වීමට එම කරුණුද හේතු වුනා. එහෙත්, එවැනි තත්ත්වයක් තුළ වුවද, ජංගම ගිණුමේ අතිරික්තයක් පැවතීම යහපත් ප්‍රවණතාවයක්. පසුගිය (2024) වසරේ ජංගම ගිණුමේ අතිරික්තය හැදුනේ පහත පරිදියි. 

විදේශ විණිමය ලැබීම් (2024):

භාණ්ඩ අපනයන - ඩොලර් මිලියන 12,772

සේවා අපනයන - ඩොලර් මිලියන 6,910

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 610

ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 6,585

එකතුව - ඩොලර් මිලියන 26,877


විදේශ විණිමය ගෙවීම් (2024):

භාණ්ඩ ආනයන - ඩොලර් මිලියන 18,841

සේවා ආනයන - ඩොලර් මිලියන 3,475

ප්‍රාථමික ආදායම් (ගෙවීම්) - ඩොලර් මිලියන 3,208

ද්වීතියික ආදායම් (ගෙවීම්)  - ඩොලර් මිලියන 146

එකතුව - ඩොලර් මිලියන 25,671


මෙම සාධනීය ප්‍රවණතාව මෙම (2025) වසරේ පළමු මාස දෙක තුළද දැකිය හැකි අතර ජනවාරි හා පෙබරවාරි දෙමස තුළ ඩොලර් මිලියන 489ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ පහත පරිදියි. 


විදේශ විණිමය ලැබීම් (2025 ජනවාරි හා පෙබරවාරි):

භාණ්ඩ අපනයන - ඩොලර් මිලියන 2,106

සේවා අපනයන - ඩොලර් මිලියන 1,370

ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 104

ද්වීතියික ආදායම් - ඩොලර් මිලියන 1,121

එකතුව - ඩොලර් මිලියන 4,701


විදේශ විණිමය ගෙවීම් (2025 ජනවාරි හා පෙබරවාරි):

භාණ්ඩ ආනයන - ඩොලර් මිලියන 3,250

සේවා ආනයන - ඩොලර් මිලියන 544

ප්‍රාථමික ආදායම් (ගෙවීම්) - ඩොලර් මිලියන 391

ද්වීතියික ආදායම් (ගෙවීම්)  - ඩොලර් මිලියන 28

එකතුව - ඩොලර් මිලියන 4,213


දශක ගණනාවක් අඛණ්ඩව පැවති ලංකාවේ ජංගම ගිණුමේ හිඟයට ප්‍රධානම හේතුව වූයේ රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් නඩත්තු කරන අතර එයින් සැලකිය යුතු කොටසක් විදේශ ණය වලින් පියවා ගැනීම සහ එම විදේශ ණය වල උදවුවෙන් රුපියලේ අගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. ඒ නිසා, රජයේ අයවැය හිඟය තුලනය කරගෙන රුපියලේ අගය නිදහසේ තීරණය වෙන්නට ඉඩ දීමෙන් පසුව ජංගම ගිණුමේ හිඟය තව දුරටත් එලෙසම නඩත්තු වන්නේ නැහැ. 

දිගින් දිගටම ජංගම ගිණුමේ හිඟයක් නඩත්තු වෙද්දී, එම හිඟය පූරණය වන පරිදි, ණය හෝ ආයෝජන ලෙස විදේශ ප්‍රාග්ධනය රටට පැමිණිය යුතුයි. මේ ආකාර දෙකෙන්ම පැමිණෙන විදේශ විණිමය නිසා රටේ විදේශ වත්කම් වලට සාපේක්ෂව විදේශ බැරකම් ඉහළ යනවා. එමගින් ඇතිවන ශුද්ධ විදේශ වත්කම් හිඟය නිසා ප්‍රාථමික ආදායම් ලැබීම් වලට සාපේක්ෂව ප්‍රාථමික ආදායම් ගෙවීම් ඉහළ යනවා. පහත තිබෙන්නේ පසුගිය (2024) වසර අවසානයේදී ලංකාවේ විදේශ වත්කම් හා බැරකම් ප්‍රමාණ.

විදේශ වත්කම් (2024 අවසානයේදී):

රජය - නැත 

මහ බැංකුව - ඩොලර් මිලියන 6,122

බැංකු - ඩොලර් මිලියන 5,188

අනෙකුත් ආයතන හා පුද්ගලයින් - ඩොලර් මිලියන 3,312

එකතුව - ඩොලර් මිලියන 14,542


විදේශ බැරකම් (2024 අවසානයේදී):

රජය - ඩොලර් මිලියන 37,599

මහ බැංකුව - ඩොලර් මිලියන 4,874

බැංකු - ඩොලර් මිලියන 4,980

අනෙකුත් ආයතන හා පුද්ගලයින් - ඩොලර් මිලියන 20,572

එකතුව - ඩොලර් මිලියන 68,025


රජයේ, මහ බැංකුවේ සහ බැංකු වල විදේශ බැරකම් සියල්ල විදේශ ණය වන අතර අනෙකුත් ආයතන හා පුද්ගලයින්ගේ විදේශ බැරකම් වලින් ඩොලර් මිලියන 9,680ක්ද විදේශ ණයයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 57,133ක් වන අතර විදේශ බැරකම් වලින් ඉතිරි කොටස වන ඩොලර් මිලියන 10,892 රටේ දැනට ඇති ණය නොවන මුළු විදේශ ආයෝජන ප්‍රමාණයයි. 


වෙබ් ලිපිනය: