Saturday, July 30, 2022
Bring that $40 billion back!
Friday, July 29, 2022
උද්ධමනය 60% පන්නයි!
ගෙවුණු ජූලි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය 60.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 90.9%ක්. කෙසේ වුවත්, මාසය තුළ දර්ශක අගය ඉහළ යාම මන්දගාමී වී තිබෙනවා. ජූනි මාසය තුළ දර්ශක අගය ඉහළ යාම 12.8%ක් වූ අතර ජූලි මාසය තුළ එම වැඩිවීම 4.5%ක් පමණයි. මෙයින් උද්ධමන පීඩනයේ යම් අඩු වීමක් පිළිබිඹු කරනවා. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මෙම අගය 50% ඉක්මවූ විටයි.
දැනට දැකිය හැකි ප්‍රවණතා අනුව, මගේ ඇස්තමේන්තුව වන්නේ ඔක්තෝබර් මාසය වන විට උද්ධමනය 80% පමණ දක්වා ඉහළ ගොස් එයින් පසුව ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි. එහෙත්, එය තීරණය වනු ඇත්තේ දැනට යෝජනා වී ඇති ස්ථායීකරණ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය අනුවයි. එම වැඩ පිළිවෙළ අඩාල වුවහොත්, ප්‍රතිඵලය අධි-උද්ධමන තත්ත්වයක් සමඟ එන ආර්ථිකයේ අති දැවැන්ත කඩා වැටීමක් විය හැකියි.
දැනට අර්බුදය විසඳීම සඳහා යෝජනා වී තිබෙන මාර්ග සිතියම කුමක්ද?
සංක්ෂිප්ත ලෙස කිවුවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ අදාළ ණය මුදල ලබා ගැනීමයි. එසේ කිරීමෙන්, ප්‍රශ්නය කොයි තරම් දුරකට විසඳා ගත හැකිද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දීමට නියමිතව ඇත්තේ ඩොලර් බිලියන 3ක පමණ මුදලක්. එම මුදල ලබා දෙන්නේ මහ බැංකුවටයි. එය රජයට ලබා දෙන ණයක් නෙමෙයි. එසේ වුවත්, මෙම ණය ලැබීමත් සමඟ වෙනත් ජාත්‍යන්තර ආයතන හා රටවල් විසින් රජයටද යම් ණය මුදලක් ලබා දීමට ඉඩ තිබෙනවා. මේ සියල්ලේ එකතුව ලෙස ඩොලර් බිලියන 5-6ක් පමණ එකතු කර ගැනීම අපේක්ෂිත ඉලක්කයයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දීමෙන් අනතුරුව මහ බැංකුවට කරන්නට සිදුවන පළමු දෙය විණිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි. මේ වන විට විණිමය අනුපාතය ස්ථාවර කර තිබෙන්නේ කෘතීම ලෙසයි. මෙහිදී ස්ථාවර කර ගැනීම යන්නෙන් අදහස් කළේ නියම පිළිවෙලට විණිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි.
මේ වන විට මහ බැංකුව විසින් "මහ බැංකුවේ ණය" තව දුරටත් වැඩි කර නොගැනීමේ උත්සාහයක නිරතව සිටිනවා. 2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5.9ක්. එහෙත්, සංචිත තිබුනේ ඩොලර් බිලියන 1.9ක් පමණයි. ඒ කියන්නේ, ඩොලර් බිලියන 4.0ක ශුද්ධ විදේශ විණිමය හිඟයක්. ජූනි අවසානය වෙද්දී මෙම ශුද්ධ විදේශ විණිමය හිඟය ඩොලර් බිලියන 4.5ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලැබෙන දවස වන විට මෙම හිඟය කොපමණ වී තිබේදැයි මා දන්නේ නැහැ. මොන විදිහකින් හෝ ඩොලර් බිලියන 5 සීමාවේ තියා ගනු ඇතැයි කියා අපි දැනට හිතමු.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මහ බැංකුව වෙත ඩොලර් බිලියන 3ක් ලැබුනොත් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5 පමණ දක්වා වැඩි අකර ගන්න පුළුවන්. ඩොලර් බිලියන 6ක පමණ ණය තිබුණත්, එයින් ඩොලර් බිලියන 2.5ක් පමණම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු ණය. එම ණය ඉතා ඉක්මණින් ගෙවිය යුතු නැහැ. ඉතා ඉක්මණින් පියවිය යුතු මහ බැංකුවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන දෙකක් හෝ තුනක් පමණ විය හැකියි. ඒ කියන්නේ, එම ණය පියෙවුවාට පසුව නැවතත් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකට හෝ තුනකට බහිනවා කියන එකයි. හැබැයි සංචිත සමාන වුවත්, මහ බැංකුව දැන් මුහුණ දෙන, "රෝල ගහන්න බැරි වීමේ" ප්‍රශ්නය එවිට අවසන් වෙනවා.
මේ තත්ත්වය තුළ මහ බැංකුවට ඩොලරයක මිල නිදහසේ තීරණය වීමට ඉඩ දෙන්න පුළුවන් වෙනවා. එසේ කිරීමෙන් පසුව ඩොලරයක සැබෑ මිල කීයක් වෙයිද කියන එක හරියටම කාටවත් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එසේ වුවත්, එම මිල රුපියල් දහදාහක් හෝ ලක්ෂයක් නොවන බවනම් කියන්න පුළුවන්. දැන් මේ වෙලාවේ ඩොලරයක මිල නිදහසේ තීරණය වීමට ඉඩ දෙන්න ඇරියොත්නම් මිල එවැනි මට්ටමක් දක්වා වුවත් යන්න පුළුවන්.
මගේ පෞද්ගලික ඇස්තමේන්තුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු පසුවද ඩොලරයක මිල නවතිනු ඇත්තේ දැන් පවතින මිලට වඩා සැලකිය යුතු තරම් ඉහළ තැනක බවයි. මේ මිල පහසුවෙන්ම රුපියල් 500ක් පමණ විය හැකියි. එහෙත්, දැනටමත් සාදා අවසන්ව ඇතැයි සිතන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ එය එසේ නොවන්නට පුළුවන්. අසීරු ඉලක්කයක් වුවත්, ඩොලරයක මිල දැන් පවතින මට්ටම ආසන්නයේ තබා ගැනීම මහ බැංකුවේ අපේක්ෂාව බව පෙනෙන්න තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණු වහාම ශ්‍රී ලාංකිකයින්ට විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමට තිබෙන බාධාවන් ඉවත් වී, අවිධිමත් වෙළඳපොළ බිඳ වැටෙනවා. ඊට අමතරව, විදේශිකයින් විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමද නැවත ආරම්භ වෙනවා. ඒ නිසා, දිගුකාලීන ප්‍රශ්න එසේම තිබුණත්, රටේ ආර්ථිකය 2019ට පෙර වූ ආකාරයෙන් ගෙන යා හැකි තත්ත්වයක් ඇති වෙනවා.
හැබැයි මේ සියල්ල වෙන්නේ කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුදල් ලැබුණොත් පමණයි. ඒ සඳහා පූර්ව කොන්දේසියක් ලෙස ණය ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. එය අභියෝගාත්මක කටයුත්තක්. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට එළැඹී අදාළ ස්ථායීකරණ වැඩපිළිවෙළ ණය ලබා දුන් අයට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඒ නිසා, දැන් තිබෙන ප්‍රමුඛ කාර්යය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට එළැඹීමයි.
මේ කාරණය සිදුවීමටනම් අදාළ වැඩ සටහන ක්‍රියාත්මක කළ හැකි දේශපාලන සහයෝගයක් අවශ්‍ය වෙනවා. එයින් අදහස් වන්නේ කුමක්ද?
එක්කෝ මෙම වැඩපිළිවෙළ හා එකඟ වන ආණ්ඩුවකට ඉදිරි වසර තුනක පමණ කාලය තුළ අභියෝගයක් නොමැතිව ආණ්ඩු බලය පවත්වා ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ණය ලබා දුන් අයට පෙනෙන්නට තිබිය යුතුයි. එසේ නැත්නම්, එම කාලය තුළ බලයට පත් වීමට ඉඩ තිබෙන ආණ්ඩුව හෝ ආණ්ඩු විසින්ද අදාළ වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරනු ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතුයි.
මෙය සිදු වුනා කියා අනෙක් හැම දෙයක්ම හොඳින් සිදු වන බවට සහතිකයක් නැතත් මේ ටික සිදු නොවන තුරු වෙනත් කිසිවක් සිදු වන්නේ නැහැ. දැනට පෙනෙන පරිදි රනිල් වික්‍රමසිංහට සම්මුතියෙන් අනෙකුත් සියළු පාර්ශ්ව වල සහයෝගය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ. ඒ තත්ත්වය තුළ වෙනත් ආකාරයකින් දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඔහු උත්සාහ ගනිමින් සිටින බව පේනවා. මේ වැඩේ සාර්ථක වෙයිද නැද්ද කියන එක දේශපාලනික කරුණක්. දේශපාලනික කරුණු මේ ලිපියේ කතා නොකර සිටිමු. මට දැනට කියන්න පුළුවන්කම තියෙන්නේ කවර ආකාරයකින් හෝ දේශපාලන ස්ථාවරත්වය ඇති වන තුරු මේ මාර්ග සිතියම ඔස්සේ ගමනක් නැති බවයි.
එසේනම්, මේ මග හැර වෙනත් මගක් තිබේද? දැනට ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාඥයින් සියලු දෙනාම මෙන්ම මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද අනෙකුත් බාහිර පාර්ශ්වයන් බොහොමයක් විසින්ද විශ්වාසය තබන හා දැනට යෝජනා වී තිබෙන, වඩාත්ම ප්‍රායෝගික වැඩ පිළිවෙළ මෙයයි. මේ වැඩපිළිවෙල හා ගැලපිය හැකි වෙනත් කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් යෝජනා වී නැහැ. සමස්තයක් ලෙස ගත්තොත්, ප්‍රධාන දේශපාලන ධාරා දෙකම මේ වන විට පෙනී සිටින්නේ මේ වැඩපිළිවෙළ වෙනුවෙනුයි. ඔවුන් බෙදී සිටින්නේ වෙනත් දේශපාලනික කරුණු හා අදාළවයි.
කෙසේ වුවත්, මේ වැඩ පිළිවෙළ වුවත් සාර්ථක වන බවට අනිවාර්ය සහතිකයක් තිබෙන වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ වගේම, එහි අතුරු ප්‍රශ්නද තිබෙනවා.
පළමු ප්‍රශ්නය මේ මාර්ග සිතියම ඔස්සේ ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි ලබා ගන්න යම් කාලයක් ගත වීමයි. මෙම කාලය අඩු වශයෙන් මාස හයක් පමණවත් විය හැකියි. ඊට වඩා බොහෝ කල් යන්නත් පුළුවන්. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ අභියෝග රැසක් තිබෙනවා. ඒ නිසා, එතෙක් කල් "ජීවත් වීම" ඉතිරි වන ප්‍රශ්නයක්. මේ සඳහා විසඳුමක් සේ යෝජනා වී තිබෙන්නේ අසල්වැසි රටකින් කෙටිකාලීන ණය ලබා ගැනීමයි. එසේ කෙටිකාලීන ණය ලබා ගත හැකිද යන්න තීරණය වන්නේ අදාළ රටවල විදේශ ප්‍රතිපත්තිය මතයි.
මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමේදී තිබෙන ප්‍රධානම අභියෝගය රජයේ අයවැය සමතුලනය කර ගැනීම හා ඒ සඳහා අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා මහජන සහයෝගය ලබා ගැනීමයි. මේ ගැනත් අපි පසුව වෙනම කතා කරමු. මේ ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී රටේ ආර්ථිකය අඩු වශයෙන් 10%කින් වත් සංකෝචනය වීම නොවැලැක්විය හැකියි. හැම දෙයක්ම හොඳම විදිහට සිදු වුනත්, රටේ ජාතික ආදායම නැවත 2019දී තිබුණු තැනට එනු ඇත්තේ 2025 පමණ වන විටයි.
එතකොට ඩොලරයක මිලට හා උද්ධමනයට කුමක් වෙයිද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගත්තත් ඉදිරි වසර කිහිපය තුළ මහ බැංකුවට එම ණය ආපසු ගෙවන්න වෙනවා. එසේ ගෙවීම සඳහා වෙළඳපොළෙන් රුපියල් මිල දී ගන්න වෙනවා. මිල දී ගන්න වෙන්නේ කවර ආකාරයකින් හෝ රටට එන ඩොලර්. ඒ තත්ත්වය තුළ ඩොලරයක මිල එකවර සැලකිය යුතු ලෙස ඉහළ යාමෙන් පසුවද දිගින් දිගටම යම් පමණකින් ඉහළ යාම නොවැලැක්විය හැකි දෙයක්. කිසියම් මට්ටමක ඩොලරයක මිල රඳවා ගැනීම වැනි දෙයක් කිරීමේ හැකියාවක් නැහැ.
මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් මිල දී ගනිද්දී රුපියල් සැපයුම ඉහළ යනවා. එයට සමානුපාතිකව මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය අඩු නොකළහොත් මුදල් සැපයුම ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් කරන්න වෙනවා. රාජ්‍ය අයවැය සමතුලනය කිරීම ඉතා අසීරු නිසා කෙටිකාලයක් තුළ සල්ලි අච්චු ගැසීම මුළුමනින්ම නැවැත්වීමේ හැකියාවක් නැහැ. මේ අනුව බැලූ විට උද්ධමනය පහළ යනු ඇතත්, අර්බුදයට පෙර පැවති තනි ඉලක්කමක මට්ටමකටනම් දැන්ම එන එකක් නැහැ. මගේ අදහස තවත් දෙවසරක් පමණ උද්ධමනය 20% හෝ වැඩි මට්ටමක පවතිනු ඇති බවයි. ඒ කියන්නේ පොලී අනුපාතිකද වසර දෙක තුනක් යන තුරු විශාල ලෙස අඩු නොවනු ඇති බවයි.
හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවුනොත්? ගොඩක් වෙලාවට හැම දෙයක්ම හොඳම විදිහට සිදු නොවෙන්න පුළුවන්. කලින් විස්තර කළේ පැවතිය හැකි හොඳම තත්ත්වය (best case scenario). අනෙක් පැත්ත (worst case scenario) බැලුවොත් තියෙන්නේ පතුලක් නොපෙනෙන අගාධයක්!
#ඉකොනොමැට්ටා
Thursday, July 28, 2022
ඩොලර් බැලන්ස් කිරීමේ ප්‍රශ්නය
තව දුරටත් ඉතිරිව තිබෙන ණය ගෙවීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියෙන් කතා කළා. ඒ ප්‍රශ්නය කිසිසේත්ම පැත්තකින් තියන්න පුළුවන්කමක් නැතත්, සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, ණය ප්‍රශ්නය පැත්තකින් තියමු. එක ඩොලරයක්වත් ණය ආපසු ගෙවන්නේ නැහැ කියා හිතුවොත් ඊළඟට ඉතිරි වන ප්‍රශ්නය මොනවා හෝ විදිහකින් රටට ලැබෙන ඩොලර් ටික පිරිමහගෙන කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයයි. එය කළ හැකිද?
මෙය කළ නොහැකි තරම් අසීරු කාර්යයයක්. එහෙත්, බාහිර උදවු නොලැබුණොත් වෙන කරන්න කිසිම දෙයක් නැහැ.
අපි සංඛ්‍යාලේඛණ එක්කම ප්‍රශ්නය දිහා බලමු. මේ පසුගිය වසරේ (2021) සංඛ්‍යාලේඛණ.
අපනයන ආදායම - ඩොලර් මිලියන 12,502
ආනයන වියදම - ඩොලර් මිලියන 20,637
වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 8,136
මේ ගාණට ආනයන වියදම් සීමා වී තිබෙන්නේත් නෛසර්ගික ලෙස නෙමෙයි. වාහන ආනයනය ආදිය සම්පූර්ණයෙන්ම නවත්වා තිබියදී. නැවත වාහන ආනයනය වගේ දේවල්නම් දැන් හීන පමණක් නිසා දැන් ඉන්න තැන ඉඳලා කතාව පටන් ගනිමු.
දැන් ඉහත කී පරිදි ඩොලර් මිලියන 8,136ක වෙළඳ ශේෂ හිඟයක් තියෙනවා කියන්නේ ඔය ඩොලර් ප්‍රමාණය වෙන කවර හෝ ආකාරයකින් රටට එන්න ඕනෑ. එහෙම මොන විදිහකින් හෝ ඩොලර් රටට එනවානම් වෙළඳ ශේෂ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි.
පසුගිය වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් රටට ආවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 261ක් ආවා. නමුත්, ඒ දෙකම එකතු කළත් වෙළඳ ශේෂ හිඟය පියැවෙන්නේ නැහැනේ. ඒ වගේම, ණය ගෙවීම පැත්තකින් තිබ්බත්, ඩොලර් අවශ්‍ය වෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පමණක් නෙමෙයි. අනෙක් ඩොලර් අවශ්‍යතා සඳහා වැය වූ කොටසත් එකතු කලාට පස්සේ සමස්තයක් ලෙස පසුගිය වසරේදී ඩොලර් මිලියන 3,961ක ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා.
හරි. අපි මුල් ප්‍රශ්නයට එමු. ලංකාවට දැනට දශක ගණනාවක් තිස්සේ පවතින වෙළඳ ශේෂ හිඟය ඉතා ඉක්මණින් පියවා ගැනීමේ හැකියාවක් තියෙනවද?
මෙහි පළමු පියවර ලෙස අපි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20,637 විභේදනය කර බලමු.
පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 3,848.7 (18.6%)
අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 12,308.9 (59.6%)
ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 4,462.7 (21.6%)
එකතුව - ඩොලර් මිලියන 20,637.4 (100.0%)
මම හිතන්නේ කියන්න හදන දෙය පැහැදිලි විය යුතුයි. ආනයන භාණ්ඩ පරිභෝජනය ගැන, අධිපරිභෝජනය ගැන ලොකුවට කතා කළත් පරිභෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වැය වෙන්නේ මුළු ආනයන වියදමෙන් 18.6%ක් පමණයි. ඔය ටික මුළුමනින්ම නැවතුනත්, වෙළඳ හිඟය පියැවෙන්නේ නැහැ.
ලංකාවේ ආනයන වියදම් වලින් 80%ක් පමණම යන්නේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ ආනයනයටයි. මොනවද මේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ?
අතරමැදි හා ආයෝජන භාණ්ඩ කියා කියන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක. මේවා එන්නේ නැහැ කියා කියන්නේ බොහෝ දුරට රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ දැනට ලැබෙන අපනයන ආදායමත් නොලැබී යනවා කියන එකයි.
උදාහරණයක් විදිහට පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් වලින් ලැබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 4,423.1ක්. රටේ අපනයන ආදායමෙන් 35%ක් පමණ. හැබැයි ඔය අපනයන ආදායම ලබා ගන්න රෙදිපිළි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න වෙනවා. පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් ආනයන වියදම ඩොලර් මිලියන 2,335.1ක්. අර ආපු ඩොලර් ටිකෙන් බාගයකටත් වඩා අමුද්‍රව්‍ය වෙනුවෙන් රටෙන් එළියට ගිහින්.
ඇගලුම් කර්මාන්තය සඳහා ආනයනය කරන්න අවශ්‍ය වන්නේ රෙදිපිළි වැනි දේ පමණක් නෙමෙයිනේ. මහන මැෂින්, අනෙකුත් මැෂින් වගේ නිෂ්පාදන සාධකත් ආනයනය කරන්න වෙනවා. ඒවා තියෙන්නේ ආයෝජන භාණ්ඩ යටතේ. ඒ විතරක්ද? යොදා ගන්න විදුලි බලය හදන්න ඉන්ධන ආනයනය කළ යුතුයි. සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන්න වාහන ආනයනය කළ යුතුයි. ඒ අයට දවල් කෑමට දෙන පරිප්පු ටික ආනයනය කළ යුතුයි. හිතල බැලුවොත් ලැයිස්තුව තව ගොඩක් දිගයි.
ඕනෑම අපනයන කර්මාන්තයක් ගත්තොත් තත්ත්වය ඕකයි. පහුගිය දවස් වල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වානේ ආනයනය කළා කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වානේ ආනයනය නොකළොත් බයිසිකල් අපනයන කරන්න වෙන්නේ නැහැ. අපනයන වලින් ඩොලර් මිලියන 12,502ක් ලැබුණත් මෙය ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙනවා වගේ ශුද්ධ ඩොලර් ආදායමක් නෙමෙයි. ඔය ඩොලර් ටික උපයා ගැනීම සඳහාම සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරන්න වෙනවා.
තේ කර්මාන්තය වගේ කෘෂිකාර්මික කර්මාන්තයක් ගත්තත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. කර්මාන්තයට අවශ්‍ය පෝර වල ඉඳලා, යන්ත්‍ර සූත්‍ර දක්වා ගොඩක් දේවල් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා, රටට එන ඩොලර් ආදායම ශුද්ධ ආදායමක් නෙමෙයි. ලංකාවේ අපනයන ආදායමෙන් කොපමණ කොටසක් එම අපනයන නිපදවීම සඳහාම ආනයන වෙනුවෙන් වැය කළ යුතුද කියන එක කවුරුවත් ගණන් හදා ඇති බවක් මම දන්නේ නැහැ. මේ ප්‍රමාණය 50% පමණ හෝ ඊටත් වඩා වැඩි විය හැකියි.
අපි 50%ක් කියලා ගනිමු. ඒ කියන්නේ මාසයකට අපනයන වලින් රටට බිලියනයක් එනවා කියා කිවුවත් ශුද්ධ වශයෙන් එන්නේ මිලියන 500ක් පමණයි. අනෙකුත් හැම දෙයක්ම ආනයනය කරන්න වැය කළ හැක්කේ මේ කොටස පමණයි.
ඔය කිවුවේ අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ආනයන ගැන. ඊට අමතරව දේශීය නිෂ්පාදන සඳහාත් සැලකිය යුතු ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා නිෂ්පාදන සාධක අවශ්‍යයි. ආනයන නැත්නම් දේශීය නිෂ්පාදනයකුත් නැහැ. වී ගොවිතැන වගේ දෙයක් ගනිමු. පෝර, කෘෂි රසායන, අත්ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර ආදී කර්මාන්තයට අවශ්‍ය බොහෝ දේවල් ආනයනය කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, ආනයන වලින් 60%ක් පමණ වන අතරමැදි භාණ්ඩ සීමා කිරීමේ හැකියාවක් නැහැ. බැරි නැහැ. නමුත් එහෙම කරනවා හෝ කරන්න වෙනවා කියා කියන්නේ රටේ සමස්ත ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී රට ඇතැම් විට සියවස් බාගයකින් පමණ ආපස්සට යනවා කියන එකයි.
ආයෝජන භාණ්ඩ සීමා කිරීමත් ඔය වගේම අහිතකර වුවත් කෙටිකාලීනව ආයෝජන භාණ්ඩ සීමා කිරීමක් කළ හැකියි. පරිභෝජන භාණ්ඩත් යම් තරමකින් සීමා කළ හැකියි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය නොගෙන්වා බැහැ.
ඊළඟට කරන්න යන සංසන්දනය සඳහා මම ඉහත 2021 සංඛ්‍යාලේඛණ දොළහෙන් බෙදා මාසික සාමාන්‍ය අගයයන් ඉදිරිපත් කරන්නම්.
පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 320.7
අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,025.7
ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 371.9
එකතුව - ඩොලර් මිලියන 1,719.8
අපනයන ආදායම - ඩොලර් මිලියන 1,041.8
වෙළඳ හිඟය - ඩොලර් මිලියන 678.0
දැන් අපට මෙම ගණන් පසුගිය (2022 මැයි) මාසයේ සංඛ්‍යාලේඛණ සමඟ සැසඳිය හැකියි.
පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 177.1 (-44.8%)
අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,036.1 (1.0%)
ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 238.2 (-36.0%)
එකතුව - ඩොලර් මිලියන 1,451.5 (-15.6%)
අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047.3 (0.5%)
වෙළඳ හිඟය - ඩොලර් මිලියන 404.2 (-40.4%)
ආනයන සීමා කිරීමේ බලපෑම පේනවනේ. සමස්තයක් ලෙස මැයි මාසයේ ආනයන වියදම පසුගිය වසරේ සාමාන්‍ය මාසික වියදමට සාපේක්ෂව 15.6%කින් අඩු වී තිබෙනවා. අපනයන ආදායම ආසන්න වශයෙන් සමානයි. ඉතා සුළු (0.5%ක) වැඩි වීමක් පමණක් තිබෙනවා. අපනයන ආදායම් අඩු නොවී ආනයන වියදම් අඩු වීම නිසා වෙළද හිඟය 40.4%කින් අඩු වී තිබෙනවා. පවතින තත්ත්වය තුළ මේ හැම දෙයක්ම සාධනීයයි.
අපනයන වියදම් අඩු වෙලා තියෙන්නේ කොහොමද? පරිභෝජන භාණ්ඩ සඳහා යන වියදම් 44.8%කින් අඩු වෙලා. මේ වෙද්දී පරිභෝජන භාණ්ඩ කාණ්ඩය යටතේ ආනයනය කෙරෙන්නේ බොහෝ දුරට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වැනි දේ පමණයි. මේ ප්‍රමාණය මීට වඩා අඩු වෙනවා කියා කියන්නේ රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි. දැනටම වුවත් ඖෂධ ආදිය හිඟයිනේ.
නමුත් අතරමැදි භාණ්ඩ සඳහා යන වියදම් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම සුළු වශයෙන් (1.0%කින්) වැඩි වෙලා. මේ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙම කළා කියලා අයහපතක් මිස සිදු වන කිසිදු යහපතකුත් නැහැ. මොකද අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වෙනවා කියන්නේ අනෙක් පැත්තෙන් අපනයන ආදායම් අඩු වෙනවා කියන එක සහ දේශීය නිෂ්පාදිත අඩු වී ආනයන අවශ්‍යතා ඉහළ යනවා කියන එකයි. උදාහරණ විදිහට රෙදි ආනයනය කරන්න ඉඩ නුදුන්නොත් ඇඟලුම් අපනයනය කර ලැබෙන ඩොලර් ටික ලැබෙන්නේ නැහැ. පෝර ආනයනය නවත්තලා වී නිෂ්පාදනය පහත වැටුනොත් වෙන්නේ හාල් ආනයනය කරන්න. ඔය දෙකෙන්ම අන්තිමට වෙන්නේ වෙළඳ ශේෂය තවත් ඉහළ යන එකයි.
ආයෝජන භාණ්ඩ ආනයනය අඩු කිරීමෙන් වෙන්නෙත් ඔය ටිකම වුනත් පොඩි වෙනසකට තියෙන්නේ කෙටිකාලීනව මෙහි හානි විශාල නොවීමයි. හැබැයි ඔය වැඩේ වුනත් දිගින් දිගටම කරන්න ගියොත් වෙන්නේ අතරමැදි භාණ්ඩ ආනයන නැවතුනු විට වෙන දේම තමයි. මැයි මාසය වෙද්දී, ආයෝජන භාණ්ඩ ආනයනය 36.0%කින් අඩු වෙලා. ඒ කියන්නේ, මෙයත් අඩු කළ හැකි උපරිම සීමාවකට කිට්ටු වෙලා.
කෙටියෙන් කිවුවොත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ දැවැන්ත කඩා වැටීමක් සිදු නොවී (දැන් තත්ත්වය මාර හොඳ තත්ත්වයක් කියා හිතෙන තරමේ) ඔයිට වඩා ආනයන පාලනය කරන්න බැහැ. ආනයන වැඩි නොකර අපනයන වැඩි කරන්න හෝ දේශීය නිෂ්පාදිත ඉහළ දමන්නත් බැහැ.
මෙතැන තියෙන්නේ අපනයන කර්මාන්ත අමතක කර දේශීය නිෂ්පාදන දියුණු කරන්න වැඩි අවධානයක් යොමු කිරීමේ ඓතිහාසික වැරැද්ද. මම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වැරැද්දක් කියන එක නෙමෙයි. ඕනෑම රටක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් විය යුත්තේ එයයි. ප්‍රශ්නය කරලා තියෙන විදිහට ඒ වැඩේ සිදු නොවීමයි.
ලංකාව වගේ රටකට ආනයනික යෙදවුම් නැතිව දේශීය නිෂ්පාදිතය ඉහළ දමන්න බැහැ. කවර කර්මාන්තයක් ගත්තත් තත්ත්වය ඕකයි. රටේ පරිභෝජනය සඳහා වුවත්, ආනයන සඳහා වුවත්, ලංකාවේ හදන ඕනෑම දෙයකට සැලකිය යුතු ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ ආනයනික යෙදවුම් සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ඒ අපනයන ටික නිපදවන්නත් ආනයනික යෙදවුම් නැතුව බැහැ. ඒ නිසා, ආනයන වලින් රටට ශුද්ධ වශයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙනෙන ගණනට වඩා ගොඩක් අඩුයි.
මේ කතාව ලංකාවේ ආනයන වලට අදාළ නැහැ. ලෝකයේ අනෙක් රටවල් වලට ලංකාවේ අපනයන තිබුණත් නැතත් මේ දේවල් හදන්න පුළුවන්. ඒ නිසා, ආනයන වෙනුවෙන් රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල තිබෙන ප්‍රමාණයම තමයි. මේ කරුණ සැලකුවහම ලංකාවේ සංඛ්‍යාලේඛණ අනුව ආනයන වියදම අපනයන ආදායම් මෙන් දෙගුණයක් ලෙස පෙනුණත් ඇත්තම අනුපාතය තුන් ගුණයක් හෝ හතර ගුණයක් වෙන්න පුළුවන්.
ලංකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්නනම් කළ යුත්තේ ආනයන වලට හැකි තරම් ඉඩ දෙන එක මිසක් ආනයන පාලනය කරන එක නෙමෙයි. මම මේ කියන්නේ දැන් කළ යුතු දෙයක් ගැන නෙමෙයි. දිගුකාලීනව සිදු විය යුතු දෙය. ලංකාවේ බයිසිකල් හදලා අපනයනය කරන්නේ බයිසිකල් ආනයනය කරන්න දුන් නිසා. මිනිස්සු ඇපල්, මිදි වවන්න උත්සාහ කරන්නේ ඒවා ආනයනය කරන්න ඉඩ දීමෙන් රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඇති නිසා. ආනයන නෑ කියන්නේ අපනයත් නැහැ. දේශීය නිෂ්පාදන වැඩි වෙන්නෙත් නැහැ.
වැරැද්ද ආනයන වලට ඉඩ දීම නෙමෙයි. ඩොලරයක මිල පහළින් තියලා ආනයන ඕනෑවට වඩා ලාබ කිරීම. ඩොලරයක මිල වැඩිනම් ආනයන භාණ්ඩ වෙළඳපොළේ තිබුණත් බොහෝ දෙනෙකුට මිල දී ගන්න බැරි තරමට මිල අධිකයි. අතේ සල්ලි නැති නිසා ගොඩක් අය කඩේ තියෙන බඩු දිහා බල බල යනවා. එතකොට තමයි දේශීය නිෂ්පාදකයෝ වැඩේට බහින්න පෙළඹෙන්නේ. මේ වැඩේ මාසෙකින් වෙන එකක්නම් නැහැ.
අපි මැයි මාසයට නැවත යමු. ආනයන වියදම ඩොලර් මිලියන 1,451.5ක්, අපනයන ආදායම ඩොලර් මිලියන 1,047.3ක්. වෙළඳ හිඟය ඩොලර් මිලියන 404.2ක්. ලබන මාසයේ හෝ ඊළඟ මාසයේ ඔය වෙළඳ හිඟය නැති කරන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. දැන් මෙය එහි සීමාවට ඇවිල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඉතිරි ඩොලර් මිලියන 400 වෙන ක්‍රමයකින් හොයා ගන්නම වෙනවා.
අවුරුද්දකට විතර කලින්නම් ඔය ඩොලර් ප්‍රමාණය ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ආවා. පසුගිය මැයි මාසයේ ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 460ක්. නමුත් මේ මැයි මාසයේ ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 304ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ වැඩිවන ප්‍රවණතාවක් ලොකුවට පේන්න නැහැ. හැබැයි දැනට ලැබෙන මිලියන 300 ඒ විදිහටම ලැබුණත් තව විශාල අඩුවක් නැහැ. මේ කතා කරන්නේ ණය ප්‍රශ්නය පැත්තකින් තියලා. ඒ ප්‍රශ්නය වෙනම තියෙනවා.
සංචාරකයින් යම් ප්‍රමාණයක් ආවත් අඩුපාඩුව හොයා ගන්න අමාරු නැහැ. නමුත්, විදුලිය කැපෙද්දී, ප්‍රවාහනය අඩාල වී තියෙද්දී, ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටළු පේන්න තියෙද්දී සංචාරකයෝ ගෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඔය ඔක්කොම හොඳ විදිහට සිදු වුනත් කෙටිකාලීනව ගෙවිය යුතු ණය පිළිබඳ ප්‍රශ්නය එහෙම්මම තියෙනවා. ඒ නිසා, IMF වැඩේ කෙරෙන තුරු ඉස්සරහට යන්නනම් අසල්වැසි රටකින් කෙටිකාලීන ණය නැතිවම බැහැ.
Wednesday, July 27, 2022
ලංකාවේ විදේශ ණය සංයුතිය
ලංකාව ඩොලර් බිලියන 51ක් ණයයි කියන එක ගොඩක් තැන් වලින් ඇහෙන කතාවක්නේ. මේ ගණනේත් ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේක තමයි නිල සංඛ්‍යාලේඛණය. එතකොට මේ ණය ආපසු ගෙවන එක මේ මොහොතේ ලංකාවේ ප්‍රධානම ප්‍රශ්න වලින් එකක්. අනෙක් ප්‍රධානම ප්‍රශ්නය ණය නොගෙවා හෝ ඉදිරි මාස හත අට ජීවත් වෙන එක කියා කියන්නත් පුළුවන්.
සමහර අය අහන දෙයක් තමයි දැන් ලංකාව ණය පැහැර හැරලා නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව, ණය ගෙවීමේ ප්‍රශ්නයක් නෑ නේද කියන එක. ණය ගෙවීම අත් හිටෙවුවේ වෙන කරන්නම දෙයක් නැති තැනනේ. හැබැයි මේ විදිහට ගෙවන එක අත් හිටෙවුවේ ණය වලින් කොටසක් පමණයි. ඉතිරි කොටස ගෙවීමේ ප්‍රශ්නය තවමත් තිබෙනවා. තෙල් ගේන්න සල්ලි නැති වෙන්න ඒකත් හේතුවක්.
ඔය ඩොලර් බිලියන 51ක් කියන්නේ රටේ ණය මිසක් රජයේ ණය නෙමෙයි. ණය ගෙවීම අත් හිටෙවුවේ රජයයි. ඉතිරි කොටස ගෙවීමේ ප්‍රශ්නය දැනටත් තිබෙන ප්‍රශ්නයක්.
අපි හරියටම ගණන් හිලවු බලමු. මේ 2022 මාර්තු අවසානයේදී පැවති තත්ත්වය.
රජයේ ණය - ඩොලර් මිලියන 26,404
මහ බැංකුවේ ණය - ඩොලර් මිලියන 5,923
වාණිජ බැංකු වල ණය - ඩොලර් මිලියන 6,815
අනෙකුත් අංශ වල ණය - ඩොලර් මිලියන 11,452
එකතුව - ඩොලර් මිලියන 50,593
පේනවනේ වැඩේ. රජයේ ණය නොගෙවා හිටියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මහ බැංකුවේ, අනෙකුත් බැංකු වල, වාණිජ බැංකු වල, රාජ්‍ය සංස්ථා වල, අනෙකුත් පෞද්ගලික ආයතන වල, විදේශ ණය හා පොලිය තවමත් මාස්පතා ගෙවන්න වෙනවා. ඒ නිසා, අපනයන වලින් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන ඩොලර් ප්‍රමාණයට ආනයන සීමා කරගත්තා කියලත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
ඒ වගේම, රජය විදේශ ණය ගෙවීම අත් හිටුවා තිබුණත් එසේ අත් හිටුවා තිබෙන්නේ වාණිජ ණය හා ද්විපාර්ශ්වික ණය පමණයි. ජාත්‍යන්තර සංවිධාන වලින් ලබාගත් ණය ආපසු ගෙවන එක අත් හිටවලා නැහැ. ඒ ප්‍රමාණයත් සැලකිය යුතු කොටසක්.
දැන් ඔය අනෙකුත් අංශ වල ණය යටතේ පෞද්ගලික සමාගම් විසින් පසුව මුදල් ගෙවීමට භාණ්ඩ ආනයනය කර කර ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් (trade credits) තිබෙනවා. එතකොට ජාත්‍යන්තර සමාගම් වල ශාඛා තමන්ගේ මවු සමාගම් වලින් ගත් ණය තිබෙනවා. මේ වගේ සමාගමක් විසින් උපයන ඩොලර් ප්‍රමාණය හෝ එයින් කොටසක් එම ණය ගෙවන්න යොදවනවා මිසක් ආනයනකරුවන්ට විකුණන්නේ නැහැ. ඒ වගේම, වාණිජ බැංකු වලට ඩොලර් ආවිට ඔවුන් විසින්ද එම ඩොලර් වලින් කොටසක් තමන්ගේ ණය ගෙවන්න යොදවනවා.
මේ වෙද්දී රටට එන ඩොලර් ප්‍රමාණය හා ආනයන වෙනුවෙන් වැය කරන ඩොලර් ප්‍රමාණය අතර පරතරය ගොඩක් අඩු වෙලයි තියෙන්නේ. එසේ වුවත්, ඉන්ධන ආනයනය කිරීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා. ප්‍රශ්නයට එකම ස්ථිරසාර විසඳුම IMF යන එක වුවත්, එතෙක් මාස ගණනක් ඇද ගැනීමේ ප්‍රශ්නයත් බරපතල ප්‍රශ්නයක්. කොහෙන් හෝ තාවකාලික හදිසි ණයක් නොලැබුණොත් තත්ත්වය ගොඩින් බේරාගන්න අමාරු ඒ නිසා.
#ඉකොනොමැට්ටා
Tuesday, July 26, 2022
තෙල් කළු කඩ සහ ත්‍රිරෝද රථ වල භූමිකාව
නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන වෙළඳපොළ අර්බුදයට විසඳුමක් විදිහට කළුකඩ පාලනය කරන්න උත්සාහ දරමින් සිටින බවක් පේනවා.
ඉතාම සංක්ෂිප්තව කිවුවොත් ලංකාවේ වත්මන් සමාජ හා දේශපාලන අර්බුදය ප්‍රධාන වශයෙන්ම වෙළඳපොළ බිඳවැටීම (market failure) නිසා ඇති වී තිබෙන අර්බුදයක්. වෙළඳපොළ බිඳවැටීමට හේතු වූ ආර්ථික අර්බුදය ගැන කලින් ඕනෑ තරම් කතා කරලා තිබෙනවා. ඉන්ධන වෙළඳපොළ කියා කියන්නේ ලංකාවේ වෙළඳපොළ බිඳවැටීම පිළිබඳ සංකේතාත්මක ප්‍රකාශනයයි. මේ සංකේතාත්මක බිඳවැටීමේ පූර්වගාමී සංසිද්ධිය ගෘහස්ථ ගෑස් වෙළඳපොළ බිඳවැටීම වුවත් දැන් ඒ ගැන ඇහෙන්නේ අඩුවෙන්.
ලංකාවේ බොහොමයක් ක්ෂුද්‍ර වෙළඳපොළවල් මෙන්ම ඉන්ධන වෙළඳපොළත් රාජ්‍ය ඒකාධිකාරයක් යටතේ ක්‍රියාත්මක වන (මෙහෙම කියන්නේ IOC එක අමතක වෙලා නෙමෙයි) වෙළඳපොළක්. වෙළඳපොළක් කියා කිවුවත් මේ වචනය යොදාගැනීමම වුනත් වැරදියි. තෙල් සමාගම් ජනසතු කිරීමෙන් පසුව ලංකාවේ ඉන්ධන වෙළඳපොළක් කියා එකක් නැති තරම්. සමාජවාදී මධ්‍යගත සැලසුමක් යටතේ රජය මගින් බොරතෙල් ආනයනය හා පිරිපහදු කිරීම, පිරිපහදු ඉන්ධන සෘජුවම ආනයනය කිරීම, රජය මගින් පත් කරන නියෝජිතයින් හරහා බෙදාහැරීම හා එසේ බෙදා හරින ඉන්ධන වෙනුවෙන් "ගාස්තුවක්" අය කිරීම තමයි කාලයක් තිස්සේම ලංකාවේ සිදු වුනේ. මේ අය කරන "ගාස්තුව" ඉන්ධන මිල ලෙස හඳුන්වන එකම වුනත් වැරදියි.
දශක ගණනාවකට කලින් ලෝකය විසින් අත් හැර දමනු ලැබූ ඔය සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය තුළ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා නොවැලැක්විය හැකියි. ඒවා එම ක්‍රමයේම නෛසර්ගික ලක්ෂණ. එසේ වුවත්, සමාජවාදීන් විසින් දශක ගණනාවක් තිස්සේ ඔලු සෝදා තිබෙන ලංකාවේ සමාජය තුළින් මේ සමාජවාදී ක්‍රමයට එරෙහිව යාන්තමට ඇහෙන තරමේ හෝ හඬක් ඇහෙන්න පටන් අරන් තියෙන්නේ ඉතා මෑතක සිටයි. අරගලයට සම්බන්ධ වූ ඇතැම් කොටස් විසින් ඒ හඬ නගනවා.
එහෙත්, අරගලය තුළ වුවත්, ලොකුවටම දූෂණයට විරුද්ධව කතා කරන ඇතැම් කණ්ඩායම් පෙනී සිටින්නේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා තව දුරටත් ප්‍රවර්ධනය කරන සමාජවාදී මධ්‍යගත සැලසුමක් වෙනුවෙන්. ඒ අයගේ විසඳුම ක්‍රමය පවත්වා ගනිමින් ඔළුගෙඩි මාරු කිරීමයි. ඉතිහාසය පුරාම සමාජවාදීන් හැමදාම කිවුවේ කලින් ඔය වැඩේ හරියට සිදු නොවුනේ එය නියම සමාජවාදය නොවූ නිසා බව හා තමන් යෝජනා කරන හරි සමාජවාදය යටතේ වැඩේ ටක්කෙටම සිදුවන බවයි. නමුත් කවදාවත්ම ඔය කියන වැඩේ වුනේ නැහැ. විශාල ජීවිත හා දේපොළ හානි එක්ක ආර්ථිකයන් විනාශ මුඛයට යන එක තමයි අවසාන වශයෙන් සිදු වුනේ.
ලංකාවේ ඉන්ධන වෙළඳපොළ සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් යටතේ හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වන ආකාරය පිළිබඳ හොඳම නිදර්ශනයක්. තෙල් සංස්ථාවෙන් පටන් ගත්තොත් එතැන හැම ආණ්ඩුවකම වගේ හෙංචයියන්ගෙන් පිරිලා. සමහර වෙලාවට තෙල් සංස්ථාවෙන් පඩි ලබමින් කරන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ ප්‍රචාරක කටයුතු හෝ වෙනත් වැඩ. සේවකයෝ පමණක් නෙමෙයි වාහන ආදිය පවා මෙවැනි කටයුතු වලට යොදාගත් අවස්ථා දුලබ නැහැ. සමහර අය තෙල් සංස්ථාවෙන් වැටුප් ගත්තත් කරන දෙයක් නැහැ.
කාලයකට පෙර මා දන්නා අයෙක් දේශපාලන සම්බන්ධතා මත එහි වෘත්තීය මට්ටමේ තනතුරකට පත් කෙරුණේ එම ධුරයේම වැඩ කරන වෙනත් අයෙකු සිටියදී. ඔහුට මේසයක් පුටුවක් හොයා ගන්නත් කාලයක් ගත වුනා. අවශ්‍ය වැඩේ කරන්න වෙනත් අයෙකු ඉන්න නිසා වැටුප් ලබා ගනු මිස කරන්න දෙයක් තිබුණේ නැහැ. පහළ මට්ටමේ තනතුරු වලනම් ඔය වගේ අය ඕනෑ තරම් ඉන්න ඇති.
වැඩක් නොකළත් මේ වගේ තැන් වල වෘත්තීය සමිතිනම් හරිම ප්‍රබලයි. ඒ නිසා වැටුප්, වරප්‍රසාද ගොඩක් ඉහළයි. ආයතනයේ ලාබ හා සේවක වැටුප්, වරප්‍රසාද අතර සම්බන්ධයක් නැහැ. මේ එකක්වත් ආණ්ඩුවේ වැරදි නිසා හෝ ආයතන පාලනය කරන අයගේ වැරදි නිසා සිදුවන දේ නෙමෙයි. සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක නෛසර්ගික ලක්ෂණ. එහෙම කියන එකෙන් මම කියන්නේ ආණ්ඩු වල කිසිම වැරැද්දක් නැහැ කියන එකවත්, ආයතන පාලනය කරන අය මාර අවංක, දක්ෂ පුද්ගලයෝ කියන එකවත් නෙමෙයි. ඒ අය හොරුනම්, ඒ අයට හොරකම් කරන්න අවස්ථාව සලසන්නේ මේ ක්‍රමයයි. ඒ අය හොරු නොවුනත් පසුව හෝ හොරුන් බවට පත් කරන්නේ මේ ක්‍රමයයි. ක්‍රමය තියාගෙන ඔළුගෙඩි මාරු කිරීම විසඳුමක් නොවන්නේ ඒ නිසා.
තෙල් සංස්ථාව හැදෙන්නේ මධ්‍යගත සැලසුමක එක් කොටසක් විදිහට. ඒ විදිහට හදන ආයතනයක සේවකයෝ මූලික වශයෙන් රජයේ සේවකයෝ මිසක් එම ආයතනයේ සේවකයෝ නෙමෙයි. මධ්‍යගත සැලසුම හැදීම තුළත්, රජය මෙහෙයවීම තුළත් සිදු වෙන්නේ දේශපාලන මතවාදයක් ක්‍රියාත්මක වීම. අධ්‍යාපනය, මාධ්‍ය, කලාව ආදිය හරහා එම දේශපාලන මතවාදය ප්‍රවර්ධනය කිරීමත් මධ්‍යගත සැලසුමේම කොටසක්. මේ සන්දර්භය ඇතුළේ තෙල් සංස්ථාවේ සේවකයෙක් තෙල් සංස්ථාවේ පඩි ලබන අතර එහි වාහනයක් අරගෙන ආණ්ඩුවේ දේශපාලන ප්‍රචාරණ වැඩ සඳහා සහභාගී වීමේ වරදක් නැහැ. මොකද තෙල් සංස්ථාවේ වැඩ කළත් මේ අයගෙන් අපේක්ෂා කෙරෙන්නේ එහි සිට අර මධ්‍යගත සැලසුම ක්‍රියාත්මක කරන්න උදවු වෙන එකයි.
තෙල් සංස්ථාව මධ්‍යගත සැලසුමක එක කොටසක් මිසක් වෙනම ස්වාධීන ආයතනයක් නොවන නිසා එම ආයතනය පාඩු ලබනවද නැත්නම් ලාබ ලබනවද කියන එක හොයලා වැඩක් නැහැ. කොහොමටත් ඔය සමාජවාදී ක්‍රමයේදී ලාබය කියා කියන්නෙම පිටුදැකිය යුතු නරක දෙයක්නේ. වඩා වැදගත් වන්නේ සේවකයින්ට හොඳට සලකන එකයි. සේවක වැටුප් හා වරප්‍රසාද ඔවුන්ගේ ඵලදායීතාවය සමඟ ගැලපීම අත්‍යවශ්‍ය කරුණක් නෙමෙයි.
ලාබ අදාළ නොවන මධ්‍යගත සැලසුම ඇතුළේ වැදගත් දෙය ඉන්ධන නිපදවා බෙදා හැරීමයි. රට පුරා ඉන්ධන පිරවුම්හල් වලින් කෙරෙන්නේ මේ වැඩේ. පිරවුම්හල් කීයක් අවශ්‍යද, ඒවා තිබිය යුත්තේ මොන ස්ථාන වලද, ඒවා පාලනය කරන්නේ කවුද ආදී දේවල් සියල්ල තීරණය වන්නේ මධ්‍යගත සැලසුම තුළ මිස වෙළඳපොළ සාධක මත නෙමෙයි. ඒ කියන්නේ ආණ්ඩුව මෙහෙයවන අයයි. ඒ තියා ඉන්ධන ලබා දෙන ප්‍රමාණය හා එසේ ලබා දීමේදී අය කරන "ගාස්තුව" තීරණය කරන්නෙත් ආණ්ඩුවයි. මේ ගාස්තුව ඉන්ධන නිපදවීමේ හා බෙදා හැරීමේ පිරිවැය හා ගැලපෙනවද නැද්ද කියනත් එතරම් වැදගත් කරුණක් නෙමෙයි. වැදගත් වන්නේ ආණ්ඩුවේ අභිමතයයි. මධ්‍යගත සැලසුම් කියන ඒවා එහෙමයි.
"ලෝක වෙළඳපොළේ මිල අනුව ඉන්ධන මිල තීරණය කරන්නනම් මොකටද ආණ්ඩුවක්?"
විදුලිබල මණ්ඩලය, ගුවන් සේවය, ආරක්ෂක හමුදා ආදියත් තෙල් සංස්ථාව වගේම එකම මධ්‍යගත සැලසුමක කොටස් පමණයි. ඒ නිසා, හදන තෙල් මේ අනෙකුත් රාජ්‍ය ආයතන වලට දෙන එක තෙල් සංස්ථාවේ වගකීමක් මිසක් ව්‍යාපාරික කටයුත්තක් නෙමෙයි. ඒ වෙනුවෙන් අය කළ යුතු ගාස්තුව තීරණය වන්නේත් මධ්‍යගත සැලසුම ඇතුළේ. ලැබිය යුතු මුදල් කලට වෙලාවට නොලැබේනම් ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත් වන්නේ මධ්‍යගත සැලසුම අනුව විදුලිබල සැපයුම, ගුවන් සේවා ආදිය ක්‍රියාත්මක වීමයි.
ඔහොම කරගෙන යද්දී තෙල් ගේන්න සල්ලි නැතුව තෙල් සංස්ථාව හිර වුනොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි රාජ්‍ය බැංකු තියෙන්නේ. ඒවාත් අර මධ්‍යගත සැලසුමේම කොටස් මිසක් ලාබ ලැබීම අරමුණු කර ස්ථාපිත කර තිබෙන ආයතන නෙමෙයි. ඒ නිසා, රාජ්‍ය බැංකු වලට පුළුවන් තෙල් සංස්ථාවට, විදුලිබල මණ්ඩලයට ණය දෙන්න. ඒ ණය ආපහු ගෙවනවද කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි.
ඕක තමයි ලංකාවේ අදටත් තියෙන, සමාජවාදී රටවල තිබුණු, මධ්‍යගත සැලසුම් ආකෘතිය. මේක ඇතුළේ වෙළඳපොළ සංකල්ප වලට ඉඩක් නැහැ. මිල, ප්‍රමාණ, ලාබ පාඩු ආදී සියල්ල තීරණය කරන්නේ සැලසුම ක්‍රියාත්මක කරන පිරිස විසින්. හැබැයි මේ අය සාමාන්‍ය මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු තමන්ගේ වාසිය දිහා මුලින්ම බලන එක සාමාන්‍ය දෙයක්. වෙළඳපොළ ක්‍රමයක් යටතේ බැරි වුනත්, මධ්‍යගත සැලසුම් ආකෘතියක් ඇතුළේ ඒ අයට පෞද්ගලික වාසි ලැබිය හැකි ක්‍රම ඕනෑ තරම් තියෙනවා.
-තමන්ට අවශ්‍ය අයව තෙල් සංස්ථාව වගේ ආයතන වල සේවයට දමන්න පුළුවන්. ඒ අය තමන්ගේ හිතවතුන් නෑදෑයන් වෙන්න පුළුවන්. නැත්නම් ගාණක් අත යටින් අරගෙන වැඩේ කරන්නත් පුළුවන්.
-තමන්ට අවශ්‍ය අයට උසස්වීම් දීම හරහා වැටුප්, වරප්‍රසාද වැඩි කරන්න පුළුවන්. විදේශ චාරිකා වගේ වෙනත් වරප්‍රසාද දෙන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් මුදල් අල්ලස්, ලිංගික අල්ලස් ආදියේ සිට ආයතනය තුළ තමන් වෙනුවෙන් වැඩ කිරීම දක්වා දේවල් ලබා ගන්න පුළුවන්.
-තමන්ට අවශ්‍ය පරිදි සේවක කණ්ඩායමකගේම වැටුප් වැඩි කරන්න පුළුවන්.
-ඉන්ධන බෙදා හැරීමේ අවස්ථාව තමන්ට අවශ්‍ය අයට ලබා දෙන්න පුළුවන්. වෙනත් අයට නිදහසේ ව්‍යාපාරයට පිවිසීමේ අවස්ථාවක් නැහැ.
-තමන්ට අවශ්‍ය අවස්ථාවේ අවශ්‍ය පමණට මිල අඩු වැඩි කරන්න පුළුවන්. එය පාරදෘශ්‍ය ලෙස සිදු විය යුතු නැහැ.
-මිල දී ගැනීම් ආදිය කිරීමේදී තමන්ට අභිමත අයගෙන් ගන්න පුළුවන්.
ඔය හැම බලයක්ම ක්‍රමය විසින්ම ලබා දෙද්දී හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා ප්‍රවර්ධනය වෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඒවා වලක්වන්න ක්‍රමවේද හදන්න පුළුවන් තමයි. හැබැයි ඒ ක්‍රමවේද හරියට පිළිපදිනවද කියලා බලන්න තවත් පිරිසක් අවශ්‍යයි. අවුල ඒ පිරිසටත් හොරකම්, වංචා, දූෂණ කරන්න පුළුවන් වීමයි. ඒ නිසා, ඒ අය ගැන බලන්න තවත් අය අවශ්‍යයි. ඕකේ කෙළවරක් නැහැ. මේ සියල්ල නිදහස් වෙළඳපොළට බාධා කරමින් සමාජවාදී මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයි. ධනවාදයක් නැති කමේ ප්‍රශ්නය.
කොහොම වුනත් ධනවාදී නිදහස් වෙළඳපොළක් කියා කියන්නේ ස්වභාවික තත්ත්වයක්. මධ්‍යගත සැලසුමකට කවදාවත් කළ නොහැකි දේ නිදහස් වෙළඳපොළ අදිසි හස්තයට කළ හැකියි. එහි හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට ඉඩක් නැහැ. එවැනි අකාර්යක්ෂමතා සියල්ල තරඟය තුළ නැති වී යනවා. වෙළඳපොළ තරඟය ජයගත හැක්කේ වඩාත් කාර්යක්ෂම තරඟකරුවන්ට පමණයි.
කොයි තරම් සමාජවාදී රටක වුවත්, කොයි තරම් දැඩි ලෙස ක්‍රියාත්මක කරන මධ්‍යගත සැලසුමක් යටතේ වුවත්, කවර ආකාරයකින් හෝ නිදහස් වෙළඳපොළක් බිහිවීම වළක්වන්න බැහැ. මොකද නිදහස් වෙළඳපොළක් හරහා සිදු වන්නේ මධ්‍යගත සැලසුමකට විසඳිය නොහැකි මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න ස්වභාවික ලෙස විසඳන යාන්ත්‍රණයන් බිහිවීමක්. පැරණි සෝවියට් දේශයේ එකල ජීවත් වූ අය එහි එකල එහි වූ කළුකඩ පිළිබඳ සාක්ෂි දරනවා. මේවා බලය යොදා පාලනය කරන්න යාම එතරම් සාර්ථක නැහැ. යම් හෙයකින් සමාජවාදී ආකෘතිය ඇතුළේම සිටිමින් කළුකඩ නැති කරන්න අවශ්‍යනම්, පළමුව කළ යුත්තේ කළුකඩ බිහිවීම මධ්‍යගත සැලසුමේ අඩුපාඩුවක් පිළිබිඹු කරන බව තේරුම් ගෙන එය සොයා පිළියම් යොදන එකයි.
ඉන්ධන විකුණන ද්වීතියික වෙළඳපොළවල් ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. නාගරික නොවන ගොඩක් පැති වල බෝතල් වල දමා පැට්‍රෝල් විකුණන කඩයක් අනිවාර්යයෙන්ම තියෙනවා. පැට්‍රෝල් බූලිය හා බෝතල් තියෙන්නේ කඩේ පිටුපස පැත්තේ හෝ මුදලාලිගේ ගෙදර වුවත්, මේ විදිහට පැට්‍රෝල් විකුණන එක ප්‍රසිද්ධ රහසක්. ළඟ පාතක පිරවුම්හලක් නැති ප්‍රදේශයකදී හදිසියේ මෝටර් සයිකලයේ තෙල් ඉවර වී නැවතුනොත් කාගෙන් හරි අහපු ගමන් බඩු තියෙන තැන කියනවා. බෝතලයක් අරගෙන ටැංකියට දාගත්තහම ළඟම තියෙන පිරවුම්හල දක්වා ඇද ගන්න පුළුවන්. නැත්නම් වෙන්නේ වාහනේ දාලා, බූලියක් හොයාගෙන පාරෙ යන වාහනේකට අත දාලා, පිරවුම්හලක් තියෙන තැනකට යන්නයි.
ඔය වැඩේ නීති විරෝධී ඇති. හැබැයි පොලීසිය ඔය වගේ දේවල් නවත්තන්න යන්නේ නැහැ. හදිසියේ රථවාහන පොලීසියේ රාළහාමිගේ මෝටර් සයිකලයේ තෙල් නැතුව නැවතුනත් එන්න වෙන්නේ ඔය කඩේට. මේ ද්වීතියික වෙළඳපොළ හරහා සිදු වුනේ රජයේ මධ්‍යගත සැලසුමට විසඳිය නොහැකිව තිබුණු ප්‍රශ්නයක් විසඳන එකයි.
දැන් තත්ත්වය මීට වඩා වෙනස් තමයි. පවතින තත්ත්වයත් එක්ක ත්‍රිරෝද රථ රියැදුරන් බොහෝ දෙනෙකුගේ වෛරයට පාත්‍ර වී සිටිනවා. කියන විදිහට මේ දවස්වල ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය තෙල් විකුණන එක. පෝලිමේ ඉස්සරහට ගිහින් තෙල් ගහගෙන පෝලිමේ පිටුපසට එකතු වෙනවා කියලයි කතාවට කියන්නේ. නොම්මර තහඩුවේ අවසන් අංකය අනුව තෙල් බෙදීම, QR කෝඩ් ක්‍රමය ආදිය එක්ක වෙනසක් වෙලා වෙන්න පුළුවන්. ඒක ලිපියෙන් පෙන්වන්න යන කරුණට අදාළ නැහැ.
ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක තියෙන වෛරය අලුත් දෙයක් නෙමෙයි. ලංකාවේ උගත් මධ්‍යම පාන්තිකයින්ගෙන් කොටසකට ත්‍රිරෝද රථ රියැදුරන් එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවා. මේ ගොඩේ ගොඩක් ඉන්නේ වාමාංශික මතධාරීන් වුවත්, ඒක එහෙමමත් නැහැ.
ලංකාවේ ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය කියා කියන්නේ තරඟකාරී නිදහස් වෙළඳපොළකට බොහෝ කිට්ටු වෙළඳපොළක්. එමගින් ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය කාර්යක්ෂම කිරීම සඳහා සැපයෙන දායකත්වය ඉතාම විශාලයි. මේ කර්මාන්තයේ නියැලෙන්න ලොකු උගත්කමක් අවශ්‍ය නැහැ. නමුත්, රජයේ රැකියා කරන අතර අතිරේක ආදායමක් ලබා ගන්න හයර් දුවන අයත් ඉන්නවා. කර්මාන්තයට ඇතුළු වෙන්න විශාල බාධාවක් නැහැ. කර්මාන්තයෙන් පිටවෙන්නත් කිසිම බාධාවක් නැහැ. මේ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැහැ. මිල නියාමනයක් නැහැ. මේවා තමයි තරඟකාරී නිදහස් වෙළඳපොළක ලක්ෂණ. තෙල් කර්මාන්තයේ අනෙක් අන්තය.
ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය නොතිබෙන්නට ඔය තරුණයින් ගොඩක් අය කරන්නේ බෝක්කු උඩ රස්තියාදු ගහන එක. ඔවුන්ට රැකියා දිය හැකි තරමේ ව්‍යවසායකයින් පිරිසක් ලංකාවේ නැහැ. එවැනි පිරිසකට හැදෙන්න ඉඩකුත් ලංකාවේ නැහැ. රජය ඒ සඳහා වන ඉඩ විවිධ ආකාර වලින් අහුරා දමා තිබෙනවා. ත්‍රිරෝද රථ සේවා සැපයීම් කර්මාන්තය මේ තත්ත්වය තුළ ස්වභාවිකව පැන නැගුනු විකල්පයක්. හැබැයි මේ කර්මාන්තය රැකියා විරහිත තරුණයින් තමන්ගේ දේශපාලන අභිලාෂ වෙනුවෙන් මෙහෙයවන්න බලාගෙන ඉන්න අයටනම් ප්‍රශ්නයක්.
කොහොම වුනත් නිදහස් වෙළඳපොළ එක්ක ඇරියස් තියෙන්නේ ලංකාවේ වාමාංශික පක්ෂ වලට පමණක් නෙමෙයි. ලෝකයට මොනවා කිවුවත්, ප්‍රධාන දේශපාලන පක්ෂ වල ඉන්න ගොඩක් අයත් මොකක් හෝ හේතුවක් හදාගෙන නිදහස් වෙළඳපොළ පාලනය කරන්න යටිහිතින් හරි කැමතියි. මේක ලංකාවට සුවිශේෂී තත්ත්වයකුත් නෙමෙයි. ඇමරිකාව වගේ රටක් ගත්තත් එහෙමයි.
නිදහස් වෙළඳපොළ ප්‍රවර්ධනය වෙනවා කියන්නේ දේශපාලනඥයින් බලරහිත වෙනවා කියන එකයි. වෙළඳපොළ පාලනය කරන තරමට රජය බලවත් වෙනවා. ආණ්ඩුව බලවත් වෙනවා. රාජ්‍ය නිලධාරීන් බලවත් වෙනවා. හොරකම්, වංචා, දූෂණ, නාස්ති, අකාර්යක්ෂමතා වලට අවස්ථා වැඩි වෙනවා. ඒ නිසා, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පීඩනයක් එල්ල විය යුත්තේ රජයට සෘජුව සම්බන්ධ නැති මහජනතාව වෙතිනුයි. ලංකාවේනම් ඒ අයට දැනටත් දේශපාලන බලයක් නැහැ. අරගලය ඇතුළේ පෞද්ගලික අංශයේ සේවය කරන, නිදහස් වෙළඳපොළ වෙනුවෙන් පෙනී සිටින, යම් පිරිසක් මුල් වරට දැකිය හැකි වුනා. නමුත්, ඒ පිරිස මේ වන විට අරගලය තුළ ප්‍රධාන කණ්ඩායම නෙමෙයි.
පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදීත් ත්‍රිරෝද රථහිමියන්ට එරෙහි ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තිකයන්ගේ ඇරියස් එක උඩට මතු වුනා. එහිදී මතු කෙරුණු තර්කය වූයේ ත්‍රිරෝද හිමියන් කාලය කනවා කියන එකයි. අදහස මතු කළේ වාමාංශිකයින් විසින්ම පමණක් නෙමෙයි.
ඕනෑම සේවා කර්මාන්තයක කාලය නාස්ති වීම අවම කර ගැනීම පිළිබඳ ගැටළුවක් තිබෙනවා. එයට හේතුව භාණ්ඩ නිෂ්පාදනයක් මෙන් සේවා නිෂ්පාදන ගබඩා කර තබාගත නොහැකි වීමයි. සේවා නිෂ්පාදනයකදී නිෂ්පාදනය හා පරිභෝජනය සිදුවන්නේ එකවිටයි. ඒ නිසා, එක්කෝ නිෂ්පාදනය සිදුවන තුරු පාරිභෝගිකයින්ට බලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් පාරිභෝගිකයෙකු එන තුරු නිෂ්පාදකයාට බලා ඉන්න වෙනවා. බොහෝ විට මේ දෙකම යම් පමණකින් සිදු වෙනවා.
සුපිරි වෙළඳසැලක මුදල් ගෙවීමේ කවුන්ටරයක් උදාහරණයකට ගන්න පුළුවන්. ඇතැම් විට පාරිභෝගිකයින්ට මුදල් ගෙවීම සඳහා අවස්ථාව ලැබෙන තුරු පෝලිමේ ඉන්න වෙනවා. තවත් අවස්ථා වල පාරිභෝගිකයෙකු එන තුරු මුදල් අයකැමිට බලා ඉන්න වෙනවා. මෙය තීරණය වන්නේ පැමිණෙන පාරිභෝගිකයින් ප්‍රමාණය හා කවුන්ටර ගණන මතයි. අනෙක් පැත්තෙන්, කවුන්ටරයක් නඩත්තු කිරීමේ පිරිවැය සහ පෝලිම දිග වැඩි වීමෙන් පාරිභෝගිකයින් අහිමි වී සිදුවන අලාභය අවම කෙරෙන ප්‍රශස්ත කවුන්ටර ගණන මතයි.
වෙනත් විදිහකින් කිවුවොත් මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේ හා සේවා සපයන්නාගේ කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය මතයි. සුපිරි වෙළඳසැල් උදාහරණයේදී සේවා සපයන්නාගේ මිනිත්තුවක ආවස්ථික පිරිවැය සහ පාරිභෝගිකයාගේ මිනිත්තුවක ආවස්ථික පිරිවැය අතර විශාල වෙනසක් නැතත් වෙනත් ඇතැම් වෙළඳපොළවල මේ දෙක අතර විශාල පරතරයක් තිබෙනවා.
හොඳම උදාහරණය වෛද්‍ය චැනල් සේවා වෙළඳපොළයි. මෙහිදී සිදුවන රස්තියාදුව මා විස්තර කළ යුතු නැහැ. මේ වෙළදපොළ තුළ පාරිභෝගිකයා කොපමණ රස්තියාදු වුනත්, සේවා සපයන්නා රස්තියාදු වෙන්නේ නැහැ. එයට හේතුව පාරිභෝගිකයාගේ කාලයේ වටිනාකමට වඩා වෛද්‍යවරයාගේ කාලයේ වටිනාකම බොහෝ වැඩි වීමයි (එම වෙනසට හේතුව සෞඛ්‍ය සේවා හා වෛද්‍ය අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයකට යටත්ව තිබීම නිසා සිදුවන විකෘතියයි). ඒ නිසා වෛද්‍යවරයාගේ කාලය ඉතිරි කර ගැනීම පිණිස පාරිභෝගිකයින් රස්තියාදු කෙරෙනවා. මෙය පහළ ලින්ක් දමා තිබෙන පෙර ලිපි වල මීට වඩා විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා.
ත්‍රිරෝද රථ වෙළඳපොළ මෙහි අනෙක් අන්තයයි. එහිදී සිදුවන්නේ පාරිභෝගිකයින්ගේ කාලය ඉතිරි කිරීම වෙනුවෙන් සේවා සපයන්නා රස්තියාදු වීමයි. ත්‍රිරෝද රථ රියැදුරකු විසින් රථගාලක "කාලය කන" සෑම මිනිත්තුවක් නිසාම ත්‍රිරෝද රථ පාරිභෝගිකයින්ගේ කාලය යම් පමණෙකින් ඉතිරි වෙනවා. වෙනත් විදිහකින් කිවුවොත්, ලංකාවේ ත්‍රිරෝද රථ හිමියන් විසින් කරන්නේ ප්‍රවාහන සේවා සපයන අතරම මුදල් අය කර තමන්ගේ කාලය තම පාරිභෝගිකයාගේ කාලය හා හුවමාරු කිරීමයි. එහෙමත් නැත්නම් ප්‍රවාහන සේවාව සමඟ පැකේජ කර කාලය විකිණීමයි.
දැන් ඔවුන් කරන්නේත් හරියටම මේ දෙයයි. පෝලිමේ මුලින් අයින් වී අගට එකතු වන ත්‍රිරෝද රථ රියැදුරන් විසින් විකුණන්නේ ඉන්ධන නෙමෙයි. ඉන්ධන යම් ප්‍රමාණයක්ද සමඟ පැකේජ කර ඔවුන් විකුණන්නේ කාලයයි.
වත්මන් සන්දර්භය තුළ පැට්‍රෝල් ලීටරයක් වෙනුවෙන් රුපියල් 450ක් ගෙවන්නට වනවා කියන එකෙන් අදහස් වන්නේ එහි සැබෑ මිල එපමණක් වන බව නොවෙයි. පැට්‍රෝල් ලීටරයක් මිල දී ගැනීම සඳහා පෝලිමේ සිටිය යුතු කාලයේ ආවස්ථික පිරිවැයද මේ මිලට එකතු විය යුතුයි. එම මිල පුද්ගලයා අනුව වෙනස් වන දෙයක්. ඇතැම් අයට මේ මිල රුපියල් 1500ක්, රුපියල් 2000ක් හෝ ඊටත් වඩා වැඩි ගණනක් විය හැකියි. එවැනි අයෙකු පෝලිමේ නොසිට මිල දී ගත හැකිනම්, වැඩි මිලක් ගෙවා ඉන්ධන මිල දී ගැනීමට පැකිලෙන්නේ නැහැ,
ත්‍රිරෝද රථ රියැදුරන් වැනි, තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු අය මේ තත්ත්වය වෙළඳපොළ අවස්ථාවක් කරගෙන තිබෙනවා. එය ඉතා නිවැරදි වනවාක් මෙන්ම පවතින ප්‍රශ්නයට වෙළඳපොළ විසඳුමක්. මෙහිදී වක්‍ර ලෙස සිදු වන්නේ තෙල් පෝලිමේ කාලය නාස්ති කිරීම වඩා මිල අධික අයෙකු විසින් අඩු මිලට ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් කාලය මිල දී ගැනීමයි. ඇතැම් විට කළුකඩ තවදුරටත් ව්‍යාප්ත වන්නට ඉඩ සැලසීම මේ ප්‍රශ්නයට විසඳුමක් විය හැකියි. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ඇත්නම් ඉන්ධන ගබඩා කිරීමට සුදුසු ආරක්‍ෂිත ගැලුම් හඳුන්වා දිය හැකියි. ඒ සමඟම නිල වශයෙන් හෝ නොනිල ලෙස මිල පාලනය ඉවත් කළහොත් ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා.
මුලින්ම විශාල ප්‍රශ්නයක් වූ ගෑස් සිලින්ඩර වෙළඳපොළ හා සම්බන්ධව මේ වන විට යම් සමතුලිත තත්ත්වයක් දැකිය හැකියි. අවශ්‍ය අයෙකුට රුපියල් 8000ක් වැනි මිලක් ගෙවා "කළු කඩෙන්" ගෑස් සිලින්ඩර මිල දී ගැනීමේ අවස්ථාව තිබෙනවා. ගෑස් අත්‍යාවශ්‍ය, එහෙත් කාලයේ ආවස්ථික පිරිවැය වැඩි, අය පෝලිමේ නොසිට ඒ මිල ගෙවා කළු කඩෙන් ගෑස් මිල දී ගන්නවා. අනෙක් අය දර, දහයියා වැනි වෙනත් විකල්ප වලට මාරු වී සිටිනවා.
පැට්‍රෝල් මිල විශාල ලෙස වැඩි කළොත් සහ කළු කඩ වලට බාධා නොකළහොත් පැට්‍රෝල් කොයි තරම් හිඟ වුවත් පෝලිම් නැති වී වෙළඳපොළ සමතුලිතාවයක් ඇති වෙයි. ඉන්ධන අත්‍යාවශ්‍ය අය මිල කොපමණ වුවත් ඉන්ධන ලබා ගනියි. අනෙක් අය වැඩේ අතහැර දමයි. මේ මිල වැඩි කිරීම නිල වශයෙන්ම කළහොත් ඒ හරහා රජයට ආදායම් වැඩි කර ගන්නත් පුළුවන්. අවශ්‍යනම් එසේ එකතු කර ගන්නා අමතර මුදල උද්ධමනයෙන් බැටකන සමාජයේ පහළ ස්ථර වල සුබසාධනය වෙනුවෙන් යොදවන්න වුවත් පුළුවන්.
අදාළ පැරණි ලිපි:
තෙසක්රියක ගමනක්...
https://econometta.blogspot.com/2016/05/blog-post_48.html#comment-form
ත්‍රිරෝද රථ රියදුරන් කාලය කනවාද?
https://econometta.blogspot.com/2016/06/blog-post_76.html
ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව
https://econometta.blogspot.com/2016/06/blog-post_83.html
සේවා ආර්ථිකය ගැන තවදුරටත්...
https://econometta.blogspot.com/2016/06/blog-post_42.html
ත්‍රිරෝද රථ සාහිත්‍යය දඩ කොළ වලින් වැසී යයිද?
https://econometta.blogspot.com/2017/01/blog-post_4.html
මිනීමරු සීසර්ලා බිහි වෙන්නේ ඇයි?
https://econometta.blogspot.com/2020/06/blog-post_56.html
ලංකාවට වාහන වැඩිද?
https://econometta.blogspot.com/2018/06/blog-post_50.html
#ඉකොනොමැට්ටා
Sunday, July 24, 2022
භාණ්ඩාගාර බිල්පත් හා සංචිත මුදල්
මෙය පසුගිය ලිපියට අටුවාවක් සේ ලියන සටහනක්. බොහෝ දෙනෙකු විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ ගිය විට එය සල්ලි අච්චු ගැසීමක් සේ වැරදියට අර්ථකථනය කරනවා. ඉතා පැහැදිලිවම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඉහළ යාම හා සල්ලි අච්චු ගැසීම එකක් නොව දෙකක්. එහෙත්, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ යම් අදහසක් ගත හැකි නිසා එය නිරීක්ෂණය කිරීම නරක දෙයක් නෙමෙයි. එය චිත්‍රයේ එක කොටසක් පමණක් බව දැනගෙන මෙය කළ යුතුයි.
මහ බැංකුව විසින් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යාලේඛණ දෙකක් ප්‍රසිද්ධ කරනවා. එකක් එම බිල්පත් වල මුහුණත අගයන්හි (face value) එකතුවයි. අනෙක එම බිල්පත් වල ගිණුම් වල සටහන්ව ඇති වටිනාකමයි (book value). මේ ගිණුම් වල සටහන්ව ඇති වටිනාකම යනු අදාළ දිනයේදී එම බිල්පත් වල වෙළඳපොළ වටිනාකමයි (mark-to-market value).
පසුගිය මාර්තු හා මැයි මාස අවසානයේදී මෙම අගයයන් පහත පරිදියි.
මුහුණත අගය අනුව බිල්පත් ප්‍රමාණය
2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,727.8
2022 මැයි 31- රුපියල් බිලියන 1,971.5
වැඩි වීම - රුපියල් බිලියන 243.7
ගිණුම් අගය අනුව බිල්පත් ප්‍රමාණය
2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,657.3
2022 මැයි 31- රුපියල් බිලියන 1,853.8
වැඩි වීම - රුපියල් බිලියන 196.5
බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය වෙනස් වීම සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය නොවන බව ඉතාම පැහැදිලියි.
අපි හිතමු මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් කිසියම් දිනක රුපියල් මිලියන 100ක මුහුණත අගය ඇති භාණ්ඩාගාර බිල්පතක් මිල දී ගත්තා කියා. එහෙත් එයින් අදහස් වන්නේ ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක් මුදල් ගෙවූ බව නෙමෙයි. මිලියන 100 කියා කියන්නේ බිල්පත කල් පිරුණු විට ලැබෙන මුදලයි. අපි හිතමු එසේ ගෙවූ මුදල රුපියල් මිලියන 93ක් බවත් කල් පිරෙන කාලය දින 91 බවත්. බිල්පත සඳහා ලැබෙන පොලිය, එහෙමත් නැත්නම් ඵලදා අනුපාතය, තීරණය වන්නේ මෙසේ මිල දී ගත් මිල අනුවයි. එය අපට මෙලෙස ගණන් හැදිය හැකියි.
ඵලදා අනුපාතය = (100 - 93)*(365/91)/93 = 30.19%
ඒ කියන්නේ මහ බැංකුව මේ බිල්පත මිල දී ගනිද්දී මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් මිලියන 100කින් ඉහළ යන නමුත් ඒ වෙනුවෙන් ගෙවන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ කියන්නේ, "සල්ලි අච්චු ගැසීමක්" වෙන්නේ රුපියල් මිලියන 93ක් පමණයි. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය දෙස බලා සල්ලි අච්චු ගැසීම පිළිබඳ දළ අදහසක් ගත හැකි වුවත් පූර්ණ අදහසක් ගන්න බැහැ.
ඒ වගේම මේ බිල්පත කල් පිරුණු විට සිදුවන දෙයත් බලමු. එවිට මහ බැංකුවට රුපියල් මිලියන 100ක් ලැබෙන නිසා සංචිත මුදල් සැපයුම එපමණකින් පහළ යනවා. ඒ වගේම, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගයද රුපියල් 100කින් පහළ යනවා. එසේ වුවත්, කල් පිරෙන්න කලින් මහ බැංකුව මේ බිල්පත විකිණුවොත් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ මුහුණත අගය රුපියල් 100කින් පහළ යන නමුත් එපමණකින් සංචිත මුදල් ප්‍රමාණය පහළ යන්නේ නැහැ.
එහෙමනම් මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීමෙන් සල්ලි අච්චු ගැසීම හරියටම නිරූපණය වෙනවද?
දැන් මේ බිල්පත මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 93ක් ගෙවන්න වෙනවනේ. ඒ එක්කම මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගයද එපමණකින් ඉහළ යනවා. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිරූපණය වෙනවා. නමුත් වැඩේ අවුල් වෙන්නේ ඊට පස්සේ.
මිල දී ගත් දවසේ ඉඳන් මේ බිල්පතේ වෙළඳපොළ අගය දිනෙන් දින වෙනස් වෙනවා. ඒ කියන්නේ ගිණුම් අගයත් වෙනස් වෙනවා. කල් පිරෙන දිනය වන විට එම අගය රුපියල් මිලියන 100ක් වෙනවා. හැබැයි ඒ අතර කාලයේදී සංචිත මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ ගිණුම් අගය වෙනස් වීම දිහා බලලත් සල්ලි අච්චු ගැසූ ප්‍රමාණය හරියටම නිගමනය කරන්න බැහැ.
මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම රජයට ණය දෙන එක ක්‍රමයක් පමණයි. මහ බැංකුව රජයට කෙළින්මත් ණය හා අත්තිකාරම් දෙනවා. ඒ වගේම සමහර වෙලාවට රජයේ මුදල් මහ බැංකුවේ තැන්පත් කරනවා. මේ හේතු නිසා, සංචිත මුදල් කෙරෙහි බලපාන්නේ රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණයේ වෙනස් වීම. ඒක ඔය කලින් කී දෙකෙන් එකක්වත් නෙමෙයි. සාමාන්‍යයෙන් රජය මහ බැංකුවෙන් අරන් තිබෙන ණය ප්‍රමාණය ඔය දෙකටම වඩා වැඩියි. එම ණය ප්‍රමාණයේ වෙනස්වීම අඩු හෝ වැඩි විය හැකියි.
රජයට මහ බැංකුව විසින් දුන් ශුද්ධ ණය ප්‍රමාණය
2022 මාර්තු 31 - රුපියල් බිලියන 2,682.5
2022 මැයි 31- රුපියල් බිලියන 2,904.8
වැඩි වීම - රුපියල් බිලියන 222.3
හැබැයි සල්ලි අච්චු ගැසීම හෙවත් සංචිත මුදල් වැඩි වීම කියා කියන්නේ ඔය විදිහට සල්ලි අච්චු ගහලා මොන ක්‍රමයෙන් හෝ රජයට දෙන මුළු රුපියල් ප්‍රමාණයත් නෙමෙයි. මහ බැංකුවෙන් එළියට රුපියල් යන හා ඒ රුපියල් ආපහු මහ බැංකුවට එන තවත් ක්‍රම ගණනාවක් තිබෙනවා. ප්‍රචලිතම ක්‍රමය ඩොලර් විකිණීම හා මිල දී ගැනීම. ඩොලර් මිල දී ගනිද්දී රුපියල් එළියට යනවා. විකුණද්දී නැවත ඒ රුපියල් මහ බැංකුවට එනවා.
2022 අප්‍රේල්
විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 244.90
මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 140.95
2022 මැයි
විකිණු ඩොලර් ප්‍රමාණය - මිලියන 222.73
මිල දී ගත් ඩොලර් ප්‍රමාණය - මිලියන 155.10
මාස දෙකේදීම මිල දී ගත් ප්‍රමාණයට වඩා වැඩියෙන් ඩොලර් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ රජයට ණය විදිහට දුන් රුපියල් බිලියන 222.3න් යම් ප්‍රමාණයක් ඩොලර් විකිණීම හරහා නැවත මහ බැංකුවට ඇවිත් තිබෙනවා. මේ හේතුව සහ වෙනත් හේතු නිසා, ඔය මාස දෙක තුළ සංචිත මුදල් වැඩි වී තියෙන්නේ, ඒ කියන්නේ සල්ලි අච්චු ගහලා තියෙන්නේ, රජයට ණය දුන් ප්‍රමාණයට වඩා අඩුවෙන්.
සංචිත මුදල් ප්‍රමාණය
2022 මාර්තු 31 - රුපියල් බිලියන 1,386.7
2022 මැයි 31- රුපියල් බිලියන 1,414.9
වැඩි වීම - රුපියල් බිලියන 28.3
Saturday, July 23, 2022
අලුත් අධිපතිගේ සල්ලි අච්චු ගැහිල්ල
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූනි මාසයේදී ලංකාවේ උද්ධමනය 58.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර උද්ධමනය 75.8%ක්. නැවතත් පැහැදිලිව කිව යුත්තේ මෙය අධි-උද්ධමන (hyper-inflation) තත්ත්වයක් නොවන බවයි. අධි-උද්ධමන තත්ත්වයක් සේ සැලකෙන්නේ මාසයක් තුළ මිල දර්ශක අගය 50% ඉක්මවා ඉහළ යාමයි. මෙහි 58.9% ලෙස පෙන්වන්නේ 2021 ජූනි සිට 2022 ජූනි දක්වා වසරක කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමයි.
ඒ වගේම, මේ වන තුරුත් මා අනාගත අධි-උද්ධමන අවදානමක් දකින්නේ නැහැ. නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාරගත් තැන් සිට අධි-උද්ධමන තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම පිණිස මහ බැංකුව පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනෙමින් තිබෙනවා. ඒ වගේම, මහින්ද සිරිවර්ධන භාණ්ඩාගාර ලේකම් වීමෙන් පසුව ඒ සඳහා භාණ්ඩාගාරය පැත්තෙන් ලැබිය යුතු සහයෝගයද ලැබී ඇති බව පෙනෙනවා. මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළින් සිදු විය යුතු දේ කර ගැනීම මේ වන විට රට හමුවේ තිබෙන දේශපාලන අභියෝගයයි.
අධි-උද්ධමන තත්ත්වයක් නොවෙතත්, පෙර කිසි කලෙක නොපැවති, ඉතා ඉහළ මට්ටමක උද්ධමනයක් ලංකාවේ මේ වන විට පවතිනවා. පසුගිය මාස කිහිපය මුළුල්ලේම ජාතික පාරිභෝගික මිල දර්ශක අගය 10%කට ආසන්න මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.
අප්‍රේල්- 10.2%
මැයි- 9.7%
ජුනි- 10.9%
මිල මට්ටම් වේගයෙන් වැඩි වුනත් එසේ වැඩි වන වේගය ස්ථාවරව තිබීම සාපේක්ෂව හොඳ ලකුණක්. එයින් පෙන්වන්නේ අධි-උද්ධමන තත්ත්වයක් කරා යාමක් දැනට නොපෙනෙන බවයි. එහෙත්, දර්ශක අගය මසකට 10% බැගින් ඉහළ යනවා කියන එකෙන් අදහස් වන්නේ තවත් මාස ගණනක් යන තුරු උද්ධමනය ඉහළ හා හැකි බවයි.
උද්ධමනය 70% පමණ මට්ටම දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපතිවරයා විසින්ම කියා තිබුණා. මහ බැංකුව එසේ කියනවානම් එයින් අදහස් වන්නේ 70%ක අනාගත උද්ධමනයක් දැනටමත් හැදී ඇති බවයි. මා හිතන පරිදි, ඉදිරි මාස තුන තුළ උද්ධමනය ඉලක්කම් තුනක අගයකට වුවද ආසන්න විය හැකියි. කෙසේ වුවද, දැනට සල්ලි අච්චු ගැසීම නැවතී ඇති නිසා උද්ධමනය යම් උපරිම මට්ටමක් කරා යාමෙන් පසුව පහළ යා යුතුයි.
නන්දලාල් වීරසිංහ අධිපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම දැඩි ලෙස සීමා කර තිබෙනවා. මෙය අවධාරණය කර කිව යුත්තේ ඇතැම් වෙබ් අඩවි වල කරුණු විකෘති කළ වාර්තා පළ වී ඇති නිසයි.
පෙර නොයෙක් වර පැහැදිලි කර ඇති පරිදි සල්ලි අච්චු ගැසීම සේ සැලකෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. අලුත් අධිපති වැඩ භාර ගත් අප්‍රේල් 7 දින සිට මේ දක්වා මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.
2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8
2022 ජූලි 21 - රුපියල් බිලියන 1,439.4
වෙනස - රුපියල් බිලියන 13.6
මෙම වෙනස 1%කටත් අඩු වෙනසක්. එවැනි වෙනස්කම් දිනපතාම වුවද සිදු වන නිසා අලුත් අධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසුව සංචිත මුදල් සැපයුම ස්ථාවරව පවතින බව, එනම් සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැති බව, අපහසුවකින් තොරව කියන්න පුළුවන්. වෙනත් විදිහකින් කිවුවොත් ඇතැම් සති වලදී සංචිත මුදල් ඉහළ ගොස් ඇතත් එසේ මහ බැංකුවෙන් එළියට ගිය රුපියල් ඉතා ඉක්මණින් නැවත අවශෝෂණය කරගෙන ඇති නිසා පසුගිය මාස තුනහමාර තුළ සමස්තයක් ලෙස සැලකිය යුතු සල්ලි අච්චු ගැසීමක් සිදු වී නැහැ.
මේ තත්ත්වය අපට පෙර අධිපතිවරයාගේ කාලය සමඟ සංසන්දනය කළ හැකියි. 2021 සැප්තැම්බර් 15 සිට 2022 අප්‍රේල් 4 දක්වා කලය තුළ නිවාඩ් කබ්රාල් අධිපති සේ කටයුතු කළා. එම කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වැඩි වී තිබෙන්නේ පහත පරිදියි.
2021 සැප්තැම්බර් 16 - රුපියල් බිලියන 1,291.3
2022 අප්‍රේල් 7 - රුපියල් බිලියන 1,425.8
වෙනස - රුපියල් බිලියන 134.5
රජය ආදායම ඉක්මවා වියදම් කරන තුරු, රජයට විදේශ ණය ලබා ගැනීමේ හැකියාවද සීමා වී ඇත්නම්, අවශ්‍ය අරමුදල් ප්‍රමාණය දේශීය වෙළඳපොළෙන් සොයා ගන්නට සිදු වෙනවා. ඒ සඳහා, පොලී අනුපාතික "අවශ්‍ය පමණ" ඉහළ යාමට ඉඩ හරින්න වෙනවා. එසේ නොකළහොත් රුපියල් අතේ ඇති අය රජයට අවශ්‍ය පමණ ණය දෙන්නේ නැහැ. අඩුව පුරවන්න වෙන්නේ සල්ලි අච්චු ගැසීම මගින්.
කෙසේ වුවත්, පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාමට ඉඩ හැරීමෙන් රටේ ව්‍යාපාර බිඳ වැටී ආර්ථිකය සංකෝචනය වෙනවා. ඉතා පැහැදිලිවම එය හානිකර වුවත්, සල්ලි අච්චු ගැසීම ඊට වඩා හානිකරයි. විශේෂයෙන්ම අධි-උද්ධමනයක් බවට පත් විය හැකි ඉතා ඉහළ උද්ධමන මට්ටමක් රටේ පවතින විටෙක. මෙහිදී මහ බැංකුවට අඩු නරක තෝරා ගැනීමට සිදු වෙනවා. උද්ධමනය පාලනය කිරීම සඳහා ලෝකයේ ඕනෑම මහ බැංකුවක් සතු ප්‍රධානම අවිය පොලී අනුපාතිකයි.
අධි-උද්ධමන අවදානමද මග හැර ගනිමින් පොලී අනුපාතික ඉහළ යාම පාලනය කර ගැනීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුව පැත්තෙන් අවශ්‍ය දේ සිදු විය යුතුයි. හරියම කියනවානම් බදු වැඩි කර ගැනීම හා වියදම් කැපීම මගින් රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු කර ගත යුතුයි. එය සිදු නොවන තාක්, අධි-උද්ධමන තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා මහ බැංකුවට පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ හරින්න සිදු වෙනවා. එහිදී වක්‍ර ලෙස රටේ ආර්ථිකය සංකෝචනය කිරීම සඳහා දායක වීමට මහ බැංකුවට සිදු වෙනවා.
2022 ජනවාරි
රජයේ ආදායම - රුපියල් බිලියන 104.8
රජයේ වියදම - රුපියල් බිලියන 259.1
හිඟය - රුපියල් බිලියන 154.3
2022 පෙබරවාරි
රජයේ ආදායම - රුපියල් බිලියන 206.7
රජයේ වියදම - රුපියල් බිලියන 292.6
හිඟය - රුපියල් බිලියන 85.9
2022 මාර්තු
රජයේ ආදායම - රුපියල් බිලියන 135.4
රජයේ වියදම - රුපියල් බිලියන 379.5
හිඟය - රුපියල් බිලියන 244.1
2022 අප්‍රේල්
රජයේ ආදායම - රුපියල් බිලියන 184.2
රජයේ වියදම - රුපියල් බිලියන 224.0
හිඟය - රුපියල් බිලියන 39.8
Tuesday, July 19, 2022
හෙට වැව මැද සටන
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට හෙට දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනෙනවා. මෙය ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතා සුවිශේෂී මෙන්ම තීරණාත්මක කඩඉමක්. නාමයෝජනා තුනක් ඉදිරිපත්ව ඇතත් ප්‍රායෝගිකව මේ ඡන්දයෙන් ජය ගැනීමට ඉඩක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ හෝ ඩලස් අලහප්පෙරුම යන දෙදෙනාගෙන් අයෙකුයි. රහස් ඡන්දයක් පැවැත්වෙන නිසා ප්‍රතිඵලය අවසන් මොහොත වන තුරු අවිනිශ්චිතයි.
නාමයෝජනා ඉදිරිපත් වීමට පෙර සිදු වූ වැදගත්ම දේශපාලනික සිදුවීම සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම අතර සම්මුතියයි. මේ සම්මුතිය අනුව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරය සඳහා තරඟ නොකරන අතර ඩලස් අලහප්පෙරුම මීළඟ ජනාධිපති වුවහොත් අගමැති ධුරය සජිත්ට ලැබෙනු ඇතැයි සිතිය හැකියි. වඩා වැදගත් කරුණ මේ කණ්ඩායම් දෙක ජනාධිපති සටනින් ඔබ්බට ගිය පොදු අවම වැඩ පිළිවෙලකටද එකඟ වී තිබීමයි.
වැඩ බලන ජනාධිපති සේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපති සේ තේරී පත් වුවහොත් දිනේෂ් ගුණවර්ධන වැනි අයෙකු අගමැති විය හැකියි. එවැනි ආණ්ඩුවක ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙළ රනිල් වික්‍රමසිංහගේ අභිලාෂ මත තීරණය වීමට ඉඩ තිබෙනවා.
මේ ආකාරයෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට අවශ්‍ය වූ ක්‍රියාදාමය ආරම්භ වන්නේ රටේ පවතින ආර්ථික අර්බුදයේ ආරම්භයත් සමඟයි. එම ආර්ථික අර්බුදයට හේතු වූ අනිසි ආර්ථික කළමනාකරණය පසුපස නිවැරදි විය යුතු දේශපාලනික සාධක තිබෙනවා. අරගලකරුවන්ගේ මුල් ඉල්ලීම් වුනේත්, අලුතෙන් පත් වෙන ආණ්ඩුවක් විසින් හැකි ඉක්මණින් කළ යුතුව තිබෙන්නේත්, අවශ්‍ය දේශපාලනික වෙනස්කම්ද කරමින්, ආර්ථිකය නිසි මගට ගැනීමයි.
සජිත් හා ඩලස් එකඟව ඇති පොදු අවම වැඩ පිළිවෙළ ඉහත ප්‍රශ්න වලට විසඳුමක් සේ යෝජනා වී ඇති ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනා වල එකතුවක් සේ අර්ථ දැක්විය හැකියි. මේ ප්‍රතිසංස්කරණ යෝජනා පැකේජය හා රනිල් ප්‍රමුඛ ආණ්ඩුවක් මගින් ගෙන ඒමට නියමිත ආර්ථික හා දේශපාලනික ප්‍රතිසංස්කරණ යෝජනා අතර ලොකු වෙනස්කම් පෙනෙන්නට නැහැ. මේ වෙලාවේ කළ යුතු හොඳම දේ බොහෝ දුරට පැහැදිලියි.
රටේ ආර්ථිකයේ ප්‍රශ්න කවර ආණ්ඩුවකට වුවද ක්ෂණිකව විසඳිය නොහැකි වුවත් වසරක පමණ කාලයක් තුළ බොහෝ දුරට විසඳිය හැකියි. ඒ සඳහා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බාහිර පාර්ශ්ව වල උදවු අවශ්‍ය වෙනවා. එම උදවු ලබා ගැනීම සඳහා රාජ්‍ය අංශයේ දැවැන්ත ප්‍රතිසංස්කරණ කළ යුතු වෙනවා. නොකරම බැරි මේ ප්‍රතිසංස්කරණ දේශපාලනිකව ජනප්‍රිය තීරණ ගනිමින් සිදු කළ නොහැකියි. එවැනි පුළුල් ප්‍රතිසංස්කරණ කිරීමට මහජන සහයෝගය අවශ්‍යයි. ප්‍රධාන දේශපාලන පක්ෂ වල සහයෝගීතාවයක් නොමැතිව මෙවැනි ප්‍රතිසංස්කරණ කළ නොහැකියි.
දැනට පෙනෙන පරිදි සජිත්-ඩලස් පාර්ශ්ව එකඟ වී තිබෙන පොදු අවම වැඩ පිළිවෙළ තුළ මේ වැඩේ බොහෝ දුරට සිදු වෙනවා. ඩලස් ලංකාවේ මීළඟ ජනාධිපති සේ තේරී පත් වුවහොත් එය සිදු වනු ඇත්තේ අදාළ පාර්ශ්ව දෙකට අමතරව තවත් කණ්ඩායම් ගණනාවක සහයෝගයෙන්. එවැනි සහයෝගයක් නැතිව ඩලස්ට ඡන්දයෙන් දිනන්න බැහැ. ඒ නිසා, සජිත්-ඩලස් එක්ව හැදීමට ඉඩ තිබෙන ආණ්ඩුවක් බොහෝ විට තවත් පාර්ශ්වද එක් කරගත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වීමට නියමිතයි.
අනෙක් පැත්තෙන් රනිල් ඡන්දය දිනුවොත් එය සිදු විය හැක්කේත් කණ්ඩායම් ගණනාවක සහයෝගයෙන්. ඔහු දිනනවානම් දිනන්නේ සජබ, ශ්‍රීලනිප පක්ෂ වල ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද හා අනෙකුත් සුළු ජාතික පක්ෂ වල ඡන්දද ලබා ගනිමිනුයි. සල්ලි එහා මෙහා වන කතා අහන්න ලැබුණත්, රහස් ඡන්දයකදී සල්ලි අරගෙන වුවත් තමන් කැමති අයෙකුට ඡන්දය දිය හැකියි. ඒ නිසා, ඡන්ද ලබාගැනීම සඳහා සල්ලි වලට වඩා වැදගත් වනු ඇත්තේ ඇමතිකම් පිළිබඳ පොරොන්දු ආදියයි. මේ අනුව බැලූ විට, රනිල්-දිනේෂ් මුල් වී ආණ්ඩුවක් හැදුවත් එයද ඩලස්-සජිත් මුල් වූ ආණ්ඩුවක් මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් වීමට නියමිතයි. එමෙන්ම එවැනි ආණ්ඩුවක් විසින් සිදු කිරීමට නියමිත ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ ඩලස්-සජිත් ආණ්ඩුවක ප්‍රතිසංස්කරණ වලට වඩා ලොකුවට වෙනස් වෙන්න හේතුවක් නැහැ.
කෙටියෙන් කිවුවොත්, හෙට රනිල් දිනුවත්, ඩලස් දිනුවත්, ඉන් ඔබ්බට යන්න තියෙන්නේ එකම පාරේ. ඒ වගේම රට වැටී තිබෙන තැන අනුව යා හැකි වෙන පාරවල් නැහැ. ප්‍රතිඵලය අනුව වෙනස් වන එකම දෙය පාර්ලිමේන්තුවට පිටින් අරගලකරුවන්ගේ ප්‍රතිචාර හා එම ප්‍රතිචාර වලට දේශපාලන පක්ෂ විසින් දක්වන ප්‍රති-ප්‍රතිචාරයි.
මේ වන විට ලංකාවේ පාර්ලිමේන්තුව තුළ රටේ ජනතා මතය නිරූපණය නොවනවාක් මෙන්ම අරගලය තුළ නිරූපණය වන්නේද ජනතා මතය නෙමෙයි. අරගලය තුළ ප්‍රධාන බල කේන්ද්‍ර තුනක් දැකිය හැකියි. පළමු කණ්ඩායම නාගරික හා අර්ධ නාගරික ලිබරල්වාදීන්. දෙවන කණ්ඩායම ජවිපෙ/ජාජබ හා ඔවුන්ගේ මතවාදය හා කිට්ටුවෙන් යන අදහස් දරන ස්වාධීන ක්‍රියාකාරිකයින්. තෙවන කණ්ඩායම පෙසපෙ හා ඔවුන් විසින් මෙහෙයවන කණ්ඩායම්.
හෙට ජනාධිපතිවන්නේ රනිල් වුවත්, ඩලස් වුවත්, පෙසපෙ අරගලයෙන් ඉවත් වන එකක් නැහැ. ඒ වගේම, මේ කවර හෝ ආණ්ඩුවක් හරහා ක්‍රියාත්මක වීමට නියමිත ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලට එම කණ්ඩායම එකඟ වන එකක් නැහැ. ඔවුන්ගේ විරෝධය දිගටම පවතියි. බොහෝ විට තවත් තීව්‍ර වෙයි.
රනිල් ජයගෙන ආණ්ඩුවක් පිහිටෙවුවොත් අරගලය තුළ සිටින ඉහත කණ්ඩායම් තුනම දිගටම ආණ්ඩු විරෝධී ස්ථාවරයක සිටීමට වැඩි ඉඩක් තිබෙනවා. එසේ වුවහොත්, සජිත්-ඩලස් අක්ෂය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු විරෝධීව හා අරගලයට පක්ෂපාත ස්ථාවරයක සිටිමින් ඊළඟ මැතිවරණයට ලකුණු රැස් කිරීමට ප්‍රමුඛතාවය දීමට ඉඩ තිබෙනවා. එහෙත්, ඩලස් ජයග්‍රහණය කළහොත් අරගලය තුළ සිටින ලිබරල්වාදී කොටස් අරගලයෙන් ඉවත් විය හැකියි. ඒ සමඟම අරගලකරුවන් වාමාංශික අරගලකරුවන් කොටසක් බවට පත් වෙනවා. ඉන් පසුව ජවිපෙ දිගටම අරගලය තුළ රැඳී සිටියහොත් ඒ තුළ ජවිපෙ පෙසපෙ බල අරගලයද ඉස්මතු විය හැකියි.
ජවිපෙ/ජාජබ තවමත් ඉන්නේ රටේ දේශපාලන බල තුලනය වෙනස් වන ආකාරය අනුව තමන්ට දේශපාලනිකව වඩා වාසිදායක පැත්තට දෝලනය වීමේ ඉඩ ඉතිරි කරගෙනයි. හෙට රනිල් ජනාධිපති වුවහොත් ජවිපෙට දිගටම පාර්ලිමේන්තුව තුළත්, අරගලය තුළත්, ආණ්ඩු විරෝධී ස්ථාවරයක සක්‍රිය ලෙස කටයුතු කරන්න සිදු වෙනවා. පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට සජබට එරෙහිව ඉදිරි මැතිවරණය ඉලක්ක කර කටයුතු කරන්න වෙනවා. ඒ අතර අරගලය තුළ ප්‍රධාන ගාමක බලවේගය වීමට පෙසපෙ සමඟ තරඟ කරන්න සිදු වෙනවා.
දේශපාලනිකව රනිල්ට එරෙහි වුවත් සජිත්-ඩලස් අක්ෂයට රනිල්ගේ ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලට සෘජුව විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. කළ හැක්කේ කකුලෙන් ඇදීම පමණයි. අරගලයට සහයෝගය දීම මගින් වක්‍ර ලෙස එය කළ හැකියි. සජබ නැවතත් අරගලය හා එකතු වුවහොත් එහි වාමාංශික පැහැය දියාරු වී යනවා. ඒ වගේම, රනිල් ප්‍රමුඛ ආණ්ඩුවකට අවශ්‍ය ආර්ථික-දේශපාලන වෙනස්කම් කිරීමද අසීරු වෙනවා. එවැනි තත්ත්වයක් යටතේ රනිල් ප්‍රමුඛ ආණ්ඩුවකට ඉතිරි වන විකල්පය අරගලය මර්දනය කිරීම පමණයි. සජබ අරගලය හා නැවත එකතු වී අරගලය නැවතත් පුළුල් දේශපාලනික සන්ධානයක් බවට පත් වුවහොත් වුවහොත් එයද පහසුවෙන් කළ නොහැකියි. එහෙත්, සජබ නැවත අරගලය හා එකතු නොවී අරගලය තුළ වාමාංශික පැහැය ඉස්මතු වුවහොත් අරගලය මර්දනය කිරීම වඩා පහසු වෙනවා.
ඩලස් ජනාධිපති වී ඩලස්-සජිත් ආණ්ඩුවක් පිහිටෙවුවොත් රනිල්ට එම ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන වැඩ පිළිවෙලට විරුද්ධ වීමේ හැකියාවක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේ බොහෝ දුරට වඩාත් පුළුල් සර්ව-පාක්ෂික ආණ්ඩුවක් හැදෙනවා. එවැනි ආණ්ඩුවකට කෙතරම් සහායක් දක්වනවාද කියන එක ජවිපෙ/ජාජබට මුහුණ දෙන්නට වන උභතෝකෝටිකයක්. අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්නට යද්දී මුළුමනින්ම විරුද්ධ වුවහොත් ඉදිරි මැතිවරණයකදී මධ්‍යස්ථ ඡන්දදායකයින්ට ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව ජවිපෙ කෙරෙන් ගිලිහෙනවා. එවැනි ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නොවුවහොත්, ඔවුන් හා රැඳී සිටින වාමාංශික කොටස් පෙසපෙ විසින් ආකර්ෂණය කර ගන්නවා.
හෙට ඡන්දයේදී රනිල්-ඩලස් සටන තියුණු වී දෙවන මනාපය ගණන් කරන්නට සිදු වීමේ ඉඩකඩද බැහැර කළ නොහැකියි. ඡන්දය රහසිගත එකක් වුවත්, එවැනි තත්ත්වයක් යටතේ ජාජබ ඡන්ද වල දෙවැනි මනාප එළිදරවු වෙනවා. එහිදී යම් හෙයකින් ජාජබ ඡන්ද තුන නිසා ඩලස් පැරදී රනිල් දිනුවොත් එයින් ජවිපෙට විශාල දේශපාලනික හානියක් වීම නොවැලැක්විය හැකියි. මෙය ඉතා පැහැදිලි නිසා ජාජබ දෙවැනි මනාප බොහෝ විට ඩලස්ට ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසාම, අනුර කුමාර තරඟයට ඉදිරිපත් වීම ඒ තරම් තීරණාත්මක සාධකයක් නෙමෙයි.
Sunday, July 17, 2022
ඉන්දියාව කරන්න හදන්නේ මොකක්ද?
ඉන්දියාව සමඟ කරන ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල භාවිතා කිරීම ප්‍රවර්ධනය කරමින් ඉන්දියානු සංචිත බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙහි ඉලක්කය රුසියාව, ශ්‍රී ලංකාව හෝ එම රටවල් දෙකම විය හැකියි. ඉන්දියාව මේ කරන්න හදන්නේ මොකක්ද?
ඉන්දියාවට රුසියාව සමඟ කාලයක සිටම තියෙන්නේ අවාසිදායක වෙළඳ ශේෂයක්. ඉන්දියාව රුසියාවෙන් සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 6-7ක පමණ ආනයන සිදු කරන නමුත් රුසියාව ඉන්දියාවෙන් ආනයනය කරන්නේ එයින් බාගයක පමණ ප්‍රමාණයක් පමණයි. පසුගිය 2021 වසරේදී ඉන්දියාව රුසියාවෙන් සිදු කළ ආනයන ප්‍රමාණය ඩොලර් බිලියන 8.70 දක්වා ඉහළ ගියා. එහෙත්, රුසියාව ඉන්දියාවෙන් කළ ආනයන වල වටිනාකම වුනේ ඩොලර් බිලියන 3.33ක් පමණයි. ඒ කියන්නේ ඩොලර් බිලියන 5.37ක වෙළඳ හිඟයක්.
මේ වෙලාවේදී රුසියාව ජාත්‍යන්තර වෙළඳාමේදී සාපේක්ෂව අවාසිදායක අඩියක සිටින බව අමුතුවෙන් කිව යුතු නැහැ. බටහිර රටවල සම්බාධක නිසා රුසියාවට තමන්ගේ අපනයන සඳහා වූ වෙළඳපොළ දැඩි ලෙස සීමා වී තිබෙනවා. (එයින් බටහිර රටවලටද අවාසියක් වී තිබීම ප්‍රස්තුතයට අදාළ නැති වෙනම කරුණක්!) එම තත්ත්වය යටතේ රුසියාවට ඉන්දියානු වෙළඳපොළ ගොඩක් වැදගත්. ඉන්දියාව මේ හදන්නේ තැටිය රත් වූ වෙලාවේ රොටියක් පුච්චා ගන්න වෙන්න පුළුවන්.
දැන් ඉන්දියාව කියන්නේ කුමක්ද? හරි. අපි ඕගොල්ලන්ගේ බඩු ගන්නම්. හැබැයි ගෙවන්නේ ඉන්දියන් රුපියල් වලින්!
වෙළඳ ශේෂය තියෙන්නේ තමන්ගේ වාසියට නිසා රුසියාවට ඉන්දියාව කියන දේ නොසලකා මග හැර යන්න බැහැ. බඩු විකුණාගන්නනම් ඉන්දියානු රුපියල් භාර ගන්න වෙනවා. මේ ඉන්දියානු රුපියල් වලින් රුසියාවට කළ හැක්කේ කුමක්ද?
ඉන්දියාවේ එක් අරමුණක් වන්නේ රුසියාවට කරන ඉන්දියානු අපනයන වැඩි කර ගැනීමයි. රුසියාව ඇතුළේ ඉන්දියානු රුපියල් ගොඩ ගැහෙද්දී රුසියාවට යම් තරමකින් හෝ ඉන්දියානු අපනයන වැඩි කර ගැනීමට අවස්ථා සලසන්න වෙනවා. එහෙම නැත්නම් මේ ඉන්දියානු රුපියල් නැවත ඉන්දියාවේම ආයෝජනය කරන්න වෙනවා. එහි ප්‍රතිඵලය ඉන්දියානු රුපියල් වලට ඉල්ලුම ඉහළ ගොස් ඉන්දියානු රුපියල ශක්තිමත් වීමයි.
ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීමත් සමඟ ගෝලීය ප්‍රාග්ධනය ඇමරිකාව වෙත ගලා එන්න පටන් අරගෙන. ඒ හරහා ඩොලරයට තිබෙන ඉල්ලුම ඉහළ ගොස් ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙනවා. අනෙක් අතට එයින් අදහස් වන්නේ ඩොලරයට සාපේක්ෂව අනෙක් මුදල් ඒකක පිරිහෙනවා කියන එකයි. යුරෝවක මිල මේ වෙද්දී ඩොලරයක මිල මට්ටම දක්වාම පහත වැටිලා.
මේ තත්ත්වය තුළ ඉන්දියානු රුපියලද සාපේක්ෂව පිරිහෙමින් තිබෙනවා. එය වලක්වා ගැනීම සඳහා ඉන්දියානු සංචිත බැංකුවට තමන් සතු විදේශ සංචිත විකිණීමට සිදුව තිබෙනවා. ඉන්දියාව සතු විදේශ සංචිත ප්‍රමාණය අනුව මේ සඳහා විකිණීය යුතු ඩොලර් ප්‍රමාණය සුළු ප්‍රමාණයක් වීම වෙනම කරුණක්. කොහොම වුනත් මේ ක්‍රියාවලිය තුළ සිදු වන්නේ ඉන්දියානු රුපියල් සඳහා ඉල්ලුම අඩු වීමක්. රුසියාව ඉන්දියානු රුපියල් මිල දී ගැනීමට පෙළඹවීමෙන් ඉන්දියාවට මේ බලපැම නිශේෂණය කර ගත හැකියි. එසේ නොහැකිනම් පාලනය කර ගත හැකියි.
දැන් අපි ලංකාවට එමු. රුසියාව සමඟ මෙන් නොව, ලංකාව සමඟ ඉන්දියාවට කාලයක් තිස්සේම තියෙන්නේ වාසිදායක වෙළඳ ශේෂයක්. පසුගිය වසරේදී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4.80ක ආනයන සිදු කළා. එහෙත් ඉන්දියාව ලංකාවෙන් ආනයනය කළ භාණ්ඩ වල වටිනාකම ඩොලර් බිලියනයකටත් අඩුයි. ඉන්දියාවේ වෙළඳ අතිරික්තය, ඒ කියන්නේ ලංකාවේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය, ඩොලර් බිලියන 3.82ක්.
මෙතැන තියෙන ප්‍රශ්නය රුසියාව සමඟ තිබෙන ප්‍රශ්නයට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයක්. මේ ද්විපාර්ශ්වික වෙළඳ හිඟය දිගින් දිගටම නඩත්තු කළ හැකි තරමේ ඩොලර් සංචිත ප්‍රමාණයක් හෝ ඩොලර් ආදායමක් දැන් ලංකාවට නැහැ. ඒ නිසා, තමන්ගේ අපනයන වෙළඳපොළ කඩා වැටී අහිමි වී යාමේ අවදානමට ඉන්දියාවට මුහුණ දෙන්න වෙනවා.
අවශ්‍යනම් ඩොලර් වලින් නොගෙවා ඉන්දියානු රුපියල් වලින් ගෙවන්න කියලා ලංකාවට කියන්න ඉන්දියාවට පුළුවන්. හැබැයි එහෙම කිවුවා කියලා ඉන්දියාවට ගෙවන්න ඉන්දියානු රුපියල් ලංකාව සතුව නැහැ. අවශ්‍ය ඉන්දියානු රුපියල් ටිකත් මොන විදිහකින් හෝ ඉන්දියාවටම දෙන්න වෙනවා. ඉන්දියානු ණය පහසුකම් යටතේ සිදු වුනෙත් ඔය වැඩේ.
සමහර විට මේ වෙලාවේ ඉන්දියාව විසින් උත්සාහ කරන්නේ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීම සඳහා ඉන්දියානුවන් පෙළඹවීමට හා ඒ සඳහා පහසුකම් සැලසීමට විය හැකියි. මේ හරහා සෘජුව ඉන්දියානු රජය හෝ මහ බැංකුව (සංචිත බැංකුව) මැදිහත් නොවී ඉන්දියාවට ලංකාවට උදවු කරන්නත් පුළුවන්. ලංකාවට උදවු කරනවා කියා කිවුවත් මෙහිදී සිදු වෙන්නේ ඉන්දියානු ජාතික අභිලාශ ඉටුවීමක්.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙමසකට වැඩි කාලයක් තිස්සේ ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්න බව අපි දන්නා දෙයක්. ඔය කාලය ඇතුළත ඇමරිකානු ඩොලරය අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක බොහොමයකටම සාපේක්ෂව ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා, ශ්‍රී ලංකා රුපියල පසුගිය දෙමස තුළ යුරෝ, පවුම්, යෙන් ආදී මුදල් ඒකක ගණනාවකටම සාපේක්ෂව ශක්තිමත් වෙමින් තිබෙනවා. ඉන්දියානු රුපියලට සාපේක්ෂවද රුපියල ශක්තිමත් වෙමින් තිබෙනවා.
පසුගිය මැයි 6 දින ශ්‍රී ලංකා රුපියල් 4.83ක් පමණ වූ ඉන්දියානු රුපියලක මිල ඉහත තත්ත්වයන් යටතේ මේ වන විට ශ්‍රී ලංකා රුපියල් 4.51 පමණ දක්වා පහත වැටී තිබෙනවා. මේ අතර මේ වන විට ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 32% පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික දැනට පවතින මට්ටම හා ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව තබාගෙන සිටියදී ඉන්දියානු රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම තුළ ඉන්දියානුවෙකුට මේ වෙලාවේ ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කර 56% පමණ පොලියක් ලබා ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා.
ඉන්දියානු සංචිත බැංකුව මේ සඳහා පහසුකම් සැලසීමට උත්සාහ කරනවා විය හැකියි. මේ සඳහා ඉඩ සැලසීමෙන් ලංකාවට ඉන්දියාවේ සිට පෞද්ගලික ප්‍රාග්ධනය ගලා එන අතර එම ප්‍රාග්ධනයේ උදවුවෙන් ඉන්දියාවට ලංකාව සමඟ වන වාසිදායක වෙළඳ ශේෂය දිගටම පවත්වා ගත හැකි වෙනවා. සල්ලි එන්නේ ඉන්දියානු රුපියල් ලෙස මිස ඩොලර් ලෙස නොවන නිසා මේ විදිහට ලංකාවට එන ඉන්දියානු සල්ලි වලින් ඉන්දියාවෙන් ආනයන කරන්න හෝ ඉන්දියාවෙන් කලින් ගත් ණය ආපසු ගෙවන්න මිසක් වෙන වැඩක් කරන්න බැහැ. කොහොම වුනත්, මේ වෙලාවේ ලංකාවට අවශ්‍ය වී තියෙන්නේ කොහෙන් හෝ, මොන විදිහකින් හෝ, විදේශ විණිමය හොයා ගන්න මිසක් අස්සයාගේ දත් බලන්න නොවන නිසා ලංකාව පැත්තෙන් බැලුවහම වෙලාවේ හැටියට මෙය ලොකු උදවුවක්.
මේ වැඩේ විස්තර කරපු විදිහට සිදු වෙලා ලංකාවට ඉන්දියානු රුපියල් සැලකිය යුතු ප්‍රමාණයක් ගලා ආවොත් ලංකාවේ "දැවෙන ප්‍රශ්න" ටික තාවකාලිකව විසඳෙනවා. ඒ එක්කම ශ්‍රී ලංකා රුපියලේ හා සමස්තයක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයේ රිමෝට් කන්ට්‍රෝල් එක ඉන්දියාව අතට යාමේ ඉඩකඩත් බැහැර කරන්න බැහැ. ඒක ඉතිං කොහොමටත් කොයි වෙලාවක හෝ වෙන දෙයක්.
Tuesday, July 12, 2022
ඩොලර් හිඟය ඉවරද?
ලිපියක් ලියන්නේ සති දෙකකට පමණ පසුවයි. මේ සති දෙක ලංකාවේ ගොඩක් දේවල් සිදු වුනු සති දෙකක්. ඒ දේවල් වල තවමත් කෙළවරක් නැහැ. කොහොම වුනත්, ලිපි ලියන එක මග හැරුණේ වෙනත් පෞද්ගලික හේතුවක් නිසා. හරියටම කිවුවොත් සීමිත අන්තර්ජාල පහසුකම් පමණක් ඇතිව නිවසින් බැහැරව සිටි නිසා. මේ ගැන අහපු ඇතැම් අයට පිළිතුරු දුන්නත් හැමෝටම පිළිතුරු දෙන්න ඉඩක් ලැබුණේ නැහැ.
ලංකාවේ දේශපාලනික පරිවර්තනයක් සිදු වෙමින් පවතිනවා. එහි අවසාන ප්‍රතිඵලය දැනගන්න තවත් සතියක් පමණවත් බලා ඉන්න වෙනවා. හැබැයි මේ ප්‍රතිඵලය කුමක් වුවත් රටේ ආර්ථික තත්ත්වයේ ක්ෂණික වෙනසක් සිදු වීමේ ඉඩක් නැහැ. කවුරු බලය ලබා ගත්තත් කරන්න වෙන්නේ එකම දේවල් ටිකක්. අඩු වශයෙන් කෙටිකාලීනව.
පසුගිය සතිය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරුණු නිලධාරී මට්ටමේ සාකච්ඡා සෑහෙන දුරකට අවසන්ව තිබුණා. එහෙත්, එයින් අදහස් වුනේ ඉතා ඉක්මණින් අරමුදලෙන් සල්ලි ලැබෙනවා කියන එක නෙමෙයි. ඒ සඳහා තවත් බොහෝ දුරක් යා යුතුව තිබුණා. පවතින දේශපාලන වාතාවරණය යටතේ මේ ක්‍රියාදාමය තව දුරටත් ප්‍රමාද විය හැකියි.
ලංකාවේ ඩොලර් ප්‍රශ්නය ගැනත්, රුපියල් ප්‍රශ්නය ගැනත් මේ වන විට බොහෝ දෙනෙක් දැනුවත්. මේ ප්‍රශ්න විසඳා ගන්න බාහිර උපකාරයක් ඉතා ඉක්මණින් ලැබෙන පාටක් නැති තත්ත්වයක් යටතේ ඉතිරිව තිබෙන විකල්පය පුළුවන් විදිහකින් "අපි අපිම" ප්‍රශ්නය විසඳා ගන්න එකයි. ඇත්තටම කියනවානම් එහෙම අමුතු දෙයක් නොකළත්, කාලයත් සමඟ, වෙළඳපොළ විසින් ප්‍රශ්න විසඳනවා.
ඩොලර් ප්‍රශ්නයට හේතු වුනේ කාලයක් තිස්සේම ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඩොලර් වියදම් කිරීමයි. මේ විදිහට නූපයූ ඩොලර් වියදම් කළේ දිගින් දිගටම ඩොලර් ණයට ගැනීම මගින්. ඒ විදිහට ඩොලර් දිගින් දිගටම ණයට ගනිමින් රට ඇතුළේ අඩු මිලට විකිණීම නිසා ඩොලරයේ මිල පහළ ගිහින් රුපියල අධිප්‍රමාණය වී ආනයන ලාබ වුනා. රටේ මිනිස්සු ලාබෙට ලැබෙන ආනයන වලට හුරු වුනා. දේශීය නිෂ්පාදන කඩා වැටුණා.
මේක රටේ විණිමය ප්‍රතිපත්තියේ වරදින් සිදු වූ දෙයක් මිස සාමාන්‍ය මිනිසුන්ගේ වරදින් සිදු වූ දෙයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ අධිපරිභෝජනය ප්‍රශ්නයට හේතුවක් කියා කවුරු හරි කියනවානම් ඒ අධිපරිභෝජනය සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් මිසක් මූල හේතුව නොවන බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඩොලරයක් එහි නියම මිලට විකිණුනානම් අධිපරිභෝජනයක් කියා දෙයක් හෝ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ.
කොහොම වුනත්, කාලයක් තිස්සේ ලාබෙට ලැබුණු ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න පුරුදු වී ඉන්න ලංකාවේ මිනිස්සුන්ට එක රැයින් ඒ පුරුදු අත්හරින්න බැහැ. අවශ්‍ය ආනයන ආදේශක එක රැයින් රට ඇතුළේ හදාගන්නත් බැහැ. නමුත්, ඩොලරයේ මිල ඉහළ යද්දී ක්‍රමක්‍රමයෙන් ආනයනික භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම අඩු වී, ආනයන ආදේශක රටේ නිෂ්පාදනය වී ඩොලර් හිඟය නැති වී යා යුතුයි. රටේ ඩොලර් ප්‍රශ්නයට තිරසාර විසඳුමක් වන්නේත්, බාහිර උදවුවක් නැත්නම් එකම විසඳුම වන්නේත් එයයි.
සංඛ්‍යාලේඛණ දිහා බැලූ විට පෙනෙන්නේ මේ "වෙළඳපොළ විසඳුම" දැනටමත් අතේ දුරින් තිබෙන බවයි. මෙය පූර්ණ වෙළඳපොළ විසඳුමක් කියා මම කියන්නේ නැහැ. මේ සමතුලිතාවය පසුපස මහ බැංකුවේ හස්තය පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. එසේ වුවත්, මේ සංඛ්‍යාලේඛණ වලින් පෙන්නුම් කරන්නේ බාහිර උදවු නැතිව ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලනය කර ගැනීම නොකළ හැක්කක් නොවන බවයි.
2022 ජනවාරි
ආනයන වියදම - ඩොලර් මිලියන 1,959
අපනයන ආදායම - ඩොලර් මිලියන 1,101
ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 259
සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 148
හිඟය - ඩොලර් මිලියන 451
2022 පෙබරවාරි
ආනයන වියදම - ඩොලර් මිලියන 1,873
අපනයන ආදායම - ඩොලර් මිලියන 1,091
ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 205
සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 174
හිඟය - ඩොලර් මිලියන 403
2022 මාර්තු
ආනයන වියදම - ඩොලර් මිලියන 1,819
අපනයන ආදායම - ඩොලර් මිලියන 1,057
ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 319
සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 191
හිඟය - ඩොලර් මිලියන 252
2022 අප්‍රේල්
ආනයන වියදම - ඩොලර් මිලියන 1,699
අපනයන ආදායම - ඩොලර් මිලියන 970
ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 248
සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 113
හිඟය - ඩොලර් මිලියන 368
2022 මැයි
ආනයන වියදම - ඩොලර් මිලියන 1,452
අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047
ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 305
සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 58
හිඟය - ඩොලර් මිලියන 42
ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 451ක් ලෙස පැවති ඩොලර් හිඟය මැයි මාසය වන විට ඩොලර් මිලියන 42ක් දක්වා පහත වැටී තිබෙනවා. මේ අඩු වීමට ප්‍රධාන හේතුව ආනයන වියදම් පහත වැටීමයි. ආදායම් වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වී නැහැ.
අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ මෙන්ම සංචාරක ඉපැයීම්ද තීරණය වන්නේ ලංකාවෙන් බාහිර සාධක මතයි. ඩොලර් ආදායම් වැඩි කර ගැනීම ගැන ලංකාවේ සිට කතා කරන්නට හා පුරෝකථන කරන්නට හැකි වුවත් අපේක්ෂිත පරිදි ආදායම් වැඩි කර ගැනීම සඳහා ලංකාවේ සිට කළ හැකි නිශ්චිත දෙයක් නැහැ. ශ්‍රමික ප්‍රේෂණ හෝ සංචාරකයින් බලෙන් ගෙන්වා ගන්න බැහැ. ලංකාවේ සිට කළ හැකි එකම දෙය ලැබෙන ඩොලර් ප්‍රමාණයට ගැලපෙන පරිදි වියදම් සීමා කර ගැනීමයි. මැයි මාසයේ දත්ත වලින් පෙන්වන්නේ එය කළ හැක්කක් බවයි. ඒ වගේම, මේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඩොලරයක මිල තවදුරටත් ඉහළ යන්නට ඉඩ හැරීම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන බවයි.
මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යා හැකිනම් තව දුරටත් ඉතිරි වන්නේ ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය පමණයි. සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ඉහළ ගියහොත් එසේ එකතු වන ඩොලර් ටික ණය ගෙවීම සඳහා යොදාගත හැකියි.
වෙළඳපොළ විසින් හා මහ බැංකුවේ නියාමන ක්‍රියාමාර්ග වලින් ඩොලර් ප්‍රශ්නය විසඳෙද්දී ඉතිරි වන ඊළඟ බරපතල ප්‍රශ්නය රුපියල් ප්‍රශ්නයයි. දැනට පැහැදිලිව පෙනෙන පරිදි, පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ යාමට ඉඩ හරින්නේනම් සල්ලි අච්චු නොගසා අවශ්‍ය රුපියල් ප්‍රමාණය හොයා ගැනීමද කළ නොහැක්කක් නෙමෙයි.