වෙබ් ලිපිනය:

Tuesday, September 20, 2022

අපි නොදන්න මොණරතැන්න!

 


ඇමරිකානු තානාපති ජූලි චන්ග් මේ දවස් වල රට වටා කරක් ගහනවා. දකුණ බලා යද්දී මුලින්ම වගේ හමු වෙලා තියෙන්නේ මොණරුන් ගැන අවවාදයක්. ඒ ගැන ඇය ට්වීට් කරලා තියෙනවා. ඒ ට්වීට් එක ඇතැම් අය වෙනස් විදිහකට තේරුම් ගෙන තිබෙන බව පේනවා. 

මොණරුන් ගැන අවවාදය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තිබෙනවා. සිංහලෙන් තියෙන්නේ "මොණරුන් බහුල ප්‍රදේශයකි." කියලා. ඉංග්‍රීසියෙන් "DANGER PEACOCKS AHEAD" කියා තිබෙනවා. එය "අන්ත්‍රාවයි ඉදිරියේ මොණරුන්" කියා සිංහලට පරිවර්තනය කළ හැකියි. දෙමළ අවවාදයේ ("முன்னால் மயில்கள். அவதானம்") අර්ථයද මීට කිට්ටුයි. එය "ඉදිරියේ මොණරුන්. ප්‍රවේශමෙන්" ලෙස සිංහලට පරිවර්තනය කළ හැකියි.

මේ ගැන ප්‍රතිචාර දක්වමින් ජූලි චන්ග් විසින් "I’d never imagined a dangerous peacock, but now I can’t stop looking for them!" කියා සටහන් කර තිබෙනවා. සමහර අය තේරුම් ගෙන තියෙන හැටියට ජූලි චන්ග් ඉංග්‍රීසි පාඩමක් කියා දීලා. එහෙමත් නැත්නම් සමච්චලයක් කරලා. 

මට තේරෙන හැටියටනම් මෙහි සමච්චලයක් හෝ ඉංග්‍රීසි පාඩමක් නැහැ. ඇය කියා තිබෙන්නේ "මොණරුන් අන්තරාදායක විය හැකි බවක් මීට පෙර කවදාවත් මට සිතී තිබුණේ නැහැ. නමුත් දැන් මම වාහනය එළවන්නේ මොණරුන් ගැනද අවධානය යොමු කරමිනුයි." කියන එකයි. ඇගේ ට්වීටර් සටහන වචනයෙන් වචනය සිංහලට පරිවර්තනය කළොත්නම් වෙන තේරුමක් එන්න පුළුවන්. 

අනතුරුදායක වන සතුන් ගැන මෙවැනි අවවාද ලෝකයේ බොහෝ රටවල පාරවල් අයිනේ දකින්න පුළුවන්. රට රටවල කරක් ගසා ඇති ජූලි චන්ග් ඒ වගේ අවවාද ඕනෑ තරම් දැක ඇති. නමුත් සුලබ සතෙක් නොවන මොණරා ගැන මෙවැනි අවවාදයක් දැක්කේ පළමු වතාවට වෙන්න ඇති. තමන් දැන සිටි අනතුරුදායක වන සතුන් ලැයිස්තුවට තවත් එක් සතෙකු එකතු වීමේ විමතියට වඩා දෙයක් මේ සටහනේ මට පෙනෙන්නේ නැහැ. 

ජූලි චන්ග් විසින් පුවරුවේ ඉංග්‍රීසි වල වැරැද්දක් පෙන්වා නැතුවාක් මෙන්ම එහි එවැනි ලොකු වැරැද්දක් නැහැ. "DANGER" යන්න වෙනුවට දෙමළ පාඨයේ මෙන් "ප්‍රවේශමෙන්" යන අර්ථය දෙන "CAUTION" හෝ "ATTENTION" වැනි වචනයක් යෙදුවානම් වඩාත් යෝග්‍යයි. නමුත්,  "DANGER" කියා කිවුවත් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම, අවශ්‍යනම් දෙමළ පාඨයේ මෙන් "DANGER" යන්නෙන් පසුව නැවතීමේ තිතක් හෝ විශ්මයාර්ථ ලකුණක් (DANGER!) තැබිය හැකිව තිබුණත්, මෙවැනි අවවාද පුවරුවකට එවැන්නක් අත්‍යාවශ්‍ය නැහැ.  

සංශෝධනය වනවානම් සංශෝධනය විය යුත්තේ සිංහල පාඨයයි. "මොණරුන් බහුල ප්‍රදේශයකි" යන්නෙන් ඒ ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි කියා රියැදුරෙකුට එකවර නොතේරෙන්න පුළුවන්. අයෙක් මෙය "මොණරුන් නැරඹිය හැකි" ප්‍රදේශයක් ලෙස තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්තොත් අවවාදයේ අරමුණ ඉටුවන්නේ නැහැ.

4 comments:

  1. ඕකේ ඇති දෙයක් නැහැ. නමුත් ඉතින් ඇමෙරිකාවේ තානාපති කෙනෙක් කරන ඕන දෙයක් ව්විවෙච්නය කරන සෙට් එකක් ඉන්නව. ඒ වගේම අනිත් පැත්තෙන් පූටින් විවේචනය කරන සෙට් එකක් ඉන්නව.

    ReplyDelete
  2. කළ දේ වැරදිමයි නොම කළ දේ හරිය
    කියන්නට පුරුදු අය හරියට ඇතිය
    මොනම දෙයක්වත් නොකරන එවැනි අය
    විවේචන කරන්නට නම් හපනුන්ය!

    ReplyDelete
  3. "Danger" කියන එනේ වරදකුත් නැහැ. කලකට පෙර මා පුවතපත් වාර්තාවක් දැක්කා පාර හරහා පියෑඹූ මොණරකු මුහුණේ හැපීමෙන් අනතුරට පත්ව මියගිය මෝටර්සයිකල්කරුවකු පිළිබඳව.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: