වෙබ් ලිපිනය:

Thursday, July 28, 2022

ඩොලර් බැලන්ස් කිරීමේ ප්‍රශ්නය


තව දුරටත් ඉතිරිව තිබෙන ණය ගෙවීමේ ප්‍රශ්නය ගැන කලින් ලිපියෙන් කතා කළා. ඒ ප්‍රශ්නය කිසිසේත්ම පැත්තකින් තියන්න පුළුවන්කමක් නැතත්, සාකච්ඡාව ඉදිරියට ගෙන යාමේ අරමුණින්, ණය ප්‍රශ්නය පැත්තකින් තියමු. එක ඩොලරයක්වත් ණය ආපසු ගෙවන්නේ නැහැ කියා හිතුවොත් ඊළඟට ඉතිරි වන ප්‍රශ්නය මොනවා හෝ විදිහකින් රටට ලැබෙන ඩොලර් ටික පිරිමහගෙන කළමනාකරණය කර ගැනීමේ ප්‍රශ්නයයි. එය කළ හැකිද?

මෙය කළ නොහැකි තරම් අසීරු කාර්යයයක්. එහෙත්, බාහිර උදවු නොලැබුණොත් වෙන කරන්න කිසිම දෙයක් නැහැ.

අපි සංඛ්‍යාලේඛණ එක්කම ප්‍රශ්නය දිහා බලමු. මේ පසුගිය වසරේ (2021) සංඛ්‍යාලේඛණ.

අපනයන ආදායම - ඩොලර් මිලියන 12,502

ආනයන වියදම - ඩොලර් මිලියන 20,637

වෙළඳ ශේෂ හිඟය - ඩොලර් මිලියන 8,136 

මේ ගාණට ආනයන වියදම් සීමා වී තිබෙන්නේත් නෛසර්ගික ලෙස නෙමෙයි. වාහන ආනයනය ආදිය සම්පූර්ණයෙන්ම නවත්වා තිබියදී. නැවත වාහන ආනයනය වගේ දේවල්නම් දැන් හීන පමණක් නිසා දැන් ඉන්න තැන ඉඳලා කතාව පටන් ගනිමු.

දැන් ඉහත කී පරිදි ඩොලර් මිලියන 8,136ක වෙළඳ ශේෂ හිඟයක් තියෙනවා කියන්නේ ඔය ඩොලර් ප්‍රමාණය වෙන කවර හෝ ආකාරයකින් රටට එන්න ඕනෑ. එහෙම මොන විදිහකින් හෝ ඩොලර් රටට එනවානම් වෙළඳ ශේෂ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. 

පසුගිය වසර තුළ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 5,491ක් රටට ආවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 261ක් ආවා. නමුත්, ඒ දෙකම එකතු කළත් වෙළඳ ශේෂ හිඟය පියැවෙන්නේ නැහැනේ. ඒ වගේම, ණය ගෙවීම පැත්තකින් තිබ්බත්, ඩොලර් අවශ්‍ය වෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පමණක් නෙමෙයි. අනෙක් ඩොලර් අවශ්‍යතා සඳහා වැය වූ කොටසත් එකතු කලාට පස්සේ සමස්තයක් ලෙස පසුගිය වසරේදී ඩොලර් මිලියන 3,961ක ගෙවුම් ශේෂ හිඟයක් තිබුණා. 

හරි. අපි මුල් ප්‍රශ්නයට එමු. ලංකාවට දැනට දශක ගණනාවක් තිස්සේ පවතින වෙළඳ ශේෂ හිඟය ඉතා ඉක්මණින් පියවා ගැනීමේ හැකියාවක් තියෙනවද?

මෙහි පළමු පියවර ලෙස අපි ආනයන වියදම වූ ඩොලර් මිලියන 20,637 විභේදනය කර බලමු.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 3,848.7 (18.6%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 12,308.9 (59.6%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 4,462.7 (21.6%)

එකතුව  - ඩොලර් මිලියන 20,637.4 (100.0%)

මම හිතන්නේ කියන්න හදන දෙය පැහැදිලි විය යුතුයි. ආනයන භාණ්ඩ පරිභෝජනය ගැන, අධිපරිභෝජනය ගැන ලොකුවට කතා කළත් පරිභෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වැය වෙන්නේ මුළු ආනයන වියදමෙන් 18.6%ක් පමණයි. ඔය ටික මුළුමනින්ම නැවතුනත්, වෙළඳ හිඟය පියැවෙන්නේ නැහැ.

ලංකාවේ ආනයන වියදම් වලින් 80%ක් පමණම යන්නේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ ආනයනයටයි. මොනවද මේ අතරමැදි හා ආයෝජන භාණ්ඩ? 

අතරමැදි හා ආයෝජන භාණ්ඩ කියා කියන්නේ දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන සාධක. මේවා එන්නේ නැහැ කියා කියන්නේ බොහෝ දුරට රටේ නිෂ්පාදනයක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ දැනට ලැබෙන අපනයන ආදායමත් නොලැබී යනවා කියන එකයි.

උදාහරණයක් විදිහට පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් වලින් ලැබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 4,423.1ක්. රටේ අපනයන ආදායමෙන් 35%ක් පමණ. හැබැයි ඔය අපනයන ආදායම ලබා ගන්න රෙදිපිළි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය කරන්න වෙනවා. පසුගිය වසරේ රෙදිපිළි හා ඇඟලුම් ආනයන වියදම ඩොලර් මිලියන 2,335.1ක්. අර ආපු ඩොලර් ටිකෙන් බාගයකටත් වඩා අමුද්‍රව්‍ය වෙනුවෙන් රටෙන් එළියට ගිහින්. 

ඇගලුම් කර්මාන්තය සඳහා ආනයනය කරන්න අවශ්‍ය වන්නේ රෙදිපිළි වැනි දේ පමණක් නෙමෙයිනේ. මහන මැෂින්, අනෙකුත් මැෂින් වගේ නිෂ්පාදන සාධකත් ආනයනය කරන්න වෙනවා. ඒවා තියෙන්නේ ආයෝජන භාණ්ඩ යටතේ. ඒ විතරක්ද? යොදා ගන්න විදුලි බලය හදන්න ඉන්ධන ආනයනය කළ යුතුයි. සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන්න වාහන ආනයනය කළ යුතුයි. ඒ අයට දවල් කෑමට දෙන පරිප්පු ටික ආනයනය කළ යුතුයි. හිතල බැලුවොත් ලැයිස්තුව තව ගොඩක් දිගයි.

ඕනෑම අපනයන කර්මාන්තයක් ගත්තොත් තත්ත්වය ඕකයි. පහුගිය දවස් වල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් වානේ ආනයනය කළා කියලා ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. වානේ ආනයනය නොකළොත් බයිසිකල් අපනයන කරන්න වෙන්නේ නැහැ. අපනයන වලින් ඩොලර් මිලියන 12,502ක් ලැබුණත් මෙය ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙනවා වගේ ශුද්ධ ඩොලර් ආදායමක් නෙමෙයි. ඔය ඩොලර් ටික උපයා ගැනීම සඳහාම සැලකිය යුතු ආනයන ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් ඩොලර් වැය කරන්න වෙනවා.

තේ කර්මාන්තය වගේ කෘෂිකාර්මික කර්මාන්තයක් ගත්තත් මේ තත්ත්වයේ වෙනසක් නැහැ. කර්මාන්තයට අවශ්‍ය පෝර වල ඉඳලා, යන්ත්‍ර සූත්‍ර දක්වා ගොඩක් දේවල් ආනයනය කරන්න වෙනවා. ඒ නිසා, රටට එන ඩොලර් ආදායම ශුද්ධ ආදායමක් නෙමෙයි. ලංකාවේ අපනයන ආදායමෙන් කොපමණ කොටසක් එම අපනයන නිපදවීම සඳහාම ආනයන වෙනුවෙන් වැය කළ යුතුද කියන එක කවුරුවත් ගණන් හදා ඇති බවක් මම දන්නේ නැහැ. මේ ප්‍රමාණය 50% පමණ හෝ ඊටත් වඩා වැඩි විය හැකියි. 

අපි 50%ක් කියලා ගනිමු. ඒ කියන්නේ මාසයකට අපනයන වලින් රටට බිලියනයක් එනවා කියා කිවුවත් ශුද්ධ වශයෙන් එන්නේ මිලියන 500ක් පමණයි. අනෙකුත් හැම දෙයක්ම ආනයනය කරන්න වැය කළ හැක්කේ මේ කොටස පමණයි.

ඔය කිවුවේ අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය ආනයන ගැන. ඊට අමතරව දේශීය නිෂ්පාදන සඳහාත් සැලකිය යුතු ආනයනික අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා නිෂ්පාදන සාධක අවශ්‍යයි. ආනයන නැත්නම් දේශීය නිෂ්පාදනයකුත් නැහැ. වී ගොවිතැන වගේ දෙයක් ගනිමු. පෝර, කෘෂි රසායන, අත්ට්‍රැක්ටර්, ගොයම් කපන යන්ත්‍ර ආදී කර්මාන්තයට අවශ්‍ය බොහෝ දේවල් ආනයනය කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, ආනයන වලින් 60%ක් පමණ වන අතරමැදි භාණ්ඩ සීමා කිරීමේ හැකියාවක් නැහැ. බැරි නැහැ. නමුත් එහෙම කරනවා හෝ කරන්න වෙනවා කියා කියන්නේ රටේ සමස්ත ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී රට ඇතැම් විට සියවස් බාගයකින් පමණ  ආපස්සට යනවා කියන එකයි.

ආයෝජන භාණ්ඩ සීමා කිරීමත් ඔය වගේම අහිතකර වුවත් කෙටිකාලීනව ආයෝජන භාණ්ඩ සීමා කිරීමක් කළ හැකියි. පරිභෝජන භාණ්ඩත් යම් තරමකින් සීමා කළ හැකියි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ආදිය නොගෙන්වා බැහැ.

ඊළඟට කරන්න යන සංසන්දනය සඳහා මම ඉහත 2021 සංඛ්‍යාලේඛණ දොළහෙන් බෙදා මාසික සාමාන්‍ය අගයයන් ඉදිරිපත් කරන්නම්.

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 320.7 

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,025.7 

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 371.9 

එකතුව  - ඩොලර් මිලියන 1,719.8 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,041.8 

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 678.0


දැන් අපට මෙම ගණන් පසුගිය (2022 මැයි) මාසයේ සංඛ්‍යාලේඛණ සමඟ සැසඳිය හැකියි. 

පරිභෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 177.1 (-44.8%)

අතරමැදි භාණ්ඩ - ඩොලර් මිලියන 1,036.1 (1.0%)

ආයෝජන භාණ්ඩ - ඩොලර් මිලියන 238.2 (-36.0%)

එකතුව  - ඩොලර් මිලියන 1,451.5 (-15.6%)

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047.3 (0.5%)

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 404.2 (-40.4%)

ආනයන සීමා කිරීමේ බලපෑම පේනවනේ. සමස්තයක් ලෙස මැයි මාසයේ ආනයන වියදම පසුගිය වසරේ සාමාන්‍ය මාසික වියදමට සාපේක්ෂව 15.6%කින් අඩු වී තිබෙනවා. අපනයන ආදායම ආසන්න වශයෙන් සමානයි. ඉතා සුළු (0.5%ක) වැඩි වීමක් පමණක් තිබෙනවා. අපනයන ආදායම් අඩු නොවී ආනයන වියදම් අඩු වීම නිසා වෙළද හිඟය 40.4%කින් අඩු වී තිබෙනවා. පවතින තත්ත්වය තුළ මේ හැම දෙයක්ම සාධනීයයි.

අපනයන වියදම් අඩු වෙලා තියෙන්නේ කොහොමද? පරිභෝජන භාණ්ඩ සඳහා යන වියදම් 44.8%කින් අඩු වෙලා. මේ වෙද්දී පරිභෝජන භාණ්ඩ කාණ්ඩය යටතේ ආනයනය කෙරෙන්නේ බොහෝ දුරට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වැනි දේ පමණයි. මේ ප්‍රමාණය මීට වඩා අඩු වෙනවා කියා කියන්නේ රටේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එකයි. දැනටම වුවත් ඖෂධ ආදිය හිඟයිනේ.

නමුත් අතරමැදි භාණ්ඩ සඳහා යන වියදම් ඒ විදිහටම තියෙනවා. ඇත්තටම සුළු වශයෙන් (1.0%කින්) වැඩි වෙලා. මේ වියදම අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙම කළා කියලා අයහපතක් මිස සිදු වන කිසිදු යහපතකුත් නැහැ. මොකද අතරමැදි භාණ්ඩ ආනයනය අඩු වෙනවා කියන්නේ අනෙක් පැත්තෙන් අපනයන ආදායම් අඩු වෙනවා කියන එක සහ දේශීය නිෂ්පාදිත අඩු වී ආනයන අවශ්‍යතා ඉහළ යනවා කියන එකයි. උදාහරණ විදිහට රෙදි ආනයනය කරන්න ඉඩ නුදුන්නොත් ඇඟලුම් අපනයනය කර ලැබෙන ඩොලර් ටික ලැබෙන්නේ නැහැ. පෝර ආනයනය නවත්තලා වී නිෂ්පාදනය පහත වැටුනොත් වෙන්නේ හාල් ආනයනය කරන්න. ඔය දෙකෙන්ම අන්තිමට වෙන්නේ වෙළඳ ශේෂය තවත් ඉහළ යන එකයි.

ආයෝජන භාණ්ඩ ආනයනය අඩු කිරීමෙන් වෙන්නෙත් ඔය ටිකම වුනත් පොඩි වෙනසකට තියෙන්නේ කෙටිකාලීනව මෙහි හානි විශාල නොවීමයි. හැබැයි ඔය වැඩේ වුනත් දිගින් දිගටම කරන්න ගියොත් වෙන්නේ අතරමැදි භාණ්ඩ ආනයන නැවතුනු විට වෙන දේම තමයි. මැයි මාසය වෙද්දී, ආයෝජන භාණ්ඩ ආනයනය 36.0%කින් අඩු වෙලා. ඒ කියන්නේ, මෙයත් අඩු කළ හැකි උපරිම සීමාවකට කිට්ටු වෙලා. 

කෙටියෙන් කිවුවොත් රටේ ජනතාවගේ ජීවන තත්ත්වයේ දැවැන්ත කඩා වැටීමක් සිදු නොවී (දැන් තත්ත්වය මාර හොඳ තත්ත්වයක් කියා හිතෙන තරමේ) ඔයිට වඩා ආනයන පාලනය කරන්න බැහැ. ආනයන වැඩි නොකර අපනයන වැඩි කරන්න හෝ දේශීය නිෂ්පාදිත ඉහළ දමන්නත් බැහැ. 

මෙතැන තියෙන්නේ අපනයන කර්මාන්ත අමතක කර දේශීය නිෂ්පාදන දියුණු කරන්න වැඩි අවධානයක් යොමු කිරීමේ ඓතිහාසික වැරැද්ද. මම කියන්නේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වැරැද්දක් කියන එක නෙමෙයි. ඕනෑම රටක ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් විය යුත්තේ එයයි. ප්‍රශ්නය කරලා තියෙන විදිහට ඒ වැඩේ සිදු නොවීමයි.

ලංකාව වගේ රටකට ආනයනික යෙදවුම් නැතිව දේශීය නිෂ්පාදිතය ඉහළ දමන්න බැහැ. කවර කර්මාන්තයක් ගත්තත් තත්ත්වය ඕකයි. රටේ පරිභෝජනය සඳහා වුවත්, ආනයන සඳහා වුවත්, ලංකාවේ හදන ඕනෑම දෙයකට සැලකිය යුතු ආනයනික යෙදවුම් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ ආනයනික යෙදවුම් සඳහා ඩොලර් අවශ්‍ය වෙනවා. මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න සැලකිය යුතු අපනයන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ඒ අපනයන ටික නිපදවන්නත් ආනයනික යෙදවුම් නැතුව බැහැ. ඒ නිසා, ආනයන වලින් රටට ශුද්ධ වශයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල පෙනෙන ගණනට වඩා ගොඩක් අඩුයි.

මේ කතාව ලංකාවේ ආනයන වලට අදාළ නැහැ. ලෝකයේ අනෙක් රටවල් වලට ලංකාවේ අපනයන තිබුණත් නැතත් මේ දේවල් හදන්න පුළුවන්. ඒ නිසා, ආනයන වෙනුවෙන් රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය සංඛ්‍යාලේඛණ වල තිබෙන ප්‍රමාණයම තමයි. මේ කරුණ සැලකුවහම ලංකාවේ සංඛ්‍යාලේඛණ අනුව ආනයන වියදම අපනයන ආදායම් මෙන් දෙගුණයක් ලෙස පෙනුණත් ඇත්තම අනුපාතය තුන් ගුණයක් හෝ හතර ගුණයක් වෙන්න පුළුවන්.

ලංකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්නනම් කළ යුත්තේ ආනයන වලට හැකි තරම් ඉඩ දෙන එක මිසක් ආනයන පාලනය කරන එක නෙමෙයි. මම මේ කියන්නේ දැන් කළ යුතු දෙයක් ගැන නෙමෙයි. දිගුකාලීනව සිදු විය යුතු දෙය. ලංකාවේ බයිසිකල් හදලා අපනයනය කරන්නේ බයිසිකල් ආනයනය කරන්න දුන් නිසා. මිනිස්සු ඇපල්, මිදි වවන්න උත්සාහ කරන්නේ ඒවා ආනයනය කරන්න ඉඩ දීමෙන් රට ඇතුළේ ඉල්ලුමක් හැදී ඇති නිසා. ආනයන නෑ කියන්නේ අපනයත් නැහැ. දේශීය නිෂ්පාදන වැඩි වෙන්නෙත් නැහැ.

වැරැද්ද ආනයන වලට ඉඩ දීම නෙමෙයි. ඩොලරයක මිල පහළින් තියලා ආනයන ඕනෑවට වඩා ලාබ කිරීම. ඩොලරයක මිල වැඩිනම් ආනයන භාණ්ඩ වෙළඳපොළේ තිබුණත් බොහෝ දෙනෙකුට මිල දී ගන්න බැරි තරමට මිල අධිකයි. අතේ සල්ලි නැති නිසා ගොඩක් අය කඩේ තියෙන බඩු දිහා බල බල යනවා. එතකොට තමයි දේශීය නිෂ්පාදකයෝ වැඩේට බහින්න පෙළඹෙන්නේ. මේ වැඩේ මාසෙකින් වෙන එකක්නම් නැහැ. 

අපි මැයි මාසයට නැවත යමු. ආනයන වියදම ඩොලර් මිලියන 1,451.5ක්, අපනයන ආදායම ඩොලර් මිලියන 1,047.3ක්. වෙළඳ හිඟය ඩොලර් මිලියන 404.2ක්. ලබන මාසයේ හෝ ඊළඟ මාසයේ ඔය වෙළඳ හිඟය නැති කරන්න පුළුවන්ද? කොහෙත්ම බැහැ. දැන් මෙය එහි සීමාවට ඇවිල්ලයි තියෙන්නේ. ඒ කියන්නේ ඔය ඉතිරි ඩොලර් මිලියන 400 වෙන ක්‍රමයකින් හොයා ගන්නම වෙනවා.

අවුරුද්දකට විතර කලින්නම් ඔය ඩොලර් ප්‍රමාණය ශ්‍රමික ප්‍රේෂණ ලෙස රටට ආවා. පසුගිය මැයි මාසයේ ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 460ක්. නමුත් මේ මැයි මාසයේ ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 304ක් පමණයි. ශ්‍රමික ප්‍රේෂණ වැඩිවන ප්‍රවණතාවක් ලොකුවට පේන්න නැහැ. හැබැයි දැනට ලැබෙන මිලියන 300 ඒ විදිහටම ලැබුණත් තව විශාල අඩුවක් නැහැ. මේ කතා කරන්නේ ණය ප්‍රශ්නය පැත්තකින් තියලා. ඒ ප්‍රශ්නය වෙනම තියෙනවා.

සංචාරකයින් යම් ප්‍රමාණයක් ආවත් අඩුපාඩුව හොයා ගන්න අමාරු නැහැ. නමුත්, විදුලිය කැපෙද්දී, ප්‍රවාහනය අඩාල වී තියෙද්දී, ජීවිත ආරක්ෂාව පිළිබඳ ගැටළු පේන්න තියෙද්දී සංචාරකයෝ ගෙන්වන එකත් ලේසි වැඩක් නෙමෙයි. ඔය ඔක්කොම හොඳ විදිහට සිදු වුනත් කෙටිකාලීනව ගෙවිය යුතු ණය පිළිබඳ ප්‍රශ්නය එහෙම්මම තියෙනවා. ඒ නිසා, IMF වැඩේ කෙරෙන තුරු ඉස්සරහට යන්නනම් අසල්වැසි රටකින් කෙටිකාලීන ණය නැතිවම බැහැ. 

9 comments:

  1. සමහර දේවල් සැලසුම් කෙරුවත්, වැඩේ නියමෙටම නොකෙරී යයි
    වැඩේට වැඩියෙන් ප්‍රචාරණේ නම් මහ ඉහළින්; ජයටම කෙරෙතියි
    පසු විපරම්, ඇගැයීම් වගේ දේ කෙරෙනවාද යනු සොයනු වටියි
    වැඩට කලින් වෙන අත යට ගනුදෙනු සේරම නියමෙට සිද්ද වෙතෙයි!

    ReplyDelete
  2. මේ යකා කියන දේවල් කරන්න ගියොත් රටට දෙයියන්ගේම පිහිටයි.

    ReplyDelete
  3. 1 ඇපල් මිදි ගෙන්වීම නතර කරල නේද
    2 ඉතින් ඔබ කියන්නෙ කොහොමකලත් දිගටම ණය ගන්න වෙනව කියනඑකද

    ReplyDelete
    Replies
    1. අඩුම වශයෙන් තව අවුරුදු 20ක්වත් යනකම් දිගටම ණය ගන්න වෙනවා. ණය ගන්නා අතර ණය ගැනීම ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න වෙනවා. අවුරුදු 75ක වැරැද්දක් ඊට වඩා ඉක්මණින් නිවැරදි කරන්න බැහැ.

      Delete
  4. මිනිස්සු මරලා ප්‍රශ්න විසදන්න පුලුවන්ද ඉකොනෝ? මොනවාද මේ කියන විකාර කතා

    ReplyDelete
  5. ලංකාව සමග ගනුදෙනු කරන රටවල් සමග පවතින වෙළඳ ශේෂ දත්ත ලබා ගන්න තැනක් තියෙනවද ඉකොනෝමැට්ටා? ලංකාවට වාසිදායක වෙළද ශේෂයක් තියෙන රටවල් මොනවද?

    ReplyDelete
  6. ජූනි මාසයේ නවතම භාණ්ඩ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2ක් වෙලා. ඒ ගැන සතුටුයි වගේ ම කණගාටුයි. ලංකා ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම ලැබුණෙ 2021 වසරේ. ආදායම ඩොලර් බිලියන 12.5යි. හැම සතියෙම අපනයනකරුවන් එක්ක ප්‍රගති සමාලෝචන රැස්වීම් තියල, අනිත් පැත්තෙන් තානාපතිල 63ක් මුණ ගැහිල අලුතින් සොයාගත් වෙළඳපොල නිසයි මේ වැඩි වීම වෙන්නෙ. කවුරු කෙසේ කීවත් බැසිල් රාජපක්ෂ රට ගොඩ නැගීම ගැන විස්වාසය තිබ්බෙ මේ තිරසාර මාර්ගය ඔස්සෙ. ඇත්තටම මීට එහා එකක් නැ. තියෙනව නම් කියන්න. ණය ටික ගෙවාගෙන, අපනයන ආදායම වැඩි කරගෙන, ස්ව ශක්තියෙන් ගමන් කරපු මාර්ගය තමා අවලස්සන ඇමරිකානුවා කියල, කපුටා කියල මේ රටේ මිනිස්සු ම විනාශ කර ගත්තෙ.

    ඉහත දිගුකාලීන සැලසුම ට්‍රැක් එකට වැටෙනකල් තමා ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් ඉල්ලගත්තෙ. පස්සෙ ඒක ඉවර වෙනකොට ම IMf ණය ලැබෙන්න තිබුණා. බලන්න කොතරම් සැලසුම්සහගත වැඩපිළිවෙළක් ද කියල. ඒක විනාශ කිරීමට ගෝඨාභයත් වගකියන්න ඕන. රිදුනෙ බැසිල්ට නෙමෙයි, රටටම. මේ මග ගියා නම් නැගිටින්න තිබුණේ අලුත්ම රටක්. ණය නැති රටක්.

    මතක තියා ගන්න IMf ගියත් අපට ලැබෙන්නෙ ඩොලර් බිලියන 3යි. අපේ ප්‍රශ්න විසඳන්න ඒක ගෑවෙන්නවත් මදි. මාස තුනක භාණ්ඩ අපනයන ආදායම. සංචාරක ගලා ඒම්, අනෙත් පැත්තෙන් IT, රෙමිටන්ස් මේ සේරම සැලසුම් කරල තිබ්බෙ 2022 ඩොලර් බිලියන 30ක් රටට එන විදියට. හැබැයි ඒ ණයත් ⁣ගෙවාගෙන (ඩි⁣ෆෝල්ට් නොවී), රටේ කීර්තියත් රැකගෙන.

    අද අපි බංකොාලොත් ලේබලය ගහගෙන. ඩොලර් බිලියන 3ක් ගන්න IMF එකේ ඕනෑම කොන්දේසියකට යටත් වෙන තැනට පත් කරලා. ලෝක බැංකුව විසින් අද නිකුත් කරල තියෙන නිවේදනයට අනුව, අපේ සාර්ව ආර්ථික ස්ථාවරය හදා ගන්න කල් මුදල් දෙන්නෙ නැහැ කියල. මේ නොකියා කියන්නෙ IMF ණය අනුමත වෙනකල් ඉන්න කියල. හැබැයි IMf ණය අපට ලැබෙන්නෙ චීනය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුනොත් විතරයි. චීනය ඒකට කැමති නැහැ කියල පැහැදිලි ව කියල තියෙද්දි තමා නන්දලාල්-සබ්‍රි-හර්ෂ ත්‍රිත්වය ඒක පාර්ශවිකව ණය නොගෙවන තීරණය අනීතික ව ගත්තෙ. ඒකට සමාජ ඉල්ලුම ඊනියා අරගලය විසින් හැදුවා. කෝ අද ණය නොගෙව්ව කියල අපට තෙල් බෙහෙත් ගන්න ඩොලර් ඉතිරි වෙලාද? නැහැ. ණය නොගෙවන තීන්දුවට පස්සෙ ලංකාවේ ව්‍යාපෘතිවලට එවපු ඩොලර් ටික පවා විදේශ රටවල් විසින් අකුල ගත්තා. ණය නොගෙවන රටකට ණය දෙන්න බැහැ. නීති විරෝධීයි.

    ඒ මොක වුනත් චීනය අකමැති නම් අපට IMf ණය දෙන්නෙත් නැහැ. හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ අපට දැන් Plan B එකක් ද නැතිවීමයි.

    මේ තත්වය පුරෝකථනය කරල තමා බැසිල් රාජපක්ෂ රට ශක්තිමත් තැනක තියාගෙන IMF යන්න ගියේ. මොකද නැත්නම් මේ අය අපේ බෙල්ලම මිරිකනවා. දැන් සිදු වෙමින් තියෙන්නෙ ඒක.

    ReplyDelete
  7. මේ දවස් වල ලන්කාව ණය ගන්නෙ නෑ නේද? එතකොට මේක බැලන්ස් වෙලා තියෙන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. කෙටි පිළිතුර ලංකාව තවමත් ණය ගන්නවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: