මේ වෙද්දී තවත් සිංහල අලුත් අවුරුද්දක් උදා වෙලා. මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදු වුනේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව ලංකාවේ වේලාවෙන් අප්‍රේල් මස 14 දින පස්වරු 2:29ටයි. එම මොහොතේදී ශක වර්ෂයෙන් 1944 වසර ගෙවී 1945 වසර උදා වුනා.
මේ වන විට, සිංහල අලුත් අවුරුද්ද උදාවන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 13 දින හෝ 14 දිනයි. පහතින් ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ එම ව්‍යවහාර දින දසුන අනුව මේෂ සංක්‍රාන්තිය හෙවත් නව අවුරුදු උදාව සිදු වූ මොහොතයි.
2009 අප්‍රේල් 14 පෙරවරු 12:47
2010 අප්‍රේල් 14 පෙරවරු 6:58
2011 අප්‍රේල් 14 පස්වරු 1:01
2012 අප්‍රේල් 13 පස්වරු 7:20
2013 අප්‍රේල් 14 පෙරවරු 1:29
2014 අප්‍රේල් 14 පෙරවරු 7:37
2015 අප්‍රේල් 14 පස්වරු 1:47
2016 අප්‍රේල් 13 පස්වරු 7:48
2017 අප්‍රේල් 14 පෙරවරු 2.04
2018 අප්‍රේල් 14 පෙරවරු 8.13
2019 අප්‍රේල් 14 පස්වරු 2.09
2020 අප්‍රේල් 13 පස්වරු 8.23
2021 අප්‍රේල් 14 පෙරවරු 2.33
2022 අප්‍රේල් 14 පෙරවරු 8.41
2023 අප්‍රේල් 14 පස්වරු 2.59
මේ අනුව පෙනෙන්නේ මේ වන විට අප්‍රේල් 13 දිනක අවුරුදු උදාව සිදුවන්නේ ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව අධික අවුරුදු වලදී පමණක් බවයි. එසේ නැත්නම් එය සිදුවන්නේ අප්‍රේල් 14 දිනකයි. එහෙත්, මෙය හැමවිටම මේ අයුරින්ම සිදුවී නැහැ. ඉදිරියේදී එලෙසම සිදුවන්නේද නැහැ. දශක තුන හතරකට පෙර, මා කුඩා කාලයේදී, අවුරුදු උදාව වැඩි වශයෙන්ම සිදුවුනේ අප්‍රේල් 13 දිනකයි.
සිංහල අවුරුදු දිනය ග්‍රෙගෝරියන් දින දසුන අනුව, වසරින් වසර ඉදිරියට තල්ලු වෙනවා. ඒ, සිංහල අවුරුද්දක් ග්‍රෙගෝරියන් අවුරුද්දකට වඩා මඳක් දිග වැඩි නිසා. පසුගිය වසර වල අවුරුදු උදාවන් අතර ගතවූ කාලය පිරික්සූ විට මෙය පැහැදිලි වෙනවා.
2009/10 : දින 365 පැය 6 විනාඩි 11
2010/11 : දින 365 පැය 6 විනාඩි 03
2011/12 : දින 365 පැය 6 විනාඩි 19
2012/13 : දින 365 පැය 6 විනාඩි 09
2013/14 : දින 365 පැය 6 විනාඩි 08
2014/15 : දින 365 පැය 6 විනාඩි 10
2015/16 : දින 365 පැය 6 විනාඩි 01
2016/17 : දින 365 පැය 6 විනාඩි 16
2017/18 : දින 365 පැය 6 විනාඩි 09
2018/19 : දින 365 පැය 5 විනාඩි 56
2019/20 : දින 365 පැය 6 විනාඩි 14
2020/21 : දින 365 පැය 6 විනාඩි 10
2021/22 : දින 365 පැය 6 විනාඩි 08
2022/23 : දින 365 පැය 6 විනාඩි 18
මේ අනුව, සූර්යයාගේ සාපේක්ෂ චලිතය මත පදනම්ව ගණනය කෙරෙන සිංහල අවුරුද්දක් සාමාන්‍යයක් ලෙස දින 365ක් සහ පැය 6කට වඩා විනාඩි 9-10ක් පමණ දීර්ඝ බව පෙනෙනවා.
ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ සාමාන්‍ය වසරක දින ගණන 365ක් වුවත් වසර 4කට වරක් දින 366කින් යුත් අධික අවුරුද්දක් එළැඹෙනවා. ඒ නිසා, සිංහල අවුරුද්දේ දිග හරියටම දින 365ක් සහ පැය 6ක් වීනම්, ග්‍රෙගෝරියන් දින දසුන අනුව වසර හතරක කාලයකට පසුව සිංහල අවුරුදු උදාව සිදු විය යුත්තේ එකම මොහොතකදීයි. එහෙත්, සිංහල අවුරුද්ද දින 365ක් සහ පැය 6කට වඩා විනාඩි 9-10ක් පමණකින් දීර්ඝ නිසා ග්‍රෙගෝරියන් දින දසුන අනුව මේ මොහොත වසර හතරක චක්‍රයක් තුළ විනාඩි 37කින් පමණ කල් යනවා.
ඉහත හේතුව නිසා සිංහල අවුරුද්ද දවසකින් ඉදිරියට යාමට සියවස් එකහමාරක් පමණ ගත වන නමුත් වෙනත් හේතුවක් නිසා සිංහල අවුරුද්ද මීට වඩා වේගයෙන් ඉදිරියට යනවා. ග්‍රෙගෝරියන් දින දසුන අනුව 1900 වසර වැනි සියවස් වසරක් අධික අවුරුද්දක් වන්නේ සියවස් හතරකට වරක් පමණයි. මේ අනුව, වසර 400ක කාලයක් තුළ සිංහල අවුරුදු උදාව තවත් අමතර දින තුනකින් ඉදිරියට යනවා. සිංහල අවුරුද්ද මේ වන විට අප්රේල් මස 13 හෝ 14 දිනක උදාවන්නේ වසර ගණනක් පුරා මෙසේ ඉදිරියට තල්ලු වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
ක්වේරෝස් පියතුමා විසින් සටහන් කර ඇති පරිදි (පෙරේරා පියතුමාගේ ඉංග්‍රීසි පරිවර්තනය, වෙළුම 1 පිටුව 107) පෘතුගීසි සමයේදී බක් මහ එළැඹී ඇත්තේ මාර්තු මාසයේදීයි. එමෙන්ම, වෙසක් හා පොසොන් උත්සව පැවතී ඇත්තේ පිළිවෙලින් අප්‍රේල් හා මැයි මාස වලදීයි. රොබර්ට් නොක්ස් ලංකාවේ සිටි කාලයේදී සිංහල අවුරුදු උදාව සිදු වී තිබෙන්නේ මාර්තු මස 27, 28 හෝ 29 වන දිනකයි. ("Their New year is always either the 27th, or the 28th, or the 29th of March"- An Historical Relation of the Island Ceylon in the East Indies. CHAP IV.)
රොබර්ට් නොක්ස් විසින් හා ක්වේරෝස් පියතුමා විසින් මේ දින වාර්තා කර ඇත්තේ ජුලියන් කැලැන්ඩරය අනුවයැයි සැලකුවහොත්, නිරයන ජ්‍යෝතිෂය අනුව මේ කාලයේ මේෂ සංක්‍රාන්තිය සිදුවිය යුතුව තිබුණු, ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව අප්‍රේල් 8 ආසන්න දිනයක් සමඟ මෙය තරමකට ගැලපෙනවා. එහෙත්, ජේ ඩබ්ලිවු බෙනට් විසින් වාර්තා කර ඇති පරිදි 1841 දී සිංහල අවුරුදු දිනය සමරා ඇත්තේ මාර්තු මස 21 වෙනි දිනයි. ඒ දිනය ගැලපෙන්නේ සායන ජ්‍යෝතිෂය සමඟයි.
සිංහල අවුරුදු උත්සව දිනය මෙන්ම වෙසක් දිනයද ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දින බවට පත් කෙරුණේ 1885 මාර්තු 27 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟිනුයි. කොටහේනේ දීපදුත්තාරාමයේ පැවති පෙරහැරට අන්‍යාගමිකයින් විසින් පහර දීමෙන් පසු ඇති වූ ආගමික ගැටුම් හමුවේ කිසියම් සංහිඳියාවක් ඇති කිරීමේ අරමුනින් මෙම නිවාඩු දින ලබා දීම සිදු වෙනවා. ශක වර්ෂ 1805 (ක්‍රිස්තු වර්ෂ 1885/86) ඈපා පංචාංග ලිත අනුව එම වසරේ මේෂ සංක්‍රාන්තිය සිදු වී ඇත්තේ අප්‍රේල් මස 11 දිනයි. ඒ අනුව, 1885 අවුරුදු නිවාඩුව අප්‍රේල් මස 11 වන දිනත්, මේ අයුරින්ම වෙසක් නිවාඩුව අප්‍රේල් මස 28 දිනත් ලබාදී තිබෙනවා. බෞද්ධ කොඩිය පළමුව එළි දක්වා ඇත්තේද 1885 අප්‍රේල් 28 එළැඹුණු වෙසක් පුන් පෝ දිනයේදීයි.
නිවර්තන වසර සමඟ ආසන්නව ගලපමින් සාදා ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ අවුරුද්දක් නක්ෂත්‍ර වසරක කාලය සමඟ ගලපමින් සකසා ඇති සිංහල අවුරුද්දකට වඩා මඳක් කෙටි නිසා ඉදිරි වසරකදී සිංහල අවුරුදු උදාව අප්‍රේල් 13 දිනක සිදුවනු ඇත්තේ අධික අවුරුදු වලදී පමණයි. උදාහරණයක් ලෙස ඉදිරි 2024 වසරේදී මෙය සිදු වීමට නියමිතයි.
එහෙත් මෙයද සිදුවනු ඇත්තේ 2024 වසරද ඇතුළුව තවත් වසර පහකදී පමණයි. බොහෝ විට අවසන් වරට අප්‍රේල් 13 දිනක සිංහල අවුරුද්ද උදාවනු ඇත්තේ 2040 වසරේදීයි. ඉන් පසුව, 2083 වැනි වසරකදී සිංහල අවුරුදු උදාව අප්‍රේල් 15 දක්වා තල්ලු වී, ඉදිරි සියවස ආරම්භ වීමෙන් පසුව, 2103 වැනි වසරකදී සිංහල අවුරුදු උදාව අප්‍රේල් 16 දක්වා තල්ලු වීමට නියමිතයි.
මේ විදිහට සිංහල අවුරුද්ද වසරින් වසර ඉස්සරහට යන්නේ ඇයි?
මෙය තේරුම් ගන්නටනම් අවුරුද්දක් කියන්නේ කුමක්ද කියා තේරුම් ගත යුතුයි. අවුරුද්දක් කියා කියන්නේ අනාගතය පුරෝකථනය කිරීම හා සැලසුම් කර ගැනීම සඳහා මිනිසා විසින් හදාගත් සංකල්පයක්. දවස හා මාසය කියන්නේත් මේ වගේ සංකල්ප දෙකක්.
බොහෝ විට මිනිසා විසින් මුලින්ම හදා ගන්න ඇත්තේ දවස කියන සංකල්පයයි. එය පෘථිවියේ භ්‍රමණය නිසා ඇති වන දිවා රාත්‍රී චක්‍ර වලට සම්බන්ධයි. රෑ වුනාට පස්සේ නැවත එළි වෙනවා කියන එක මිනිස්සුන්ට මුලින්ම නිවැරදිව පුරෝකථනය කරන්න පුළුවන් වූ දෙයක් වෙන්න ඇති.
දවස කියන සංකල්පය හදාගත්තට පස්සේ මාසය කියන සංකල්පයත් හදා ගන්න ඇති. එය හැදෙන්නේ හඳේ චක්‍රයත් එක්ක. අවුරුද්ද කියන සංකල්පය හැදෙන්නේ ඊටත් පස්සේ සෘතු වෙනස්කම් එක්ක සම්බන්ධ වෙලා. මේ සංකල්ප, එකම විදිහටම නොවුනත්, ලෝකය පුරා විවිධ තැන් වල ජීවත් වූ මිනිසුන් විසින් වෙන වෙනම හදාගෙන තිබෙනවා.
සමහර සංස්කෘති වල දවස පටන් ගන්නේ ඉර උදාවෙන්. තවත් සමහර සංස්කෘති වල ඉර බැසීමේ ඉඳලා. නමුත් පදනම දිවා රාත්‍රී චක්‍රය. ඔය විදිහටම සමහර සංස්කෘති වල පසළොස්වක දවසෙන් මාසය අවසන් වෙනවා. තවත් සමහර සංස්කෘති වල අමාවක දවසෙන් මාසය අවසන් වෙනවා. නමුත් එකම චක්‍රය.
දවස හා මාසය වගේම අවුරුද්ද කියන සංකල්පය හැදෙන්නෙත් ස්වභාව ධර්මය එක්ක වුනත් අවුරුද්දක් සලකුණු කරන චක්‍රය හරියටම හඳුනා ගන්න එක දවස හෝ මාසය හඳුනා ගන්නා තරම්ම පහසු දෙයක් නෙමෙයි. ඒ නිසා, අවුරුද්ද හරියට හඳුනා ගන්න යම් කාලයක් ගත වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ විවිධ සංස්කෘති වල මෙය එක විදිහටම වෙලා නැහැ. අවුරුද්ද හඳුනා ගන්න උදවුවෙන කාලගුණ චක්‍ර දිවා රාත්‍රී චක්‍ර හෝ හඳේ චක්‍ර තරම් නිශ්චිත නොවීම ඊට හේතුවයි.
කාලගුණ චක්‍ර හැදෙන්නේ ඉර වටා සිදු වන පොළොවේ චලිතය නිසා. මේ චක්‍රය හරියටම විස්තර කරන්නේ නිවර්තන වර්ෂයෙන්. නමුත් කාලගුණ චක්‍ර මිසක් ඉර වටා සිදු වන පොළොවේ චලිතය සෘජුව නිරීක්ෂණය කරන්න බැහැ. ඒ වැඩේට යොදා ගෙන තිබෙන්නේ නිරීක්ෂණය කළ හැකි තාරකා රටාවන්ගේ චලිතයන්. මේ රටාවන් සමපාත වෙන්නේ නක්ෂත්‍ර වර්ෂය එක්ක. නක්ෂත්‍ර වර්ෂය සහ නිවර්තන වර්ෂය අතර තිබෙන පොඩි වෙනස බොහෝ කාලයක් යන තුරු මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වූ දෙයක්.
ග්‍රෙගෝරියන් දින දසුනට හා ව්‍යවහාර වර්ෂ වලට පාදක වී තිබෙන නිවර්තන වසරක සාමාන්‍ය දිග දින 365ක් පැය 5ක් මිනිත්තු 48ක් හා තත්පර 46ක්. සිංහල අවුරුද්දට පාදක වී තිබෙන නක්ෂත්‍ර වසරක් නිවර්තන වසරකට කාලය දින 365ක් පැය 6ක් මිනිත්තු 9ක් හා තත්පර 10ක්. නිවර්තන වර්ෂයක් නක්ෂත්‍ර වර්ෂයකට වඩා විනාඩි 20කුත් තත්පර 24ක් පමණ දිගින් වැඩියි. මේ වෙනසට හේතුව පෘථිවිය තමා වටා භ්‍රමණය වන අක්ෂයද වසර 26,000කට ආසන්න කාලයකදී සම්පූර්ණ කරන චක්‍රීය චලිතයක යෙදී සිටීමයි.
උත්තර අර්ධගෝලයේ පිහිටි රටවල වසන්ත සෘතුව ආරම්භ වන වසන්ත විෂුවය වෙනත් වර්ෂ ක්‍රම ගණනාවක මෙන්ම සිංහල අවුරුද්දේද සම්භවයයි. මේ වන විට වසන්ත විෂුවය සිදු වන්නේ මාර්තු 21 හෝ ආසන්න දිනකයි. එනම් සිංහල අවුරුදු දිනට දින 24කට පමණ පෙරයි. මේ වෙනසට හේතුව දීර්ඝ කාලයක් තිස්සේ නිවර්තන වර්ෂය හා නක්ෂත්‍ර වර්ෂය අතර විනාඩි 20ක පමණ කාල වෙනස නොසලකා හැරීමයි. ඊට අමතරව නිවර්තන වර්ෂය මැන ගැනීමේදී ග්‍රෙගෝරියන් දින දසුන හා ඊට පෙර ජුලියන් දින දසුන තුළ සිදුව ඇති මිනුම් වරදත්, සිංහල අවුරුද්ද ගණනය කිරීම සඳහා නක්ෂත්‍ර වසර මැන ගැනීමේදී සිදුව ඇති මිනුම් වරදත් මෙම වෙනස අඩු වැඩි කර තිබෙනවා.
අපට පසු ගණනය කර සොයා ගත හැකි පරිදි, ක්‍රිස්තු වර්ෂ 543 මාර්තු 19 ආසන්න දිනක මේෂ සංක්‍රාන්තිය මෙන්ම වසන්ත විෂුවයද එකවර සිදු වී තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 543 කියා කීවත් මේ වන විට ඩයනීසියස් එක්සීජියස් විසින් මුල් වරට ක්‍රිස්තු වර්ෂ නම් වූ සංකල්පය හඳුන්වාදී වසර 18ක් ගතවී තිබුනා පමණයි. ඒ වන විට ක්‍රිස්තු වර්ෂ දැන් මෙන් ප්‍රචලිත වී තිබුණේ නැහැ. පොළොවේ පෙනෙන වාර්ෂික සෘතු විපර්යාස චක්‍රයේ ඇරඹුම් දිනය සේ සැලකිය හැකි වසන්ත විෂුවය සිදු වන දිනය ආකෘතිගත කිරීම සඳහා අහසේ පෙනෙන සංක්‍රාන්ති චක්‍රයේ මේෂ සංක්‍රාන්ති දිනය ගැලපීම සිදු වෙන්න ඇත්තේ මීට ආසන්න කාලයකයි.
අද අපි දන්නා පරිදි, නක්ෂත්‍ර වර්ෂයක දිග දින 365ක් පැය 6ක් මිනිත්තු 9ක් හා හා තත්පර 9.76ක් වුවත්, සූර්ය සිද්ධාන්තය ඇතුළු පැරණි ජ්‍යෝතිෂ ග්‍රන්ථ සම්පාදනය කළ විද්වතුන් දැනසිටි නක්ෂත්‍ර වර්ෂයක දිග අද අප දන්නා තරමටම නිරවද්‍ය වූයේ නැහැ. මේ ග්‍රන්ථ අතරින් දැනට ඉතිරිව ඇති පැරණිම ග්‍රන්ථය වන සූර්ය සිද්ධාන්තයට අනුව, නක්ෂත්‍ර වසරක දිග දින 365ක් පැය 6ක් මිනිත්තු 12ක් හා තත්පර 36.56ක්. අනෙක් ග්‍රන්ථ වල සඳහන් කාලයද මේ කාලයට ආසන්නයි. මෑතක් වන තුරුම, සියවස් ගණනාවක් පුරා, මේෂ සංක්‍රාන්තිය සිදුවන අවස්ථාව ගණනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ මේ කාලය මිස දැන් අප දන්නා නිවැරදිම කාලය නෙමෙයි.
ඒ කාලයේදී භාවිතා වුනු ජුලියන් දින දර්ශනයේ වසරක සාමාන්‍ය දිග දින 365කුත් පැය 6ක් පමණක් නිසා, ජුලියන් දින දර්ශනයට සාපේක්ෂව, එම වසරේ සිට වසරකට මිනිත්තු 12ක් හා තත්පර 36.56 බැගින් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව ඉදිරියට ගොස් තිබෙනවා. 1582දී ග්‍රෙගෝරියන් දින දර්ශනය හඳුන්වාදෙන විට වසර 1039ක් තිස්සේ වසරකට මිනිත්තු 12ක් හා තත්පර 36.56 බැගින් (ජුලියන් දින දර්ශනයට සාපේක්ෂව) දින 9ක් පමණ ඉදිරියට පැමිණි මේෂ සංක්‍රාන්තිය මාර්තු 26 ආසන්න දිනක සිදු වී තිබෙනවා. රොබර්ට් නොක්ස්ගේ හා ක්වේරෝස් පියතුමාගේ වාර්තා වල ඇති සිංහල අවුරුදු දිනය මේ දිනය සමඟ සැසඳීමෙන් පෙනී යන්නේ 1582 වසරින් පසුවද ජුලියන් දින දර්ශනය ලංකාවේ දිගටම භාවිතා කර ඇති බවයි.
බ්‍රිතාන්‍යය විසින් 1752දී ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතා කිරීම නීත්‍යානුකූලව ආරම්භ කරමින් පණතක් හඳුන්වා දුන් කාලය වෙද්දී ජුලියන් දින දර්ශනය අනුව ලංකාවේ සිංහල අවුරුද්ද ඇරඹී තිබෙන්නේ මාර්තු 27 ආසන්න දිනයකයි. එමෙන්ම, 1751 දක්වා බ්‍රිතාන්‍යයේ (ස්කොට්ලන්තයේ හැර) අවුරුද්ද ඇරඹුණේද ජනවාරියේදී නොව මාර්තු 26 දිනයි. නව පණත හඳුන්වාදීමත් සමඟ බ්‍රිතාන්‍යයේ හා යටත් විජිත වල නීත්‍යානුකූලව වසරේ ආරම්භය ජනවාරි පළමුවනදා වූවා පමණක් නොව දින 11ක් කැලැන්ඩරයෙන් ඉවත් කෙරුණා.
ලංකාව තුළ ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතයට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස සිංහල අවුරුද්ද අප්‍රේල් 9 පමණ දක්වා කල් ගොස් තිබෙනවා. එයට අනුරූපව වෙසක් පෝය ඇතුළු අනෙකුත් පෝය දිනද, ව්‍යවහාර දින දර්ශනයට සාපේක්ෂව, කල් ගොස් තිබෙනවා.
නිවර්තන අවුරුද්ද අනුව සකසා ඇති ග්‍රෙගෝරියන් අවුරුද්ද නිවර්තන අවුරුද්දට වඩා මිනිත්තුවකට ආසන්න කාලයක් (තත්පර 58ක් පමණ) කෙටි වුවත්, ජුලියන් අවුරුද්දකට වඩා මිනිත්තු 10කුත් තත්පර 48ක් දිගින් වැඩි නිසා ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතයට ගැනීමෙන් පසුව සිංහල අවුරුද්ද ජුලියන් අවුරුද්ද පැවති සමයේදී සිදුවූවාට වඩා දෙගුණයක පමණ වේගයෙන්, වසරකට මිනිත්තු 23.4ක් පමණ කාලයකින් ඉදිරියට යනවා. එහෙත් මෙය දිගු කාලයක් තුළ සාමාන්‍ය වශයෙන් සිදු වන්නක් මිස වසරින් වසර එක ලෙස සිදු වන දෙයක් නෙමෙයි.
මේ වන විට මේෂ සංක්‍රාන්තිය සිදුවන දිනය ගණනය කිරීම සඳහා සූර්ය සිද්ධාන්තයේ සඳහන් වර්ෂයක කාලය වෙනුවට නිවර්තන වර්ෂයක නිවැරදි දිග යොදා ගන්නා බව පෙනෙනවා. ඒ නිසා, ඉහත වෙනස මිනිත්තු 19ක් පමණ දක්වා අඩු වී තිබෙනවා. මේ අනුව, ග්‍රෙගෝරියන් දින දර්ශනය තුළ සාමාන්‍ය වශයෙන් වසර 71කට පමණ වරක් සිංහල අවුරුද්ද හා සිංහල චන්ද්‍රමාස දවසකින් ඉදිරියට තල්ලු වෙනවා.
හැබැයි එයින් අදහස් වන්නේ මෙය වසර 71ක චක්‍රයක් ලෙස සිදුවන බව නෙමෙයි. ඒ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ චක්‍රය විධිමත් නොවන එකක් නිසා. වසර 1200ක කාලයක් සැලකුවොත්, 400, 800, 1200 අවුරුදු වලදී හැර, සියයෙන් බෙදෙන අනෙක් අවුරුදු 9දීත්, ඊට අමතරව ආසන්න වශයෙන් වසර 157කට වරක් ලෙස තවත් 7-8 වරකුත් ලෙස දින 16-17කින් සිංහල අවුරුද්ද ඉදිරියට යනවා. එවිට සාමාන්‍ය වශයෙන් වසර 71කට ආසන්න කාලයක්.