වෙබ් ලිපිනය:

Monday, May 31, 2021

බල්ලො මරා සල්ලි හෙවීම

බලු වෑන් එක කියන්නේ මොකක්ද කියලා තරුණ ළමයි දන්නේ නැතුව ඇති. බලු වෑන් වගේම අයිස්ක්‍රීම් වෑනුත් ලංකාවෙන් අතුරුදහන් වෙලා දැන් ගොඩක් කල්. හැත්තෑව දශකයේ අග භාගයේදී ළමා වයසේ සිටි අපට අයිස්ක්‍රීම් වෑන් එකක ලයිට් හා නලා හඬ හිත සනසවන එහෙත් බොහෝ විට පසුව බලාපොරොත්තු කඩ කරවන කරුණක් වූවා වගේම බලු වෑන් එක ගමට පැමිණීම නරක නිමිත්තක් වුනා. ගමට කියා කිවුවත් මේ අත්දැකීම නිතරම විඳින්න සිදුවුණු කාලයේ අප ජිවත් වුනු ප්‍රදේශය අර්ධ නාගරික ප්‍රදේශයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදියි.

බලු වෑන් එක ආවේ බල්ලෝ අල්ලන්නයි. ගම වටා හෙමිහිට කැරකෙන බලු වෑන් එක පාරේ දඩාවතේ යන බල්ලෙක් දැක්කහම පැත්තකට කරලා නවත්තනවා. ඊට පස්සේ බලු වෑන් එකේ සහායකයා වාහනෙන් බැහැලා බල්ලාව අල්ලගන්න ඇමක් විදිහට මස් කටුවක් වීසි කරනවා. මස් කට්ට කන්න එන බල්ලාව තොන්ඩුවක් විසි කරලා අල්ල ගන්න බලු වෑන් එකේ සහායකයා බල්ලාව වෑන් එකට දාගන්නවා. 

මේ වෑන් එක එහි පිටුපස මුළුමනින්ම ආවරණය කර තිබුණු ටිකක් අමුතු වෑන් එකක්. වෑන් එකට දමා ගන්න බල්ලන්ගේ ඉරණම ගැන අපි දැන ගෙන හිටියේ එක එක්කෙනා කියපු දේවල් විතරයි. මම අහල තිබුණු විදිහට බල්ලෝ යම් කිසි ප්‍රමාණයක් එකතු කර ගත්තට පස්සේ වාහනයේ ස්විච් එකක් ඔබලා ගෑස් එකක් යවලා බල්ලන්ව මරනවා. ඔය කතාවේ ඇත්ත නැත්ත තවමත් දන්නේ නැතත්, බල්ලන්ව අල්ලාගෙන ගියේ මරන්න කියන එක අපට ඒ දවස් වල ඉතාම පැහැදිලියි.


දඩාවතේ යන බල්ලෝ කියා කිවුවත් ඔය ගොඩක් බල්ලන්ට නිල හෝ නිල නොවන අයිතිකාරයෝ හිටියා. ගෙවල් වල බල්ලෝ පූසෝ හදන එක ඒ දවස් වල සාමාන්‍ය දෙයක්. ඔය සත්තු හිටියේ කූඩු වල නෙමෙයි. ඒ වගේම බල්ලන්ට දම්වැල් දාලා බැඳලා තිබුණෙත් නැහැ. උන් හිතේ හැටියට පාරේ තොටේ රස්තියාදු ගහනවා. නැත්නම් පැත්තක ඇණ බාගෙන ඉන්නවා. කෑම දෙන වෙලාවටනම් කොහේ හිටියත් එන්න ඉවක් මේ සත්තුන්ට තිබුණා. 


හැබැයි මේ බල්ලන්ට එන්නත් කර තිබුණේ නැහැ. කර පටි දමා තිබුණේ නැහැ. බල්ලන්ට වුවත් තිබුණේ ගෙදර අනෙකුත් සාමාජිකයන්ට තියෙනවා වගේ තැනක්. ඔවුන් ගෙදරම සාමාජිකයෝ මිසක් ගෙදර සාමාජිකයින්ට "අයිති" සත්තු වුනේ නැහැ. කැමතිනම් ගෙදර සිටීමේ හෝ කැමතිනම් දඩාවතේ යාමේ නිදහස ඔවුන්ට තිබුණා.

ඒත් බලු වෑන් එකටනම් මේ බල්ලෝ දඩාවතේ යන බල්ලෝ. එසේ නොවුනේ කර පටියක් පැළඳ සිටි බල්ලන් පමණයි. නමුත් බල්ලෙක්ට කර පටියක් තිබුනේ කලාතුරකින්. ඒ නිසා, බලු වෑන් එක එද්දී පාරේ හිටියා කියන්නේ අනිවාර්යයෙන්ම බඩු ෂුවර්! බලු වෑන් එක එන ආරංචියට බල්ලන්ටත් වඩා කලබල වෙන්නේ බල්ලන්ගේ අයිතිකාරයෝ. අයිතිකාරයෝ කියා කිවුවත් බල්ලන්ගේ ගෙවල් වල සාමාජිකයෝ. 

බලු වෑන් එක එන ආරංචිය ගම පුරා පැතිරෙන්නේ බලු වෑන් එකේ වේගයට වඩා ගොඩක් වැඩි වේගයකින්. ඊට පස්සේ ඉතිං ගෙදර බල්ලෝ ටික ඉන්න තැන් හොයන්න ගම පුරා දුවන්න ඕනෑ. උන්ව ගෙදර ගෙනහල්ලා වෑන් එක යනකම් පරිස්සම් කර ගන්න ඕනෑ. හරියටම මෙයින් දශකයකට පස්සේ ජවිපෙ තර්ජන වලට ලක් වූ අය ජවිපෙ අලුගෝසුවන්ගෙනුත්, එයින් පසුව ජවිපෙ සාමාජිකයින්ව හා එසේ සැක කරනු ලැබ සිටි අය නිල හා නිල නොවන හමුදා වල අලුගෝසුවන්ගෙනුත් ආරක්ෂා කර ගන්න ඔවුන්ගේ පවුල් වල අය මහන්සි වුන විදිහටම තමයි.

එක දවසක් වැඩේ පොඩ්ඩක් මිස් වුනොත් බල්ලාත් මිසිං.

"අක්කේ අපේ ටොමියව එහෙම දැක්කද? ඊයේ ඉඳලම ගෙදර ආවේ නැහැනේ..."

"මල්ලිලා ඊයේ ගෙදර හිටියේ නැද්ද? ඊයේ හවස බලු වෑන් එකනම් කැරකෙනවා දැක්කා..."

ඔන්න ඔහොම තත්ත්වයක් තමයි තිබුණේ. 

ඔය විදිහට බල්ලෝ අල්ලාගෙන ගිහින් මරන එක සිදු වුනේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර යටතේ ලංකාවේ ක්‍රියාත්මක වූ ජලභීතිකා රෝග මර්දන ව්‍යාපෘතියක කොටසක් ලෙසයි. මේ ව්‍යාපෘතියේ බල්ලන් ඉලක්ක කළ ක්‍රියාමාර්ග තුනක් තිබුණා. ජලභීතිකා රෝගයට එරෙහිව බල්ලන් එන්නත් කිරීම, බල්ලන් වඳ කර බලු උපත් පාලනය කිරීම හා දඩාවතේ යන බල්ලන් ඉහත කී ආකාරයෙන් මරා දැමීම මේ කොටස් තුනයි. ඊට අමතරව බල්ලන් විසින් සපා කනු ලබන මිනිසුන්ට ජලභීතිකා රෝග තත්ත්වය ඇති වීමට පෙර ඔවුන්ව එන්නත් කිරීමද සිදු වුනා. 

ව්‍යාපෘතිය ආරම්භ වී තිබෙන්නේ 1975 වසරේදී. එහෙත් ව්‍යාපෘතියේ මූලික වැඩ නිම වී බලු වෑන් ක්‍රමය හරියටම ක්‍රියාත්මක වුනේ 1977 වසරේදී පමණ වෙද්දී වෙන්න ඇති. මේ විදිහට බල්ලන් මැරීමෙන් බලු ගහණය අඩු නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යයන වලින්ම පෙනී යාමෙන් පසුව 2005දී ලංකාවේ දඩාවතේ යන බල්ලන් මරන එක නැවතුනා. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වලින්ද මේ සඳහා බලපෑමක් සිදු වුනා කියා මම හිතනවා.

Graphs: WHO (Rab. Res. / 88.25)

28 comments:

  1. ඉකොනොමැට්ටා,

    ඉතාමත් රසවත් ලිපියක්. අප ඔය කියන කාලේ වෙනකොට ඉපදිලා නැතත් 2005 වෙනකොට නම් බලු වෑන් තිබුණේ නැහැ නේද? මම නම් අනූව දශකයේ අගින් ඇරඹි කාලය තුළ මේ කියන විදිහේ බලු වෑන් දැකලා නෑ. ඒත් දඩාවතේ යන බල්ලන් අල්ලාගෙන සිංගල් කැබ් පිකප් ට්‍රක් වල දාගෙන ගිහින් ඇතැම් රැඳවුම් කඳවුරු වල ගාල් කොට තියෙනවා. ඒ කඳවුරු තියෙන ප්‍රදේශ වල ජනතාවට බල්ලන්ගේ අධික බිරුම් හඩින් මහත් සේ කරදරයක් මොකද විශාල ප්‍රමාණයක් ගාල් කොට තියෙන නිසා.

    කෙසේ වෙතත් මට හිතෙනවා මේ පෝස්ට් එකේ යම් යටි අරුතක් ඇති බවටත්, සෑහෙන කාලෙකට කලින් ලංකාවේ වූ බවට අප අසා ඇති යම් සංහාරයක් මේ සුනඛ සංහාරය සමග ගලපා ඇති බවක් වගේ, සමහර විට මගේ හිතළුවක් වෙන්නට ඇති.

    ඒ වගේම ඔබේ අවධානය යොමු කිරීමට කැමතියි මේ වීඩියෝ එකට, සමහර වෙලාවට ඔබ මේක දකින්නත් ඇති.

    https://youtu.be/ROBS9S0v0dk

    මේක පෝට් සිටි එක ගැන, මේ දවස් වල ලංකාවේ ආණ්ඩුවේ අය මේක හොඳින් හරි නරකින් හරි මොන ජාතියෙන් හරි කරන්න උත්සාහ කරනවා නමුත් විපක්ෂ කණ්ඩායම් එකට එකතු වෙලා මීට විරුද්ධව මේක වෙනම කොළනියක්, ලංකාවේ සම්පත් සූරා කෑමට පටන් ගත් කුමන්ත්‍රණයක්, වෙනම රටක් වගේ දේවල් ඉතාමත් තදින්ම ප්‍රචාරය කරමින් සිටිනවා. මේ ගැන සැබෑ තොරතුරු ලබාගත හැකි ක්‍රමයක් හදුන්වා දෙන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යයෙන් ලිපියක් ලියන්න කලින් මතකයේ තිබෙන දේ හොයා ගන්න පුලුවන් මූලාශ්‍ර එක්ක සසඳමින් පරික්ෂා කර බලනවා. මේ ලිපිය ලියන්න පෙරද එය කළා. බල්ලන් මරන වැඩසටහන නවත්වා තියෙන්නේ 2005දී බව දැන ගත්තේ එහිදී. එහෙත්, ඊට බොහෝ කාලයක සිටම මේ බලු වෑන් වැඩේ නවතින්න ඇති කියලා මම හිතනවා. මට මේ බලු වෑන් හොඳින්ම මතක 1978 පමණ කාලයේදී. ඒ දවස් වල අපි හිටපු පැත්තට දවස් තුන හතරකට වරක්වත් බලු වෑන් එක ආවා. එහෙත් ලංකාවේ මේ වැඩේ ලොකුවටම සිදු වෙලා තිබෙන්නේ 1981 වසරෙන් පසු ආරම්භ කළ ව්‍යාපෘතියේ දෙවන අදියරේදී. අසූව දශකයේ මැද කාලයෙන් පසුව බලු වෑන් එකක් දැකපු මතකයක් නැහැ. ඊට පස්සේ කාලයේදී ආණ්ඩු වලට බල්ලෝ මරනවාට වඩා ප්‍රමුඛ වැඩ තිබීමත්, ලෝක බැංකු ව්‍යාපෘති ආධාර අරමුදල් අවසන් වීමත් නිසා වැඩේ මන්දගාමී වෙලා නමට වගේ කෙරෙන්න ඇති කියා හිතනවා.

      Delete
  2. ඔටාරා මහත්මිය රෙදි ජාවාරමෙන් බලු ජාවාරමට මාරු වීමත්, විලියම් ගේට්ස් මහතා පරිගණක යෙදවුම් බලපත්‍රකරණයෙන් එන්නත්කරණයට මාරු වීමත් එක වගේම සංසිද්ධි, නැද්ද මං අහන්නේ ?
    මම නම් දැන් හිතන්නේ ගොර්බචෝක් මහත්මය සෝවියට් යුනියන් එක වෙනුවෙන් නොබෙල් තෑග්ගට නෙමෙයි, පරම වීර විභුෂණයට උනත් සුදුසුයි.

    අපි මුළින් හිතුවේ රේගන් මහත්මය ලෝක සමාජවාදය ඉවර කළා කියල; දැනුයි තේරෙන්නේ සෝවියට් යුනියන් එක ලෝක සමාජවාදය වෙනුවෙන් තම පැවැත්ම අහෝසි කර ගත්තා කියල. ඇමරිකා ඔරුමිත්තනාඩුව ප්‍රාන්ත මට්ටමින්ම සමාජවාදී වේගෙන යන්නේ, නැද්ද මං අහන්නේ ?

    ජනාධිපතිත් කොංග්‍රස් එකත් සමාජවාදීන් බලය අල්ලල ඉවරයි. සෙනෙට් එක කොහොමද ?

    ReplyDelete
    Replies
    1. //දැනුයි තේරෙන්නේ සෝවියට් යුනියන් එක ලෝක සමාජවාදය වෙනුවෙන් තම පැවැත්ම අහෝසි කර ගත්තා කියල.//

      මේ කතාවේ ඇත්තක් නැත්තෙම නැහැ. වැඩිපුර අදහස් දක්වන්න කලින් ලිවිය යුතු අතරමැදි කරුණු ගොඩක් තියෙනවා.

      Delete
    2. ඉකොනොමැට්ටා,
      ඔබගේ ලිපි හරිමරසවත්. බොහෝම ස්තුතියි.

      මේ අපේ ලංකාවේ ගොඩක් අයව, නොදන්න සමජවාදයකට ඇදල දාල කියල ඔවුන් දන්නේ නැහැ.
      ඔවුන් හිතන්නේ සමාජවාදී රටවල් වල සැම දෙනා අතර මනාව ධනය පවා බෙදිලා යනවා කියලා.
      ලන්කාවේ 1948 නිදහසේ පටන්, කම්මැලි සහ කපටි රැල මේ සමාජවාදී රැල්ලට මිනිසුන්ගේ සිත් හරවලා නිසා ලංකාවේ ගොඩක් අයට දියුණුවෙන්න අමාරුයි. සමජවාදයෙන් හිත ගලවගත්තොත් දියුණුවෙන්න පුළුවන්. බොක්කෙන්ම සමජවාදයෙ ඉන්නවනම් කැට හොල්ලපන්. ඕකයි ඔවුන්ගේ theory එක. ඔවුන්ගේ නායකයෝවෙන අය කරන්නෙත් එහෙමමයි.

      හොදට හිතල බැලුවම ලෝකයේ ධනවත්ම මිනිසුන් අතර චීන ජාතිකයින් හා රුසියාවේ අය ඉන්නේ මොකද කියල බැලුවම තේරෙනවා පිටින් සමජවාදේ උනාට ඇතුලේ ධනවාදේ කියල.
      ලංකාවේ සමාජවාදී පක්ෂවල අයගේ ළමයි පවා පිටරටවල උනාට කැට හොල්ලන ගොයියන්ගේ කැටේටත් කෙලින්නේ ලංකාවේ ඔය රැල තමයි. සමාජවාදය ඇතුලේ ඇත්තේ ධනවාදයයි.
      මොන වාදයකටවත් නැතුව අපක්ෂපාතිව හිතල මේ comment එකෙන්වත් සමජවාධි පිලිළයෙන් ගැලවෙන කෙනෙක් ඉන්නවනම්!

      Delete
  3. අහලා තියෙනවා හිටපු ජනාධිපති චන්දිකාගේ පුත් විමුක්ති කුමාරතුංග අයාලේ යන බල්ලෝ මරාදැමිම නවතා දමන්න මැදිහත්වුනා කියලා. කතාව ඇත්තද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. මමත් මෙය කොහේ හෝ කියවා තියෙනවා. මෙය ඇත්ත වෙන්න ඇති. මේ වැඩේට මැදිහත් වූ ගොඩක් අය හිටියා.

      Delete
  4. //අසූව දශකයේ මැද කාලයෙන් පසුව බලු වෑන් එකක් දැකපු මතකයක් නැහැ. ඊට පස්සේ කාලයේදී ආණ්ඩු වලට බල්ලෝ මරනවාට වඩා ප්‍රමුඛ වැඩ තිබීමත්....//

    ගරු වැඩ සියල්ලම බල්ලන්ටම යද්දී
    ගරු සරු රටක බල්ලන් ගොඩ වැඩි වෙද්දී
    ගරු කටයුතු තැනක සුනඛයො රජ වෙද්දී
    පුදුමද නෑයො මරණා එක නවතද්දී

    ReplyDelete
  5. Unfortunately I have seen both municipal council killing dogs and UNP+JVP killing humans. However dogs had more dignified death at the hand of MC, than humans at the hand of JVP+UNP. I have seen dogs dragging half burned human body parts in Badulla. Wijebahu

    ReplyDelete
  6. මහත්තයා බලු වෑන් එකකද වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. බල්ලෝ මරලා හරි සල්ලි තමයි හොයන්න ඕනි. මොකද සල්ලි බුරන්නේ නැහැනේ. ඇමරිකන් ධනවාදය කියන්නේ ඒක තමයි.

      Delete
  7. ඉකෝන් මේ දවස්වල ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින බව ඔබ දන්නවානේ. ඒත් බල්ලන් මරා සල්ලි හොයන්න බැරි නිසා මේ කාලේ ලංකාවේ රජය මහජන චීනයෙන් රෙන්මින්බි බිලියන දහයකට තුන් වසරකට සහ කෙටි කාලීනව ඩොලර් මිලියන 500 ක් ද දකුණු කොරියාවෙන් තවත් මිලියන 500 ක් ද ඩොලර් බිලියන 56 ක් පමණ විදේශ සංචිත ඇති බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 500ක් පමණ මූල්‍ය විනිමය හුවමාරුවක් (ස්වැප්) කරපු බව දකින්න ඇති. එනමුදු ඇත්තටම මොනවද මේ විනිමය හුවමරුව (currency swap) කියන්නේ?

    මම හිතන්නේ විනිමය හුවමාරුව යනු පාර්ශව දෙකක් එකිනෙකා සමඟ සමාන වටිනාකමක් ඇතිව හුවමාරු කර ගන්නා නමුත් විවිධ විනිමය ඒකක වලින් කරන ගනුදෙනුවකි. පාර්ශවයන් මූලික වශයෙන් එකිනෙකාට ණය ලබා දෙන අතර නියමිත දිනට හා විනිමය අනුපාතයට එම විනිමය නිමය ආපසු ගෙවිය යුතුයි.

    අපට තේරෙන විදිහට බංග්ලාදේශ හා ශ්‍රී ලංකාව අතර සිදුවන ගනුදෙනුව සරලව - බංග්ලාදේශය අපට ඩොලර් මිලියන 200 ක මුදලක් ලබා දෙන අතර එය සාමන්‍ය වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 40,000 ක මුදලක්. නමුත් මෙය ගෙවීමේදී අපිට ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න හැකියාව ලැබීම තමයි මෙහි තියන විශේෂත්වය. මෙහි ඇති ප්‍රධාන වාසිය තමයි ශ්‍රී ලංකාවට ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 200 මහ බැංකුවේ විදේශ විනිමය සංචිතයක් ලෙස තබා ගැනීමට හැකියාව ලැබීමයි. එමගින් මුදල් විනිමය අනුපාතවල උච්චාවචනයන් හා සම්බන්ධ විය හැකි අවදානම් වළක්වා ගැනීමට හෝ විදේශ මුදල්වලින් ණය සඳහා අඩු පොලී අනුපාත ලබා ගැනීමට හැකි වීම හා එමගින් ස්ථාවර විනිමය අනුපාතයක් තබා ගැනීමට හැකියාව ලැබෙනවා.

    සත්‍ය තොරතුරු සොයන්නන්ගේ කියවීම සදහා ශ්‍රී ලංකාවේ පසුගිය වසර 10 ක රාජ්‍ය ණය පිළිබද විශ්ලේෂණය කරන්න අවශ්‍යයි මොකද මේ ගැන සමාජ ජාල හරහා විවිධාකාරයෙන් අසත්‍ය තොරතුරු පල කෙරෙන නිසා.

    පේන විදියට නම් 2010 වර්ෂයේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) ඇමරිකානු එ.ජ. ඩොලර් බිලියන 56.7 ක්. එය 2014 වර්ෂය වන විට බිලියන 79.4 දක්වා වසර 4ක් ඇතුලත 40% ක පමණ වර්ධනයක් දක්නට ලැබිණි. යුද්ධය අවසානයෙන් පසු මෙරට යටිතල පහසුකම් වල වර්ධනය, නිෂ්පාදන වර්ධනය ඇතුළු බොහෝ කරුණු හේතුවෙන් දල දේශීය නිෂ්පාදිතය ඉහල යාම කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබීම නිසා රජයේ සමස්ත ණය ප්‍රමාණය, දළ දේශීය නිෂ්පාදිතය ප්‍රතිශතයක් ලෙස ගත් කල වැඩි වීමක් නොවුනි. 2011 වර්ෂයේ රුපියල් බිලියන 5,137.8 ක් වූ ණය 2014 වර්ෂය වන විට රුපියල් බිලියන 7486.9 ක් බවට පත් විය. එය 2011 දී ද.දේ.නි.ප්‍රතිශතයක් ලෙස 71.2% සිට 2014 වන විට ද.දේ.නි.ප්‍රතිශතයක් ලෙස 72.3% දක්වා 1.1% පමණ වැඩි වීමක් දක්නට තිබුණි. (මුලාශ්‍ර- https://www.cbsl.gov.lk)

    නමුත් 2015 වර්ෂයේ සිදු වූ ආණ්ඩු පෙරලිය සමග ආර්ථික සමාජීය වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී විය. 5% ක සිට 2019 වර්ෂය අවසානය වන විට රටේ ආර්ථික වර්ධන වේගය 2.3% ක් දක්වා පහත බැසීම එහි එක් උදාහරණයකි. 2015 වර්ෂයේ මෙරට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (ද.දේ.නි.) ඇමරිකානු ඩොලර් බිලියන 80.6 සිට 2019 වසර අවසාන වන විට (ද.දේ.නි.) ඇමරිකානු ඩොලර් බිලියන 84 දක්වා පමණක් වර්ධනය විය. එය 4% පමණක් වර්ධනය විය. 2010 - 14 කාලයේ 40% ක් වූ එය 2015-19 කාලය තුල 4% ක ද.දේ.නි.වර්ධනය වීම මෙරට අනාගතයට ප්‍රබල මරු පහරක් විය. (මුලාශ්‍ර- https://www.cbsl.gov.lk)

    2014 වර්ෂය අවසානයේ ලංකාවේ මුළු ණය රුපියල් බිලියන 7486.9 ක් වුවත් 2019 වසර අවසානය වන විට රුපියල් බිලියන 13,105.5 ක් දක්වා වර්ධනය විය. (මෙහිදී ඩොලරයේ අගය සහ ඩොලර් උද්ධමනය [Time value of Money] ඇජස් කර නැති අතර දළ අදහසක් ගන්න පුළුවන්) එම කාලය තුල රුපියල් බිලියන 5,618 ක ණය බරක් ලංකාවට එකතු වූ බවත් එය 75% ක පමණ වැඩි වීමක් බවත් කියනවා. මෙලෙස රාජ්‍ය ණය වැඩි වීමට ප්‍රධාන හේතු වශයෙන් එවකට පැවති රජය ක්‍රියාත්මක කල අකාර්යක්ෂම හා දුර්වල ප්‍රතිපත්ති බෙහෙවින් බලපවත්වන ලද බව වත්මන් සමාජයේ අදහසයි. මෙහිදී රජය ආයෝජන (I) විශාල වශයෙන් ආයෝජන, වියදම් G නොකිරීම, පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා සැබෑ දිරිගැන්වීම් නොමැතිකම නිසා රටේ ආර්ථිකය වසර 4ක් තිස්සේ මන්දගාමී වී ආයෝජන නොකර රජය විසින් එදිනෙදා (පුනරාවර්තන) වියදම් පියවා ගැනීම සදහා පමණක් ණය විශාල වශයෙන් ණය ගැනීම නිසා 2019 අවසන් වන විට රජයේ සමස්ත ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 86.8% ක් දක්වා වර්ධනය විය. හම්බන්තොට වරාය චීනය වෙත 99 වසරකට බදු දීමෙන් ලද මුදල එය සැදීමට ගත් ණය ගෙවීමට නොව රජයේ පුනරාවර්තන වියදම් පියවා ගැනීම ද දක්නට ලැබිණි.

    (මුලාශ්‍ර - https://www.cbsl.gov.lk/en/publications/other-publications/statistical-publications/economic-and-social-statistics-of-sri-lanka)

    ReplyDelete
    Replies
    1. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ යටතේ ලංකාවේ පාලනය කරන ලද යහපාලන රජය 2015 - 2019 කාලයේ ඇත්තටම ලංකාවේ ආර්ථිකය වර්ධනය වුවාද?

      2015 -19 කාලය තුල ශ්‍රී ලංකාවේ ද.දේ.නි. ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් පමණක් වැඩි වුවද සත්‍ය ලෙසම එය වර්ධනය වුයේද යන්න සෙවිය බැලිය යුතු වන අතර 2014 වර්ෂයේ ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 130.56 ක් පමණ වූ අතර 2019 වර්ෂය අවසානයේදී එය රුපියල් 178.78 ක් පමණ විය. එනම් 2015-19 කාලය තුල ඇමරිකානු ඩොලරය රුපියල් 48.22 ක පමණ අවප්‍රමාණය වූ අතර එය 37%ක පමණ ප්‍රතිශතයකි. එවිට සැබවින්ම 2015 -19 කාලය ආර්ථිකය සැබවින්ම ඍණ අගයක් වී ඇති බව කබ්රාල් වැනි අයගේ අදහසයි, නමුත් මෙහි සත්‍යතාව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      (මුලාශ්‍ර - https://www.cbsl.gov.lk/en/publications/other-publications/statistical-publications/economic-and-social-statistics-of-sri-lanka)

      බංගලාදේශ ශ්‍රී ලංකා විනිමය හුවමාරුව ගැන ලංකාවේ ආණ්ඩුවේ අදහස;

      ශ්‍රී ලංකාව බංග්ලාදේශය වගේ අසල්වැසි රටකින් ණය ගැනීමට තීරණය කරේ ඇයි ද යන්න මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් විමසීමක් කළ විට කී දේ;

      "ලෝකයේ ගොඩක් රටවල් තමන්ගේ ඇති සංචිත වෙනත් රටවල ගිහින් ආයෝජනය කරනවා. ශ්‍රී ලංකාව උනත් ඇමරිකාවේ US Treasuries මිලට ගන්නවා. අපි ඇමරිකාවේ භාණ්ඩාගාර බිල්පත් මිලට ගන්නවා කියන්නේ අපි ඇමරිකාවේ ආයෝජනය කරනවා කියන එක. වෙන විදියකට කියනවා නම් ඇමරිකාව අපිට භාණ්ඩාගාර බිල් පත් විකුණලා අපෙන් ණයක් අර ගෙන කියන එක. ලංකාව හැමදාම ඇමරිකාවේ බිලියන 2,3 ක් ආයෝජනය කරලා තියෙන්නේ.. ඒ කියන්නේ ඇමරිකාව අපෙන් ණයට සල්ලි ගත්ත කියල ඇමරිකාව බංකලොත් වෙලා කියන එකද? තනිකරම මේක ආර්ථික විද්‍යාව පොඩ්ඩක් වත් දන්නේ නැති අය දේශපාලන වාසි ලබා ගන්න කරන බංකලොත් ප්‍රකාශ."

      "අපි යම්කිසි ණයක් ලබා ගන්න කොට අපි බලන්න ඕන අපිට ඒ ණය ලැබෙන පොලී අනුපාත, සහන කොන්දේසි ආදිය මිසක් ගන්න රට කුමක් ද කියන එක නෙවෙයි. ඔය කෑ ගහන සමගි ජන බලවේගයේ ආර්ථික ඔස්තාර්ලා පසුගිය යහපාලන කාලේ යුරෝපයෙන් 7.8% ක පොලී අනුපාත වලට ණය ගන්න කොට කෑ ගහන්න ඕනනේ.. යුරෝපය දියුණු නිසා වැඩි මිලට (ඉහළ පොළියකට) ණය ලැබුන නිසාද?"

      "බංග්ලාදේශයෙන් අඩු පොලියට ණය ගන්නකොට කෑ ගහන්නේ ඇයි?"

      "මේක තනිකරම රජය අපහසුතාවයට පත් කරන්න කරන ලද වැඩක්. අද රජය කොරෝන අස්සේ උනත් කරන සාර්ථක වැඩපිළිවෙල ගැන කුහක මානසිකත්වයෙන් බලන අය ගැන මම කණගාටු වෙනවා."

      මීට අදාළ බව පෙනෙන මූලාශ්‍ර;

      (මුලාශ්‍ර - https://www.cbsl.gov.lk/en/publications/other-publications/statistical-publications/economic-and-social-statistics-of-sri-lanka)

      මේ ලංකාවේ ආණ්ඩුව ගහන බයිලා ඇත්ත ද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

      Delete
    2. //එනමුදු ඇත්තටම මොනවද මේ විනිමය හුවමරුව (currency swap) කියන්නේ?//

      විණිමය හුවමාරු ගිවිසුම් හා ණය
      http://economatta.blogspot.com/2021/02/blog-post_16.html

      //ඩොලර් බිලියන 56 ක් පමණ විදේශ සංචිත ඇති බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 500ක් පමණ මූල්‍ය විනිමය හුවමාරුවක් (ස්වැප්) කරපු බව දකින්න ඇති. //

      ඔබම පහළින් ලියා තිබෙන පරිදි ඩොලර් බිලියන 200ක් විය යුතුයි.

      //නමුත් මෙය ගෙවීමේදී අපිට ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවන්න හැකියාව ලැබීම තමයි මෙහි තියන විශේෂත්වය.//

      ණය ලබා ගැනීම සඳහා ඇප ලෙස රුපියල් තියන නමුත් ගිවිසුම අනුව ඇමරිකන් ඩොලර් වලින් පොලිය සමඟ ණය පියවා ඇපයට තැබූ රුපියල් බේරා ගත යුතුයි. පොලිය ලෙස ලන්ඩන් අන්තර්බැංකු අර්පණ පොලි අනුපාතිකය (LIBOR) සහ තවත් අමතර 2%ක් ඇමරිකන් ඩොලර් වලින් ගෙවිය යුතුයි.

      //එවිට සැබවින්ම 2015 -19 කාලය ආර්ථිකය සැබවින්ම ඍණ අගයක් වී ඇති බව කබ්රාල් වැනි අයගේ අදහසයි//

      කබ්රාල් එසේ කියා ඇතැයි මා හිතන්නේ නැහැ. ලංකාවේ ආර්ථිකය සෘණ වී තිබෙන්නේ 2001දී සහ 2020දී පමණයි.

      //ඇමරිකාව අපෙන් ණයට සල්ලි ගත්ත කියල ඇමරිකාව බංකලොත් වෙලා කියන එකද?//

      ඇමරිකාවට වෙනත් අය විසින් සුරක්ෂිත ආයෝජනයක් ලෙස සලකා ඉතා අඩු පොලියකට ණය දීලා මිසක් ඇමරිකාව ණය ඉල්ලගෙන ගිහින් නැහැ. වෙනත් අය ආයෝජනය නොකරනවානම් ඇමරිකන් රජයට පහසුවෙන්ම ඇමරිකාවේ දේශීය වෙළඳපොළෙන් ණය ගන්න පුළුවන්. ඒ වගේම දේශීය ණය වුනත් විදේශීය ණය වුනත් ඇමරිකන් රජයේ ණය ඩොලර් ණය. වෙන ක්‍රමයක් ඇත්තෙම නැත්නම් ඇමරිකාවේ ෆෙඩරල් රජයට ඩොලර් අච්චු ගහලා ණය ආපසු ගෙවන්න පුළුවන්කම තිබෙනවා. නමුත් බංග්ලාදේශය මේ කරලා තියෙන්නේ ලංකාවේ ආයෝජනයක් කිරීමක් නෙමෙයි. ඇත්තටම කියනවානම් මේක ලංකාව අමාරුවේ වැටී සිටින වෙලාවේ කර තිබෙන රාජ්‍යතාන්ත්‍රික උදවුවක්. මේ වගේ උදවුවක් ඉල්ලන්න සිදු වී තිබෙන්නේ ලංකාවේ ආර්ථිකය ඉතා අසීරු අඩියකට වැටී තිබෙන නිසයි. විණිමය හුවමාරු ගිවිසුමක් වුවත් ආපසු ගෙවිය යුත්තේ ඩොලර් වලින්. ලංකාවට ඩොලර් අච්චු ගහලා ණය ගෙවන්න බැහැ. හැබැයි බංග්ලාදේශයෙන් ණය ගැනීමේ විශේෂ වැරැද්දක් නැහැ. ණය ගන්න වෙන්නේ වඩාත්ම වාසිදායක කොන්දේසි යටතේ ණය ගත හැකි තැනකින්. කොහෙන් ගත්තත් ණය.

      Delete
  8. ඔබට මතකද මන්දා !

    1992 හෝ 1993 දී පේරාදෙනිය ඉන්ජිනේරු පීටයේ කොරිඩෝවල හිටපු බල්ලෝ මැරුවා. මට හොදට මතකයි, උන්ව මැරුවේ විෂ කවපු උලක් තියෙන (ඊතලයක් වගේ) ඇලුමිනම් බටයක් වගේ එකකින් විදලා. ඒ උල විද්දේ තුවක්කුවක් වගේ එකකින්.

    බල්ලෝ මරන්න පටන් ගන්න ඇත්තේ, දවල් 12.00ට අපේ ලෙක්චර්ස් ඉවර වෙලා අපි දවල් කෑමට අක්බාර් එකට ගියාට පස්සේ වෙන්න ඕනෑ. මොකද කාලා ඉවරවෙලා (1:00 ට කිට්ටු වෙලා) ආපහු ෆැකල්ටියට එනකොට අන්තිම බල්ලෝ ටික මරණවා "ඩ්‍රෝවින් ඔෆිස් - No. 01" ළග. (පස්සේ ආරන්චිවුනේ බලු දඩයම පටන් අරන් තියෙන්නේ වර්ක්ශොප් එක අන්තයේ තිබුන රොඩ්‍රිගෝ අය්යගේ කැන්ටිම ලග ඉදලා) ආයුධය තියාගෙන හිටපු කෙනා ඉලෙක්ට් ලැබ් ලග තියෙන වැසිකිලිය ඉස්සරහා කොරිඩෝවේ කනුවලට මුවා වෙලා, ඩ්‍රෝවින්ග් ඔෆිස් එකයි EOE තියටර් එකයි අතරින් ඩීන් ඔෆිස් එක පැත්තට දුවන බල්ලන්ට විදිනවා. ඒ කාලකන්නි මිනිහා දකින හැම බල්ලම පුදුමාකාර බීතියකින් - හරිම අමුතු විදිහට දුවගෙන යනවා. ඒ වෙලාවේ අපි දැනන් හිටියේ නැහැ බල්ලන්ව මරණ බව. වැසිකිලියෙන් එලියට ආපු අපි බල්ලෝ මොකද මේ දුවන්නේ කියලා බලාගෙන හිටියා. එතකොටම තමා අපි දැක්කේ අර කනුවට මුවාවෙලා හිටපු කෙනා දුවන බැල්ලියෙකුට විදිනවා. පහර වැදුනගමන්ම අඩි දෙකක් - දුවන්න ඇති එහෙමම ඇදගෙන වැටුනා.

    මට ඉතුරු පැය තුන (ඉලෙක්‍ට් ප්‍රැක්ටිකල් එකක් හෝ ඩ්‍රෝවින්ග් ඔෆිස් එකේ SD එකක් හෝ තමා තිබුනේ) හරිම පාලු හිස් බවකින් ගෙවිලා ගියා වගේ තමා මතක. දැන් ඒක මතක් වෙනකොටත් හරිම දුකයි. :(

    ReplyDelete
    Replies
    1. මට මේ සිද්ධිය පිළිබඳ දැකපු මතකයක් නැහැ. ඇහැට දැක්කානම් අනිවාර්යයෙන්ම මතක හිටිනවා. කැන්ටිම පැත්තේ හිටපු බලු රංචුව එක වරම අතුරුදහන් වුනේ මේ සිද්ධියෙන් පසුව මම හිතන්නේ. ඔතැන වැට උඩ වාඩි වෙලා තෙලක් බෙදන ගමන් බල්ලන්ට කෑම විසි කරන පුරුද්දකුත් තිබුණනේ.

      Delete
    2. ඔව් ඔව් ... ඒ සන්වේදී සිදුවීම ඇහැටම දැකපු නිසා තමා මට තාමත් හොදින්ම මතක.

      ඒකාලේ ඔය හේත්තුව දාගෙන තෙල බෙද බෙදා හිටපු වැට "තෙල් බාර්", "තෙල් බටේ" , "තෙල් පොල්ල" වගේ සුරතල් නම් වලින්නේ හැදින්වූයේ.

      පහළ ලින්ක් එකේ තියෙන්නේ, ඔතන තෙලක් බෙද බෙදා හිටපු පොරවල් ටිකක් කැමරාවක් දැකලා සිරා වෙන්ට හදපු අසාර්තක උත්සහයක් සටහන්වූ මොහොතක් :)

      මෙන්න ඒ පොටෝව

      **ෆොටෝ ක්‍රෙඩිට් එක යන්න ඕනැ පොටෝ ජගත්ට සහ ගාමිණි බන්ඩාරට.**
      (සමාවෙන්න අනන් මනන් ලියන්න ගිහින් සෘතියෙන් පිට ගියානම්. ලින්ක් එක වැඩ කරන්නේ නැත්නම් කියන්න ෆොටො එක මේල් කරන්නම්)

      මට මතකයි ඔය බලු වෑන් එකෙන් අල්ලලා මරපු බල්ලන්ගේ වලිග කපා ගෙන යන්න ඕනෑලූ මරපු බල්ලන් ගනන වෙනුවෙන් ගෙවෙන දීමනාව ගන්න.

      ඒක වෙන්න ඇති "බල්ලෝ මරලා සල්ලි හම්බකරලා වැඩක් නැහැ" කියන කියමන එන්න ඇත්තෙත්.

      Delete
    3. ආ තවත් එකක් ඔය ෆොටොවේ පසුබිමින් දකින්න තියෙන දිග කොරිඩෝව දකුණු ආසියාවෙ දිගම කොරිඩෝව වගේ කතාවක් අහලා තියෙනවා. හැබැයි ඒක ඇත්තද කියලා මම හරියටම දන්නේ නැහැ.

      උඩින් සටහන් කරන්න අමතක වූ අනිත් කාරනාව; උඩ බැච් එකේ සහ ඊට උඩින් බැච් එකේ හිටපු ඔය ඩයල් ටික මතක ඇති නේද?

      Delete
    4. //උඩ බැච් එකේ සහ ඊට උඩින් බැච් එකේ හිටපු ඔය ඩයල් ටික මතක ඇති නේද?//

      හිච්චි කොල්ලෝ ටිකක්නේ. මේක 1987දී පමණ ගත් ඡායාරූපයක් කියා හිතනවා.

      //මට මතකයි ඔය බලු වෑන් එකෙන් අල්ලලා මරපු බල්ලන්ගේ වලිග කපා ගෙන යන්න ඕනෑලූ මරපු බල්ලන් ගනන වෙනුවෙන් ගෙවෙන දීමනාව ගන්න.//

      ඔය වගේ කතාවක් මමත් අහලා තියෙනවා. එහෙත් මම හිතන විදිහට ඇත්තටම සිදු වෙලා තියෙන්නේ එවැනි දෙයක් නෙමෙයි. අදාළ ලෝක සෞඛ්‍ය සංවිධාන ව්‍යාපෘතිය අනුව, ජලභීතිකා ආසාදනය වීම් හඳුනා ගැනීම සඳහා මරන හැම බල්ලෙක්ගේම පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතුයි. වලිග කපා ගෙන යන්න ඇත්තේ මේ සඳහා ජිව සාම්පලයක් ලෙස. පරීක්ෂණ ප්‍රතිඵල අනුව මරපු බල්ලන්ගෙන් 4%කගේ සිරුරු වල අදාළ ප්‍රතිදේහ හඳුනාගෙන තිබෙනවා.

      Delete
    5. ඒ හිච්චි කොල්ලෝ කිහිපදෙනෙක් මෙතනත් ඉන්නවා.

      හැබැයි තැන එතනම වුනත් මේක 1992 කියලා ලියලම තියෙනවා :D

      **ෆොටෝ ක්‍රෙඩිට් එක යන්න ඕනැ මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂට**  

      Delete
  9. මුලින්ම, මම Blog කියවන්න ගත්තේ Assignmentවලට කරුණු හොයන්න ගියාම ලැබෙන search linkවලට යාමේ ප්‍රතිඵලයක් විදියට. ඒකෙන් අමාරු විශය කරුණු ගොඩ දා ගත් අවස්ථා බොහොමයි. ඊට පස්සෙ Blog හොයාගෙන කියවීම පුරුද්දක් වෙලා තිබුණා.
    අතරින් පතරවත් ඇවිත් Blog කියවීම Facebook වෙත ගොඩවීම නිසා අමතක වෙලාම ගියා.
    ඉතින්, අද පරණ මතක අවුස්සන කොටයි මතක් වුණේ Blog. නමත් අමතක හින්දා හොයාගෙන යනකොට කියවන්න ලැබුණේම Blog කියන දේ දැන් අත හැරෙමින් මග හැරෙමින් යන බව (නිවැරැදි දැයි නොදනිමි).
    ඉතින්, අමාරුවෙන් නමත් මතක කරගෙන මේ Blog එක හොයා ගත්තාම සතුටක් දැණුනා. ඊටත් පස්සට හිතුනේ Blog එක තිබුණත් දැන් Active නැත් ද කියන ප්‍රශ්නය. Blog එකේ දිනේ බලපුවාම ඒකත් හරි.
    ඉතින්, උදව් ගත්තත් "බොහොම ස්තූතියි �� " කියන්න මට බැරි වුණා. ඒ හින්දා, මේ blog සහ සංවාද හින්දා මම ලබාගත් දැනුමට ඔබට "බොහොම ස්තූතියි ��♥️" සහ දිගටම ක්‍රියාකාරීව පවතවාගෙන යාම පිළිබඳවත් බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි! www.economatta.com ලිපිනයෙන් ඔබට මෙය දිගටම කියවිය හැකියි. සාමාන්‍යයෙන් අඩු වශයෙන් දින තුනකට වරක්වත් අලුත් ලිපියක් දමනවා.

      Delete
  10. ඉකෝන්,

    ලංකාවේ වර්තමාන දූෂිත නන්දසේන රාජපක්ස සහ හොර රැලගේ ආණ්ඩුව ගත්විට ඔබ මේ පෝස්ට් එකට දමා ඇති මාතෘකාව ඉතාමත් හොඳින් ගැලපෙනවා. මේ දවස්වල ලංකාවෙ ආණ්ඩුව බල්ලන් මරා චීනයට විකුණා හරි සල්ලි හොයන මානසිකත්වයක ඉන්න බව පැහැදිලියි.

    ඒ වගේම ලංකාවේ Colombo Port City Economic Commission එකේ (කොළඹ වරාය නගර ආර්ථික කොමිසම) සාමාජිකයන් විදියට ලංකාවෙ ජනාධිපති නන්දසේන ගෝටාභය රාජපක්‍ස විසින් ලංකාවෙන් පුරවැසියන් පමණක් පත් කරලා තියෙන බවට ආණ්ඩුවේ හොරණෑ මගින් කයිවාරු ගසන නමුත් මේ පත්කිරීම් තාවකාලික ඒවා වෙන්න පුළුවන් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන සැලසුමක් ක්‍රියාත්මක කරන බව හිතෙනවා.

    ඒ මාධ්‍ය වාර්තා අනුව එහි සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභික ජනාධිපති නීතිඥ තිලක් මාරපනගේ සොහොයුරා වූ ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන පත් කර ඇති අතර සෙසු සාමජිකයන් මෙහෙමයි;

    ලංකාවේ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය එස්. ආර්. ආටිගල

    ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති ආචාර්ය සාලිය වික්‍රමසුරිය

    ඕරල් කෝපරේෂන් සහ ඕරල් ගෲප් ඔෆ් කම්පැනීස් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය කුෂාන් කොඩිතුවක්කු

    මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂක ජෙරාඩ් ඔන්ඩච්චි

    මැක්ලරන්ස් ව්‍යාපාර සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක රොහාන් ද සිල්වා

    මේ ගැන මීට ප්‍රථම සමගි ජන බලවේග සහ ජවිපෙ සමහරු පැවසුවේ අජිත් කබ්‍රාල්ගේ පුතා එගි සභාපති වේවි කියා. ඒත් මම හිතන්නේ කපටි ලෙස ඔහු එහි සාමාජිකයකු හෝ නොකර ඇති බව. ඒ වගේම ඒ කාලේ සජබ හා ජවිපෙ පුන පුනා පැවසූ පරිදි එකදු චීන හෝ විදේශික සාමාජිකයකු තවම පත් කර නැතත් ඉදිරියේ මේ අය වෙනුවට විදේශිකයන් පත් කළ හැකි ද?

    ඒ වගේම මේ ගැන අනුර කුමාර දිසානායක සහෝදරයා අද අවධාරණය කළ අදහස්;

    //පොඩ්ඩක් හිතලා බලන්න. ආණ්ඩුව අඩ බෙර ගහලා ගෙනාව පනතක් චීන නගරය වෙනුවෙන්. ගේද්දී කිව්වෙ මොකක්ද? දකුනු ආසියාවේ මූල්ය කේන්ද්‍රස්ථානය කරනවා කිව්වා. නන්දසේන ගෝටාභය රාජපක්ස චීන්නු 1,058 ක් පස්සේ ගියා චීන නගර කොමිසමට පත් කරන්න. එක චීනෙක් කැමති උනේ නෑ. ඇයි? චීනා දන්නවා ඕක හැදුවේ කලු ගල් දාලා නෙවේ වැලි පුරවලා කියලා. ඕක ගිලෙනවා. ඒක දන්න එක චීනෙක් හා කිව්වේ නෑ වරාය කොමිසමට එන්න. අන්තිමට ලන්කාවේ මිනිස්සු ටිකක් දාගන්න උනා. මේ රටේ ධනය කෝටි ප්‍රකෝටි ගානක් මේ පාලකයෝ විනාශ කරන හැටි. කල්පනා කරලා බලන්න.//

    මම මේ කතාවට පසුබිම් වූ කාරණා ගැන අන්තර්ජාලයෙන් සොයා බැලූ නමුත් තවම තොරතුරු ලැබුණේ නැහැ. මේක ගැන විස්තර කරන්න පුළුවන්ද?

    ReplyDelete
  11. මේ ගැන සිපිපියගෙයි ලපිපියගෙයි අදහස මොකක්ද ?

    ReplyDelete
  12. "හැබැයි මේ බල්ලන්ට එන්නත් කර තිබුණේ නැහැ. කර පටි දමා තිබුණේ නැහැ. බල්ලන්ට වුවත් තිබුණේ ගෙදර අනෙකුත් සාමාජිකයන්ට තියෙනවා වගේ තැනක්. ඔවුන් ගෙදරම සාමාජිකයෝ මිසක් ගෙදර සාමාජිකයින්ට "අයිති" සත්තු වුනේ නැහැ. කැමතිනම් ගෙදර සිටීමේ හෝ කැමතිනම් දඩාවතේ යාමේ නිදහස ඔවුන්ට තිබුණා."

    අපේ බලුස් නම් මේ නිදහස තාම උපරිමෙන් බුක්ති විඳිනවා.. හැබැයි එන්නත් කරලා තියෙන්නෙ...

    අපේ ගමටනම් තාම මාසෙකට සැරයක් විතර බලලන්ට වඳ සැත්කම් කරණ ලොරියක් එනවා...

    ReplyDelete
  13. From memory this killing was stopped by past lady presidents son. Once he was graduated as a VET from overseas he proposed and welcomed by government(then).

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: