වෙබ් ලිපිනය:

Wednesday, May 6, 2020

ධනවාදය අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකරයි!


වී ගොවිතැනින් අපි නැවතත් ධනවාදයට එමු. ඇමරිකාවේ කුඹුරු අක්කරයක් කරන්න ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක් පමණ යනවා. ඉන්දියාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල එයින් 40%කට වඩා වැඩි නැහැ. ලංකාවේ කුඹුරු අක්කරයක් කරන්න වියදම් වන මුදල වුවත් ඇමරිකාවේ වියදමෙන් 60%කට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ, ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක්ට ඇමරිකාවේ වී ගොවියෙක්ට වඩා අඩු මිලකට වී සපයන්න පුළුවන්. එහෙම තියෙද්දී, ඇමරිකාවේ වී ගොවියා ඉන්දියාවේ වී එක්ක තරඟ කරන්නේ කොහොමද?

මේ ප්‍රශ්නයම ලංකාව හා ඉන්දියාව හා අදාළව ඇහුවොත් පිළිතුරු තරමක් පැහැදිලියි. ලංකාවේ සහල් හිඟයක් ඇති වුනු විටක හැර බොහෝ විට ආණ්ඩුව විසින් සහල් ආනයනය වළක්වනවා. ආනයනය කරන සහල් වලට බදු පනවනවා. පොහොර වලට සහනාධාර දෙනවා. වතුර නොමිලේ දෙනවා. රජය මැදිහත්ව සහතික මිලකට වී මිල දී ගන්නවා. ඔය වගේ ගොඩක් දේවල් කරනවනේ.

ඇමරිකාවේ ඔය දේවල් බොහොමයක්ම කෙරෙන්නේ නැහැ. ඇමරිකාවට සහල් ආනයනය කරන්න බාධාවක් නැහැ. ඉන්දියාව වගේ රට වලට GSP සහන පවා ලැබෙනවා. පොහොර සහනාධාර නැහැ. වතුර නොමිලේ ලැබෙන්නේ නැහැ. මිල පහත වැටීමෙන් සිදු විය හැකි අවදානම නැති කර ගන්න ගොවීන් විසින් රක්ෂණයක් ලබා ගත යුතුයි. එම රක්ෂණ වාරිකයේ වියදමෙන් කොටසක් පමණක් රජය විසින් සුබසාධනය කරනවා.

ඇමරිකාවේ ගොවිපොළක වැඩ කරන මධ්‍යස්ථ කම්කරුවෙකුගේ දෛනික වැටුප ඩොලර් 99.84ක් වෙනවා. ලංකාවේ වියලි කලාපයේ මේ ගණන රුපියල් 1,381ක්ද, තෙත් කලාපයේ 1,166ක්ද වෙනවා. ඒ කියන්නේ ඩොලර් 6-7ක් පමණ. ඉන්දියාවේනම් ප්‍රාන්තය හා ස්ත්‍රීපුරුෂ භාවය අනුව බොහෝ විට ඉන්දියානු රුපියල් 200-300 අතර. ඒ කියන්නේ ඩොලර් 3-4 පමණ. ඇමරිකාවේ නුපුහුණු ශ්‍රමය දළ වශයෙන් ඉන්දියාවේ මෙන් 30 ගුණයක් හා ලංකාවේ මෙන් 15 ගුණයක් පමණ මිල අධිකයි.

මේ අවාසිදායක තත්ත්වයන් සියල්ල හමුවේ ඇමරිකාවේ වී ගොවියා ලාබ ලබන්නේ වී ගොවිතැනේ කාර්යක්ෂමතාවය වැඩි නිසයි. ඉන්දියාවේ හෝ ලංකාවේ වී ගොවියෙකු අක්කරයකින් ලබා ගන්නා වී ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් පමණ ඇමරිකාවේ වී ගොවියෙකු ලබා ගන්නවා.

මේක මම මේ දැන් හොයා ගත් දෙයක් හෝ ගොඩක් අය නොදන්නා රහසක් නෙමෙයිනේ. පහළින් තියෙන්නේ කිහිප දෙනෙකු විසින් පසුගිය ලිපි වලට දැමූ ප්‍රතිචාර.

"නැගෙනහිර ආසියනු රටවල් අක්කරයකට ගන්න වි අස්වැන්නෙන් අපි ගන්නේ හරියටම භාගයයි.ඒ කියන්නේ අපිට අවශ්‍ය වි නිපදවා ගැනිමට අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක භූමි ප්‍රමාණයක් අපි භාවිතා කරනවා.මේ අස්වැන්න අඩුකම තමයි ගොවියා දුප්පත් විමට හේතුව."
- විපුල අබේසිංහ

"මට හිතෙන විදියට ලන්කාවෙ ගොවිතැන පාඩු ලබන්න අකාර්යක්ෂමතාවය ගොඩක් බලපානවා."
- Mahesh

"ලංකාවේ අස්වැන්න අඩු වෙන්න එක හේතුවක් වෙන්නේ වී ගොවිතැනට නොසුදුසු වැලි සහිත ඉඩම් වී වගාවට යොදා ගැනීම, ලැබෙන සහනාධාර සහ පහසුවෙන් වාරි ජල සම්පාදනය කළ හැකි තැන් වල පැවතීම නිසා ඒවා අතහැර දැමෙන්නෙත්  නෑ.නමුත් වාරිජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පලදායී නොවන අයුරින් අපතේ යන්නත්, ක්‍රිටිකල් අවධි වලදී ජල හිඟයක් ඇතිවෙන්නත් එය හේතු වෙනවා."
-ඇණයා Nut Man

"ජපානය වී අස්වැන්න ඉහල දැමීම සඳහා යාන්ත්‍රීකරණය කළ හැකි අයුරින් සියළු ගොවිබිම් නැවත සකස්කළ බව කියවා එහෙන් මෙහෙන් කියවා තියනවා, ඊට පෙර එහි පැවතියේ අපේ උඩරට වැනි කුඩා කුඹුරු කියායි හැඟුනේ. එහිදී ඉඩම් අයිතිය ප්‍රතිසංස්කරණය වුනාදැයි පැහැදිලි නොවූ නමුත් පසු කාලීනව ඉඩම්කට්ටි විශාල වී ඇති බව පෙනී යනවා, අපටත් ඒවැනි ප්‍රතිසංස්කරනයක් අවශ්‍යයි නේද?"
-ඇණයා Nut Man

ඉහත ප්‍රතිචාර වල වී ගොවිතැන හා අදාළ ගැටළු වගේම විසඳුම් යෝජනාද තිබෙනවා. ඇමරිකාව වගේ රටක මෙහි සඳහන් ඉඩම් කට්ටි විශාල වීම, යාන්ත්‍රීකරණය, වාරි ජල කළමනාකරණය, වී වගාව සඳහා සුදුසු ඉඩම් යොදා ගැනීම ආදිය හරහා කාර්යක්ෂමතාවය වැඩි වෙද්දී ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි? ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර මේ දේවල් තේරෙන කිසිවෙකු නැති වෙන්න විදිහක් නැහැනේ.

ඇත්තටම ලංකාවේ එහෙම වෙලා නැත්තේ ඇයි කියා ඇහුවොත් එය අසාධාරණ ප්‍රශ්නයක්. පහුගිය කාලය පුරාවට ලංකාවේ වී වගාවේ කාර්යක්ෂමතාවය ටිකෙන් ටික ඉහළ ගිහින් තියෙනවා. ඒ සඳහා බොහෝ දෙනෙක් දායක වෙලත් තියෙනවා. නමුත්, අවසාන වශයෙන් ඇමරිකාවේ වී ගොවිතැන ලංකාවේ හා ඉන්දියාවේ වී ගොවිතැනට වඩා ගොඩක් කාර්යක්ෂමයි. එහෙම වුනේ කොහොමද?

මේ කතාවට ධනවාදය සම්බන්ධ වෙන්නේ මෙතැනදී. ඇමරිකාවේ ආණ්ඩු වී ගොවීන්ගේ ප්‍රශ්න හඳුනා ගෙන ඒවාට විසඳුම් දීලා නැහැ. වී වගාව කාර්යක්ෂම කරලත් නැහැ. කුඩා ඉඩම් කට්ටි ලොකු කරලත් නැහැ. සහතික මිල රක්ෂණයේ වාරික මුදලින් කොටසක් හැර වෙනත් සුබසාධනය කිරීම් කරලත් නැහැ. වී වවන්න තැන් වෙන් කරලා දීලත් නැහැ. වී වවන ඉඩම් වෙනත් වැඩකට යොදා ගැනීම වලක්වලත් නැහැ. කෙටියෙන්ම කිවුවොත් ලංකාවේ හැටියට ආණ්ඩුව විසින් කිසිම දෙයක් කරල නැහැ.

ඇමරිකාවේ වී ගොවීන්ගේ ලාබ වල රහස ඔය විදිහට ආණ්ඩුව විසින් කිසිම දෙයක් නොකර වෙළඳපොළට ඉඩ දීමයි. එහි ප්‍රතිඵලයක් විදිහට ධනවාදය ක්‍රියාත්මක වී තිබෙනවා. කිසිකෙනෙක් ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම කිරීමේ අරමුණ වෙනුවෙන් වැඩ කරලා නැහැ. කවුරුත් වැඩ කරලා තියෙන්නේ තම තමන්ගේ ලාබ වැඩි කර ගැනීමේ අරමුණෙන්. එහි අවසාන ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාවේ වී වගා කර්මාන්තය කාර්යක්ෂම වී තිබෙනවා.

අකාර්යක්ෂමතාවය හමුවේ ධනවාදය කුරිරුයි. සානුකම්පික නැහැ. ධනවාදයට අකාර්යක්ෂමතාවය හමු වූ විට හැකි ඉක්මණින් අකාර්යක්ෂමතාවය විනාශ කර දමනවා. ආයේ බල බලා ඉඳීමක් නැහැ. හැබැයි ධනවාදය ලාබ හොයන්නන්ට උදවු කරනවා. වෙනත් සමහර රටවල ආණ්ඩු හා දේශපාලන පක්ෂ සාමාජිකයින් වගේ ලාබ හොයන අයගේ පස්සේ පන්නමින් ඔවුන් සමාජ සතුරන් සේ සලකා විනාශ කර දමන්නේ නැහැ.

ලාබ හා කාර්යක්ෂමතාවය කියන්නේ එකම කාසියේ දෙපැත්තයි. ලාබ හෙවීමේ තරඟය තුළ අකාර්යක්ෂමතාවය ටිකෙන් ටික මිය යනවා. ලාබ ලැබීම පහත් කොට සලකන සමාජ වලදී කාර්යක්ෂමතාවය පෑල දොරෙන් පැන යනවා. ධනවාදය අකාර්යක්ෂමතාවයට මානුෂික ලෙස සලකන්නේ නැහැ.

ආර්ථික වාසි සොයා මිනිස්සු රටකින් රටකට සංක්‍රමණය වෙනවා. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ රන් ඉල්ලම් මතු වූ කාලයේ චීන ජාතිකයින් හතළිස් දහසක් පමණ ඉසුරු සොයා ඇමරිකාවට පැමිණ තිබෙනවා. මේ මිනිස්සු ඇමරිකාවට ආවේ පක්ෂ සාමාජිකයින් කැට හොල්ලා එකතු කරපු සල්ලි වලින් කම්කරු සම්මේලනයකට ගිහින් ආතල් එකක් ගන්න පක්ෂ නායකයෙක් වගේ ඇමරිකාවේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා යන්න නෙමෙයිනේ. ඒ නිසා, ඒ මිනිස්සුන්ට තමන් චීනයේදී ආහාරයට ගත් බත් ඇමරිකාවේදීත් ඕනෑ වුනා. ඒ එක්ක එක පාරටම ඇමරිකාවේ හාල් වලට සැලකිය යුතු ඉල්ලුමක් ඇති වුනා.

නොසන්සිඳුණු ඉල්ලුමක් කියා කියන්නේ ව්‍යවසායකයෙකුට ලාබ ලබන්න අවස්ථාවක්. ධනවාදය ලාබ හොයන ව්‍යවසායකයින්ට අකුල් හෙළන්නේ නැහැ. ඔය වගේ ඉල්ලුමක් සපුරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් චීනයෙන් හෝ වී වවන වෙනත් රටකින් සහල් ආනයනය කරන එක. දෙවන එක ඇමරිකාවේ වී වවන එක. දෙකෙන් වඩා කාර්යක්ෂම කොයි එකද කියන එක තීරණය වෙන්නේ ලැබෙන ලාබ මතයි. ඇමරිකාවේ වී වවන එක නරක විකල්පයක් නොවූ නිසා පසුගිය සියවසේ මුල හරියේදී ඒ වැඩේ පටන් ගත්තා. තවමත් තිබෙන කැලිෆෝනියාවේ සැක්රමෙන්ටෝ නිම්නය ආශ්‍රිත වී කලාපය එහි ප්‍රතිඵලයක්.

ඇමරිකාව වගේ ධනවාදී රටක වී වවන ගොවියෙකු මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙකක් තිබෙනවා. පළමු එක රට ඇතුළේ වෙළඳ තරඟයට මුහුණ දීම. දෙවැන්න ආනයනික සහල් සමඟ තරඟ කරන එක.

ලෝකයේ හාල් නිෂ්පාදනය බොහෝ දුරට සිදු වෙන්නේත්, වැඩිපුරම හාල් පරිභෝජනය කරන්නේත් ආසියා කලාපයේ. හාල් කර්මාන්තය හා අදාළව සැලකු විට චීනය, ඉන්දියාව, තායිලන්තය වැනි දැවැන්තයින් හමුවේ ඇමරිකාව හාල් කෑල්ලක්. හාල් කිලෝවක මිල තීරණය කරන්නේ ඒ දැවැන්තයින් විසිනුයි. ඇමරිකාවට මිලට බලපෑමක් කරන්න බැහැ.

වී ගොවිතැන ශ්‍රමමූලික කර්මාන්තයක්. ලංකාව ගත්තොත් වියලි කලාපයේ අක්කරයක වී වවන්න මිනිස් දින 17ක් අවශ්‍යයි. තෙත් කලාපයේ තවත් වැඩියි. ලංකාව, ඉන්දියාව වගේ රටවල මිනිස් ශ්‍රමය ඇමරිකාවට සාපේක්ෂව ගොඩක් ලාබ බව කලිනුත් කිවුවනේ. එහෙමනම් ඇමරිකාව තරඟයට මුහුණ දෙන්නේ කොහොමද?

එක විසඳුමක් වන්නේ ආරක්ෂණවාදය. සහල් ආනයනය තහනම් කළානම් ඇමරිකාවේ වී ගොවීන්ට ඇමරිකාව ඇතුළේ වැඩි මිලකට හාල් විකුණන්න පුළුවන්. හැබැයි ජීවිතේට ජාත්‍යන්තරේට යන්න බැහැ. ඒ වගේම, කොයි වෙලාවක හරි ආනයන තහනම ඉවත් කළ වහාම ඇමරිකාවේ දේශීය වී ගොවියා හාන්සි. හරියට ජේආර් රට විවෘත කරපු ගමන් සමගි පෙරමුණු නිෂ්පාදකයෝ වාෂ්ප වෙලා ගියා වගේ.

ඇමරිකාවේ ප්‍රතිපත්තිය සාමාන්‍යයෙන් මේ වගේ බියගුළු එකක් නෙමෙයි. කෝවිඩ් වලින් බේරෙන්න රට වහගෙන ඉන්න පුළුවන්. හැබැයි කොච්චර කල් කියලා ඔහොම ඉන්නද? කවදා හරි රට ඇරපු ගමන් බඩු. මැරෙන එකා මැරෙන්න ඇරලා කරන වැඩ ඒ විදිහටම කරගෙන ගියානම් දුර්වල අය මැරිල ගිහින් ඉතුරු වෙන්නේ වෛරස් එකකටවත් බය නැති මිනිස්සු.

වෛරස් සම්බන්ධව ඇමරිකාව ඒ වගේ ප්‍රතිපත්තියක නැහැ. නමුත්, වී ගොවීන් ඇතුළු නිෂ්පාදකයින් සම්බන්ධව ඇමරිකාවේ ප්‍රතිපත්තිය ඔය වගේ එකක්. පලයන් ගිහිං සටන් කරපන්. පුළුවන්නම් චීනයේ, ඉන්දියාවේ වී ගොවීන් එක්ක සටන් කරලා දිනපන්. බැරිනම් මැරියන්.

ඉතිං මොනවා කරන්නද? ඇමරිකාවේ වී ගොවියාට ලෝකයේ අනෙක් රටවල් එක්ක සටන් කරන්න වෙනවා. නමුත්, මෙය සාධාරණ තරඟයක් නෙමෙයි. ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 30 ගුණයක් වැඩියි. ඒ නිසා, ඇමරිකාවේ වී ගොවියෙක්ට ඉන්දියාවේ වී ගොවියන් 30 දෙනෙක් එක්කයි සටන් කරන්න වෙලා තියෙන්නේ. තනි ඇමරිකන් කාරයා ගිහින් තිහකට ගේම දීලා එන හොලිවුඩ් චිත්‍රපට වල වගේ.

ඔහොම තිහකට තනියම ගේම දීලා එන්න පුළුවන් ඇමරිකානුවෝ ඉන්නවා. හැබැයි ගොඩක් ඇමරිකානුවන්ට ඔය වගේ දෙයක් කරන්න බැහැ. ධනවාදය විසින් කරන්නේ එහෙම පුළුවන් කෙනාව හොයා ගෙන අවස්ථාව දෙන එකයි. මේ කටයුත්තේදී අතින් පයින් ගහගන්න යනවාට වඩා ආයුධයක් අරන් යාම කාර්යක්ෂමයි. ඒ කියන්නේ ඇමරිකාවේ වී ගොවියා විසින් කළ යුත්තේ මිනිස් ශ්‍රමය යොදා ගැනීම පුළුවන් තරම් අඩු කරලා වැඩි වැඩියෙන් යාන්ත්‍රික ශ්‍රමය යොදවන එකයි. තිහකට ගහන එකේ රහස තියෙන්නේ එතැනයි.

ඇමරිකාවේ ශ්‍රමය ඉන්දියාවේ මෙන් 15 ගුණයක් හා ලංකාවේ මෙන් 30 ගුණයක් මිල අධික බව මම කිවුවනේ. එසේ තියෙද්දීත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න යන ශ්‍රමයේ වියදම ලංකාවේ වියදමට වඩා අඩුයි. ලංකාවේ වී අක්කරයක් වවන්න මිනිස් දින 17ක් අවශ්‍ය වුවත්, ඇමරිකාවේ වී අක්කරයක් වවන්න උපයෝගී කර ගන්නේ මිනිස් පැය 4ක් පමණයි. ලංකාවේ වී ගොවියා දවස් 17ක් තිස්සේ කරන වැඩ ඇමරිකාවේ වී ගොවියා පැය 4කින් කරන්නේ යාන්ත්‍රික ශ්‍රමයේ උදවුවෙන්.

ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය ඇමරිකාවේ මිනිස් ශ්‍රමයට වඩා ලාබයි. ඒ නිසා, මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය යොදාගත් විට කාර්යක්ෂමතාවය ඉහළ යනවා. හැබැයි ඇමරිකාවේ යාන්ත්‍රික ශ්‍රමය වුවත් ලංකාවේ හෝ ඉන්දියාවේ මිනිස් ශ්‍රමය තරම් ලාබ නැහැ. ඒ නිසා, මේ වැඩේ කළා කියලත් ලංකාවේ හෝ ඉන්දියාවේ වී ගොවියෙක් එක්ක තරඟ කරන්න බැහැ. ඒ වැඩේට අස්වැන්න වැඩි කරගන්නම වෙනවා.

අස්වැන්න වැඩි කරගන්න පුළුවන් එක ක්‍රමයක් වන්නේ පොහොර හා රසායන වැඩියෙන් යොදන එකයි. ඇමරිකානු ගොවියා එය කරනවා. හැබැයි එයින් ආදායම වගේම වියදමත් ඉහළ යනවා.

ඇමරිකාවේ කෘෂිකර්මය හා අදාළ මූලික පර්යේෂණ බොහොමයක්ම කෙරෙන්නේ විශ්ව විද්‍යාල ආශ්‍රිතවයි. බොහෝ විට ගොවීන් විසින් මෙවැනි පර්යේෂණ සඳහා මුදල් ප්‍රදාන සිදු කරනවා. මිල ගෙවිය යුත්තේ වාසිය ලබන පුද්ගලයා කියන එක ඇමරිකානු ක්‍රමයයි.

අවසාන වශයෙන් ඇමරිකානු වී ගොවියා මුහුණ දෙන ධනවාදී තරඟය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමේ තරඟයක්. වෙළඳපොළේ රැඳී ඉන්නනම් මොන විදිහකින් හෝ ආදායම් වැඩි කරගෙන වියදම් අඩු කරගත යුතුයි. නමුත්, සහල් මිලට බලපෑමක් කිරීමේ හැකියාවක් නැති නිසා ආදායම් වැඩි කර ගත හැක්කේ අස්වනු ඵලදායීතාව වැඩි කර ගැනීමෙන් පමණයි. අනෙක් අතට මිනිස් ශ්‍රමය, යාන්ත්‍රික ශ්‍රමය, ඉඩම් කුලිය, පොහොර, රසායන ආදියේ මිල තීරණය කෙරෙන්නේත් බාහිර සාධක නිසා ඇමරිකානු වී ගොවියාට වියදම් අඩු කර ගැනීම සඳහා මේ සියළු සාධක ප්‍රසස්ථ ලෙස කළමනාකරණය කරන්න වෙනවා.

ඔය බරපතල කටයුත්ත හැමෝටම කරන්න බැහැ. දැන වෙළඳාම් නොදැන ගොවිතැන් කියා කිවුවට ඒ පරණ කතා දැන් හරියන්නේ නැහැ. නොදැන ගොවිතැන් කරන ඇමරිකානු වී ගොවියා තරඟයෙන් පරදිනවා. ඇමරිකානු ධනවාදය අකාර්යක්ෂමතාවයට සානුකම්පික නැහැ. තරඟයෙන් පරදින ගොවියෙකුට කරන්න වෙන්නේ තමන්ගේ ඉඩම වඩා දක්ෂ පුද්ගලයෙකුට බදු දී පැත්තකට වෙන එකයි. නොදැන ගොවිතැන් කර පරදිනවාට වඩා ඒ වැඩේ ලාබයි.

වඩා දක්ෂ ලෙස වී ගොවිතැන් කළ හැකි මිනිස්සු ඇමරිකාවේ වගේම ලංකාවෙත් ඉන්නවා. පහළ කොපි කර තිබෙන ප්‍රතිචාරයේ කතා කරන්නේ ඒ වගේ මිනිස්සු ගැන.

"ලාබ පාඩු මන්දා මාසෙට ලස්සේ හමාරේ පඩි ගන්න අපේ සමහර ෆොර්මන් ල සුපවයිසර්ලා එහෙමත් සති දෙක තුන no pay දාල ගිහින් කුඹුරු වැඩ කරලා එනවා.. :))"
- කල්‍යාණ මිත්‍ර

මේ විදිහට ලංකාවේ කුඹුරක් බදු ගන්න කෙනෙක්ට අක්කරයකට (අතින්) යන වියදම කුඹුර අයිතිකාරයා කුඹුර කළානම් යන වියදම වගේ දෙතුන් ගුණයක්. ඒ වුනත්, ඒ මනුස්සයා ලාබ ගන්නවා. නමුත්, කුඹුර අයිතිකාරයාට ලාබ ගන්න බැහැ. හැම වැඩේම හැම කෙනාටම එක වගේ හොඳින් කරන්න බැහැ කියන එකට මේ උදාහරණයම ප්‍රමාණවත්. ධනවාදය විසින් කරන්නේ එහෙම වැඩක් කාර්යක්ෂමව කළ හැකි අයට ඒ වැඩේ කරන්න අවස්ථාව සලසන එකයි. ධනවාදය අමානුෂිකයි කියා කියන මිනිස්සු, දේශපාලන පක්ෂ හා ආණ්ඩු විසින් කරන්නේ අකාර්යක්ෂමතාවයට උල්පන්දම් දෙන එකයි.

ධනවාදය යටතේ අවසාන වශයෙන් ඉඩම් සුළු පිරිසක් අතේ එකතු වෙනවා. එය කාර්යක්ෂමතාවයට ප්‍රධාන හේතුවක්. පැරණි සෝවියට් දේශය වගේ සමාජවාදී රටවල් සමූහ ගොවිපොළවල් වගේ සංකල්ප හරහා ඔය වැඩේ වෙනත් ආකාරයකට කරන්න උත්සාහ කළා. ලංකාවේ ගම් වල තිබුණු පැරණි අත්තම් ක්‍රමය වුවත් කුඹුරු කට්ටි කුඩා වීමේ අවාසි අඩු කර ගැනෙන ක්‍රමයක්. එහෙත්, මේ වෙද්දී ලංකාවේ කුඹුරු ඉඩම් වලින් 44.6%ක්ම අක්කරයට අඩුයි. 70.9%ක්ම අක්කර දෙකට අඩුයි. 95.3%ක්ම අක්කර පහට අඩුයි.


ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ ඉඩම් හිමි වැවිලිකරුවෝ කියා පිරිසක් හිටියා. ඒ අය ඕපපාතිකව පහළ වුනු අය නෙමෙයි. ඉඩම් හිමි වැවිලිකරුවන් වුනේ ඒ වැඩේට දක්ෂතාවයක් තිබුණු අය. සමගි පෙරමුණු ආණ්ඩුවෙන් අක්කර පණහේ නීතිය දමලා කළේ අකාර්යක්ෂමතාවයට සානුකම්පික වීමයි. ලංකාවේ නිදහස් වෙළදපොළ බාධාවක් නැතුව ක්‍රියාත්මක වුවහොත් කාලයක් යද්දී ඔය කුඹුරු ඉඩම් බදු ගන්නා පිරිස් අතරින් කුඹුරු හිමි ධනපති පන්තියක් හැදෙයි.

ඇමරිකාවේ මේ වැඩේ දිගින් දිගටම සිදු වෙද්දී වී ගොවිතැන් කරන ඉඩම් ඒ වැඩේ වඩාත් කාර්යක්ෂමව කරන ටික දෙනෙක් අතට එකතු වී තිබෙනවා. මෙසේ වන විට වී ගොවිපොළක ප්‍රමාණය එන්න එන්නම විශාල වෙනවා. එයට සමාන්තරව යාන්ත්‍රික ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ යනවා. අවශ්‍ය වන මිනිස් ශ්‍රමය අඩු වෙනවා. ඒ වගේම අවශ්‍ය මිනිස් ශ්‍රමයේ ස්වභාවයත් වෙනස් වෙනවා. නුපුහුණු ශ්‍රමය තව දුරටත් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ යන්ත්‍ර ක්‍රියා කරවිය හැකි පුහුණු ශ්‍රමයක්.

ඇමරිකාවේ බොහෝ ගොවීන්ට ගුවන් යානා තිබෙනවා. ලොකු ඒවා නෙමෙයි. ඇට ඉහින්න, වල්නාශක ආදිය ඉහින්න යොදාගන්නා කුඩා ගුවන් යානා. මේ ගුවන් යානා එළවන්න පුහුණුවක් අවශ්‍යයි. අනෙක් සංකීර්ණ උපකරණ ක්‍රියා කරවන්නත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ශ්‍රමය මූලික ශ්‍රමයට වඩා මිල අධිකයි. ලංකාවේ වී ගොවීන් ගුවන් යානා උපයෝගී කරගෙන ගොවිපොළේ වැඩ කරන්න තව කොයි තරම් කාලයක් යයිද? ගොවියන් වෙනුවෙන් පෙනී සිටින සමාජවාදීන් සිටින තුරු ඔය වැඩේ කවදාවත් වෙන එකක් නැහැ. ඒ අයට අවශ්‍ය අකාර්යක්ෂමතාවය දිරි ගන්වමින් ගොවියා හැමදාම වත්මන් ගොවියා ලෙසම සිටිනවා දකින්නයි.

ඇමරිකාවේ වී ගොවිපොළක සාමාන්‍ය ප්‍රමාණය අක්කර 500ක්. හැබැයි බොහෝ දුරට මේ අක්කර පන්සීයේම වැඩ ටික කර ගන්නේ ගොවි පවුලේම සාමාජිකයින් විසින්. කුලී ශ්‍රමය ඉතාම අඩුයි. අක්කරයකට අවශ්‍ය ශ්‍රමය පැය හතරක් නිසා එක් අයෙක් දවසකට පැය 8ක් හා සතියකට දවස් 5ක් බැගින් සති 50ක් වැඩ කරන ශ්‍රමය පමණයිනේ අවශ්‍ය වෙන්නේ. පවුලේ අයම එකතු වී වැඩ ටික තනියම කරගන්න නිසා මේ අය ගොවීන්ම තමයි. ආයේ වෙන කාගෙවත් "ශ්‍රමය සූරා කන" ස්වාමියෝ නෙමෙයි.

ඒ වගේම මේ අයගෙන් තුනෙන් එකක් පමණ උපාධිධාරීන්. මෙවැනි ගොවි පවුල් වල දරුවන් කෘෂි ආර්ථික විද්‍යාව ඉගෙනගන්න උනන්දු බව මම අත්දැකීමෙන්ම දන්නා දෙයක්. ඒ අය "කුඹුරෙන් පාඩුයි කියලා තේරෙන්න ගොවියා ආර්ථික විද්‍යා උපාධියක් අරං තියෙන්න ඕනි නෑ" කියා අධ්‍යාපනයේ වැදගත්කම අවතක්සේරු කරන පසුගාමී අය නෙමෙයි. ඇමරිකාවේ වී වගාවේ යෙදෙන ගොවි පවුලක සාමාන්‍ය මාසික ආදායම ඩොලර් 23,000ක් පමණ හෙවත් ලංකාවේ රුපියල් වලින් 437,000ක් 4,370,000ක් පමණ වෙනවා.

ඇමරිකාවේ ගොවීන්ගේ මේ සාර්ථකත්වයට හේතුව අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකිරීමයි. ශතවර්ෂ ගාණක පළපුරුද්ද, සම්ප්‍රදායික දැනුම, පැරණි රජවරු හදපු තවමත් ප්‍රයෝජනයට ගන්න වැව් අමුණු විශාල ප්‍රමාණයක්, කෘෂිකර්මය වෙනුවෙන් වෙන්වූ රජයේ ආයතන ගණනාවක්, ගොවියන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක්, පොහොර සහනාධාර, සහතික මිල, කුඹුරු ඉඩම් රැක ගැනීමේ හා අඳ ගොවියන් රැක ගැනීමේ නීති, පුරන් කුඹුරු අස්වද්දන හමුදා, නොමිලේ ලබා දෙන කෘෂිකර්ම උපාධි ආදී මෙකී නොකී හැම දෙයක්ම එක්ක ලංකාවේ මුළු ජනගහණයෙන් අඩු වශයෙන් දහයෙන් එකක් පමණ දායක වී අවුරුද්දකට නිපදවන සහල් ප්‍රමාණය වගේ දෙගුණයකට වඩා හදන්නේ ඇමරිකාවේ පන්දහසක පමණ ගොවියන් පිරිසක් විසිනුයි. ගොවීන් පැත්තකින් තිබ්බත්, ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවකයින් ප්‍රමාණය පමණක් දසදහසකට වැඩියි.

ඇමරිකාවේ වෙන ඕනෑම ක්ෂේත්‍රයක් ගත්තත් ඔය වගේම කතාවක් තියෙනවා. අප ධනවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ මේ දේවල් ඇස් දෙකට පේන්න තිබෙන නිසා මිසක් හිතළු මත පදනම් වූ මනෝ ලෝක වල සිට නෙමෙයි.

37 comments:

  1. ලංකාවෙත් කාර්‍යක්ශම සෙට් එකක් වී ගොවිතැනේ ඉන්නවා. ඒ මෝල් හිමියන්. මෝල් හිමියන් වර්චුවල් ඉඩම් හිමි වැවිලිකරුවන්. තරගකාරී වගේම කාර්‍යක්ශමයි.

    ReplyDelete
    Replies
    1. මෝල් කර්මාන්තය (milling) වෙනම එකක්. ඒ ගැනත් ඔය වගේම සංසන්දනාත්මකව කතා කරන්න බැරිකමක් නැහැ.

      Delete
    2. මම නම් හිතන්නෙ ලංකාවේ ගොවිතැන ලොකුම ප්‍රශ්නය කෘශිකර්මය ඉගෙන ගත්තු අය වගා කරන්නේ හෝ කරවන්නෙ නැහැ. වගා කරන ගොවි මහත්වරු ගොවිතැන කර්මාන්තයක් විදිහට හෝ විද්‍යාවක් විදිහට ඉගෙන ගෙන නැහැ. ඒ නිසාම ගොවියන් නව තාක්ශනයට යොමු වෙනව අඩුයි.

      මගේ යාළුවෙක් ඉන්නව කෘශිකර්ම උපාධි, පශ්චාත් උපාධි කරල ලංකාවේ ඒ සම්බන්දව පර්යේශන කරන ආයතනයක වැඩ කරන. මම දවසක් ඔහුට කිව්ව මම $10000ක් දෙන්නම්( එකාලේ ඒක MLKR 1.3 විතර ) පුරන් කුඹුරු අක්කර 10ක් අර ගෙන නවීන ක්‍රම භාවිතා කරල වගා කරවල අනෙක් ගොවියන් ලබා ගන්නව වගෙ 200-300% අස්වැන්නක් අරන් පෙන්නන්ඩ අවුරුදු 2 එක දිගට. වැඩේ වැරදුනොත් මම මුදල අමතක කරන්නම්. හරි ගියොත් මට දීපු මුදල රුපියල් වලින් විතරක් දෙන්ඩ ( ඒ කියන්නේ I will bear the cost of depreciation as well ) ඉතුරුව ඔහුගෙ ලාබය විදිහට තියා ගන්ඩ කියල.
      මම මේකෙන් බලපොරොත්තු උනේ ඒවගෙ දෙයක් දැකපුවම ඒ ප්‍රදේශයෙ ඉන්න අනෙක් ගොවියන් මේ ක්‍රම පාවිච්චි කරන්ඩ යොමු කරවීම. ඔහුත් ඒ අදහසට කැමති උනා

      ඒ දවස්වලම වගේ ගොවි පුතා සමග ලෝකෙ හොඳම මුදල් ඇමති සහ ආසියාවේ හොඳම මොලෙ බලයට ඇවිත් කිව්ව ගොවියන්ට වැන්දල කියන්නම් වී ගොවි තැන අත් අරල වෙනත් වගාවකට යොමු වෙන්ඩ කියල.

      කාලෙකට ඉස්සරත් පස්දුන්කෝරලේන් පස් ගෙන්නල්ල කුඹුරු ගොඩ කරන සහ ගොවියට ඩෙනිම් අන්ඳල මොඩ් ගොවියෙක් කරන long term vision එකක් තියෙන ජෝඩුවක් නිස අපි ඒ ප්‍රොජෙක්ට් එක එතනින්ම අත ඇරිය

      Delete
  2. //ඇමරිකාවේ ගොවීන්ගේ මේ සාර්ථකත්වයට හේතුව අකාර්යක්ෂමතාවයට අනුකම්පා නොකිරීමයි.//

    අනේ, අපි එහෙම නැහැ. භූමිකම්පාවක් වගේ වුනත් අපට ඕනෑ අනුකම්පාව....

    ReplyDelete
  3. එකගයි ඉකෝනෝමැට්ටා. සුදුස්සාට සුදුසු තැන් ලැබිය යුතුයි. එතකොට මේ ප්‍රශ්න වලට උත්තර නිකම්ම ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. මහේශ් ප්‍රශ්නේ තියෙන්නේ සුදුස්සාට සුදුසු තැන් දියව් කියන අපෙ අයියලාමනේ කියන්නෙ හැමෝටම සම තැන් දියව් කියලා. ඉතින් මොකේදැයි දන් වලඳන්නේ??

      Delete
  4. Each article of you is a masterpiece. Well presented. Keep up the good work. You are my favourite economist. Thanks!

    ReplyDelete
  5. සෝවියට් දේශයේ ලොකුම ප්‍රශ්නයක් වුනෙත් කාර්යක්ෂමතාවය නැතිකමයි. මම ගිය බොහෝ කම්හල්වල දුටු තත්වයක්. එක තාවකාලිකව හරි තිබෙනේ NEP (නව ආර්ථික පිළිවෙත) කියල එකක් ලෙනින් ක්‍රියාත්මක කරලා සුළු වෙළඳාම හා සුළු කර්මාන්ත මිනිසුන්ට තියං කරන්න දුන්නට පස්සේ විතරයි. ඊට පස්සේ යුද්ධයෙන් රට ගොඩ නගන්න් මිනිස්සු කැපවී වැඩ කළා. ඊට පස්සේ උන්ටම එපාවුණා වැඩ කරන එක.

    ReplyDelete
  6. Is this the situation in USA for other agricultural and industrial products as well or are there any products which received some kind of protection by import restrictions, taxes or subsidies ?

    ReplyDelete
    Replies
    1. I can't say there's no protection at all but if any they are exceptions than the rule. In generel, the US policy is to face competion and maintain the competitiveness. In a related note outside the context, even in case of Covid-19 testing, Germany developed and published a testing protocol but the US wanted to develop its own rather than using the German protocol and that delay caused supply bottlenecks during the initial phase.

      Delete
  7. //මේ මිනිස්සු ඇමරිකාවට ආවේ පක්ෂ සාමාජිකයින් කැට හොල්ලා එකතු කරපු සල්ලි වලින් කම්කරු සම්මේලනයකට ගිහින් ආතල් එකක් ගන්න පක්ෂ නායකයෙක් වගේ ඇමරිකාවේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා යන්න නෙමෙයිනේ//

    This is the best part - satire at it's best :). I waited so long till you touch this subject-Socialism Vs Capitalism.To have a healthy debate, we need to unbiased as much as possible,regardless of how difficult it may seems. Here goes my two cents:

    Though the best among the worst, Capitalism is not perfect.On the other hand, As we witnessed,Socialism often brought suffering and misery to its people. Yet, I don't think Socialism is a total failure. At least it has it's place in politics.

    The main difference I see in two sociopolitical is, Capitalism is evolving fast and Socialism is not so much. Socialism has become a cult/ religion where Marx is the almighty and the Das Kapital is the Bible.I know Capitalism we know today is not the same as Marx's time. Many Socialist ideologies become parts of Capitalism to make it better.

    Appreciate if you could explain about Monsanto,it's seed monopoly and how it may effect the global agriculture industry. There were some news about hybrid crop called "saltwater rice". Could be a game changer, if you ask me.

    ReplyDelete
    Replies
    1. //Capitalism is evolving fast and Socialism is not so much.//
      Capitalism is the accepatance of the time-tested system that prevailed throughout the history. That's simply allowing individuals to do transactions among each other at their will. It's the production technonoloy and the thinking pattern of people that has evolved, not the capitalism. When the society evolves the end result of capitalism also changes, but not the ideology itself. Socialism is an ideology which does not accept the status quo as it stands based on the assumption that the individuals are not capable of making the best decisions on behalf of them, a key assumption of capitalism. Based on that ideology, a small group of people try to redesign the world in a way that they think is better than the status quo. The problem of socialism is in this ideology itself since it disrgards indiviudal liberty and freedom. Some changes to the world order proposed by socialists either as individuals or groups are in fact progressive and they can be implemented by educating people rather than forcing within the capitalism. That's what you see as many socialogist ideologies becoming a part of capitalism.

      Delete
    2. Thank you for the clear explanation. Point taken.Good day.

      Delete
    3. Oh, by the way, I'm confused about Chinese political system. It's a one party system with a few deciding what's best for the rest.Seems it fit the bill as socialist ideology.Yet there is a wild freedom in industrial/ business sector.What's your taken on that?

      Delete
    4. No country has a 100% free economy or a 100% command economy. They are both ideologies. The US is more capitalist than many other countries of the world and China is moving in the capilaist direction from the opposite. Please look at the digram in the following post.

      http://economatta.blogspot.com/2020/04/blog-post_8.html

      Delete
  8. "ලංකාවේ හෝ ඇමරිකාවේ වී ගොවියෙක්ට ඇමරිකාවේ වී ගොවියෙක්ට වඩා"

    ලංකාවේ හෝ ඉන්දියාවේ විය යුතුයි නේ?

    ReplyDelete
  9. මහත්මයා, opportunity cost එක පිලිබඳව මා ඇසූ ⁣පැනයට තෘප්දීතිමත් දීර්ඝ පිලිතුරක් දුන්නාට ස්තුතියි.

    නූතන විද්‍යාත්මක වී වගාව උපාධි මට්ටමට ඉගෙන ගැනීම⁣ට උතුරු ඇමරිකාවේ (කැනඩාවේ හෝ ඇඑජ) ඇති අවස්ථාවන් කවරේද? ඒ සඳහා සැපිරිය යුතු මූලික කාරණා කවරේද? මට බැරිව ගියහොත් මගේ දුවට හෝ එය කිරීමට හැකි යැයි මම සිතමි.



    එහෙම අවස්ථාවක් තිබේ නම් එහෙන් ඉගෙන ගෙන එය ලංකාවට ගැලපෙන ලෙස එය යොදා ගත හැකිද? එසේ නොහැකි නම් ඒ ඇයි? ඇමරිකාවෙන් වී වගාව ඉගෙන ගෙන ලංකාවේ තිබුනායි කියන පරාක්‍රමබාහු යුගයක් නැවත ඇති කල නොහැකිද? (මගේ් මව්ගේ පාර්ශ්වයෙන් මට ලංකාවෙි බස්නාහිර පලාතේ කුඹුරු අක්කර 14 වඩා ඇති අතර ඒවා දැන් අවුරුදු 20 වඩා අත්හැර දමා පුරන්ව ඇත)

    කරුණාවෙන් මේ ගැන උපදෙසක්/ලිපියක් පල කල හැකිද?

    ස්තුතියි.
    CP-C

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික උපදේශන මට්ටමට යන්න මම කැමති නැහැ. මට ඒ සඳහා සුදුසුකම් නැහැ. ඔබේ හිතීමේ හා තීරණ ගැනීමේ අවකාශය පුළුල් කර ගැනීම සඳහා මම දන්නා තරමින් කරුණු ටිකක් කියන්නම්.

      වී වගාවම ඉලක්ක කළ උපාධි පාඨමාලා ඇමරිකාවේ ඇතැයි මා හිතන්නේ නැහැ. වී වගාව ඇමරිකාවේ ඉතා සුළු පිරිසක් නිරතව සිටින කාර්යයක්. ඒ සුළු පිරිස ලංකාවම එකතු වී නිපදවන වී අස්වැන්න මෙන් දෙගුණයක් නිපදවන එක වෙනම කතාවක්. ඒ වගේම බොහෝ විට වී ගොවියෝ වෙනත් බෝගත් වවනවා. කැනඩාවේ කොහොමටත් වී වවන්නේ නැහැ. එහි ඒ සඳහා උචිත දේශගුණයක් නැහැ.

      පොදුවේ ඇමරිකාවේ හා කැනඩාවේ සරසවි වල කෘෂිකර්මයට ඉතා වැදගත් තැනක් ලැබෙනවා. අදාළ උපාධි පාඨමාලා ගණනාවක් තිබෙනවා. වී වගාව හා අදාළ බොහෝ දේවල් වෙනත් වගා වලටත් පොදුයි. හැබැයි ඇමරිකාවේ වගේම කැනඩාවේත් කෘෂිකර්ම උපාධි පාඨමාලා බොහෝ විට සකස් කර තිබෙන්නේ උතුරු ඇමරිකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා වල නිරත වන අය ඉලක්ක කරලා. ඇතැම් දේ ලංකාවේ තත්ත්වයන්ට නොගැලපෙන්න පුළුවන්. මූලධර්ම වලනම් වෙනසක් නැහැ. ඒ වුනත්, අනිවාර්යයෙන්ම ලංකාවේ කෘෂිකර්ම උපාධි ලංකාවට වඩා ගැලපෙනවා කියන එකයි මගේ අදහස. එක ප්‍රශ්නයක් තියෙන්නේ ලංකාවේ කෘෂිකර්ම උපාධි ලබා ගන්න කී දෙනෙක් එම ක්ෂේත්‍රයේ රැකියා කරනවාද කියන එක.

      මුදල් ගෙවනවානම් ඇමරිකාවේ උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වෙන එක අමරු දෙයක් නෙමෙයි. සුදුසුකම් එකින් එකට වෙනස් වෙනවා. සුදුසුකම් මදිනම් බොහෝ විට පාදක පාඨමාලා (foundation courses) හැදෑරීමෙන් පසුව ලියාපදිංචි විය හැකියි.

      වී ගොවිතැන වැනි විශේෂ අධ්‍යයනයන් බොහෝ විට සිදු වෙන්නේ පශ්චාත් උපාධි මට්ටමේදී. ආකන්සා සරසවියේ එවැනි පර්යේෂණ මධ්‍යස්ථානයක් තිබෙනවා. තවත් තැන් වලත් ඇති.

      https://aaes.uark.edu/research-locations/rice-research-extension-center/

      පරාක්‍රමබාහු යුගය ගැන මට කියන්න තියෙන්නේ ලංකාව දැනටමත් ඉන්නේ ඊට වඩා ගොඩක් ඉදිරියෙන් බවයි. ඒ නිසා, නැවත පරාක්‍රමබාහු යුගයකට යන එකේ තේරුමක් නැහැ. වෙලාවක් ලැබුණොත් මෙය විස්තරාත්මකව පැහැදිලි කරන්නම්.

      Delete
  10. බොහොම ස්තුතියි මහත්මයා, බොහොම ස්තුතියි.

    වී වගාවේ සන්සන්දනාත්මක විග්‍රහය ගැන ඔබ මෙි ලියන ලිපි පෙලින් මම ඉතා ඉහල අනුප්‍රාණයක් ලබන බව සඳහන් කරමි. ඔබට මේවා මෙසේ සන්සන්දනාත්මකව දකින්න පුලුවන් වන්නේ හොඳටම පදම් වුනු ඔබගේ විද්‍යා සහ ගණිත පදනම නිසා බව තමයි මට වැටහෙන්නේ.මෙතැන තනිකරම ලියැවී ඇත්තේ research based evidence මත ලියැවුනු ලිපි. Subjective දේවල් නැත.

    ලංකාවේ කෘෂිකර්මය මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වය වටහා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබගේ මේ ලිපියේ අවසාන ඡේදයට පෙර ඡේදයේ එන පන්දාහ/දහදාහ අගයන් ගැන විතරක් හිතුවත් ඇති! ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනයන්ට මේ සත්‍යය ඇමරිකාවට සංක්‍රමනය වූ සිංහල ලියන කියන ඔබ වැනි අයකුටම පහදා දීමට සිදුවීම මම දකින්නේ බත් කන හැම එකෙකුටම ඇනපු ටොක්කක් වාගෙයි.(පාලකයන්ට නම් කනේ පාරක්!)

    එල!

    CP-C

    ReplyDelete
    Replies
    1. වී වගාව කියන්නේ ඇමරිකාවට සාපේක්ෂව එතරම් වැදගත් අංශයක් නෙමෙයි. වෙන ඕනෑම අංශයක් හා අදාළව වුවත් මෙවැනි කතාවක් කියන්න පුළුවන්. වී වගාව තෝරා ගත්තේ ලංකාවේ ගොඩක් අයට පැහැදිලිව කතාව තේරුම් ගන්න පුළුවන් වෙන්නයි.

      Delete
  11. ඔබගේ ලිපි වලින් නොමිලේ බෙදන ආර්තික දැනුම මිලකල නොහැකියි.
    මේ ලිපි පෙලත් ඇති රට හරි පාරට හැරෙන්න.
    මට හිතෙන්නෙ ඔබට සතුටු වෙන්නත් පුලුවන්, රටේ යම් තරමක හෝ ආලෝකයක් පැතිරෙනු පෙනේ.

    ReplyDelete
  12. //යි. ඒ කියන්නේ ඇමරිකාවේ වී ගොවියා විසින් කළ යුත්තේ මිනිස් ශ්‍රමය යොදා ගැනීම පුළුවන් තරම් අඩු කරලා වැඩි වැඩියෙන් යාන්ත්‍රික ශ්‍රමය යොදවන එකයි. තිහකට ගහන එකේ රහස තියෙන්නේ එතැනයි.//මේ ලිපියේ ඉදිරියේ සෝවියට් සමුහ ගොවිපල ගැන ඔබ කතා කර තිබෙනවා. මට මතක විධිහට කුඩා ගොවිපලවල් වලින් ඔය යාන්ත්‍රික ශ්‍රමය භාවිතා කර ලාබ ලබන්නන බැහැ . පිරිවැය වැඩියි. ඔබ නිවැරදිව කියා තිබෙනවා ලංකාවේ කුඩා ඉඩම් තිබීම ප්‍රශ්නයක් බව. (සමගි පෙරමුණු ආණ්ඩුව ඉඩම් කැඩූ හැටි මතකද) ලෙනින් යෝජනා කලේ ඇමරිකාවේ මෙන් විශාල ගොවිපලවල් සෑදීම ඒ යාන්ත්‍රික ශ්‍රම භාවිතා කිරීමට. නමුත්ල් ලංකාවේ මෙන්ම පැරණි රුදියාවේ විශාල ඉඩම් හිමියන් නැහැ. සිටුවරුන්ගේ ඉඩම් උදුරාගෙන අවසන්,. කොසක් වරුන්ගේ ඉඩම් කුඩායි. ලෙනින් "කැමත්තෙන් එකතුවෙන " සමූහ ගොවිපලක් යෝජනා කළා.නමුත් ඉතිහාසයේ වුනේ වෙන දෙයක්. ඉන්පසු බොහෝ අය එවැනි ගොවපළවල් පටන් ගත්තත් ඒවා අසාර්ථක වුනා. එහි හේතුව ලාභය නොමැතිවීම බවයි මට හිතෙන්නේ. කාර්යක්ෂම වුවත් ලාභයකුත් තිබිය යුතුයි. ඒ ලාභය සමුහ ගොවිපලේ පැවැත්මට අවශ්‍යයි. මිනිසුන්ගේ කුඩා ඉඩම් ස්ව කැමැත්තෙන් එකතු කර ලාභ ලබන "සමූහ ගොවිපල සමාගම් " කලොත් ශ්‍රී ලංකාවේ ගොවිතැන් වඩා කාර්යක්ෂම කළ නොහැකිද?

    ReplyDelete
    Replies
    1. සෝවියට් ක්‍රමය ගැන මට තිබෙන්නේ සීමිත දැනුමක්. පස් අවුරුදු සැලසුම් ගැන පොත් පාසැල් කාලයේ සිට මගේ පොත් රාක්කයේ තිබුණා. ඒ දවස් වල රුපියලට දෙකට ගන්න පුළුවන් වූ නිසා. නමුත්, ඔහේ කියෙවුවා මිසක් ගැඹුරට හිතන්න තරම් දැනුමක් තිබුණේ නැහැ. මගේ දළ අදහස සෝවියට් දේශය අවසාන වශයෙන් අකාර්යක්ෂමතාවයේ ගොදුරක් වුනත් ඇතැම් කාල වකවානු වල කාර්යක්ෂමතාවය ඉහළ ගියා කියන එකයි. ඒ සඳහා හේතු වූ කරුණු ලෙස මට හිතා ගත හැක්කේ මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික ශ්‍රමය ආදේශ කිරීම හා නිෂ්පාදනයේ පරිමාණය වැඩි වීම (කෘෂිකර්මාන්තයේදීනම් ගොවිපොළ වල ප්‍රමාණය විශාල වීම) කියලයි. ඉඩම් ප්‍රමාණයට සාපේක්ෂව අවශ්‍ය වූ මිනිස් ශ්‍රමය යම් තරමකින් හෝ අඩු වෙන්න ඇති කියා මම හිතනවා (අලුත් ඉඩම් වගාවට යොදා ගැනීම වැනි). වැඩි තොරතුරු නොදන්නා නිසා මම වැරදි වෙන්න පුළුවන්.

      කාර්යක්ෂමතාවය කියන එක ගැන දෙවිදිහකට කතා කළ හැකියි. පළමු ක්‍රමය, ආර්ථික පැත්ත අත ඇරලා ඉඩම් අක්කරයකින් ලැබෙන අස්වැන්න ඉහළ යාම කාර්යක්ෂමතාවය ලෙස සැලකීම. සෝවියට් දේශය සඟරා වල එහෙම මේ කියන කාර්යක්ෂමතාවය ගැන නිතර කතා කළා වගේ මතකයි. නමුත්, ආර්ථික සාධක සැලකු විට කාර්යක්ෂමතාවය කියන්නේ එයම නෙමෙයි. ඒ අනුව වියදම (නිෂ්පාදන සාධක) ඕනෑවට වඩා වැඩි කර කෙසේ හෝ අස්වනු වැඩි කිරීම කාර්යක්ෂමතාවය නෙමෙයි. සියලු සාධක ප්‍රසස්ථ මට්ටමක සමතුලිත විය යුතුයි. අවසාන වශයෙන් වැදගත් වෙන්නේ එක් ඉඩම් අක්කරයක අස්වැන්න නෙමෙයි. එක් පුද්ගලයෙකුගේ ශ්‍රමයට ලැබෙන අස්වැන්නයි.

      ඇමරිකාවේ තත්ත්වය කාර්යක්ෂම වෙන්නේ තනි පුද්ගලයෙක් අක්කර 500ක් වගා කරන නිසයි. අක්කරය බැගින් අයිති 500ක් එකතු වූ විට යාන්ත්‍රික ශ්‍රමය යොදා ගෙන අස්වනු වැඩි කර ගත හැකි වුවත් අවසානයේදී අස්වැන්න 500ට බෙදූ පසු එක් අයෙකුට විශාල ලාබයක් නැහැ. ඒ නිසා, ලංකාව ගත්තොත් දැනට ගොවිතැනේ යෙදෙන විශාල පිරිසක් ගොවිතැනින් ඉවත් වෙන්නම වෙනවා. යාන්ත්‍රික ශ්‍රමය යොදා ගන්න වෙන්නේ ඒ අඩුව පුරවන්නයි. එවිට ලැබෙන අස්වැන්න බෙදෙන්නේ අඩු පිරිසක් අතර නිසා ඔවුන්ගේ ආදායම් විශාල ලෙස ඉහළ යනවා. ඊට අමතරව යාන්ත්‍රික ශ්‍රමය යොදා ගැනීමේ වාසියත් එනවා.

      ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ලම වගේ හිතන්නේ එවැන්නක් වුනොත් දැනට ගොවිතැන් කරන මිනිස්සුන්ට කරන්න වෙනත් රැකියාවක් නැති වෙයි කියලා. ලංකාවේ තියෙන තත්ත්වය තුළ එහෙම ප්‍රශ්නයක් තියෙනවා තමයි. හැබැයි එහෙම කියලා දැනට ගොවිතැන් කරන අය දිගටම ගොවිතැනේ තියා ගන්න හැදීමෙන් ඒ මිනිස්සුන්ට හෝ රටට වන යහපතක් නැහැ. අවසාන වශයෙන් වගා ඉඩම් ටික අඩු පිරිසක් අතට යන එකයි වෙන්න ඕනෑ. එයින් ඉවත් වන ශ්‍රමය යොදා ගත හැකි පරිදි ආර්ථිකයේ වෙනත් අංශ දියුණු විය යුතුයි.

      Delete
    2. //බැගින් අයිති 500ක් එකතු වූ විට යාන්ත්‍රික ශ්‍රමය යොදා ගෙන අස්වනු වැඩි කර ගත හැකි වුවත් අවසානයේදී අස්වැන්න 500ට බෙදූ පසු එක් අයෙකුට විශාල ලාබයක් නැහැ.// හරි ඔබ නිවැරදියි කියමු උඩ කියපු දේ වලට. තාර්කිකයි. නමුත් ශෙයා සහ කොටස් විකුණන සමාගමක මම සුළු කොටසක් ආයෝජනය කලොත් මට මසකට පවුම් 200, 300 උපයා ගත හැකියි. නමුත් ප්‍රින්සිපල් කොටස ඒ කියන්නේ 51% වගේ හිමි අයට වැඩි මුදලක් ලැබෙනවා . නමුත් මම ඒ සමාගමේ වැඩ කරනව කියමු.මගේ පඩියට අමතරව අර කොටස් වලින් ලැබෙන ලාභයත් එකතු වෙනවා කියමු. උදාහරණයක් වශයෙන් මම වැඩ කරන ආයතනයෙන් මට ලාභයෙන් කොටසක් හැටියට කිසියම් මුදලක් අප්‍රේල් මාසයේ ලබා දෙනවා. ඒ පඩියට අමතරව. බෝනස් හැටියට ලැබෙන්නේ. නමුත් දිරි දීමනා හෙවත් බෝනස් කියල හැම ක්වාටර් එකටම දෙන ගානක් වෙනම තියනවා ප්‍රොජෙක්ට් එකක් ඉවර වෙන කොට. මේ ක්‍රමයම කුඩා ඉඩම් හිමියන් එකතුවුන සමුහ ගොවිපලට දාන්න බැරිද ? වැඩි ඉඩම් හිමි අයට වැඩි ලාභය හා අස්වැන්නත් අඩු අයට අඩු ලාභයත් දෙන අතරම ඔවුන් වැඩ කරන්නෙත් ඒ ගොවිපලෙමයි. ඔවුන්ට එයට වැටුපක් ගෙවන්න පුළුවන්. එසේම ගොවිපල හොඳට යන කාලෙට බෝනස් දීමනාවක් ගෙවන්නත් පුළුවන්. මේ නිසා කාර්යක්ෂමතාවය වැඩි වෙන්න පුළුවන්.

      Delete
    3. මම මෙහෙම කියන්නම්කෝ. අපි මුදල් පැත්තකින් තියලා වී වලින්ම කතා කරමු. ගණන් උදාහරණ පමණයි. හැබැයි සැබෑ තත්ත්වය පිළිබිඹු වෙනවා.

      ලංකාවේ කුඹුරු අක්කරයක අස්වැන්න - කිලෝ 2000
      ඇමරිකාවේ කුඹුරු අක්කරයක අස්වැන්න - කිලෝ 4000

      දැන් මෙහි අනුපාතය 1:2යි.

      ලංකාවේ කුඹුරක ප්‍රමාණය - අක්කර 2
      ඇමරිකාවේ වී ගොවිපොළක ප්‍රමාණය - අක්කර 500

      ලංකාවේ ගොවියාගේ ආදායම - වී කිලෝ 2000x2 = වී කිලෝ 4000
      ඇමරිකාවේ ගොවියාගේ ආදායම - වී කිලෝ 4000x500 = වී කිලෝ 2,000,000
      ආදායම් අනුපාතය 1:500

      දැන් අපි ඔබ කියන විදිහට අක්කර 500ක් එකතු කළා කියමු.

      දැනටත් අක්කර 500ක අස්වැන්න වී කිලෝ 2000x500 = වී කිලෝ 1,000,000යි. ඇමරිකාවේ තරමට කාර්යක්ෂම වුනොත් මෙය දෙගුණ වෙනවා. එනම්, වී කිලෝ 2,000,000ක් වෙනවා.

      නමුත් මේ වී ප්‍රමාණය මොන අනුපාතයකට හරි 250 දෙනෙකු අතර බෙදෙනවා. එවිට එක් අයෙකුට ලැබෙන සාමාන්‍ය වී ප්‍රමාණය වී කිලෝ 8000ක්. කලින් වගේ දෙගුණයක් තමයි. නමුත්, ඇමරිකාවේ ගොවියාගේ තැන අහලකවත් නැහැ. උපරිම වශයෙන් ආදායම් අනුපාතය 1:500 සිට 1:250 දක්වා පමණයි අඩු වෙන්නේ. (ඒකත් නරක නැහැ)

      ඊළඟට දෙවන ප්‍රශ්නය. මේ විදිහට අස්වැන්න දෙගුණ කර ගන්නේ යාන්ත්‍රික ශ්‍රමය යොදවලා නිසා ඇමරිකාවේ අනුපාතයටම නිෂ්පාදන සාධක යොදවනවානම් එක ගොවියෙකුගේ ශ්‍රමය පමණයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඉතිරි 249 දෙනාගේ ශ්‍රමය redundant. ඇමරිකාවේ කාර්යක්ෂමතාවය එන්නේ ඉතිරි 249 දෙනා කුඹුරෙන් අයින් වෙලා කුඹුරු අක්කර 500ක් වගා කරනවාට සමාන නිෂ්පාදනයක් සිදු වෙන වෙනත් වැඩක නිරත වෙන එකෙන්.

      තනි තනිව කළත්, එකතු වෙලා කළත් කුඹුරු අක්කර 500ක් වගා කරන්න 250 දෙනෙකු අවශ්‍යනම් අකාර්යක්ෂමතාවය එලෙසම තියෙනවා.

      Delete
    4. හොඳයි. මම හිතන්නේ ලංකාවේ කෙනෙකුට අයත් ඉඩම් ප්‍රමාණය ගැන මගේ දැනුම අඩුයි කියල. එනිසා මම මේක වාද කරන්න යන්නේ නැහැ. මම හිතුවේ කෙනකුගේ කුඹුරු හෝ වෙනත් ඉඩම් 250 නොව 15-20 වගේ එකතු කලොත් අක්කර 1000-2000 හදා ගන්න බැරිවෙන එකක් නැහැ කියල. එහි ලාභය ඇමෙරිකාවට වඩා කොහොමත් අඩුයි මොනවා කලත්. ඇමෙරිකාව විශාල රටක් නිසා (රුසියාව වැනිම) එහි අගයන් ලංකාවට සංසන්දනය කරන්න කෙලින්ම අමාරු බවයි මට හිතෙන්නේ. ඉඩම් ප්‍රමාණය හා රටේ භුමියේ වර්ගපල ප්‍රමණය අනුව. ඔබ කියන අදහස රුසියාවේ සාර්ථකව භාවිතා වෙනවා. පූටින් ඊයේ පෙරේදා දකුණු අප්‍රිකානු ගොවීන්ට එයාගේ රටට එන්න, නොමිලේ අක්කර 1000 ක ස්ටෙප්ස් බිම් වගා කරන්න දෙන්නම් කිවේ ඔය අනුව කියල මට හිතෙන්නේ. ස්තූතියි

      Delete
    5. "ලංකාවේ කුඹුරු ඉඩම් වලින් 44.6%ක්ම අක්කරයට අඩුයි. 70.9%ක්ම අක්කර දෙකට අඩුයි. 95.3%ක්ම අක්කර පහට අඩුයි."

      වගා කර හැකි ඉඩම්/ජනගහණ අනුපාතය (එක් පුද්ගලයෙකුට අක්කර ගණන)

      ඕස්ට්‍රේලියාව - 4,75
      කසකස්ථානය - 4.13
      කැනඩාව - 3.13
      රුසියාව - 2.13
      ලිතුවේනියාව - 1.88
      යුක්රේනය - 1.83
      ලැට්වියා, බෙලාරුස්, එස්ටෝනියා 1.3-1.7 අතර
      ඇමරිකාව - 1.18
      තායිලන්තය - 0.60
      ඉන්දියාව - 0.30
      චීනය - 0.23
      එක්සත් රාජධානිය - 0.23
      ලංකාව - 0.15

      පේනවනේ තත්ත්වය. පැරණි සෝවියට් දේශය (වගේම දැන් රුසියාවත්) ජනගහණයට සාපේක්ෂව වැඩිම වගා ඉඩම් තිබුණු කලාපයක්. ඊට වඩා වැඩිපුර ඉඩම් තියෙන්නේ දැනටත් කෘෂිකර්මය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්න ඕස්ට්‍රේලියාවේ හා කැනඩාවේ පමණයි. මම සෝවියට් ඉතිහාසය වැඩිපුර හදාරා නැති නිසා මූලාශ්‍ර හෝ සංඛ්‍යාලේඛණ දමන්න විදිහක් නැතත් මම හිතන විදිහට විප්ලවයෙන් පසුව කලින් වගා නොකළ වගා කළ හැකි බිම් විශාල ප්‍රමාණයක් වගා බිම් බවට පත් වෙන්න ඇති කියා හිතනවා. ප්‍රයෝජනයකට නොගැනෙන සම්පතක් ප්‍රයෝජනයට ගත් විට කාර්යක්ෂමත්වය වැඩි වෙනවා. ඒ වගේම යාන්ත්‍රිකරණය නිසාත් වැඩි වෙනවා. හැබැයි එක සීමාවක් දක්වා පමණයි. මගේ අදහස අනුව පැරණි සෝවියට් දේශයේ විප්ලවයෙන් පසු සිදු වූ කෘෂි අංශයේ කාර්යක්ෂමත්වය වැඩි වෙන එක නැවතුනේ මේ සීමාවට කිට්ටු වීම නිසා.

      Delete
    6. ඔව්නේ. එහම් බැලුවොත් ගොවිතැන් කරනවට වැඩිය කංසා වගා කරලා අමෙරිකාවටයි, ඕලන්දයටයි බ්‍රිතාන්‍යය ටයි අපනයනය කරන ඊට වඩා ලාභයි.ස්තූතියි වෙලාව අරගෙන සංඛ්යාලේඛන දුන්නට. මට ඕක හොයන්න කම්මැලිකමක් තිබ්බ කොහොමත්. (ලංකාවේ ඉඩම් ගැන)

      Delete
  13. //ඩොලර් 23,000ක් පමණ හෙවත් ලංකාවේ රුපියල් වලින් 437,000ක් පමණ //
    4370000 wenna one neda

    ReplyDelete
    Replies
    1. ඔව්, ජීවන්ත. බොහොම ස්තුතියි වැරැද්ද පෙන්නුවට.

      Delete
  14. තායිලන්තයේ මැලේසියාවේ පොල් වවන්නේ මඩ ඉඩම් වල.. කානු දාලා කන්ඩි උඩ පොල් හිටවනවා..වගුරු බිම් වල තියෙන පස් කන්ඩි උඩ හරි වේගෙන් සරු විදිහට පොල් වැවෙනවා.. ඉතින් ඔය වැඩේ ලංකාවේ කුඹුරක කරන්න බැහැ.. මොකද ලංකාවේ මඩ ඉඩම් කුඹුරු ආරක්සා කරන්න වෙනම නීති රෙගුලාසි තියෙනවා..ඒවා වෙන වැඩකට පුරවන්න ගියත් අටෝරාසියක් නීති හරස් වෙනවා..
    ඇත්තටම අපි පොල් වවන වියලි ක්‍රමයට වඩා කලපු සහ මඩ ඉඩම් වල පොල් තියන්න පුලුවන් නම් හොදටම ස්කෝ කරන්න පුලුවන්.. කොහද ඉතින් අපේ අයියලා හැමදේටම නීති දාගෙන ආරක්සා කරගෙන ලැගගෙන ඉන්නවා නේ..

    අපේ පැතිවලපෝර සහනාධාර ලැබෙන නිසාම කුඹුරු කරන අය ඉන්නවා. අස්වැන්න කාර්යක්ෂමතාවය සහ සහනාධෘර අතර රේඛිය සම්බන්ධතාවයක් නැහැ.. කුඹුර කරලා වැපීරූ වී ටිකවත් නැති එකාටත් ඊලගපාර පොෝර වතුර නිකන් ලැබෙනවා.. රජයකට කෙලින්ම මේවා නවත්වන්න බැහැ..මුලින්ම කරන්න ඕනි පර්ෆොමන්ස් බේස් එකක් ගෙනල්ලා හරියට අස්වනු දෙන්නේ නැති කුඹුු වලට ටිකෙන් ටික සහනාධාර කප්පාදු කරන එක.. ඒත් ඉතින් ඒවා කරන්න ගියත් දේසපාලනය හරස් වෙනවා.. කොහොම වුනත්ෙ කාරෝනා වලින් අද වෙද්දි මෙතෙක්කල් ලෝඩ් ෆකීර්ලා වගේ ලෝක විනාස වුනත් අපේ පඩි ටික හම්බෙනවා කියලා රජේ සේවාවට ගිය උන්ගේ පඩි අවධානමට ලක් වෙලා.. ඒ මට්ටමින් හරි වැටුනොත් තමයි මේකේ උන් අලුත් දේවල් ගැන හිතන්නේ.. ආන්ඩුව මිනිස්සු නඩත්තු කරන තාක්කල් මිනස්සු අලුත් ලෝකයක් දකින් නැහැ..

    ReplyDelete
    Replies
    1. ඔව්, අමිල. දහනවවන සියවසේ සුද්දෝ වගේම ලංකාවේ මිනිස්සුත් ඔය වගේ විවිධ අත්හදා බැලීම් කළා. කෝපි අසාර්ථක වෙනකොට ඒක අත ඇරලා තේ දැම්මා. රජයෙන් බාධාවක් නොතිබුණානම් මිනිස්සු ඔබ කියන පොල් හිටවන එක වගේ දේවල් කරයි. ඒ වගේම ඔබ කියනවා වගේම ගොඩ යනවනම් මේක තමයි වෙලාව.

      Delete
  15. කලාතුරකින් කමෙන්ට් කලත් සතියකට සැරයක් විතර ඇවිල්ලා ඉකොනෝ ලියපු අලුත් ලිපි ඔක්කොම එකපාර කියවලා යනවා අවුරුදු ගානක් තිස්සේ. ඉතාම සංගතව ලියපු වටිනා ලිපියක්. මේකට යමක් එකතුකරනව නම් ජනසතු කිරීම කියලා කරපු පොල් ඉඩම් කට්ටි කිරීම නිසා තමයි අද පොල් මිල වැඩිවෙලා තියෙන්නෙත් සමහර කාලවල පොල් හිඟයක් තියෙන්නෙත්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: