වෙබ් ලිපිනය:

Monday, November 11, 2024

තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාබ


තෙල් සංස්ථාව මේ දවස් වල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙන තවත් ආයතනයක්. විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාභය හා එම ලාභය පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමේ හැකියාව පිළිබඳව.

පසුගිය වසරේදී තෙල් සංස්ථාව රුපියල් මිලියන 120,346ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ, ඊට පෙර (2022) වසරේදී රුපියල් මිලියන 617,689ක දැවැන්ත අලාභයක් වාර්තා කිරීමෙන් පසුවයි. 2022 වසර අවසන් වෙද්දී තෙල් සංස්ථාවේ සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 1,032,316ක්ව පැවතුනා. මේ වන විට එම අලාභය රුපියල් මිලියන 912,113 දක්වා අඩු වී තිබෙනවා. එසේ අඩු වූ ආකාරය පසුව විස්තර කරන්නම්.

රුපියල් මිලියන 1,032,316ක සමුච්ඡිත අලාභයක් කියා කියන්නේ 2022 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3%කට සමාන අලාභයක්. රටේ ජනගහණයෙන් බෙදූ විට රුපියල් 46,541ක මුදලක්. අලාභයේ තරම හිතාගන්න මේ සංසන්දන ප්‍රමාණවත් විය යුතුයි. 

දෙදහස් විසි දෙක වසර අවසන් වන විට ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 28,487ක මුදලක් තෙල් සංස්ථාවෙහි ප්‍රාග්ධනය ලෙස ආයෝජනය කර තිබුණා. එහෙත් ඒ වන විට එම ආයතනයේ ශුද්ධ වටිනාකම රුපියල් සෘණ 86,732ක්. ඒ කියන්නේ දිගින් දිගටම පාඩු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ වන විට තෙල් සංස්ථාවේ වත්කම් එහි බැරකම් වලට වඩා එපමණකින් වැඩි වී තිබුණු බවයි. 

ඉහත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 884,093ක මුදලක් තෙල් සංස්ථාව වෙත පොම්ප කරනු ලැබුවා. ඇත්ත වශයෙන්ම මෙහිදී මුදල් පොම්ප කිරීමක් සෘජුව සිදු වූයේ නැහැ. සිදු වුනේ තෙල් සංස්ථාවේ ණය එපමණ ප්‍රමාණයක් රජය විසින් භාර ගැනීමයි. ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රාග්ධනය ලෙස තෙල් සංස්ථාවෙහි හිර කර ඇති මුදල රුපියල් මිලියන 912,582 දක්වා ඉහළ ගියා.

පෙර සඳහන් කළ තෙල් සංස්ථාවේ රුපියල් මිලියන 120,346ක ලාභය රජය විසින් එහි යොදවා ඇති ප්‍රාග්ධනයෙහි ප්‍රතිශතයක් ලෙස සැලකුවහොත් 13.2%ක්. එම වසරේදී රජයේ බැඳුම්කර ණය වෙනුවෙන් ගෙවිය යුතු වූ ඵලදා අනුපාතිකය මීට වඩා බෙහෙවින්ම වැඩි 30% පමණ දක්වා ඉහළ ගොස් තිබුණු ප්‍රතිශතයක්. මේ වන විටද දිගුකාලීන බැඳුම්කර ඵලදා අනුපාතික පවතින්නේ 13.2%ට ආසන්න මට්ටමකයි. 

වෙනත් අයුරකින් කිවහොත්, ශ්‍රී ලංකා රජය විසින් භාරගෙන තිබෙන තෙල් සංස්ථාවේ ණය සඳහා ගෙවිය යුතු පොලිය සැලකුවහොත්, ඉහත ලාභය තව දුරටත් ලාභයක් වෙන්නේ නැහැ. මෙහිදී සලකා බැලිය යුතු තවත් කරුණක් වන්නේ තෙල් සංස්ථාව සාමාන්‍ය සමාගමක් වී නම් ලාභයෙන් 30%ක් ආදායම් බදු ලෙසද ගෙවන්නට සිදුවන බවයි. එසේ ගෙවීමෙන් පසුව, ආයෝජනය සඳහා හිමි වන්නේ 9.2%ක පමණ ප්‍රතිලාභයක්. ඒ නිසා, මෙසේ වාර්තා වන තෙල් සංස්ථාවේ ලාභ යනු හුදෙක් ගිණුම්කරණ ලාභ මිස සැබෑ ආර්ථික ලාභ නෙමෙයි.

කෙසේ වුවද, තෙල් සඳහා මිල සුත්‍රය සකස් කර තිබෙන්නේ ආසන්න වශයෙන් ආර්ථික ලාභ ශුන්‍ය වන පරිදි බව පෙනෙන්නට තිබෙනවා. ගිණුම්කරණ ලාබය ආසන්න වශයෙන් යෙදවූ ප්‍රාග්ධනය සඳහා වාර්ෂිකව ගෙවිය යුතු මුදලට සමාන වීමෙන් පෙනී යන්නේ එයයි. ආර්ථික ලාභ ශුන්‍ය වන තත්ත්වයක් කියා කියන්නේ පෞද්ගලික සමාගමකට පැවතිය හැකි අවම මට්ටමයි. මෙම අවම මට්ටමට සමාන ලාභයක් ලැබිය නොහැකිනම් පෞද්ගලික ආයතනයක් දිගටම ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ නැහැ. 

මේ අනුව, 2022 වසරේදී තෙල් මිල පැවතී තිබෙන්නේ ආසන්න වශයෙන් නියම මට්ටමේ කියා කියන්න පුළුවන්. එයින් අදහස් වන්නේ වෙළඳපොළ තරඟකාරී වීනම් ව්‍යාපාරය වසා නොදමා දිගටම පවත්වා ගෙන යාම පිණිස අය කළ යුතු අවම මිල ගණන් බවයි.

මිල ගණන් මීට වඩා පහත හෙළීම කිසිසේත්ම නොකළ හැකිව තිබුණු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ දමා ගැනීම මගින් මීට වඩා අඩු මිලකට තෙල් විකිණීමේ හැකියාවක් තිබුණා. එහෙත්, පැවති කාර්යක්ෂමතා මට්ටම අනුව මීට අඩුවෙන් තෙල් විකිණීමේ හැකියාවක් සංස්ථාවට තිබුණේ නැහැ. එවැන්නක් කිරීමටනම් රජයෙන් සෘජුව හෝ වක්‍රව සහනාධාරයක් ලැබිය යුතුයි. 

ඉන්ධන වැනි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක මිල සුබසාධනය කිරීම දේශපාලනිකව කළ යුතු දෙයක් වෙන්න පුළුවන්. එය ආර්ථික කරුණු වලින් පරිබාහිර දෙයක්. එහෙත් මේ අයුරින් රජය විසින් සුබසාධනය කළ යුත්තේ කවුද යන ප්‍රශ්නය මෙහිදී පැන නගිනවා. එසේ සුබසාධනය කළ යුත්තේ තෙල් සංස්ථාවේ සේවකයින්ය යන්නට බොහෝ දෙනෙකු කැමති වන එකක් නැහැ. යම් හෙයකින් සුබසාධනය කරන්නේනම් කළ යුත්තේ පොදුවේ පාරිභෝගිකයින්ව හෝ ඔවුන්ගෙන් තෝරාගත් කොටසකුයි.

මේ අනුව, යම් සහනාධාරයක් ලබා දෙනවානම් එය සෛද්ධාන්තිකව ලබා දිය යුත්තේ පාරිභෝගිකයාටයි. එයින් වෙළඳපොළ විකෘතියක් (විකල්ප තත්ත්වයට සාපේක්ෂව) සිදු වන්නේ නැහැ. පාරිභෝගිකයින්ට අඩුවට තෙල් ලැබෙන අතරම තෙල් සංස්ථාවට ආර්ථික ලාභ සෘණ කර නොගනිමින් පැවතිය හැකියි. එවිට තෙල් මිල සුබසාධනය කිරීම තෙල් සංස්ථාවේ ව්‍යාපාරික ඉලක්කයට සෘජු සම්බන්ධයක් නොමැති රාජ්‍ය ප්‍රතිපත්තියක කොටසක් පමණක් වෙනවා.

ඉහත ආකාරයේ සුබසාධනයකින් වෙළඳපොළ තරඟයට බාධාවක් සිදු වන්නේ නැහැ. සහනාධාරය ලබන පාරිභෝගිකයෙකුට තමන් කැමති තෙල් සැපයුම්කරුවෙකුගෙන් තෙල් මිල දී ගත හැකි බැවින් තෙල් සැපයුම්කරුවන් අතර තරඟය එලෙසම තිබෙනවා. 

කෙසේ වුවත් මේ අයුරින් පාරිභෝගිකයින් වෙත යම් මුදලක් සහනාධාරයක් ලෙස ලබා දීම පරිපාලනමය ලෙස අපහසු වැඩක්. ඒ නිසා ප්‍රායෝගිකව මෙවැනි රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී කරන්නේ පාරිභෝගිකයින්ට ලැබිය යුතු සහනාධාර මුදල ඔවුන් වෙනුවෙන් සැපයුම්කරුවන් වෙත ලබා දීමයි. එවිට ඔවුන්ට එම මුදල අඩු කර අඩු මිලකට තෙල් විකිණිය හැකියි. මෙවැනි ක්‍රමයකදී සියළුම සැපයුම්කරුවන් සහනාධාරය බෙදා හැරීමේ කටයුත්තට සම්බන්ධ කර ගැනීමට සිදු වෙනවා. 

කෙසේ වුවත් ලංකාවේ දැනට පවතින සන්දර්භය තුළ මේ අයුරින් සහනාධාර දීමක් කළ යුතුනම් එය මීටත් වඩා පහසුවෙන් කළ හැකියි. ඒ සඳහා කළ යුතු වන්නේ තෙල් වලින් අය කරන බදු මුදල අවශ්‍ය ප්‍රමාණයෙන් අඩු කිරීමයි. 

මෙය එසේ කළ යුතුයැයි කරන යෝජනාවක් නෙමෙයි. දැනට ශ්‍රී ලංකාව සිටින ස්ථායීකරණ වැඩපිළිවෙළ අනුව බදු ආදායම් අඩු කර ගැනීමට ප්‍රායෝගික හැකියාවක් නැහැ. ඒ නිසාම ඉන්ධන සඳහා සහනාධාර ලබා දීමේ හැකියාවක්ද නැහැ. එසේ කරන්නටනම් මුලින්ම අවශ්‍ය මුදල උපයා ගත හැකි ක්‍රමයක් ගැන සිතන්නට සිදු වෙනවා. තෙල් සංස්ථාවේ ලාබය රජයට පවරාගෙන ඇති එහි ණය වල පොලිය ගෙවීම සඳහා යෙදවීමෙන් පසුව සහනාධාර දීම සඳහා එයින් කිසිවක් ඉතිරි වන්නේ නැහැ. ඒ නිසා එවැන්නක් කරන්නේනම්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගැලපෙන පරිදි, පැහැර හැර ඇති බදු වඩා කාර්යක්ෂම ලෙස අය කර ගැනීම වැනි වෙනත් ක්‍රමයකින් රජයේ ආදායම් වැඩි කර ගෙන සිටීමට සිදු වෙනවා. 

කෙසේ වුවද, යම් හෙයකින් රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව මිල පිරිවැය මට්ටමෙන් පහතට ගෙන ආ යුතුමනම් එය කළ හැකි පහසුම ක්‍රමය බදු අඩු කිරීමයි. පසුගිය වසරේදී ඛණිජ තෙල් නිෂ්පාදන මත අය කර තිබුණු නිෂ්පාදන බදු ප්‍රමාණය රුපියල් මිලියන 143,642ක්. මෙම මුදල, සැබෑ ආර්ථික ලාබයක් නොවන, තෙල් සංස්ථාවේ නාමික ගිණුම්කරණ ලාබයට වඩා වැඩි මුදලක්. මුළු බදු ප්‍රමාණය මීටත් වඩා වැඩි විය හැකියි. බදු අඩු කළ විට මිල පහත වැටෙනවාක් මෙන්ම සැපයුම්කරුවන් අතර තරඟයට බාධාවක් වන්නේද නැහැ. 

9 comments:

  1. හොඳ පෝස්ට් එකක් ඉකොනෝ, මම හිතන්නේ ලංකාවේ බහුතර ජනතාව දේශපාලනය තුල හොරු එලවීමට වඩා බොරුකාරයන් එලවීමට මූලිකත්වය ගත යුතු බව, දූෂණ මර්දනය කිරීමට අත්‍යවශ්‍ය කාර්‍යයක් බව ඇත්ත නමුත් ඒක කරන්නත් සේරටම කලින් බොරු මඩ ප්‍රහාර සහ අසත්‍ය ප්‍රචාර අසත්‍ය තොරතුරු වෙනුවට සත්‍ය ඇත්ත facts සහ figures සහිතව දැන ගැනීම ඉතාමත්ම වැදගත්, නැත්නම් අන්තිමට මොනවත්ම කරන්න කිසිම ආකාරයක හැකියාවක් ලැබෙන්නේ නෑ, හොරු අල්ලන්න වුණත් ඇත්තටම සත්‍ය වශයෙන්ම සිදුවුණේ මොකක්ද කියන කාරණය දැනගත යුතුයි නේද?

    ඉන්ධන මිල අඩුකිරීමට වඩා සැබෑ මිලට ඉන්ධන ලාභ සහිතව විකිණීමට තෙල් සංස්ථාව කටයුතු කළ යුතුයි. ජනතාව ඉන්ධන කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රවාහනය සහ පුනර්ජනනීය බලශක්තිය භාවිතා කිරීමට පෞද්ගලිකව ආයෝජන කිරීම වගේ දේවල් වලට පෙළැඹීමෙන් දීර්ඝකාලීන ලෙස රටටම යහපතක් සිදුවීම සහ ආනයනික ඉන්ධන මත යැපීම අඩුකරන්න පුලුවන් වෙයි. යම් රටක එරටේ ජනාධිපතිවරයා මාධ්‍ය ආයතනවලට ඇවිත් ලැජ්ජා නැතිව ටොම්පචයකු සේ අසත්‍ය ප්‍රචාර කරන්නේ නම් එසේ කිරීම ගැන ජනතාව ඇත්තටම කම්පා විය යුතුයි.

    ReplyDelete
  2. මේ ගනන් මිනුන් හරිද? මිලියන 28487 ආයෝජනයක ඉඳල එකපාරට මිලියන 912582 වෙනකන් ආයෝජනය ඉහල ගිහිල්ල

    ReplyDelete
    Replies
    1. මිලියන 28,487 කියා කියන්නේ වසර ගණනාවකට පෙර සිදු කළ ආයෝජනයක්. සමහර විට තෙල් සංස්ථාව හදන කාලයේ වෙන්න පුළුවන්. එම ආයෝජනය සිදු කළ කාලයේ එය විශාල මුදලක්. සාමාන්‍යයෙන් ආයතනයක් වසරින් වසර ලාබ ලබද්දී මුල් ආයෝජනය වර්ධනය වෙනවා. නමුත් තෙල් සංස්ථාව (හා තවත් බොහොමයක් රාජ්‍ය ආයතන) හා අදාළව සිදු වී තිබෙන්නේ වසරින් වසර ණය එකතු වීම. අවසාන වශයෙන් විශාල ආයෝජනයක් කරන්න සිදු වී තිබෙන්නේ තෙල් සංස්ථාව ණයෙන් නිදහස් කරන්න. රාජ්‍ය ආයතනයක් දිගින් දිගටම පාඩු ලබද්දී කොයි වෙලාවක හෝ ඔය වැඩේ කරන්න වෙනවා. ගිණුම්කරණයේ තිබෙන ප්‍රශ්නය වන්නේ මුලින් ආයෝජනය කළ රුපියල් මිලියන 28,487ක මුදලේ අද වටිනාකම නොසලකා හැරීම. එම මුදලේ අද වටිනාකම සහ එදා වටිනාකම අතර වෙනස ඇත්තටම පාඩුවක්. ඒ වගේම විශාල පාඩුවක්. මෑතකදී පොම්ප කළ විශාල මුදල හරහා සිදු වුනේ එම විශාල පාඩුවෙන් කොටසක් සාමාන්‍ය මහජනතාව වෙත පැටවීම. බොහොමයක් රාජ්‍ය ආයතන හා අදාළව ඔය වැඩේ වරින් වර සිදු වෙනවා. මේ ආයතන ලාබ ලබනවා කියන අය එසේ කියන්නේ මේ අලාබය නොසලකමිනුයි. ගිණුම් වල ලාබ සේ පෙනෙන හැම මුදලක්ම ඇත්තටම ලාබ නෙමෙයි. 1960දී දමපු රුපියල් මිලියන 20ක් අද රුපියල් මිලියන 21ක් වෙලානම් ඒක ලාබයක් ලෙසයි පේන්නේ. ඒකත් අඩු වූ විටයි පාඩු ලබනවා කියලා කියන්නේ. ආර්ථික ලාබ හා ගිණුම්කරණ ලාබ අතර වෙනස එයයි. මේවා විගණනයට අහු වෙන්නේ නැහැ. විගණනයේදී කරන්නේ ගිණුම් වල තිබෙන ගණන් දිහා මතුපිටින් බලන එක පමණයි. නමුත් පෞද්ගලික ආයෝජකයින් මේ විදිහට ගණන් බලන්නේ නැහැ. මිලියන 20ක් දමලා අවුරුදු දහයකට පස්සේ එය මිලියන 25ක් වුනොත් පාඩුවක් ලෙසයි සලකන්නේ.

      Delete
    2. වෙනත් විදිහකට කිවුවොත්, ණය වීම අමතක කළත්, වසර ගණනාවකට පෙර මිලියන 28487ක ප්‍රාග්ධනයක් තියාගෙන තෙල් සංස්ථාව වගේ ආයතනයක් පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් අවුරුදු තිහ හතළිහක් යද්දී ඒ මුදලින් ඒ වගේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්න බැහැ. ඕනෑම ආයතනයක් වසරින් වසර ලාබ ලබා එම ලාබයෙන් කොටසක් අනාගතය වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි. එහෙම නැත්නම් කාලයක් යද්දී ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙනවා. දවසකට රුපියල් 1000ක් රෝල් කරමින් වසර ගණනාවකට කලින් පොලේ බඩු විකුණපු කෙනෙක් ගැන හිතන්න. ඒ කාලයේදී උදේට 1000ක බඩු ගත්තහම හවසට 100ක හෝ 200ක ලාබයක් ගන්න පුළුවන්. ඒක වියදමට අරගෙන රුපියල් 1000 ඊළඟ දවසේ බ්ස්නස් එක කරගෙන යන්න තියා ගන්න එකනේ කරන්නේ. දැන් මේ වැඩේ කරන්නේ පාඩුවට නෙමෙයි. නමුත් අවුරුදු 10-20ක පස්සේ රුපියල් 1000ක් පමණක් අතේ තියාගෙන ඔය ව්‍යාපාරය ගෙනියන්න බැහැ. ටිකෙන් ටික ඔය මුදල වැඩි කරගන්න වෙනවා. ආර්ථික ලාබයක් කියා කියන්න පුළුවන් වෙන්නේ දිගුකාලීනව ව්‍යාපාරයක් එක දිගට පවත්වා ගෙන යා හැකි තරමේ ලාබයක් ඇත්නම් පමණයි. ඒ කියන්නේ අවශ්‍ය අවම ආයෝජනය වාර්ෂිකව කළ හැකි තරමේ ලාබයක්.

      Delete
    3. ඔබ කියන දෙය පැහැදිලියි. කාල වෙනස ගැන මම එතරම් හිතුවෙ නෑ.
      තව ප්‍රශ්නයක් තියෙනව.
      හිතන්නකො ඔය මුලු ණයම රජයට ගත්තට පස්සෙ දැන් තෙල් සංස්තාව ණය නෑ කියල.
      මෙතන ඉඳන් ණය නොවී මේ අන්ඩුවෙන් ඔය ආයතනය පවත්වාගෙන ගියොත් රජය යටතේ උනත් බිස්නස් එක පාඩු නෑ කියල කියන්න පුලුවන් නේද

      Delete
    4. ණය නොවීම ප්‍රමාණවත් නැහැ. ශුද්ධ වත්කම් ඉවර වෙන තුරු ආයතනයකට බංකොලොත් නොවී පවතින්න පුළුවන්. ඒ කියන්නේ ගිණුම්කරණ ලාබ පවා සෘණ තත්ත්වයේ පවතිද්දී ණය නොවී දිගටම කාලයක් යන්න පුළුවන්. ණය නැති බොහොමයක් රාජ්‍ය ආයතන තියෙන්නේ ඒ තත්ත්වයේ. අනිවාර්යයෙන්ම ණය වෙන්න සිදු වෙන්නේ ශුද්ධ වත්කම් ටිකෙන් ටික ක්ෂය වී ගොස් සෘණ වූ විටයි. ප්‍රායෝගිකව ඊට කලින් ණය වෙන්න සිදු වෙනවා. ප්‍රාග්ධනයට ප්‍රමාණවත් ලාබයක් ලැබේනම් පමණයි නියම ලාබයක් කියා කියන්න පුළුවන්. එම ලාබය අවම වශයෙන් මුදලේ කාල වටිනාකම අඩුවීම හා ගැලපිය යුතුයි.

      Delete
    5. සොරි. මම ණය නොවී කිව්වෙ ආර්තික ලාභ ලබන අදහසින්.
      උදාහරනයක් විදියට ආන්ඩුව තෙල් සංස්තාවෙ ණය ටික ඔක්කොම ගත්ත නිසා දැන් තෙල් සංස්තාවෙ ණය බිංදුවයි.
      මාලිමාව ඇවිත් මෙතන ඉඳන් තෙල් සස්තාව රජය යටතෙ තියාගෙන (ආර්තිකව) ලාභ ලබල පෙන්වනව ඔවුන්ගෙ කාලෙදි. පරණ ණය කතා අමතක කරනව. එහෙම උනොත් ජේවීපී එක කියන පුද්ගලිකකරනය අවශ්‍ය නෑ කියන එකට පදනමක් වැටෙනව නේද

      Delete
    6. නැහැ. රාජ්‍ය ව්‍යවසාය වල ප්‍රශ්නය පාඩු ලැබීම පමණක් නෙමෙයි. එය ලංකාවේ සන්දර්භයේදී දැකිය හැකි එක් ප්‍රශ්නයක් පමණයි. මූලික ප්‍රශ්නය අකාර්යක්ෂමතාවය. තෙල් සංස්ථාවට ඒකාධිකාරයක් තිබෙන නිසා ආර්ථික ලාභ ලැබූ පමණින් ආයතනය කාර්යක්ෂමයි කියන එක අදහස් වෙන්නේ නැහැ. මොකද අවශ්‍යනම් ආර්ථික ලාබ ලැබිය හැකි මට්ටමට මිල වැඩි කරලා ආර්ථික ලාභ පෙන්වන්න පුළුවන්. ඒ නිසා ලාබ හා කාර්යක්ෂමතාවය අතර සම්බන්ධයක් නැහැ. ආර්ථික ලාබද ලබමින්, අනෙක් තරඟකරුවන්ට ආර්ථික ලාබ නැති වෙන තරමේ අඩු මිලකට තෙල් විකිණිය හැකිනම් පමණක් තෙල් සංස්ථාව කාර්යක්ෂමයි කියා කියන්න පුළුවන්. මෙය ආර්ථික ලාබ ලබන එක අවතක්සේරු කිරීමක් නෙමෙයි. එයින් අයවැය මත බර පැටවෙන එක නවතිනවා. නමුත් එසේ වෙන්නේ තෙල් මිල දී ගන්නා පාරිභෝගිකයාගේ වියදමෙන්. සිදු විය යුත්තේ පාරිභෝගිකයා හෝ වෙනත් තෙවන පාර්ශ්වයක් මත බර නොපටවා කාර්යක්ෂමතාවය මගින් අඩු මිලට තෙල් ලබා දීමයි. එවැන්නක් සිදු විය හැක්කේ තරඟයක් ඇත්නම් පමණයි.

      Delete
  3. ඉකොනෝ මහත්තය අසත්‍ය ලියන්නේ ඇයි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: