වෙබ් ලිපිනය:

Wednesday, September 21, 2022

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට!

පෙනෙන විදිහට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හැකිතාක් ඉක්මණින් අවසන් කිරීම රජයේ අභිලාෂයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයක් ඇති කර ගැනීමෙන් අනතුරුව රජය ඉතා ඉක්මණින් ඊළඟ පියවර වෙත යොමු වෙමින් සිටිනවා. 

මේ සිකුරාදා (සැප්තැම්බර් 23) නිවුයෝර්ක් වේලාවෙන් උදේ අටට (ලංකාවේ වේලාවෙන් හවස 5:30ට) රජය අන්තර්ජාලය හරහා ණයහිමියන්ව හමු වෙනවා. ක්ලිෆඩ්චාන්ස් ආයතනය විසින් මෙම හමුව සංවිධානය කරන අතර ඕනෑම විදේශ ණයහිමියෙකුට කලින් ලියාපදිංචි වී මෙම රැස්වීමට සහභාගී විය හැකියි.


මෙම රැස්වීමේදී රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳව ණයහිමියන් දැනුවත් කිරීමට අපේක්ෂා කරන අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඉදිරි පියවර පිළිබඳවද දැනුම් දීමක් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව, ණයහිමියන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමද සිදු වෙනවා.

මුදල් අමාත්‍යාංශය විසින් ණයහිමියන් වෙත ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව, 2021 අවසානයේදී රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.9ක්. එයින් ඩොලර් බිලියන 53.6ක් රුපියල් ණය වන අතර ඉතිරිය විදේශ ව්‍යවහාර මුදල් වලින් ගත් ණයයි. 

ඩොලර් බිලියන 47.3ක් වන විදේශ ව්‍යවහාර මුදල් වලින් ගත් ණය වලින් ඩොලර් බිලියන 38.9ක් මධ්‍යම රජයේ ණය වන අතර ඩොලර් බිලියන 5.4ක් රජයේ ඇප මත රාජ්‍ය සංස්ථා විසින් ලබාගත් ණයයි. ඉතිරි ඩොලර් බිලියන 3.0 මහ බැංකුවේ ණයයි. 

රජය හා රාජ්‍ය සංස්ථා විසින් ලබාගෙන ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10ක්. එයින් 44%ක් චීනයෙන්ද, 32%ක් ජපානයෙන්ද, 10%ක් ඉන්දියාවෙන්ද ලබාගෙන තිබෙනවා. මීට අමතරව මහ බැංකුවේ ණය වලින් ඩොලර් බිලියන 1.8ක්ද ද්විපාර්ශ්වික ණයයි. එවිට ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයේ එකතුව ඩොලර් බිලියන 11.8ක්.

ජාත්‍යන්තර සංවිධාන වලින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණයද මීට ආසන්නයි. එම ප්‍රමාණය ඩොලර් බිලියන 11.3ක්. ඉතිරි ඩොලර් බිලියන 24.4 වාණිජ ණයයි. 

දැනට පළව ඇති ඉඟි වලින් පෙනෙන්නේ ණයහිමියන් ඉක්මණින් කැමති කරවා ගත හැකි, ඔවුන්ට සාපේක්ෂව වාසිදායක, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලංකාවේ පැත්තෙන් ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් ඇති බවයි.

8 comments:

  1. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හැකිතාක් ප්‍රමාද කිරීම රජයට වාසිදායක නැද්ද? ණය නොගෙවා සිටීමේ කාලය වැඩිවන නිසා වාසියක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ. ප්‍රමාද කිරීමේ අවාසි ගණනාවක් තිබෙනවා. ප්‍රමාද කරන තරමට ජාත්‍යන්තර උසාවි වල නඩු වැටෙනවා. ඒ හරහා රටේ කිසිවෙකුට ජාත්‍යන්තර ගනුදෙනු කිරීම අපහසු වීමේ අවදානමක් ඇති වෙනවා.

      Delete
  2. කියන්න හැදුවේ /රාජ්‍ය අංශයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100.9ක්/ කියලා නේද?

    ReplyDelete
  3. ප්‍රතිව්‍යූහගත කිරීම ඉක්මනට ඉවර කරන්න ඕනේ කම නිසා ම ඉටු කල නොහැකි එකඟතාවකට එළඹෙන්න ඉඩක් තියෙනවා නේද

    ReplyDelete
    Replies
    1. එවැන්නක් කරන්න වෙන්නේ නැහැ. ණයහිමියෝ මෝඩයෝ නෙමෙයිනේ! ඒ අය බලන්නේ ලංකාව බය කරලා කොහොම හරි තමන්ට වාසිදායක ගිවිසුමකට එකඟ කර ගන්න නෙමෙයි. එහෙම ගිවිසුමක් ගැහුවා කියලා සල්ලි ලැබෙන්නේ නැහැනේ. ඒ අය උත්සාහ කරන්නේ ප්‍රායෝගිකව තමන්ගේ සල්ලි ආපසු ලැබෙන තත්ත්වයක් ඇති කරගන්න. ඒ නිසා, ඉටු කළ නොහැකි කොන්දේසි වලට ඒ අය එකඟ වන එකක් නැහැ.

      Delete
  4. මෙන්න මේ වගේ විනිවිද පෙනෙන (නිවැරදිතාවය ආසන්න) මෙවලමක් ශ්‍රී ලංකාවටත් හදුන්වා දෙන එක හොඳ නැද්ද?
    https://www.usdebtclock.org/

    ReplyDelete
    Replies
    1. හොඳයි. නමුත් මේ වගේ දෙයක් කරන්න ඔය විචල්‍ය වෙනස් වන ආකාරය ගැන අදහසක් තිබිය යුතුයි. ලංකාව ලබන සතියේ කොච්චර ණය ගනියිද. කොච්චර සල්ලි අච්චු ගහයිද වගේ දේවල් කවුරුවත්ම හරියට දන්නේ නැහැ. තීරණ ඉතා කෙටි කාලාන්තර තුළ වෙනස් වෙනවා. ඒ නිසා, මේ වගේ එකක් හදන්න අමාරුයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: