වෙබ් ලිපිනය:

Wednesday, August 6, 2025

පළමු මාස හය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


මේ වන විට මෙම (2025) වසරේ පළමු මාස හය අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් කරනු ලැබ තිබෙනවා. සමස්තයක් ලෙස එම සංඛ්‍යාලේඛණ තුළින් පිළිබිඹු වන්නේ සුබදායී තත්ත්වයක්.

බදු ආදායම

වසරේ පළමු මාස හය තුළ රුපියල් බිලියන 2,152ක බදු ආදායමක් එකතු වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 25.9%ක වර්ධනයක්. වසරේ අවසන් මාස හය තුළද මෙම අනුපාතයෙන්ම බදු ආදායම් ඉහළ ගියහොත්, වසර අවසන් වන විට අපේක්ෂිත බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 4,590 ඉක්මවිය හැකියි. අදාළ ප්‍රක්ෂේපණය රුපියල් බිලියන 4,665ක්. 

වසරේ පළමු මාස හය අවසන් වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් වර්ෂාවසාන බදු ආදායම් ඉලක්කයෙහි ඔවුන්ගේ පංගුවෙන් 47.3%ක්ද, රේගුව විසින් ඔවුන්ගේ පංගුවෙන් 46.4%ක්ද, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ පංගුවෙන් 45.0%ක්ද එකතු කර ගෙන ඇති අතර සමස්තයක් ලෙස වර්ෂාවසාන ඉලක්කයෙන් 46.9%ක් එකතු වී තිබෙනවා. පසුගිය වසරේ පළමු මාස හය අවසන් වන විට එකතු වී තිබුණේ එම වසරේ මුළු බදු ආදායමෙන් 46.6%ක් පමණයි. සුළු වෙනසක් වුවත්, මෙය ඊට වඩා හොඳ තත්ත්වයක්.

බදු ආදායම් වැඩි වීම සඳහා දායක වී තිබෙන්නේ වක්‍ර බදු ආදායම් ඉහළ යාමයි. වර්ෂාවසාන වැට් බදු ඉලක්කයෙන් 48.7%ක් දැනටමත් එකතු වී ඇතත්, වර්ෂාවසාන ආදායම් බදු ඉලක්කයෙන් එකතු වී තිබෙන්නේ 41.9%ක් පමණයි. ඒ අනුව, සෘජු බදු වලින් ආදායම් වර්ධනය කෙරෙහි ලොකු දායකත්වයක් ලැබී නැහැ. මෙයින් පිළිබිඹු වන්නේ බදු එකතු කරගැනීමේ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම වීමට වඩා පරිභෝජනය යාමේ බලපෑමයි. වාහන ආනයන වලින් වසරේ පළමු මාස හයක කාලය ඇතුළත රුපියල් බිලියන 129.1ක බදු ආදායමක් එකතු වී ඇති අතර ඉන්ධන වලින් රුපියල් බිලියන 112ක බදු මුදලක් එකතු වී තිබෙනවා. 

සමස්ත රාජ්‍ය ආදායම 

වසරේ පළමු අර්ධය අවසන් වෙද්දී බදු නොවන ආදායම් හා ප්‍රදානද ඇතුළුව රජයේ සමස්ත ලැබීම් රුපියල් බිලියන 2,325ක් වන අතර මෙය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 24.7%ක වර්ධනයක්. මෙම වර්ධන වේගය මෙලෙසම පැවතුනහොත් වර්ෂාවසාන ලැබීම් රුපියල් බිලියන 5,100ක් පමණ දක්වා ඉහළ යා හැකි අතර එම ප්‍රක්ෂේපණය අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 4,990ට වඩා රුපියල් බිලියන 110කින් පමණ වැඩි අගයක් .

පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් 

වසරේ පළමු මාස හය තුළ පොලී ගෙවීම් හැර පුනරාවර්තන වියදම් රුපියල් බිලියන 1,242ක් සේ වාර්තා වන අතර මෙය පෙර වසරට සාපේක්ෂව 15.5%ක වර්ධනයක්. මෙම අනුපාතය මෙලෙසම පැවතුනහොත් වසර අවසන් වන විට පුනරාවර්තන වියදම අයවැය ඇස්තමේන්තු වල සඳහන් රුපියල් බිලියන 2,970 මට්ටමට යන්නේ නැහැ. 

ප්‍රාග්ධන වියදම් 

වසරේ පළමු මාස හය තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 224කට සීමා වී ඇති අතර, මෙය පෙර වසරේ පළමු මාස පහට සාපේක්ෂව 8.6%ක අඩු වීමක්. මේ අනුව, රාජ්‍ය ආදායම ඉලක්ක කරා යමින් තිබියදී පොලී ගෙවීම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් මෙන්ම ප්‍රාග්ධන වියදම්ද සීමා වී ඇති ආකාරය දකින්නට පුළුවන්. 

ප්‍රාථමික අයවැය අතිරික්තය 

පළමු මාස හයක කාලය තුළ රුපියල් බිලියන 859ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් දැකිය හැකි අතර එය පෙර වසරේ පළමු මාස හයක කාලයට සාපේක්ෂව 58.0%කින් වැඩියි. මෙම අතිරික්තය වසර අවසන් වන විට පවත්වා ගත යුතු ප්‍රාථමික අයවැය අතිරික්තය (දදේනියෙන් 2.3%) ඉක්මවා යන්නක් වන අතර ඇස්තමේන්තුගත දදේනියෙන් 2.6%කට ආසන්නයි. 

සමස්ත අයවැය හිඟය 

වසරේ පළමු මාස හය අවසන් වෙද්දී පොලී ගෙවීම්ද ඇතුළුව ඇතුළුව සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 406කට සීමා වී තිබෙනවා. මෙය අයවැය ඇස්තමේන්තු වල ඇති රුපියල් බිලියන 2,200ක හිඟයට වඩා බෙහෙවින්ම අඩුයි. 

සමස්ත චිත්‍රය 

මේ අනුව, මේ වන විට ආණ්ඩුව විසින් කාලයක් පාලනයකින් තොරව අයාලේ ගිය රාජ්‍යමූල්‍ය කළමණාකරණ සරුංගලයේ නූල අතට ගැනීමට සමත්ව තිබෙනවා. මෙය දෙවසරකට පෙර ආරම්භ වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වුවත්, පසුගිය වසරකට ආසන්න කාලය තුළද එම මාර්ගය තුළම ඉදිරියට යාම මගින් තත්ත්වය වඩා හොඳ අතට හරවාගෙන ඇති බව කිසිසේත්ම බැහැර කරන්න බැහැ. 

වසරේ ඉදිරි කාලය තුළ අරමුදල් ඉතිරි කිරීමේ පීඩනයක් රජයට නැහැ. මේ වන විට මහා භාණ්ඩාගාරය සතුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා රුපියල් සංචිත තිබෙනවා. ඒ අනුව, ආණ්ඩුවට ඔවුන්ගේ දේශපාලන අභිලාෂ පරිදි වියදම් ප්‍රමුඛතා වෙනුවෙන් හෝ ණය බර අඩු කර ගැනීම වෙනුවෙන් එම අතිරික්ත අරමුදල් වැය කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙම මූල්‍ය විනය අගය කළ යුතුයි. 

රජය සතුව අතිරික්ත රුපියල් සංචිත ඇති බැවින් විදේශ ණය ගෙවීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සඳහා වුවද එම රුපියල් වැය කළ හැකියි.  මේ වන විට මහ බැංකුවට රජයේ අවශ්‍යතා වෙනුවෙන් සල්ලි අච්චු ගැසීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නැහැ. එහෙත්, මහ බැංකුවකට රටේ ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය වන ප්‍රමාණයට අලුතෙන් රුපියල් නිකුත් කරන්නට සිදු වෙනවා. රජයට ණය දීමේ අවශ්‍යතාවයක් නොමැති බැවින් මහ බැංකුවට රුපියල් නිකුත් කරන්නට වෙන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගිනුයි. එය නිල විදේශ සංචිත ගොඩ නගා ගැනීමට උදවුවක්. 

අවශ්‍යනම් මූල්‍ය අරමුදලේ අවම අවශ්‍යතාවය වන දදේනියෙන් 2.3% ඉක්මවන ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීමේ හැකියාවක් රජය සතුව තිබෙනවා. එවැන්නක් කිරීම මගින් ණය බර වඩා වේගයෙන් අඩු වේනම්, ඒ මගින් සිදුවන විශ්වාසය ඉහළ යාම හේතුවෙන් රටට විදෙස් ආයෝජන වඩා වැඩියෙන් ආකර්ෂණය විය හැකි අතර එමගින් රාජ්‍ය වියදම් අඩු වීමෙන් ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකි නිශේධනාත්මක බලපෑම් ඉක්මවන ධනාත්මක බලපෑමක් අපේක්ෂා කළ හැකියි. ඉන්දියාවට වඩා අඩු තීරු බදු අනුපාතයක් ඇමරිකාවෙන් ලබා ගැනීමට හැකි වීමද ලංකාවේ ජයග්‍රහණයක් වන අතර එය කලාපයට එන ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උදවුවක්. 

3 comments:

  1. ආවෙමි කියෙව්වෙමි ඉකොනෝ ඔබෙ ලිපිය
    මට නං ගණන් අරහං - ඔලුවට යන්නේ ටිකය
    ඒත් සමස්තය බැලුවම පියකරුය
    රට දැන් පීල්ලට වැටිලා වාගේය!

    ReplyDelete
  2. ඉකොනො මල්ලියා කුකුළු මස් මිල ඉහල ගියේ ඇයි

    ReplyDelete
  3. රටේ යම් වෙනසක් කිරීමට නම් අවුරුදු පහක් ප්‍රමාණවත් නැති ය, ඒ වෙනුවෙන් අවුරුදු 20 ක කාලයක් ගත වෙනවා ය කියලා ටිල්වින් සිල්වා කියනවා.

    ටිල්වින් කියන්නේ මේ රටේ මධ්‍යම පාන්තිකයා විසින් දුටු ඡන්දයකට හෝ ඉදිරිපත් නොවී, තනතුරක් හෝ ලබා නොගෙන, පාඩුවේ ඉන්නා පුද්ගලයෙක් නොවෙයි.

    මධ්‍යම පාන්තිකයන් ටිල්වින් දුටුවේ එහෙමයි. එයින්ම ඔවුන්ගේ දේශපාලනික දැනුම කියවාගත හැකියි.

    සැබැවින්ම අද රටේ හැඩය මොනවගේ විය යුතුදැයි තීරණය කරන, රට පාලනය කරන බලගතු අධ්‍යාත්මික නායකයා ටිල්වින්.

    රට පුරාම මරණාධාර සමිති දක්වාම ජවිපෙ බලය ඇල්ලීම ඔහුගේ සංකල්පයක්.

    රාජ්‍යය කුඩා කරමින් පක්ෂය විශාල කිරීම ඔහුගේ සංකල්පයක්.

    ඔහු තමයි චීනයේ, කියුබාවේ රවුම් ගසමින්, අවිධිමත්ව අවුලා ගන්නා කොටස් මෙරට ඇති කිරීමට උත්සාහ කරනා ආණ්ඩුවේ සහ රාජ්‍යයේ ප්‍රධානියා.

    ටිල්වින් කියනා විදියට රට වෙනස් කිරීමට අවුරුදු 20 ක් ගත වෙනවා.

    නමුත් 1948 සිට කිසිදු පාලකයෙක් අවුරුදු 20 ක් ශ්‍රී ලංකාව පාලනය කරලා නැහැ.

    රටේ විශාලතම වෙනස්කම් කළ මහින්ද රට පාලනය කළේ අවුරුදු දහයයි.

    ඔහු වසර දහයෙන් ශ්‍රී ලංකාව ඇදහිය නොහැකි තරමට වෙනස් කළා.

    මෛත්‍රී රට පාලනය කළේ අවුරුදු පහයි. ගෝඨාභය අවුරුදු දෙක හමාරයි. රනිල් අවුරුදු දෙකක් සහ මාස කිහිපයයි.

    මේ හැම පාලකයෙකුම ධූර කාලය ආරම්භ වූ සැණින් ඔවුන්ට විරුද්ධ වුණේ, කකුලෙන් ඇද්දේ ජවිපෙ.

    රට හදන්න එතරම් කාලයක් ගතවෙන්නේ නෑ ය, මේ සෑමදෙයක්ම එක පෑන් පහරකින් වෙනස් කළ හැකි ය කියලා කිව්වේ ඔවුන්.

    අද ඔවුන් රටේ වෙනසක් කිරීමට වසර 20 ක් ඉල්ලනවා.

    රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට 2048 දී පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් වීමට හැකි බව කියද්දී හිනා වුණේ ජවිපෙ.

    රනිල් එදා කිව්වේ නිකන් නොම්මරයක් නෙවෙයි.

    පැහැදිලි වැඩපිලිවෙලක් අතේ තියාගෙන, එහි පදනම සකස් කරලා, එම මාවතේ ගමන් කරද්දී එහි අවසන් ඉලක්කය.

    රනිල් 2048 වනතුරු සිටීමට කිව්වේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් වෙන්න.

    පසුගිය දා ඉන්දියාවත් ඔවුන්ගේ සංවර්ධිත ඉලක්ක හෙළි කළා. ඔවුන්ගේ ඉලක්කය 2046 - 2050 අතරතුර සංවර්ධිත රටක් වීමට.

    වැඩපිලිවෙලක් දැක්මක් ඇති රටක් සහ නායකයන් සැලසුම් කරන්නේ එහෙමයි.

    රටක් වසර පහකින් වෙනස් කරන්න බැහැ.

    නමුත් ගැටලුව එලෙස කළ හැකි බව කිව්වේ ජවිපෙ.

    වසරකින් දෙකකින් පාලකයන් වෙනස් කිරීමට උත්සාහ කළේ ජවිපෙ.

    තවත් ගැටලුවක් තියෙනවා.

    ටිල්වින් මේ වසර 20 ක් සිටීමට කියන්නේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමට නොවෙයි.

    'වෙනසක්' කිරීමට.

    රනිල්ට එදා වැඩපිළිවෙලක් තිබුණා. දැක්මක් තිබුණා. පැහැදිලි අවසන් ඉලක්කයක් තිබුණා.

    ඔහු නිශ්චිත මාවතක ගමන් කළා.

    හැබැයි මාලිමාවට හො ජවිපයට එවැනි ඉලක්කයක් නැහැ. නිශ්චිත මාවතක් නැහැ.

    එහි ආර්ථික මාවත කුමක්ද , එය ඉලක්ක මොනවාද, ආර්ථික සංවර්ධන උපාය මාර්ග මොනවාදැයි ඔවුන්ට හෝ අදහසක් නැහැ.

    ඔවුන් එදා වේල දේශපාලනය කරමින්, කවුරුන් හෝ සිරගත කරමින්, ආර්ථිකයට පොල් ලෙල්ලක් තරම් හෝ නොදැනෙනා අංශු මාත්‍රයක වන වියදමක් කපා දමමින්, පක්ෂය පුලුල් කරමින්, වැසුනු දොරවල් පසුපස බලයේ සහ ධනයේ ආශ්වාදය විඳිමින් සිටිනවා පමණයි.

    රනිල්ට, මහින්දට මෙන් ඔවුන්ට ඉලක්කයක් නැහැ.

    ඔවුන්ගේ ආණ්ඩුව දැන් වසරකට ආසන්නයි.

    ඒ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යංශයක නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ රටේ ප්‍රධාන දිස්ත්‍රික්කයක ජවිපෙ නායකයෙක් ඔහු මේ වසර දෙක තුළ කළ විශාලම වැඩ දෙක මාධ්‍යයට කිව්වා.

    ඔහු විශාල වෙසක් කලාපයක් කරලා. දෙවැන්න ඔහු අමාත්‍යංශයේ සියලූම නිළධාරීන් යොදවා ශ්‍රමදානයක් කරලා.

    ඔහු නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ. ජවිපෙ ප්‍රබල නායකයෙක්. ජනතාව ඉහළින්ම දිනවූ පුද්ගලයෙක්.

    මේ තමයි ජවිපෙ දැක්ම. මේ තමයි ඔවුන්ගේ ලෝකයේ 'ලොකු' වැඩ.

    2005 ආණ්ඩුවේ ඇමතිධූර ලබාගෙන ඔවුන් කළේත් මේ ආකාරයේම ශ්‍රමදාන පන්නයේ වැඩ.

    තවමත් ඔවුන්ට කීමට ඇත්තේ සීගිරිය ප්‍රතිසංස්කරණය කිරීමට පක්ෂය යොදවා ගඩොල් ඇදීමට ශ්‍රමදානයක් කළ පුවත පමණයි.

    වැව් දහසක් ඉදිකිරීමට ව්‍යාපෘතියක් ආරම්භ කර කිසිඳු දැක්මක්, සැලසුමක් නැති නිසා එය අසාර්ථක වුණා.

    එයින් වුණේ මෙරට වැව් ගණනාවක ආරක්ෂිත ලේයර පලුදු කළ නිසා වසර ගණනාවක් යනතුරු, විශාල වැව් රැසක් ඉක්මනින් හිඳී යාම පමණයි.

    නමුත් ව්‍යාපෘතියට වෙන් වූ මුදලින් ඔවුන් පැලවත්තේ විශාල මන්දිරයක් තැනුවා.

    ඉහළ මාලයේ සුඛෝපභෝගි කාමර වල එහි නායකයන් නවාතැන් ගත්තා.

    මේ තමයි ජවිපෙට කළ හැකි වැඩ.

    ඔවුන්ට දැක්මක් නැහැ.

    ඔවුන් කැමරාව ඉදිරියේ දුක්ඛිත ජීවිතයක් ප්‍රදර්ශනය කළත් කැමරාවෙන් එහා කාමභෝගි ජීවිතයට ප්‍රියයි.

    ඔවුන්ට බලය හා ධනය අවශ්‍ය ඒ වෙනුවෙන්.

    එසේ නොමැතිව තමන්ගේ ඔලුවේ ඇති සිහිනයක්, ව්‍යාපෘතියක් සාර්ථක කර ගැනීමට පොලිටික්ස් කරන මිනිස්සු නෙවෙයි.

    2045 නෙවෙයි 2100 වෙනතුරු ඔවුන් පාලනය කළත් ශ්‍රමදාන, වෙසක් කලාප, සිරගත කිරීම් වැනි සිඟිති ව්‍යාපෘති හැරුණුකොට රටක් සංවර්ධනය කිරීමට අවශ්‍ය ශක්‍යතාවය හෝ දැක්ම ඔවුන්ට නැහැ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: