වෙබ් ලිපිනය:

Sunday, May 31, 2020

කොරෝනා අමතක කර අභ්‍යාවකාශගත වෙමු!


ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා අභ්‍යාවකාශගාමීන් දෙදෙනකු ප්‍රවාහනය කරමින් ස්පේස්-එක්ස් සමාගමේ කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය ඊයේ (මැයි 30) ඇමරිකානු නැගෙනහිර කලාපයේ වේලාවෙන් පස්වරු 3:22ට හෙවත් ලංකාවේ වේලාවෙන් මැයි 31 දින අළුයම 12:52ට ෆ්ලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථක ලෙස ගුවන්ගත කෙරුණා. මේ අවස්ථාව පෞද්ගලික සමාගමක් මුල් වී මිනිසුන් අභ්‍යාවකාශය වෙත ප්‍රවාහනය කරන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වෙනවා.

කෲ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානයේ මේ පළමු පරීක්ෂණාත්මක ගමනට නාසා අභ්‍යාවකාශගාමීන් වන රොබර්ට් බැන්කන් හා ඩග්ලස් හර්ලි සහභාගී වුනා. යානය ගුවන්ගත කිරීම සඳහා මුලින්ම සැලසුම් කර තිබුණු දිනය මැයි 27 වුවත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවසන් මොහොතේදී එම කටයුත්ත දින හතරකින් කල් දැම්මා.

මෙතෙක් අභ්‍යාවකාශ තරණය රජයයන් මුල් වී සිදු කළ කටයුත්තක්. ආරම්භයේදී මේ කටයුත්තේදී මුල් තැන සිටියේ සෝවියට් දේශයයි. රටේ ආදායම මිනිසුන් අතර බෙදා හැරීමේ ඒකාධිකාරය රජය වෙත තබා ගෙන සිටි සෝවියට් දේශය වැනි සමාජවාදී රට වලට රජයේ ප්‍රමුඛතා වෙනුවෙන් බාධාවකින් තොරව සම්පත් යොමු කිරීමේ හැකියාව තිබුණු නිසා අභ්‍යාවකාශ තරණය වැනි කටයුතු වලදී අනෙක් රටවලට වඩා ඉදිරියෙන් සිටීමට හැකි වුනා.

ඇමරිකාව මුලින්ම අභ්‍යාවකාශ තරණයට අවතීර්ණ වුනේ සෝවියට් දේශයට දෙවැනි විය නොහැකි නිසයි. සෝවියට් දේශය විසින් පළමු වරට අභ්‍යාවකාශයට මිනිසෙකු යැවීමෙන් පසුව ඇමරිකානුවන්ගේ ජාතිකාභිමානයට සෑහෙන්න රිදුනා. ඒ නිසා, ඇමරිකාවේ ෆෙඩරල් රජයටත් බදු මුදල් යොදවා අභ්‍යාවකාශ තරණය වෙනුවෙන් ආයෝජනය කරන්න ඉඩ සැලසුණා. ඇමරිකාව සෝවියට් දේශය පරදවා අභ්‍යාවකාශ තරණය තුළද ඉදිරියට ගොස් පළමු වරට මිනිසෙකු හඳ වෙත යැවුවා.

මුලින්ම සෝවියට් දේශය අභ්‍යාවකාශ තරණ තරඟයෙන් ඉවත් වීමත්, පසුව සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ අභ්‍යාවකාශ තරණය සඳහා වූ ඇමරිකානු උනන්දුව දියාරු වී ගියා. කෙසේ වුවත්, සෝවියට් දේශය අභ්‍යාවකාශ තරණ තරඟයෙන් මිස අභ්‍යාවකාශ තරණයෙන් ඉවත් වුනේ නැහැ. සෝවියට් දේශය වගේම පසුව රුසියාවත් දිගටම අභ්‍යාවකාශ තරණයෙහි යෙදී සිටියා. පසුකාලීනව අභ්‍යාවකාශ තරණයේදී රටවල් අතර තරඟයක් වෙනුවට සහයෝගීතාවයක් ගොඩ නැගුනා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් එහි ප්‍රතිඵලයක්.


අභ්‍යාවකාශ තරණය බදු මුදල් නාස්ති කළ ප්‍රදර්ශනාත්මක කටයුත්තක් මිස ආර්ථික වශයෙන් ඵලදායී ලාබ ගෙනදුන් කටයුත්තක් වුනේ නැහැ. අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත් වියදම් අධික යානා එක ගමනකින් පසුව නැවත නැවත අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත නොහැකි වීම මෙය ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තක් ලෙස වැඩි දියුණු වීමට තිබුණු විශාලම බාධාවක්.

සඳ තරණයෙන් වසර පණහකට පසුව දැන් නැවත උදා වෙමින් තිබෙන්නේ අභ්‍යාවකාශ තරණයේ නව යුගයක්. ස්පේස්-එක්ස් සමාගම ඇතුළු පෞද්ගලික සමාගම් විසින් පෞද්ගලික ධනය ආයෝජනය කර අත් හදා බලමින් සිටින්නේ නැවත නැවත අභ්‍යාවකාශ ගමන් සඳහා යොදාගත හැකි අභ්‍යාවකාශ යානා නිසා එක් ගමනක් සඳහා වන පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. ඒ අනුව, මුදල් ගෙවන්නට සූදානම් ඕනෑම කෙනෙකුට අභ්‍යවකාශගත වීමේ අවස්ථාව සලසා දෙමින් අභ්‍යාවකාශ සංචාරක කර්මාන්තය කර්මාන්තයක් ලෙස සංවර්ධනය වීමට වැඩි දවසක් යන එකක් නැහැ.

පැය දහ නවයක ගමනකින් පසුව තව මිනිත්තු කිහිපයකින් කෲ ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානයේ අභ්‍යාවකාශගාමීන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කරා ළඟා වන අවස්ථාව පහත සබැඳියෙන් සජීවී ලෙස නැරඹිය හැකියි.

https://www.nasa.gov/nasalive

5 comments:

  1. නාසා ආයතනය යනු ඇමරිකාවේ අභ්‍යාවකාශ ඒජන්සිය මිසක් ලෝකයට පොදු අභ්‍යාවකාශ ඒජන්සියක් නොවේ. එම නිසා ඇමරිකානු ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නාසා ආයතනය වග කියන්නේ ඇමරිකන් ජනතාවට සහ එම ආණ්ඩුවට පමණයි.

    ඒ අනුව ඔවුන් සිය මෙහෙයුම් දියත් කරන්නේ ස්වකිය ජනතාවගේ බදු මුදලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගත හැකි දෙයකට මිසක් ලෝකයේ අනෙකුත් රට වලට සහ එම රටවල ජනතාවට ඕනා එපා හැටියට නොවේ. නාසා ආයතනය නැවත හඳ මතට මිනිසුන් නොයවන්නේ එම කාරණය නිසයි. මන්ද සඳ මතට මිනිසුන් සහිත යානා කිහිපවරක්ම යවා ඇති නිසා, නැවත වරක් ඇමරිකන් ජනතාවගේ බදු මුදල් විශාල ලෙස වැය කරමින් හද ගමනක් සංවිධානය කරනවට වඩා, තරණය කර නොමැති ක්ෂේත්‍ර ඔස්සේ මෙහෙයුම් දියත් කිරීම ඔවුන්ට වැදගත් වනවා.

    කෙසේවෙතත් නාසා ආයතනය ආරම්භයේ සිටම ඔවුන් අභ්‍යාවකාශ මෙහෙයුම් වලදී ගන්නා ජයාරූප, වීඩියෝ ආදිය කිසිදු බුද්ධිමය හිමිකාරීත්වයක් නොමැතිවම බෙදා හරිනවා. ඒ අනුව ලෝකයේ ඕනෑම රටක සිටිනා අයෙක්ට එම ජයාරූප, වීඩියෝ තමන්ට ඕනා ආකාරයකට භාවිතා කල හැකියි. නාසා ආයතනය මෙසේ ඔවුන්ගේ ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දුන්නත් ජපානය, රුසියාව වගේ රට වල අභ්‍යාවකාශ ඒජන්සි ඔවුන් ගන්නා ජයාරූප, වීඩියෝ නොමිලේ ලබා දෙන්නේ නැහැ.

    ReplyDelete
  2. අපගේ මුතුන්මිත්තන් කිසිදා පය නොතැබූ ස්ථාන කරා මෙම වීරයන් ලගාවන්නේ ස්වකිය ජීවිතය පරදුවට තබමිනි. ඒ මුළුමහත් මනුෂ්‍යවර්ගයාගේ අනාගතය වෙනුවෙනි..

    ReplyDelete
  3. අභ්‍යවකාශ ගතවෙලා මදි
    හොයමු පිටසක්වලක්
    තම්බිට තම්බිගෙ නීතිය නැති
    තොණ්ඩට තොණ්ඩගෙ නීතිය ඇති
    දිවයිනක් වෙනුවට
    එක රටක් එක නීතියක් ඇති
    නිවහල් දේශයක්

    ReplyDelete
    Replies
    1. මිතුර, ඇතැම් විට ඔබ Netfilx එකේ ගිය American telivision series එකක් වූ Lost in Space බැලුවා නම් පිටසක්වල ගමන සඳහා මිනිසාව යොමු කරවන සාධක අතරට තම්බිද, දෙමලද, නීග්‍රෝ ද, හිස්පැනික්ද..සිංහලද කියන එක නොවෙයි වැදගත් කියලා තේරුම් ගන්න තිබුනා.

      පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක් ඇතුලේ ජාතිය හෝ ආගම, හමේ පාට හෝ කෙස්වල හැඩය නොවෙයිිි වැදගත් වන්නේ.

      මාක්ස් කිව්ව විධියට මිවිසාගේ ඇත්ත අරගලය තියෙන්නේ තවත් මිනිසෙක් එක්ක නොවෙයි; සෙබා දහම එක්කයි. එයත්, සොබා දහම යටපත් කර ගැනීමට නොවෙයි; එය සමඟ සහජීවනයෙන් බැඳෙන්නේ කොහොමද කියන එකයි.
      ආරම්භයක් ලෙස එංගල්ස්ගේ Dialects of Nature සහ එහිම දිගුවක් වන The Dialectics of Nature and Marxist Ecology (Springer) බලන්න.

      මානව ශිෂ්ඨාචාරයේ ගතිකත්වය නවත්වන්න ධනවාදයටත් බැහැ, තනි රටේ සමාජවාදයටත් බැහැ.
      CP-C

      Delete
  4. කෝ බං මේ ඉකොනෝ..දැන් දවස් දෙකකට වැඩියි. ආගිය අතක් නැහැ. දවසට post 2/3 දාපු මනුස්සයා දැන් අතුරුදහන්ව පැය 36 වැඩියි!

    1. අන්තිම පෝස්ටුවට අනුව ISS එකට ගියාද?

    2. Minneapolis/NYPD/Chicago වලින් මදියි නොකියන්න කාලා ද ?

    (පොලිසිය ජනතාවට කන්න දෙන හැටි පහත link එකෙන්)
    https://twitter.com/JordanUhl/status/1266917228752056320

    3. ඔහු හෝ පවුලේ සමීපතමයකු කෝවිඩ්-19 උවදුරකට ගොදුරු වුනාවත්ද?
    එසේ නොවේවා!

    4. මේවා , මුන්ට තවදුරටත් ලියලා (කොටලා) වැඩක් නැහැ කියලා හිතුනාවත්ද?

    ඉකොනො, මෙය දුටු වහාම ඉකොනෝමැට්ටා වෙත දැනුම් දෙන්න.
    (සිළුමිණ පත්තරේ පරණ දැන්වීමක්)

    CP-C



    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: