පසුගිය ලිපියට ලැබුණු විවිධ ප්‍රතිචාර අතර පැහැදිලි කිරීම් අවශ්‍ය වන විචේචන කිහිපයක්ද තිබුණා. එක් අයෙකු යෝජනා කර තිබුණේ කිව යුතු දෙය සාරාංශ කර කෙටියෙන් කිව යුතු බවයි. මෙය වරින් වර විවිධ අය අපට යෝජනා කරන දෙයක්. බොහෝ අය මේ යෝජනාව කරන්නේ යහපත් චේතනාවකින් සහ අප ලියන දේ වැඩි පිරිසක් වෙත යා යුතුය යන අරමුණින්.
සාමාන්‍යයෙන් වත්පොතේ සටහන් කියවන බොහෝ අය දිග "හෑලි" කියවන්න කැමති නැහැ. ගොඩක් අය කැමති "වොයිස් කට්" ආකෘතියට. ඒ ආකෘතියේ දේවල් කියන අය වත්පොතේ වගේම වත්පොතෙන් බැහැර බාහිර සමාජයේද ඕනෑ තරම් ඉන්නවා.
අප මුල සිටම උත්සාහ කළේත්, උත්සාහ කරන්නේත්, "වොයිස් කට්" මත පදනම්ව තීන්දු තීරණ ගන්නා සමාජය තුළ ඊට වඩා විමසිලිමත්ව කියවා බලා, කාලය වැය කර කරුණු සොයා බලා, තීන්දු තීරණ ගැනීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරන්නයි. අනෙක් අයගේ සටහන් කෙසේ වුවත් අප ලියන සටහන් අතරින් වැඩි දෙනෙකු බෙදා හදා ගන්නේද විස්තරාත්මක පැහැදිලි කිරීම් ඇති ඒවායි. එය සතුටට කරුණක්.
පසුගිය ලිපියෙන් විස්තර කළ ප්‍රධානම දෙය එම ලිපියේම තිබෙන පහත ඡේදය තුළ කෙටියෙන් කියැවෙනවා.
"වෙළඳපොළ නිදහස තහවුරුව තිබියදී සැපයුම්කරුවන් එක් අයෙක්, දෙදෙනෙක්, පස් දෙනෙක් හෝ සිය දෙනෙක් බිහි වෙන්න පුළුවන්. ඒ අනුව, ඒකාධිකාරයක්, තරඟකාරී වෙළඳපොළක් හෝ ඔය දෙක අතර තිබෙන කතිපයාධිකාරයක් වැනි ඕනෑම තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එය තීරණය වෙන්නේ පිරිවැය ආකෘතිය සහ ඉල්ලුම මත. නමුත්, ආකෘතිය තීරණය වුනාට පස්සේ කුමක් හෝ සමතුලිත මිලක් තිබෙනවා. සැපයුම්කරුවෝ කොයි තරම් ප්‍රමාණයක් හිටියත් තරඟය නිසා ඒ මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යන්නේ නැහැ. අවම පිරිවැය මට්ටමකදී තරඟය නවතිනවා."
ඔබ පෙර ලිපිය නොකියැවූ අයෙකුනම් සහ ඔය ටික දැනගැනීම හොඳටම ප්‍රමාණවත්නම්, මෙතැනින් නවතින්න. ඔය ටික පැහැදිලි නැත්නම් පෙර ලිපිය කියවන්න. පෙර ලිපිය කියැවීමෙන් පසුවද ඔය ටික පැහැදිලි නැත්නම් එම ලිපිය නැවත හෙමිහිට කියවන්න. අවශ්‍යනම් එහි තිබෙන ගණනය කිරීම් ඔබ විසින්ම කර බලන්න.
ඉහත ඡේදයෙහි උපුටා දක්වා ඇති කොටස විස්තරාත්මක ලෙස පැහැදිලි කළේ වෙළඳපොළ නිදහස බොහෝ දුරට තහවුරුව ඇති රටවල වුවද බොහෝ විට තරඟකාරී වෙළඳපොලවල් හැදෙන්නේ නැති බවත්, කතිපයාධිකර හැදෙන බවටත් සිදු කෙරෙන විවේචනය නිසා. මේ කියන දෙය කරුණක් ලෙස ඇත්ත. එහෙම වෙන්නේ කවර තත්ත්වයන් යටතේද කියන එක පෙර ලිපියෙහි පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම මේ තත්ත්වය වෙනස් කළ යුතු දෙයක් හෝ විකෘතියක් නොවන බවද එහි පෙන්වා දී තිබෙනවා.
පෙර ලිපියේ කරුණු වලට එරෙහිව ඉදිරිපත්ව තිබුණු තරමක් බරපතල සහ සාධනීය විවේචනයක් වූයේ එහි සඳහන්ව තිබුණු දේ අනම්‍ය ඉල්ලුමක් ඇති භාණ්ඩයකට වලංගු නොවන බවයි. මෙය යම් පදනමක් තිබෙන විවේචනයක්. ඒ නිසාම, පැහැදිලි කිරීමක් අවශ්‍ය වන විවේචනයක්.
අනම්‍ය ඉල්ලුමක් කියා කියන්නේ කුමක්ද?
මම අපගේ විවේචකයෙකුගේ ප්‍රතිචාරයක් මෙහි උපුටා දමන්නම්.
"මේ ලිපිය අදාල වෙන්නෙ නම්‍ය භාණ්ඩ (අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ) වලට විතරයි. අනම්‍ය (අත්‍යාවශ්‍ය භාණ්ඩ) වල මිල ඉහල දැම්ම කියල ඉල්ලුම වේගයෙන් අඩු වෙන්නෙ නෑ. උදාහරණයක් ලෙස ඉන්ධන. තෙල් මිල ටිකක් වැඩි කලා කියල ඉල්ලුම වේගයෙන් අඩු වෙන්නෙ නෑ. වෙන්නෙ අත්‍යාවශ්‍ය නොවන වියදම් අඩුවෙන එක. ඒ කියන්නෙ තෙල් ගහල ගමන් ගියාම යන ගමන් තේ එකක් බොන එක නතර කරනව. අද පාරෙ බැලුවොත් කඩ ගොඩක් වැහිල තියෙන්නෙ ඒකයි. ලංකාවෙ ඉන්ධන මිල ගොඩක් වැඩි වෙලා තියෙන්නෙ කොච්චරද කියනවනම් අත්‍යාවශ්‍ය භාණ්ඩත් ඉල්ලුම අඩු වෙන තරමටම. ඒකෙන් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටෙන තරමටම..."
මෙහි නිවැරදිව සඳහන් කර ඇති පරිදි, මිල ඉහළ යද්දී ඉල්ලුම එතරම් අඩු නොවේනම් එය අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. මිල ඉහළ යද්දී ඉල්ලුම විශාල ලෙස අඩු වේනම් එය නම්‍ය (ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. මිල ඉහළ යද්දී ඉල්ලුම කිසිසේත්ම අඩු නොවේනම් එය පූර්ණ අනම්‍ය (පූර්ණ අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ අර්ථ දක්වනවා. එහෙත්, එවැනි පූර්ණ අප්‍රත්‍යස්ථ ඉල්ලුම් ඇති භාණ්ඩ නැති තරම්. ප්‍රායෝගිකව කොයි තරම් "අත්‍යාවශ්‍ය" භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම වුවද මිල ඉහළ යද්දී යම් තරමකින් හෝ අඩු වෙනවා.
භාණ්ඩයක මිල 1%කින් ඉහළ යද්දී ඒ සඳහා වන ඉල්ලුම අඩු වන්නේ 1%කට වඩා අඩුවෙන්නම් එය අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් සේ සැලකෙනවා. ඉල්ලුම හරියටම 1%කින් අඩු වේනම් එය ඒකක නම්‍ය (ඒකක ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් ලෙසත්, ඊට වඩා වැඩියෙන් අඩු වේනම් එය නම්‍ය (ප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් ලෙසත් සැලකෙනවා. සාමාන්‍යයෙන් අනම්‍ය (අප්‍රත්‍යස්ථ) ඉල්ලුමක් තිබෙන්නේ අත්‍යවශ්‍ය සේ සැලකෙන භාණ්ඩ වලටයි. මූලික ආහාර හා ඉන්ධන ආදිය බොහෝ විට අත්‍යවශ්‍ය භාණ්ඩ සේ සැලකෙනවා.
කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම කොයි තරම් ප්‍රත්‍යස්ථද යන්න එහි ප්‍රත්‍යස්ථතා සංගුණකය ඇසුරෙන් පෙන්විය හැකියි. අවකලනය යොදා නොගෙන සරල ලෙස අර්ථ දැක්වුවහොත් ප්‍රත්‍යස්ථතා සංගුණකය යනු භාණ්ඩයක මිල 1%කින් ඉහළ යද්දී ඒ සඳහා වන ඉල්ලුම කවර ප්‍රතිශතයකින් ඉහළ යන්නේද යන්නයි.
ගණිතය හදාරා ඇති අය සඳහා මෙය වඩා නිවැරදිව, ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකයේත් මිල හා ඉල්ලුම අතර අනුපාතයේත් ගුණිතය ලෙස අර්ථදැක්විය හැකියි.
ප්‍රත්‍යස්ථතාව (ε) = ∂Q/∂P.(P/Q)
ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකයෙන් අදහස් වන්නේ අනෙකුත් සාධක සියල්ල නොවෙනස්ව ඇති තත්ත්වයන් යටතේදී මිලෙහි සිදුවන ඉතා කුඩා (සීමාව ශුන්‍යය දක්වා යන) වෙනස් වීමකදී ඉල්ලුම කොපමණ වෙනස් වේද යන්නයි. මිල ඉහළ යද්දී සාමාන්‍ය භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම සුළු වශයෙන් හෝ පහළ යන නිසා මෙම පාර්ශ්වීය අවකල සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක්.
මිල සහ ඉල්ලුම හැම විටම ධන අගයන් නිසාත්, ඉල්ලුම් ශ්‍රිතයේ පාර්ශ්වීය අවකල සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක් නිසාත්, ඉහත අර්ථදක්වා ඇති ප්‍රත්‍යස්ථතා සංගුණකය සාමාන්‍යයෙන් සෘණ අගයක් වුවත් මෙය කවුරුත් දන්නා දෙයක් නිසා බොහෝ විට පහසුවට සෘණ ලකුණ ගැන නොසලකා සංගුණකයේ මාපාංකය ගැන පමණක් කතා කරනවා.
ප්‍රත්‍යස්ථතාව ඇසුරෙන් කතා කළහොත් ප්‍රත්‍යස්ථතා සංගුණකය 0-1 අතරනම් (සෘණ ලකුණ නොසලකා) එය අප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ලෙසත්, 1 ඉක්මවන්නේනම් ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ලෙසත් සැලකෙනවා.
භාණ්ඩයක ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාව ඇස්තමේන්තු කළ හැකි දෙයක් වුවත් එය ලියුම් කවරයක පිට පැත්තේ කළ හැකි ගණනය කිරීමක් නෙමෙයි. විශාල ශ්‍රමයක් හා පුහුණුවක් අවශ්‍ය වැඩක්. ඊට හේතුව, මිල සහ ඉල්ලුම වෙනස් වෙද්දී ප්‍රායෝගිකව තවත් බොහෝ සාධක වෙනස් වන නිසා එම සාධක වලින් මිල කෙරෙහි වන බලපෑම් ඉවත් කිරීම පහසු කාර්යයයක් නොවීමයි.
උදාහරණයක් ලෙස එකවර ඉන්ධන මිල දෙගුණ වුනා කියා සිතමු. මීට සමාන්තරව අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් මෙන්ම ආදායම්ද දෙගුණ වී ඇත්නම් ඉන්ධන සඳහා වන ඉල්ලුමෙහි කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් උද්ධමනය නිසා දිගුකාලීනව සිදු වන්නේ මෙවැන්නක්. නාමික මිල ගණන් ඉහළ ගියත්, මූර්ත වෙනසක් සිදු වන්නේ නැහැ. ඒ වගේම, ඉන්ධන මිල දෙගුණ වෙද්දී අනෙකුත් සියලුම භාණ්ඩ හා සේවාවන් වල මිල ගණන් මෙන්ම ආදායම්ද හතර ගුණයක් වුවහොත් සිදු වන්නේ ඉන්ධන සඳහා වන ඉල්ලුම අඩු වීම නොව වැඩි වීමයි.
භාණ්ඩයක ඉල්ලුම වෙනස් වීම කෙරෙහි බලපාන්නේ සාපේක්ෂ මිල වෙනස් වීමයි. මීට අමතරව ආදායම වෙනස් වීම, ජනගහණය වැඩි වීම, ආදේශක හා අනුපූරක වල මිල වෙනස් වීම් වැනි තවත් විවිධ හේතු නිසා භාණ්ඩයක මිල වෙනස් වෙනවා. ප්‍රත්‍යස්ථතාව ගණනය කළ හැක්කේ මෙම සියලුම බලපෑම් නිවැරදිව හඳුනාගෙන එම බලපෑම් ඉවත් කිරීමෙන් පසුවයි.
හාවඩ් සරසවියේ වෙබ් අඩවියේ ඇති සටහනකට [1] අනුව, භාණ්ඩ හා සේවා කිහිපයක ප්‍රත්‍යස්ථතාව මෙසේයි.
[1] https://scholar.harvard.edu/files/alada/files/price_elasticity_of_demand_handout.pdf
ලුණු - 0.1
ගැසොලින් - 0.2
කෝපි - 0.25
වෛද්‍ය සේවා - 0.6
චිත්‍රපට - 0.9
පෞද්ගලික අධ්‍යාපනය - 1.1
අලුත් ග්‍රීන්පීස් - 2.8
අලුත් තක්කාලි - 4.6
මෙම ඇස්තමේන්තු අනුව, ලුණු, ගැසොලින් හා කෝපි සඳහා තිබෙන්නේ අප්‍රත්‍යස්ථ ඉල්ලුමක්. චිත්‍රපට හා පෞද්ගලික අධ්‍යාපනය සදහා වන ඉල්ලුම ඒකක ප්‍රත්‍යස්ථ ඉල්ලුමකට ආසන්නයි. අලුත් ග්‍රීන්පීස්, අලුත් තක්කාලි ආදිය සදහා තිබෙන්නේ ප්‍රත්‍යස්ථ ඉල්ලුමක්.
සාමාන්‍යයෙන් ලුණු වැනි ආදායමට සාපේක්ෂව අඩු මුදලක් වැය කරන්නට සිදු වන දේවල්, කෝපි වැනි ඇබ්බැහිකාරක හා ගැසොලින් වැනි අත්‍යාවශ්‍ය දේවල් වල සඳහා වන ඉල්ලුම අනම්‍ය ඉල්ලුමක්. අලුත් තක්කාලි වැනි ආදේශක තිබෙන දේවල් සඳහා තිබෙන්නේ නම්‍ය ඉල්ලුමක්.
කෙසේ වුවත්, "අත්‍යාවශ්‍ය භාණ්ඩ" කියන එක සාපේක්ෂ අදහසක්. අත්‍යාවශ්‍ය දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම අවස්ථාව අනුවද වෙනස් වෙනවා. පොදු ප්‍රවාහන පහසුකම් ඉතාම අඩු ඇමරිකාවේ පෞද්ගලික වාහනයක් කියන්නේ නැතිවම බැරි දෙයක්. එහෙත්, පොදු ප්‍රවාහනය වඩා හොඳ මට්ටමක ඇති රටක තත්ත්වය වෙනස්.
කෙනෙකුගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුව ආදායම් මට්ටම අනුවද සීමා වෙනවා. ඇමරිකානුවෙකුගේ ආදායමෙන් ආහාර සඳහා වැය කළ යුත්තේ 15%ක පමණ කොටසක්. ඒ නිසා, මිල තරමක් ඉහළ ගියත් ආහාර ඉල්ලුම ලොකුවට අඩු වෙන්නේ නැහැ. නමුත් ලංකාව වැනි රටක කුකුළු මස් මෙන්ම බිත්තර වැනි දෙයක් පවා බොහෝ දෙනෙකුට අත්‍යාවශ්‍ය නොවන "සුඛෝපභෝගී" භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඒ නිසා, ඉහත සඳහන් ප්‍රත්‍යස්ථතා සංගුණක සෑම රටකටම පොදු අගයයන් නෙමෙයි.
ඉන්ධන මිල ඉහළ යද්දී ලංකාවේ ඉන්ධන ඉල්ලුම අඩු වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම අඩු වෙනවා. මෝටර් රථයක් හෝ ත්‍රිරෝද රථයක් තිබෙන පහළ මධ්‍යම පාන්තිකයින් කිහිප දෙනෙක්ට කතා කළොත් එය එසේ වී ඇති බව තහවුරු කරගන්න අමාරු වෙන එකක් නැහැ.
මිල ඉහළ යද්දී මිනිස්සු තමන්ගේ ඉන්ධන පරිභෝජනය අඩු නොකර එලෙසම පවත්වා ගනිමින් ඒ හිලවුවට කන බොන දේවල් ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය දේවල් සීමා කරනවා කියන එක විහිළු කතාවක්. හැබැයි මම පෞද්ගලිකව සමීක්ෂණයක් කරලානම් නැහැ. කරන්න අදහසකුත් නැහැ. ඒ නිසාම, ලංකාවේ ඉන්ධන වෙළඳපොළේ මිල ඉහළ යද්දී ඉල්ලුම කොයි තරම් අඩු වෙනවද කියන එක ගැන මට හරියටම කියන්න බැහැ. එහෙත් එයින් අදහස් වන්නේ මේ වෙළඳපොළේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාව ඕනෑම අගයක් විය හැකියි කියන එක නෙමෙයි. වෙනත් තැන් වල දත්ත යොදා ගෙන සිදු කර තිබෙන ඇස්තමේන්තු ඇසුරෙන් මේ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන්.
මගේ පෙර ලිපිය සමඟ ඉදිරිපත් කර තිබෙන පැහැදිලි කිරීමේ පහසුව සඳහා යොදාගත් උදාහරණයේ දත්ත අනුව එය සැසඳෙන්නේ ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් ඇති භාණ්ඩයකටයි. එම උදාහරණයේ මිල රුපියල් 5කින් අඩු වෙද්දී, ඉල්ලුම ඒකක 10කින් අඩු වෙනවා. ඒ අනුව, එහි අවකල සංගුණකය -2ක් වෙනවා. වෙනත් සාධක වෙනස් වී නැති සේ සැලකුවොත් මෙය පාර්ශ්වීය අවකල සංගුණකය ලෙස සලකන්න පුළුවන්. ඒ අනුව, මිල රුපියල් 360 මට්ටමේදී ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය -6ක් (= -2*360/120) වෙනවා. එය සැලකිය යුතු තරමේ ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවයක්. බොහෝ භාණ්ඩ සඳහා වන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය මීට වඩා අඩුයි. ඒ නිසා, ප්‍රතිචාරයේ විවේචනයට පදනමක් තිබෙනවා.
කිසියම් භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම අප්‍රත්‍යස්ථනම්, ඒ කියන්නේ එහි ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය 1ට වඩා අඩුනම්, මිල වැඩි කරද්දී සැපයුම්කරුගේ ආදායම ඉහළ යනවා. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය 1ට වඩා වැඩිනම් වන්නේ ඕකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ ආදායම අඩු වෙනවා. ඒ නිසා, භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම ප්‍රත්‍යස්ථද අප්‍රත්‍යස්ථද කියන එකේ පැහැදිලි වෙනසක් තිබෙනවා.
මේක තේරුම් ගන්න අමාරු නැහැ. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය හරියටම 1නම්, මිල 1%කින් ඉහළ යද්දී ඉල්ලුම 1%කින් අඩු වෙනවා. ඒ නිසා, මිල ඉහළ යාමෙන් ආදායම 1%කින් වැඩි වුනත්, ඉල්ලුම 1%කින් අඩු වූ නිසා නැවත ආදායම (ආසන්නව) මුල් මට්ටමටම එනවා. නමුත්, මිල 1%කින් වැඩි කළ විට ඉල්ලුම 5%කින් අඩු වුනොත් අවසාන වශයෙන් (ආසන්නව) 4%කින් පමණ ආදායම අඩු වෙනවා. අනෙක් අතට, මිල 1%කින් ඉහළ යද්දී ඉල්ලුම අඩු වෙන්නේ 0.25%කින් පමණක්නම්, මිල ඉහළ දැමීම මගින් ආදායම (ආසන්නව) 0.75%කින් වැඩි කර ගන්න පුළුවන්.
එහෙමනම්, ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය අඩු භාණ්ඩ වල සැපයුම්කරුවෝ තමන්ගේ ආදායම් හා ඒ මගින් ලාබය වැඩි කර ගැනීම සඳහා දිගින් දිගටම මිල වැඩි නොකරන්නේ ඇයි? මෙවැන්නක් සිදු නොවෙන්නේ තරඟය නිසා. එක් අයෙක් මිල වැඩි කළත් අනෙක් සැපයුම්කරුවෝ මිල වැඩි කළේ නැත්නම් වෙන්නේ මිල වැඩි කළ සැපයුම්කරුගේ ඉල්ලුම නැත්තටම නැති වී යන එකයි.
ඒක හරි කියමුකෝ. නමුත් එහෙම වෙන්නනම් තරඟයක් තිබිය යුතුයිනේ. වෙළඳපොළේ තියෙන්නේ ඒකාධිකාරයක්නම් මොකද වෙන්නේ? පෙර ලිපියට විවේචනය ආවේ ඒකාධිකාර හා අදාළවනේ.
ප්‍රායෝගික ලෝකයට ආවොත් ලෝකයේ ඇතැම් රටවල ඉන්ධන වැනි වෙළඳපොළවල් වල ඒකාධිකාර තිබුණත් ඒවා රාජ්‍ය ඒකාධිකාර මිස ලාබ ලැබීම ඉලක්ක කළ ව්‍යාපාර වල ඒකාධිකාර නෙමෙයි. රජය විසින් වෙළඳපොළ මෙහෙයවන රටවල රාජ්‍ය ඒකාධිකාර තිබෙනවා. එහිදී ඉලක්කය ලාබ පුළුවන් තරම් වැඩි කර ගැනීම නොවන නිසා මේ වැඩේ වෙන්නේ නැහැ. එසේ නොවන රටවල සැපයුම්කරුවන් ගණනාවක් සිටින නිසා සහ ඔවුන් අතර තරඟයක් තිබෙන නිසා මේ වැඩේ වෙන්නේ නැහැ.
ඒකත් හරි කියමුකෝ. ඔහොම කිවුවට ඔය හැම රටකම සැපයුම්කරුවෝ මහා විශාල ගණනක් නැහැනේ. ප්‍රායෝගිකව බොහෝ විට කතිපයාධිකාර දැකිය හැකියි. ඒ නිසා සැපයුම්කරුවන් සියලු දෙනා කාටලයක් ලෙස කටයුතු කර දිගින් දිගටම මිල ඉහළ දමන්න බැරි නැද්ද?
යම් හෙයකින් සැපයුම්කරුවන් සියලු දෙනා කාටලයක් ලෙස කටයුතු කළොත් එය ඒකාධිකාරයකින් වෙනස් නොවන නිසා අපි කෙළින්ම ඒකාධිකාරයක් ගැනම සලකා බලමු. උදාහරණයක් විදිහට IOC වගේ තරඟකරුවන් වෙළඳපොළට ඇතුළු වෙන්න කලින් තෙල් සංස්ථාව ගෙඩි පිටින්ම තනි සමාගමකට විකිණුවා කියා හිතමු. ඔන්න දැන් ලාබ ලැබීම අරමුණ කරගත් සමාගමක ඒකාධිකාරයක් තියෙනවා. දැන් මිලට මොකද වෙන්නේ?
තෙල් වල ඉල්ලුම ප්‍රත්‍යස්ථ ඉල්ලුමක් නෙමෙයිනේ. ඒ කතාව හරි. අපි හිතමු ප්‍රත්‍යස්ථතාවය 0.25 පමණ කියලා. ඒ කියන්නේ, සරල ප්‍රකාශයක් ලෙස, මිල 1%කින් ඉහළ දැම්මොත් ඉල්ලුම අඩු වෙන්නේ 0.25%කින් පමණයි. ඒ අනුව, ආදායම අනිවාර්යයෙන්ම ඉහළ යනවා. ඒ නිසා, දිගින් දිගටම මිල වැඩි කරගෙන, වැඩි කරගෙන යන්න පුළුවන්ද?
ඔය විදිහට දිගින් දිගටම මිල වැඩි කරගෙන, වැඩි කරගෙන යන්න පුළුවන්නම්, එයින් අදහස් වෙන්නේ වෙළඳපොළ පරිමාවේ සීමාවක් නැහැ කියන එක. නමුත්, වෙළඳපොළ පරිමාවේ සීමාවක් තිබෙනවා. මිල යම් මට්ටමක් දක්වා වැඩි වෙද්දී මිනිස්සු වෙනත් මිල දී ගැනීම් අඩු කරලා තෙල් පරිභෝජනය කලින් මට්ටම ආසන්නයේම පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් එහෙම වෙනත් මිල දී ගැනීම් අඩු කරලා තෙල් පරිභෝජනය වෙනුවෙන් මුදල් ඉතිරි කර ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. යම් මිල මට්ටමකදී ඉල්ලුම සීමා වෙනවා. ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය නම්‍ය වෙන්න පටන් ගන්නවා.
උඩ ඉදිරිපත් කර තිබෙන ඉල්ලුම් ප්‍රත්‍යස්ථතාවය පෙන්වන ගණිතමය ප්‍රකාශය ඇසුරෙන් වුවත් මෙය පැහැදිලි කරන්න පුළුවන්.
ප්‍රත්‍යස්ථතාව (ε) = ∂Q/∂P.(P/Q)
ඉහත ප්‍රකාශයේ පාර්ශ්වීය අවකල සංගණක කොටස නියතයක් සේ සැලකුවොත් මිල ඉහළ යද්දී (P/Q) කොටස එන්න එන්නම වැඩි වෙන නිසා ප්‍රත්‍යස්ථතාව එන්න එන්නම වැඩි වෙනවා. ඊට අමතරව, මිල ඉහළ යද්දී Q ටිකෙන් ටික අඩු වන නිසා ප්‍රත්‍යස්ථතාව තවත් ඉහළ යනවා. ඔහොම වැඩි වෙලා අනම්‍ය ඉල්ලුම අන්තිමට නම්‍ය ඉල්ලුමක් වෙනවා.
මගේ පෙර ලිපියේ උදාහරණයේ වගේම සාමාන්‍ය මූලික පාඨ ග්‍රන්ථ උදාහරණ වලත් අවකල සංගණක කොටස නියතයක් වුවත් (ඉල්ලුම් වක්‍රය රේඛීය එකක් වුවත්), ඇත්තටම මේ පාර්ශ්වීය අවකල සංගණක කොටසද නියතයක් නොවන නිසා ඉහත පැහැදිලි කිරීම අසම්පූර්ණ එකක් වුවත්, පාර්ශ්වීය අවකල සංගණක කොටස ටිකෙන් ටික අඩු වෙද්දී වුනත් (P/Q) කොටස ඊට වඩා වේගයෙන් වැඩි වන නිසා අන්තිමට අනම්‍ය ඉල්ලුම නම්‍ය ඉල්ලුමක් වෙනවා.
හැබැයි ඔය ටික වෙන්න කලින් ඒකාධිකාරී සැපයුම්කරුවෙකුට සෑහෙන තරමක මිල වැඩි කිරීමක් කරන්න පුළුවන්. කලින් ලිපියේ පැහැදිලි කළ දේවල් වඩා වැදගත් හා අදාළ වෙන්නේ එහෙම වෙද්දී. ඔය විදිහට මිල වැඩි කර ගෙන යද්දී ආදායම වැඩි වී ලාබ වැඩි වෙනවා. වෙළඳපොළ නිදහස්නම් ඒ ලාබ දකින තවත් සැපයුම්කරුවෝ වෙළඳපොළට ඇතුළු වෙනවා.
මෙවැනි වෙළඳපොළකට දෙවැන්නෙකු ඇතුළු වූ පමණින් මිල අඩු වන බවට සහතිකයක් නැතත් කලින් එක් සැපයුම්කරුවෙකු විසින් ලබාගත් ලාබය දෙවැන්නෙකු සමඟ බෙදා ගන්න වෙනවා. ප්‍රතිචාරයේ සඳහන් කර ඇති විදිහට මිල විශාල ලෙස වැඩි කළත් ඉල්ලුම එතරම් වැඩි වෙන්නේ නැත්නම් ඔය වෙළඳපොළට තව තවත් සැපයුම්කරුවෝ එනවා. එහෙම ඇවිත් යම් කිසි අවස්ථාවකදී මිල තරඟය පත්තු වෙනවා. එක් පාඨකයෙකු විසින් සඳහන් කර තිබුණු, ලංකාවේ ජංගම දුරකථන වෙළඳපොළට පස් වැනියෙකු ආ පසු සිදු වී තිබෙන දෙය මෙයට උදාහරණයක්.
මේ විදිහට මිල තරඟයට බහින්නේ දෙවැන්නාද, හතර වැන්නාද නැත්නම් දහ වැන්නාද කියා නිශ්චිතව කියන්න බැහැ. නමුත් සැපයුම්කරුවන් වැඩි වෙද්දී යම් අවස්ථාවක ඔය වැඩේ වෙනවා. වෙළඳපොළ නිදහස්නම් මිල තරඟය පත්තු වන තුරු අලුත් සැපයුම්කරුවෝ එනවා. මේ නිසා, පාරිභෝගිකයාට ලබා ගත හැකි හොඳම මිල ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පූර්ණ තරඟකාරී වෙළඳපොළක්ම ඇති වෙන්න අවශ්‍ය නැහැ.
මෙය සිදු නොවන්නේ, ලංකාවේ තෙල් වෙළඳපොළේ මෙන්, අලුත් සැපයුම්කරුවන් පැමිණීමේ ඉඩකඩ රජය විසින් පාලනය කරන්නේනම් පමණයි. එවැනි වෙළඳපොළක් නිදහස් වෙළදපොළක් නෙමෙයි. අපේ පෙර ලිපිය වගේම මේ ලිපියේත් කතා කර තිබෙන්නේ නිදහස් වෙළඳපොළක් ගැන.