වෙබ් ලිපිනය:

Friday, January 5, 2024

නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට!


පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්.

ඉහත නිල සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළෙහි සඳහන්ව තිබුණු විදේශ සංචිත ඉලක්කය වූ ඩොලර් මිලියන 4,431ට ඉතාම ආසන්නයි. මෙය උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් ලබා ගැනීම වැනි නූලෙන් මිස් වුනොත් කිසිම වැඩක් නැති ඉලක්කයක් නොවන නිසා, ඉලක්කය ලඟා කර ගැනීමක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නැහැ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෑතකදී ඇස්තමේන්තු කර තිබුණේ වසර අවසාන වන විට රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,806ක් පමණ වනු ඇති බවයි. එහෙත්, දෙසැම්බර් 14-20 අතර සතියක කාලය ඇතුළත ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආයතන වලින් ඩොලර් මිලියන 787ක මුදලක් ලැබීම නිසා මුල් සංචිත ඉලක්කය ආසන්නයට යාමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. 

කෙසේ වුවත්, දෙසැම්බර් මාසය තුළ සංචිත ඉහළ යාම ඉහත සඳහන් ඩොලර් මිලියන 787ක මුදලට වඩා වැඩි නිසා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් තවත් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගෙන තිබෙන බව පැහැදිලියි. දෙසැම්බර් මාසය තුළ ශ්‍රමික ප්‍රේෂණ මෙන්ම සංචාරක කර්මාන්තයේ ඉපැයීම්ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබීම එයට උපකාරී වන්නට ඇතැයි සිතිය හැකියි. 

මෙසේ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම හමුවේ වුවද ඩොලරයක මිල පහත වැටීම විශේෂත්වයක්. මේ සියලු කරුණු වලින් පෙනී යන්නේ වසර අවසාන වන විට ජංගම ගිණුමේ පැහැදිලි අතිරික්තයක් සටහන් වීමට නියමිතව ඇති බවයි. එය වාර්තාගත තත්ත්වයක්.

12 comments:

  1. කුමාරස්වාමි මහාචාර්‍ය ලක්ශමන් හට මහ බැංකුව භාර දෙන වෙලාවේ ඩොලර් බිලියන 7.5 ක විදේශ සංචිත තිබ්බා. ( මේවාත් ණය අරං එකතු කල බව හැබෑව.)

    ඒත් කබ්රාල්, පීබී, ලක්ශමන් තුන් කට්ටුව එකතුවෙලා ඩොලර් එක අවප්‍රමාණය කරලා තියා ගන්න මේ සංචිත ටික ඔක්කොම හින්දලා දැම්මා. අන්තිමට ඉතිරි වෙලා තිබ්බ මිලියන 500 ත් සෛවෛරී බැදුම් කර වලට ගෙවලා දැම්මා. නිසි වෙලාවට අයිඑමෙෆ් නොගිය එකත්, නිසි වෙලාවට බංකොලොත් බව ප්‍රකාශ නොකීරීමත් මගින් ලංකාවේ ආර්ථික මිණීපෙට්ටියේ අවසාන ඇණයත් ඔවුන් ගැසුවා.

    අන්තිමට තෙල් නැවකට ගෙවා ගන්නවත් සල්ලි නැතිව මිනිස්සු පෙට්‍රල් පෝලිම් වල මැරෙන්න ගත්තා. ජෙනරේටර් දුවා ගන්න බැරුව ලයිට් නැති උනා. ගෑස් බාල කරලා ගෙවල් වල ගෑස් පිපිරෙන්න ගත්තා..

    මෙච්චර දරුණුවට වැටෙන්නෙ නෑ...කුමාරස්වාමි එකතු කරලා තිබ්බ බිලියන 7.5 සාක්කුවෙ තියං අයිඑමෙෆ් එකට ගිහිල්ලා ණය ටික බේරා ගත්තා නම්....

    -Mayya

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම. මෙච්චර නෙමෙයි කොහොමටවත් වැටෙන්නේ නැහැ. මුලදීම IMF ගිහින්, ඩොලර් එක නිදහස් කළානම් රුපියල් 240-275 අතර මට්ටමක නවතිනවා. ලොකුවට උද්ධමන ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් නැහැ.

      Delete
    2. හැබැයි ඉකෝන් මට තව දෙයක් හිතෙනවා...

      මෙච්චර දරුණුවට පස්ස බිම ඇණුනු හින්දා තමයි ..ලංකාවේ රජයට විකල්ප නැති උනේ..ඒ කියන්නේ නිදහසින් පස්සෙ ඉදලා ලංකා ආර්ථිකයේ තියෙන ආකෘතිමය විරූපය ( ආදායමට වඩා වියදම වැඩි වීම, ඩොලර් එක හිර කරන් තියන් ඉදීම) නිවැරදි කිරීමට මිනිස්සු කැමති උනත් නැති උනත් සිද්ද වෙලා තියෙන්නෙ... මෙකේන් අපිට සඩ්න් ඩෙත් එකක් ලැබුනේ...

      අර විදිහට හිරවෙන්න කලින් අයිඑමෙෆ් එකට ගියා නම් ඉතිහාසය පුරාම අපි කරලා තියෙනවා වගේ ගිලේන්න යන කොට යන්තං ඔලුව උඩට අරං හුස්ම ටිකක් ගන්නවා..ආයේත් පරණ් වැරදිම කරනවා...කොහොමත් ස්ලොව්ලි ඩයින්....මැරෙනකම්ම දන්නේ නෑ.-Mayya

      Delete
    3. ඔව්. අනිවාර්යයෙන්ම. ඒ අතින් වෙස් වලාගත් ආශීර්වාදයක්. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ ඔය වගේ "වෙස් වලාගත් ආශීර්වාද" නැවත නැවත එන්න පුළුවන් වීමයි.

      Delete
    4. හා හා.....ගොඨා 1, 2, 3 වශයෙන්.....

      - Mayya

      Delete
    5. රනිල් ගේ වැඩ පිළිවෙල හොඳයි කියන අදහස මේකෙන් එන්නේ නැත්ද? සංචිතය නංවා ගැනීමම එයාගේ ජයක් වගේ පේන්නේ නැත්ද මෙතන.

      Delete
    6. සංචිත නංවා ගැනීමේ වැඩපිලිවෙලට වැඩියෙන්ම් දායක උනේ වර්තමාන මහබැංකු අධිපති නන්දලාල් මහත්තයා කියලා මට නම් හිතෙන්නේ...එයා ඕනා ප්‍රොවෙශන්ල් කෙනෙක් කරන්න ඕනා වැඩේ කලා..කට්ටියට මුල මතකයි නම් නන්දලාල් ගැන ලොකු පැහැදීමක් රනිල්ට තිබ්බෙ නෑ... නමුත් එයාව රනිල්ට අයින් කරන්නත් බෑ....කොහොම හරි නන්දලාල්ගේ කාලය ඉවර උනාට පස්සෙ රනිල් එයාගේ කාලය දීර්ඝ කලා...

      කුමාරස්වාමී වගේම නන්දලාල් ටත් දේශපාලන ඇගිලි ගැහිම් වලින් තොරව වැඩ කර ගෙන යන්න දුන්න නිසා ඒගොල්ලො දෙන්නම හරි වැඩේ කලා..ඕන නම් ඒ ක්‍රෙඩිට් එක රනිල්ට දෙන්න පුලුවන්...

      - Mayya

      Delete
    7. රටේ විදේශ විණිමය ප්‍රතිපත්තිය මහ බැංකුවේ වගකීමක්. සංචිත ගොඩ නගා ගැනීම එහි කොටසක්. එයට රජයේ සෘජු සම්බන්ධයක් නැහැ. ඒ නිසා, මෙය මූලික වශයෙන්ම බැංකුව පැත්තෙන් වූ දෙයක් වුවත් එය කොහොමටත් මහ බැංකුවේ රස්සාව. කෙනෙක් තමන්ගේ රස්සාව හරියට කිරීම අමුතුවෙන් අගය කළ යුතු දෙයක් නොවුනත්, ලංකාවේ සන්දර්භයේදී එය අගය කරන එකේ ලොකු වැරැද්දක් නැහැ. ඒ අර්ථයෙන්ම, රජය පැත්තෙන් එයට බාධා නොකර ඉඩ සැලසීමත් අගය කළ යුතුයි. ඊට අමතරව, ලෝක බැංකු හා ADB අරමුදල් හොයා ගැනීම සහ එසේ ලැබුණු විදේශ විණිමය සංචිත වලට එකතු කර ගැනීම සඳහා පහසුකම් සැලසීම රජය පැත්තෙන් වූ දෙයක්. රජය විසින් ගත්ත සල්ලි හිතුමතේ වැය කළානම් (අදාළ කොනේදේසි අනුව එසේ කළ නොහැකි වුනත්), රජයේ මූල්‍ය පාලනය හොඳ මට්ටමක නොතිබුණානම්, සංචිත වැඩි වෙන්නේ නැහැ.

      Delete
  2. ඉකෝන් පෝස්ට් දාන වේගේට පොස්ටුත් මිස් වෙනවා... බ්ලොග් වල උසේන් බොල්ට් තමයි ඉකොන්...:)) වේගය සහ කොලිටිය උපරිමයි

    - Mayya

    ReplyDelete
  3. හරවත් පෝස්ටුව හා අදහස් අස්සේ
    මොනවා ලියන්නද, මං එනවා පස්සේ

    ReplyDelete
  4. මං පහුගිය අවුරුද්දෙම ගෙවන්න තිබුණු ණය ගෙව්වෙ නෑ. තවත් කීපදෙනෙක්ගෙන් ණය ගත්තා. දැන් මගෙ මුදල් සංචිතය සැලකිය යුතු මට්ටමකින් ඉහල ගිහින්. 😂😂😂. මේවට කියන්නෙ pakenomics කියලා. 😂😂😂.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: