වෙබ් ලිපිනය:

Wednesday, September 14, 2022

ප්‍රාථමික ශේෂය ධන කිරීම


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාව අනුව 2025 වන විට රජයේ ප්‍රාථමික අයවැය ශේෂය දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.3%ක් දක්වා වැඩි කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රාථමික අයවැය ශේෂය කියා කියන්නේ රජයේ ආදායම් හා පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් අතර වෙනසයි. සංශෝධිත අයවැය ඇස්තමේන්තු අනුව 2022 ප්‍රාථමික අයවැය ශේෂය රුපියල් බිලියන 954ක හිඟයක්.

ඇස්තමේන්තු ආදායම - රුපියල් බිලියන 2,094

පොලී ගෙවීම් හැර ඇස්තමේන්තුගත වියදම - රුපියල් බිලියන 3,048

ප්‍රාථමික ශේෂය (හිඟය) - රුපියල් බිලියන 954

මීට අමතරව රුපියල් බිලියන 1,379ක පොලී ගෙවන්න තිබෙනවා. තව රුපියල් බිලියන 1,510ක ණය ආපසු ගෙවන්න තිබෙනවා. ඒ කොටස් දෙක පැත්තකින් තියලා තියෙන්නේ ඒ තරමටම ආදායම් වැඩි කර ගන්න එක ප්‍රායෝගිකව කොහොමටවත්ම කරන්න බැරි නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි විකල්ප තිබෙන නිසා වෙන්න ඇති. 

ප්‍රාථමික ශේෂය ලෙස ඇස්තමේන්තු කර තිබෙන රුපියල් බිලියන 954 දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.0%ක හිඟයක් කියා ඇස්තමේන්තු කරලා තිබෙනවා. ඒ අනුව, දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අතිරික්තයක් කියා කියන්නේ රුපියල් බිලියන 549ක්.

දළ දේශීය නිෂ්පාදිතය තවත් තෙවසරකට පසුව දැන් තිබෙන මට්ටමේම තියෙනවා කියන එක කිසිසේත්ම නිවැරදි නැති උපකල්පනයක්. එහෙත්, අපි පහසුව සඳහා දැනට එලෙස සලකමු. එහෙම සැලකුවොත් මෙයින් අදහස් වෙන්නේ 2025 වන විට ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 1,503කින් වැඩි කර ගන්නවා කියන එකයි. 

රජයේ වියදම අඩු කර ගන්නවා කියන එක වෙන්න ඉතාම අඩු ඉඩකඩක් තිබෙන දෙයක්. වියදම දැන් මට්ටමේම නොවෙනස්ව තිබෙයි කියා අපි උපකල්පනය කරමු. එහෙමනම්, රජයේ ආදායම 72%කින් වැඩි කර ගන්න වෙනවා. 2021දී රජයේ ආදායම රුපියල් බිලියන 1,464ක් පමණයි. 2022දී මෙය රුපියල් බිලියන 2,094 වෙනවා කියන්නේ 70%ක වැඩි වීමක්. ඒ අනුව, 2021 එක්ක බැළුවහම 2025 වන විට රජයේ ආදායම 2.9 ගුනයකින් වැඩි විය යුතුයි. ඒ වගේ ඉලක්කයක් ප්‍රායෝගිකද?

උද්ධමනය ඉහළ මට්ටමක තියෙද්දී මේ වගේ ඉලක්කයකට යන එක සාපේක්ෂව පහසුයි. උද්ධමනය හේතුවෙන් මිල මට්ටම ඉහළ යද්දී රජයේ ආදායම්ද ඉහළ යනවා. හැබැයි ඒ එක්කම රජයේ වියදම්ද ඉහළ යනවා. ආදායම් ඉහළ යාමට අනුරූපව වියදම් ඉහළ යාමට ඉඩ නොදීමෙන් දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ප්‍රාථමික ශේෂය යම් ප්‍රමාණයකින් අඩු කර ගන්න පුළුවන්. උද්ධමනය වැඩි වන තරමට මේ හැකියාව ඉහළ යනවා.

දළ දේශීය නිෂ්පාදිතය තවත් තෙවසරකට පසුව දැන් තිබෙන මට්ටමේම තියෙනවා කියන එක කිසිසේත්ම නිවැරදි නැති උපකල්පනයක් බව කලින්ම කිවුවනේ. එහෙමනම් නිවැරදි උපකල්පනයක් වෙන්නේ කුමක්ද? 

නාමික දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් මූර්ත ආර්ථික වර්ධනය. අනෙක උද්ධමනය. 2023දී බොහෝ විට මූර්ත ආර්ථික වර්ධනය සෘණ පැත්තේ තියෙයි. 2024දී යම් වර්ධනයක් ඇති වුනත්, සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය බොහෝ විට 2022 මට්ටමෙන් ගොඩක් වෙනස් වෙන්න විදිහක් නැහැ. අවුරුදු තුනම ගත්තහම ඕනෑනම් 5%කින් ආර්ථිකය වර්ධනය වෙයි. 

අනෙක් පැත්තෙන්, IMF වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙද්දී උද්ධමනය අඩුවෙයි. නමුත්, කොයි තරම්ද? මගේ ඇස්තමේන්තුව 2023-2025 වසර තුනේදී මිල මට්ටම අඩු වශයෙන් 60%කින්වත් ඉහළ යයි කියන එකයි. ඒ කියන්නේ 2025 නාමික නාමික දළ දේශීය නිෂ්පාදිතය 2022ට සාපේක්ෂව 68%කින් වැඩි වෙනවා කියන එක.

උද්ධමනය නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය 68%කින් වැඩි වුනොත් රාජ්‍ය වියදමුත් වැඩි වෙනවා. එහෙත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකිරීම වගේ ක්‍රම වලින් මේ වැඩි වීම 68%කට වඩා අඩු මට්ටමක තියා ගන්න පුළුවන්.  

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 2022 රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුව 8.8%ක්. පොලී ගෙවීම් හැර වියදම් ඇස්තමේන්තුව 12.8%ක්. ප්‍රාථමික හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 4%ක් කියා කියන්නේ ඔය ගණන් දෙකේ වෙනස. 

දැන් අපි හිතමු දළ දේශීය නිෂ්පාදිතය 68%කින් වැඩි වෙද්දී රාජ්ය ආදායම්ද ඒ අනුපාතයෙන්ම වැඩි වුනා කියලා. ඒ කියන්නේ, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ආදායම 2024දීත් 8.8% මට්ටමේම තියෙනවා. ඔය විදිහට දළ දේශීය නිෂ්පාදිතය 68%කින් වැඩි වෙද්දී රාජ්‍ය වියදම් වැඩි වීම 15% වගේ මට්ටමක තියා ගත්තොත්, 12.8% අනුපාතය නිකම්ම 8.8% දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ, ප්‍රාථමික අයවැය ශේෂය සමතුලිත වෙලා. තව අඩු 2.3%ක අතිරික්තය පමණයි. බදු ප්‍රතිසංස්කරණ වලින් ඒ කොටස වැඩි කර ගන්න බැරිකමක් නැහැ. හැබැයි මේ වැඩේ වෙන්නනම් රාජ්‍ය සේවක වැටුප්, සහනාධාර ආදිය තව දුරටත් වැඩි නොකර 2022 මට්ටමේම වගේ තියා ගන්න වෙනවා. 

දැන් ඉන්න 8.8% ඉඳලා 11.1% මට්ටම දක්වා රාජ්ය ආදායම් වැඩි කර ගන්නවා කියන්නෙත් 26%කින් පමණ ආදායම් වැඩි කර ගැනීමක්. වසර තුනක් ඇතුළත ඒ වගේ ඉලක්කයකට යන එක වුනත් ලේසි නැහැ. නමුත් බැරි නැහැ. 

අමාරු වැඩේ වියදම් වැඩි නොකර තියෙන මට්ටම ආසන්නයේම පවත්වා ගන්න එකයි. ඇස්තමේන්තුගත 2022 වර්තන වියදම් වලින් රුපියල් බිලියන 1,021ක්ම සුබසාධන වියදම්. මේ වියදම් අඩු නොකළත් බොහෝ විට වැඩි කෙරෙන එකක් නැහැ. රුපියල් බිලියන 995ක් රාජ්‍ය සේවක වැටුප්. මේ වියදම් ප්‍රමාණයත් බොහෝ විට වැඩි නොකරනවා වෙන්න පුළුවන්. රාජ්‍ය සේවක කප්පාදුවකට සාපේක්ෂව එය ප්‍රායෝගික වැඩක්. රුපියල් බිලියන 1,072ක් ආයෝජන වියදම්. මිල වැඩි වෙද්දී ඒ කොටස ඒ මට්ටමේම තියා ගන්නනම් යම් තරමකින් ආයෝජන අඩු කිරීමක් කරන්න වෙනවා. නැත්නම් ආයෝජන වියදම් ඉහළ යනවා, භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ වියදම කොහොමටත් ඉහළ යනවා. ඒ නිසා, වසර තුනක් පුරා රජයේ වියදම් 15%කට වඩා වැඩි කර නොගෙන සිටීමත් තරමක් අභියෝගාත්මක වැඩක්.

5 comments:

  1. මේ ලිපිය එෆ්.බී. එකේ නැහැනේ.
    2017-2018 ප්‍රාතමික ශේෂය ධන වුනා නේද, ආයේ ඒතැනට යන එක ඔච්චර අමාරුද, මේවන විට ලංකාවේ රාජ්‍ය ඉදිකිරීම් සම්පූර්නයෙන්ම වගේ නවත්තලා. 2017/18 එහෙම කරන්නෙ නැතුවත් ධන වුනානේ.

    ReplyDelete
    Replies
    1. 2017/18ට සාපේක්ෂව අභියෝග ගණනාවක් තිබෙනවා. පළමුවැන්න ආර්ථිකය ඊට වඩා කුඩා වී තිබීම. දෙවනුව, 2017/18දී බොහෝ දුරට සිදු වුනේ ආයෝජන කපා හැරීම. ඊට සාපේක්ෂව වර්තන වියදම් අඩු වුනේ නැහැ. කවර හෝ හේතු නිසා මෙවර අයවැයෙන් ආයෝජන වියදම් විශාල ලෙස ඉහළ දමා තිබෙනවා. ඒ වියදම් මොනවාද කියා මම දන්නේ නැහැ. ඇතැම් විට කළ යුත්තේ ආයෝජන වැඩි කර වර්තන වියදම් අඩු කිරීම කියන එක IMF එකේ අදහස වෙන්න ඇති. ඊළඟට සුබසාධන වියදම් විශාල ලෙස ඉහළ දමා තිබෙනවා. වැඩි කරපුවා නැවත අඩු කරන්න අමාරුයි. ඔය සියල්ල මධ්‍යයේ වුවත් ඉහළ උද්ධමනයක් තිබීමේ වාසිය නිසා මේ වැඩේ කළ හැකියි. උද්ධමනය ඉහළ මට්ටමක තිබෙනවා කියා කියන්නේ බදු වැඩි නොකර හැමෝගෙන්ම බදු අයකර අයවැය හිඟය පියවා ගන්නවා වගේ වැඩක්.

      Delete
  2. නමුත් මහ බැන්කුවෙ පුරොකතනයෙ උද්දමනය මීට වඩා අඩු වෙයි කියලා. එතනදි රාජ්‍ය සේවක කප්පාදුවකට කරන්න වීමෙ සම්බාවිතවය වැඩි නෙද? IMF program එක මහබැන්කු පුරොකතනය මත පදනම් වෙනව වෙන්න ඉඩ වැඩි නෙද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවේ පුරෝකථන මීට වඩා ගොඩක් අඩුයි කියා මම හිතන්නේ නැහැ. 60%ක් කියා කිවුවේ අවුරුදු තුනටම. අවුරුද්දකට 17% වුනත් අවුරුදු තුනට 60%ක් එනවා.

      Delete
  3. මම ලියපු ලිපියේ IMF එක ග්‍රීසියට දුන්නෙත් ඒ වගේ අදහස් ටිකක්. ග්‍රීසියට ගිය වෙලා මට තේරුණා IMF එක යම් තරමකට හරි. ග්‍රීක සමාජවාදීන් කොච්චර බැන්නත් ඔවුන්ගේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න අමාරුයි. අනික ප්‍රධාන පක්ෂ දෙකම මිනිසුන් හුරු කරලා තියෙන්නේ නිකන් ඉඳන් පඩි කන්න. ලංකාවේ රජය සේවය කප්පාදු කරන්න ඕනේ. ඒක කරන්න බැරි දේශපාලකයෝ විඳින අසීමිත වරප්‍රසාද නිසා. එකොන් හිතනවද රනිල්ට ඇදගෙන යන්න පුළුවන් වෙයි කියල?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: