වෙබ් ලිපිනය:

Saturday, April 11, 2020

ඊපීඑෆ් සල්ලි හා පෙට්ටියෙන් පිට විසඳුම්


සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන සල්ලි වලින් කොටසක් අයිතිකරුවන්ට නිදහස් කළ යුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් යෝජනා කර තිබෙනවා. මේ යෝජනාවට ආණ්ඩුව පැත්තෙන්ම විවේචන එල්ල වී තිබෙනවා.

පෙට්ටියෙන් පිට සිතීම හොඳයි. පෙට්ටිය ඇතුළේ හැම අහු මුල්ලකම හොයා බැලුවට පස්සේත් අවශ්‍ය විසඳුම හමු වී නැත්නම් පෙට්ටියෙන් පිට හොයා බැලීම හැර වෙන විකල්පයක් ඇත්තේත් නැහැ. නමුත්, මේ පෙට්ටියෙන් පිට සිතීම ඉතා සැලකිල්ලෙන් යුතුව කළ යුතු දෙයක්.

පෙට්ටියෙන් පිට විසඳුමක් පෙට්ටිය ඇතුළට ගන්න යෝජනා කරන කෙනෙක් මුලින්ම හොයා බැලිය යුතු දේවල් ගණනාවක් තිබෙනවා. පළමුව, මේ විසඳුම පෙට්ටිය ඇතුළේ නැතුව පෙට්ටියෙන් පිට තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් හොයා ගත යුතුයි.

බොහෝ විසඳුම් පෙට්ටියෙන් පිට තිබෙන්නේ ඒ විසඳුම් කාලයක් තිස්සේ පෙට්ටිය ඇතුළේ තිබී යම් අවස්ථාවකදී පෙට්ටියෙන් එළියට විසි කර ඇති නිසයි. කාලයක් තිස්සේ පෙට්ටිය ඇතුළේ තිබුණු විසඳුමක් එළියට විසි වන්නේ ඒ විසඳුම පෙට්ටිය ඇතුළේ තබා ගත යුතු තරම් වටිනා විසඳුමක් නොවන බව කාලය විසින් තහවුරු කර ඇති නිසයි. කලකට පෙර පෙට්ටියෙන් එළියට විසි කළ කුණු කෑල්ලක් නැවත පෙට්ටිය ඇතුළට ගැනීම අගය කළ යුතු පෙට්ටියෙන් පිට සිතීමක් වන්නේ නැහැ.

සම්ප්‍රදායික දැනුම කියා කියන්නේත් කාලයක් පෙට්ටිය ඇතුළේ තිබී එළියට විසි කළ දැනුම්. කලකට පෙර එළියට විසි වුනු දැනුමක් නැවත පෙට්ටිය ඇතුළට ගැනීම සලකා බැලිය යුතු අවස්ථා තියෙන්න පුළුවන්. එහෙත්, ඒ විදිහට නැවත එවැන්නක් ඇතුළට ගන්න පෙර එය එළියට විසි වුනු සන්දර්භය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. කලකට පෙර වැඩකට නැති සේ සලකා එළියට විසි කළ විසදුමක් දැන් නැවත ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? සමහර විට ඒ විසඳුම එළියට විසි කළ අවස්ථාවේ සිට මේ දක්වා කාලය තුළ ප්‍රශ්නයේ ස්වභාවය වෙනස් වී තියෙන්න පුළුවන්. ඒ නිසා, කලින් එළියට විසි කළ විසඳුම දැන් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒ කොහොමද කියා පැහැදිලිනම් මිස කලකදී එළියට විසි කළ විසදුමක් නැවත ඇතුළට ගත යුතු නැහැ.

සමහර විට එළියේ තිබෙන විසඳුම කවදාවත් පෙට්ටිය ඇතුළේ නොතිබුණු එකක් වෙන්න පුළුවන්. එහෙමනම් එය වහාම පෙට්ටිය ඇතුළට ගත යුතුද? මෙහිදී, පළමුව ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ මේ විසඳුම කවදාවත් පෙට්ටිය ඇතුළට නොපැමිණියේ ඇයි කියන එකයි. මීට කලින් කිසිම කෙනෙක් පෙට්ටියෙන් එළියට ඔලුව දැම්මේ නැද්ද? හොයා බැලුවොත් බොහෝ විට පෙනෙන්නේ මේ විසඳුම පෙට්ටිය ඇතුළට ගත යුතු තරම් වටිනා විසඳුමක් නොවන බව බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ දැන සිටි බවයි. ඒ වගේ නොවටිනා කුණු කෑල්ලක් පෙට්ටිය ඇතුළට ගැනීමත් අගය කළ යුතු පෙට්ටියෙන් පිට සිතීමක් වන්නේ නැහැ.

පෙට්ටියෙන් පිට විසඳුම් තියෙන්න පුළුවන්. එහෙත්, එවැනි විසඳුමක් හොයා ගැනීම හිතන තරම් පහසු නැහැ. පෙට්ටියෙන් පිට විසඳුම් ලෙස ඉදිරිපත් වන බොහෝ අදහස් එක්කෝ කලකට පෙර පෙට්ටියෙන් එළියට විසි වූ, නැවත පෙට්ටිය තුළට ගැනීමට තරම් නොවටිනා අදහස්. එහෙම නැත්නම්, කලක් පෙට්ටියෙන් පිට කාටත් පෙනෙන්න තිබුණු, එහෙත් පෙට්ටිය තුළට ගැනීමට තරම් නොවටිනා අදහස්.

ඇතැම් විට පෙට්ටියෙන් පිට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නේ පෙට්ටිය ඇතුළේම තිබෙන විසඳුමක්. ඒ විදිහට රෝදය නැවත නැවත හොයා ගන්නා අය පෙට්ටියෙන් පිට තබා පෙට්ටිය ඇතුළේ තිබෙන දේවල්වත් හරියට නොදන්නා අයයි.

පෙට්ටියෙන් පිට සිතීම හොඳයි. එහි විවාදයක් නැහැ. එහෙත්, පෙට්ටියෙන් පිට හිතන්න කලින් පෙට්ටිය ඇතුළේ ඇති දේවල් ගැන ප්‍රමාණවත් තරමින් හදාරා තිබිය යුතුයි. එසේ නැත්නම් වෙන්නේ නැවත නැවත රෝදය සොයා ගැනීමයි. එයත්, ප්‍රමාණවත් නැහැ. ඉතිහාසය පුරා පෙට්ටිය ඇතුළේ තිබුණු දේවල් ගැනත් හදාරා තිබිය යුතුයි. ඒ දැනුම නැතුව පෙට්ටියෙන් පිට විසඳුම් හොයන කෙනෙක් කරන්නේ රවුම් රෝද ගලවා හතරැස් රෝද හයි කරන එක වෙන්න පුළුවන්.

ඊපීඑෆ් සල්ලි නිදහස් කිරීම පෙට්ටියෙන් පිට විසඳුමක් වෙන්න පුළුවන්. අදහස පළ වෙද්දීම මතු වන විරෝධයෙන් පෙනෙන්නේ මේ විසඳුම පෙට්ටිය ඇතුළට ගත යුතු නැති විසඳුමක් බව බොහෝ දෙනෙක් හිතන බවයි. කෝවිඩ්-19 අභියෝගය හමුවේ බොහෝ රටවල් විසින් මෙතෙක් පෙට්ටිය ඇතුළට ගත යුතු නැති සේ සැලකුණු විසඳුම් පෙට්ටිය ඇතුළට අරගෙන තිබෙනවා. අජිත් නිවාඩ් කබ්රාල් එවැනි විසඳුමක් ගැන හිතන කොට ඊපීඑෆ් සල්ලි මතක් වෙන්න ඇති. අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර ලංකාවේ කොටස් වෙළඳපොළ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහාත් ඊපීඑෆ් සල්ලි යොදාගත යුතුය යන අදහසේ සිටි කෙනෙක්.

අජිත් නිවාඩ් කබ්රාල්ගේ අදහස කිසි කෙනෙකුට හිතා ගන්නවත් බැරි විශ්මිත අදහසක් නෙමෙයි. එහෙත්, මෙවැනි අදහසක් ඔහු වැනි කෙනෙක් හරහා ඉදිරිපත් වූ විට එහි විශේෂත්වයක් තිබෙනවා. ඔහු අදහස් ඉදිරිපත් කිරීමෙන් නොනැවතී ඒ අදහස් ඉදිරියට ගෙන ගොස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට මුළු වැර දරන අයෙක්. ඔහුට ඊට අවශ්‍ය නායකත්ව හැකියාවන් හා සම්බන්ධකම් තිබෙනවා.

මගේ අදහස අනුව මෙය පවතින තත්ත්වය යටතේ පෙට්ටිය ඇතුළට ගත්තාට කමක් නැති අදහසක්. මෙය කෙසේවත් පෙට්ටිය ඇතුළට ගත යුතු නැති කුණු කෑල්ලක් කියා මම හිතන්නේ නැහැ. එහෙත්, මේ වැඩෙන් කොපමණ යහපතක් වේද යන්න ස්ථිරව කිව නොහැකියි.

කබ්රාල් යෝජනා කරන්නේ ඊපීඑෆ් සල්ලි ඒ සල්ලි වල අයිතිකරුවන්ට නිදහස් කළ යුතු බවයි. කොහොමටත් මේ සල්ලි යම් අවස්ථාවක මේ අයටම ලැබෙනවා. නමුත්, ඒ සඳහා නිශ්චිත කොන්දේසි ගණනාවකින් එකක් සම්පූර්ණ විය යුතුයි. මේ යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, ඒ කොන්දේසි සම්පූර්ණ නොකර තමන්ගේ අරමුදල් නිදහස් කර ගත හැකි වෙනවා.

මෙහිදී කබ්රාල්ගේ යෝජනාව වන්නේ අරමුදල් වලින් නිශ්චිත ප්‍රතිශතයක් (කියන විදිහට 20%ක්) සියලුම අරමුදල් අයිතිකරුවන්ට වහාම නිදහස් කිරීමද එසේ නැත්නම් එසේ නිදහස් කර ගැනීමේ විකල්පය ඔවුන්ට ලබා දීමද කියන එක පැහැදිලි නැහැ. එය දෙවැන්නනම්, අරමුදල් අයිතිකරුවන්ගේ පැත්තෙන් බැලු විට මෙහි වැරැද්දක් නැහැ. අරමුදල් හිමිකරුවන් කියා කියන්නේ තමන් වෙනුවෙන් තීරණ ගත හැකි වැඩිහිටියන්. මේ වැඩෙන් වෙන්නේ ඔවුන්ට දැනට ඔවුන් සතුව නැති විකල්පයක් ලැබෙන එකයි. අවශ්‍ය නැත්නම් අරමුදල් එසේම තියෙන්න අරින්න පුළුවන්.

එහෙත්, යෝජනාව පළමු එකනම් මෙහි ඇතැම් අයට අවාසියක් තිබෙනවා. ඇතැම් අරමුදල් හිමිකරුවන්ට මේ අරමුදල් නිදහස් කරගෙන කළ හැකි වඩා හොඳ දෙයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා, යෝජනාව වන්නේ සියලු දෙනාගේම අරමුදල් වලින් 20%ක් නිදහස් කිරීමනම් එය හොඳ දෙයක් කියා කියන්න බැහැ.

ලංකාවේ සංස්කෘතික සන්දර්භය ඇතුළේ පළමු විකල්පයේම වුවත් ප්‍රශ්න තිබෙනවා. ලංකාවේ ගොඩක් අය මේ අරමුදල් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය, දරුවන්ගේ විවාහ උත්සව ආදිය වෙනුවෙන් යොදවනවා. මේ විකල්පය ලැබුණු විට ඇතැම් වැඩිහිටියන්ට ඔවුන්ගේ දරුවන්ගෙන් යම් පීඩනයක් එන්න පුළුවන්. කොහොම වුනත්, ඒවා අරමුදල් අයිතිකරුවන්ගේ පෞද්ගලික ප්‍රශ්න.

කබ්රාල් යෝජනාව ඉදිරිපත් කරන්නේ තනි පුද්ගලයින්ගේ පැත්තෙන් බලා නෙමෙයි. රටේ ආර්ථික වර්ධනය පැත්තෙන් බලලා. ඒ වගේම, මම හිතන විදිහට මේ කතා කරන්නේ කෝවිඩ්-19 අස්සේ කරන දෙයක් ගැන නෙමෙයි. කෝවිඩ්-19 ප්‍රශ්නයෙන් සම්පූර්ණයෙන් මිදෙන තුරු කොහොමටත් මේ වැඩෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එයින් පසුව රටේ ආර්ථිකය ගොඩ ගන්න මේ වැඩෙන් වැඩක් වෙයිද?

මේ ප්‍රශ්නයට සරල පිළිතුරක් දෙන්න බැහැ. එය තීරණය වෙන්නේ නිදහස් කෙරෙන අරමුදල් වියදම් කෙරෙන ආකාරය මතයි. අප දන්නා පරිදි මේ අරමුදල් අයිතිකරුවන් පෞද්ගලික අංශයේ රැකියා කරන අයයි. ඒ අය මේ සල්ලි මොන විදිහට වියදම් කරයිද?

රටේ ආර්ථික වර්ධනයක් ඇති වෙන්නනම් රට ඇතුලෙ මුදල් සංසරණය ඉහළ ගිහින් මේ මුදල් අයිතිකරුවන් හැර තවත් පිරිසකගේ ආදායම් ඉහළ යා යුතුයි. නිදහස් කර ගත් මුදල් යොදවා දරුවෙකු උසස් අධ්‍යාපනය සඳහා පිට රට යැවුවොත් හෝ වාහනයක් මිල දී ගත්තොත් එවැන්නක් වෙන්නේ නැහැ. අරමුදල් රටින් පිටතට ඇදී ගිහින් ගෙවුම් ශේෂය මත පීඩනය වැඩි වීම පමණයි වෙන්නේ. නමුත්, මෙවැන්නක් වෙන්න ඉඩ තියෙන්නේ අරමුදල් හිමියන්ගෙන් ටික දෙනෙකු හා අදාළව පමණයි. බොහෝ දෙනෙකුට එපමණ ලොකු අරමුදල් නැහැ.

සාපේක්ෂව අඩු ආදායම්ලාභීන් බොහෝ විට මේ අරමුදල් යොදවන්න ඉඩ තිබෙන්නේ තමන්ගේ නිවාස වැඩි දියුණු කර ගැනීමට හා විවාහ උත්සව සඳහායි. ඇතැම් අය පොඩි වාහනයක් හෝ ඉඩමක් මිල දී ගැනීම ගැනත් හිතන්න පුළුවන්. මේ වගේ වියදම් නිසා රට ඇතුළේ යම් තරමකින් මුදල් සංසරණයක් හා රැකියා ජනනයක් සිදු වෙනවා. කිසියම් ප්‍රමාණයකින් ආනයන ඉහළ යා හැකි වුවත් අරමුදල් වලින් වැඩි කොටසක් රට ඇතුළේ සංසරණය විය හැකියි. ඒ නිසා, මෙයින් ආර්ථික වර්ධනයට කිසියම් තල්ලුවන් ලැබෙයි.

අනෙක් අතට ලංකාවේ පහළ ආදායම් ස්ථර වල සිටින බොහෝ දෙනෙක් දැනටමත් ණයකරුවන්. මේ අරමුදල් වලින් ඔවුන් තමන් දැනටමත් අරගෙන තිබෙන ණය වලින් කොටසක් ගෙවා දමන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත්, ආර්ථික වර්ධනයක් හෝ රැකියා ජනනයක් සෘජුවම වෙන්නේ නැහැ. නමුත්, වක්‍රව එවැන්නක් සිදු වෙනවා.

උදාහරණයක් විදිහට මේ වෙලාවේ පෞද්ගලික අංශයේ රැකියා කරන ගොඩක් අයගේ ආදායම් අඩු වී හෝ අහිමි වී තිබෙන නිසා ණය පැහැර හැරීම් වැඩි වෙන්න ඉඩ තිබෙනවා. එය බැංකු, කල්බදු, රක්ෂණ වගේ ක්ෂේත්‍ර වලට බලපානවා. එම සමාගම් කඩා වැටුණොත් තවත් රැකියා අහිමි වී ආර්ථික වර්ධනයට සෘණාත්මක බලපෑමක් ඇති වෙනවා. මේ වගේ වැඩකින් ඒ අහිතකර බලපෑම් යම් ප්‍රමාණයකින් සමනය වෙන්න පුළුවන්.

මගේ අදහස අනුව, කබ්රාල්ගේ යෝජනාව පෙට්ටිය ඇතුළට නොගෙනම බැහැර කළ යුතු නරක යෝජනාවක් නෙමෙයි. එහෙත්, යෝජනාව ක්‍රියාත්මක කිරීමේ සංකීර්ණ ප්‍රතිඵල පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු නොකර එකවර ක්‍රියාත්මක කළ යුතු එකකුත් නෙමෙයි.

(Image: https://www.hcwbenefits.com/why-reinvent-the-wheel-improve-it/)

7 comments:

  1. මහත්තයා පෙට්ටි වෙළෙන්දෙක්ද? පෙට්ටි කීයක්‌ පැටෙව්වද? කොරෝනා හැදිලා මහත්තයටත් පෙට්ටියේ යන්න ආසද? මේ පොස්ට් එකේ 48 පාරක් පෙට්ටි කියලා ලියලා තියෙනවා. ඒකයි ඇහුවේ.

    ReplyDelete
  2. ගිලෙන බව දැනදැනම
    ග්‍රීසිය අගාධයේ
    අර්ථ සාධක අරමුදල්
    අපේ
    ආයෝජනය කොට
    ග්‍රීසියේ

    චෝගම් ක්‍රීඩා උළෙල
    දිනාගන්නට තරඟ වැද
    කෝටි ගනන් ගිල දමා
    නාමල් හා බාල් නැටූ
    කබ්රාල් ද මේ ගොයියා!

    ReplyDelete
  3. මේ අදහසේ හොඳ-නරක කියන්න තරම් දැනුමක් නැතත් , මේ වෙලාවේ මකුළු දැලේත් එල්ලෙන්නයි වෙලා තියෙන්නේ. සමහරවිට හොරෙකුගේ නුවණ වුණත් වැදගත් වෙන්න පුළුවනි. කොහෙද? අපේ රටේ නුවනක්කාරයෝ වැඩි දෙනෙක්ම කම්බ හොරු, නැතිනම් අමුම අවස්තාවාදියෝ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. ඇත්තටම ඉතින් කොවිඩ් 19 වෛරස් උවදුරු මර්දනයේදී රජයේ හා විපක්ෂයේ කාර්‍යභාරය මෙහෙම නේද?

      �� රජය - වූහාන් නගරයේ සිර වී සිටි 33 දෙනෙක් ලංකාවට ගෙන එයි.

      �� විපක්ෂය - මෝඩ වැඩක්. වෛරසය ලංකාවට ගෙනාවා. විමල්ගේ පුතා ඉන්න නිසානේ වෙනම ප්ලේන් යැවුවේ (විමල්ගේ පුතා හිටියෙත් නැ. වෛරසය ලංකාවට ආවෙත්නෑ)

      �� රජය - පළවෙනි රෝගියා වාර්තා වෙනකොට දරුවන් අතර රෝග ව්‍යාප්තිය පාලනය කරන්න පාසල් නිවාඩු දෙනවා.

      �� විපක්ෂය - පාසල් නිවාඩු දුන්නේ ගුරු වර්ජනයට බයේ හූ හූ හූ (දරුවන් අතර රෝගය පැතිරුනා නම් මුං ඒකත් සටන් පාඨයක් කොට පාසල් නිවාඩු දුන්නේ නෑ කියා හූ කියයි)

      �� රජය - පළවෙනි රෝගියා වාර්තා වෙන්නත් කලින් සෞඛ්‍ය අංශ උපදෙස් අනුව එක් එක් රටවලින් එන පුද්ගලයන් නිරෝධායනය කරන්න පටන් ගන්නවා.

      �� විපක්ෂය - නිරෝධායනය කරන්නත් සල්ලි ගන්නවා හූ හූ හූ ... ඕවා නිරෝධායන මධ්‍යස්ථානද ඒකට අහවල් රටේ එව්වා හූ හූ හූ (සල්ලි ගත්තෙත් නෑ. නිරෝධායනය මධ්‍යස්ථානවලින් රෝගය පැතිරුනෙන් නෑ)

      �� රජය - හැකිතාක් මිනිසුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ තබාගෙන රට අඛණ්ඩව පවත්වාගෙන යාමට උත්සාහ කරයි.

      �� විපක්ෂය - නාමයෝජනා ගන්න ඔය රට ඇරන් ඉන්නේ හූ හූ හූ

      �� රජය - අත්‍යාවශ්‍ය සේවා හැර රාජ්‍ය අංශයට නිවාඩු දෙයි.

      �� විපක්ෂය - රටම ලොක්ඩවුන් කරන්න රටම ලොක්ඩවුන් කරන්න

      �� රජය - ගුවන් තොටුපළ දින දෙකකින් වැසීමට රජය තීරණය කරයි.

      �� විපක්ෂය - ඔය ලොකු ලොකු එකාලගේ උන් ගෙන්නගන්නකල් ඇරලා තිබ්බේ ( හැබැයි ආවේ රටේ ජනතාව. ඔවුන් නිරෝධායනය කලා. එයාර්පෝට් එකක් විනාඩියකින් වැසිය නොහකිය)

      �� රජය - ඇඳිරිනීතිය පනවයි.

      �� විපක්ෂය - ඇඳිරිනීතිය වැඩක් නෑ රටම ලොක්ඩවුන් කරන්න ලොක්ඩවුන් කරන්න

      �� රජය - අත්‍යාවශ්‍ය සේවා උපරිමයෙන් ක්‍රියාත්මක කරයි

      �� විපක්ෂය - මිනිස්සුන්ට කන්න නෑ. බෙහෙත් නෑ. (හෑ.. එතකොට ලොක්ඩවුන් කලානම් ?)

      �� රජය - නිරෝධායන මධ්‍යස්ථානය හා රෝහල් පහසුකම් වැඩි කරයි.

      �� විපක්ෂය - ICU ඇඳන් නෑ. ලෙඩ්ඩු මැරෙනවා. අර රටේ මෙච්චර තියෙනවා අච්චර තියෙනවා

      �� රජය - ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඇඳිරිනීතිය වරින්වර ඉවත් කර ජනතාවට සෞඛ්‍යාරක්ෂිතව අවශ්‍යතා ඉටු කර ගන්නා ලෙස ඉල්ලයි.

      �� විපක්ෂය - මේකෙන් ලෙඩේ වැඩිවෙනවා. ලොක්ඩවුන් කරන්න කිව්වේ ඒකයි

      �� රජය - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා, හමුදාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් යටතේ කොරෝනා මර්ධන ජාතික ව්‍යපාරය සාර්ථකව මෙහෙයවයි.

      �� විපක්ෂය - පාර්ලිමේන්තුව රැස් කරන්න මේක ඒකාධිපති පාලනයක්.

      �� රජය - කොරෝනා මර්දන හා නිරෝධායන කටයුතු සදහා හමුදාව යොදා ගන්නවා.

      �� විපක්ෂය - රට මිලිටරිකරණය කරනවා බුදු අම්මෝ

      �� රජය - කොරෝනා මර්දනයට සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවයි.

      �� විපක්ෂය - ඔන්න කොරෝනාවෙන් ගරාගන්න හදන්නේ හොරා හොරා

      �� රජය - රටෙන් හතරෙන් එකකට සහනාධාර ලබා දෙයි

      �� විපක්ෂය - රජයට මුදල් වියදම් කිරීමේ බලයක් නෑ. අපි නඩු දානවා

      �� රජය - සෞඛ්‍ය අංශ හා එක්ව රෝගීන් සුවපත් කරයි.

      �� විපක්ෂය - ලෙඩ්ඩු මැරෙනවා. රජය කියන්නෑ අර බේත දෙන්නෑ. මේ බේත දෙන්නෑ

      �� රජය - සෞඛ්‍ය අංශවලට අවශ්‍ය දේ සැපයීමට වෙහෙසෙයි

      �� විපක්ෂය - සෞඛ්‍ය අංශවලට පහසුකම් නෑ. අපි වර්ජනය කරනවා

      �� රජය - ගොවි ජනතාවගේ අස්වැන්න විකුණා ගැනීමට මාර්ග සකසයි

      �� විපක්ෂය - ගොවියාගේ නිෂ්පාදන විකුණගන්න බෑ. හොද මුදලකට ගන්නේ නෑ.

      �� රජය - රෝගීන් හා සැකකරන රෝගීන් පරීක්ෂා කරයි

      �� විපක්ෂය - ටෙස්ට් කරන් නෑ. ඒකයි ලෙඩ්ඩු නැත්තේ.

      �� රජය - රජයේ වැඩපිළිවෙළ ගමට ගෙනයයි

      ��විපක්ෂය - මෙන්න දේශපාලනය කරනවෝ... අපිවත් සම්බන්ධ කරගන්න

      �� රජය - රටේ ජනතාව ගැන සිතා මෘත දේහ ආදාහනය කරයි

      �� විපක්ෂය- ජාතිවාදී වෙන්න එපා. ආගමික කණ්ඩායම් සහ WHO කියන දේ අහන්න

      �� රජය - සාර්ථකව රෝග ව්‍යාප්තිය පාලනය කරයි

      �� විපක්ෂය - ආණ්ඩුව ෆේල්. හෙටානිද්දා බලන්නකෝ ලෙඩ්ඩු වැඩි වෙන හැටි.

      �� රජය - අනාගතය ගැන සිතා ගෙවතු වගා සංග්‍රාමයක් ආරම්භ කරයි

      �� විපක්ෂය - ඕවා බොරු වැඩ. එළවළු ගොවියා ඕකෙන් අමාරුවේ වැටෙනවා

      �� රජය - රජය කොරෝනා මර්දන සටනේ යෙදී සිටි සැමට උපහාර කරයි

      �� විපක්ෂය - දැන් ඔක්කොම හරිද? හිහ් හිහ් හී

      �� රජය - අවශ්‍ය පරිදි ඇඳිරිනීතිය දීර්ඝ කරයි

      �� විපක්ෂය - ඇඳිරිනීතිය දාපු කාලේ වැඩී. රජයට සැලැස්මක් නෑ

      බ්ලා බ්ලා බ්ලා
      .....
      .....
      .....

      තව කොච්චර ලිව්වත් ඔච්චරයි. රජය කොරෝනා වසංගතයට එරෙහිව සාපේක්ෂ වශයෙන් ඉතා සාර්ථකව මුහුණ දෙද්දී විපක්ෂය බොර දියේ මාළු බෑමට උත්සාහ කරයි. රෝමය ගිණි ගත් වෙලාවේ නීරෝ වීණා වාදනය කලාක් මෙන් විපක්ෂය ස්වයං වින්දනයක් ලැබීමට උත්සාහ කරයි. මේ සටහන මා ලිව්වාට පිළි නොගන්න. රජයේ හා විපක්ෂයේ කාර්‍යභාරය හා භාවිතය ඔබම විමසා බලන්න.

      සාපේක්ෂව ක්‍රියාකාරී රජයක් හා මෙලොවින් මෙලෝ හසරක් නැති කුජීත අවස්ථාවාදී විපක්ෂයක්

      -රබුක-

      Delete
    2. @ රබුක,

      මේ තීරනය මගින් රට පූර්න වශයෙන් මිලිටරි පාලනයක් කරා ගමන් කරන බවක් අපිට පෙනෙනව... එය අපේ සිතීමේ නිදහසටත්, තීරන ගෑනීමේ නිදහසටත් ජීවත්වීමේ නිදහසටත් බරපතල තර්ජනයක්... පක්සයක් විදියටත් පුද්ගලයෙක් ලෙසටත් මගේ බලවත් විරෝධය මම මේ මිලිටරි ආණ්න්ඩුවට ප්‍රකශ කරනව... ඒ සදහා සියලුව වෑඩකරන ජනතාව එක්කර ගත් පොදු ජනතාවගේ මහා විරෝධතා ව්‍යාපාරයක් ආරම්බ කිරීමට අපි බලපොරොත්තු වෙනවා..... ඊලග ලයිව් එකේ කියන්න ඉන්නෙ.....

      Delete
  4. අද මට ඇමෙරිකාවේ වෙසෙන මාගේ මිතුරකුගෙන් ඇමතුමක් ලැබුණු අතර ඔහු පවසා සිටියේ එහි අධ්‍යාපනය ලබන ඔහුගේ දුවට රෝගය වැලදී ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වුණ නමුත් ඇමරිකාවේ රෝහල් වලින් බාර නොගන්නා බවත්, හුස්ම ගැනීමේ අපහසුවක් ඇතිවුවහොත් පමණක් රෝහලට දන්නවන ලෙසට දැනුවත් කර ඇති බවත්ය. එබැවින් ඔවුන් ඉතාම අසරණ තත්වයකට පත්ව ඇති නිසා ඔහු මගෙන් ඉල්ලා සිටියේ එම රටින් සපයාගත හැකි අමුද්‍රව්‍ය යොදාගෙන කළහැකි ආයුර්වේද ප්‍රතිකාරයක් වේනම් ඒ පිළිබද දැනුවත් කරන ලෙසයි. මා වෛද්‍ය වරයෙකු නොවන අතර ඒ පිළිබද විශේෂ දැනුමක් ඇති ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභවේ ඔසු පිළිබද විශේෂ දැනුමක් ඇති වෛද්‍ය වරයෙකුගෙන් උපදෙස් ලබාගන්නා ලෙස දැනුම් දුන්නා. ඔහු පැය 24ම දුරකතනය හරහා වෙනත් රටවල අසරණව සිටින ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවලින් සොයාගත හැකි අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ප්‍රතිකාර කිරීමට උපදෙස් ලාබාදීමට සුදානම් අතිශය මානුෂිය, මාගේ අතිජාත මිත්‍රයෙකි. ඔබටත් යම් උපදෙසක් අවශ්‍ය නම් ඔහුගේ දුරකථන අංකයට කතාකර උපදෙස් ලබාගන්න. එමෙන්ම කොරෝනා උවදුර මැඩලීමට පත්කළ දේශීය වෛද්‍ය ක්‍රම පිලිබද ජාතික කමිටුව විසින් නිර්දේශිත ප්‍රතිශක්ති ජනක පානය පිළිබද තොරතුරු ද අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකියි. ඒ පිලිබද තොරතුරු ලබාගැනීම සදහා වෛද්‍ය කීර්ති මහතා අමතන්න.

    Contact: DR. KEERTHI - 0094 773 844 567

    ReplyDelete
  5. Meanwhile in SL, I am getting vegetables and other essential items very..very reasonable price during this curfew period. Normally, during this festival period, the price skyrocketed. Officers mafia, traders mafia, and brokers mafia need to be addressed effectively once this finished I think....

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: