මම සෑහෙන කාලයකින් ලංකාවේ කෝච්චියක ගමන් කරලා නැහැ. ලංකාවේ ජීවත් වූ කාලයේදී වුනත් කෝච්චි වලින් ගමන් කළේම නැති තරම්. නමුත් මගේ සමහර මිතුරන් අතර දිනපතා කෝච්චියේ ගමන් කළ අය හිටියා. කෝච්චි ගමන් එක්ක බැඳුනු සංස්කෘතියකුත් ලංකාවේ තිබෙනවා.
සාමාන්‍යයෙන් දවසකට ලක්ෂ තුනක පමණ පිරිසක් ලංකාවේ කෝච්චි වල ගමන් යනවා. මේ එක් මගියෙක් ගමන් වාරයකදී සාමාන්‍ය වශයෙන් කිලෝමීටර හැටකට වඩා ගමන් කරනවා. එක් මගියෙක්ව කිලෝමීටරයක් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සාමාන්‍ය වශයෙන් අය කරන මුදල රුපියල් දෙකකටත් වඩා අඩුයි. නමුත් ඒ සඳහා වැය වන පුනරාවර්තන පිරිවැය පමණක් සැලකුවත් එමෙන් දෙගුණයකට වඩා වැඩියි.
පසුගිය 2024 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 16.5ක ආදායමක් උපයද්දී, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 39.5ක් වැය වෙලා තිබෙනවා. මේ වෙනස පියැවෙන්නේ දුම්රිය භාවිතා නොකරන බහුතර ලාංකිකයින් ඇතුළු බදු ගෙවන්නන් විසින් රජයට ලබා දෙන මුදල් වලින්.
ඔය තරම් පාඩුවට ටිකට් විකුණුවත්, මේ වෙද්දී දුම්රිය ප්‍රවාහනයට අනෙකුත් පෞද්ගලික ප්‍රවාහන සේවාවන් එක්ක තරඟ කරන්න නොහැකි වී තිබෙනවා. වාහන ආනයනයේදී විශාල බද්දක් අය කර ගැනීමෙන් පසුවත්, පෞද්ගලික ප්‍රවාහන සේවා සපයන්නෝ දුම්රිය මගීන්ව සහ බස් මගීන්ව ඩැහැ ගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට 2023දී මිලියන 7,044ක් වූ දුම්රිය මගී-කිලෝමීටර ප්‍රමාණය 2024 වෙද්දී 14.8%කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම, ගමනාගමන මණ්ඩල බස්රථ භාවිතයද 7.8%කින් අඩු වී තිබෙනවා. මේ ප්‍රවණතාවය අනුව ඉදිරි කාලයේදී දුම්රිය හා බස්රථ භාවිතය තවත් අඩු වෙන්න පුළුවන්.
ලංකාවේ පොදු ප්‍රවාහන ආකෘතිය වී තිබුණේත්, වී තිබෙන්නේත්, අඩු මිලකට වැඩි මගීන් පිරිසක් කෙසේ හෝ ප්‍රවාහනය කරන එකයි. ඔය ආකෘතිය ඇතුළේ ගුණාත්මක භාවය නොසලකා හැරෙනවා. නමුත් මගීන්ගේ පැත්තෙන් මිල හා ගුණාත්මක භාවය අතර තේරීමක් තිබෙනවා. ඔවුන් ගුණාත්මක භාවය වෙනුවෙන් වැඩි මිලක් ගෙවනවා. රටේ ආදායම් ඉහළ ගොස් ප්‍රවාහනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් වන ඉල්ලුම ඉහළ යද්දී දුම්රිය හා බස් රථ වැනි තොග ප්‍රවාහන මාදිලි වෙනුවට කුලී මෝටර් රථ සේවාවන් ආදේශ වෙමින් තිබෙනවා. මේ ප්‍රවණතාවයත් එක්ක ඉදිරි වසර වලදී පොදු ප්‍රවාහනය නඩත්තු කිරීම සඳහා බදු ගෙවන්නන් මත පැටවිය යුතු බර තවත් ඉහළ යන්න පුළුවන්.
මේ තත්ත්වය වෙනස් කරගන්නනම් පොදු ප්‍රවාහන පහසුකම් සපයන රාජ්‍ය අංශයට වැඩි මගීන් පිරිසක් කෙසේ හෝ ප්‍රවාහනය කරන එක වෙනුවට වඩා ගුණාත්මක සේවයක් සපයන එක ගැන අවධානය යොමු කරන්න වෙනවා. අන්තර්ජාලය හරහා දුම්රිය ප්‍රවේශපත් ලබා ගැනීමට පහසුකම් සැලසීම ඒ වෙනුවෙන් ගත් හොඳ පියවරක්. කලින්ම තමන්ගේ ආසනය වෙන් කරගන්නා මගියෙකුට සේවාවේ ගුණාත්මක භාවය පිළිබඳව යම් අවම සහතිකයක් ලැබෙනවා. සරලව කිවුවොත් දුම්රිය අසුනක වාඩි වී ගමන් කළ හැකි බවට සහතිකයක් ලැබෙනවා.
මේ පහසුකම ලබා දීමෙන් පසුව සිදු වුනේ ඊනියා ජාවාරම්කරුවන් පිරිසක් විසින් ටිකට් සියල්ල එකවර මිල දී ගෙන පසුව වැඩි මිලට විකිණීමයි. මේ වෙද්දී ඒ "ප්රශ්නය" විසඳා තිබෙනවා. ප්රශ්නය වගේම විසඳුම ගැනත් බොහෝ තැන් වල කතා කර තිබෙන නිසා ඒ ගැන නැවත මෙහි විස්තර කරන්න යන්නේ නැහැ. මෙහි කතා කරන්නේ මේ වගේ "ප්‍රශ්නයක්" ඇති වුනේ ඇයි කියන එකයි.
ඇත්තටම මෙතැනදී වුනේ ඊනියා ජාවාරම්කාරයන් විසින් ප්‍රශ්නයක් ඇති කිරීම නෙමෙයි. තිබුණු ප්‍රශ්නයක් ඔවුන් විසින් පෙන්වා දීම.
මිල හරහා ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා කියලා සරලව කිවුවත්, ඉල්ලුම වගේම සැපයුමත් ගුණාත්මක භාවය එක්ක සම්බන්ධයි. පැරණි ආකෘතිය ඇතුළේ සිදු වුනේ මිල ස්ථාවරව තියෙද්දී ගුණාත්මක භාවය විචලනය වෙන්න ඉඩ හැරීම මගින් ඉල්ලුම හා සැපයුම තුලනය වෙන්න ඉඩ හරින එක. මෙය පොල් වලට මිල පාලනයක් දැම්මට පස්සේ වෙළඳපොළේ පොල් ගෙඩියක ප්‍රමාණය කුඩා වෙලා ඉල්ලුම හා සැපයුම තුලනය වෙනවා වගේ වැඩක්. මිල ස්ථාවරයි. ඉල්ලුම ඉහළ යද්දී ලැබෙන සේවාවේ ගුණාත්මක භාවය පහළ යනවා. මෙය ගුණාත්මක භාවය නියතව තියෙද්දී මිල ඉහළ යාමකට සමානයි. ඒ නිසා ඔය ආකෘතිය වැඩ කළා.
දුම්රිය ආසන කලින් වෙන් කරගන්න පුළුවන් වූ වහාම සේවාවේ ගුණාත්මක භාවය ස්ථාවර වෙනවා. ඒ නිසා, මිල වෙනස් වෙන්නේ නැති තත්ත්වයක් යටතේ, ගුණාත්මක භාවය වෙනස් වෙන්නේත් නැති නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙන්න ක්‍රමයක් නැහැ. මෙහි ප්‍රතිඵලයක් විදිහට, මිල සමතුලිත වුනේ කළු කඩයේ.
ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවයක් හැදුනොත් කවුරු හෝ ඒ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නවා. ඔය ඊනියා ජාවාරම්කාරයින් විසින් කළේ ඒක. දුම්රිය ප්‍රවේශපත්‍ර මිල දී ගනිද්දී හැඳුනුම් පත්‍ර අංකය හෝ ගමන් බලපත්‍ර අංකය ඇතුළු කිරීම කලින් සිටම අවශ්‍යතාවයක් වී තිබුණේය කියන උපකල්පනය යටතේ (මම මෙය හරියටම දන්නේ නැහැ) ඔවුන් විසින් සිදු කර තිබුණේ දුම්රියට ඇතුළු වීමේදී අනන්‍යතාවය පරීක්ෂා නොකිරීමේ අඩුපාඩුවෙන් ප්‍රයෝජන ගන්න එක. එවැනි අවශ්‍යතාවයක් තිබුණේ නැත්නම්, මේ වැඩේ කොහොමටවත් වැරැද්දක් නැහැ. එවැනි අවශ්‍යතාවයක් තිබුණේනම්, ඔවුන් කරලා තියෙන්නේ අවදානමක් ගන්න එක. ඒ වගේම, ඔවුන්ගෙන් දුම්රිය ප්‍රවේශපත්‍ර මිල දී ගත් අය කරලා තියෙන්නෙත් අවදානමක් ගන්න එක. සමහර විට එහි නීතිමය වැරැද්දක් ඇති.
දැන් ඇත්තටම මේ ප්රශ්නය විසඳිලාද?
මම හිතන විදිහටනම් සැබෑ ප්රශ්නය තවමත් ඒ විදිහටම තිබෙනවා. දැන් වෙලා තියෙන්නේ ඊනියා ජාවාරම්කාරයින්ට ලාබයක් උපයා ගන්න තිබුණු අවස්ථාව නැති වීම පමණයි. ඔවුන්ට එවැනි ලාබයක් උපයා ගන්න ඉඩ සැලසුණු ඉල්ලුම් සැපයුම් අසමතුලිතතාවය තවමත් ඒ විදිහටම තියෙනවා. තවත් ටික දවසක් ගියාට පස්සේ, කලින් වගේම, මුල් දවසේ හෝ දවස් කීපය ඇතුළත ටිකට් සියල්ලම විකිණෙයි. ඊට පස්සේ ප්රශ්නය නැවත කලින් තිබුණු තැනමයි.
ප්රශ්නය විසඳීම සඳහා දුම්රිය සේවය අනිවාර්යයෙන්ම රාජ්‍ය අංශයෙන් පෞද්ගලික අංශයට මාරු කළ යුතු නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව රජය යටතේ තිබියදී වුනත් මේ ප්රශ්නය විසඳන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඉල්ලුම එක්ක මිල විචලනය කිරීම. තොග ප්‍රවාහන සේවා සපයන ගුවන් සමාගම්, දුම්රිය සේවා සපයන සමාගම් හා බස් ප්‍රවාහන සේවා සපයන්නන් බොහෝ දෙනෙක් රාජ්‍ය, පෞද්ගලික වෙනසක් නැතිව මේ වැඩේ කරනවා. ඒ මගින් එක් එක් ගමන් වාරය සඳහා වෙන වෙනම ඉල්ලුම හා සැපයුම තුලනය වීමට ඉඩ සලස්වනවා. ඌබර් පික්මී ආදියේ මිල තීරණය වෙන්නෙත් ඔය ක්‍රමයටමයි.
අයිතිය පෞද්ගලික වූ විට තිබෙන ප්‍රධාන වෙනස මේ වගේ දේවල් කරලා ලාබ වැඩි කර ගැනීම පෞද්ගලික අංශය විසින් අනිවාර්යයෙන් කරන දෙයක් වීමයි. රාජ්‍ය අංශයට එවැනි අවශ්‍යතාවයක් නැහැ. පාඩුව බදු ගෙවන්නන් මත පටවමින් වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්.
එකම මිල ගෙවලා දුම්රිය ප්‍රවේශපත්‍රයක් ගෙවා හිස් කෝච්චි පෙට්ටියකට නගින මගියෙක් සහ පොල් පටවපු කෝච්චි පෙට්ටියක පාපුවරුවේ යන මගියෙක් ලබා ගන්නේ එකම සේවාව නෙමෙයි. ඔය ක්‍රමයේදී රජය විසින් සැපයුම් පිරිවැය නියතව තියාගෙන සැපයුම වෙනස් කරනවා. ඉල්ලුම හා සැපයුම තුලනය වෙද්දී වෙනස් වෙන්නේ කෝච්චි පෙට්ටියකට නගින මගීන් ගණන. ඒ කියන්නේ සේවාවේ ගුණාත්මක භාවය. ගුණාත්මක භාවය වෙනස් නොකර ඉල්ලුම හා සැපයුම තුලනය කරන්නනම් අනිවාර්යයෙන්ම මිල විචලනය වෙන්න ඉඩ අරින්න ඕනෑ.
ලංකාවේ දුම්රිය සේවා සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් වුනත්, "ප්‍රවාහන සේවා සැපයීම" රාජ්‍ය ඒකාධිකාරයක් නෙමෙයි. කිසියම් නිශ්චිත තැනක ඉඳලා වෙනත් නිශ්චිත තැනකට යන්න අවශ්‍ය කෙනෙකුට ඒ සඳහා විකල්ප ගණනාවක් තිබෙනවා. මේ හේතුව නිසා, දුම්රිය රාජ්‍ය ඒකාධිකාරයක් වීම බදු ගෙවන්නන්ට බරක් වුනත් මගීන්ගේ පැත්තෙන් එහි විශාල ප්‍රශ්නයක් නැහැ.
නමුත් දුම්රිය භාවිතා කරන්නේ කිසියම් නිශ්චිත තැනක ඉඳලා වෙනත් නිශ්චිත තැනකට යන්න අවශ්‍ය අය පමණක් නෙමෙයි. මාස කිහිපයකට පෙර ලංකාවට යද්දී ඇල්ල ඔඩිසි දුම්රියෙන් බදුල්ලට යන්න අපේ බිරින්දෑත් හිතාගෙන හිටියා. ඒ බදුල්ලට යන්න අවශ්‍ය නිසා නෙමෙයි. ඇල්ල ඔඩිසි වගේ ගමනකට ගොඩක් අය එකතු වෙන්නේ ඒ ගමනේ විනෝදය වෙනුවෙන්. වෙනත් ක්‍රමයකට ගමන යන එක එයට විකල්පයක් නෙමෙයි.
කොහොම වුනත් ගොඩක් කලින්ම ටිකට් විකිණී අවසන්ව තිබුණු නිසා ඇයට ඔය ගමන යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ටිකට්පතක් මිල දී ගන්න මම සෑහෙන්න උත්සාහ කළා. අන්තර්ජාලයේ හොයද්දී හතර ගුණයක සිට හය ගුණයක් දක්වා වැඩි මිලක් යුරෝ වලින් ගෙවා ටිකට්පත් මිල දී ගත හැකි වෙබ් අඩවි තිබුණත් අවශ්‍ය දවසේ ගමන යාම සඳහා ටිකට්පත් සොයා ගත හැකි වූයේ නැහැ. එසේ මිල දී ගත හැකි වුනානම් මා එම වැඩි මිල ගෙවා අවශ්‍ය ප්‍රවේශපත් ප්‍රමාණය ගන්න පැකිළෙන්නේ නැහැ.
නිශ්චිත තැනක සිට තවත් නිශ්චිත තැනකට යාම සඳහා විකල්ප ගණනාවක් තිබුණත්, අවශ්‍ය දිනක මෙවැනි නිශ්චිත දුම්රිය ගමනක් යාම සඳහා වෙනත් විකල්ප නැහැ. ඒ නිසාම, මේ දුම්රිය ගමන පෞද්ගලික සමාගමක් විසින් සපයන සේවාවක් වුවත්, ඉල්ලුම හා සැපයුම ගැලපෙන සේ මිල විචලනය කළේ නැත්නම් සමාන ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.
ඊනියා ජාවාරම්කරුවන්ගේ මැදිහත්වීම නිසා සෘජුව ප්රශ්නය විසඳුනේ නැහැ. නමුත් එම මැදිහත්වීම නිසා ප්රශ්නය විසඳීමේ විභවයක් ඇති වුනා. ඒ, මිල නිවැරදි විය යුතුය යන සංඥාව සැපයුම්කරු වෙත ලබා දීම මගින්. වෙළඳපොළ ක්‍රියාත්මක වන්නේ ඒ විදිහටයි. නමුත් සැපයුම්කරු වන රජය මේ සංඥාව තවමත් නිවැරදිව ග්‍රහණය කරගෙන නැහැ. දැනට ලබා දී තිබෙන විසඳුම පණිවුඩකරුට වෙඩි තබා මරා දැමීමක් පමණයි. දැනට ප්රශ්නය විසඳී ඇති සේ පෙනුනත්, තවත් මාස කිහිපයක් යද්දී ප්රශ්නය ඇත්තටම විසඳී නැති බව පෙනෙයි.
ඔඩිසි එකේ යන්නේ නැතිව සාමාන්‍ය දුම්රියේ ෆස්ට් ක්ලාස් යන්න තිබුන . දැන් ඇත්තටම හොඳයි ඒ පැත්තෙන් දුම්රිය පහසුකම් .
ReplyDeleteඔඩිසි එක අතරමැද සංචාරක ආකර්ෂණ දහයක පමණ නවත්වනවානේ. ඒ නිසා මිසක් නැත්නම් බදුල්ලට යන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.
Deleteපැලවත්තේ නුගත් මාලිබා ඩොබිලා සෙට් එක ඔන්න ඉකොනොට බැන බන යනවා ඒ පාර.
ReplyDelete"නමුත් සැපයුම්කරු වන රජය මේ සංඥාව තවමත් නිවැරදිව ග්‍රහණය කරගෙන නැහැ"
ReplyDeleteපොඩ්ඩක් ඉවසල ඉන්න වෙනවා. ඔය සම්බන්ධයෙන් කටයුතු කරණ පශු සම්පත් කටයුතු පිළිබඳ ඇමතිතුමා මේ වෙලාවෙ පාස්පෝර්ට් ගැටලුව විසඳන ගමන් ඉන්නෙ. ඒක ඉවර වෙලා එතුමා ඔය මොන මොනවා හරි ග්‍රහණය කර ගන්න බලයි... :)
මුල් දවස් ටිකේ ටිකට් ව්කිනෙයි. ඊට පස්සෙ නැවතත් ප්රශ්නය තිබුනු තැනමයි කියන එක තව පැහැදිලි කරන්න පුලුවන්ද?
ReplyDeleteමේකට ඇනෝ දාන දිග කමෙන්ට් මකන්න කියල කාරුනිකව ඉල්ලනවා.
Deleteදැන් මෙතැන තියෙන ඇත්ත ප්රශ්නය වන්නේ වෙළදපොළේ හිඟයක් තිබීම. ටිකට් ගන්න අවශ්‍ය අයෙකුට ගන්න ටිකට් නැහැ. ප්‍රශ්නයට හේතුව ලෙස හඳුනාගෙන තියෙන්නේ ටිකට් විකිණීම පටන් ගත් වහාම තැරැව්කරුවන් විසින් ටිකට් සියල්ල මිල දී ගැනීම. ඔවුන් එසේ කරන්නේ පසුව වැඩි මිලට විකිණීය හැකි නිසා. නමුත් ඇත්ත ප්රශ්නය තැරැව්කරුවන් විසින් ටිකට් මිල දී ගැනීම නෙමෙයි. ටිකට් සඳහා ගෙවන්න කැමති මිලට වඩා ටිකට් විකුණන මිල අඩු වීම. ඒ නිසා සැපයුමට වඩා ඉල්ලුම වැඩියි. දැන් ටිකට් විකිණීම ආරම්භ වන්නේ දින 30කට කලින්. ආරම්භ වී මිනිත්තු ගණනකින් ටිකට් ටික විකිණෙනවා. ඒ තැරැව්කරුවෝ ටිකට් සියල්ල එකවර මිල දී ගන්න නිසා. මිල අඩු නිසා තැරැව්කරුවෝ නැති වුනත් දවස් දෙක තුනක් යද්දී ඔය ටිකට් ටික විකිණෙයි. ඊට පස්සේ ඉතුරු දවස් 28ම ටිකට් නැහැ. තැරැව්කරුවෝ හිටියානම් අවශ්‍ය කෙනෙකුට වැඩි මිලකට හරි ගන්න පුළුවන්කමක් තියෙනවා. ටිකට් ටික විකිණිලා නිසා රජයට කිසිම පාඩුවක් නැහැ. තැරැව්කරුවන්ට ටිකට් විකුණගන්න පුළුවන් වුනාද බැරිවුණාද කියන එක අදාළ නැති ප්‍රශ්නයක්. සීට් එක හිස් වුනත් රජයට සල්ලි ලැබිලා. යම් හෙයකින් මාසය පුරාම ටිකට් නොවිකිණී තිබුනොත්, අවසාන වශයෙන් වෙන්නේ රජයට දැන් ලැබෙන මුදලත් නොලැබෙන එක පමණයි.
DeleteThis comment has been removed by the author.
Deleteම්හු.. තවම පැහැදිලි නෑ.
ReplyDeleteමුලින් ටිකට් විකිනෙයි. ඊට පස්සෙ ටික කාලෙකින් ටිකට් විකිනෙන්නෙ නැතිව යනව කියන එකද ඔබ කියන්න හදන්නෙ?
//තැරැව්කරුවෝ හිටියානම් අවශ්‍ය කෙනෙකුට වැඩි මිලකට හරි ගන්න පුළුවන්කමක් තියෙනවා. //
ReplyDeleteමේකත් පැහැදිලි කරන්න පුලුවන්ද? තැරැව්කරුවො නැති උනාම අවශ්‍ය කෙනාට ටිකට් එකක් ගන්න බැරිවෙන්නෙ කොහොමද? අවශ්‍ය නැති අය ටිකට් ගන්නව කියලද කියන්නෙ ඩිරෙක්ට් ගන්නකොට?
රුපියල් 5000 ගෙවා ටිකට් ගන්න ගොඩක් අය රුපියල් 20000ක් (ඩොලර් 65ක්) ගෙවා ටිකට් එකක් ගන්නේ නැහැ. ඒ නිසා රුපියල් 5000 බැගින් විකිණුවොත් දවස් දෙක තුනකින් ටිකට් ටික විකිණිලා ඉවර වෙනවා. තැරැව්කරුවෝ කරන්නේ මේ ටිකට් රුපියල් 5000 බැගින් මිල දී ගෙන වැඩි මිලකට විකුණන එක. ඒ මිලට ඉල්ලුම සීමිත නිසා අවසාන මොහොත වන තුරු ටිකට් ඉතුරු වෙනවා. වැඩි මිලක් ගෙවන්න සූදානම් කෙනෙකුට (විශේෂයෙන්ම විදේශිකයින්ට) අන්තිම මොහොත දක්වා ඔවුන්ගෙන් ටිකට් මිල දී ගන්න අවස්ථාව තිබෙනවා. විකුණගන්න බැරි වුනොත් පාඩුව ඔවුන්ටයි. සීට් හිස් වුනත් රජයට රුපියල් 5000 කලින්ම ලැබිලා.
Deleteහරි. ඒත් ඉතින් ඒකෙ ප්‍රශ්නෙ මොකක්ද කලින්ම ටිකට් ටික විකිනිල ඉවර උනාම? ඔබ එකිනෙකට පරස්පර දේවල්නෙ කියන්නෙ .
Deleteකලින්ම සීට් විකිණෙන්නේ සැපයුමට සාපේක්ෂව ඉල්ලුම වැඩි නිසා. ඉල්ලුම වැඩි මිල අඩු නිසා. ඒ කියන්නේ මිල තව වැඩි කරන්න පුළුවන් කියන එක. මම කියන්නේ ප්රශ්නය තැරැව්කරුවෝ නෙමෙයි මිල කියන එක.
Deleteකලින් ටිකට් විකුණුනාම අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය වෙලාවට ගන්න ටිකට් නැති වෙනවා. තැරැව්කරුවෝ කරන්නේ ඒ ප්‍රශ්නයට විසඳුමක් දීලා ගාණක් හොයා ගන්න එක. තැරැව්කරුවෝ අයින් කළත් ප්රශ්නය ඒ විදිහටම තියෙනවා.
හරි. උත්තරේ ඒ කෑල්ල පැහැදිලී. හැබැයි ඉතින් හැමෝටම ඕන වෙලාවට ගන්න ටිකට් තියෙන්න ඕන ඇයි?
Deleteඔබ කියන්නෙ අවශ්‍යතාවය මිලෙන් බැලන්ස් කරන්න කියල. ඒ වෙනුවට මෙතන දුම්රිය දෙපාර්තුමේන්තිව තෝරගෙන තියෙන්නෙ අවශ්‍යතාවය ටයිම් එකෙන් බැලන්ස් කරන එකනෙ. දැන් වෙන්නෙ අවශ්‍ය අය පුලුවන් තරම් ඉක්මනින් එන එක. දවස් දෙකක් හෝ තුනක් කියන්නෙ ඒ සඳහ ප්‍රමානවත් කාලයක්
ඒක දවස් දෙකද තුනද පැයද කියල බැලන්ස් වේවි ඉල්ලුම අනුව.
ලෝක්ව් ඕන තරම් ඉව්ව්න්ට්ස් තියෙනවනෙ ටිකට් උනුකැවුම් වගෙ විකිනෙන ඔය මාර්කට් ඉකොනොමීස් වලත්.
සතියකට ලංකාවට එන විදේශ සංචාරකයෙක් මාසයකට කලින් දුම්රිය ටිකට් ගන්නේ නැහැ. දුම්රිය ගමන ගැන දැන ගන්නේ ලංකාවට ආවට පස්සේ. ඒ වෙලාවට කීය හරි දීලා ටිකට් ගන්නවා. ටිකට් කලින්ම විකිණෙන නිසා ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් තිබුණේ නැහැ. තැරැව්කරුවෝ ඒ අවස්ථාව හදලා දුන්නා. ඔවුන් එසේ කළේ ඔය ඔබ කියන "ටයිම් එකෙන් බැලන්ස් කරන" ක්‍රමය තියෙද්දීයි. ඒ ක්‍රමය හරිනම් තැරැව්කරුවන් ලාබ ගන්න එකේ ප්‍රශ්නයක් තියෙන්න බැහැනේ. ඔවුන් කළේ අනෙක් අයට කලින් ටිකට් සියල්ල මිල දී ගන්න එක. තැරැව්කරුවන් ලාබ ගන්න නිසා ඒ වැඩේ නැවත්තුවා කියලා රජයට කිසිම ලාබයක් ලැබෙන්නේ නැහැ. විදේශ සංචාරකයින්ට ටිකට් ලැබෙන්නෙත් නැති නිසා ඒ විදේශ විණිමය ටික රටට ලැබෙන්නත් නැහැ. ඔය ඔබ කියන උණු කැවුම් වගේ විකිණෙන ඉවන්ට් වල ටිකට් විකිණෙන්නෙත් ඔය ක්‍රමයටම තමයි. එක්කෝ සැපයුම්කරු ඉල්ලුම අනුව මිල වෙනස් කරනවා. එහෙම නැත්නම් තැරැව්කරුවෝ ඒ වැඩේ කරනවා.
Deleteනෑ. තැරැව්කරුවො නැතිව ඩිරෙක්ට් විකුනන ඉවෙන්ට්ස් ඔන තරම් තියෙනව මිල විචලනය නොවෙන.
Deleteඒක පාලනය කරන්නෙ එක්කෙනෙකුට එකයි කියන ක්‍රමයෙන්.
දුම්රිය ගමන ගැන දැනගන්නෙ ලන්කාවට ආවට පස්සෙ කියන එකනම් බොරු කතාවක්.ඕනනම් එකෙක් දෙන්නෙක් ඇති. ලන්කාව වගෙ රටකට එන්නෙ මොනවද කරන්නෙ කියල හොඳටම හොයල බලලනෙ.
තැරැව්කාරයො මේ හදල දෙන ක්‍රම් අවුල තමයි මේක බොහෝවිට දුම්රිය දෙපාර්තුමේන්තුව ඇතුලෙනුත් සහය ඇතිව කරන්න තියෙන ඉඩ. දේශීය අයටවත් ගන්න බැරිවෙන තරමට විනාඩියක් ඇතුලත විකිනෙනව කියන්නෙ බොහෝවිට සිස්ටම් එකට දානකොටම කනෙක්ශන් එකෙන් පනිවිඩය ගිහින් තියෙනව කියන එකනෙ.
මගෙ ප්‍රශ්නෙ ඒක නෙමෙයි. මොකෙකුට හරි අව්ශ්ය වෙලාවට ටිකට් ගන්න ටිකට් තිබිය යුත්තේ ඇයි? ටුවරිස්ට්ලට එනකොට යන්න ටිකට් නැතිනම් මොකක්ද අවුල? ඊට වඩා අවුලක් නෙමෙයිද ජෙනුයින් බයර් කෙනෙකුට ඒක ගන්න තියෙන ඉඩ නැතිවෙන එක. ඔබ තර්ක කරන්නෙ විදේසීය සංචාරකයො එනකොට ඔක්කොම විකිනිල ඒකට විසඳුමක් අවශ්‍යයි කියලනම් ඊට වඩා විසඳුමක් ඕන දේශීය සන්චාරකයින්ට අවශ්‍ය වෙලාවට ටිකට් එකක් ගන්න ඉඩ සලසන එකට. එක්කෙනෙකුට එකයි කියල දැම්මම හැම දෙනාටම මැද විසඳුමක් දැන් ලැබිල තියෙනව.
ටුවරිස්ට්ලටත් පුලුවන් තමන්ගෙ ගයිඩ් හෝ ඒජන්ට් හරහ පාස්පෝට් විස්තර දීල ටිකට් එක වෙන්කරගන්න. අවශ්‍ය කරන්නෙ ප්ලෑනින් විතරයි. පොඩ්ඩක් ප්ලෑනින් කරන්න යන මහන්සියට වඩා ගානක් ටුවරිස්ටත් ඉතුරු වෙනව. ඒ බජට් එක ලන්කාවෙ තියෙන ජෙන්යුන් සර්විස් එකකට වියදම් කරන්න පුලුවන් එතකොට මේ වගෙ ටැක්ස් නොගෙවන කලුකඩකාරයින්ට නොදී. මම හිතන්නෙ ආර්තිකේ පැත්තෙන් බැලුවත් ලන්කාවට වාසි.
එහෙමනම් ඉතිං හාල්, පොල්, තෙල් කිසි දෙයක් වෙළඳපොළේ නැති වුනාට කමක් නෑනේ. තියෙන වෙලාවට සැලසුම් කරලා ගත්තම හරි. ගොයම් කැපෙන කාලෙට හාල් ගන්නවා. තෙල් නැවක් එන දවසට තෙල් ගන්නවා. ඔය තරම් පැහැදිලි කරලා කියලා තියෙන්නේ ඔය වැඩේ කළත් දේශීය සංචාරකයින්ට වුනත් අවශ්‍ය වෙලාවට ටිකට් එකක් ගන්න ඉඩ ලැබෙන්නේ නැහැ කියන එකයි. දැන් තැරැව්කාරයෙක්ගෙන් වැඩි මිලකට හෝ ගන්න බඩු තියෙනවා. ඔය වැඩේ කළාට පස්සේ අවසාන වශයෙන් වෙන්නේ ඒකත් නැති වෙන එකයි.
Deleteවෙලා තියෙන්නෙ හාල් පොල් වගෙ ඒව වීදේශිකයො ගන්නෙ නැති කම. ඔබ අමතක කරන දෙය තමයි මේ සර්විස් එක ප්‍රයිස් කරල තියෙන්නෙ විදේශිකයන් ඉලක්ක කරල නෙමෙයි කියන එක. මේක අපේ රටේ සේවයක් අපේ මිනිස්සුන්ට ලබා දෙන විදේශිකයො ඒක භාවිතා කරන එක වෙනම දෙයක්. ඔබ කියන්නෙ දේශීය උන් නොගියාට කමක් නෑ, විදේශිකයන්ට ගන්න තියෙන ඉඩ අහුරන්න එපා කියන වගෙ එකක්.
Deleteවිදේශිකයො ලන්කාවෙ හාල් පොල් ටිකත් ඔය විදියටම ගන්න පටන් ගත්තොත් මිඅ වැඩි කරල ඒ ප්‍රශ්නෙ විසඳන්න බෑ වගෙ තමයි.
ටිකට් එක විදේශිකයෝ හෝ දේශීය සංචාරකයෝ ඉලක්ක කරලා ප්‍රයිස් කරලා නැහැ. ඒක කණාපල්ලම් ප්‍රයිස් කිරීමක් පමණයි. ඔය කරපු වැඩෙන් විදේශිකයින්ට හෝ තැරැව්කරුවන්ට විශාල ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. විදේශිකයෝ ගැන විශේෂයන් කිවුවේ අහපු ප්‍රශ්නයට පිළිතුරක් විදිහට උදාහරණයක් විදිහට. ටිකට් එක රුපියල් 5000ට තියෙද්දී ඉල්ලුම ටිකට් 200ක්නම් සීට් තියෙන්නේ 100ක් පමණක්නම් ඔය මොනවා කළත් ඉතුරු 100ට ටිකට් ලැබෙන්නේ නැහැ. සිදු වෙන එකම වෙනස කලින් ගන්න අයට පමණක් ටිකට් ලැබෙන එක පමණයි. දැනටත් විදේශිකයෝ ඒජන්තයින් හරහා ටිකට් ඇණවුම් කරනවා. ඔවුන් ටිකට් එකකට ඩොලර් වලින් දෙතුන් ගුණයක් ගෙවනවා. ගොඩක් විදේශිකයෝ ඩොලර් විස්සක තිහක වාසියට තමන් විසින්ම ටිකට් බුක් කරන්න දවස බල බල ඉන්නේ නැහැ. ඒ වැඩේ ඒජන්තයෙක්ට භාර දෙන එකයි කරන්නේ. ඒ නිසා ඔවුන්ට කොහොමටත් ගාණ හොයා ගන්න පුළුවන්. කලින් ටිකට් අරන් පස්සේ විකිණුවා. දැන් කලින් සල්ලි අරගෙන පස්සේ ටිකට් එක අරන් දෙයි. මිල සංවේදී විදේශිකයෝ පමණක් වෙලාවට ඇවිත් අඩුවට ටිකට් එක ගනියි. ලංකාවේ අයත් එහෙම තමයි. වෙන වැඩක් නැති කෙනෙක්නම් හරියටම දවස් තිහකට කලින් බලලා ටිකට් එක ගනියි. දේශීය විදේශීය වෙනසක් නැතුව මුලින් ටිකට් නොගන්නා අයට ටිකට් නැති වෙයි.
Deleteඉතින් සිස්ටම් එකට දාපු ගමන් ගොඩ පිටින් ඩැහැගන්න එකෙයි , දැන් මේ නීතිය ආවට පස්සෙ තත්වෙයි වෙනස තේරෙන්නෙ නැද්ද? ඒ වෙනසනෙ ඔය උඩ විස්තර කරල තියෙන්නෙ. ලන්කාවෙ මිල සංවේදී ට්රැවලර්ස්ලටත් දැන් වැඩි කරදරයක් නැතිව සර්විස් එකට ඇක්සස් එක දීල තියෙනව. විදේශිකයන්ට හෝ තැරැව්කරුවන්ට විශාල ප්‍රශ්නයක් වෙන්නෙත් නැතිනම් දැන් කාටද ප්‍රශ්නෙ වෙන්නෙ? ලන්කාවෙ මිනිස්සුන්ටද? දුම්රිය දෙපාර්තුමේන්තුවටද? ඔබ එක් තැනක කියනව මේකෙන් අව්ශ්යතාවය තියෙන විදේශිකයන්ට මීටපස්සෙ ගන්න වෙන්නෙ නැහලු. ආපහු අනිත් පැත්තට කියනව් විදේශිකයන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිලු.
Deleteඒවගෙම දුම්රිය සාමන්යාදිකාරිත් කියල තියෙනව 2022දි මේක ලෝකල් ටුවරිස්ට්ලගෙන් ලැබුනු ඉල්ලීම් නිසා ඔවුන් වෙනුවෙන් සේවාව පුලුල් කරනව කියල. ඒ කියන්නෙ දේශීය සන්චාරකයින්ටත් මේ සේවය ලබා දෙන්න ඕන කියල හිතල තමයි මේ ප්‍රයිසස් දාල තියෙන්නෙ. ඔබ කියන දකනාපල් කතාව සම්පූර්නෙන්ම වැරදී.
Deleteකාටවත් ප්‍රශ්නයක් වෙලා කියන එක නෙමෙයිනේ මූලික කරුණ. කියලා තියෙන්නේ තිබුණු ප්රශ්නය විසඳිලා නැහැ කියන එකයි. කලින් වගේම දැනුත් ටිකට් ගන්න අවශ්‍ය අයගෙන් කොටසකට ටිකට් ගන්න ලැබෙන්නේ නැහැ. කියලා තියෙන්නේ ඒකයි. තෙල් පෝලිම් කාලේ වගේ පෝලිමේ ඉස්සරහින් ඉන්න අයට පමණක් ටිකට් ගන්න පුළුවන්.
Delete//ඔබ එක් තැනක කියනව මේකෙන් අව්ශ්යතාවය තියෙන විදේශිකයන්ට මීටපස්සෙ ගන්න වෙන්නෙ නැහලු. ආපහු අනිත් පැත්තට කියනව් විදේශිකයන්ට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිලු.//
Deleteදේශීයද විදේශීයද කියලා වෙනසක් නැතුව අවශ්‍යතාවය තියෙන, වැඩි මිලක් ගෙවන්න සූදානම්, පාරිභෝගිකයින් කොටසකට ටිකට් ගන්න වෙන්නේ නැහැ. එහෙම නැතුව විදේශිකයන්ට කියලා විශේෂයෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කියලා තියෙන්නේ ඒක.
//ටිකට් ගන්න අවශ්‍ය අයගෙන් කොටසකට ටිකට් ගන්න ලැබෙන්නේ නැහැ.//
ReplyDeleteතැරැව්කරුවො ඒක විසඳලද තිබ්බෙ?
//දේශීයද විදේශීයද කියලා වෙනසක් නැතුව අවශ්‍යතාවය තියෙන, වැඩි මිලක් ගෙවන්න සූදානම්, පාරිභෝගිකයින් කොටසකට ටිකට් ගන්න වෙන්නේ නැහැ. එහෙම නැතුව විදේශිකයන්ට කියලා විශේෂයෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කියලා තියෙන්නේ ඒක.//
ඕකම අනිත් පැත්තට කියා පුලුවන්නෙ, තුන් හතර ගුනයක් මිල ගෙවන්න අකමැති ඒත් ටිකට් එකක් ගන්න අවශ්‍යතාවය තියෙන දේශීය සන්චාරකයන්ට ටිකට් ගන්න තියෙන් ඉඩ තැරැව්කරුවො අහුරල තිබ්බ. ඒ මදිවට කෝච්චිය දුවන්නෙ හාල්ෆ් ෆුල්.
තැරැව්කරුවෝ ප්රශ්නය විසඳලා තිබුණේ නැහැ. ඒක මුල් ලිපියේම කිවුවනේ. දැන් ප්රශ්නය විසඳිලත් නැහැ. ප්රශ්නය තවම තිබුණු තැනමයි. පෙන්වා දුන්නේ ප්රශ්නය විසඳන්න පුළුවන් ක්‍රමය. තවමත් තේරෙන්නේ නැත්නම් මම මීට වඩා මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ.
Deleteමම කියන්නෙ ලන්කාවෙ මිනිස්සුන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නියමිත පටිපාටියට අනුව කාලයත් සමග තරඟ කරල ටිකට් එකක් ගන්න ට්‍රයි කරල ගන්න බැරි වෙන එකමිනිස්සු ප්‍රශ්නයක් කරගන්නෙ නෑ. මිනිස්සුන්ට ඕන දැන් තියෙන ඇතුලෙ උනුත් එක්කහුවෙල ග්ක්ඩ පිටින් ඩැහැගෙන ඊට පස්සෙ ලන්කාවෙ මිනිස්සුන්ට තරග කරන්න බැරි කොහෙවත් ඉන්න ටුවරිස්ට්ලට විකුනන කොට ලන්කාවෙ උන්ට හූල්ලනව ඇර වෙන ඔප්ශන් එකක් නැතිවෙන ප්‍රශ්නෙ. ට
Deleteඒකටනම් විරුද්ධ වෙන්න බැහැ. ලංකාවේ මිනිස්සු ගොඩක් දෙනෙකුට පොර කාලා, පෝලිම් වල ඉඳලා බඩු අරගෙන පුරුදුයි. දොස්තර කෙනෙක් චැනල් කරලා කොච්චර වෙලාවක් පෝලිමේ ඉන්න වෙනවද? තෙල් පෝලිම් කාලෙත් මිනිස්සු එයින් විනෝදයක් ගත්තනේ.
Deleteතමන්ගෙ දේ අනුන් පාවිච්චිකරනව බලා ඉඳල හූල්ලන එකට වඩා ඒක හොඳයිනෙ. පොරකන එක නැති කරන්න පුලුවන් විදේශිකයන්ට තහ කිරීමෙන් හෝ වෙනම මිලක් දැමීමෙන්.
Deleteතමන්ග්ව් රටේ ජනතාවට පාවිච්චි කරන්න තියෙන සීමිත සම්පත් ප්‍රමානයක් වෙනත් ර්ටකින් ඇවිල්ල ඩැහැ ගන්නකොට බකන්නිලාගෙන ඉන්න රටවල් තියෙනවද?
//තමන්ග්ව් රටේ ජනතාවට පාවිච්චි කරන්න තියෙන සීමිත සම්පත් ප්‍රමානයක් වෙනත් ර්ටකින් ඇවිල්ල ඩැහැ ගන්නකොට බකන්නිලාගෙන ඉන්න රටවල් තියෙනවද?//
Deleteවෙන රටකින් ඇවිත් සම්පත් ඩැහැ ගැනීමක් වෙන්නේ නැහැනේ. එන්න කියලා විකුණන එකනේ කරන්නේ. විදේශිකයෝ කවුරුවත් හොරෙන් යනවා නෙමෙයිනේ. යන්නේ අය කරන මිල ගෙවලා. විදේශිකයින්ට වෙනම මිලක් දමන එක අවශ්‍යනම් කරන්න පුළුවන්. එයින් කියන්නේ විදේශිකයින් නොවන අයට සහනාධාරයක් දෙනවා කියන එකම තමයි.
Thank you for both Economatta & Lanka for your Lengthy conversation.It cleared all my doubts & I could understand very clearly what Economatta is saying.Thank you both ! 🙏
ReplyDeleteමම හිතන්නේ මේ ප්‍රශ්නෙට හැම තැනටම හරියන විසඳුමක් නෑ කියලා.
ReplyDeleteමම ජීවත් වෙන එංගලන්තෙ උදාහරණ දෙකක් කියන්න පුළුවන්- එංගලන්තෙ දැනට ඉන්න වෙන වෙන රටවල් වලින් ආපු අයට yuරෝපයට යන්න අවශ්‍ය උනාම වීසා ගැනීමට online the appointment ගන්න ඕනේ, ඒත් ඒක සෑහෙන්න අමාරු දෙයක්. කොයි වෙලේ බැලුවත් කවදාටවත් appointment එකක් හොයාගන්න නෑ. නමුත් වැඩි ගානට විකුණන අය ඉන්නවා වෙනත් වෙබ් සයිට් වලින්.
තවත් උදාහරණයක් තමයි driving test එකට කාලය වෙන් කර ගැනීම මේකත් කොයි වෙලේවත් කරගන්න බැරි දෙයක්. කොහොම බැලුවත් මාස තුනක් ඇතුළත slot එකක් හොයාගන්න නෑ. නමුත් ebay සහ වෙනත් සයිට් වලින් appointment විකුනන්න තියෙනවා දහ ගුණයක් පමණක්ම මිලට.
මේවා අවුරුදු ගණන් තිබුණු ්‍රශ්න. කිසිම විදියක විසඳුමක් ලැබෙන පාටක් පේන්න නම් නෑ. මම හිතන්නේ සේවාවන්ගේ ඉල්ලිම සහ සැපයුම සමබර කිරීම බොහොම අමාරු දෙයක්. ඒක පෞද්ගලිකද , ව්‍යාපාරයක්ද, ලාභ නොලබන සේවාවක්ද කියන එකට බාහිරයි වගේ.
එතකොට එංගලන්තේ තියෙටර් ටිකට් මාෆියාව . පොලිසියෙන් අල්ලනවා එළිපිට විකිනුවොත් . මම මෙතන කණගාටුවට වගේ එකොන් සමග එකඟ වෙන්නේ නැහැ . මම හැම වෙලාම ලංකාවේ දුම්රිය ගමන් බුක් කරලා යන්නේ . සති දෙක තුනකට වත් කලින් . මම ඔය ඔක්කොම ටිකට් අරගෙන පස්සේ වැඩි ගානට විකුණන් එවුන්ට පට්ට විරුද්ධයි ඒ කලෙත් . ඕක වැඩි පුරම කරන්නේ ඇතුලේ උන්මයි . (දුම්රිය දෙපාර්තමේන්තුවේ ) හැමෝම නෙමේ . එක පාරක් මම ටිකට් නොදී ඉන්න හැදුවම වීඩියෝ කළා . ටක් ගාල ටික එක දුන්න . ඒක නවත්වපු එකට කැමැතියි. එංගලනතේ සමහර ෂෝ වල ටිකට් අරගෙන ඊබේ එකේ වැඩි ගන්නට විකුණන් අය ඉන්නව . අහු නොවෙන්න . කොල්ලකාරී ධනවාදය 😁
Delete