වෙබ් ලිපිනය:

Sunday, January 13, 2019

බෙලිඅත්තට කෝච්චියක්!


මාතර ඉඳලා බෙලිඅත්තට කෝච්චියක් වැටීම පහුගිය දවස් වල ගොඩක් අය කතා කරපු දෙයක්නේ. ඒ කතාබහත් වෙනත් ගොඩක් දේවල් වගේම කතාකරන පුද්ගලයින්ගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මත ධ්‍රැවීකරණය වෙලා තිබුණු බව පෙනෙන්නට තිබුණා. සුද්දෝ ගියාට පස්සේ පළමු වතාවට මේ ආකාරයට ලංකාවේ කෝච්චි පාරක් හැදුනු එක ගැන සමහර අය උදම් අනද්දී, තවත් සමහර අය මේ ව්‍යාපෘතිය සුදු අලියෙක් විදිහට දැක්කා.

කිලෝමීටර 26ක් වන මේ දුම්රිය මාර්ග කොටස හදන්න ඇමරිකන් ඩොලර් මිලියන 278.2ක් වියදම් වෙලා කියල කියනවා. ඒ ගාන ඕනෑවට වඩා වැඩිද, ඔය ආයෝජනය ආපහු ලැබෙන්න කොයි තරම් කාලයක් යනවද වගේ බරපතල ප්‍රශ්න අපි පැත්තකින් තියමුකෝ. කොහොම හරි දැන් බෙලිඅත්තට කෝච්චියක් යනවනේ!

ලංකාවේ හැදුණු පළමුවෙනි කෝච්චි පාර කොළඹ නුවර පාරයි. ඒකෙනුත්, මුලින්ම හැදුනේ කොළඹ අඹේපුස්ස දක්වා කොටසයි. හැතැම්ම 34.5ක් (කිලෝමීටර 55ක් පමණ) වන මේ කොටස හදන්න වියදම් වෙලා තියෙන්නේ ස්ටර්ලින් පවුම් 258,795ක් පමණයි. කිලෝමීටරේකට පවුම් පන්දාහකට අඩුයි. ඒ දවස් වලම සුද්දා රේල්පාර කතරගමටම හදල තිබුණානම් කිලෝ මීටරේකට ඩොලර් මිලියන දහය පන්නල වියදම් කරන්න වෙන්නේ නැහැ. කොහෙද ඉතිං පහු පහු වෙද්දී රේල් පාරවල් හදන එක සුද්දා අතෑරලා දාලනේ!

මේ කොළඹ අඹේපුස්ස පාරේ මුලින්ම මගී දුම්රියක් දුවවල තියෙන්නේ 1865 අන්තිම හරියේදී. නමුත්, ඊට පෙර විශේෂ ගමන්වාර ගණනාවක් දුවවල තියෙනවා. හරියටම හෙටට අවුරුදු 154කට කලින් ලංකාවේ පළමු දුම්රිය අනතුර සිදුවෙලා තියෙන්නේ නිල වශයෙන් ලංකාවේ මගී දුම්රිය ධාවනය ආරම්භ වෙන්නත් කලිනුයි. හරියටම කියනවනම් 1865 ජනවාරි 14 වෙනිදා. රේල් පාර හදන කටයුතු බාරව හිටපු ලිපිකරුවෙක් වන ශ්‍රී රාමලූ නායිදු කියන මනුස්සයාගේ නොසැලකිල්ල නිසා රාගම කිට්ටුව සිදුවෙලා තිබෙන මේ අනතුරෙන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.

කොළඹ සිට අඹේපුස්ස දක්වාම නැග්ම අඩි 180ක් පමණක් වූ මේ දුම්රිය මාර්ගයේ මුලින්ම නිල වශයෙන් දුම්රියක් ධාවනය කර තිබෙන්නේ 1864 දෙසැම්බර් 27 වෙනිදා. මේ ගමනට විශේෂ අමුත්තෙක්ද සහභාගී වී තිබෙනවා. ඒ මේ කියන දවස් වල ලංකාවේ දින 12ක සංචාරයක යෙදුනු හා වසරකට පසුව දෙවන ලියෝපෝල්ඩ් නමින් බෙල්ජියමේ රජ වූ බ්‍රබන්ට්හි ඩියුක් වරයා. එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් ටෙරන්ස් ඕබ්‍රයන්, යටත් විජිත මහලේකම් ගිබ්සන්, විගණකාධිපති, බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයා ඇතුළු ආණ්ඩුවේ ඉහළම නිලධාරීන් හා ඔවුන්ගේ පවුල් වල අයත්  මේ ගමනට සහභාගී වෙලා තියෙනවා. මේ මංගල දුම්රිය ධාවනය කරල තියෙන්නේ ගිල්ෆඩ් මෝල්ස්වර්ත් විසිනුයි.

බොහෝ දෙනෙක්ව උද්දාමයට පත් කරපු ඔය ගමන සාර්ථක ලෙස අවසන් වෙලා සති දෙකකට පමණ පසුවයි මම මුලින් කියපු අනතුර සිදු වෙලා තියෙන්නේ. ඒ දුම්රියේ රියදුරු ලෙස කටයුතු කරල තියෙන්නෙත් මෝල්ස්වර්ත්මයි. දුම්රිය මැදිරි 16ක් තල්ලු කරගෙන ඔහු එන්ජිම ධාවනය කර තිබෙන්නේ පසුපසින්. දුම්රිය මැදිරි වල වැඩිපුරම ඉඳලා තියෙන්නේ පාර හැදීමේ කටයුතු වල නිරත වූ කම්කරුවන්.

ඔය දුම්රිය පාර හදන දවස් වල රාගම පැත්තේ තිබිලා තියෙන්නේ ගැඹුරු මඩ වගුරු. ඒ නිසා පාර හදල තියෙන්නේ අඩි හය හතක් පස් පුරවලයි. දුම්රිය මාර්ගයේ වැඩ කරන්න දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් විශාල පිරිසක්ද ඇවිත් තිබෙනවා. කඩිනමින් වැඩ නිමකර මගී ප්‍රවාහනය සඳහා දුම්රිය මාර්ගය පොරොන්දු වූ දවසට විවෘත කරන්න ඉඩ සලසනු පිණිස කොන්ත්‍රාත්කරු වැඩ වේගවත් කරමින් සිටි කාලයක්. දවස පුරාම දුම්රිය ධාවනය කර තිබෙන්නේ මාර්ගයේ හතරවන හා දහවන සැතපුම් අතර පස් ඇදීමටයි.

වෙලාව හවස හය පමණ වෙද්දී රේල්පාරේ ට්‍රොලියක් නවත්වා තිබෙන බව දුම්රිය නියාමක හාඩින් විසින් දකින කොට කෝච්චිය හා ට්‍රොලිය අතර යාර විස්සකවත් දුරක් තිබී නැහැ. අඳුර වැටෙමින් තිබුණු මේ වෙලාවේ  කිට්ටුවට එන තුරුම ඒ හරියේ තිබුණු පාලමේ වහලය හා ට්‍රොලිය වෙන වෙනම පෙනිලා නැහැ. ට්‍රොලියේ වැදුණු දුම්රිය මැදිරි දෙපැත්තට වැනිලා එකින් එක මඩ වගුරට පෙරලිලා. පෙට්ටි 16න් 14ක්ම. එන්ජිමත් පිටිපස්සේ නිසා නිකම්ම තල්ලු වෙලා යන පෙට්ටිනේ. අනිත් එක කෝච්චිය පැයට සැතපුම් විස්සක පමණ, පැවති තත්ත්වයන් යටතේ තරමක් වැඩි වේගයකිනුයි ධාවනය කරලා තියෙන්නේ.

ට්‍රොලිය රේල්පාරේ නවත්තලා ගිහින් තියෙන්නේ ශ්‍රී රාමලූ නායිදු කියන මනුස්සයා. ඔය මනුස්සයා කුලීකාරයින්ට පඩි ගෙවන්න ඇවිත් තියෙන්නේ ට්‍රොලියේ. කුලීකාරයින් දෙන්නෙක් ලවා තල්ලු කරගෙනයි ඇවිත් තියෙන්නේ. ඔය වගේ වැඩක් කරන්න ඔහුට බලයක් තිබී නැහැ.

අන්තිමට 36 දෙනෙක් මිය ගිහින්. ගොඩක් අය මඩේ ගිලීම නිසා. ඔය අතර එක් අයෙක් සුද්දෙක්. ජෝජ් ඉන්ග්‍රම්. ඉතිරි අයගෙන් තුනෙන් දෙකක් සිංහල. තුනෙන් එකක් දෙමළ. ඔය කුලී කාරයෝ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ රාගම හරියේ. ඔවුන් හවස පහමාරට වැඩ ඉවර කරලා ගෙවල් වලට යමිනුයි ඉඳලා තියෙන්නේ. වැඩ පාටියේ කුලීකරුවන් 129ක් හිටියත් ගොඩක් අය කොහොම හරි පැනගෙන තියෙනවා. එහෙම නැත්නම් කෝච්චියට නැගලා නැහැ.

දුම්රිය නියාමක හාඩින් රියදුරුට සංඥා කරමින් දුම්රිය පසුපසට මැදිරියෙන් මැදිරියට දුවගෙන ඇවිත් තිබුණත් ඔහුට වැඩි දුරක් එන්න ලැබිලා නැහැ. දුම්රිය මැදිරි පෙරලෙද්දී ඔහුටත් බරපතල තුවාළ සිදු වී තිබෙනවා. තුවාලකරුවන්ව ප්‍රතිකාර ලබා දීම සඳහා වැලිසර රෝහලට හා අහල පහළ ගෙවල් වලට ගෙනිහින් තියෙනවා. ආණ්ඩුකාරවරයා වෛද්‍ය කණ්ඩායම් හා අනෙකුත් නිලධාරීන් සමඟ ඇවිත් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. පසුව පත් කරලා තියෙන 13 දෙනෙකුන් යුතු ජූරිය තීරණය කරලා තියෙන්නේ වැරදිකාරයා නායිදු බවයි.

අනතුර සිදු වී දවසකට පස්සේ ඒ කාලයේ ලංකාවේ හිටපු ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙක් වූ හිපොලයිට් සිල්වාෆ් විසින් මේ ස්ථානය දැකපු ආකාරය ලිපිය ආරම්භයේ තිබෙන චිත්‍ර සටහනෙන් දැකිය හැකියි. පහළ චිත්‍ර සටහන් වල තියෙන්නේ ඔහු දැකපු ඒ කාලයේ කොළඹ (කොටුව) දුම්රිය ස්ථානය. අන්තිම චිත්‍ර සටහනේ ඈතින් පේන්නේ කොළඹ කොටුව.




13 comments:

  1. ඔබතුමා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු සේවක මහත්තයෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයි අවුල්ද? මචන්

      Delete
    2. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සුළු සේවක ජොබක් කරමින් සිරිකොත පාට් ටයිම් කරන්න පුළුවන් නේද?

      Delete
  2. https://catalog.hathitrust.org/Record/003438466

    ReplyDelete
  3. ගියෙමි සූරිය වැවට
    බලන්නට මැච් එකක්
    සෙනග සූ ගාලා
    ඇඟිල්ලක් ගහන්නට
    බැරි තරම්

    එනගමන් ගොඩඋනා
    රන්මිණිතැන්නටත්
    ටෙලි නැටුම් හදනවා
    හදනවා හදනවා
    ඉවරයක් නැති තරම්

    සතුට ඉහවහ ගිහිං
    විඳගන්න බැරි තරම්
    මත්තලට ගොඩඋනේ
    ඇවිදින්න බැරි තරම්

    ප්ලේන් එනවා
    ප්ලේන් යනවා
    බලන්න ලස්සණයි
    ආකාසේ

    මෙච්චර දුර ආපු එකේ
    වරාය නොබලා කොහොමද
    ගියයි කියමුකෝ එතනට
    බැරි බැරි මරගාතේ

    බුදු අප්පේ
    ඒ වගේ නැව්
    හරියට සාගරය වගේ
    මේ එනවා මේ යනවා
    තොරතෝංචියක් නැතුවම

    ඔක්කොම කෙළි
    ඉවරවෙලා
    බෙලිඅත්තට මං එනකොට
    මෙන්න එතන කෝච්චියක්
    ඉස්ටේසමකුත් හදලා
    අදහන්නට බැරි තරමයි

    තේකක් බොන්නට තිබහට
    ගොඩ උනාය තේ කඩේට
    වෑර්ලස් එකෙන් අගමැති
    තම ජාතිය අමතනවා
    රටේම ණය කන්දරාව
    ඩොලර් වලට
    හැරෙව්වාම
    බිලියන හැටතුනක් කියපි.



    ReplyDelete
  4. නිදහස ලැබිලා අවුරුදු 70ක් ගියත් සුද්දගේ කෝච්චිපාර අඝලක් දික්කලේ නෑ කියලාකිව්වා.
    අළුතින් පාරක් හැදුවාම. අපරාදෙ සල්ලි කියලා කියනා. මේක හරි අසාධාරණයි

    ReplyDelete
    Replies
    1. ජගත් දැන් බලන්න මීට වසර කිහිපයකට ඉස්සර දක්‍ෂිණ අධිවේගී මාර්ගය විවෘත කල දවස්වල ලන්කාව වගේ හිඟන රටවලට අධිවේගී මාර්ග කිසි වැඩක් නැහැ, ඕක හදන්නෙ මැදමුලන රාජපස්ස නීලකාස කම්බ හොර රැල මැදමුලනින් කොළඹට ඇඹුල් තියල් ගෙනෙන්න කියල ජවිපෙ නායක අනුර කුමාරයා කරන ලද ප‍්‍රකාශයක් සංවාදයට ලක් වුනා මතකනෙ.

      හැබැයි අධිවේගෙන් ඇඹුල් තියල් ගේන කතාවෙන් පස්සෙ බෙලිඅත්තට කෝච්චි පාර අඩි තුනක් හදන්න දහඅට ලක්‍ෂයක් ගිහින් කියල අනුර කුමාරයා මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී එහි අඩි 03ක වියදම රු. 1,850,000ක් බව ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගලදී පැවති ජනහමුවක් අමතමින් විලාප තියනව දකින්න ඇති. මේ කියන්නෙ මම හිතන්නෙ මීටර 1ක කන්ස්ට්‍රක්ශන් කොස්ට් එක.

      ඉතින් ජගත් ඉන්දියාවෙ කොස්ට් එක මෙන්න.

      https://en.wikipedia.org/wiki/High-speed_rail_in_India

      //According to the media, the costs for constructing such rail lines in India are estimated to be ₹700-1000 million per km (US$15–22 million/km).// - High-speed rail in India - Wikipedia

      මේක ගණන් හදල මට ලන්කාවෙ ඇත්තටම යන කොස්ට් එක කියන්න පුලුවන් ද?

      (හැබැයි ජගත් අනුර කුමාරයා කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයකදී මාර්ග තදබදය ගැන අදහස් පලකරමින් කියා සිටියේ නම් මහරගම සිට පිටකොටුවට පැය එකහමාරක් තුල ගියහොත් ලොතරැයියක් ඇදුනා හා සමාන බවයි.)

      Delete
  5. සුද්දගෙ කාලයෙන් පසු ලංකාවේ දුම්රිය මාර්ග තැනුවේ නැති යැයි කීවාට, අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගයක් තැනුවා යැයි මා මෑතකදී කෙටි සටහනක කියෙව්වා. ඒ ගැන තොරතුරු ඔබ දන්නවාද?

    ReplyDelete
    Replies
    1. ඒ දවස් වල ගම්උදා ප්‍රදර්ශන භූමි වල පොඩි කෝච්චි පාරක් සහ තාවකාලික දුම්රියපොළක් හදලා පස්සේ ගලවාගෙන ගියා නේද? ඇඹිලිපිටියේ එහෙමත් තිබුණා වගේ මතකයි. මිහින්තලේ එක අනුරාධපුරේට සම්බන්ධ කරලා ස්ථිරව හදලා දිගටම ඉතුරු කළා මං හිතන්නේ.

      Delete
    2. දැන් තත්ත්වය ගැන පහත ලිපි වල තියෙනවා.

      http://www.divaina.com/2014/10/26/nimna03.html

      http://www.dinamina.lk/2016/06/15/17712

      Delete
    3. අනුරාධපුර සිට මිහින්තලේට මහා ලොකු දුරක්‌ නැත. කිලෝ මීටර දොළහකි. මිහින්තලේ සිට උදේ හවස රැකියාවලට යන එන මහා විශාල ජනතාවක්‌ ද නැත. එවැනි වපසරියක්‌ තුළට දුම්රිය ස්‌ථානයක්‌ අවැසි නැති බව තණකොළ කන මීමෙකුට වුණත් තේරෙන්නේය. එමෙන්ම ප්‍රදේශවාසීන් කියන විදිහට මෙම දුම්රිය මාර්ගය තනා ඇත්තේ මහා කැලෑවක්‌ මැදිනි. එම දුම්රිය මඟේදී දුම්රියක්‌ යම් අනතුරකට ලක්‌ වුවොත් මගීන්ට බස්‌ පාරට එන්නට කිලෝ මීටර් තුනක්‌ පමණ ඇවිද යැමට ද සිදු වේ. එසේ නම් මේ ව්‍යාපෘතිය මොළේ විකාරෙන් කරපු ගොන්ම ගොන් පාට්‌ එකක්‌ බව සිහිබුද්ධියක්‌ ඇති කෙනෙකුට තේරෙන්නේය. එහෙත් ප්‍රේමදාස ආණ්‌ඩුව මිහින්තලේ නිර්මාණය කළ අම්බලම රටට වැඩ ඇති එකක්‌ කරගැනීමට තවමත් මේ ආණ්‌ඩුවට ද නොහැකි වීම ජාතියේ කරුමයකි.

      යටගිය ආණ්‌ඩුත් උඩ සිටින ආණ්‌ඩුවත් අතර කිසිම වෙනසක්‌ නැති බව තේරුම් ගැනීමට මිහින්තලේ කෝච්චි නොයන දුම්රියපළ හොඳටම ප්‍රමාණවත් බව දැන් ඕනෑම හරකෙකුට තේරෙන්නේය.

      Delete
    4. මිනින්තලේ කෝච්චි පාර ප්‍රයෝජනයට ගන්නේ පොසොන් පෝය මාසේ. ඒ කාලේ මේ මාර්ගයේ ලක්ෂ ගණනාවක් මිනිසුන් යනවා. ඒ නිසයි මේ පාර හැදුවේ. අනික් කාලවල කෝච්චි යන්නේ නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: