වෙබ් ලිපිනය:

Tuesday, July 12, 2022

ඩොලර් හිඟය ඉවරද?


ලිපියක් ලියන්නේ සති දෙකකට පමණ පසුවයි. මේ සති දෙක ලංකාවේ ගොඩක් දේවල් සිදු වුනු සති දෙකක්. ඒ දේවල් වල තවමත් කෙළවරක් නැහැ. කොහොම වුනත්, ලිපි ලියන එක මග හැරුණේ වෙනත් පෞද්ගලික හේතුවක් නිසා. හරියටම කිවුවොත් සීමිත අන්තර්ජාල පහසුකම් පමණක් ඇතිව නිවසින් බැහැරව සිටි නිසා. මේ ගැන අහපු ඇතැම් අයට පිළිතුරු දුන්නත් හැමෝටම පිළිතුරු දෙන්න ඉඩක් ලැබුණේ නැහැ. 

ලංකාවේ දේශපාලනික පරිවර්තනයක් සිදු වෙමින් පවතිනවා. එහි අවසාන ප්‍රතිඵලය දැනගන්න තවත් සතියක් පමණවත් බලා ඉන්න වෙනවා. හැබැයි මේ ප්‍රතිඵලය කුමක් වුවත් රටේ ආර්ථික තත්ත්වයේ ක්ෂණික වෙනසක් සිදු වීමේ ඉඩක් නැහැ. කවුරු බලය ලබා ගත්තත් කරන්න වෙන්නේ එකම දේවල් ටිකක්. අඩු වශයෙන් කෙටිකාලීනව.

පසුගිය සතිය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරුණු නිලධාරී මට්ටමේ සාකච්ඡා සෑහෙන දුරකට අවසන්ව තිබුණා. එහෙත්, එයින් අදහස් වුනේ ඉතා ඉක්මණින් අරමුදලෙන් සල්ලි ලැබෙනවා කියන එක නෙමෙයි. ඒ සඳහා තවත් බොහෝ දුරක් යා යුතුව තිබුණා. පවතින දේශපාලන වාතාවරණය යටතේ මේ ක්‍රියාදාමය තව දුරටත් ප්‍රමාද විය හැකියි.

ලංකාවේ ඩොලර් ප්‍රශ්නය ගැනත්, රුපියල් ප්‍රශ්නය ගැනත් මේ වන විට බොහෝ දෙනෙක් දැනුවත්. මේ ප්‍රශ්න විසඳා ගන්න බාහිර උපකාරයක් ඉතා ඉක්මණින් ලැබෙන පාටක් නැති තත්ත්වයක් යටතේ ඉතිරිව තිබෙන විකල්පය පුළුවන් විදිහකින් "අපි අපිම" ප්‍රශ්නය විසඳා ගන්න එකයි. ඇත්තටම කියනවානම් එහෙම අමුතු දෙයක් නොකළත්, කාලයත් සමඟ, වෙළඳපොළ විසින් ප්‍රශ්න විසඳනවා. 

ඩොලර් ප්‍රශ්නයට හේතු වුනේ කාලයක් තිස්සේම ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉක්මවා ඩොලර් වියදම් කිරීමයි. මේ විදිහට නූපයූ ඩොලර් වියදම් කළේ දිගින් දිගටම ඩොලර් ණයට ගැනීම මගින්. ඒ විදිහට ඩොලර් දිගින් දිගටම ණයට ගනිමින් රට ඇතුළේ අඩු මිලට විකිණීම නිසා ඩොලරයේ මිල පහළ ගිහින් රුපියල අධිප්‍රමාණය වී ආනයන ලාබ වුනා. රටේ මිනිස්සු ලාබෙට ලැබෙන ආනයන වලට හුරු වුනා. දේශීය නිෂ්පාදන කඩා වැටුණා. 

මේක රටේ විණිමය ප්‍රතිපත්තියේ වරදින් සිදු වූ දෙයක් මිස සාමාන්‍ය මිනිසුන්ගේ වරදින් සිදු වූ දෙයක් නෙමෙයි. රටේ මිනිස්සුන්ගේ අධිපරිභෝජනය ප්‍රශ්නයට හේතුවක් කියා කවුරු හරි කියනවානම් ඒ අධිපරිභෝජනය සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් මිසක් මූල හේතුව නොවන බව පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඩොලරයක් එහි නියම මිලට විකිණුනානම් අධිපරිභෝජනයක් කියා දෙයක් හෝ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. 

කොහොම වුනත්, කාලයක් තිස්සේ ලාබෙට ලැබුණු ආනයනික භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න පුරුදු වී ඉන්න ලංකාවේ මිනිස්සුන්ට එක රැයින් ඒ පුරුදු අත්හරින්න බැහැ. අවශ්‍ය ආනයන ආදේශක එක රැයින් රට ඇතුළේ හදාගන්නත් බැහැ. නමුත්, ඩොලරයේ මිල ඉහළ යද්දී ක්‍රමක්‍රමයෙන් ආනයනික භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම අඩු වී, ආනයන ආදේශක රටේ නිෂ්පාදනය වී ඩොලර් හිඟය නැති වී යා යුතුයි. රටේ ඩොලර් ප්‍රශ්නයට තිරසාර විසඳුමක් වන්නේත්, බාහිර උදවුවක් නැත්නම් එකම විසඳුම වන්නේත් එයයි.

සංඛ්‍යාලේඛණ දිහා බැලූ විට පෙනෙන්නේ මේ "වෙළඳපොළ විසඳුම" දැනටමත් අතේ දුරින් තිබෙන බවයි. මෙය පූර්ණ වෙළඳපොළ විසඳුමක් කියා මම කියන්නේ නැහැ. මේ සමතුලිතාවය පසුපස මහ බැංකුවේ හස්තය පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. එසේ වුවත්, මේ සංඛ්‍යාලේඛණ වලින් පෙන්නුම් කරන්නේ බාහිර උදවු නැතිව ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලනය කර ගැනීම නොකළ හැක්කක් නොවන බවයි.

2022 ජනවාරි 

ආනයන වියදම - ඩොලර් මිලියන 1,959

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,101

ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 259

සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 148

හිඟය - ඩොලර් මිලියන 451


2022 පෙබරවාරි 

ආනයන වියදම - ඩොලර් මිලියන 1,873

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,091

ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 205

සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 174

හිඟය - ඩොලර් මිලියන 403


2022 මාර්තු 

ආනයන වියදම - ඩොලර් මිලියන 1,819

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,057

ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 319

සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 191

හිඟය - ඩොලර් මිලියන 252


2022 අප්‍රේල් 

ආනයන වියදම - ඩොලර් මිලියන 1,699

අපනයන ආදායම - ඩොලර් මිලියන 970

ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 248

සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 113

හිඟය - ඩොලර් මිලියන 368


2022 මැයි 

ආනයන වියදම - ඩොලර් මිලියන 1,452

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,047

ශ්‍රමික ප්‍රේෂණ - ඩොලර් මිලියන 305

සංචාරක ඉපැයීම් - ඩොලර් මිලියන 58

හිඟය - ඩොලර් මිලියන 42

ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 451ක් ලෙස පැවති ඩොලර් හිඟය මැයි මාසය වන විට ඩොලර් මිලියන 42ක් දක්වා පහත වැටී තිබෙනවා. මේ අඩු වීමට ප්‍රධාන හේතුව ආනයන වියදම් පහත වැටීමයි. ආදායම් වල සැලකිය යුතු වැඩි වීමක් සිදු වී නැහැ. 

අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ මෙන්ම සංචාරක ඉපැයීම්ද තීරණය වන්නේ ලංකාවෙන් බාහිර සාධක මතයි. ඩොලර් ආදායම් වැඩි කර ගැනීම ගැන ලංකාවේ සිට කතා කරන්නට හා පුරෝකථන කරන්නට හැකි වුවත් අපේක්ෂිත පරිදි ආදායම් වැඩි කර ගැනීම සඳහා ලංකාවේ සිට කළ හැකි නිශ්චිත දෙයක් නැහැ. ශ්‍රමික ප්‍රේෂණ හෝ සංචාරකයින් බලෙන් ගෙන්වා ගන්න බැහැ. ලංකාවේ සිට කළ හැකි එකම දෙය ලැබෙන ඩොලර් ප්‍රමාණයට ගැලපෙන පරිදි වියදම් සීමා කර ගැනීමයි. මැයි මාසයේ දත්ත වලින් පෙන්වන්නේ එය කළ හැක්කක් බවයි. ඒ වගේම, මේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ඩොලරයක මිල තවදුරටත් ඉහළ යන්නට ඉඩ හැරීම අනිවාර්ය අවශ්‍යතාවයක් නොවන බවයි. 

මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යා හැකිනම් තව දුරටත් ඉතිරි වන්නේ ණය ආපසු ගෙවීමේ ප්‍රශ්නය පමණයි. සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ඉහළ ගියහොත් එසේ එකතු වන ඩොලර් ටික ණය ගෙවීම සඳහා යොදාගත හැකියි. 

වෙළඳපොළ විසින් හා මහ බැංකුවේ නියාමන ක්‍රියාමාර්ග වලින් ඩොලර් ප්‍රශ්නය විසඳෙද්දී ඉතිරි වන ඊළඟ බරපතල ප්‍රශ්නය රුපියල් ප්‍රශ්නයයි. දැනට පැහැදිලිව පෙනෙන පරිදි, පොලී අනුපාතික අවශ්‍ය පමණ ඉහළ යාමට ඉඩ හරින්නේනම් සල්ලි අච්චු නොගසා අවශ්‍ය රුපියල් ප්‍රමාණය හොයා ගැනීමද කළ නොහැක්කක් නෙමෙයි. 

13 comments:

  1. රටම ඉන්දන නැතිව නැවතිලා තියෙද්දිත් සාමාන්‍ය කාලවලට වඩා වැඩි වෙනසක් මේ සන්ක්‍යා ලේකන වල නැත්තෙ මොකද?

    ReplyDelete
    Replies
    1. රටේ ඉන්ධන හිඟයක් තිබුණත් ඉන්ධන ආනයන වියදම් වල අඩුවක් පේන්න නැහැ. මගේ අදහස ඉන්ධන ආනයන ඒකක පිරිවැය වෙනදාට වඩා ඉහළ ගොස් ඇති බවයි. උදාහරණයක් ලෙස බොරතෙල් ගෙනත් පිරිපහදු කරනු වෙනුවට පිරිපහදු කළ තෙල් ආනයනය කිරීම නිසා.

      Delete
    2. ඒකටත් වඩා මට දැනගන්න ඕන අපනයන පැත්ත එහෙම මොකද කඩන් වැටිල නැත්තෙ?

      Delete
    3. අපනයනකරුවන්ට කෙළින්ම ඩොලර් ලැබෙන නිසා ලොකු ප්‍රශ්නයක් නැහැනේ. ඔවුන්ට එම ඩොලර් වලින් අවශ්‍ය ආනයන කළ හැකියි.

      Delete
  2. ගෙත්තම ඔබේ සරලයි, කාටත් වැටහෙයි
    සිත්තම ඇත්ත කියලා පිළිගනු කැමතියි
    බලවතුන්ගෙ කෑමේ රඟ රට දැක්කයි
    තවත් නැවතිලා කන්නට යනව වගෙයි!

    ReplyDelete
  3. රටට අවශ්‍ය ප්රමාණය ට ඉන්ධන ඖෂධ ගෑස් සහ අත්යවශ්ය ආහාර නැවත ආනයනය කලොත් මේ වියදම් සැලකිය යුතු ලෙස වෙනස් වෙයි ද?

    ReplyDelete
    Replies
    1. එවැන්නක් කළ යුත්තේ වියදම් වෙනස් කර නොගනිමිනුයි. අත්‍යවශ්‍ය ආනයන වැඩි කරන්නනම් අනෙකුත් ආනයන මොනවා හෝ සීමා කරන්න වෙනවා. එසේ නැතුව ලැබෙන ඩොලර් ටිකෙන් පිරිමහගන්න බැහැ.

      Delete
  4. රටේ ප්‍රශ්න වලට හේතුව, මිනිසුන්ගේ බොරු ශෝභන බව කියලා ප්‍රශ්නය මිනිස්සුන්ටම විසි කරන්නේ නැතිව, ප්‍රතිපත්ති වල අඩුපාඩු හා ඒවා නිවැරදි කරගත යුතු ආකාරය පැහැදිලි කර තිබීම අගය කරනවා. කරුණාකර දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්තටම වැරදි කතාවක්. බොරු සෝබන කරනවද නැද්ද කියන එක පුද්ගලික තේරීමක්. බොරු සෝබන කළා කියලා ආර්ථිකයක් කඩා වැටෙන්නේ නැහැ. මෙතැන තියෙන ප්‍රශ්නය සාර්ව-ආර්ථික ප්‍රතිපත්ති හරහා බොරු සෝබන ලාබ කර දීම. ඒ හරහා සාමාන්‍ය තත්ත්වයක් යටතේ බොරු සෝබන කළ නොහැකි අයත් බොරු සෝබන කිරීමට පෙළඹෙනවා. දැන් නැති වෙන්න යන්නේ ඒ කොටසයි.

      Delete
  5. වෙළඳ ගිණුම හි පරතරය අවම වීම යහපත්. නමුත් මෙය සිදුවන්නේ අපනයන ආදායම් ඉහළ යාම පදනම් කරගෙන නොවෙයි. ආනයන වියදම් සෑම ආකාරයකින්ම කපා හැරීමට කටයුතු කිරීම තුළයි. ඹෟෂධ, ආහාර, කර්මාන්ත යෙදවුම්, ඉන්ධන, වාහන ආනයන වැනි සියල්ල සීමා කිරීම තුළයි. මේ සියල්ල ජන ජීවිත අවම මට්ටමකින් පවත්වාගැනීම සඳහා අවශ්‍ය දෑ. සාමාන්‍ය ජන ජීවිතය අහිමි කරගනිමින් වෙළඳ පරතරය පියවා ගත හැකියි තමයි.
    එසේම මෙහි ඹබ සඳහන් නොකරන දෙය තමයි අපි ලෝකයට නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙන්නෙ ණය ගෙවීම තවදුරටත් සිදු නොකරන බව. ණය ගෙවීම මේ සඳහා ඇතුළත් කළ පසු තවදුරටත් වෙළඳ පරතරය අවම වන්නේ හෝ ඩොලර් හිගය සමනය වන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අපනයන ආදායම් කිසිසේත්ම ක්ෂණිකව ඉහළ යන්නේ නැහැ. ආනයන පැවති මට්ටමින් පවත්වා ගනිමින් අපනයන ආදායම් ඒ මට්ටමට සමාන සමාන කර ගැනීම අවම වශයෙන් අවුරුදු දහයක්වත් යන වැඩක්. ක්ෂණිකව ප්‍රායෝගිකව කළ හැකි දෙය ආනයන වියදම් සීමා කිරීමයි. ජන ජීවිත අවම මට්ටමකින් පවත්වාගැනීම කියන එක සාපේක්ෂ දෙයක්. එය අවශ්‍ය කෙනෙකුට අවශ්‍ය පරිදි අර්ථ දැක්විය හැකියි. නමුත් එහෙම කළා කියලා රටට ඩොලර් එන්නේ නැහැ. කොහෙන් හෝ අතමාරු ගත්තත් එයින් අවසාන වශයෙන් වෙන්නේ ප්‍රශ්නය තවත් උග්‍ර වෙන එක පමණයි. ප්‍රායෝගික විසඳුම මේ අවම මට්ටම ශක්‍ය මට්ටමේ තබා ගැනීමයි. ණය ගෙවීම වෙළඳ ගිණුමේ හෝ ජංගම ගිණුමේ කොටසක් නෙමෙයි. ඒ නිසා වෙළඳ පරතරයට එය බලපාන්නේ නැහැ. ණය ගෙවන එක කවදාවත්ම නොකළ දෙයක්. මේ අර්බුද අවස්ථාවේ කවදාවත් නොකළ දෙයක් කරන්න බැහැ. හැමදාම කළේ ණය ගැනීමට ණය ගැනීම හා තවත් ණය ගැනීම. එය නැවත කළ හැකිනම් එයින් අදහස් වන්නේ තවත් ඩොලර් එනවා කියන එකයි. ඒ හේතුව නිසාම කොහෙන් හෝ සල්ලි ලැබුණත් (IMF වැනි) අවසාන වශයෙන් කරන්න වෙන්නේ ඉපැයීම් වලින් ලැබෙන ඩොලර් ටික පිරිමහගන්න එකයි. ලැබෙන ණය තියෙන ණය ගෙවන්න යොදවන්න වෙනවා. ණයෙන් ණය ගෙවමින් හා තවත් ණය වෙමින් පරිභෝජනය කිරීමේ ක්‍රමයට නැවත යාම සිහිනයක්.

      Delete
  6. This is a very important time period in the struggle where we need to choose path between prosperity and anarchy.

    At present, we are in the bottom of an economic crisis. The path to the economic recovery will be relied on undertaking correct economic decisions and supporting those decisions by politically.

    I am not sure that people has understood the real economic crisis that we are in. Most people are of the opinion that corruption and stealing of Rajapaksa dynasty is the single reason for the problem. Yes, it was a one but not the entire set of reasons.

    For more than decades, we had an economy that was based on foreign borrowings. While keeping the rupee appreciated against the dollar, Mahinda made borrowing easy. He started the borrowing from international sovereign bonds (ISB) for higher interest rate. During Yahapalanaya government borrowing from ISB made it climax.
    we were slowly dying.
    Then came Gotabalya. He made the death fast tracked.

    Gotabaya took many bad decisions. He is a very arrogant man. He did not to listen the expertise advises for both economic and political fronts. He did not believe on those. His stupidity and the arrogance brought his ultimate downfall. He had to fled the country disgracefully and made the history as the first and only president to do so, to date.

    Now, whoever comes to power, the choices are very limited.

    He has to cut the government expenses. He has implement the privatization of pubic enterprises such as CEB and Ceylon Petroleum. He has to increase the taxes. He has to fluctuate the rupee based on true value. These means that prices of the import items would sky rocketed. All these will be very unpopular decisions among the general mass.

    Now who will come and take these challenges.

    Definitely not JVP. They know how to criticise. They know how to define the problem while cutting the suit to their size. Only thing they don't know is answer. Once the economic structural changes happen, which is a inevitable, these JVP guys will be the first to take the streets mobilizing their working unions.


    Sajith knows this. At least his economic advisors are fully aware of the situations. However, Sajith is buying his time. He wants to have the full tenor in power. If he takes the power now and embark the path to structural modification in economic front, he would be an unpopular leader when next election comes. Perhaps, he may not survive even for next election.

    Ranil. No way. He does not have neither the parliament support nor ground support.

    What about Pohottuwa supported candidate. They have already lost the public faith. Further these people do not have the correct visionary solving this mess.

    However above economic solutions can be achieved only thorough political dedications and taking those correct decisions.

    Now back to our first question. We have to choose the road towards either prosperity or anarchy, It all depend on the decisions we have to make on structural changes on economic front.

    For those economic changes we need the political support and dedications.

    Only rational conclusion is that parliament should united forming an all party government including SJB, Pohottu, JVP and TNA

    The success is depended on how far these challenges are addressed by the existing bunch of politicians. I have no reasons to believe that these people are capable of that. But Hope keep us alive.

    ReplyDelete
  7. ඉකෝන්. දැන් ඉන්දියාව ඉන්දියානු රුපියල් වලින් ජාත්‍යන්තරව බි ස්නස් ගෙවීමට ඉඩ සලසල තියෙනවා නේද? රුසියාවේ තෙල් ටික බලා ගෙන එහෙම කලා කියල නේද කියන්නෙ. ලංකාවටත් පොඩි වාසියක් එනවා නේද . ඇමෙරිකාව මේ ඩිසිශන් එකට කැමැත්තක් නැති වෙයි නේද? ඉන්දියානු රුපියල ශක්තිමත් වීම කොයි ආකාරයෙන් ගත යුතුද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: