Tuesday, April 21, 2020
සල්ලි එක්ක තෙල්!
කොරෝනා කාලේ අම්ම මුත්ත කාලේවත් අහල නැති සමහර අමුතු දේවල් වෙනවා. අදත් එහෙම දෙයක් වුනා. ඒ WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් -40 ඉක්මවා පහළට වැටීමයි. හරියටම පැහැදිලි වුනේ නැත්නම්, 40 ඉලක්කමට ඉදිරියෙන් තියෙන්නේ සෘණ ලකුණක්. ඒ කියන්නේ බොරතෙල් බැරලයක් ගන්න කෙනෙකුට ඩොලර් 40කුත් හම්බ වෙනවා.
මේකට මිල දී ගැනීමක් කියන වචනයත් ගැලපෙන්නේ නැහැ. මිල සමඟ ගැනීමක් කියලයි කියන්න වෙන්නේ. මේ වගේ තත්වයක් යටතේත් ලංකාවේ මිල සූත්‍රය වැඩ කරනවද කියලා ඒක හදපු අයගෙන් තමයි අහන්න වෙන්නේ.
මේ දවස් වල බටහිර රටවල් සියල්ලේම වගේ ආර්ථික කටයුතු හා එදිනෙදා කටයුතු බොහෝ දුරට අකර්මන්‍ය වෙලා තිබෙන බව කවුරුත් දන්නා දෙයක්නේ. ඒ එක්කම ඉන්ධන සඳහා ඉල්ලුමත් විශාල ලෙස අඩු වී තිබෙනවා. නමුත්, සැපයුමේ අඩුවක් වෙලා නැහැනේ. දැන් ටික කලක සිට ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය රටේ පරිභෝජනයට වඩා වැඩි බවත්, ඇමරිකාව මේ වන විට ශුද්ධ තෙල් අපනයනකරුවෙකු බවට පත් වී සිටින බවත් මම කලින් ලියා තිබෙනවානේ.
කෝවිඩ් ප්‍රශ්නේ හදිසියේ කඩා පාත් වුනේ ඔහොම තියෙද්දිනේ. මෙහි ප්‍රතිඵලය තෙල් වෙළඳපොළේ ඉල්ලුම හා සැපයුම අතර විශාල අසමතුලිතතාවයක් ඇති වීමයි. ඉල්ලුම අඩුයි. සැපයුම වැඩියි. එහෙම වුණාම මිල පහත වැටෙන බව කවුරුත් දන්නවනේ. නමුත්, කොයි තරම් පහත වැටෙන්න පුලුවන්ද?
මිල අඩු වෙලා අඩු වෙලා තෙල් නිකම් දෙන ගානට එන්න පුළුවන් කිවුවොත් ගොඩක් අය අමාරුවෙන් වුනත් විශ්වාස කරයි. ඒ වුනත් සල්ලිත් එක්ක තෙල් දෙන තරමට වැඩේ බරපතල වෙන්න පුලුවන්ද?
කතාව මේකයි. ගොඩක් තෙල් නිෂ්පාදකයෝ තෙල් විකුණන්නේ තෙල් නිපදවන්න මාස ගණනකට කලින්. ගන්න අය ඉන්නවානම් කලින්ම තෙල් ටික විකුණලා සල්ලි ගත්තම මොකද වෙන්නේ. දැන් ඔය කුඹුරු පැහෙන්න කලින් වී ටික මිල දී ගන්න මුදලිලා ඉන්නේ. එතකොට ගැට කාලෙම ගහටම සල්ලි දීලා රඹුටන් ගන්න මුදලාලිලා ඉන්නේ. මේකත් ඔය වගේ වැඩක්.
කිසියම් දවසක ලැබෙන්න නියමිත තෙල් වෙනුවෙන් මාස ගාණකට කලින් ලන්සු තියන අය ඕනෑ තරම් ඉන්නවා. ගොඩක් වෙලාවට නියමිත දවස වන විට තෙල් මිල කීයක් හරි වැඩි වෙලා. ඒ නිසා මේ වැඩේ පාඩුවක් නැහැ. බොහෝ වෙලාවට මිල කලින්ම වැඩි වෙනවා. ඒ වගේ වෙලාවට ගිවිසුම අනුව ලැබෙන්න නියමිත තෙල් ටික ලැබෙන දිනය වෙනතුරු බලා නොඉඳ අදාළ දිනයට තෙල් ලබා ගැනීමේ හිමිකම කලින්ම වෙන කෙනෙකුට විකුණලා අතට ගාණක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට වෙන්නේ ඔය වැඩේ. හැබැයි යම් විදිහකින් තෙල් මිල දිගින් දිගටම අඩු වුනොත් අතින් පාඩුයි. ඒ නිසා මේක ටිකක් අවදානම් වැඩක්. හරියට සූදුවක් වගේ.
මේ ආකාරයට අනාගතයේ ලැබෙන්න තියෙන තෙල් මාස ගාණකට කලින්ම මිල දී ගන්නා ගිවිසුමකට ඉදිරි ගිවිසුමක් (futures contract) කියා කියනවා. ඉදිරි ගිවිසුමක නිශ්චිත කල් පිරීමේ දිනයක් තිබෙනවා. තෙල් ටික අතට ලැබෙන්නේ ඒ දවසටයි.
මේ විදිහට කලින්ම තෙල් මිල දී ගන්නා අය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළමු කොටස ඇත්තටම තමන්ට තෙල් අවශ්‍ය අය. ඔය පිරහුම්හල් කරන අය වගේ. දෙවන කොටස සමපේක්ෂකයෝ. ඒ අයට ඕනෑ කරන තෙලක් නැහැ. නමුත්, මේ වැඩෙන් ගාණක් හොයා ගන්න පුළුවන් බව දන්න නිසා වැඩේට අත ගහනවා. පළමු කණ්ඩායමේ අය බොහෝ විට කල් පිරෙන දවස වන තුරු බලා ගෙන හිටියත් දෙවන කණ්ඩායමේ අයට අවශ්‍ය වන්නේ පුළුවන් තරම් ඉක්මණින් ගාණක් තියාගෙන මේ ඉදිරි ගිවිසුම වෙනත් අයෙකුට විකුණන්නයි
සමපේක්ෂකයින් විසින් මිල දී ගන්නා ඉදිරි ගිවිසුම් කල් පිරෙන දවස දක්වාම අතින් අත යනවා. මුලදී මුලදී මේ ගිවිසුම් ද්වීතියික වෙළඳපොළේ මිල දී ගන්නෙත් බොහෝ විට තවත් සමපේක්ෂකයෙක් විසින්මයි. නමුත්, කල් පිරෙන දවස කිට්ටු වෙද්දී තෙල් ව්‍යාපාරයේ යෙදෙන කවුරු හෝ සිල්ලර වෙළෙන්දෙක්ට මේ ඉදිරි ගිවිසුම් විකුණන්න වෙනවා. සමපේක්ෂකයින්ට ඇත්තටම තෙල් අවශ්‍ය නැහැනේ.
ඔය වැඩේ සාමාන්‍යයෙන් අවුලක් නැතුව සිද්ධ වෙනවා. අද සෘණ අගයක් දක්වා මිල පහත වැටුණු හෙට (අප්‍රේල් 20) පරිණත වෙන්න නියමිතව තිබුණු ඉදිරි ගිවිසුමුත් මේ ආකාරයට මාස ගණනාවකට කලින් විකුණපුවා. ඒ වෙද්දී, කෝවිඩ් එයි කියා කවුරුවත් දැනගෙන හිටියේ නැහැනේ. ඒ නිසා, මේ ඉදිරි ගිවිසුම් සමපේක්ෂකයින් විශාල පිරිසක් විසින් මිල දී ගෙන තිබෙනවා.
ඉදිරි ගිවිසුම් හෙට කල් පිරෙනවා. ඒ නිසා, තමන්ට ඇත්තටම තෙල් අවශ්‍ය නැති කෙනෙක් ඊට පෙර තමන්ට ලැබෙන්න තිබෙන තෙල් ටික කාගේ හරි ඇඟේ ගහන්න ඕනෑ. නමුත්, මේ වෙලාවේ තෙල් ගන්න කෙනෙක් නැහැ. තෙල් විකුණන සිල්ලර වෙළෙන්දන් විසින් කලින් මිල දී ගත් තෙල් විකිණිලා නැති නිසා අලුතින් තෙල් මිල දී ගෙන ගබඩා කරන්න ඉඩ නැහැ. ඒ නිසා, නිකම් දුන්නත් තෙල් වලින් වැඩක් නැහැ. නිකම් තියා සල්ලි එක්ක දුන්නත් තෙල් වලින් වැඩක් නැහැ.
තෙල් ගබඩා කර ගන්න කිසියම් හෝ ඉඩක් තිබෙන අයට මෙය මහඟු අවස්ථාවක්. ඒ අයට මුලදී හෙට්ටු කර ඉතා අඩු මිලට තෙල් මිල දී ගන්න පුළුවන් වුනා. හවස එක විතර වෙනකොට තෙල් බැරලයක මිල ටිකෙන් ටික පහළ ගිහින් සත ගාණකටම වැටුණා. ඒ වන විට තෙල් ගබඩා කර ගැනීමේ ඉඩ ඉතිරිව තිබුණු ගොඩක් අයත් තෙල් පුරවාගෙන නිසා ඉල්ලුම්කරුවන් තවත් අඩු වෙලා.
ඉදිරි ගිවිසුම් හෙට කල් පිරෙන නිසා ගිවිසුම් හිමිකරුවන් ඊට කලින් ඒවා කොහොම හරි විකුණන්නම ඕනෑ. නැත්නම් බොර තෙල් ගෙදර ගෙනිහින් වත්ත පිටිපස්සේ තියාගන්න කියලයැ. මේ වෙලාවේ තමයි ඉතිරිව සිටි ගැණුම්කරුවන්ට සල්ලි එක්ක මිසක් තෙල් එපා කියා කියන්න පුළුවන් තත්ත්වයක් ආවේ. මොනව කරන්නද ඉතින් සල්ලි එක්ක හරි තෙල් ටික දීලා නිදහස් වෙන්නම වෙනවනේ. ගිවිසුම කල් පිරෙන්නේ හෙට නිසා හිත හිතා ඉන්න කාලයක් නැහැ.
බොරතෙල් බැරලයක මිල ඩොලර් -40 දක්වා අඩු වුනේ ඔන්න ඔය විදිහටයි. හැබැයි මේ වෙද්දී නැවතත් මිල ඉහළ ගිහින් යාන්තමින් ධන පැත්තට ගිහින් තියෙනවා.
Subscribe to:
Post Comments (Atom)
මහත්තයා ඉන්ධන පිරවුම්හලකද වැඩ කරන්නේ?
ReplyDeleteඉකොනෝ මහත්තයා,
Deleteඋතුරු කොරියාවේ නායකතුමා සහ ඇමරිකන් ජනාධිපතිතුමා අතර සිංගප්පූරුවේදී පැවති හමුව අතරතුරදී උතුරු කොරියාවේ නායකයාට CIA සංවිධානය ලබා දුන් වසක් නිසා අද වනවිට ඔහු ලෙඩරෝගී වී ඇතිබව පැවසෙනවා නේද? ඒ ගැන විස්තර ඉකොනෝ මහත්තයා දන්නේ නැද්ද?
නැහැ.
Deleteසල්ලි දීලා අරක්කු ඩිංගක් ගන්න තැනක් දන්නේ නැද්ද ඉකොනෝ සර්?
Deleteඇනෝ,
ReplyDeleteඔහේ බයියෙක් ද?
තැරි දාර බයියො ගැන දුක හිතුනා ද?
Deleteගොඩක් ආසාවෙන් කියෙව්වා. හේතුව කලින් නොදැන් සිටි දෙයක් වීම සහ මම සේවය කරන්නෙත් මැදපෙරදිග තෙල් පිරිපහදුවක වීම. ඇත්තටම ඉදිරිය බොහෝ අවිනිශ්චිතයි. සමහර පිරිපහදු ස්තාන සදහටම වසා දැමීමටත් ඉඩ තිබෙනවා නේ මේ යන විදියට.
ReplyDeleteතෙල් ගැන ලිපියක් ඉල්ලලා අත අහකට ගන්න වෙලාවක් උනේ නෑ...සුපිරි ලියමනක්
ReplyDeleteතෙල් ගබඩා කරගන්න පහසුකමක් නැති කෙනෙක්ට තෙල් ටික අරගෙන විනාස කරල දාන්න බැරිද. $40 කුත් එක්ක තෙල් දෙනවට වඩා ඒක ලාභයි නේද?
ReplyDeleteහොඳ ප්‍රශ්නයක්. ඒ වගේම එක වරම ඔළුවට එන ප්‍රශ්නයක්. අපි හිතමු තෙල් ටික අරගෙන විනාශ කරන්න පුළුවන් කියා. (මේ හා අදාළ තාක්ෂණික හා නීතිමය තත්ත්වය ගැන මම දන්නේ නැහැ) නමුත්, ඒ වැඩේටත් පළමුව කිසියම් වියදමක් යනවා. දෙවනුව වැඩේ සැලසුම් කරගන්න යම් කාලයක් යනවා.
Deleteමුලින්ම පළමු කරුණට එන්නම්. මේ දවස් වල තෙල් ගියේ ඩොලර් 20 කිට්ටුවනේ. දැන් මේ මිල හදිසියේ ඩොලර් 18ට අඩුවුණාම ගොඩක් අය එය තේරුම් ගන්නේ වෙළඳපොළේ තාවකාලික කඩා වැටීමක් විදිහටයි. පැයකින් දෙකකින් නැවත මිල ඩොලර් 20 මට්ටමට එයි කියා හිතලා කෙනෙක් තෙල් මිල දී ගන්න පුළුවන්. මම වුනත් ඔය වගේ දෙයක් කරනවා. පැයකින් දෙකකින් 10%ක ප්‍රතිලාභයක් ලැබේනම් නරක නැහැනේ. නමුත්, මිල ඉහළ යනවා වෙනුවට තවත් පහළට වැටෙනවා. අපි හිතමු ඩොලර් 15ට වැටුනා කියලා. දැන් පේන විදිහට මේක තවත් පහළට වැටෙන්න පුළුවන්. මේ වගේ වෙලාවක කරන්න තිබෙන හොඳම වැඩේ පාඩුව අවම කර ගැනීමයි. කොහොමටත් ලාබයක් ලැබෙන්න විදිහක් පෙන්නේ නැහැ. ඒ නිසා කරන්න තියෙන්නේ මිල තවත් වැටෙන්න කලින් ඩොලර් 15ට විකුණලා දමන එකයි. (ග්‍රීක බැඳුම්කර සිද්ධියේදී වුනෙත් ඔය වගේ දෙයක්). පාඩුයි තමයි. නමුත් ඩොලර් 3ක් පාඩු කර ගන්න එක ඊට වඩා පාඩු කර ගන්නවට වඩා හොඳයි.
දැන් මේ වගේ වෙලාවක ඩොලර් 15ට තෙල් මිල දී ගන්න කෙනෙක් හිතන්නෙත් ඩොලර් 18ට මිල දී ගත් අය හිතපු විදිහටමයි. කොයි වෙලේ හෝ මෙය අඩු ගානේ ඩොලර් 18ක්වත් වෙයි කියා හිතනවා. නමුත් මිල තවත් පහළට වැටිලා ඩොලර් 10ට අඩු වෙනවා. එතකොට කරන්නේ තවත් පාඩු වෙන්න කලින් විකුණලා දමන එකයි. ඒ වෙලාවේ ඩොලර් 10ට ගන්න කෙනාට වෙන්නෙත් ඕකමයි. එයා ඩොලර් 5ට විකුණලා දමනවා. ඒ ගත්ත කෙනා ඩොලර් 2කට විකුණලා දමනවා.
ඩොලර් 2ට ගත්ත කෙනාටත් මේ වැඩේම වෙනවා. දැන් එයාට කරන්න වෙන්නේ තෙල් ටික මේ මිලට ලබා ගැනීම හෝ වෙන කෙනෙකුට නිකම් දෙන එක. මේ මිල කොයි තරම් අඩු මිලක් වුනත් තෙල් ටික අරගෙන මේ වෙලාවේ විකුනන්න බැහැ. ලාබයක් ගන්නනම් තෙල් ගබඩා කරගෙන ඉන්න ඕනෑ. කොයි තරම් කාලයකටද? තෙල් ගබඩා කරගෙන සිටීමේත් වියදමක් තිබෙනවා. එහි පාඩුව ඩොලර් 2ට වඩා වැඩියි. ඒ නිසා නිකම් දීමෙන් පාඩුව අඩු වෙනවා.
ඊළඟ වටයේදී නිකම් ගත්ත කෙනාත් මේ ප්‍රශ්නයටම මුහුණ දෙනවා. තෙල් ටික ලැබුණේ නිකම් නිසා අරගෙන විනාශ කරන්න පුළුවන් කියා හිතමු. ඒ සඳහා ඩොලර් 5ක වියදමක් යනවා කියලත් හිතමු. ඊට වඩා ලාබයි ඩොලර් 4ක් එක්ක කාට හරි තෙල් ටික දෙන එක. අන්තිම දක්වාම වෙන්නේ ඔය වැඩේ.
දෙවන කරුණ කාලය පිළිබඳ ප්‍රශ්නය. මේ තරම් මිල අඩු වී තිබෙන්නේ මේ තෙල් ඊළඟ දිනයේම ලබාගත යුතු නිසා. ජූනි 20 ලබාගත යුතු තෙල් තොගයේ මිලත් අඩු වී ඇතත් සෘණ මට්ටමට ගිහින් නැහැ. මාසයක් යද්දී මොනවා හෝ දෙයක් සැලසුම් කරගන්න කාලයක් තියෙනවා. නමුත්, පැය ගණනක් ඇතුළත කිසි කෙනෙකුට තෙල් ටික ඉවත් කරගෙන විනාශ කරන්න පුළුවන්ද කියා හිතන්නවත් කාලයක් නැහැ. ඒ ගැන හිත හිතා හිටියොත් මිල තවත් අඩු වෙලා පාඩුව තවත් විශාල වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම වැඩේ පාඩුව අවම කරගෙන හැකි ඉක්මණින් තෙල් ටික කාගේ හරි ඇඟේ ගහන එකයි.
තවත් පොඩ්ඩක් එකතු කළොත්, මේ තරම් පහළ වැටිලා තියෙන්නේ අප්‍රේල් 20 දින ලබා ගත යුතු තෙල් පමණයි. මැයි 20 ලබා ගත යුතු තෙල් ඒ වන විටත් ඩොලර් 20 මට්ටමේ තිබුණා (අද එයත් අඩු වෙලා). ඒ කියන්නේ -40ට තෙල් ගන්න කෙනෙක් මොන විදිහකින් හෝ මාසයක් තෙල් ටික ගබඩා කරගෙන තියා ගත්තොත් ඩොලර් 60ක ලාබයක්. ඒ නිසා මෙහි තනිකරම තියෙන්නේ තෙල් ගබඩා කර තබා ගැනීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයක්. වෙනත් විදිහකින් කිවුවොත් තෙල් ගබඩා කර තබා ගැනීමේ පහසුකම් සඳහා ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් මිල ඉහළ යාමේ වක්‍ර ප්‍රතිඵලයක් විදිහට තමයි තෙල් මිල සෘණ අගයක් දක්වා අඩු වී තිබෙන්නේ.
Deleteහොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩක් ස්තුතියි
Deleteආර් කේ නාරායන් ගේ මල්ගුඩි දවසෙ කතාව දන්නවානෙ ලොතරැයියකින් ගල් රෝලක් තෑගි ලැබිච්ච මනුස්සයාගේ. මට ඒක තමයි මතක් උනේ මේ කතාව කියෙව්වම.
ReplyDeleteඒ වගේ වැඩක් තමයි. මම හිතන්නේ ඒ කතාවේ තියෙන්නේ හීනි උපහාසයක්. තමන්ට ඔරොත්තු නොදෙන දේවල් ලබා ගත්තහම විවිධ ප්‍රශ්න වල මුහුණ දෙන්න වෙනවා. තනතුරක් වුවත් එහෙමයි.
Deleteඔව් නෙව,ඒ උන්දැල එල්ලිලා අපිවත් එල්ලන්නයි යන්නේ
Deleteමුහුණු පොතේ පොස්ටුවක් තිබුණා 'ඇඳිරි නීති කඩ කළ නිසා අත් අඩංගුවට ගත් අයව දාලා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි පිරිසිදු කරවමු' කියලා. ලාබෙට තෙල් අරගෙන ඒවායේ ගබඩා කරගත්තොත්?
ReplyDeleteඇත්තටම මේ වෙලාව තෙල් මිල දී ගෙන ගබඩා කර ගන්න හොඳ අවස්ථාවක්. ඇමරිකන් රජය සතු නිල තෙල් සංචිත ප්‍රමාණයක් තිබෙනවා. ඒවා පුරවන්න ජනාධිපති ට්‍රම්ප් කලින්ම තීරණය කළා.
Deleteත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කොයි තරම් පහසුවෙන් භාවිතයට ගත හැකිද කියා මම දන්නේ නැහැ. තෙල් ගබඩා පහසුකම් කියන්නේ මේ වෙලාවේ සල්ලි උල්පතක්. ඔය ටැංකි පිරිසිදු කරගෙන කිසියම් නිශ්චිත කාලයකට භාවිතයට ගැනීම සඳහා වෙන්දේසි කළොත් සමහර විට ක්ෂණිකව ආදායමකුත් (මේ වෙලාවේ අත්‍යවශ්‍ය විදේශ විණිමයත්) උපයාගෙන ටැංකි ටිකත් යථා තත්ත්වයට පත් කර ගන්න හැකි වෙන්න පුළුවන්. තෙල් ටැංකි ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයක තිබේනම් අනිවාර්යයෙන්ම වැඩක් ගත යුතු වෙලාවක්. මේ වෙලාවේ තෙල් නිපදවන්නන් සමඟ කතා කළොත් අනිවාර්යයෙන්ම මාස ගණනකට පසු මුදල් ගෙවන්න තෙල් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ අය තෙල් වලට කරන්නේ මොකක්ද කියා හිත හිතා ඉන්න වෙලාවක් මේක.
තව කාරණාවක් මතක් කරන්න අවසරයි. අපි ලාබෙට අරගෙන තෙල් ගබඩා කර ගත් පමනින් අපට ලාබෙට පෙට්‍රල් ඩීසල් හම්බ වෙන්නෙ නැ. මේ බොරතෙල් පිරිපහදු කල ගත යුතුයි. ඒ සදහා දැනට අපට තියෙන්නෙ සපුගස්කන්ද පිරිපහදුව විතරයි. මෙයින් පිරිපහදු කරන්නෙ ලංකාවේ අවශ්‍යතාවයෙන් 20% ක් පමන. ඉතිරි ප්‍රමානය අපි පිරිපහදු කරන වෙනත් රටවලින් , සිංගප්පූරුවන් , කෙලින්ම පෙට්‍රල් ඩීසල් වශයෙන් ආනයනය කරනවා. ලංකාවට පිරිපදු කිරීමෙ පහසුකම් වැඩි කර ගන්න ඉන්දියාව දිගටම අකුල් හෙලනවා . මෙයට දේශපාලනය මෙන්ම කොමිස් කුට්ටි හේතු කියලා කියන්න පුලුවන්. කෙසේ උනත් බොරතෙල් ලාබ උන පලියට පිරිපහදු කරනු ලබන රටවල් පෙට්‍රල් ඩීසාල් ලාබේට දෙන්නෙ නැ වගේම , ගබඩා පහසුකම් තිබ්බ පලියට තෙල් පිරිපහදු කිරීමෙ හැකියාව වැඩි දියුනු කර ගන්නෙ නැතුව බොර තෙල් අඩු වීමේ ලාබය ලංකාවට ලැවෙන්නෙත් අර අනුපාතයෙන්ම නෙවේ....
Deleteබොර තෙල් කියා පොදුවේ කීවත් ගුණාත්මක භාවයේ වෙනස්කම් තිබෙනවා. මම දන්නා තරමින් සපුගස්කන්දේ පිරිපහදු කළ හැක්කේ ඇතැම් රටවලින් ආනයනය කරන බොරතෙල් පමණයි. පිරිපහදු කළ ඉන්ධන ආනයනය කරන්න එයත් එක් හේතුවක්.
Deleteඉතින් මහත්මයා මේ තෙල් නිෂ්පාදනය කරන රටවල් වලට තෙල් කප්පාදුවක් කරන්න පුළුවන් නේද? එයාලා සියයට 10කින් විතර තෙල් කප්පාදුවක් කරා කියලා මම දැක්කා. ඇයි ප්‍රමාණවත්ය කප්පාදුවක් කරන්න නොහැකි? සේවා වියුක්තිය වැඩි වෙන නිසාද? එහෙමත් නැත්නම් අඩුවට හරි වැඩි ප්‍රමානයක් විකුනලා ලාභ ගැනීමේ අරමුණ නිසාද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසාද?
ReplyDeleteමේක සංකීර්ණ කරුණු ගණනාවක ප්‍රතිඵලයක්. සමහර දේවල් කාලයක් තිස්සේ සිදු වන දේවල්. ඔබට හැකිනම් "තෙල්" හා "තෙල්මිල" ලෙස ටැග් කර තිබෙන මගේ පරණ ලිපි කියවන්න.
Deleteආසන්න හේතු වලට ආවොත් කෝවිඩ්-19 එන්න කලින්ම වෙනත් හේතු නිසා තෙල් මිල අඩු වුනා. ඒ අතරින් ප්‍රධානම හේතුවක් වුනේ ඇමරිකාව තෙල් වලින් ස්වයංපෝෂිත වීමයි. කාලයක් තිස්සේම ලෝකයේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවා වුනේ ඇමරිකාවයි. නමුත්, කෝවිඩ්-19 ආසන්නව ඇමරිකාව ලෝකයේ ප්‍රධාන තෙල් නිෂ්පාදකයා වෙලයි හිටියේ.
ඇමරිකාවේ ආනයනික තෙල් ඉල්ලුම නැතිව යාමෙන් පසුව අනෙක් ප්‍රධානම තෙල් නිෂ්පාදකයින් වන සවුදි අරාබිය හා රුසියාව අතර මිල යුද්ධයක් ඇති වී තිබුණා. ඒ වගේ දෙයක් වුණාම කවුරුවත් නිෂ්පාදනය අඩු කරන්නේ නැහැ. නිෂ්පාදනය තියාගෙන තරඟයට මිල අඩු කරන එකයි කරන්නේ.
මැදපෙරදිග හා රුසියාවේ (විශේෂයෙන්ම සවුදි අරාබියේ) තිබෙන සම්ප්‍රදායික තෙල් ලිං වලින් තෙල් බැරල් එකක් ගන්න ඩොලර් 10-20 වගේ අඩු මිලකුයි යන්නේ. ඒ නිසා, මිල සෑහෙන තරමින් අඩු වුනත් ලාබ තියෙනවා. හැබැයි ලාබ අඩු වෙනවා. නමුත්, ඇමරිකාවේ ශල්ක තෙල් කර්මාන්තයෙන් ලාබ ගන්නනම් මිල ඩොලර් 40-50 පමණ මට්ටමකවත් තියෙන්න ඕනෑ. ඊට වඩා මිල අඩු වූ විට ඇමරිකාවේ තෙල් කර්මාන්තය වැටෙනවා. එයින් සම්ප්‍රදායික තෙල් නිපදවන රට වලට යම් කාලයකට වාසියක් ගන්න පුළුවන්. නමුත්, මිල ඩොලර් 40-50 මට්ටමට ගිය වහාම ශල්ක තෙල් කර්මාන්තය නැවත හිස ඔසොවනවා. ඒ නිසා මිල පහලින් තියා ගැනීම සම්ප්‍රදායික තෙල් නිපදවන රටවලට වාසියි. හැබැයි මේ කරුණ කෝවිඩ්-19ට සම්බන්ධ දෙයක් නෙමෙයි. මුලින් කී සවුදි අරාබිය හා රුසියාව අතර මිල යුද්ධයත් කෝවිඩ්-19ට සම්බන්ධ දෙයක් නෙමෙයි.
කෝවිඩ්-19 නිසා හදිසියේම ඉල්ලුම විශාල ලෙස පහත වැටීම කවදාවත් සිදු නොවූ දෙයක්. මෙවැනි තත්ත්වයක් කිසිකෙනෙක් බලාපොරොත්තු වුනේ නැහැ. සාමාන්‍යයෙන් ඔපෙක් සංවිධානය රැස් වී නිෂ්පාදන සීමාවන් තීරණය කරන්නේ මාස හයකට වරක්. වසර මැද හා අග. මේ රැස්වීම් වලට බොහෝ විට රුසියාව වැනි ඔපෙක් නොවන රටවලුත් සහභාගී වෙනවා. ඒ හැර දවසින් දවස නිෂ්පාදන සීමා කරන්නේ නැහැ.
ඉහත කරුණු සියල්ල කෝවිඩ්-19 වලට සම්බන්ධ නැති ඊට පෙර පැවති තත්ත්වයයි. ඇත්තටම කෝවිඩ්-19 හමුවේ ඇමරිකාව, රුසියාව හා මැදපෙරදිග රටවල් කවදාවත් නොතිබුණු තරම් සහයෝගීතාවයකින් කටයුතු කර නිෂ්පාදන සීමාවන් ඉතා විශාල ලෙස අඩු කර තිබෙනවා. ඒ වගේම, ඔපෙක් සංවිධානයේ හදිසි රැස්වීම් ගණනාවක් තියා ඉක්මන් තීරණ අරගෙනත් තිබෙනවා. නමුත්, කෝවිඩ්-19 හානියේ තරම අනුව මේ හැම දෙයක්ම කිරීමෙන් පසුවත් තෙල් ඉල්ලුම හා සැපයුම සමතුලිත වී නැහැ. ඉදිරියේදී නිෂ්පාදන සීමා තවත් අඩු කරයි.
බය වෙන්න දෙයක් නෑ. 'ගෑස් ලංකා' නවුකාව යවලා බංකරින් කරනවා දැන්.
ReplyDeleteඉදිරි ගිවිසුම් මිලදීගෙන තියෙන අයට බැරිද 'අපි සල්ලි ගෙවල තිබුනට, අපිට බඩු එපා ' කියල තෙල් නොගෙන නිකන් ඉන්න?
ReplyDeleteබැහැ. තෙල් කියා කිවුවත් ඇත්තටම විකිණෙන්නේ තෙල් වල අයිතිය. ඇමරිකාවේ තමන්ට අයිති අනවශ්‍ය දෙයක් නිකම්ම බැහැර කරන්න බැහැ. පරණ කාර් එකක් හෝ අනවශ්‍ය ගෘහ භාණ්ඩයක් වගේ දෙයක් වුවත් බැහැර කරන්න වෙන්නේ මිලක් ගෙවලා. නිකම් ගන්න කැමති කෙනෙක් හිටියොත් පමණක් දීලා දාන්න පුළුවන්.
Deleteමේ සිද්ධියේදි , තෙල් නිෂ්පාදන සමාගම් ( වගේ අයට ) ඉදිරි ගිවිසුම් හරහා සල්ලි අරගෙන ඉවර නිසා, ඒ අයට පාඩුවක් වෙන්නේ නැද්ද? මෙහිදී පාඩු ලබන්නෙ සමපෙක්ෂකයෝ විතරද?
ReplyDeleteඔව්. ඉදිරි ගිවිසුම් වලට යාමේ අරමුණ එයයි. බඩු කලින්ම විකුණලා ඉවරයි. ඊට පස්සේ වෙන දෙයක් මිල දී ගත් අයගේ ප්‍රශ්නයක්.
Deleteමේ තත්වය දැන් මාසයකටත් වඩා යනවනෙ , ඇයි තෙල් කණින සමාගම් (රටවල් මගින් පාලනය කෙරෙන නිෂ්පාදනය නොවේ) මීට සති දෙක තුනකට කලින් ඉඳල කණින සීග්‍රතාවය අඩු නොකළේ? එහෙම උනානම්, ඔවුන්ගේ පාරිභෝගිකයන් වන සමපේක්ෂකයන් ව ආරක්ෂා කරගන්න තිබුන නේද?
ReplyDeleteමං අහල තියෙන විදියට සමහර තෙල් ලිං වල නිෂ්පාදනය ලේසියෙන් නවත්වන්න බෑ . Offshore rigs වගේ ඒවයේ . ඒවා වහන්න උත්සාහ කරනවට වඩා ආරක්ශාකාරියි සල්ලිත් එක්ක තෙල් ටික දෙන එක.
තෙල් කලින්ම විකුණා අවසන් නිසා නියමිත දිනයට අනිවාර්යයෙන්ම තෙල් සැපයිය යුතුයි. එසේ නොකර හිටියොත් බොහෝ විට ගිවිසුම අනුව වන්දියක් ගෙවන්න වෙනවා. තෙල් වලට කරන්නේ මොකක්ද කියන එක හෝ ගිවිසුමේ අනෙක් පාර්ශ්වකරුට සිදු වන පාඩු ගැන සිතීම තෙල් නිෂ්පාදකයාගේ කාර්යයක් නෙමෙයි. සමපේක්ෂකයන් වැඩේට අත ගහන්නේ අවදානමක් අරගෙනයි. එහිදී ලාබයක් වගේම පාඩුවක් වෙන්නත් පුළුවන්. අනිත් එක දැනටත් තෙල් මිල බිංදුවට බැහැලා නැහැ. මේ සෘණ මිලෙන් කියන්නේ ඊයේ දවසේ ඒ වෙලාවේ කාටවත් තෙල් අවශ්‍ය නොවූ බව පමණයි.
Deleteදෙවන කරුණ තාක්ෂණික කරුණක්. ඒ ගැන මම ඒ තරම්ම දන්නේ නැහැ.
ඊයේ ලන්කාදීප ඔන් ලයින් මේ කාරනයම වාර්තා කරලා තිබ්බා මෙන්න මේ විදියට.
ReplyDeleteතෙල් නිශ්පාදනය කරන්නන් තෙල් මිලදී ගන්නැයි ඉල්ලමින් මිලදී ගන්නන්ට මුදල් ගෙවීම බොරතෙල් බැරලයක මිල රින අගයකට පත්වීම යන්නෙන් අදහස් කෙරේ.
බලන්න මෙ පුවතේ සහ ඉහත පැහැදිලි කිරීම අතර මොන තරම් වෙනසක් තියෙනවද. ලන්කාදීප පුවත් පත ලැජ්ජා වෙන්න ඔනේ බොරු නිව්ස් දානවට.
ඕක මොකක්ද! අගහරු ලෝකෙන් ගඩොල් හම්බුනා කියලා කිව්වේ..
Deleteඉස්සර තමා ජන්මාධ්‍ය වගකීමක් ඇතුව වාර්තා කළේ.. දැන් ඔවුන් අඩුම ගානෙ අක්ෂර වින්‍යාසය ගැනවත් සැළකිලිමත් නෑ..අනික් දේවල් ගැන කුමන කතාද ?
ලංකාවෙ රට ඉක්මනින් විවෘත කල යුත්තේ ජන්දය පවත්වන්න විතරද කියන එක මේ දවස් වල සෑහෙන විවාදාත්මක මාතෘකාවක්.
ReplyDelete- ඊයේ වෙද්දී නිකුත් වෙච්ච වර්තාවක තිබ්බා ලංකාවේ බොහෝ කුඩා පරිමාණ ඇඟලුම් ආයතනවලට ඊළඟ මාසේ පඩි ගෙවාගන්නත් බැරි තත්වයක් තියෙන්නේ කියලා. විශාල පරිමාණ ආයතන තව මාස 2ක් අමාරුවෙන් ඇදගෙන යන්න පුළුවන් වෙයි කියලා තිබ්බා. මේ වෙද්දී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය නිසා සෘජු රැකියා ලක්ෂ 4ක් සහ වක්‍ර රැකියා ලක්ෂ 20ක් පමණ තිබුනත්, රටේ පවතින තත්වය සහ ලෝකය පුරාම ඇණවුම් නැවතීම තුලින් ඉදිරි මාස කිහිපය තුල අති විශාල රැකියා ප්‍රමාණයක් අහිමි වීමත්, රටට එන විදේශ විනිමය නැති වීමත් වැළක්විය නොහැකි වෙනවා (පහළ අංක 1). ඇඟලුම් විතරක් නෙමෙයි. අනික් හැම අංශයක්ම මේ දේ බලාපොරොත්තුවෙන් ඉන්න වෙනවා.
- එක්සත් ජාතීන්ගේ කම්කරු වාර්තා අනුව මේ වනවිට ලොව පුර මිලියන 200කට ආසන්න රැකියා ප්‍රමාණයක් COVID-19 නිසා අහිමි වෙලා. ලෝකයම දණ ගැස්සිලා [ පහළ 2].
- වෙනදා ලෝකේ ප්‍රධාන යුද්ධ බොහොමයකට හේතුව තෙල්. මේ වෙද්දී ලෝකයේ නිපදවන තෙල් ගබඩා කරගන්න ඉඩ මදි වෙලා. ඒ තරමටම තෙල් භාවිතය නැවතිලා [පහළ 3]. මුළු ලෝකෙම යන්ත්‍ර සූත්‍ර නැවතිලා. වාහන, නැව්, ගුවන් යානා නැවතිලා. ඇත්තටම තෙල් වලට මරාගත්තට ඉල්ලුමක් නැති තැන නිෂ්පාදනයේ ඇති වටිනාකමක් නෑ කියන එකට හොඳම උදාහරණයක් මේ. මුළු ලෝකෙම නැවතිලා.
- ඊයේ වෙද්දී ලෝක ඉතිහාසයේ පලවෙනි වතාවට බොර තෙල් මිල ඍණ අගයක් වාර්තා කරනවා (ඇමරිකානු ඩොලර් ඍණ 38කට ආසන්නයි) [ පහළ 4]. වෙන විදියකට කිව්වොත්, ගණිතයට අනුව දැන් බොර තෙල් බැරලයක් මිලදී ගන්නවානම් බොර තෙල් බැරලය නොමිලේම ලබාදී අතටත් ඩොලර් 38ක් දෙනවා (අංක වලට අනුව එසේ වුණත් ඇත්ත ලෝකයේ එසේ සිදු නොවෙයි). තෙල් ඇතුළු බොහෝ වෙළඳ භාණ්ඩවල මිල කඩාගෙන වැටිලා (එහෙනම් ඉතින් දැන් නිකන් තෙල් දෙන්න කියලා කියන්නේ නැතුව ආර්ථිකය මේ වගේ ලෝක අර්බුධයකදී හැසිරෙන ආකාරයත් තේරුම් ගන්න ඕනේ).
- ලෝක ප්‍රසිද්ධ Virgin ආයතන සමුහය බංකොලොත් තත්ත්වයට පත්වීම වලක්වා ගැනීමට එහි නිර්මාතෘ (සර්) රිචඩ් බ්‍රෑන්සන් තමන් ජීවත්වන පෞද්ගලික දූපත ඇපයට තබා පවුම් මිලියන 500ක සහනයක් ලබාගැනීමට ඉල්ලීම් කර තිබුණත් බ්‍රිතාන්‍ය රජය එය ප්‍රතික්ෂේප කර තිබුණා. මේ අතර ඕස්ට්‍රේලියාවේ දෙවෙනි විශාලතම ගුවන් සේවය වන Virgin Australia ගුවන් සේවය ඊයේ දිනයේ voluntary administration තත්ත්වය ප්‍රකාශයට පත් කරනවා [5]. සරලව කිව්වොත් ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් මට්ටම පත් වීම වැනි තත්වයක් (සහ ඊට සමගාමී ක්‍රියාවලියක්). ඒ වගේම නොර්වේ ගුවන් සමාගමේ උප සමාගම් 4ක් බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කරනවා [6]. ලෝකය පුරාම ගුවන් ගමන් නැවතිලා, ඒ සියලු ගුවන් සේවා අකර්මන්‍ය වෙලා. ඒ ආශ්‍රිත රැකියා අහිමි වෙලා. ඉස්සරහට තව සෑහෙන ඔය වගේ ප්‍රවෘත්ති අහන්න වෙයි.
- මේ ඔක්කොම අස්සේ චීනයේ අලිබාබා සමුහය තමන්ගේ Alibaba Cloud (අන්තර්ජාල ගබඩා සහ සේවා පහසුකම්) සඳහා ඩොලර් බිලියන 28ක් ආයෝජනය කරනවා ඉදිරි අවුරුදු 3 සඳහා (ලංකාවේ සමස්ථ දල දේශීය නිෂ්පදිතයෙන් තුනෙන් එකක් වගේ ප්‍රමාණයක්) [7]. ලෝකයේ ප්‍රධාන Cloud Services ආයතන 3 වන Amazon, Microsoft සහ Google යන ඇමරිකානු සමාගම් 3ට අභියෝග කරන්න Ailbaba ඉදිරිපත් වන්නේ කොරෝනා කියන්නේ නිකන්ම නිකන් වෛරසයක් නෙමෙයි කියලා තහවුරු කරමින්. Alibaba ගේ අරමුණ ඉදිරි වසර 4 ඇතුලත දැන් අංක 1 ඉන්න Amazon ගේ තැන ලබා ගැනීම. අනාගතයේ ලෝකය පාලනය වන්නේ ඩිජිටල් දත්ත මත. දැන් ඇමරිකාව අතේ තියෙන ඔබේ දත්ත වල අයිතිය චීනයට ලබාගැනීමේ විශාල පිම්ම තමයි මේ කියලා බැලූ බැල්මටම තේරෙන්නවා.
- cont'd
Cont'd...
Deleteලංකාව පැත්තෙන් ගත්තොත්, 2014දි ආසියාවේ දෙවෙනි වේගවත්ම ආර්ථිකයේ ඉඳලා 2019 වෙද්දි ඇෆ්ගනිස්තනයටත් පල්ලහට වැටුණු ලංකාව ඔලුව උස්සන්න පටන් ගත්තා විතරයි. මුළු ලෝකෙම ඔය මට්ටමින් කඩාගෙන වැටෙද්දී, වෙනස් වෙද්දී, ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්, ධනවතුන්, මධ්‍යම පන්තිකයන් වගේම, එදිනෙදා වේල පිරිමහගන්න පාර අතුගාන, ලොතරැයි විකුණන මනුස්සයා දක්වාම එල්ල වෙන බලපෑම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කොහොම වුනත් ලංකාවේ රජය ඇඳිරිනීතිය කාලයේ වුනත් ගොවිතැන් කටයුතු, වගා කටයුතු කරගෙන යන්න කියලා උපදෙස් දීලා තියෙන එක වටිනවා. රටට ඕනේ කෑම ටිකවත් අඩු ගානේ රටේ හදාගෙන එලියට යන සල්ලි ටික ඉතුරු කරගන්නම ඕනේ. මොකද ඊළඟ මාස කිහිපය තුල එන්නේ රැකියා අහිමිවීම් සහ ලෝකයම අකර්මන්‍ය වීම නිසා එයින් බලපෑම් එල්ල වන කාලයයි.
ඕනෑම රටක් වහලා තියෙන කාලය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ රටේ ආර්ථිකයට සදාකාලිකව එල්ලවන බලපෑම වැඩි කියන එක ලෝකය පුරාම වාර්තා ගණනාවක්ම දත්ත, කරුණු එක්ක පෙනවලා තිබ්බා, උඩ තියෙන කරුණු වලට අමතරව (කියවලා බලන්න links දාලා තියෙනවා).
ඒ නිසා රට ඉක්මනින් විවෘත කරන්න ඕනේ කිව්වම ජන්දයක් ගැන විතරක් හිතලා බය වෙලා කලබල වෙනවට වඩා, කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව රටේ ආර්ථිකයට එල්ල වෙන බලපෑම ගැනත් හිතලා බලන්න ඕනේ. ඉබේ හැදුනත්, කවුරුහරි හැදුවත් COVID-19 කියන්නේ ආර්ථික යුද්ධයක් කියන එකනම් තේරුම් ගන්න මේ වෙද්දී එතරම් අමාරු නෑ . ඒ නිසා ඒ යුද්දේ දිනන්න නම්, වේගයෙන් කොරෝනා පාලනය කරලා පුළුවන් ඉක්මනට රට විවෘත කරන්න උත්සහ ගන්නම ඕනේ.
---
මූලාශ්‍ර
[1] https://economynext.com/sri-lanka-apparel-sector-faces-mass-unemployment-firms-run-out-of-cash-67249/
[2] https://www.theguardian.com/world/2020/apr/07/covid-19-expected-to-to-wipe-out-67-of-worlds-working-hours
[3] https://www.bloomberg.com/news/articles/2020-04-12/oil-traders-squeezed-as-crude-glut-fills-storage-at-mideast-hub
[4] https://www.nytimes.com/2020/04/21/upshot/negative-oil-price.html?
[5] https://www.abc.net.au/news/2020-04-21/virgin-australia-goes-into-voluntary-administration-coronavirus/12167814
[6] https://www.cnbc.com/2020/04/20/norwegian-says-4700-jobs-at-risk-after-unit-bankruptcies-contracts-axed.html
[7] https://techcrunch.com/2020/04/19/alibaba-cloud-will-invest-28-billion-more-into-its-infrastructure-over-the-next-three-years/
- Lasantha Jayawardana