බටහිර දේශාංශ 79 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ජෝජ් ෆ්ලොයිඩ් හා නැගෙනහිර දේශාංශ 80 ආසන්නයේ වූ නගරයක ඉපදුනු ආරුමුගම් තොණ්ඩමන් අතර තිබෙන සම්බන්ධය කුමක්ද? එහෙම සම්බන්ධයක් තියෙනවද?
මේ දෙන්නා කවදාවත්ම එකිනෙකා හමු වෙලා නැතුව ඇති. සම්බන්ධයක් ගැන කතා කරන්න දෙන්නෙක් හමු වී තියෙන්න අවශ්‍යම නැහැ.
ජෝජ් ෆ්ලොයිඩ් පසුගිය 25 වෙනිදා රෑ මිය ගියා. ලංකාවටනම් මැයි 26 වෙනිදා උදේ. ආරුමුගම් තොණ්ඩමන් මිය ගියේත් එදාමයි. ජෝජ් ෆ්ලොයිඩ් ඇමරිකාවේ සුළු ජාතිකයෙක්. ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක්. මේ දෙදෙනාගේම මරණ නීතියේ සමානාත්මතාවය ගැන කතිකාවකට මුල පුරා තිබෙනවා.
මේ වගේ සමානකම් පෙන්නන්න පුළුවන් වුනත් මේ සමානකම් අතර වෙනස්කම්ද කැපී පෙනෙනවා.
ජෝජ් ෆ්ලොයිඩ් මිය ගියේ පොලිස් අත් අඩංගුවේදී. මරණ පරීක්ෂක වාර්තාව අනුව එය මිනීමැරුමක්. එහෙත්, ආරුමුගම් තොණ්ඩමන් මිය ගියේ ස්වභාවික හේතුවකින් රෝහලකදී.
ජෝජ් ෆ්ලොයිඩ් ඇමරිකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේත්, ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේත් එකම පදනමකින් නෙමෙයි. ජෝජ් ෆ්ලොයිඩ් සුළු ජාතිකයෙක් වෙන්නේ ඔහුගේ හමේ පැහැය කළු නිසා. ඇමරිකාවේ මහ ජාතිය හමේ පැහැය සුදු අයයි. මේ කණ්ඩායම් දෙකට අයත් අය බොහෝ විට දුටු පමණින්ම වෙනස් ලෙස හඳුනාගන්න පුළුවන්. කණ්ඩායම් දෙකේම ඉන්නේ එකම කාලයකදී ලෝකයේ විවිධ රට වලින් ඇමරිකාවට සංක්‍රමණය වූ අය හෝ ඒ අයගෙන් පැවත එන්නන්. උපතින් ලැබෙන දෙයක් වන හමේ පැහැය වෙනස් කර ගැනීම ඉතාම අසීරු කටයුත්තක් නිසා කළු ඇමරිකානුවෙකුගේ දරුවෙකුට සුදු ඇමරිකානුවෙක් වෙන්න ස්වභාවික ජීව විද්‍යාත්මක බාධකයක් තිබෙනවා.
ආරුමුගම් තොණ්ඩමන් ලංකාවේ සුළු ජාතිකයෙක් වෙන්නේ මෙවැනි පදනමකින් නෙමෙයි. සංස්කෘතික සංකේත නොවන්නට ඔහුව රටේ මහ ජාතිය වන සිංහලයෙකුගෙන් වෙනස් කොට හඳුනාගන්න බැහැ. ඔහු අයත්වන ඉන්දියානු දෙමළ කණ්ඩායම ලංකාවේ ජාති හෝ ජනවර්ග ලෙස හැඳින්වෙන ප්‍රධාන කණ්ඩායම් අතරින් ලංකාවට වඩාත්ම මෑතකදී සංක්‍රමණය වූ කණ්ඩායමයි. ආරුමුගම් තොණ්ඩමන්ගේ සීයා ඉන්දියාවේ ඉපදුණු අයෙක්. ඔහු ලංකාවට සංක්‍රමණය වී වසර සියයකටත් අඩුයි. ලංකාවේ ඉපදුණු ආරුමුගම් තොණ්ඩමන් විසින් නියෝජනය කරන ලංකාවේ ඉන්දියානු දෙමළ කුලකය ලංකාවේ මහ ජාතිය වන සිංහලයින්ගෙන් වෙනස් වන්නේ සංස්කෘතික කරුණු මතයි. පෞද්ගලිකව ආරුමුගම් තොණ්ඩමන් ජීවත් වූ සංස්කෘතිය ඔහු විසින් නියෝජනය කළ ඉන්දියානු දෙමළ සංස්කෘතියම නොවෙන්නත් පුළුවන්.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වූ ආකාරය පිළිබඳව රට පුරා විරෝධතා පැන නැගී තිබෙනවා. උද්ඝෝෂකයින්ගේ මතය නීතිය ඉදිරියේ සුළුතර කළු ජාතිකයින්ට සමාන සැලකිලි නොලැබෙන බවයි. ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමඟුල් උළෙල පැවැත්වුණු ආකාරය පිළිබඳවද, මේ ආකාරයෙන්ම නොවූවත්, බොහෝ දෙනෙකු විරෝධය පළ කර තිබෙනවා. එහෙත්, එය සුළුතර කණ්ඩායමකට වැඩි සැලකිල්ලක් ලැබීම පිළිබඳව වන විරෝධයක්.
මෙසේ නීතිය ඉදිරියේ වැඩි සැලකිලි ලැබුවේ ලංකාවේ ජීවත්වන ඉන්දියානු දෙමළ සුළුතර කණ්ඩායම කියා කියන්න බැහැ. එම කණ්ඩායමේ වීම නිසා ලංකාවේදී පුද්ගලයෙකුට වැඩි සැලකිලි ලැබෙන්නේ නැහැ. මෙහිදී ආරුමුගම් තොණ්ඩමන් වැඩි සැලකිලි ලැබුවේ රටේ දේශපාලන බලය හිමි සුළුතර කණ්ඩායමේ අයෙකු ලෙසයි. එම සුළුතර කණ්ඩායම නීතිය ඉදිරියේ බලවත්ව සිටින්නේ වෙනත් විශාල පිරිසක් තමන් සතු බලය ස්වේච්ඡාවෙන් ඔවුන් වෙත ප්‍රදානය කර නිහඬව සිටින නිසයි.
ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය කියන කරුණු තුන ඇතුළත් පැකේජය බටහිර රටවල ආර්ථික-දේශපාලන ව්‍යුහය හැඩගස්වන මූලධර්ම තුනක්. මේ මූලධර්ම බොහෝවිට අනුපූරක වුවත්, ආදේශක වන අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ධනවාදී විසඳුම හා ප්‍රජාතන්ත්‍රවාදී විසදුම හැම විටම එකක්ම නෙමෙයි. නීතිය හා නීතියේ ආධිපත්‍යය කියන්නේ මේ දෙකෙන්ම බැහැර වෙනම කරුණක්.
ධනවාදය තුළ නිදහස් ගනුදෙනු කිරීමේ අයිතිය පිළිගැනෙනවා. මේ අයිතිය තියෙන්නේ කාටද? එය ධනවාදයෙන් බාහිරව තීරණය වන දෙයක්. ප්‍රජාතන්ත්‍රවාදය තුළ හැම පුද්ගලයෙකුගේම අදහස් වලට ඉඩක් ලැබෙනවා. එහෙත්, මේ පුද්ගලයා කවුද කියන එක තීරණය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැර වෙනත් මානයකයි.
එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ දේපොළක් සේ සැලකුණු, වහලුන් හා වහල් හිමියන් ලොව පුරාම සිටි කාලයක් තිබුණා. ඒ කාලයේදී එක් වහල් හිමියෙකු විසින් තමන්ට අයිති වහලෙකුව වෙනත් අයෙකුට විකිණිය හැකි වීම සමාජ සම්මතයක්. එවැනි තත්ත්වයක් දිගටම පැවතිය යුතුද නැද්ද කියන එක තීරණය වන්නේ එක්කෝ ඒ වන විට ජීවත් වන නිදහස් මිනිසුන්ගේ අදහස් වෙනස් වීම මත. එසේ නැත්නම් වහලුන් ලෙස ජීවත් වන මිනිසුන්ගෙන් එන ප්‍රතිරෝධය මත. නිදහස් වෙළඳාමේ යෙදීමේ අයිතිය ඇති නිදහස් මිනිසෙකු හා වෙළඳ භාණ්ඩයක් වන වහලෙකු වෙන් කරමින් ඉරක් අඳින එක ධනවාදයට පිටින් සිදුවෙන දෙයක්.
සියලු මිනිසුන් සමානයි කියන අදහස සම්මතයක් වෙන්න ආබ්‍රහමික ආගම් වලින් විශාල බලපෑමක් කෙරුණා. මුල්ම මිනිසා හා ගැහැණිය මැවුවේ දෙවියන් වහන්සේ විසින්නම්, අනිත් හැමෝම ඒ අයගෙන් පැවත එන්නන්නම්, මිනිස්සු එකිනෙකාගෙන් වෙනස් වෙන්න මූලධාර්මික හේතුවක් නැහැ.
වත්මන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදය වගේම ධනවාදයත් ගොඩ නැගී තිබෙන්නේ සියලු මිනිසුන් සමානයි කියන මූලධර්මය මත පදනම්වයි. සමාජවාදය තුළ මේ මූලධර්මය තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් සියලු මිනිසුන් සමාන නිසා සියලු මිනිසුන්ගේ ශ්‍රමය සමානයි කියන තැන දක්වාම යනවා. ඒ අනුව, සම්පත් සමාන ලෙස බෙදී යාම සාධාරණීකරණය කෙරෙනවා.
ධනවාදය තුළ මිනිසුන්ගේ ශ්‍රමය, හැකියාවන් හා රුචිකත්වයන් සමාන සේ නොසැලකෙන නිසා සම්පත් සමානව බෙදී යා යුතුයැයි සැලකෙන්නේ නැහැ. ඒ වෙනුවට ධනවාදයේ මූලධර්මය වෙන්නේ සම්පත් වල අයිතිය එම සම්පත් නිපදවීමට දායක වන අයට හිමි විය යුතු බවයි.
ධනවාදය තුළත් සියළු මිනිසුන් සමාන බව මූලධාර්මික ලෙස පිළිගැනෙනවා. ඒ නිසා, සම්පත් සමානව බෙදී යාම අවශ්‍ය නොවූවත්, ඕනෑම කෙනෙකුට සම්පත් අත්පත් කර ගැනීමට සමාන අවස්ථා ලැබිය යුතු බව මූලධාර්මික ලෙස පිළිගැනෙනවා.
හැබැයි ඔය සියලු මිනිසුන් සමානයි කියන එක විශ්වාසයක් හෝ සම්මතයක් පමණයි. ඒ නිසා, ඒ සම්මතය තුළ ගොඩ නැගුනු සමාජ ආකෘති, සමාජවාදය වේවා, ධනවාදය වේවා, පවතින්න අදාළ සමාජයේ විශාල පිරිසක් මේ සම්මතය පිළිගත යුතුයි. එසේ නැත්නම් සමාජ ආකෘතියකට පැවැත්මක් නැහැ.
සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගැනීම හා සියලු මිනිසුන් සමානයි කියා විශ්වාස කිරීම කරුණු දෙකක්. සමාජවාදී වගේම බටහිර ධනවාදී රටවල් ගණනකම සියලු මිනිසුන් සමානයි කියන සම්මතයට පොදු පිළිගැනීමක් තිබුණත් මේ රටවල් වල මිනිස්සු වැඩි පිරිසක් සියලු මිනිසුන් සමානයි කියා විශ්වාස කළා කියලා මම හිතන්නේ නැහැ. සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගන්වන්න මිසක් එවැනි විශ්වාසයක් තහවුරු කරවන්න ආගම් වලට හැකි වුනේ නැහැ. සමාජවාදයට හැකි වුනෙත් නැහැ. බටහිර ධනවාදයට හැකි වෙලත් නැහැ.
මේ අදහස ආබ්‍රහමික ආගම් වලින් ආ අදහසක් කියා මම කිවුවනේ. හැබැයි බොහෝ විට ආගම් හරහා ඔය වගේ සම්මතයක් ප්‍රචලිත වෙන්නෙත් එයින් සිදු කෙරෙන කිසියම් කාර්ය භාරයක් ඇත්නම් පමණයි. සමාජවාදී රටවල් බොහෝ විට මැවුම්වාදය හා සම්ප්‍රදායික ආගම් ප්‍රතික්ෂේප කළා. ඒ ඉඩ පිරවූයේ පරිණාමවාදය විසින්. හැබැයි මෙහිදී පරිණාමවාදය යොදා ගත්තේත් සියලු මිනිසුන් සමානයි කියන මූලික විශ්වාසය තහවුරු කිරීමේ උපකරණයක් විදිහටයි. එය එහෙම නොවෙයි කියා තහවුරු කරන්න අවශ්‍ය කෙනෙකුට ඒ වැඩේටත් පරිණාමවාදය වගේම ආබ්‍රහමික ආගමුත් යොදා ගන්න පුළුවන්.
මෙතැනදී ආගමික හෝ විද්‍යාත්මක මූලයක් තිබීමට වඩා වැදගත් වුනේ සියලු මිනිසුන් සමානයි කියන සම්මතය පිළිගැනීමේ වාසි බොහෝ දෙනෙකුට තිබීමයි. එහිදී මෙය ආර්ථික විද්‍යාවේ විෂය පථයට සම්බන්ධ වෙනවා.
නීතිය කියන දෙය අවශ්‍ය වන්නේම එවැන්නක් නැත්නම් කිසියම් සමාජයක සියලු දෙනාම පවතින සමාජ ආකෘතිය සමඟ ගැලපෙන පරිදි කටයුතු නොකරන නිසා. මෙහිදී මම නීතිය කියන යෙදුමට සමාජ සම්මත, චාරිත්‍ර වාරිත්‍ර ආදියත් ඇතුළත් කරනවා. නීතියෙන් කරන්නේ පුද්ගල කැමැත්ත පොදු කැමැත්තට යටපත් කරන එකයි. ඒ නිසා නීතියක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ බොහෝ දෙනෙකුගේ පුද්ගල කැමැත්ත පොදු කැමැත්ත සමඟ ගැලපෙනවානම් පමණයි. සුළු පිරිසකගේ කැමැත්ත පොදු කැමැත්ත සමඟ නොගැලපෙනවානම් එක්කෝ ඒ අයට අකැමැත්තෙන් පොදු කැමැත්තට ඉඩ දෙන්න වෙනවා. නැත්නම් දඬුවම් විඳින්න වෙනවා. මේක මිනිස් සමාජයකට වගේම සත්ත්ව ගහණයකට වුවත් පොදු කරුණක්.
බස් එකකට නගින අවස්ථාවක් ගැන හිතන්න. හැමෝම බස් එකට නගින්න පොරකනවානම් මට පැත්තකට වෙලා ඉන්න බැහැ. එහෙම හිටියොත් මළාට සීට් එකක් හම්බ වෙන්නේ නැහැ. හැමදාම හිටගෙන. ඒ නිසා, අනිත් හැමෝම පොරකනවානම් මටත් පොරකන්න වෙනවා. නැත්නම් පාඩුව විඳ දරාගන්න වෙනවා.
කට්ටියම පෝලිමේ බස් එකට නැග්ගොත් මුලින් නගින අයට සීට් ලැබෙනවා. පස්සේ නගින අයට නැති වෙනවා. එක දවසක සීට් එකක් නැති වුනත්, හැමදාම නැති වෙන්නේ නැහැ. අතරින් පතර දවසක සීට් එකක් ලැබෙනවා. පොරකාලා නැග්ගා කියලත් ඔය ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. කොහොම හරි පොර කාලා කලින් නැග්ගොත් සීට් එකක් ලැබෙනවා. නැත්නම් නැහැ.
අන්තිමට වෙනස සීට් එකක් ලැබෙනවාද නැද්ද කියන එක නෙමෙයි. පෝලිමේ ගියත්, පොර කෑවත් බස් එකේ සීට් ගණන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, පොර කාලා තුවාල කර ගන්න එකේ කිසිම තේරුමක් නැහැ. හැබැයි ඒ හැමෝම පෝලිමේ ඉන්නවානම් පමණයි. අනෙක් අය බස් එකට නගින්න පොරකනවානම් එක් කෙනෙක් පැත්තකට වෙලා ඉන්න එක ඉල්ලං කෑමක් වෙනවා.
පාරේ වාහන එළවන එකත් ඔය වගේ. හැමෝම එකම වේගයකට වාහන එළවනවානම් නිතර නිතර වාහන ඉස්සර කරන්න අවශ්‍ය නැහැ. නිතර නිතර තිරිංග තද කරන්න අවශ්‍යත් නැහැ. කාටත් ඉක්මණින් ගමනාන්තයට යන්න පුළුවන්. නමුත්, හැමෝම එහෙන් මෙහෙන් රිංගලා යන්න හදනවානම් එහෙම නොකරන කෙනාට ගමන යන්න වෙන්නේ සෑහෙන්න පරක්කු වෙලා. හැමෝම ඔය වැඩේ කරන්න ගියාම වෙන්නේ හැමෝගෙම ගමන පරක්කු වෙන එකයි.
මිනිස්සු තනි තනිව පවතින තත්ත්වයට ප්‍රතිචාර දක්වනවා. ඒ තමන්ට වඩාත්ම වාසිදායක වන ආකාරයටයි. සමහර වෙලාවට මේ තනි ප්‍රතිචාර නිසි පරිදි සම්බන්ධීකරණය කරගත් විට හැමෝටම වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. නීති, සම්මත, චාරිත්‍ර වාරිත්‍ර ඇති වෙන්නේ ඒ වගේ තත්ත්වයන් යටතේදීයි.
ඉතා සුළු පිරිසක් විසින් නීතියක් හෝ සම්මතයක් කැඩුවා කියලා සම්මතය බිඳ වැටෙන්නේ නැහැ. නමුත්, මේ ප්‍රමාණය යම් සීමාවකට වැඩිනම් සම්මතය පවත්වා ගන්න බැහැ. එය බිඳ වැටෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම කියා කියන්නේ විශාල පිරිසකට වාසිදායක සම්මතයක් ඉතා සුළු පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් බිඳ වැටෙන එක වලක්වා ගන්න දරන උත්සාහයක්.
ඇමරිකාවේදී පුද්ගලයෙකුට නොදන්නා පුද්ගලයෙක් සමඟ කරන ගනුදෙනුවකදී අනෙක් පුද්ගලයා පිළිබඳ කිසියම් විශ්වාසයක් තියන්න පුළුවන්. ඔහු හෝ ඇය මා කැමති මිලට භාණ්ඩයක් ගන්න එකඟ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. ඒ පිළිබඳව මට සහතිකයක් නැහැ. එහෙත්, ඔහු හෝ ඇය මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්න ඉඩක් නැහැ. හමුවන හැම නොදන්නා පුද්ගලයෙකු විසින්ම වාගේ මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්න ඉඩක් ඇත්නම් භාණ්ඩය විකුණනවා වෙනුවට මට කරන්න වෙන්නේ භාණ්ඩය රැක ගන්නා ආකාරය ගැන හිත හිතා ඉන්නයි.
මට හමුවෙන අහඹු පුද්ගලයෙක් බොහෝ විට මා සතු භාණ්ඩය වෙනුවෙන් මුදල් නොගෙවා එය පැහැරගෙන යන්නේ නැති වුවත් යම් අයෙකු විසින් කලාතුරකින් එසේ කළ හැකියි. බදු මුදල් වැය කරමින් පොලිස් නිලධාරීන් නඩත්තු කරන්නේ ඒ අවදානම අඩු කර ගන්නයි. පොලිස් නිලධාරියා කියා කියන්නේ පිළිගත් සම්මතය කඩන අයට දඬුවම් කර සම්මතය කැඩීම අධෛර්යමත් කරන යාන්ත්‍රණයේ කොටසක්. ඒ සඳහා පොලිස් නිලධාරියාට බලය ලැබෙන්නේ විශාල පිරිසක් විසින් සම්මතය පිළිගැනීම තුළයි.
දෙදෙනෙකු අතර සිදුවන අන්තර් ක්‍රියාවකදී ඒ දෙදෙනා විසින්ම ගන්නේ තමන්ට වාසිදායක ස්ථාවරයයි. මෙහිදී ප්‍රශ්නයට මැදිහත්වන තෙවැන්නෙකු විසින් ඒ දෙදෙනාම සමාන සේ සැලකිය යුතු වෙනවා. සම්මතය තුළ තෙවැන්නාට භූමිකාවක් තිබෙන්නේම එසේ සියල්ලන්ට සමාන සේ සලකන බවට වන විශ්වාසය මතයි. එහෙත්, පොලිස් නිලධාරීන් කියන්නේ සියලු මිනිසුන් සමාන සේ සැලකිය යුතු බවට වන සම්මතය පිළිගත් අය මිස සියලු මිනිසුන් සමාන බව විශ්වාස කරන අය නෙමෙයි. තනි පුද්ගලයින් සේ ගත් විට පොලිස් නිලධාරීන්ට අනෙක් පුද්ගලයින් පිළිබඳ පූර්ව නිගමන තිබෙනවා. ඒවා යටපත් වෙන්නේත් සම්මතය තුළයි. මේ සම්මතයට නීති, චර්යා ධර්ම, සම්මත ආදිය ඇතුළත්.
පොදු සමාජයේ අහඹු පුද්ගලයෙකු ඉඳ හිට පොදු සමාජයේ සම්මත බිඳින විට අප පොලීසිය කැඳවනවා. එහෙත්, පොලිස් නිලධාරීන් අතරද ඉඳ හිට සම්මත බිඳින අයෙකු හමු වෙන්න පුළුවන්. එවැනි පුද්ගලයින් අධෛර්යමත් කෙරෙන යාන්ත්‍රණයක් නැත්නම් සමස්තයක් ලෙස පොලීසිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා. වඩා පුළුල්ව කිවුවොත් නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩු පාඩු හැදුණේ නැත්නම් නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා.
නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු හදන්න වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය තුළමයි. අඩුපාඩු සංස්ථාගත නොවන තාක් කල් එය සාර්ථකයි. එහෙත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු සංස්ථාගත වූ විට බාහිර සමාජයේ මැදිහත්වීමක් නැතිව අඩුපාඩු හැදෙන්නේ නැහැ.
ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණය අහම්බයක් වෙන්න පුළුවන්. පොලිස් නිලධාරියාගේ අරමුණ වුනේ ඔහුව මරා දැමීම කියා හිතන්න බැහැ. එහෙත්, මරණයට හේතු වූ ක්‍රියාවලිය අහම්බයක් නෙමෙයි. ඒ වගේ දෙයක් වෙනත් පොලිස් නිලධාරියෙක් අතින් වෙනත් තැනකදී සිදු වෙන්න පුළුවන්. බාහිර සමාජයේ දැඩි ප්‍රතිරෝධය නිසා වෙනත් අයෙකු වෙනත් තැනකදී කරන්නට ඉඩ ඇති මෙවැනි කටයුත්තක් අධෛර්යය කෙරෙනවා. මා ප්‍රතිරෝධය දැක්වීම කියා කියන්නේ පෞද්ගලික හා පොදු දේපොළ විනාශ කිරීම, පැහැර ගැනීම හෝ හොරකම් කිරීම නෙමෙයි. ඒ වගේ වැඩ වලින් වෙන්නේ විරෝධය අයාලේ යාම පමණයි.
ඇමරිකාව තුළ සියලු මිනිසුන් නීතිය ඉදිරියේ සමානය කියන සම්මතයට පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා, සියයට සියයක්ම නැතත් නීතිය සෑහෙන තරම් සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙනවා. එසේ නොවන විට නීති පද්ධතිය තුළම වැරැද්ද හැදෙනවා. එයත් නොවන විට දැන් සිදු වන ආකාරයෙන් ප්‍රශ්නය නීති පද්ධතියෙන් එළියට පිටාර යනවා. හැබැයි මේ වගේ විරෝධතා ඇති වන්නේත් මිනිස්සු සමස්තයක් ලෙස පවතින සමාජ ආකෘතියට කැමති නිසයි. විරෝධතාවයේ අරමුණ පවතින ආකෘතියේ වැරදි නිවැරදි කර එය කඩා වැටෙන එක වලක්වා ගැනීම මිසක් එහි පදනම දුර්වල කරන එක නෙමෙයි.
නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානයි කියන එක ලංකාව බටහිර රටවලින් ගත් අදහසක් මිස රට ඇතුළෙන් ඓන්ද්‍රීය ලෙස මතු මතු වූ අදහසක් නෙමෙයි. යුරෝපීයයන් එන්න කලින් එහෙම සංකල්පයක් ලංකාවේ තිබුණේ නැහැ. යුරෝපීයයන්ගේ කාලයේදී සංකල්පය ආවත් කවදාවත් නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වුනේ නැහැ. නිදහසින් පසුවත් එහෙම වුනේ නැහැ. මෙය ලංකාව හා අදාළව ළඟා කර ගත යුතු ඉලක්කයක් පමණයි.
ලංකාවේදී නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන නැති බව ගොඩක් අය දන්නවා. ඒ බව නැවත තහවුරු කරන සිද්ධියක් වීම විශේෂ සිදුවීමක් නෙමෙයි. එවැනි දේ නිතර සිදු වෙනවා. ඒ නිසා, තොණ්ඩමන්ගේ අවමගුල ආශ්‍රිතව වෙනත් අයට නැති වරප්‍රසාද හිමිවීම ලංකාවේ මිනිස්සුන්ව කම්පනයට පත් කරන්නේ නැහැ. හැබැයි මේ සිද්ධිය නිසා ලංකාවේදී නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානවන සමාජ ආකෘතියක් ගොඩ නගා ගැනීම පිළිබඳ විශ්වාසයට බරපතල ලෙස හානි සිදු වී තිබෙනවා.
කොරෝනා නිසා මාස දෙක හමාරක් තිස්සේ ගෙදරටම වී සිටින නමුත් මෙතෙක් කල් අපට ඇඳිරි නීතියක් තිබුණේ නැහැ. දැන් ඒකත් තිබෙනවා. කොරෝනා වෛරසය කළු සුදු භේද සැලකුවත් නැතත් වෛරසය නිසා මිය ගිය අය අතරත්, වෛරසය හමුවේ රජය ගත් ක්‍රියාමාර්ග නිසා රැකියා අහිමි වූ අය අතරත් කළු ජාතිකයින්ගේ ප්‍රතිශතය ජනගහණයේ ඔවුන්ගේ ප්‍රතිශතයට වඩා වැඩියි. වසරකට පොලිස් අත් අඩංගුවේදී මිය යන දහසකට අධික ඇමරිකානුවන් අතර තත්ත්වයත් එසේමයි. කළු ජාතිකයින්ගේ ජීවිත වලට ලැබෙන්නේ අඩු වටිනාකමක් බව බොහෝ දෙනෙකු විසින් සිතනවා.
මේ වෙලාවේ ඇමරිකාවේ නීතිය හා සාමය රකින පොලිස් නිලධාරීන් ගිරයට හසු වූ පුවක් වගේ. විරෝධතාකරුවන් බොහෝ දෙනෙක් සාමකාමී ලෙස විරෝධතා දැක්වූවත් ඔවුන් අතරින් මතු වන කුඩා පිරිස් හිටිවනම සමාජ විරෝධී කටයුතු කෙරෙහිත් යොමු වෙනවා. ඔවුන්ගෙන් ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීම පොලීසියේ වගකීමක් වී තිබෙනවා. එහෙත්, මේ වෙලාවේ චුදිතයින් වී සිටින්නේ පොලීසිය නිසා ඔවුන්ට එම චෝදනාව ඔප්පු කෙරෙන දේවල් කරන්නත් බැහැ. ඒ නිසා, පොලීසිය හැකි පමණින් විරෝධතාකරුවන් හා සහයෝගයෙන් කටයුතු කරන්න සිදු වී තිබෙනවා. මේ තත්ත්වය හමුවේ විශේෂ ඉලක්කයක් හෝ අරමුණක් නැතිව මේ වන විට අටවන දිනටත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.
//විශේෂ ඉලක්කයක් හෝ අරමුණක් නැතිව මේ වන විට අටවන දිනටත් විරෝධතා ආරම්භ වී තිබෙනවා.// this is not correct. They want 3 ex-police officers who assisted modern day lynching who were not charged yet to be charged. They want systemic racism to be stopped. They want stop militarization of police, they want police accountable when they do crimes using police powers and so on. You will not write these from USA if blacks not started civil right movement.
ReplyDeleteඒ අතින් අපි විශිෂ්ටයි. නීති ගරුකයි. තමන්ටම කෙලවෙනකල් විරෝධතාවක් පාන්නේ නෑ! පෑවාට කන් දෙන එවුනුත් නෑ!
ReplyDeleteවසර පහක් පුරාවටම
ReplyDeleteමන්ත්‍රී සැප ජයටම විඳ
වාර පහක් පමණක්
දියවන්නා ආ තොණ්ඩා
වතුකරයේ හෝටල්වල
ජයටම කාලා බීලා
බිල් නොගෙවම චන්ඩිකමට
බැහැල ගියපු තොණ්ඩා
කම්කරුවන් රවටාගෙන
බොරු පොරොන්දු දෙමින් උන්ට
දකුණට වෙන්දේසිවෙමින්
කල්ගතකල තොණ්ඩා
එහෙව් තොණ්ඩ මැරුණ දාට
බල්ලට දා රටේ නීති
අවමඟුලත් සැණකෙළිකොට
සැතපුනාය තොණ්ඩා
ඇමරිකාවේ විරෝධතා ප්‍රචණ්ඩ වෙන එක ට්‍රම්ප්ට වක්‍රව වාසියිද ඉකොනෝ?
ReplyDeleteමෙතෙක් ගෙවුණු සතිය තුළනම් ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව (approval ratings) 42.6% පමණ මට්ටමක නොවෙනස්ව තිබෙනවා. විරෝධතා වලදීත් දකින්න ලැබෙන්න පක්ෂ අනුව දෙපැත්තට බෙදීමක් මිසක් එක පැත්තක සිටි අය අදහස් වෙනස් වී අනිත් පැත්තට යාමක් නෙමෙයි.
DeleteIncidents of this nature is reflected by the Socialist people as failure of the Capitalist system. As Socialism is against racism (may be Capitalism as well, but in a different paradigm) it leads many unbiased people also to think this as a failure of Capitalism. I appreciate more explanation from economatta.
ReplyDeleteසිංහලයන්ට දෙමළුන්ගෙන් ඉගෙනගන්න වැදගත් පාඩමක් තිබේ.
ReplyDeleteබලන්න වතු දෙමළු තොන්ඩට කොයි තඑම් ගරු කරනවාද?
ඇයි අපට බැරි විමල් වීරවංශ , ගම්මන්පිල, රතන, පාඨලී, මධුමාධව වගේ අයට ඒ විදියට ගෞරව කරන්න.
තොන්ඩා කල එකම වැදගත් වැඩේ වතුදෙමල ජාතිකවාදී චන්ද එක්කරන කේනුද්‍රයක් ලෙස ක්‍රියා කිරීමයි.
ඉහත සිංහල දේශපාලඥයන් කරන ප්‍රධාන කාර්යය සිංහල ජාතිකවාදී චන්ද එක්කරන කේන්ද්‍ර ලෙස ක්‍රියා කිරීමයි. මටනම් ඒ වැඩේ වුනත් ඇති. මම දේශපාලඥයන්ගෙන් ලොකු දේ බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි.
කාවන්තිස්ස ජනනායක මහත්තයා දවසක් කීවා සිංහලයන්ගාව විරෝධාකල්ප ගතිය වැඩි බව. ජපානය දියුනුවුනේ ජපන්නු තම ස්වාමියට කීකරු නිසයි. සිංහලයොත් එහෙම ඉන්න පුරුදුවිය යුතුයි.
ධර්මපාල කන්‍යා තුමාට රට එපා වුනෙත් සිංහලයන්ගේ මේ කැත පුරුද්ද නිසයි.
ෆ්ලොයිඩ් වහලෙකුව සිට නිදහස ලැබූ අේරකුගෙන් පැවතෙන්නෙකි.
ReplyDeleteතොණ්ඩමාන් ඇත්තටම වහල් හිමියෙකි. ඔහුගේ වහලුන් හමුවේ රාජපක්‍ෂ වහලුන් මොක්කු ද කියා සිතෙන්නට හැක!
තොන්ඩමන් කියන්නෙත් වතුවැඩ කරපු කම්කරුවෙක්ගෙන් පැවතගෙන එන කෙනෙක් නේද? ඒ අය පසුව පාලකයන් උනා.
Delete//තොන්ඩමන් කියන්නෙත් වතුවැඩ කරපු කම්කරුවෙක්ගෙන් පැවතගෙන එන කෙනෙක් නේද? ඒ අය පසුව පාලකයන් උනා.//
Deleteමෙය අර්ධ සත්‍යයක්. ආරුමුගම් තොණ්ඩමන්ගේ සීයා සෞම්‍යමූර්ති තොණ්ඩමන් ලංකාවට එන්නේ ඔහුගේ පියාව හොයාගෙන. ඒ එන විටත් ඔහුගේ පියා ධනවතෙක්. සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ පියා ලංකාවට ඇවිත් තිබෙන්නේ ධනවතෙකු ලෙස නොවුනත් ඔහු අනෙක් කම්කරුවන් තරමටම නරක තැනක හිටපු කෙනෙක් නෙමෙයි. ඔහු ලංකාවට එන්නේ ඒ කාලයේ ඉන්දියාවේ කම්කරු කණ්ඩායම් එකතු කරගෙන ලංකාවට රැගෙන ආ කන්කානි කෙනෙක් සමඟ වුවත්, ඒ එම කන්කානි වරයා සමඟ තිබුණු පෞද්ගලික සම්බන්ධතාවයක් මතයි.
ඔහු මුලදී කම්කරුවෙක් ලෙස සේවය කොට පසුව කන්කානි ලෙස සේවය කෙරු අයෙක්. ඊටත් පසුව තමයි පාලකයන් උනේ.
Deleteසෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ පියා කුමාරවේල් කරුපයියා නමැති පුද්ගලයා මුලදී කම්කරුවෙක්, කන්කානම් ලෙස සේවය කොට පසුව වතුපාලකයෙක් බවට සදහන් දිනමිණ සහ ලංකා නිවුස්වෙබ් හි පලවූ ලිපි දෙකක් පහලින්.
Deleteකඳුරටෙහි වැඩබිමෙහි හදගැස්ම නතර විය-දිනමිණ
තොණ්ඩමන් මැරුණේ ලංකාවේ නොවේ - අනුර හෑගොඩ-LNW
දිනමිණ ලිපිය නිවැරදියි. LNW ලිපියේ කම්කරු කතාව තාක්ෂණිකව නිවැරදි වුවත් අර්ධ සත්‍යයක්. වතු කම්කරුවන් හා කන්කානිලා කියන්නේ තනිකරම කණ්ඩායම් දෙකක්. රසික කියන අර්ථයෙන් ගත්තොත් කන්කානිලා කියන්නේ එක්තරා ආකාරයක වහල් වෙළඳාමක් කළ තැරැව්කරුවන් පිරිසක්. අපි ටිකක් වැදගත් විදිහට ඕනෑනම් මානව සම්පත් සම්පාදන ක්ෂේත්‍රයේ සුළු පරිමාණ ව්‍යවසායකයෙක් කියා කියමු. කන්කානිලා විසින් කළේ දකුණු ඉන්දියාවෙන් කම්කරුවන් කණ්ඩායමක් ගෙනත් ඒ අයගේ වැටුපෙන් දිගින් දිගටම කොමිස් මුදලක් ලබා ගැනීමයි.
Delete"තම පවුල මදුරාසියේ තබා ආ ඔහු වතු කම්කරුවෙකු ලෙසද පසුව කන්කානි වරයෙක් ලෙසද රැකියාවේ නිරතව සිටියේය. සෞම්‍යමූර්ති ඇතුළු පවුලේ සාමාජිකයින් ලංකාවට සේන්දු වූයේ ඉක්බිතිවය."
සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගේ පියා වන කරුපයියා හෙවත් කුමාරවේල් වයස අවුරුදු 13ක දරුවෙකුව සිටියදී 1873දී ගෙදරින් හොරෙන් පැන ලංකාවට එන්නේ මරුතප්පන් නම් වූ කන්කානි කෙනෙක් එක්ක. එහෙත්, ඒ සාමාන්‍යයෙන් සිදු වුනු පරිදි කන්කානි සමඟ ගිවිසුමක් ගසා නෙමෙයි. ඔහු මරුතප්පන්ගේ 40ක පමණ වූ කණ්ඩායම සමඟ පැමිණියත් වතු සේවයට නොගොස් ඒ වන විට සිල්ලර වෙළඳාමේ යෙදී යම් මට්ටමක ධනවතෙකු වී සිටි මුත්තයියා සමඟ ගම්පොළ නවතිනවා. කරුපයියාගේ ඥාතියෙකු වූ මුත්තයියාට ඒ වන විට සිල්ලර කඩ දෙකක් තිබෙනවා.
කරුපයියා මුලින්ම කඩුගන්නාවේ ගෝඩන් වත්තේ සේවයට ගිහින් තියෙන්නේ එයින් වසර දෙකකට පසුවයි. ඒ වන විට කෝපි වගාව සඳහා විශාල කම්කරු ඉල්ලුමක් ඇති වී තිබීමේ වාසිය ගනිමින් ඔහු ගෝඩන් වත්තට ගිය අලුතම වගේ තවත් පිරිසක් එකතු කරගෙන ඔවුන්ගේ කන්කානි වී තිබෙනවා. ඒ නිසා, ඔහු කම්කරුවෙක් ලෙස වැඩ කළානම් ඒ ඉතාම සීමිත කාලයක් පමණයි. බොහෝ විට අතරින් පතර දවස් ගණනක්.
පසුව නුවරඑළියට යන ඔහු වතු හතක ප්‍රධාන කන්කානි වී කදිරෛ නම් කාන්තාවක් සමඟ විවාහ වී දරුවන් හදා තිබෙනවා. ඉන් පසුව 1903දී ඉන්දියාවේ ගමට ගිය වෙලාවක ගමේ ඥාතීන් විසින් ලංකාවේ විවාහය පිළිගෙන නැති නිසා ඔවුන්ගේ බලපෑම මත තමන් අයත් කල්ලාර් කුලයේ ඉන්දියානු බිරිඳක් සමඟ විවාහ වී ඇය එහි සිටියදී නැවත ලංකාවට ඇවිත් තිබෙනවා. සෞම්‍යමූර්ති තොණ්ඩමන් එම විවාහයේ දරුවෙක්. ඔහු ඉපදුනු අලුතම නැවත ලංකාවට පැමිණ ඇති කරුපයියා තවත් වසර හතක් යන තුරු නැවත ඉන්දියාවට ගොස් නැහැ. සෞම්‍යමූර්ති තොණ්ඩමන් තමන්ගේ පියාව දැකලා තියෙන්නේ එම ඉන්දියානු ගමනේදී. එහිදී ඔහුට පියා සමඟ ලංකාවට එන්න අවශ්‍ය වී ඇතත් මව එයට කැමති වී නැහැ. ඔහු පියා සොයාගෙන ලංකාවට පැමිණ තිබෙන්නේ තවත් වසර හතරකට පසුවයි. ඒ වන විට කරුපයියා වතු හිමියෙක්.
ඉකොනෝ මහත්තයා වතු කම්කරුවෙක්ද?
Deleteලංකාවේ ජාතින් අතර ගැටුම් ඇති උනාම 'ජාතිවාදය එපා, ආගම්වාදය එපා' කියමින් ඇමරිකාව පණිවිඩ නිකුත් කරා නේද? ඒ උනාට ඔන්න ඇමරිකාවට උන දේ.
ReplyDeleteඇනෝ කියන්නේ 'ජාතිවාදය එපා, ආගම්වාදය එපා' කියන එක වැරදියි කියලද?
Deleteඇමරිකා ඔරුමත්තු නාඩුව කාලයක් දලයි ලාමා යොදාගෙන චීනයේ තිබ්බත වාර්ගිකයන් ප්‍රධාන සංස්කෘතිය සමඟ කොටවන්න තැත්කලා.
Deleteපසුව උයිගර් මුස්ලිම්වරු ලවා ඒ්කම කරවන්න තැත්කරනවා.
ඒ් වගේම ඇමරිකා ඔරුමත්තුනාඩුව ලංකාව තුල සිංහල සංස්කෘතියට හිමිවිය යුතු තැන පිලිගන්නේ නැහැ. චීනය ඒහෙම නෑ.
ඒ්වගේම ඇමරිකා ඔරුමත්තුනාඩුව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ කේන්ද්‍රයක්. ලංකාවේ දෙමළ ප්‍රශ්ණයටත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය හේතුවක්. දෙමළ ජාතිවාදියා ලංකාවේ පොදු සංස්කෘතිය ලෙස සිංහල සංස්කෘතියත් පොදු බස ලෙස සිංහල බසත් පිලිගන්න කැමති නෑ. නමුත් ඔවුන් ඉංග්‍රීසි බස/ සංස්කෘතිය පොදු සංස්කෘතිය ලෙස බාරගන්න කැමතියි.
ඒමනිසා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් හදා ගන්න නම් ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය දුර්වල විය යුතුයි. ඒ් අර්ථයෙන් ඇමරිකා ඔරුමත්තුනාඩුවේ වාර්ගික අර්බුද ඇතිවීම සිංහලයාට වාසියි.
දෙවන ලෝක යුද්දෙන් ජාතික සමාජවාදය දිනුවනම් අපිට ඊටත් වඩා වාසියි.
'ඇනෝ කියන්නේ 'ජාතිවාදය එපා, ආගම්වාදය එපා' කියන එක වැරදියි කියලද?'
Deleteලංකාවට එහෙම එපා කිව්වට ඒ අයටත් එහෙම වෙන එක නතර කරගන්න බැරි උනානි. අන්න ඒක මතක් කරේ. ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට කියලා තියෙන්නේ..
රටක ආගම්වාදීන් හා ජාතිවාදීන් නැත්තටම නැති කරන්න බැහැ. විශේෂයෙන්ම ගොඩක් මිනිස්සු ආගම්වාදය හා ජාතිවාදය මතුපිටින් නොපෙන්වා සඟවාගෙන ඉන්න කොට. මේ අවස්ථාව ගත්තත් ජෝජ් ෆ්ලොයිඩ්ගේ මරණයට හේතුව ඔහු කළු ජාතිකයෙකු වීම කියා නිශ්චිතව කියන්න බැහැ. නමුත්, ඇතැම් අය එහෙම හිතනවා. ඒ අයට තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටීමේ හා විරෝධය පළ කිරීමේ නිදහස ඇමරිකාවේ තිබෙනවා. ඔබ "ලංකාවට එහෙම එපා කිව්වට" කියා කියන්නේ කවර ප්‍රකාශය ගැනද කියා කිවුවොත් සංසන්දනයක් කරන්න පහසුයි.
Deleteලංකාවෙත් විවිද අවස්ථා වලදී ජාතින් අතර ගැටුම් ඇති උනානි. ලගදි නම් මුස්ලිම්-සිංහල මිනිස්සු.
Deleteඅන්න ඒ වගේ වෙලාවට ඇමරිකාව වගේ රටවල් නිවේදන නිකුත්කරානි ලංකාවේ රණ්ඩු වෙන්න එපා කියමින්. ඒ උනාට ඇමරිකාවේ දැන් නහුතෙට ගහගන්නවනි. ඒ අය අපිව හදන්න ආවට ඒ රටේ මෙහෙට වඩා ගැටුම් ඇතිවෙනවනි බලං ගියාම. අපේ රටවල මානව හිමිකම් ගැන හෙව්වට ඒ රටවල මිනිසුන්ගේ මානව හිමිකම් නොසහෙන්න කඩනවනි. අන්න ඒක මම කිව්වේ.
ඇමරිකාවේ ඔබ කියන විදිහේ ජාතීන් අතර ගැටුමක් (තවමත්) නැහැ. කළු මිනිස්සු සුදු මිනිස්සුන්ට ගැහීමක් හෝ සුදු මිනිස්සු කළු මිනිස්සුන්ට ගැහීමක් කොහේවත් වෙලා නැහැ. නීතිය කළු මිනිස්සුන්ට සාධාරණව ඉටු වෙන්නේ නැහැ කියා කිසියම් පිරිසක් විසින් හඬක් නගනවා. ඒ පිරිසේ කළු අය වගේම සුදු අයත් ඉන්නවා. මේක ජාතීන් අතර සමානාත්මතාවය වෙනුවෙන් කරන අරගලයක් මිස එක ජාතියක් වෙනත් ජාතියකට එරෙහිව කරන අරගලයක් නෙමෙයි. මේ අරගලය සිදු වෙන්නෙම මානව හිමිකම් වඩා තහවුරු කර ගැනීමේ අරමුණින්. එවැනි අරගල වලට ඉඩ දීමම ඇමරිකානු නිදහසේ කොටසක්. මානව හිමිකම් කැඩීමක් වෙන්නේ සාමකාමී විරෝධතා වලට ඉඩ නොදුන්නොත්. (සාමකාමී නොවන ප්‍රචණ්ඩකාරී හැසිරීම් වලට ඉඩ දිය යුතු නැහැ)
Deleteලංකාව සමඟ සංසන්දනය කරනවානම් ලංකාවේ මුස්ලිම් කඩ වලට අන්තවාදී පිරිස් විසින් පහර දෙන කොට මුස්ලිම් මිනිස්සු හා සිංහල මිනිස්සු එකතු වී පාරට බැහැලා එයට විරෝධතාවය දක්වනවා වැඩක්. ලංකාවේ එහෙම නොවුනත් ඇමරිකාවේ එහෙම වෙනවා.
එතකොට සුදු ජාතිකයන්ට පහර දෙන කළු ජාතිකයන්ගේ වීඩියෝ බොරුද? සුදු ජාතිකයන්ගේ කඩවල් කඩා ඒවායේ දේපල රැගෙන යන කළු ජාතිකයන් දැක්වෙන වීඩියෝ බොරුද?
Deleteපහත ඇති ලින්කුවේ එවැනි වීඩියෝ විශාල ප්‍රමානයක් දක්වා තිබෙනවා. ඒවාහි පැහැදිලිව දැක්වෙනවා සුදුජාතිකයන් ඉලක්ක කර කළු ජාතිකයන් පහර දෙන අන්දම. සුදු ජාතිකයන් අයුධ වලින් සන්නද්ධව සිටිනා අන්දම. කොමෙන්ට් මගින් වීඩියෝ දමන්න නොහැකි නිසා ත්‍රෙඩ් එකේ ලින්ක් එක දමන්නේ.
මෙහි සියලුම වීඩියෝ ඇත, නෙක්ස්ට් කිරීම මගින් පිටු සියල්ල නැරඹිය හැක.
පහත දැක්වෙන වීඩියෝව ගැන ඉකොනෝගේ අදහස කුමක්ද?
Delete"Elderly" White Woman in Wheelchair STABS Protestors at Target in Minneapolis Riots
උඩ වීඩියෝනම් බැලුවේ නැහැ. පහළ එක බැලුවා. ඇමරිකාව කියන්නේ විවිධ අදහස් දරන මිනිස්සු ඉන්න රටක්. ජාතීවාදීන්, ආගම්වාදීන්, වාමාංශික හා දක්ෂිණාංශික අන්තවාදීන් ඇමරිකාවෙත් ඉන්නවා. එය සාමාන්‍ය දෙයක්. ඇතැම් අය විරෝධතාවයට මුවා වී දේපොළ හොරකම් කරනවා. පැහැර ගන්නවා. මේ වගේ වෙලාවක විරෝධතාකරුවන් හා මංකොල්ලකරුවන් කලින් වෙන් කර හඳුනා ගන්න බැහැ. ඔවුන් විරෝධතාකරුවන් අතර සිට ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. එක තැනක රූපවාහිණී යන්ත්‍ර ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් කඩලා රූපවාහිණි යන්ත්‍ර පැහැරගෙන යනවා මම දැක්කා. එතකොට ATM යන්ත්‍ර ගලවලා වාහන වල පටවාගෙන යනවා. මේ වගේ දේවල් වල දේශපාලනික අරමුණකට වඩා තිබෙන්නේ අනුන්ගේ දෙයක් මංකොල්ල කෑමේ අරමුණයි. මේ වෙලාවේ මේ වගේ දේවල් වැඩිපුර කරන්නේ කළු ජාතිකයින් වුනත් වෙනත් අයත් ඉන්නවා. විශාල සුපිරි වෙළඳසැල් වලට කළු හෝ සුදු කියා කිව හැකි නිශ්චිත අයිතිකාරයෙක් නැහැ. ඒවායේ වැඩ කරන්නෙත් සේවකයෝ. ඒ අය ඔය වගේ වෙලාවක පණ බේරාගෙන පැත්තකට වෙනවා. නමුත්, පොඩි කඩ වලට කවුරු හෝ නිශ්චිත තනි අයිතිකාරයෙක් ඉන්නවා. ඒ අය සුදු අය වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. වෙඩි තැබීමේ සිද්ධියට මුල් වූ දුරකථන ඇමතුම දුන් කඩයේ අයිතිකරුත් සුළු ජාතිකයෙක්. තමන්ගේ දේපොළ පැහැර ගන්න එන කොට දේපොළ අයිතිකරුවෝ ප්‍රතිරෝධය දක්වනවා. එවිට ගැටුම් ඇති වෙනවා. සුදු ජාතිකයන්ගේ කඩවල් කඩා ඒවායේ දේපල රැගෙන යන කළු ජාතිකයන්ගේ වීඩියෝ බොරු නෙමෙයි. වැරැද්ද කළු ජාතිකයන් විසින් සුදු ජාතිකයින්ගේ කඩවල් කඩන සේ දකින එකේ. කඩ කඩන්නේ අයිතිකාරයාගේ හමේ පාට දැනගෙන නෙමෙයි. බඩු පැහැර ගැනීමේ අරමුණින්. මේ වැඩේට විරෝධය දක්වන අය අතරත් සුදු ජාතිකයින් වගේම කළු ජාතිකයිනුත් ඉන්නවා. මංකොල්ලකරුවන්ගේ පහර දීමට ලක්වන කළු ජාතිකයින්ගේ වීඩියෝත් තියෙනවා. හිතා මතා වීඩියෝ තෝරා බේරා නොගත්තොත් ඔය හැම දෙයක්ම වීඩියෝ වල දකින්න පුළුවන්. අර මහලු කාන්තාවත් වෙළඳසැල මංකොල්ල කෑමට එරෙහි වූ නිසා පහර කෑමට ලක් වූ බවකුයි එහි කියන්නේ. මම වැඩි තොරතුරක් දන්නේ නැහැ.
Delete