වෙබ් ලිපිනය:

Monday, June 29, 2020

හෝම්ලස් මිනිස්සු


ඇමරිකාවේ නිවාස අහිමි ජනතාව අපේ බ්ලොග් එක කියවන සමහර අයගේ විශේෂ අනුකම්පාවට ලක් වන පිරිසක්. ලංකාවේ නිවාස අහිමි අයට නිවාස ලබා දෙන්න ඇමතිලා හිටියත් ඇමරිකාවේ එහෙම නැති නිසා මේ විශේෂ අනුකම්පාව ඇති වෙනවා වෙන්න පුළුවන්.

ඇමරිකාවේ නිවාස අහිමි ජනගහණය පිළිබඳව වාර්ෂික සමීක්ෂණයක් සිදු කරනවා. ඇමරිකාවේ නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් සිදු කරන මේ සමීක්ෂණයේදී වසරේ නිශ්චිත දිනක රැය ගෙවන්නට සුදුසු ස්ථිර වාසස්ථානයක් නැති පුද්ගලයින් ප්‍රමාණය ඇස්තමේන්තු කෙරෙනවා. එය බොහෝ විට සිදු කරන්නේ ජනවාරි මාසයේ අවසන් සතියේදී. පසුගිය 2019 වසරේදී මෙසේ ඇස්තමේන්තු සකස් කළ දිනයේ නිවාස අහිමිව සිටි පිරිස 567,715ක්. එයින් 43%ක්ම සිටින්නේ කැලිෆෝර්නියා හා නිවු යෝර්ක් ප්‍රාන්ත වලයි.

කිසියම් දිනක මෙවැනි ගණන් ගැනීමක් කරන විට විවිධ හේතු මත නිවාස අහිමි පුද්ගලයෙකු බවට පත්ව සිටින අය හමු වෙනවා.
- ලැව් ගිණි, සුළි සුළං ආදී කිසියම් ස්වභාවික ආපදාවක් නිසා තාවකාලික නවාතැනක සිටින අය
- පවුල් ප්‍රශ්න නිසා නිවසින් පිටව ගොස් සිටින අය; උදාහරණයක් විදිහට ගෙදරින් පැන යන දරුවන්
- මානසික රෝග, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය වැනි හේතු නිසා නිවසින් බැහැරව රැය පහන් කරන අය
- මුදල් ප්‍රශ්න නිසා පාරට වැටී සිටින අය

මේ බොහෝ දෙනෙක් බෝඩ් අල්ලා පාරේ හිඟා කන අය නෙමෙයි. සමහර විට ස්ථිර වාසස්ථානයක් හොයා ගන්නා තුරු හෝටලයක හෝ වෙනත් අයෙකුගේ නිවසක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කිසියම් හේතුවක් නිසා එදා රැය බස් නැවතුමක හෝ වෙනත් පොදු ස්ථානයක පහන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් බෝඩ් අල්ලා පාරේ හිඟා කන අයත් මේ අතර ඉන්නවා.

පසුගිය දවස් වල අප කතා කළ රට ගිය ඇත්තෝ කතාවේ සිරිල් සපරමාදු හෝම්ලස් තත්ත්වයට පත් වෙන්නේ ඔහුගේ පුතා ඔහුව අපාර්ට්මන්ට් එකේ තබා පැන ගිය දවසේ නෙමෙයි. ඔහුගේ දුවගේ නිවසේ සිට ඔහු පුතාගේ අපාර්ට්මන්ට් එකට එන දවසේයි. සිරිල් සපරමාදු පුතාගේ අපාර්ට්මන්ට් එකට නොපැමිණ හෝටලයක නැවතුණත් ඔහු හෝම්ලස් පුද්ගලයෙක්. නිවසක් ලෙස හඳුන්වන, මිනිස් වාසයට සුදුසු, නිශ්චිත ස්ථිර වාසස්ථානයක් නැත්නම් එය හෝම්ලස් වීමක්.

ගණනය කළ රැයේ නිවාසයක් අහිමි තත්ත්වයට පත් වී සිටි 567,715 දෙනෙකුගෙන් 396,045 දෙනෙක් තනි පුද්ගලයින්. ඉතිරි පිරිස, එනම් 171,670 දෙනෙක්, නිවාස අහිමිව සිටි පවුලක සාමාජිකයින්.

නිවාස අහිමි අයගෙන් 63%ක්, එනම් 356,422ක්, කවර හෝ සුදුසු වාසස්ථානයක රැය ගෙවන අය වුවත් ඉතිරි පිරිස මිනිස් වාසයට යෝග්‍ය තත්ත්වයන් ඇති තැනක රැය නොගෙවූ අයයි. එම ප්‍රමාණය 211,293ක්. මෙසේ මිනිස් වාසයට යෝග්‍ය තත්ත්වයන් ඇති තැනක රැය නොගෙවූ වැඩි දෙනෙක්, එනම් 196,514ක්, තනි පුද්ගලයින්. එවැනි තැනක රැය ගෙවූ පවුල් වල සාමාජිකයින් ප්‍රමාණය 14,779ක්. ආසන්න වශයෙන් නිවාස නිවාස අහිමි පවුල් පන්දහසක් පමණ. මේ අයගෙන් බොහෝ දෙනෙක්ද කිසියම් හේතුවක් නිසා තාවකාලිකව නිවාස අහිමි වී සිටින අයයි.

මිනිස් වාසයට යෝග්‍ය තත්ත්වයන් ඇති තැනක රැය නොගෙවූ පිරිස අතරින් 119,487ක් සුදු ජාතිකයින් වන අතර 56,381ක් කළු ජාතිකයින්. අඩකටත් වඩා, එනම් 108,432 දෙනෙක් කැලිෆෝර්නියානුවන්.

නිවාස අහිමි ඇමරිකානුවන් අතරින් 96,141 දෙනෙක් ප්‍රවේණිගත නිවාස අහිමි පුද්ගලයින් ලෙස සැලකෙන අයයි. මේ අර්ථකථනයට වැටෙන්නේ පසුගිය වසර තුනෙන් අවම වශයෙන් වසරක කාලයක් එක දිගට හෝ වරින් වර නිවාස අහිමි තත්ත්වයට පත්ව සිටි අයයි. ඒ අය අතරින් 60,941 දෙනෙක් මිනිස් වාසයට නුසුදුසු තැනක රැය පහන් කරන අය. බොහෝ දෙනෙක් හෝම්ලස් පුද්ගලයින් සේ හඳුනා ගන්නා සිරිල් සපරමාදු චරිතයේ අවසන් කාලයේ සිටින තත්ත්වයට පත් වී සිටින අය ඉන්නේ මේ ගොඩේ.

ගණනය සිදු කරන රැයේ කවර හේතුවක් නිසා හෝ නිවාස අහිමිව සිටි මුළු පිරිස ඇමරිකාවේ ජනගහණයෙන් 0.17%ක් වුවත්, ඒ අය අතරින් සිරිල් සපරමාදු ඔහුගේ පුතාගේ නිවසේ සිටියාක් මෙන් වාසයට සුදුසු නිවසක සිටින අය හා තාවකාලිකව නිවාසයක් අහිමිව සිටින පිරිස ඉවත් කිරීමෙන් පසුව, ප්‍රවේණිගත නිවාස අහිමි තත්ත්වයේ සිටි පිරිස මුළු ජනගහණයෙන් 0.02%කට අඩුයි. තාවකාලිකව හෝ වාසයට යෝග්‍ය නොවන තැනක රැය පහන් කළ පිරිසද එකතු කළ විට ජනගහණයෙන් 0.06%ක්.

ඇමරිකාවේ නිවාස අහිමි පිරිස් පිළිබඳව පසුගිය සැප්තැම්බරයේදී ධවල මන්දිරයේ ආර්ථික උපදේශක සභාව විසින් සකස් කළ අලුත්ම වාර්තාවක ඇමරිකාවේ නිවාස අහිමි වූවන්ගේ ප්‍රශ්නයට ප්‍රධාන හේතු හතරක් හඳුනාගෙන තිබෙනවා.

- නිවාස වෙළඳපොල අධි නියාමනය: ප්‍රාන්ත ආණ්ඩු හා ප්‍රාදේශීය ආණ්ඩු විසින් වාණිජ හා නේවාසික ගොඩනැගිලි ඉදි කළ හැකි කලාප තීරණය කිරීම, ගෙවල් කුලී සීමාවන්, නිවාස ප්‍රතිසංස්කරණය පිළිබඳ රෙගුලාසි, බලශක්ති හා ජල භාවිතය කාර්යක්ෂම කිරීම සඳහා වන නීති, උපරිම ජන ඝනත්ව සීමාවන්, ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීම, තෙත්බිම් සුරැකීම ඇතුළු පාරිසරික රෙගුලාසි, වාහන නැවැත්වීම සඳහා අවම ඉඩකඩ ආදී විවිධ ආකාර වලින් නිවාස ඉදි කිරීමේ කර්මාන්තය "ඕනෑවට වඩා" නියාමනය කිරීමේ අවසන් ප්‍රතිඵලය නිවාස මිල ඉහළ ගොස් කිසියම් පිරිසකට එම මිල දරා ගත නොහැකි වීමයි. නියාමනයේ බර ඉහළ යන තරමට නිවාස ඉදි කිරීමේ පිරිවැය හා නිවාස මිල අතර පරතරය ඉහළ ගොස් ඇති බව පෙනෙනවා. වාර්තාවේ ඇස්තමේන්තු අනුව අධි නියමනයේ බර නොවන්නට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ නිවාස අහිමි ජනගහණය 54%කින් අඩු වෙනවා. ඇමරිකාවේ ප්‍රධාන නගර දහයක නිවාස අහිමි ජනගහණය 71,709කින් හෙවත් 31%කින් අඩු වෙනවා.

- පොදු ස්ථාන වල නිදා ගැනීම පාලනය නොකිරීම: එළිමහනේ රැය ගෙවීම අසීරු ප්‍රදේශ වල නිවාස අහිමි පුද්ගලයින් දැකිය හැක්කේ අඩුවෙන්. එයට හේතුව එම ප්‍රදේශ වල එළිමහනේ රැය ගෙවීමට කාලගුණය බාධාවක් වීමයි. එහෙත්, කාලගුණය මේ සඳහා බලපාන එකම සාධකය නෙමෙයි. ඕලන්ඩෝ, ලාස් වේගාස් හා සැන් ෆ්‍රැන්සිස්කෝ නගර තුනේම සාමාන්‍ය ජනවාරි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 50-60 අතර වුවත් ජනගහණය දස දහසකට නිවාස අහිමි ප්‍රමාණය 2, 19, 60 ලෙස සැලකිය යුතු තරම් වෙනස් වීමෙන් පෙනෙන්නේ කාලගුණයට අමරතව වෙනත් සාධක මේ සඳහා බලපාන බවයි.

- නිවාස අහිමි පිරිස් සඳහා නිවාස සැපයීම: නිවාස අහිමි පුද්ගලයන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ඔවුන්ට නිවාස සැපයීමෙන් තාවකාලිකව නිවාස අහිමි පුද්ගලයන් ප්‍රමාණය අඩු වී ප්‍රශ්නය යටපත් වන නමුත් දිගුකාලීනව එයින් සිදු වන්නේ තවත් බොහෝ පිරිසකට නිවාස අහිමි තත්ත්වයට පත් වීමට දිරි දීමක්. ඒ නිසා දිගුකාලීනව මෙයින් සිදු වන්නේ නිවාස අහිමි පුද්ගලයන්ගේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වීමයි.

- පුද්ගල සාධක: නිවාස අහිමි පුද්ගලයින්ගෙන් 111,122ක් (20%ක්) මානසික ආබාධ වලින් පෙළෙන අයයි. තවත් 86,647ක් (16%ක්) දරුණු ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයයි. සමාජ සම්බන්ධතා බිඳ වැටීම තවත් හේතුවක්. 2017 වසරේදී නිවාස අහිමි අය සඳහා ඇති වාසස්ථාන කරා පැමිණි අයගෙන් 51%ක්ම කෙළින්ම නිවසක සිට පැමිණි අයයි.

මේ වාර්තාවේ විශ්ලේෂණ සිදු කර තිබෙන්නේ ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම්ව වුවත් එම විශ්ලේෂණ තුළින් පිළිබිඹු වන්නේ ඇමරිකාවේ නිවාස අහිමි වූවන්ගේ ප්‍රශ්නය පිළිබඳ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ මතය කියා කිව හැකියි. ඩිමොක්‍රටික් පක්ෂයට නැඹුරුවක් ඇති අය මෙය දකින්නේ නිවාස අහිමි පිරිස් වලට "දඬුවම් කර" ප්‍රශ්නය විසඳීමේ ක්‍රමවේදයක් ලෙසයි.

1 comment:

  1. ලංකාවේ පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය පැවති කාලයේ සිදුවූ පාස්කු ප්‍රහාර මාලාවේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තාට අයත් වූ තඹ නිෂ්පාදනය කරන කොලෝසස් පුද්ගලික සමාගමට අධික ලාභයක් ලැබෙන ලෙස, හිටපු එජාපයේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යවරයකු වූ රිෂාද් බදියුදීන් කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා අසාධාරණ ලෙස රජයෙන් ලබා දී ඇති තඹ අමුද්‍රව්‍ය වෙනුවෙන් විශාල ලෙස වට්ටම් ලබා දී ඇති බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ අලෙවි අධ්‍යක්ෂ සරත් උදයසිරි පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමි න්ප්‍රකාශ කරලා.

    ලංකාවේ මේ කියන කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඇස්තමේන්තුගත ලේඛනවලට අනුව කොලෝසස් පුද්ගලික සමාගමට වාසි සහගත ලෙස තඹ අමුද්‍රව්‍ය විකිණීම නිසා එම මණ්ඩලයට රුපියල් මිලියන සිය ගණනකට අධිකව පාඩුවක් සිදු වී ඇති බවද, සරත් උදයසිරි කියල කියන්නේ.

    ඒ වගේම කොලෝසස් පුද්ගලික සමාගමට එලෙස අධික ලාභයක් ලැබීමට සැලැස්වීම නිසා පාඩු සිදු වූ තඹ අමුද්‍රව්‍ය මිලදීගන්නා අනිකුත් සමාගම් කාර්මික සංවර්ධන මණ්ඩලයටත් සහ පැවති එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රාශියක් වෙත දිගින් දිගටම පැමිණිලි ඉදිරිපත් කර තිබූ බවද අනාවරණය වී තිබේ.

    ඒ අදහස සරත් උදයසිරි මෙලෙස ප්‍රකාශ කලේ 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාර්මික සංවර්ධන මණ්ඩලයේ විකුණුම් ලේඛනවල සඳහන් තොරතුරු ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කරමිනි.

    ලංකාවේ පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොට තිබෙන විශේෂ කාර්යාලයේදී රැස්වී මෙම විමර්ශන කටයුතු කරනවා.

    මේ වට්ටම් කතාව මොකක්ද ඉකොනොමැට්ටා?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: