වෙබ් ලිපිනය:

Tuesday, May 28, 2024

වෙළඳපොළ පොලී අනුපාතිකය හැදෙන හැටි


"ඔබට තව අවුරුදු පහකින් රුපියල් ලක්ෂයක් ලබා ගන්න පුළුවන්. කවුරු හෝ කෙනෙක් නිකම් දෙනවා කියලා හිතන්න. කැමතිනම් ඒ වෙනුවට අද ඊට වඩා අඩු මුදලක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔබ ඉල්ලන මුදල ඕනෑවට වඩා වැඩි නැති සාධාරණ මුදලක්නම් පමණයි. ඔබ ඉල්ලන අවම මුදල කීයද?"

මේ ප්‍රශ්නයට කිහිප දෙනෙකු විසින් ලබා දුන් පිළිතුරු ඇසුරෙන් මම ඒ අයගේ "සැඟවුණු පොලී අනුපාතිකය" ඔබට ඉදිරිපත් කළා. 

වරුණ - 38.0%

සසංක - 32.0%

ඇනෝ - 23.4%

ලංකා - 14.9%

බුද්ධික - 10.8%

ශවින් - 10.8%

සිරිල් - 10.8%

අංජන - 9.0%

ඉවාන් - 7.4%

මේ සැඟවුණු පොලී අනුපාතිකය තමයි තීරණය කරන්නේ කිසියම් පුද්ගලයෙක් ඉතිරි කරන්නෙක් වෙනවද නැත්නම් ණයකාරයෙක් වෙනවද කියන එක. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා වැඩිනම් පුද්ගලයෙක් පුළුවන් තරම් ඉතිරි කරන්න පෙළඹෙනවා. වෙළඳපොළ පොලී අනුපාතිකය තමන්ගේ සැඟවුණු පොලී අනුපාතිකයට වඩා අඩුනම් වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. ඒ කියන්නේ පුළුවන් තරම් ණය ගන්න පෙළඹෙන එක.

වෙළඳපොළ පොලී අනුපාතිකය 15%නම්, ලංකා, බුද්ධික, ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් කියන හය දෙනාම ඉතිරි කරන්නෝ වෙනවා. වරුණ, සසංක හා ඇනෝ පමණක් ණය ගන්න පෙළඹෙනවා. පොලී අනුපාතිකය 10% දක්වා අඩු වුනොත්, මුදල් ඉතිරි කරන්නේ අංජන හා ඉවාන් පමණයි. ඉතිරි හත් දෙනාම කරන්නේ ණය ගන්න එක.

"ඒ කියන්නේ ණය පොලිය 7-8% මට්ටමකට ආවොත් ජනතාවගෙන් වැඩි % එකක් ණය ගනී කියලාද?"

බුද්ධික අහල තියෙන්නේ ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි හිතමු වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වුනා කියලා. එහෙම වෙද්දී ඉහත කිසිවකුගේ සැඟවුණු පොලී අනුපාතිකය, එහෙමත් නැත්නම් "තීරක පොලී අනුපාතිකය" වෙනස් නොවී ඒ විදිහටම තිබුණා කියලා හිතමු. 

මේක පහසුවට, දැනට කරන උපකල්පනයක් පමණයි. ඔය සැඟවුණු, එහෙම නැත්නම් තීරක පොලී අනුපාතිකය නියතයක් නෙමෙයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා වගේම එකම පුද්ගලයෙක් හා අදාළව වුනත් විවිධ සාධක මත වෙනස් වෙනවා. ඒ ගැන කතා කරන එක පසුවට තියලා දැනට අපි මේ අනුපාතික නොවෙනස්ව තිබුණා කියා හිතමු. 

වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වුනොත් ඉහත ලැයිස්තුවේ ඉන්න කිසිම කෙනෙක් ඉතිරි කරන්න පෙළඹෙන්නේ නැහැ. ලැයිස්තුවේ අන්තිමටම ඉන්න ඉවාන් වුනත් 7.4%කට වඩා අඩු පොලියක් සලකන්නේ ණය ගන්න හොඳ පොලියක් ලෙස මිසක් ඉතිරි කරන්න පොළඹවන පොලී අනුපාතිකයක් විදිහට නෙමෙයි. ඒ කියන්නේ මේ හැමෝම පෙළඹෙන්නේ ණය ගන්න.

හැබැයි දැන් මෙතැන තියෙන ප්‍රශ්නය මේකයි. ඔය හැමෝම ණය ගන්න කැමති වුනත්, ඒ අයට ණය දෙන්නේ කවුද? ණය ගන්නනම් ඒ ප්‍රමාණය දෙන්නත් කවුරු හෝ සිටිය යුතුයි. ඒ කියන්නේ ඉතිරි කරන්නෝ සිටිය යුතුයි. වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වුනොත් එහෙම කවුරුවත්ම නැහැ. ඒ කියන්නේ 7% පොලී අනුපාතිකයට ණය ගන්න වැඩේ කෙරෙන දෙයක් නෙමෙයි. වෙනත් විදිහකට කිවුවොත්, ඔය තත්ත්වය යටතේ, වෙළඳපොළ පොලී අනුපාතිකය 7% දක්වා අඩු වෙන්න විදිහක් නැහැ. 

ඔය උඩ ලැයිස්තුවේ ඉන්න හැමෝම තමන්ගේ තීරක පොලී අනුපාතිකයට වඩා අඩු පොලියකට ණය ගන්න කැමතියි. හැබැයි එහෙම කැමති වුනු පලියටම ණය ලැබෙන්නේ නැහැ. ඒ තරම් අඩු පොලියකට ණය දෙන්න කැමති අයත් සිටිය යුතුයි. අනෙක් අතට ඔය හැමෝම තමන්ගේ තීරක පොලී අනුපාතිකයට වඩා වැඩි පොලියකට ණය දෙන්න, එහෙමත් නැත්නම් ඉතිරි කරන්න කැමතියි. හැබැයි ඒ තරම් ඉහළ පොලියකට ණය ගන්න කැමති අය නැත්නම් ඔය වැඩේ වෙන්නේ නැහැ.

වෙළඳපොළ පොලී අනුපාතිකය තීරණය වෙන්නේ ණය ගන්න කැමති අය සහ ණය දෙන්න කැමති අය අතර තුලනයක් ඇති වෙන ආකාරයටයි. ඉහත උදාහරණයේ වෙළඳපොළ පොලී අනුපාතිකය 15%ක් වුනා කියමු. දැන් වරුණ, සසංක හා ඇනෝ ඒ පොලිය ගෙවා ණය ගන්නවා. ඔවුන් දකින විදිහට එය ඔවුන්ට ලාබයි. ඔවුන් ගෙවන්න කැමති උපරිම පොලී අනුපාතිකය 15%ට වඩා වැඩියි. ඉතිරි හය දෙනා 15% පොලියට ණය දෙනවා. එය ඔවුන් බලාපොරොත්තු වන අවම පොලියට වඩා වැඩි පොලියක්. 

දැන් මේ පොලී අනුපාතිකය 10% දක්වා අඩු වුනොත් ලංකා, බුද්ධික, ශවීන් හා සිරිල් තව දුරටත් සල්ලි ඉතුරු කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ ණය ගන්න එක. දැන් ණය ගන්න හත් දෙනෙක් ඉන්නවා. ඒ හත්දෙනාටම ණය ගන්න ප්‍රමාණවත් මුදලක් අංජනට හා ඉවාන්ට ඉතිරි කරන්න පුලුවන්ද? එහෙම පුළුවන්නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, එහෙම බැරිනම් වෙළඳපොළ පොලී අනුපාතිකය 10% දක්වා අඩු වෙන්නේ නැහැ.

අපි හිතමු එක් අයෙක් රුපියල් ලක්ෂය බැගින් ඉතිරි කරනවා හෝ ණය ගන්නවා කියලා. මේකත් සරල උපකල්පනයක් පමණයි. දැන් ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් රුපියල් ලක්ෂය බැගින් ඉතිරි කරනවා. වරුණ, සසංක, ඇනෝ සහ ලංකා ණය ගන්නවා. ඒ අනුව, වෙළඳපොළ පොලී අනුපාතිකය 10.8% ලෙස තීරණය වෙනවා. මොකද ඉතිරි කරන්නෝ සහ ණය ගන්නෝ සමානව දෙපැත්තට බෙදෙන්නේ ඒ පොලී අනුපාතිකයේදී. ඔය විදිහට තමයි වෙළඳපොළ පොලී අනුපාතිකය තීරණය වෙන්නේ.

හැබැයි ඔහොම වෙන්නේ රජය අයවැය තුලනය කර ගත්තොත් පමණයි. රජයේ වියදම ආදායමට වඩා වැඩිනම් ඒ අඩුව පුරවා ගන්න රජයටත් ඔය ණය වෙළඳපොළට එන්න වෙනවා. අපි හිතමු රජයේ අයවැය හිඟය රුපියල් ලක්ෂ දෙකක් කියලා. දැන් මොකද වෙන්නේ?

ඉවාන් සහ අංජන ලක්ෂය බැගින් ඉතිරි කරන මුදල රජය විසින් ණය විදිහට වෙළඳපොළෙන් ඉවත් කර ගන්නවා. දැන් ඉතිරි පිරිසට තම තමන්ගේ ණය ඉල්ලුම් හා සැපයුම් තුලනය කරගන්න සිදු වෙනවා. පොලී අනුපාතිකය 10.8% මට්ටමේ තියෙද්දී මේ වැඩේ වෙන්නේ නැහැ. ණය ඉල්ලුම හා සැපයුම තුලනය වෙන්නනම් වෙළඳපොළ පොලී අනුපාතිකය 14.9% දක්වා ඉහළ යා යුතුයි. 

වෙළඳපොළ පොලී අනුපාතිකය 14.9% දක්වා ඉහළ ගියාට පස්සේ ණය ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා. බුද්ධික, ශවීන්, සිරිල්, අංජන හා ඉවාන් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ පහක් ඉතිරි කරනවා. එයින් ලක්ෂ තුනක් වරුණ, සසංක හා ඇනෝ විසින් ණයට ගන්නවා. ඉතිරි ලක්ෂ දෙක රජය විසින් ණයට ගන්නවා. 

රජය අයවැය තුලනය කර ගත්තානම් පොලී අනුපාතික 14.9% මට්ටමට නොගොස් 10.8% මට්ටමේ නවතිනවා. අයවැය හිඟය ඉහළ යන තරමට වෙළඳපොළ පොලී අනුපාතිකය ඉහළ යන එකයි වෙන්නේ. ඔය විදිහට පොලී අනුපාතික ඉහළ ගියාම එයත් රජයේ වියදම් වලට එකතු වෙනවා. ඊට අනුපාතිකව බදු ආදායම් වැඩි කර ගත්තේ නැත්නම්, අයවැය හිඟය තවත් ඉහළ යනවා. එය පියවන්න කලින් ගත්ත රුපියල් ලක්ෂ දෙක මදි වෙනවා. තව වැඩියෙන් ණය ගන්න සිද්ධ වෙනවා. එවිට පොලී අනුපාතික තවත් ඉහළ යනවා. විෂම චක්‍රයක් හැදෙනවා. 

රජයේ වියදම් වැඩි වීම -> අයවැය හිඟය ඉහළ යාම -> රජයේ ණය ඉල්ලුම ඉහළ යාම -> වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යාම -> රජයේ වියදම් වැඩි වීම 

7 comments:

  1. පොලී අනුපාතික අඩු උන පලියට මිනිස්සු ණය ගන්නෙ නෑ.

    ReplyDelete
  2. මගෙ සල්ලිවලට සීයට 15ක විතර පොලියක් බලාපොරොත්තු උනාට 5% පොලියට ණය ගන්න පුලුවන් උනත් මම නම් ණය ගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබ කියන දෙය හරි. පොලිය අඩු වුනා කියලා සාමාන්‍යයෙන් හැමෝම ණය ගන්නේ නැහැ. ඒ වගේම පොලිය වැඩි වුනා කියලා හැමෝම ඉතිරි කරන්නෙත් නැහැ. ඒ වගේම මෙහිදී සරලව එක පොලියක් සැලකුවත් ණය ගැනීම හා ණය දීමට අදාළව බොහෝ දෙනෙක් තීරණ ගන්නේ එකම පොලී අනුපාතයකදී නෙමෙයි. මේ වෙනස ගැන ඉදිරියේදී කතා කරමු. තේරුම් කිරීමේ පහසුවට සරල තැනක ඉඳලා පටන් ගත්තේ.

      හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔබට කවුරුවත් 15% පොලියක් ගෙවන්නේ නැත්නම් ඔබ මොකද කරන්නේ? උදාහරණයක් විදිහට ඔබට ලබා ගත හැකි උපරිම පොලිය (අ) 5%ක්නම්, (ආ) 1%ක් පමණක්නම් ඔබ මොකද කරන්නේ? ඔබ සල්ලි ඉතිරි කරන්නේ නැද්ද?

      Delete
    2. තියන පොලියට ඉතිරි කරනව. ඒකට ගොඩක් දේවල් බලපානවනෙ. කාලෙකට සල්ලි හිරවෙනවනම් පොලියක් නැතිව උනත් ඔහෙ තියල තියනව අවශ්‍ය වෙලාවකට ගන්න බලාගෙන.
      අනික ඉතිරි කිරීමයි, ණය දීමයි කියන්නෙ දෙකක්නෙ

      Delete
    3. සාමාන්‍යයෙන් කෙනෙක් කරන්නේ ඒක. ඒ කියන්නේ තියෙන පොලියට ඉතිරි කරන එක. වෙන විකල්පයක් නැත්නම් 1% පොලිය වුනත් භාර ගන්නවා. හැබැයි අවදානම ඊට වඩා වැඩිනම් සල්ලි අතේ තියා ගන්නවා. "කාලෙකට සල්ලි හිරවෙනවනම්" කියන එකෙන් ඔබ අදහස් කරන්නේ ඒක.

      මගේ මුල් ප්‍රශ්නයට ඔබ දුන්න පිළිතුර 50,000. ඒ කියන්නේ අවුරුදු පහකින් ලැබෙන රුපියල් ලක්ෂයක් වෙනුවට ඔබ අද රුපියල් 50,000ක් භාර ගන්නවා. නමුත් එසේ නොකළොත් එම මුදල දෙගුණයක් වෙනවා. එය 14.9% පොලියකට සමානයි. මෙහිදී ඔබ කරන්නේ 14.9% පොලියක් අත හරින එක. රුපියල් 50,000 අතට අරගෙන 14.9%ට වඩා වැඩි පොලියකට ආයෝජනය කරන්න බැහැ (දැන් පවතින වෙළඳපොළ තත්ත්වයන් අනුව). එහෙමනම් ඔබ රුපියල් 50,000ක් අතට ගන්න කැමති වෙන්නේ ඇයි?

      Delete
    4. දැන් තියෙන තත්වය ඕක උනාට අවුරුදු 5ක් ඇතුලත කොච්චර දේවල් වෙනස් වෙනවද

      Delete
    5. පිළිතුර පැහැදිලියි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: