වෙබ් ලිපිනය:

Monday, November 27, 2023

දෙවන පිරිපහදුව චීනයට!


ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම වූ වයිටාල් සමාගම තරඟයෙන් ඉවත් වීම නිසා ඉතිරි වී තිබෙන්නේ සිනොපෙක් සමාගම පමණයි.

දැනට ශ්‍රී ලංකාව සතු එකම තෙල් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 50,000ක් වන අතර රටේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සැපිරීම සඳහා දිනකට බොරතෙල් බැරල් 110,000ක් පමණ පිරිපහදු කළ යුතු වෙනවා. ඩොලර් බිලියන 4.5ක් ආයෝජනය කොට හම්බන්තොට ඉදි කෙරෙන අලුත් පිරිපහදුවේ ධාරිතාව නිශ්චිතව නොදන්නා නමුත් එය අවම වශයෙන් බොරතෙල් බැරල් 100,000ක්. මෙහි ඉලක්කය ලංකාව තුළ බොර තෙල් පිරිපහදු කර අපනයනය කිරීම සහ නැව් වලට ඉන්ධන සැපයීමයි. 

මෙම දැවැන්ත ආයෝජනය හරහා සැලකිය යුතු විදේශ විණිමය ප්‍රමාණයක් ගලා ආවත්, එම මුදලින් වැඩි කොටසක් අදාළ ඉදි කිරීම සඳහා අවශ්‍ය ආනයන ලෙස නැවතත් චීනයටම ආපසු යාම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි. අනෙකුත් බොහෝ රටවලින් වෙනස්ව චීනය විසින් සිය ඉදිකිරීම් සඳහා අවශ්‍ය ශ්‍රමයද සිය රටින්ම රැගෙන එන නිසා ශ්‍රමයේ පංගුව ලෙස වුවද විශාල මුදලක් ඉතිරි වේයැයි අපේක්ෂා කළ නොහැකි වුවත්, කෙටිකාලීනව මෙන්ම දිගුකාලීනවද මෙම ව්‍යාපෘතිය තුළ යම් ප්‍රමාණයක හෝ ශ්‍රී ලාංකික ශ්‍රමයද යොදා ගැනෙන නිසා ශුද්ධ වශයෙන් යම් විදේශ විණිමය ගලා ඒමක් සිදු වෙනවා.

අවසාන ප්‍රතිඵලය ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාමක් සිදු වන නිසා මේ හරහා රටේ දළ දේශීය නිෂ්පාදිතය මෙන්ම ඒක පුද්ගල ආදායම කෙරෙහිද ධනාත්මක බලපෑමක් සිදු වෙනවා. ඒ වගේම, ආනයන හා අපනයන ඉහළ යාමක්ද සිදු වන අතර ආනයන අපනයන පරතරයේ සුළු හෝ අඩු වීමක්ද සිදු වෙනවා. ඒ වගේම රටේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ තුළ තරඟකාරිත්වහිද යම් හෝ වැඩිවීමක් අපේක්ෂා කළ හැකියි. 

Thursday, November 9, 2023

විදුලි බලය රජය විසින් සැපයිය යුතුද?


පෙරේදා (නොවැම්බර් 7) දින පැවැත්වුණු ඇමරිකානු මැතිවරණ අතර මේන් ප්‍රාන්තය තුළ විදුලිය සැපයීම සඳහා පොදු සමාගමක් පිහිටුවීමේ යෝජනාවක් පැවති බවත්, එම යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජය වූ බවත් මම පෙර ලිපියේ සඳහන් කළා. මෙම යෝජනාව බහුතර ඡන්දයෙන් ජය ගත්තේනම් එය ඇමරිකාවේ විදුලිබල සැපයුම් ආකෘතියේ සුවිශේෂී වෙනසක් වෙනවා. ඒ වගේම, මෙවැනි ආකෘතිමය වෙනසක් අනෙකුත් ප්‍රාන්ත වලද සිදු කිරීමට පෙළඹුමක් ඇති කරනවා.  එහෙත්, යෝජනාවට පක්ෂව ලැබුණේ ආසන්න වශයෙන් 30%ක ඡන්ද ප්‍රමාණයක් පමණයි. ඡන්දදායකයින්ගෙන් 70%ක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් නිසා යෝජනාව පරාජයට පත් වුනා. 

පාඨකයින් කිහිප දෙනෙකුම උනන්දුවක් දැක්වූ නිසාත්, ඇමරිකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය, ලාබ ඉලක්ක කරන සමාගම් හා ලාබ ඉලක්ක නොකරන සමාගම් අතර අන්තර් ක්‍රියාකාරීත්වය මෙන්ම විදුලි බල කර්මාන්තයේ ආකෘතිය යන පෙර කතා කර තිබෙන මාතෘකා තුනකටම සම්බන්ධ කරුණක් නිසාත්, මේ ගැන තව ටිකක් විස්තර ඉදිරිපත් කිරීම යම් පාඨකයින් පිරිසකට හෝ ප්‍රයෝජනවත් කියා හිතනවා.

ජනමතවිචාරණයට යොමු කෙරුණු ප්‍රශ්නය මෙයයි.

Do you want to create a new power company governed by an elected board to acquire and operate existing for-profit electricity transmission and distribution facilities in Maine?

දැනට මේන් ප්‍රාන්තය තුළ ලාබ ලැබීම ඉලක්ක කරගත් සමාගම් විසින් පාලනය කරන විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ හා බෙදා හැරීමේ පද්ධති මිල දී ගෙන  පාලනය කිරීම සඳහා මහජන ඡන්දයෙන් පත් වන පාලක මණ්ඩලයක් විසින් පාලනය කරනු ලබන පොදු සමාගමක් අලුතෙන් පිහිටවිය යුතුද?

ඇමරිකාවේ අනෙකුත් ප්‍රාන්ත වල මෙන්ම මේන් ප්‍රාන්තයේද විදුලි බලය සැපයීම කරන්නේත්, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් නඩත්තු කරන්නේත් ප්‍රධාන වශයෙන්ම ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් විසිනුයි. මෙම කර්මාන්තයේ ස්වභාවය අනුව, මුලින්ම යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරන සමාගමකට අදාළ ප්‍රදේශය තුළ විදුලි බලය සැපයීමේදී යම් ඒකාධිකාරයක් හිමි වීම නොවැලැක්විය හැකි දෙයක්. 

මේන් ප්‍රාන්තය තුළ මෙවැනි පෞද්ගලික විදුලිබල සමාගම් දෙකක් ක්‍රියාත්මකයි. ඒ අතරින් ප්‍රධානම සමාගම සෙන්ට්‍රල් මේන් පවර් සමාගම හෙවත් කෙටියෙන් CMP සමාගමයි. මෙම සමාගම 1899 වසරේදී සුළුවෙන් පටන් ගෙන පසුව ප්‍රාන්තය තුළ ව්‍යාප්ත වූ සමාගමක්. 

වර්ග සැතපුම් 35,000ක් පමණ වූ මේන් ප්‍රාන්තය ප්‍රමාණයෙන් වර්ග සැතපුම් 25,000ක් පමණ වූ ලංකාව හා සැසඳිය හැකි ප්‍රාන්තයක්. එහෙත්, කැනඩාවට මායිම්ව, ඇමරිකාවේ ඊසානදිග මායිමේ පිහිටි මෙම ප්‍රාන්තයේ ජන ඝනත්වය ලංකාවට වඩා ගොඩක් අඩුයි. මිලියන 22 ඉක්මවන ලංකාවේ ජනගහණයට සාපේක්ෂව මේන් ප්‍රාන්තයේ ජනගහණය මිලියන 1.4කටත් වඩා අඩුයි. 

කෙසේ වුවත්, ඒක පුද්ගල ආදායම වැඩි නිසා මේන් ප්‍රාන්තයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 85ක් පමණ වෙනවා. ඒ කියන්නේ, ආර්ථික අර්බුදයට පෙර ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්නව සමානයි. සාමාන්‍යයෙන් විදුලිබල ඉල්ලුම රටක හෝ ප්‍රදේශයක දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතිකයි. 

සෙන්ට්‍රල් මේන් පවර් සමාගම විසින් විදුලිබලය සපයන ප්‍රදේශය වර්ග සැතපුම් 11,000ක පමණ ප්‍රදේශයක් වුවත්, ප්‍රාන්තයේ ජනගහණයෙන් 78%ක් පමණම ජීවත් වන්නේත්, ප්‍රධාන වාණිජ හා නිෂ්පාදන මධ්‍යස්ථාන තිබෙන්නේත් එම ප්‍රදේශ තුළයි. ඔවුන් සතු පාරිභෝගික ගිණුම් ප්‍රමාණය 650,000 ඉක්මවනවා.

ලාබ ලැබීම ඉලක්ක කරගත් තවත් සමාගමක් වන වර්සන්ට් පවර් සමාගම විසින් වර්ග සැතපුම් 10,400ක ප්‍රමාණ ප්‍රදේශයකට විදුලි බලය සපයමින් පාරිභෝගික ගිණුම් 165,000ක් නඩත්තු කරනවා. ජනගහණයෙන් 17%කට පමණ විදුලි බලය සපයන්නේ මෙම සමාගමයි.

ප්‍රාන්තයේ ඉතිරි ප්‍රදේශ වලට විදුලි බලය සපයන ලාබ අරමුණු කරගත් හා නොගත් තවත් ආයතන හතක් පමණ තිබුණත් ප්‍රාන්තය තුළ විදුලිබලය බෙදා හැරීමේදී ඉදිරියෙන්ම සිටින්නේ ඉහත සඳහන් ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකයි. එම අනෙකුත් ආයතන අතරින් වැඩිම ප්‍රදේශයක් ආවරණය කරන ආයතනය සමුපකාර ආයතනයක් (Eastern Maine Electric Coop). ඔවුන් පාරිභෝගික ගිණුම් 13,000ක් පමණ නඩත්තු කරනවා. සේවා සපයන භූමි ප්‍රදේශයට සාපේක්ෂව මෙය අඩු ගිණුම් ගණනක්. එයට හේතුව ප්‍රාන්තය තුළ ජනගහණය විසිරී සිටින ආකාරයයි. 

ඇමරිකාවේ විදුලිබල කර්මාන්තය තුළ ජනනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම වෙන් කර ඇති ආකාරය පෙර ලිපි කිහිපයක විස්තර කර තිබෙනවා. ඒ නිසා, තමන්ට විදුලිය සපයන ආයතනය කුමක් වුවත් පාරිභෝගිකයින්ට විදුලිය මිල දී ගැනීමේදී තේරීම් ගණනාවක් තිබෙනවා. ඒ අනුව, CMP හෝ වර්සන්ට් සමාගම් වල යටිතල පහසුකම් හරහා සමාගම් නවයකින් විදුලිය ලබා ගත හැකියි. 

ඉහත සඳහන් කළේ මේන් ප්‍රාන්තයේ විදුලිබල සැපයුම සිදු කෙරෙන ආකෘතියයි. ජනමතවිචාරණ යෝජනාව මගින් උත්සාහ කළේ CMP හා වර්සන්ට් සමාගමේ වත්කම් මිල දී ගෙන පොදු සමාගමක් පිහිටුවීමටයි. ඒ වෙනුවෙන් මුල් තැන ගත්තේ "අවර් පවර්" සංවිධානයයි. 

"අවර් පවර්" සංවිධානයේ ප්‍රධාන විවේචනයක් වූයේ CMP හා වර්සන්ට් සමාගම් විසින් අධික විදුලි ගාස්තු අය කරමින් ලාබ උපයන බව සහ එම ලාබ ප්‍රාන්තයෙන් හා රටෙන් පිටතට ගෙන යන බවයි. මෙම විවේචන වලට යම් සහයෝගයක් ලැබෙන්නට හේතු වුණේ CMP හා වර්සන්ට් සමාගම් මෑතකදී වෙනත් සමාගම් විසින් මිල දී ගනු ලැබීමයි. 2016දී ඇවන්ග්‍රිඩ් සමාගම විසින් CMP සමාගම මිල දී ගත්තා. ඇවන්ග්‍රිඩ් සමාගමේ ප්‍රධානම කොටස් හිමිකරු ස්පාඤ්ඤ සමාගමක් වන අයිබඩ්‍රෝලා සමාගමයි. ඉන් පසුව, 2020දී කැනේඩියානු සමාගමක් වන එන්මැක්ස් සමාගම විසින් වර්සන්ට් සමාගම මිල දී ගත්තා. 

මේ අනුව, ජාතිකවාදී හා ප්‍රාදේශීයවාදී කෝණයකින් බැලූ විට ඉහත සමාගම් විසින් කරන්නේ මේන් ප්‍රාන්තයේ විදුලිබල පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා මුදල් ප්‍රාන්තයෙන් හා රටෙන් පිටට ගෙන යාමයි. අවර් පවර් සංවිධානය විසින් යෝජනා කළේ පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීම මගින් ප්‍රාන්තයෙන් හා රටින් පිටතට යන ලාබ ප්‍රාන්තය තුළ රඳවා ගෙන පාරිභෝගිකයින්ට අඩු මිලට විදුලිය ලබා දිය හැකි බවයි. ඊට අමතරව, වඩා හොඳ පාරිභෝගික සේවාවක් සපයන අතර වඩා පරිසර හිතකාමී විය හැකි බවටද ඔවුන් තර්ක කළා. 

අවර් පවර් සංවිධානයේ යෝජනාව වූයේ "පයින් ට්‍රී විදුලි සමාගම" නමින් පොදු සමාගමක් පිහිටුවා ඉහත සමාගම් දෙක සතු යටිතල පහසුකම් මිල දී ගැනීමයි. ලාබ ලැබීම අරමුණු කර නොගත් මෙම සමාගමේ පාලක මණ්ඩලය 13 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් හත් දෙනෙකු මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගැනෙනවා. ඒ, ප්‍රාන්තයේ කලාප හතක් නියෝජනය වන ලෙසයි. ඉන් පසුව, එම පාලක මණ්ඩල සාමාජිකයින් හත් දෙනා විසින් විෂය දැනුම තිබෙන විශේෂඥයින් හය දෙනෙකු පාලක මණ්ඩලයට පත් කර ගන්නවා. අලුතෙන් පිහිටුවන පයින් ට්‍රී විදුලි සමාගම පාලනය කරන්නේ 13 දෙනෙකුගෙන් සමන්විත මෙම පාලක මණ්ඩලය විසිනුයි. මේ යෝජනාවේ බැලූ බැල්මටම පෙනෙන වැරැද්දක් නැහැ. 

මෙවැනි යෝජනාවක් මැතිවරණ දිනයේදී ජනමතවිචාරණ යෝජනාවක් ලෙස ඇතුළු කිරීම සඳහා අවම අත්සන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය ඊට පෙර පැවති මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාරයා තෝරාපත් කර ගැනීම සඳහා භාවිතා කළ ඡන්ද ප්‍රමාණයෙන් 10%ක්. එම ප්‍රමාණය 67,682ක්. එහෙත්, මෙවැනි කටයුත්තකදී වලංගු අත්සන් එකතු කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක්. අත්සන් විශාල ප්‍රමාණයක් එකතු කරද්දී එකම පුද්ගලයා දෙවරක් අත්සන් කිරීම හා වලංගු ඡන්දදායකයින් නොවන අය අත්සන් කිරීම වැනි දේ නොවැලැක්විය හැකියි. ඒ නිසා, අවම වශයෙන් වලංගු අත්සන් 67,682ක් ඇති බව තහවුරු වන්නේ ඊට වඩා 20%ක් පමණ වැඩියෙන් අත්සන් එකතු කර ගත්තොත් පමණයි.

අවර් පවර් සංවිධානය විසින් අත්සන් 80,000 ඉක්මවන ප්‍රමාණයක් එකතු කර ගැනීමට සමත් වූ අතර එම අත්සන් අතර වලංගු අත්සන් 69,735ක් තිබූ බැවින් යෝජනාව ඡන්ද පත්‍රිකාවට ඇතුළු වුනා. 

මෙවැනි යෝජනාවකට ප්‍රාන්තය තුළ දැනට ක්‍රියාත්මක විදුලි සමාගම් කැමති නොවන බව අහන්නත් දෙයක් නෙමෙයි. යෝජනාවට එරෙහිව සංවිධානය වූ Maine Affordable Energy committee සහ Maine Energy Progress සංවිධාන වල ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එම සමාගම් විසින් මුදල් යෙදෙවුවා. ඔවුන්ගේ තර්කය වූයේ මෙම යෝජනාව හරහා ප්‍රාන්තය තුළ විදුලි බලය සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් වන බවයි. එමෙන්ම, මෙවැනි ආයතනයක් පිහිටුවීම නිසා විදුලි බිල ඉහළ යන බවත්, ප්‍රාන්තයේ බදු අදායම් අඩු වන බවත්, අලුත් ආයතනයට දිගින් දිගටම ණය ගෙවන්නට වෙන්නේ විදුලි පාරිභෝගිකයෙන්ගෙන් අය කර ගෙන බවත් ඔවුන්ගේ තර්කය වුනා.

යෝජනාව වෙනුවෙන්ද, බොහෝ දෙනෙකු දන්නා වාමාංශික දේශපාලනඥයෙකු වන බර්නි සැන්ඩර්ස් ඇතුළු, විවිධ කණ්ඩායම් පෙනී සිටියා. ඇත්තටම මෙම යෝජනාව අවර් පවර් සංවිධානය විසින් අතට ගන්නට පෙර ඩිමොක්‍රටික් පක්ෂයේ මහජන නියෝජිතයෙකු වන සෙත් බෙරී විසින් සිදු කර තිබුණු යෝජනාවක්. අවර් පවර් සංවිධානයට අනුව, පාරිභෝගික සමුපකාර සමිති විසින් ප්‍රාන්තය තුළ අය කරන විදුලි ගාස්තු වලට සාපේක්ෂව CMP හා වර්සන්ට් සමාගම් විසින් අය කරන ගාස්තු 49%කින් වැඩියි. එමෙන්ම, ප්‍රාන්තය තුළ වසරක් තුළ විදුලිය බිඳ වැටීම් 3.9ක් සිදු වී ඇති අතර මෙය ඇමරිකාවේ ප්‍රාන්ත අතරින් ඉහළම අගයයි. කෙසේ වුවත්, යෝජනාවට පක්ෂ කඳවුරට ආධාර ලෙස ඩොලර් මිලියන 1.2ක් එකතු වෙද්දී යෝජනාවට විරුද්ධ කඳවුර වෙත ඩොලර් මිලියන 39.9ක් එකතු වුනා.

මේ වගේ ප්‍රශ්නයක දෙපැත්තක් තිබෙන නිසා පහසුවෙන් "නිවැරදි" පිළිතුරක් හොයා ගන්න බැහැ. පිළිතුර දේශපාලනිකයි. මහජන අදහස් විමසා ඒ මත පදනම්ව තීරණයක් ගැනීම නිවැරදි වන්නේ ඒ නිසා. ස්වාධීන රාජ්‍ය ආයතනයක් වන ප්‍රාන්තයේ මහජන නීතිඥ කාර්යාලය (office of the public advocate) විසින්ද මෙම යෝජනාව පිළිබඳ අදහස් දැක්වීමක් කළා. ජනතාවට ස්වාධීනව තීරණයක් ගැනීමට ඉඩ සලසමින් තමන් විසින් මේ හා අදාළව පැත්තක් නොගන්නා බව සඳහන් කළ ඔවුන් ඔවුන්ගේ මතය අනුව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමක් කළා.

මහජන නීතිඥ කාර්යාලයේ මතය අනුව මෙවැනි පොදු සමාගමක් පිහිටුවීම නිසා ආරම්භයේදී විදුලි ගාස්තු ඉහළ යාමට නියමිත අතර දිගුකාලීනව විදුලි ගාස්තු අඩු විය හැකියි. සේවා සැපයීමේ ගුණාත්මක භාවය ඉහළ යන බව හෝ පහළ යන බව කියන්නට කිසිදු පදනමක් නැහැ. එමෙන්ම, පරිසර හිතකාමීත්වය වැඩි වන හෝ අඩුවන බව කියන්නටද පදනමක් නැහැ. 

කොහොම වුනත්, අවසාන වශයෙන් වැදගත් වන්නේ සමස්තයක් ලෙස ඡන්දදායකයින් සිතන ආකාරයයි. මේ වන විට එය එළිදරවු වී අවසන්. යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන්නේ ආසන්න වශයෙන් 30%ක් පමණයි. ඒ නිසා, මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් පිහිටුවීම සිදු වන්නේ නැහැ. 

Tuesday, November 7, 2023

අද ඇමරිකාවේ මැතිවරණ දිනයයි!


අද (නොවැම්බර් 7) ඇමරිකාවේ මැතිවරණ දිනයයි. සෑම වසරකම නොවැම්බර් 2-8 අතර සතියක කාලය තුළ එළඹෙන අඟහරුවාදා දින ඇමරිකාවේ මැතිවරණ පැවැත්වෙනවා. මෙය වෙනස් වන්නේ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරණය හා කොන්ග්‍රස් මැතිවරණ වල සිට ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ මෙන්ම ජනමතවිචාරණ විශාල ප්‍රමාණයක්ද එක වර පැවැත්වෙන්නේ මෙම මැතිවරණ දිනයේදීයි.

මේ අයුරින්, මැතිවරණ පැවැත්විය යුතු නිශ්චිත දිනයක් තිබෙන නිසා ඇමරිකාවේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව හෝ පැවැත්වෙන දිනය පිළිබඳව අවිනිශ්චිතතාවයක් නැහැ. බලයේ සිටින ආණ්ඩුවට අවශ්‍ය පරිදි මැතිවරණ පැවැත්වෙන දිනය කල් දමන්නට හෝ මැතිවරණ කලින් පවත්වන්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම, සියලුම මැතිවරණ එකම දිනයක පැවැත්වෙන නිසා වියදමත් අඩුයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ වසර හතරකට වරක් නිසා වසර හතරකට වරක් මැතිවරණ දිනය කෙරෙහි ලෝකයේම අවධානය විශාල ලෙස යොමු වෙනවා. වසර දෙකකට වරක් කොංග්‍රස් මැතිවරණ පැවැත්වෙන නිසා එම වසර වල මැතිවරණ දිනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු වෙනවා. මේ අයුරින් ප්‍රධාන ජාතික මැතිවරණ පැවැත්වෙන්නේ ඉරට්ටේ අවුරුදු වලයි. ඒ නිසා, මේ අවුරුද්ද වැනි ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ දිනය කෙරෙහි යොමු වන්නේ සාපේක්ෂව අඩු අවධානයක්. 

ප්‍රධාන ජාතික මැතිවරණ නොපැවැත්වුනත්, ඔත්තේ අවුරුදු වලදී අනෙකුත් මැතිවරණ හා ජනමතවිචාරණ දහස් ගණනක් එක වර පැවැත්වෙනවා. එමෙන්ම, හදිසි මරණයක් හෝ ඉල්ලා අස්වීමක් වැනි විශේෂ හේතුවක් නිසා කොංග්‍රස් ආසන පුරප්පාඩු වූ විට එම පුරප්පාඩු පිරවීම සඳහාද ඔත්තේ අවුරුදු වලදී මැතිවරණ පැවැත්වෙනවා.

මීට වසර කිහිපයකට පෙර අපේ පාසැල් කලාපයේ පාසැල් වල ගුණාත්මක භාවය ඉහළ නැංවීමේ අරමුණින් හොඳ ගුරුවරුන් ආකර්ෂණය කර ගත හැකි පරිදි ගුරු වැටුප් වැඩි කිරීම, සිසු-ගුරු අනුපාතය අඩු කිරීම හා අනෙකුත් පහසුකම් වැඩි කිරීම පිණිස වසර හතක කාලයක් සඳහා වසරකට 0.2275%ක අමතර දේපොළ බද්දක් පැනවීම යෝජනා වූ අතර එම යෝජනාව ජනමත විචාරණයකින් අනුමත වුනා. වසර හතක කාලය අවසන් වීම නිසා මෙම බද්ද මේ වසරේදී අහෝසි වෙනවා. ඒ නිසා, පාසැල් පවත්වාගෙන යාම සඳහා ලැබෙන අරමුදල් පහත වැටෙනවා. මේ තත්ත්වය හමුවේ තරමක වියදම් කප්පාදුවක් කිරීමෙන් අනතුරුව, ඉදිරි වසර අටක කාලය තුළ 0.1995%ක අමතර දේපොළ බද්දක් පැනවීම සඳහා අද ජනමත විචාරණයක් පැවැත්වුණා. මෙය කලින් වසර හත තුළ පැවති බදු අනුපාතයට වඩා තරමක් අඩුයි. මෙම යෝජනාව අනුමත කරමින් 70%ක පමණ ඡන්ද ලැබී තිබෙනවා.

ඇමරිකාව පුරාම ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමෙන් අද දින මෙවැනි ජනමතවිචාරණ ගණනාවක් පැවැත්වුණා. ඒ අතරින් එක් වැදගත් ජනමතවිචාරණක් වූයේ මේන් ප්‍රාන්තය තුළ පොදු විදුලි සමාගමක් ඇති කිරීම සඳහා පවත්වනු ලැබූ ජනමතවිචාරණයයි. දැනට ප්‍රාන්තයේ විදුලිබල සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධති ප්‍රධාන වශයෙන්ම අයිති ලාබ ලැබීම අරමුණු කරගත් සමාගම් දෙකකටයි. එහෙත්, මෙම සමාගම් දෙකේ සේවා සැපයීම පිළිබඳව විවිධ විවේචන එල්ල වී තිබෙනවා. ජනමතවිචාරණයෙන් යෝජනා කෙරුණේ මෙම සමාගම් සතු යටිතල පහසුකම් මිල දී ගෙන අදාළ සේවා සැපයීම සඳහා ලාබ ලැබීම ඉලක්ක නොකරන පොදු සමාගමක් පිහිටුවීමටයි. තවමත් ප්‍රතිඵල මුළුමනින්ම ප්‍රකාශයට පත්ව නැතත්, මෙම යෝජනාව පරාජය වී ඇති බව පැහැදිලියි. 70%ක් පමණම ඡන්දය දී තිබෙන්නේ යෝජනාවට විරුද්ධවයි. 

Saturday, November 4, 2023

රාජ්‍ය සේවක වැටුප්


කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි. 

මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ.

2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 956.2

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 309.1

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 40.2

එකතුව - රුපියල් බිලියන 1,305.5

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,751.1

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 74.6%


මේ ඊට පෙර වසරේ (2021) තත්ත්වය.

2021 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 845.7

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 269.8

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 37.9

එකතුව - රුපියල් බිලියන 1,153.4

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,298.0

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 88.9%

මේ අනුව, බදු ආදායම් පහළ ගොස් තිබුණු 2021 වසරේදී රජයේ සමස්ත බදු ආදායමෙන් 88.9%ක්ම වැය වී තිබුණේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. 2022දී රජය විසින් බදු ආදායම් වැඩි කර ගත් අනුපාතයෙන් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහළ නොගිය බැවින් මෙම අනුපාතය 74.6% දක්වා අඩු වී තිබෙනවා. 

මෙම (2023) වසරේදී ඉහත අනුපාතය තවත් අඩු වී තිබිය යුතුයි. පහත තිබෙන්නේ 2023 පළමු මාස හතර හා අදාළව ප්‍රකාශිත තොරතුරු. 

2022 අප්‍රේල් දක්වා රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 313.3

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 105.9

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 13.8

එකතුව - රුපියල් බිලියන 433.0

වසරේ පළමු මාස හතරේ බදු ආදායම - රුපියල් බිලියන 742.6

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 58.3%

විශ්‍රාම වැටුප් හා මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් කොටස අත හැර පසුගිය (2022) වසරේදී සේවයේ නිරතව සිටි ආරක්ෂක හමුදා නිලධාරීන්ද ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැටුප් ලෙස ගෙවූ රුපියල් බිලියන 956.2ක මුදල සැලකුවහොත් එම මුදල බෙදී ගොස් ඇත්තේ පහත පරිදියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 223.0 (23.3%)

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 96.9 (10.1%)

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - නොදනී (ආසන්නව රුපියල් බිලියන 250ක් පමණ විය යුතුයි)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 50.1 (5.2%)

වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - රුපියල් බිලියන 166.5 (17.4%)


මෙම (2023) වසරේ පළමු මාස හතර හා අදාළව පහත තොරතුරු ප්‍රකාශයට පත්ව තිබෙනවා. 

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - රුපියල් බිලියන 83.9 (27.7%)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 16.8 (5.5%)


මේ අනුව, රාජ්‍ය සේවක වැටුප් වියදම් සංයුතිය පහත පෙන්වා ඇති පරිදි සේ සැලකිය හැකියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 23.3%

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 10.1%

ජාතික හා මහජන ආරක්ෂාව හා අදාළ එකතුව - 33.4%


ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - 27.7%

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - 5.5%

අධ්‍යාපනය හා අදාළ එකතුව - 33.2%


වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - 17.4%


අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආරක්ෂාව හා අදාළ එකතුව - 84.0%

අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් - 16.0%

වැඩි තොරතුරු නැති නිසා, විශ්‍රාම වැටුප් වියදම් සංයුතියද මීට ආසන්නව සමාන සේ සැලකිය හැකියි. දළ වශයෙන් ගත්තොත් වැටුප් වියදමෙන් තුනෙන් එකක් ආරක්ෂාව, තවත් තුනෙන් එකක් අධ්‍යාපනය, හයෙන් එකක් සෞඛ්‍යය සහ හයෙන් එකක් අනෙකුත් සියළුම රාජ්‍ය සේවකයින් ලෙස සලකන්න පුළුවන්. සියලුම සංඛ්‍යාලේඛණ වල මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශය. කැමති කෙනෙක් කැමති විදිහකට විග්‍රහ කරගන්න. 

Thursday, November 2, 2023

බදු වැඩි කිරීම හා පඩි වැඩි කිරීම


මාධ්‍ය වාර්තා අනුව, වැට් බද්ද තවත් 3%කින් වැඩි කරන්න යන බවක් කියැවෙනවා. ඒ එක්කම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න යන බවකුත් කියැවෙනවා. මේවා මේ චිදිහට කෙරෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් වෙන්න ඉඩක් තියෙනවා. 

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සාධාරණීකරණය කළ හැකි යම් හේතු තියෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 0.8% දක්වා අඩු වෙලා තිබුණා. ඔක්තෝබර් මාසයේදී සුළු වැඩි වීමක් සිදු වීමෙන් පසුවද, කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.5%ක් පමණයි. හැබැයි උද්ධමනය අඩු වෙලා කියන්නේ බඩු මිල අඩු වෙලා කියන එක  නෙමෙයි. පසුගිය සැප්තැම්බර් දක්වා වසරක් තුළ 70%කින් පමණ ඉහළ ගිය බඩු මිල ඒ මට්ටමේම තිබෙනවා. 

බඩු මිල 70%ක් තරම් විශාල ලෙස ඉහළ ගියා කියන එකෙන් රටේ සියල්ලන්ගේම ජීවන තත්ත්වය අනුපාතිකව නරක අතට හැරුනා කියන එක අදහස් වෙන්නේ නැහැ. හාල්, එළවළු, මාළු මිල ඉහළ යනවා කියන්නේ ගොවීන්ගේ, ධීවරයන්ගේ ආදායමද අනුපාතිකව වැඩි වුනා කියන එක. සේවා සැපයුම් වල මිල ඉහළ යද්දී එම සේවා සපයන්නගේ ආදායම් ඉහළ යනවා. වැටුප් ලබන්නන්ගේ ආදායම් ඒ විදිහට සෘජුවම වැඩි වෙන්නේ නැතත්, අවිධිමත් රැකියා කරන්නන්ගේ වගේම පෞද්ගලික අංශයේ විධිමත් රැකියා කරන අයගේත් වැටුප් යම් තරමකින් හෝ වැඩි වී තිබෙනවා. ඒ අයගෙන් සමහර අයට විට බදු වැඩි වීමේ අවාසිය ඊට වඩා වැඩි ඇති. කොහොම වුනත් වියදම් ඉහළ යද්දී ආදායමේද කවර හෝ ගැලපීමක් වෙලා තියෙනවා.

රාජ්‍ය සේවකයින් හා අදාළව ඉහත කී ආදායම් ගැලපීම වුනේ නැහැ. මේ පදනම මත රාජ්‍ය සේවක වැටුප් වල යම් වැඩි කිරීමක් සාධාරණීකරණය කරන්න පුළුවන්. රාජ්‍ය සේවය විශාල කිරීම හා ඉන්න රාජ්‍ය සේවකයින්ගේ වැටුප් තරමක් වැඩි කිරීම කියන්නේ එකක්ම නෙමෙයි. අනෙක් පැත්තෙන් මේ යෝජනාව දේශපාලනික අරමුණක් ඇතුව ඉදිරිපත් කරන එකක් කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. 

හේතුව කුමක් වුනත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නනම් ඒ වියදම හොයා ගන්නත් වෙනවා. ප්‍රායෝගිකව මේක කරන්න වෙන්නේ බදු වැඩි කරලා. ඒ නිසා, මේ වෙන්න යන්නේ බදු තවත් වැඩි කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් කියා විග්‍රහ කරන්නත් පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩ පිළිවෙළක් ඇතුළේ මේ දේවල් මේ විදිහට වෙන්නේ ඇයි?

රටක රජයක් කොයි තරම් විශාල මට්ටමක පවත්වා ගන්නවද කියන එක ආර්ථික විද්‍යාවෙන් එහාට ගිය දේශපාලනික කරුණක්. සමාජවාදී ආර්ථික ක්‍රමය පැත්තකින් තියලා, ධනවාදී ආකෘතිය ඇතුළෙන් පමණක් බැලුවත් රජය විශාල කිරීම හා කුඩා කිරීම අතර ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශපාලනික බෙදීමක්. රජයක් විශාල වෙද්දී නාස්ති, දූෂණ, අකාර්යක්ෂමතා වැඩි වීමේ විභවයද ඉහළ යනවා. තරඟකාරිත්වය කෙරෙහි වගේම ඒ හරහා දිගුකාලීන ආර්ථික වර්ධනය කෙරෙහිත් අහිතරකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. හැබැයි රජයක් විශාල වූ පමණින්ම රාජ්‍ය මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වෙලා ලංකාවේ ඇති වුනු ආකාරයේ අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.

සාමාන්‍ය මූලධර්මයක් විදිහට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විශාල රජයක් පවත්වා ගෙන යනවා. නමුත් ඒ විශාල රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කරන්න අවශ්‍ය බදු ආදායම හොයා ගන්නවානම් රජය හෝ රට අස්ථාවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ බදු ලෙස එකතු කර ගන්න කොටස වැඩියි. අනෙක් පැත්තෙන් නවලිබරල් ලෙස හඳුන්වන දේශපාලන ප්‍රතිපත්ති හරහා ඉලක්ක කරන්නේ අඩු බදු ප්‍රමාණයකින් නඩත්තු කළ හැකි කුඩා රජයක්. ඔය දෙපැත්තෙන් කොයි පැත්තට ගියත් බදු ආදායම් හා රාජ්‍ය වියදම් ගැලපෙනවානම් ලංකාවේ වුනා වගේ අවුලක් වෙන්නේ නැහැ.

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය නැති වෙලා රටක ආර්ථිකය අවුලට යන්නේ රජයක් දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරද්දී. ලංකාවේ වුනේ ඒක. ඒ වගේ අර්බුදයකට ගියාට පස්සේ නැවත රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්නනම් එක්කෝ බදු ආදායම් වැඩි කරගන්න වෙනවා. නැත්නම් රාජ්‍ය වියදම් අඩු කරන්න වෙනවා. බොහෝ විට ඔය දෙකේ යම් මිශ්‍රණයක් තෝරා ගන්න වෙනවා. මිශ්‍රණය කුමක්ද කියන එක දේශපාලනික කරුණක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන වැඩ පිළිවෙළක ඉලක්කය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම. එතැනදී වැදගත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මිසක් කලින් කියපු මිශ්‍රණය කුමක්ද කියන එක නෙමෙයි. ආදායම් වැඩි කරගෙන වගේම වියදම් අඩු කරගෙනත් ඉලක්කයට යන්න පුළුවන්.

මේ වසරේ පළමු මාස හය සැලකුවොත් ශ්‍රී ලංකා රජය ඉලක්ක කළ බදු ආදායම් එකතු කරගෙන තිබුණේ නැහැ. නමුත්, වියදම් ප්‍රමාණය ඉලක්කයට වඩා සෑහෙන තරමකින් අඩු කර ගැනීම මගින් ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය අවශ්‍ය තරමටත් වඩා හොඳින් ළඟා කර ගත්තා. අරමුදල විසින් බදු ආදායම් ඉලක්කයක් දීලා තිබුනේ ඒ මගින් ප්‍රාථමික අයවැය හිඟය සීමා කරවන්න. බදු ආදායම ඉලක්කයට ගියේ නැතත්, අවසාන වශයෙන් රාජ්‍ය වියදම් සීමා කිරීම නිසා ප්‍රාථමික අයවැය හිඟය ප්‍රාථමික අයවැය අතිරික්තයක් වුනා. ඒ කියන්නේ අතරමැදි ඉලක්කය ලඟා කරගෙන නැතත් අවසාන ඉලක්කයට ගිහින්. 

ඉහත තත්ත්වය හමුවේ අරමුදලේ පළමු සමාලෝචනයේදී රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කර නොගැනීම ලොකු ප්‍රශ්නයක් කරගන්න හේතුවක් තිබුණේ නැහැ. නමුත් මොන හේතුවක් නිසා හෝ අරමුදල මේ ඉලක්කය මග හැරීම ගැන අනවශ්‍ය බරක් තියා තිබෙනවා. ඒ නිසා, රජයට යම් බදු වැඩි කිරීමක් කර ඉලක්කයට යන්න වෙනවා. වැට් වැඩි කරන්න යනවා ඇත්තේ ඒ නිසා.

කොහොම වුනත් රජය ආදායම් හා වියදම් තුලනය කරගෙන තිබුණු නිසා බදු වැඩි කරගෙන ආදායම් වැඩි කර ගනිද්දී තරමක් වැඩියෙන් වියදම් කරන්න අවකාශයකුත් ඇති වෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාව එනවා ඇත්තේ ඒ අවකාශය ඇතුළේ. 

යම් තරමකින් මෙහිදී වෙන්නේ ගිණුම් එහා මෙහා වීමක්. සරසවි ඇදුරන් වැනි සාපේක්ෂව ඉහළ වැටුප් ගන්න අයගේ වැටුප් ඉහළ ගියොත් එයින් කොටසක් ආදායම් බදු විදිහට නැවත රජයටම ලැබෙනවා. ආදායම් බදු නොගෙවන රාජ්‍ය සේවකයෝ සැලකුවත් වැට් වගේ බදු හරහා වැඩි කරන වැටුප් වලින් සැලකිය යුතු කොටසක් රජයට ආපහු එනවා. ඒ නිසා, මේ සැලසුම ඇතුළේ වියදම් වැඩි කර ආදායම් වැඩි කර ගැනීමකුත් තරමක් දුරට තියෙනවා. කොහොම වුනත් මුදල් සංසරණය වැඩි වීම නිසා ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකි යම් බලපෑමක් හැර මේ වැඩෙන් රාජ්‍ය මූල්‍යනයෙහි ශුද්ධ වශයෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වැදගත් කරුණ රජය මේ වගේ තැනකට තල්ලු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක.

සමහර අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව කරන විවේචනයක් වන්නේ නව ලිබරල් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක. මේ වෙලාවේ අරමුදල කරලා තියෙන දේ දිහා බැලුවොත්නම් පැහැදිලිව දැකිය හැක්කේ හරියටම අනෙක් පැත්ත. අරමුදල විසින් බදු තවත් වැඩි කර වියදම් වැඩි කරන තැනකට රජය තල්ලු කරන්නේ රජයේ ආදායම් හා වියදම් කොහොම හරි ගලපාගෙන අවශ්‍ය අවසාන ඉලක්කයට ගියාටත් පස්සේ. 

වෙබ් ලිපිනය: