වෙබ් ලිපිනය:

Sunday, May 9, 2021

සයිනෝෆාර්ම් ගහ ගන්නවද?

චීන සයිනෝෆාර්ම් එන්නත ගැන ගොඩක් පාඨකයින් අහල තියෙනවා. එන්නතක් ගහ ගන්නවද කියන එක හිතා මතා ගත යුතු පෞද්ගලික තීරණයක්. ඉතා පැහැදිලිවම මම එන්නත් විරෝධියෙක් නෙමෙයි. එන්නත් වීරෝධීන්ට එරෙහිව මම මේ වියුණුවේ ලියා තිබෙන්නේ කෝවිඩ් එන්න ගොඩක් කලින් සිටයි. එහෙත් එයින් අදහස් වන්නේ ඕනෑම එන්නතක් වෙනුවෙන් කොන්දේසී විරහිතව පෙනී සිටින බව නෙමෙයි. පෞද්ගලිකව වුවත් මගේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන හැම එන්නතක්ම මම ගහ ගන්නේ නැහැ.

මේ වන විට මගේ පෞද්ගලික වෛද්‍යවරයා විසින් මට ශින්ගල්ස් රෝගය සඳහා එන්නතක් ලබා ගැනීම නිර්දේශ කර තිබෙනවා. එහෙත් මම පසුගිය වසර කිහිපය පුරාම එම එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ශින්ගල්ස් කියන්නේ පැපොල රෝගයේ බරපතලකම අඩු තත්ත්වයක්. පැපොල හැදුනු අයගේ සිරුරේ පැපොල හදන වෛරසය අක්‍රියව තිබී කාලයකට පසු නැවත මතු වීමෙන් ශින්ගල්ස් රෝගය හැදෙනවා. මට කවදාවත් පැපොල හැදී නැහැ. ඒ වගේම පැපොල රෝගය සඳහා එන්නත් ලබා ගෙන තිබෙන නිසාත්, ඇමරිකාවේ පැපොල රෝගය සුලභ නැති නිසාත් මට පැපොල හැදීමේ අවදානම එතරම් වැඩියි කියා මම හිතන්නේ නැහැ. මගේ ගණනය කිරීම් අනුව මට ශින්ගල්ස් රෝගය හැදීමේ අවදානම ඉතාම අඩුයි. යම් හෙයකින් හැදුනත් එයින් මැරෙන්න ඉඩක් නැහැ. දවස් තුන හතරක් අමාරුව දරන්න වෙයි. අපේක්ෂිත හානිය එපමණයි. එම හානිය වලක්වා ගැනීම සඳහා එන්නත ලබා ගත්තොත් දවසක් දෙකක් අතුරු ආබාධ වල අමාරුව විඳින්න වෙනවා. ඒ නිසා, මේ එන්නත ලබා ගැනීම පිළිබඳව මම තවමත් බරපතල ලෙස සලකා බලා නැහැ. 

එසේ වුවත්, කෝවිඩ් සම්බන්ධව මම හිටියේ ලැබෙන මුල් අවස්ථාවේදීම ලැබෙන කවර හෝ සාර්ථක එන්නතක් ලබා ගන්නවා කියන අදහසේ. මේ වෙද්දී ඇමරිකානුවන්ගෙන් දහයෙන් එකකට "නිල වශයෙන්" කෝවිඩ් හැදිලා. ගෙදරින් එළියට බහිද්දී අහම්බෙන් හමුවන ඕනෑම කෙනෙක් කෝවිඩ් ආසාදිතයෙක් විය හැකියි. අල්ලපු ගෙදර මනුස්සයා මාස දෙකකට පෙර කෝවිඩ් වලින් මිය ගොස් බව දැන ගත්තේ එන්නත් දෙකම ලබා ගෙන ගෙයින් එළියට බහින්න පටන් ගත්තට පසුවයි. අහල පහළ තව කී දෙනෙක් කෝවිඩ් වලින් මැරිලද දන්නේ නැහැ. කෝවිඩ් වෛරසය ඕනෑම වෙලාවක පිටට තට්ටුවක් දමන්න පුලුවන්. ශින්ගල්ස් වගේ නෙමෙයි. අනෙක් අතට කෝවිඩ් වලින් මැරෙන්න, හොඳටම අමාරු වෙන්න සහ දිගුකාලීන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ අතිනුත් ශින්ගල්ස් වගේ නෙමෙයි. 

කෝවිඩ් වලින් ගැලවෙන්න දැනට තිබෙන එකම දිගුකාලීන විසඳුම එන්නත්කරණය පමණයි. ඒ හැර වෙනත් විකල්පයක් නැති බව මේ වෙද්දී සක් සුදක් සේ පැහැදිලි වෙලා අවසානයි. කෝවිඩ් වගේ රෝගයක් වැඩි දෙනෙකුට පැතිරෙන තරමට වෛරස් සංචිතය වැඩි වීම නිසා අලුත් ප්‍රභේද වැඩි වැඩියෙන් බිහි වෙනවා. මේ අලුත් ප්‍රභේද අතරින් වේගයෙන් පැතිරෙන ප්‍රභේද වලට පරිණාමික වාසියක් තිබෙන නිසා එවැනි ප්‍රභේදයක් බිහි වී ටික කලකින් එම ප්‍රභේදය ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙනවා. 

පහත රූප සටහනේ පෙන්වා තිබෙන්නේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය ලෙස හැඳින්වෙන B.1.1.7 ප්‍රභේදය පසුගිය මාස කිහිපය ඇතුළත ඇමරිකාවේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වූ ආකාරයයි. මෙය වසර මුලදීම ඉතා නිවැරදිව පුරෝකථනය කර තිබුණු තත්ත්වයක් බවද කිව යුතුයි.


කෝවිඩ් වැනි වසංගතයක් ජය ගන්නනම් සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගන්නම වෙනවා. රෝගය ඔහේ බෝවෙන්න ඇරියොත් කවදා හරි සාමූහික ප්‍රතිශක්තිය ඇති වෙයි. ඒ වෙද්දී දැන් මැරෙනවා වගේ කිහිප ගුණයක පිරිසක් මැරිලා තවත් විශාල පිරිසකට විවිධ දිගුකාලීන ආබාධ ඇති වී තිබීම නොවැලැක්විය හැකියි. එය විකල්පයක් නෙමෙයි. ඒ වගේම කෝවිඩ් නැවත නැවතත් ආසාදනය විය හැකි නිසා පළමු වටයේදී බේරෙන කෙනෙක් දෙවන වටයේදී මැරෙන්න පුළුවන්. මේ තත්ත්වය හමුවේ වසංගතය ජය ගන්න තිබෙන එකම පිළියම එන්නත්කරණය හරහා සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීමයි. ස්වභාවිකව හෝ එන්නත්කරණය හරහා කිසිම දවසක සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවෙන්නත් විශාල ඉඩකඩක් තිබෙන බවද අමතක නොකළ  යුතුයි. ඒ කියන්නේ කෝවිඩ් එක්ක දිගටම ජීවත් වෙන්න වෙනවා කියන එකයි.

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම, අත් සේදීම, එක්රැස්වීම් වලින් වැලකීම ආදිය හරහා කෝවිඩ් ව්‍යාප්තිය මන්දගාමී කළ හැකි වුවත් මේ කිසිවක් ස්ථිර විසඳුම් නෙමෙයි. මේ දේවල් වලින් කළ හැක්කේ එන්නත්කරණය හරහා සාමූහික ප්‍රතිශක්තිය ලබා ගන්නා තුරු කල් ගැනීමයි. ඒ වගේම සාමූහික ප්‍රතිශක්තිය ලැබෙන තුරු තිබෙන විකල්පය වන්නේ මේ අවශේෂ දේවල් කරන එකයි.

එන්නත්කරණය හරහා සාමූහික ප්‍රතිශක්තිය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව මේ වන විට තිබෙන හොඳම නිදර්ශනය ජිබ්රෝල්ටාවයි. ජිබ්රෝල්ටාව ස්පාඤ්ඤයේ දකුණු කෙළවරේ, අප්‍රිකානු මහාද්වීපයට ආසන්නව හා උතුරින් පිහිටි පිහිටි, එක්සත්  රාජධානියට අයත් වර්ග සැතපුම් වර්ග සැතපුම් 2.6ක ප්‍රදේශයක්. ජනගහණය 33,682ක් පමණයි. ජනගහණයේ අනුපාතයක් ලෙස සැළකු විට කෝවිඩ් මරණ ගණන අතින් දෙවැනි තැනත්, කෝවිඩ් ආසාදිතයින් ගණන අතින් පස්වැනි තැනත් සිටින්නේ ජිබ්රෝල්ටාවයි. 

රට වසා තබා ගැනීම මගින් පසුගිය දෙසැම්බරය වන තුරුම කොවිඩ් පාලනය කර ගැනීමට ජිබ්රෝල්ටාව සමත් වුනත් ශීත සෘතුව එළැඹෙද්දී තත්ත්වය නරක අතට හැරුණා. කෙසේ වුවත්, එක්සත් රාජධානිය විසින් ජිබ්රෝල්ටාවේ කුඩා ජනගහණයට ප්‍රමාණවත් තරම් පයිසර්-බයෝ එන්ටෙක් එන්නත් ලබා දීම නිසා ජිබ්රෝල්ටාවට කෝවිඩ් වලින් ගොඩ යන්න හැකි වුනා. පසුගිය මාර්තු මාසයේදී වයස අවරුදු 16ට වැඩි සියලුම ජිබ්රෝල්ටා වැසියන්ට මෙන්ම එහි රැකියා කරන 16,000ක් පමණ වන ස්පාඤ්ඤ වැසියන්ටද පයිසර්-බයෝ එන්ටෙක් එන්නත් ලබා ගැනීමේ අවස්ථාව හිමිවුනා. ඔවුන්ගෙන් 85%කට වඩා වැඩි පිරිසක් එන්නත් ලබාගෙන තිබෙනවා. මාර්තු මැද සිට ජිබ්රෝල්ටාවෙන් වාර්තා වී තිබෙන්නේ කෝවිඩ් ආසාදිතයින් 8 දෙනෙක් පමණයි. මරණ කිසිවක් වාර්තා වී නැහැ. 

සීෂෙල්ස් දූපත අප්‍රිකානු මහාද්වීපයේ කොටසක් සේ සැලකෙන ඉන්දියානු සාගරයේ පිහිටි ලක්ෂයකට මදක් අඩු ජනගහණයක් සිටින රටක්. පසුගිය ජනවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සීෂෙල්ස් වෙත චීන සයිනෝෆාර්ම් එන්නත් 50000ක  තොගයක් ප්‍රදානය කළා. ඉන් පසුව ඉන්දියාව විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් 50000ක තොගයක්ද ප්‍රදානය කළා. මේ වන විට සිය ජනගහණයෙන් 61%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙන සීෂෙල්ස් ලෝකයේ රටවල් අතරින් ජනගහණයෙන් වැඩිම පිරිසක් එන්නත් කර ඇති රටයි. එක් එන්නත් මාත්‍රාවක් ගත් පිරිසද ඇතුළුව ජනගහණයෙන් 70%ක් මේ වන විට එන්නත් කර තිබෙනවා. එසේ වුවත් මේ වන විට සීෂෙල්ස්හි වේගයෙන් කෝවිඩ් ව්‍යාප්ත වන නිසා එම රටට නැවතත් දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදු වී තිබෙනවා. පසුගිය සති වල කෝවිඩ් හැදී තිබෙන අයගෙන් තුනෙන් එකක්ම එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයයි.

මිලියන දහයකට වඩා වැඩි ජනගහණයක් සිටින ඊශ්‍රායලය මේ වන විට පයිසර්-බයෝඑන්ටෙක් එන්නත යොදා ගනිමින් සිය ජනගහණයෙන් 60%ක් එන්නත් කර තිබෙන අතර එයින් 56%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා. මේ වන විට ඊශ්‍රායලයෙන් හමුවන කෝවිඩ් ආසාදිතයින් ගණන වගේම කෝවිඩ් මරණ ප්‍රමාණයත් විශාල ලෙස පහත වැටී තිබෙනවා. එහෙත් ඊශ්‍රායලය තරමටම වගේ ජනගහණ ප්‍රතිශතයක් එන්නත් කර තිබෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ඊශ්‍රායලයේ මෙන් කෝවිඩ් පාලනය වී ඇති බවක් පෙනෙන්නට නැහැ. සයිනෝෆාර්ම් එන්නත මුලින්ම අනුමත කළ රට එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සයිනෝෆාර්ම් එන්නතට අමතරව පයිසර්-බයෝඑන්ටෙක් එන්නතද ලබා දෙනවා.

කෝවිඩ් වලින් විශාල ලෙස බැට කෑ බටහිර රටක් වූ එක්සත් රාජධානිය තුළ මේ වෙද්දී බොහෝ දුරට වසංගතය පාලනය වී තිබෙනවා. ප්‍රධාන වශයෙන් පයිසර්-බයෝඑන්ටෙක් හා ඇස්ට්‍රසෙනිකා එන්නත්ද යම් තරමකින් මොඩර්නා එන්නත්ද භාවිතා කළ එක්සත් රාජධානිය සිය ජනගහණයෙන් 52%ක් එන්නත් කර තිබෙන අතර එයින් 25%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා. 

පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් ප්‍රධාන වශයෙන්ද, ජොන්සන් සහ ජොන්සන් එන්නත යම් තරමකින්ද භාවිතා කළ ඇමරිකාව සිය ජනගහණයෙන් 45%ක් එන්නත් කර තිබෙන අතර එයින් 33%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා. එක්සත් රාජධානියේ තරමටම නැතත් ඇමරිකාවේද කෝවිඩ් වසංගතය මේ වන විට බොහෝ දුරට පාලනය වී තිබෙනවා.

ලංකාවට යාබද මාලදිවයින සිය ජනගහණයෙන් 57%ක් එන්නත් කර තිබෙන අතර එයින් 24%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා. එහෙත් මේ වන විට මාලදිවයින තුළ ඉතා වේගවත් කෝවිඩ් ව්‍යාප්තියක් දැකිය හැකියි.

සමස්තයක් ලෙස කෝවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වය පිළිබඳව තවමත් දැකිය හැක්කේ තරමක් අවිනිශ්චිත සංඥාවක්. එන්නත්කරණයෙන් ප්‍රතිඵල ගැනීම සඳහා ජනගහණයෙන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිශක්තිකරණය කළ යුතුවාක් මෙන්ම ලබා දෙන එන්නත අනුවද ප්‍රතිඵලය වෙනස් වන බව පැහැදිලියි. මෙයින් මා අදහස් කළේ එන්නත්කරණය අසාර්ථක බව නෙමෙයි. වෙනත් ඕනෑම විකල්පයකට වඩා එන්නත්කරණය සාර්ථක බව ඉතාම පැහැදිලියි. එහෙත් එන්නත්කරණය මගින් වුවද වසංගතය මැඩ පැවැත්වීම විශාල අභියෝගයක්.



දැනට ලෝකයේ විවිධ රටවල භාවිතා වන කෝවිඩ් එන්නත් එකොළහක් අතරින් හයකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබෙනවා. මේ විවිධ එන්නත් අතරින් වඩාත්ම විශ්වාසනීය එන්නත සේ සැලකිය හැක්කේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නතයි. පයිසර් සමාගම මෙවැනි වැඩකට දිගුකාලීන පළපුරුද්දක් හා සැලකිය යුතු තරමේ යටිතල පහසුකම් තිබෙන බහුජාතික සමාගමක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මුලින්ම ලැබුනේ මෙම එන්නතටයි. 95%ක ඵලදායිත්වයක් පෙන්වන පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලොව පුරා රටවල් 92ක භාවිතා වන අතර අතුරු ආබාධ ප්‍රශ්න මතු වී නැහැ. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත මෙන්ම තවත් mRNA එන්නතක් වන මොඩර්නා එන්නතද 95%ක ඵලදායිත්වයක් පෙන්වා ඇති අතර එම එන්නතෙන්ද අතුරු ආබාධ ප්‍රශ්න මතු වී නැහැ. ඇමරිකාව තුළ අනුමත වූ දෙවන එන්නත වන මොඩර්නා එන්නතටද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබෙන අතර මේ වන විට රටවල් 42ක භාවිතා වෙනවා. පයිසර්-බයෝඑන්ටෙක් එන්නත තරමටම වාගේ විශ්වාසනීය මොඩර්නා එන්නත අඩු රටවල් ගණනක භාවිතා වෙන්නේ සැපයුම පිළිබඳ සීමාවන් නිසයි. ඇමරිකානු ෆෙඩරල් රජයේ ආධාර යටතේ එන්නත වැඩි දියුණු කළ මොඩර්නා සමාගම පයිසර් සමාගම මෙන් විශාල යටිතල පහසුකම් හෝ ජාත්‍යන්තර සම්බන්ධතා නැති සාපේක්ෂව කුඩා ඇමරිකානු සමාගමක්. 

ඵලදායිත්වය අතින් ඉහළම මට්ටමක තිබුණත් පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් තවමත් මුළුමනින්ම වාගේ භාවිතා වෙන්නේ සංවර්ධිත රටවලයි. සංවර්ධිත රටවල් විසින් එන්නත් මුලින්ම වෙන් කර ගැනීමත්, එන්නත් වල ඉහළ මිලත් මෙයට හේතු වී ඇතත් ප්‍රධානම හේතුව වන්නේ මේ එන්නත් දෙකම සෙල්සියස් අංශක සෘණ 20ක පමණ උෂ්ණත්වයක ගබඩා කර තබා ගත යුතු වීමයි. ලංකාව ඇතුළු බොහොමයක් රටවලට එවැන්නක් කළ හැකි තරමේ යටිතල පහසුකම් නැහැ. ඒ නිසා, අඩු ආදායම්ලාභී රටවලට මේ හොඳම විකල්ප දෙක අත හැර වෙනත් විකල්ප ගැන හිතන්න වෙනවා.

දැනට ලෝකයේ රටවල් වැඩිම ගණනක භාවිතා වන කෝවිඩ් එන්නත ඇස්ට්‍රසෙනිකා එන්නතයි. මුලින්ම පයිසර්-බයෝඑන්ටෙක් එන්නත අනුමත කිරීමෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දකුණු කොරියාවේ හා ඉන්දියාවේ නිපදවන ඇස්ට්‍රසෙනිකා එන්නත් සඳහා අනුමැතිය දුන්නා. මේ වන විට ලොව පුරා රටවල් 148ක මිලියන 200කට අධික පිරිසක් ඇස්ට්‍රසෙනිකා එන්නත් ලබා ගෙන තිබෙනවා. ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායිත්වය 76% පමණ වන අතර සුළු පිරිසකට ලේ කැටි ගැසීමේ තත්ත්වයක්ද ඇති වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වන්නේ එන්නතෙහි වාසි සැලකූ විට එහි හානි ඉතා අඩු බවයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී තිබෙන තවත් එන්නතක් වූ ජොන්සන් සහ ජොන්සන් එන්නතෙහි ඵලදායීතාව 70% පමණ වන අතර දැනට රටවල් 15ක භාවිතා වෙනවා. මෙම එන්නත ලබා ගත් අය අතරින්ද ලේ කැටි ගැසීමේ තත්ත්වයන් වාර්තා වී තිබෙනවා.

සයිනෝෆාර්ම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ හයවන එන්නතයි. එම එන්නත මේ වන විට රටවල් 38ක භාවිතා වෙනවා. එන්නතේ ඵලදායීතාව 78% පමණ මට්ටමක තිබෙනවා. සයිනෝෆාර්ම් එන්නත කෝවිඩ් සඳහා "දිව ඔසුවක්" නොවන අතර "හොඳම එන්නත" ද නෙමෙයි. එහෙත්, ප්‍රායෝගික හේතු මත පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් භාවිතා කිරීමේ හැකියාවක් නැති ලංකාව වැනි රටකට ඉතිරි වී තිබෙන විකල්ප අතරින් හොඳ විකල්පයක්. මම ලංකාවේ වාසය කළානම් මේ අවස්ථාවේදී සයිනෝෆාර්ම් එන්නත විද ගන්නට පැකිලෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් ලැබී නැතත් මේ වන විට රටවල් 32ක භාවිතා වන රුසියානු ස්පුට්නික් එන්නතද ලංකාව වැනි රටකට හොඳ විකල්පයක් කියා මම හිතනවා.

කෙසේ වුවත් තවත් එක් දෙයක් කිව යුතුයි. චීනයේ කෝවිඩ් පාලනය වී තිබෙන්නේ සයිනෝෆාර්ම් එන්නත නිසා නෙමෙයි. චීනය ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස ඒ සඳහා අවශ්‍ය වන පමණ පිරිසකට සයිනෝෆාර්ම් එන්නත ලබා දී නැහැ. මේ වන විට එන්නත්කරණය හරහා කෝවිඩ් පාලනය කර ගෙන ඇති බව පෙනෙන්නේ 95%ක ඵලදායිත්වයක් ඇති පයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාගත් රටවල් හෝ ප්‍රදේශ පමණයි. 70-80% මට්ටමේ ඵලදායිත්වයක් ඇති එන්නතකින් වසංගතය පාලනය කරන්නනම් ජනගහණයෙහි වඩා විශාල ප්‍රතිශතයක් එන්නත් කළ යුතු වෙනවා. ඒ නිසා, දිගුකාලීන විසඳුමක් ලෙස හැකි තරම් පිරිසකට හැකි තරම් ඉක්මණින් ඉහත කී කවර හෝ එන්නතක් ලබා දිය යුතු අතර වසංගතය පාලනය වන තුරු අනෙකුත් සියලුම කෙටිකාලීන උපක්‍රමද අනුගමනය කරන්නම වෙනවා.

පයිසර්-බයෝඑන්ටෙක් වැනි හොඳම එන්නතක් ගත්තත් පුද්ගලයෙකු කෝවිඩ් වලින් මුළුමනින්ම ආරක්‍ෂිත නැහැ. ඒ වගේම එන්නත් මගින් ලබා ගන්නා ප්‍රතිශක්තියද රෝගය ආසාදනය වීමෙන් ලැබෙන ප්‍රතිශක්තිය මෙන්ම ඉතා ඉක්මණින් ක්ෂය වී යනවා. බොහෝ විට වසරකට පමණ වරක් කෝවිඩ් සඳහා නැවත නැවත එන්නත් ලබා ගන්න වෙයි. මෙය බටහිර රටවලට පුරුදු දෙයක් වුවත් ලංකාව වැනි රටකට පුරුදු හෝ දරා ගත හැකි දෙයක් නෙමෙයි. ඉදිරියේ ඇති වන තත්ත්වයට මුහුණ දෙන්නනම් දැන්ම ඒ ගැන සිතා සැලසුම් කළ යුතුයි. ලංකාව මේ වෙලාවේ හැකි තරම් උත්සාහ කළ යුත්තේ කවර හෝ එන්නතක් ලංකාවේම හදා ගැනීම ගැනයි. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් ලංකාව සතුයි. වැඩේ හරියට කර ගත්තොත් දිගුකාලීනව ස්ථායී අපනයන ආදායමක්ද ලැබිය හැකි වැඩක්. 

9 comments:

  1. ඉකොනොමැට්ටා,

    තවමත් ලෝකයේ විශාලතම ආර්ථිකය ඇති "ලෝකෙට ලොක්කා" නැත්නම් ලෝක පොලිස් කාරයාගේ භූමිකාව රඟන ඇමෙරිකානු එක්සත් ජනපදය ලංකාව වගේ රටකට මේ වගේ මොහොතක උපකාර කරන්න බැරි ඇයි? චීනය නොමිලේ එන්නත් ලක්ෂ හයක් දීලා ලංකාවේ එන්නත් හදන්න මේ දවස්වල ලංකාවේ බලධාරීන්ට සහය දෙන බවට මාධ්‍ය වාර්තා කළා. අච්චර කරදර මැද ඉන්දියාව වැක්සීන් ලක්ෂ පහක් නොමිලේ ලබා දී තවත් ලක්ෂ පහක් විතර ලංකාව සල්ලිවලට ගත්තා. නමුත් ඇමෙරිකානු ජාතිකයන් රටේ පාලකයෝ වෙලා තියෙද්දිත් මහ ලොකු ඇමරිකාවෙන් ලංකාවට කිසිම උදව්වක් නෑ කියලා ජවිපෙ ජාතික බලවේගයේ අය පවසන්නේ ඇත්ත නේද? ඉන්දියාවට උනත් යන්තම් ඩොලර් මිලියන සීයක විතර මාස්ක් සහ ඔක්සිජන් සිලින්ඩර ටිකක් විතර දීල ෂේප් වෙනවා.

    https://reliefweb.int/report/india/united-states-delivers-six-planes-india-emergency-medical-supplies-combat-covid-19

    ඒ වගේම ලංකාවටත් ඔය කියන අම්බානක ලෝකයේ හොඳම එන්නත් දෙන්නෙත් නෑ සල්ලිවලටවත්. ඔන්න ඇමෙරිකන් කාරයාගේ හැටි. ඉතින් ඇමෙරිකන් විරෝධී අදහස් ඇතිවීම ස්වාභාවිකයි.

    ඇමෙරිකානු එක්සත් ජනපදය මෑතකාලීන මැදපෙරදිග යුද්ධ වලට විතරක් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන හයක් හතක් නාස්ති කරල තියෙන්නෙ. ඒකෙන් ඇමෙරිකාවට ලැබුණු කෙංගෙඩියක් නෑ ඉතින් නේද? ඒත් ඉතින් මේ වගේ හදිසියකදී සපෝට් එකක් දෙන්න සල්ලි නෑ කුණු ලෝබ වෙන්නේ ඇයි ඉකොනොමැට්ටා?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව නිකම් දෙන දේවල් ගැන එක්කෝ කවුරුවත් කතා කරන්නේ නැහැ. නැත්නම් නිකම් දෙන එකත් කුමන්ත්‍රණයක් කියා ප්‍රචාරය කරන එකයි කරන්නේ. ඇමරිකාව ඩොලර් මිලියන 500ක MCC ආධාර මුදල දුන්නේ ආපසු නොගන්නා ප්‍රදානයක් විදිහටයි. එය ඇමරිකානු කුමන්ත්‍රණයක් වෙලා පොලියට සල්ලි දෙන එක උදවුවක් වෙන එකයි ලංකාවේදී සිදු වුනේ. ඇමරිකාව නිකම් දුන් වෙන්ටිලේටර 200 නිසා බේරෙන ජිවිත ගණන පුළුවන්නම් තව මාසයකින් ගණන් හදලා බලන්න. ලංකාවට ඇස්ට්‍රසෙනිකා එන්නත් ලැබුණේ කොහොමද කියා දැනගෙනද ඔබ කතා කරන්නේ? කරුණාකර ඒ ගැන හොයා බලලා කතා කරන්න. ලංකාවේ ජනගහණයෙන් 20%කට ප්‍රමාණවත් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 8.4ක් වෙන් කෙරුණේත්, එයින් කොටසක් ලැබුණේත් COVAX වැඩ පිළිවෙළ හරහා. ඒ වෙනුවෙන් විශාලතම මූල්‍ය දායකත්වය සපයා තිබෙන්නේ ඇමරිකාවේ බදු ගෙවන ජනතාවයි. දැනටම ගෙවා තිබෙන මුදල ඩොලර් බිලියන 2.5ක් වන අතර ඩොලර් බිලියන 4ක් දක්වා මුදලක් ගෙවීමට නියමිතයි. ඉන්දියාවේ කෝවිඩ් අර්බුදය උග්‍ර වීම නිසා මේ වැඩසටහනට බාධා වී තිබෙනවා. චීනයේ කෝවිඩ් විශාල ලෙස පැතිරුනොත් චීනය කරන්නෙත් ඔය ටිකම තමයි. ලංකාවේ වැරදි ප්‍රතිපත්ති හා ආකල්ප වලට කොහෙවත් ඉන්න අය පලි නැහැ. ඇමරිකාව ලංකාවටම නොමිලේ හොඳම එන්නතක් දෙනවා කිවුවොත් එයත් ඔබ වගේ අයට ඇමරිකන් කුමන්ත්‍රණයක් වෙයි.

      https://www.who.int/srilanka/news/detail/07-03-2021-first-batch-of-covid-19-vaccines-from-the-covax-facility-arrive-in-sri-lanka

      https://www.statista.com/chart/24244/donations-to-covax-by-country/

      http://economatta.blogspot.com/2020/10/blog-post_54.html

      Delete
    2. අනිත් කරුණ මේ ඇතැම් එන්නත් වඩා හොඳ එන්නත් වෙන්නේ වසංගතය පාලනය කිරීමේ පැත්තෙන්. තනි පුද්ගලයෙක්ගේ පැත්තෙන් බැලුවොත් ඔය ඕනෑම එන්නතක් බොහෝ දුරට එක වගේම හොඳයි. මොකද කෝවිඩ් හැදුනත් දරුණු වෙන්නේ නැහැ.

      Delete
    3. මම හිතන්නේ ඉකොනො ඔබට ගණන් වැරදිලා වගේ. ඔය උඩ ඇනෝ කාරයා කියල තියෙන දේවල් වල පොයින්ට් එකක් තියෙනවා.

      මම වඩාත් සරල බසින් ඉදිරිපත් කරන්නම්

      01. ලෝකයේ බලවත්ම රට ලෙස ලොව සෑම රටකටම පාහේ බලපෑම් කරන ඇමරිකානු එ.ජ.ය තම රටේ මහජන බදු මුදල් වලින් බිලියන 6,000 (ට්‍රිලියන හයක්) කට වැඩි ප්‍රමාණයක් වන අතිවිශාල මුදලක් තේරුමක් නැති මැදපෙරදිග කලාපයේ ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ අනවශ්‍ය යුද්ධ වලට නාස්ති කරමින් එම රටවල් විනාශ කළා.

      02. නමුත් ඇමරිකානු එජ ලෝකය පුරාම ඇති අඩු ආදායම් ලාභී රටවල් 130 කට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා බරපතල වසංගතයක් හමුවේ වැක්සීන් සම්බන්ධ කාරණා වලට කොවැක්ස් ප්‍රෝග්‍රෑම් සඳහා දී තිබෙන්නේ බිලියන 2.5 ක පමණ සොච්චමක් හිඟන්නන්ට පාන් කෑලි වගේ. එනම් එක රටකට සාමාන්‍යයෙන් බිලියන 0.02 කටත් වඩා අඩුවෙන්. ලංකාවට ඇත්තටම ලැබුණු කොවිෂීල්ඩ් (ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා) එන්නත් ලක්ෂ පහක වටිනාකම ඩොලර් ලක්ෂ හතරක් විතර. (ඊට පස්සේ ඉන්දියාව අපට ඉතුරු ලක්ෂ පහක් විකුණුවේ ඩොලර් 5.25 බැගින් අධික මිලකට.) මේ වගේ හිඟන ආධාර මුදලක් ලබු කිරිබත් කන්න ද? යකෝ ලංකාවේ ව්‍යාපාරික අශ්රෆ් ඔමාර් තනියම ඩොලර් මිලියන 50 ක් දුන්නා. ලැජ්ජ නැද්ද ඩොලර් බිලියන 21,000 ක ජීඩීපී එකක් තියාගෙනත් දෙකයි පණහේ හිඟන වැඩ කරන ඇමරිකාව ගැන? තව ඉස්සරහට දෙනවලු තව හතරක් විතරක්? නොදකින්....

      එම් සී සී එක ඩොලර් මිලියන 480 කට ඇස්තමේන්තු කරල තිබුනෙ නමුත් ඒක රටට බරපතල ලෙස හානිදායක විය හැකි බව පැහැදිලිව පෙනුන නිසා පුළුල් මහජන විරෝධය හමුවේ ලංකාවේ ආණ්ඩුවට හකුලා ගැනීමට හේතුවූ කාරණාවක්. ඒකෙන් වෙන එක හොඳක් ගැනවත් ලංකාවේ රාජපක්ෂ කල්ලියට හෝ වික්‍රමසිංහ බ්‍රෝකර් උන්නැහේට සහ ගෝලයන්ට කිසිම පැහැදිලි උත්තරයක් තිබුණේ නෑ. යම් තරමකට හෝ ප්‍රවාහන ව්‍යාපෘතිය ගැන බොරු හරි කියන්න දෙයක් තිබුණත් ඉඩම් ව්‍යාපෘතිය රටට බරපතල ලෙස හානිදායක බවට ඉතාමත් පැහැදිලියි කියලා ලංකාවේ බහුතරය පිළිගත්තා.

      Delete
    4. /යම් තරමකට හෝ ප්‍රවාහන ව්‍යාපෘතිය ගැන බොරු හරි කියන්න දෙයක් තිබුණත් ඉඩම් ව්‍යාපෘතිය රටට බරපතල ලෙස හානිදායක බවට ඉතාමත් පැහැදිලියි කියලා ලංකාවේ බහුතරය පිළිගත්තා.//

      ලංකාවේ බහුතරය අවුරුද්දකට කලින් පිළිගත් බොහෝ දේ නිවැරදි නොවන බව දැන් ඒ අයටම හොඳින් තේරිලා තියෙනවනේ. ඉතිරි ටිකත් වැඩි කල් නොගොස් තේරෙයි. දැන් ක්‍රියාත්මක රසායනික පොහොර තහනම දිගටම සාර්ථකව ක්‍රියාත්මක වුනොත් මේ වැඩේ ඉක්මණින්ම වෙයි. ඔය වැඩෙන් පාඩු වී අත් හරිනු ලබන ඉඩම් හා ආදායම් අහිමි වන ගොවි ඉඩම් හිමියන් වැඩි වෙද්දී සහ රටේ විදේශ විණිමය ප්‍රශ්නය උග්‍ර වෙද්දී ලංකාවට කාලයක් තිස්සේ අවශ්‍යව තිබෙන ඉඩම් හා කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍ය පසුබිම ඉබේම හැදෙයි. ආණ්ඩුවට හිතවත් අය ඒ සඳහා අවශ්‍ය වන මතවාදී පසුබිමත් කොහොම හරි හදල දෙයි. තව ටික කලක් ඔහොම බලාගෙන ඉන්න.

      Delete
  2. This is so inaccurate. USA has fully vaccinated only 32% pop, the speed of vaccination has decreased during the last weeks, around 40% pop don’t want to be vaccinated. USA has the biggest amount of cases and deaths, with so far at least 3 waves, one bigger than the one before.... Check the facts

    ReplyDelete
    Replies
    1. //This is so inaccurate. USA has fully vaccinated only 32% pop//

      //පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් ප්‍රධාන වශයෙන්ද, ජොන්සන් සහ ජොන්සන් එන්නත යම් තරමකින්ද භාවිතා කළ ඇමරිකාව සිය ජනගහණයෙන් 45%ක් එන්නත් කර තිබෙන අතර එයින් 33%ක් මුළුමනින්ම එන්නත් කර තිබෙනවා.//

      Maybe the number was 32% when you checked but it was 33% when this article was published and 34.4% now. These numbers are accurate.

      Delete
  3. ලෙඩේ හැදුනම එන ප්‍රතිශක්තිකරණය ඉක්මනින් නැති වෙනවා කියන්නේ කොහොමද? ඒක ගැන ප්‍රමාණවත් සාකච්චාවක් මං කොහෙවත් දැක්කේ නෑ

    ReplyDelete
    Replies
    1. දැනට මේ ගැන විශාල දැනුමක් නැහැ. ඒ වගේම මෙය තවමත් විශාල ප්‍රශ්නයක් වෙලත් නැහැ. වරක් ආසාදනය වුනාට පස්සේ මාස හත අටක් යනකම් සෑහෙන තරමක ආරක්ෂාවක් තිබෙනවා. එහෙත් ප්‍රතිශක්තිය ටිකෙන් ටික අඩු වෙලා යන බව පෙනී ගොස් තිබෙනවා. සුළු ප්‍රමාණයක් වුවත් දෙවන වරට ආසාදනය වූ යම් පිරිසක් ඉන්නවා. ඇඟේ තිබෙන ප්‍රතිදේහ දින 73කට වරක් බාගයකින් අඩු වෙන බව එක පර්යේෂණ පත්‍රිකාවක පෙන්වා තිබෙනවා. විශේෂයෙන්ම පළමු වර අමාරු නොවූ අයගේ ඇඟේ ප්‍රතිශක්තිය ඉක්මණින් හීන වී යා හැකියි. ඒ වගේම වෛරසය ආසාදනය වීමෙන් වෛරසයේ එම ප්‍රභේදයට එරෙහිව මිස එන්නතකින් මෙන් පුළුල් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඇතැම් අයට දෙවන වර වඩා අමාරු වී තිබෙනවා.

      ඉන්දියාවේ මේ වන විට මේ පිළිබඳ ලොකු සාකච්ඡාවක් සිදු වෙනවා. කර්ණාටක මහ ඇමති ඇතුළු දහස් ගණනක් දෙවන වරට පොසිටිව් වී තිබෙනවා. එයින් ඇතැම් අයගේ පරීක්ෂා දෙකෙන් එකක් වැරදි විය හැකි වුවත් දෙකම ඇත්තම ආසාදනයන් බව තහවුරු වූ අවස්ථා ගණනාවක් තිබෙනවා.

      https://indianexpress.com/article/india/karnataka-bs-yediyurappa-covid-7276281/

      https://www.nationalheraldindia.com/health/covid-19-patients-might-experience-more-severe-symptoms-on-reinfection-study

      https://indianexpress.com/article/explained/explained-how-likely-is-covid-reinfection-7256618/

      https://www.wionews.com/india-news/covid-19-reinfection-in-india-could-be-due-to-lack-of-meaningful-antibodies-csir-survey-380441

      https://www.newindianexpress.com/cities/bengaluru/2021/apr/17/mutated-covid-19strainreinfecting-many-feel-experts-on-virus-behaviour-2290993.html

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: