වෙබ් ලිපිනය:

Tuesday, January 2, 2024

වැට් බද්ද හා බඩු මිල


වැට් (VAT) ලෙස කෙටි කර තිබෙන ඉංග්‍රීසි වචනයේ තේරුම එකතු කළ අගය මත බද්ද කියන එක. ඒ නිසා, වැට් බද්ද කියද්දී දෙපාරක්ම බද්ද කියා කියවෙනවා. කොහොම වුනත් සිංහල භාෂාවේ ඔය වගේ යෙදුම් තියෙන නිසා අපි වැට් බද්ද ලෙසම මේ බද්ද හඳුන්වමු.

තේරුමෙන්ම කියැවෙන පරිදි මේ බද්ද එකතු කළ අගය මත අය කරන බද්දක්. එකතු කළ අගය කියන්නේ කිසියම් භාණ්ඩයක හෝ සේවාවක විකිණුම් මිල සහ එහි යෙදවුම් පිරිවැය අතර වෙනස. මේ කොටස මත අදාළ බද්ද රජයට ගෙවන්නේ භාණ්ඩ හා/හෝ සේවා නිෂ්පාදකයා විසින්. මෙහිදී අතරමැදියන්ද සලකා තිබෙන්නේ අගය එකතු කිරීමක් කරන සේවා නිෂ්පාදකයින් ලෙසයි. 

හැබැයි මෙහෙම කිවුවත්, ඇත්තටම බද්දේ බර දරන්නේ පාරිභෝගිකයා විසින්. නිෂ්පාදකයා විසින් කරන්නේ පාරිභෝගිකයාගෙන් එම බද්ද අය කරලා රජයට දෙන එක. 

වැට් බද්ද එන්න කලින් තිබුණු පිරිවැටුම් බදු ක්‍රමයේදීත් බද්ද අය කළේ භාණ්ඩයක් හෝ සේවාවක් විකුණද්දී එහි විකිණුම් මිලෙන් ප්‍රතිශතයක් විදිහටයි. ඒ ක්‍රමයේ තිබෙන ප්‍රශ්නය එකම භාණ්ඩය හෝ සේවාව මත අදියර කිහිපයකදී නැවත නැවත බදු ගෙවන්නට සිදු වීම. සාමාන්‍ය මූලධර්මයක් විදිහට වැට් බදු ක්‍රමයේදී මේ වැඩේ වෙන්නේ නැහැ. වැට් බද්දේ මූලධර්ම අනුව, භාණ්ඩයක් හෝ සේවාවක් අවසන් පාරිභෝගිකයා විසින් මිල දී ගන්නා මිලේ ප්‍රතිශතයක් පමණයි අවසාන වශයෙන් රජයට බදු සේ එකතු වෙන්නේ. ඊට කලින් අදියර වලදී අය කෙරෙන වැට් බදු රජය විසින් ආපසු ගෙවනවා. 

හරියටම කිවුවොත්, කිසියම් නිෂ්පාදකයෙකු විසින් දරනු ලැබූ යෙදවුම් පිරිවැය සඳහා ගෙවූ වැට් බදු කොටස ආපසු ලැබෙනවා. ඒ නිසා, නිෂ්පාදකයෙක් විසින් අවසාන වශයෙන් කරන්නේ තමන් විසින් එකතු කළ අගය මත පමණක් බදු ගෙවන එක. ගෙවන එක කිවුවත් අවසන් පාරිභෝගිකයාගෙන් සෘජුව හෝ වක්‍රව රජයට එකතු කරලා දෙන එක. 

රටක දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ ඒ රටේ නිපදවන සියලුම භාණ්ඩ හා සේවා වල වෙළදපොළ වටිනාකම. මේ සියලුම භාණ්ඩ හා සේවාවන් මත එකම අනුපාතයකින් වැට් බදු අය කරනවානම් රජයේ වැට් බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සමානුපාතික විය යුතුයි. දළ දේශීය නිෂ්පාදිතය කියා කියන්නේ එක් එක් නිෂ්පාදකයා විසින් සිදු කළ අගය එකතු කිරීම් වල එකතුවද වන නිසා එය එසේ විය යුතුයිනේ. එහෙත් විවිධ බදු නිදහස් කිරීම් නිසා ප්‍රායෝගිකව මෙය මෙලෙසම වෙන්නේ නැහැ. 

දළ දේශීය නිෂ්පාදිතය තුළ අදියරෙන් අදියර අගය එකතු කිරීම් වන පරිදිම ඊට සමානුපාතිකව වැට් බදුද එකතු වෙනවා. මෙය මූලික නිෂ්පාදන වල සිට අවසන් පාරිභෝගිකයා දක්වා එන දාමයක්. එය මෙවැන්නක් විය හැකියි.

මොරකැටියේ කෙසෙල් ගොවියා -> ඇඹිලිපිටියේ කෙසෙල් එකතු කර කොළඹට ප්‍රවාහනය කරන්නා -> පිටකොටුවේ තොග වෙළෙන්දා -> හෝමාගම සිල්ලර වෙළෙන්දා -> පනාගොඩ පාරිභෝගිකයා 

පහසුව සඳහා අපි අගය එකතු වීමේ අදියර තුනක් සලකමු.

නිෂ්පාදකයා -> තොග වෙළෙන්දා -> සිල්ලර වෙළෙන්දා -> පාරිභෝගිකයා 


මේ එක් එක් අදියරේදී අගය එකතු වීම මේ විදිහට කියා හිතමු.

ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑමයක නිෂ්පාදකයාට ලැබෙන මිල - රුපියල් 100

තොග වෙළෙන්දාගෙන් සිල්ලර වෙළෙන්දාට ලැබෙන මිල - රුපියල් 150

පාරිභෝගිකයාට ලැබෙන මිල - රුපියල් 200

මෙහිදී නිෂ්පාදකයා විසින් රුපියල් 100ක අගය එකතු කිරීමක් කරන අතර තොග වෙළෙන්දා විසින් රුපියල් 50ක අගය එකතු කිරීමක්ද, සිල්ලර වෙළෙන්දා විසින් තවත් රුපියල් 50ක අගය එකතු කිරීමක්ද කරනවා. ඒ අනුව, පාරිභෝගිකයාට රුපියල් 200ක් ගෙවන්නට සිදු වෙනවා. 

දැන් මේ සියලු දෙනාටම 20%ක වැට් බද්දක් ගෙවන්නට සිදු වුනොත් වෙන්නේ කුමක්ද?

නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් රුපියල් 120ක් (100 + 20) අය කර එයින් රුපියල් 20ක් රජයට ගෙවනවා. ඒ අනුව, නිෂ්පාදකයා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 100 නිෂ්පාදකයාට ලැබෙනවා.

තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 180ක් (150 + 30) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවන අතර තොග වෙළෙන්දා විසින් නිෂ්පාදකයාට ගෙවූ රුපියල් 20ක වැට් බද්ද තොග වෙළෙන්දාට රජයෙන් ආපසු ලැබෙනවා. ඒ අනුව, තොග වෙළෙන්දා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 50 තොග වෙළෙන්දාට ලැබෙනවා. 

සිල්ලර වෙළෙන්දා විසින් පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අය කර එයින් රුපියල් 40ක් රජයට ගෙවන අතර සිල්ලර වෙළෙන්දා විසින් තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30ක වැට් බද්ද සිල්ලර වෙළෙන්දාට රජයෙන් ආපසු ලැබෙනවා. ඒ අනුව, සිල්ලර වෙළෙන්දා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 50 සිල්ලර වෙළෙන්දාට ලැබෙනවා. 

අවසාන වශයෙන් රුපියල් 40ක මුළු බදු මුදලම ගෙවා තිබෙන්නේ පාරිභෝගිකයා විසින්. එයින් රුපියල් 20ක් නිෂ්පාදකයා විසින්ද, රුපියල් 10ක් තොග වෙළෙන්දා විසින්ද, තවත් රුපියල් 10ක් සිල්ලර වෙළෙන්දා විසින්ද රජයට එකතු කර දී තිබෙනවා.

කෙසේ වුවත්, සියලුම නිෂ්පාදකයින් (සේවා නිෂ්පාදකයින්ද ඇතුළුව) වැට් බදු සඳහා ලියා පදිංචි වූවන් නොවන නිසා ප්‍රායෝගිකව මේ වැඩේ මේ විදිහටම වෙන්නේ නැහැ. වැට් බදු ආපසු ලැබෙන්නේ වැට් බදු සඳහා ලියා පදිංචි වූ අයට පමණයි. එසේ නොකළ අයට වැට් බදු අය කරන්නත් බැහැ. 

දැන් මෙහි නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මෙහිදී නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් අය කරන්නේ රුපියල් 100ක් පමණයි. එහෙත් තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන්, කලින් මෙන්ම, රුපියල් 180ක් (150 +30) අය කරනවා. එසේ අය කර රජයට රුපියල් 30ක් ගෙවනවා. සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අයකර රුපියල් 40 රජයට ගෙවන අතර තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30 ආපසු ලබා ගන්නවා.

මෙහිදී පාරිභෝගිකයා විසින් ගෙවූ බදු මුදල වෙනස් වන්නේ නැහැ. රජයට ලැබෙන බදු ආදායම වෙනස් වන්නේද නැහැ. සිදුවන එකම වෙනස රජයට බදු එකතු වන ආකාරය වෙනස් වීම පමණයි. කලින් නිෂ්පාදකයා විසින් රජයට එකතු කර දුන් රුපියල් 20ත් දැන් රජයට එකතු කර දෙන්නේ තොග වෙළෙන්දා විසින්. 

තොග වෙළෙන්දාත් වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මෙහිදී තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 150ක් අය කරන අතර සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අය කරනවා. එම රුපියල් 40 රජයට ගෙවනවා. රජයට ලැබෙන බදු ආදායමේ හෝ පාරිභෝගිකයාට ගෙවන්නට වන මිලේ කිසිදු වෙනසක් නැහැ.

මෙයින් පැහැදිලි වන පරිදි, අවසන් වශයෙන් භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයාට විකුණන අවස්ථාවේදී වැට් බදු අය කෙරේනම් ඊට පෙර අදියර වලදී එම බදු අය කළත් නොකළත් ප්‍රතිඵලය එකයි. 

එහෙත් අවසන් අදියරේ සේවා නිෂ්පාදකයා, ඒ කියන්නේ මේ නිදර්ශනයේ සිල්ලර වෙළෙන්දා, වැට් සඳහා ලියා පදිංචි වී නැත්නම් එම අදියරේදී අගය එකතු කිරීම මත බදු එකතු වන්නේ නැහැ. මෙහිදී අප විසින් සලකා බලන්නේ සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැතත්, තොග වෙළෙන්දා එසේ ලියාපදිංචි වී ඇති තත්ත්වයයි. නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වී සිටීම හෝ නොසිටීම අවසාන ප්‍රතිඵලය කෙරෙහි එතරම් වැදගත් නැහැ.

මෙහිදී තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් රුපියල් 180ක් (150 + 30) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවනවා. (නිෂ්පාදකයාට වැට් බදු ගෙවා ඇත්නම් එම මුදල රජයෙන් ආපසු ලබා ගන්නවා.) නමුත් සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැති නිසා තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30ක වැට් බද්ද රජයෙන් ආපසු ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එම මුදල සිල්ලර වෙළෙන්දාගේ පිරිවැයට එකතු වී එම පිරිවැය රුපියල් 180ක් වෙනවා. ඒ මත රුපියල් 50ක අගය එකතු කිරීමකින් පසුව පාරිභෝගිකයාගේ මිල රුපියල් 230ක් වෙනවා.

මෙහිදී පාරිභෝගිකයාගෙන් සෘජුව වැට් බද්දක් අය නොකළත්, පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මිල රුපියල් 30කින් වැඩි වෙලා. ඒ රුපියල් 30 තොග වෙළෙන්දා විසින් සිල්ලර වෙළෙන්දාගෙන් අය කර රජයට ගෙවූ රුපියල් 30ක වැට් බදු මුදලයි. පාරිභෝගිකයින් විසින් සෘජුව වැට් බදු නොගෙවන බොහෝ අවස්ථා වලදී මේ ආකාරයෙන් එම බද්දෙන් කොටසක් වක්‍ර ලෙස පාරිභෝගිකයාගේ මිලට එකතු වී තිබෙන්න පුළුවන්. ඒ සැපයුම් දාමයේ මුල් අදියර වලදී අය කර තිබෙන වැට් බදු. මේ අනුව, මෙහිදීද අවසන් වශයෙන් බදු බර පාරිභෝගිකයා මතයි.

නිෂ්පාදකයා හා සිල්ලර වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී සිටියදී තොග වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී නැත්නම් වෙන්නේ කුමක්ද?

මේ අවස්ථාවේදී නිෂ්පාදකයා විසින් තොග වෙළෙන්දාගෙන් රුපියල් 120ක් (100 + 20) අය කර එයින් රුපියල් 20ක් රජයට ගෙවනවා. නමුත් තොග වෙළෙන්දාට ගෙවූ වැට් බදු මුදල රජයෙන් ආපසු ලබාගත නොහැකි නිසා එම මුදල තොග වෙළෙන්දාගේ පිරිවැයට එකතු වෙනවා. එම රුපියල් 120ක මුදලට රුපියල් 50ක අගය එකතු කිරීමක් කිරීමෙන් පසුව සිල්ලර වෙළෙන්දාට විකුණන්නේ රුපියල් 170ක මුදලකටයි. සිල්ලර වෙළෙන්දා එයට තවත් රුපියල් 50ක අගය එකතු කිරීමක් කිරීමෙන් පසුව පාරිභෝගිකයාගේ මිල රුපියල් 220 දක්වා ඉහළ යන අතර වැට් බදු මුදලද එයට එකතු වූ පසු පාරිභෝගිකයාට රුපියල් 264ක් (220 + 44) ගෙවන්නට සිදු වෙනවා. 

තොග වෙළෙන්දා වැට් සඳහා ලියාපදිංචි වී සිටියේනම් පාරිභෝගිකයාට වැය වන්නේ රුපියල් 240ක මුදලක් පමණයි. දැන් එය රුපියල් 24කින් වැඩි වෙලා. රජයට ලැබුණු වැට් ආදායම රුපියල් 64ක් වෙලා. මෙයට හේතුව නිෂ්පාදකයාගේ රුපියල් 100ක අගය එකතු කිරීම මත දෙවරක් වැට් බදු අය වනවාට අමතරව එම වැට් බද්ද මතද නැවත වරක් වැට් බදු ගෙවන්නට පාරිභෝගිකයාට සිදු වීමයි. මෙයින් කොටසක් සෘජුවත් (රුපියල් 44ක්) තවත් කොටසක් වක්‍ර ලෙසත් (රුපියල් 20ක්) පාරිභෝගිකයාට ගෙවන්නට සිදු වෙනවා. 

සැපයුම් දාමයේ මුල් කොටසේදී වැට් බදු අය වී මැදදී එය ඛණ්ඩනය වූ විට ඉහත තත්ත්වය ඇති විය හැකියි. ප්‍රායෝගිකව සැපයුම් දාම මෙහි උදාහරණයට වඩා දිගු හා සංකීර්ණ නිසා බොහෝ අවස්ථා වලදී මෙවැන්නක් සිදු විය හැකියි. වැඩි ගනුදෙනු ප්‍රමාණයක් මත වැට් අය කෙරෙන තරමට මේ විකෘතිය සීමා වෙනවා.

12 comments:

  1. කොටල කොටල මිරිකල ගත්තත් ඉස්ම
    බෙහෙතට නොදා ඉන්නව නං පලය කිම
    මොන-මොන නමෙන් කෙරුවත් බදු අය කෙරුම
    නිසි විදිහටම සිදු වෙනවද වැය කෙරුම?

    ReplyDelete
  2. වේලාවක් ලැබුනොත් මේ ගැනත් ලිපියක් පලකරන්න කියා ඉල්ලමි
    https://www.ft.lk/top-story/Entrepreneurs-rip-into-CBSL-Governor-over-refusal-to-amend-Parate-Law/26-756953

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා ලංකාවේ නව අයි එම් එෆ් වැඩසටහනේ මූලික කොන්දේසි ප්‍රකාරව කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ නව වසරේ මූල්‍ය ප්‍රතිපත්තිය අනුව 2024 ජනවාරි 01 වෙනිදා වෙනකොට වයස 18 ට වැඩි සියලුම පුරවැසියන් Tax file එකක් open කළ යුතුයි.

    රජය කියන විදියට tax file එකක් open වුනු පමණින් tax ගෙවන්න ඕනම නැති බවත් ඒකට බදු අය වන ආදායමක් (Taxable Income) තියෙන්න ඕන බවත් අවුරුද්දට 1,200,000 ක ආදායම ඉක්මවා යන කෙනෙක්ට බදු ගෙවන්න සිද්ධ වෙන බවත් දැනට සිද්ධ වෙන්නේ 18 ට වැඩි අය බදු සදහා registration එකක් මිසක් 18 ට වැඩි හැමෝම බද්දක් ගෙවන්න ඕන කියන එක නෙවෙයි කියලයි රජය කියන්නේ, මේ කියන කතාව ඇත්තද?

    රජය කියන විදියට TIN - Tax Identification Number (බදු හඳුනාගැනීමේ අංකයක්) දෙන නමුත් Register උනා කියල අනිවාර්යයෙන්ම බදු ගෙවන්න ඕන නෑලු. මේකට register වෙන්න පුළුවන් online.

    මේ සඳහා www.ird.gov.lk website එකෙන් ලියාපදිංචි විය යුතුයි. මේක ලංකාවේ රජයේ ආයතනයක් නිසා ඔන්ලයින් ලියාපදිංචිය සෑහෙන කට්ටක් කන්න වෙයි, ගොඩක් අය මේක වැඩ නෑ කියලා බනින නමුත් සති දෙක තුනක් නොකඩවා උත්සාහ කළෝත් කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. අයිටී පැත්ත ගැන හොඳට දන්න කියන අයගෙන් උපදෙස් අරගත්තොත් ෂේප්.

    Registration එක වගේම Payments, Returns submit වගේ දේවල් දැන් online කරගන්න බැරිනම් ළඟම තියන දේශීය ආදායම් බදු කාර්යාලයට ගිහින් කරගන්නත් පුළුවන් වෙයි හැබැයි රස්තියාදු වෙන්නවෙයි.

    රජය තීරණය කර ඇති පරිදි ලංකාවේ නේවාසිකයෙක් විදියට සලකන හැම කෙනෙක්ම, ඒ කියන්නේ ලංකාවේ වසරකින් දවස් 183 ට වඩා වැඩි කාලයක් ඉන්නවනම් ඔයා නේවාසිකයෙක් විදියට තමයි සලකන්නේ.

    ඊට වඩා අඩුවෙන් ඉන්නවනම් අනේවාසිකයෙක් (Non Resident) විදියට තමයි Tax වලදි සලකන්නේ.
    මේක මං මෙතනදි කීවෙ පොඩි හේතුවක් නිසා.

    ඒ තමයි, ඔයා නේවාසිකයෙක් නම්, ඔයා ලංකාවෙ උපයන ආදායම් විතරක් නෙවෙයි ඔයා වෙනත් රටවල් වලින් ආදායම් උපයන කෙනෙක් නම්,ඔයා අනිවාර්යයෙන්ම tax ගෙවිය යුතුයි. නමුත් අනේවාසිකනම් විතරයි ඔයා ලංකාවේ උපයන ආදායමට විතරක් tax ගෙවිය හැකි වෙන්නේ. විදේශ රටවල සේවය කරන දවස් 183 කට වැඩිය කාලයක් පිටරට ඉඳගෙන වැඩ කරමින් විදේශ මුදලින් වැටුප් ලබන කෙනෙක්ට ලංකාව ඇතුලතින් දැනට ලැබෙන ආදායම අනුව පමණක් ටැක්ස් ගෙවන්න ඕන අනිත් ආදායම දැනට තාවකාලිකව බදුවලින් නිදහස්.

    දැනට නැතත් ඉදිරියේ විදේශ රැකියා වලින් ඒ රටේදී ලැබෙන ආදායමෙනුත් ලංකාවට බදු මුදල් අයකිරීම් සහ ද්විත්ව පුරවැසිභාවය ඇති අයට ඒ රටේ ආදායමට අනුව ලංකාවේ රජයටත් බද්දක් පැනවීම ගැන ගැඹුරින් සාකච්ඡාවට භාජනය වන බව කියනවා නමුත් මේකට තව අවුරුද්දක් වත් යයි.

    ඔයා ලංකාවේ ඉඳගෙන අවුරුද්දකට 1,200,000ට වඩා ආදායමක් උපයනවනම් මේ ඔක්කොටම tax ගෙවිය යුතු නැහැ.මේකෙන් යම් තරමකට අඩු කිරීම් කරන්න ඉඩ දෙනවා.

    ♦️කුලී ආදායම් වලින් යම් සුළු අඩු කිරීමක්
    ♦️ගෙදර solar panel එකක් තියනවනම් උපරිම 600,000ක් දක්වා එක වසරකදී once in lifetime සහනයක්
    ♦️ලංකාවෙ අනුමත පුණ්‍ය ආයතනවලට කල පරිත්‍යාග සඳහා සීමිත සීමාවක් දක්වා බදුසහන

    මීට අමතරව මේක තව අඩු කරගන්න පුළුවන් වෙයි Tax consultants & advisors ලගෙන් සහය අරන්.

    මෙහෙම සුළු අඩු කිරීම් කීපයක් කලාට පස්සෙ ඉතිරි වෙන වාර්ෂික ආදායම් මුදලෙන් 1,200,000 ක් දක්වා බද්දෙත් නිදහස් වගේම

    ඉතිරි,

    ♦️පළවෙනි 500,000 - 6%
    ♦️දෙවෙනි 500,000 - 12%
    ♦️තුන්වෙනි 500,000 - 18%
    ♦️හතරවෙනි 500,000 - 24%
    ♦️පස්වෙනි 500,000 - 30%

    ඉතිරි balance එකට 36% ත් විදියට Tax ගෙවීම් කරන්න සිද්ධ වෙනවා.

    සාරාංශ කලොත් ඔයා අවුරුද්දකට ලක්ෂ 37කට වඩා වැඩිපුර ආදායමක් ගන්නව නම් ඔයාගෙ ආදායම 36 % දක්වා Tax වෙනවා. දළ වශයෙන් මාසික ආදායම තුන් ලක්ෂ අටදාහට වැඩිනම් 36% ටැක්ස් වදිනවා. මේ ගැන තව දුරටත් විස්තර කර පෝස්ට් එකක් දාන්න පුළුවන්ද ඉකොනොමැට්ටා?

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා ලංකාවේ නව 2024 වසරේ අලුත් VAT බද්ද 18% ක් දක්වා ඉහළ දැමීම සමග ලංකාව තුල වක්‍ර ලෙස භාණ්ඩ හා සේවා මත අයකරන VAT එක අපි හැමෝටම බලපානවනෙ. ඉතින් මේක ගැන ඔයාගේ පෝස්ට් එකේ කියලා තියෙන නිසා ඒ ගැනත් සාකච්ඡා කරමු

    මුලින්ම පහුගිය ගෝටාභය රජය යටතේ මේ VAT එක තිබුනේ 8% ට. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට ආ පසු අයි එම් එෆ් මූල්‍ය වැඩසටහනේ අනිවාර්යය කොන්දේසියක් වන බදු වැඩිකිරීම ක්‍රියාත්මක වීමත් සමග කෙමෙන් කෙමෙන් ඒක 12% , 15% ටත් වැඩි වෙලා දැන් 18% වෙලා.

    ගොඩක් භාණ්ඩ වලට මේ පාර අලුතින්ම VAT ගෙවන්න වෙනවා කියල කවුරුත් දන්නවනේ. ඒ අතරින් VAT වලින් නිදහස් භාණ්ඩ කිහිපයකුත් තියෙනවා.

    ♦️සමහර අත්‍යවශ්‍ය ළමා කිරිපිටි වර්ග
    ♦️ආබාධිත අය පාවිච්චි කරන සමහර උපකරණ
    ♦️සමහර රෝහල් කාමර ගාස්තු
    ♦️ආනයනික පාන් පිටි
    ♦️ආනයනික සහල් පිටි
    ♦️ආනයනික සහල්
    ♦️ආනයනික ඇතැම් ඖෂධ

    වගේ භාණ්ඩ 43කට විතරයි මේ පාර VAT අදාළ වෙන්නෙ නැත්තේ. අනිත් සේරම භාණ්ඩ විසි පන් දහසකට අධික ප්‍රමාණයකට මේ සැරේ වැට් බද්ද වැඩිකිරීම අදාළ වෙන බව මාධ්‍ය වල වාර්තා කර තිබෙනවා

    එතකොට සමහරු කියනවනේ 3% යි VAT වැඩි වෙන්නේ කලින් තිබුනේ 15% නිසා කියල.

    එහෙම නෑ.

    එහෙම වෙන්නේ කලින් VAT අදාල වුනු භාණ්ඩ ටික ඒ විදියටම මේ අවුරුද්දෙත් VAT වෙන නිසා ඒ ටික විතරක් 3% කින් වැඩි වෙලා. නමුත් අලුතින් VAT වුනු භාණ්ඩ විශාල ප්‍රමාණයකට 0% සිට 18% තෙක්ම වැඩි වුනා. ඒ හින්දා ඒ කාරණා දෙක අනුව මෙවර VAT වැඩිවීම අලුත් භාණ්ඩ ගණනාවකට සම්බන්ධ වෙමින් 18% ක සැලකිය යුතු වැඩිවීමක් විදියට ජනතාවට දැනෙනවා. දැනටමත් ජාතික ජන බලවේගය මේකට විරුද්ධව දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙනවා ඔවුන් පවසන්නේ මේක නැවත සමාලෝචනය කර සැලකිය යුතු ප්‍රමාණයකින් බදු අඩු කිරීම සහ මේ බොහෝ භාණ්ඩ වලට සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට රජයට දැඩිලෙස බලපෑම් කරන බවයි.

    විශේෂම කාරණය තමයි මේසැරේ VAT registered නැති කිසිම ආයතනයකට ඔවුන්ගේ විකුණුම් මිලට VAT එක එකතු කරන්න හැකියාවක් නැහැ නීතියේ හැටියට. නමුත් ප්‍රශ්නය ප්‍රායෝගිකව බොහෝ වෙලාවට වෙළඳ ආයතන VAT ලියාපදිංචිය නොවී මේක එකතු කරගෙන රජයට නොගෙවා පැහැර හැරීමයි. මෙය නියාමනය කිරීම රජයේ වගකීමක්. මේ ගැනත් මාධ්‍ය වලට බොහෝ දෙනෙක් පවසා තිබුණා.

    මේවා ගැන පැහැදිලි අවබෝධයක් නැති අපවැනි අයට තවදුරටත් පැහැදිලි කර ගැනීමට පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද ඔබට?

    ReplyDelete
  5. තමන්ගේ ආදායම් තත්වය කුමක් උවත් වැට් එක හැමෝටම පොදුවේ ගෙවන්න වෙනවා. තම්න් පාවිච්චි කරන භාණ්ඩ අනුව මෙය වෙනස් උනත්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනුවට වැට් ගැහුමව, අඩු ආදායම් ලාභීය තමන්ගේ ආදායමෙන් වැඩි ප්‍රමණයක් ටැක්ස් ගෙවද්දි වැඩි ආදායමක් ලබන කෙනා එයට තමන්ගේ ආදයමෙන් සුලු කොටසක් පමණක් ටැක්ස් ගෙවනවා.

    වැට් වල බදු වංචා කිරීමේ අවස්ථා අනෙක් ටැක්ස් සිස්ටම් වලට වඩා වැඩියි නේද?

    -Mayya

    ReplyDelete
    Replies
    1. දෙපැත්තකින් එකම ගනුදෙනුව වාර්තා වන නිසා වැට් බදු වංචා පහසුවෙන්ම අල්ලා ගන්න පුළුවන්. අනෙක් බදු වලට සාපේක්ෂව තිබෙන වාසිය මෙයයි. ඇතැම් විට වංචා වැඩි සේ පෙනෙන්නේ ඒ නිසා වෙන්න පුළුවන්.

      Delete
    2. @ මයියා,

      මේ 2022 අගභාගයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශාල ලෙස VAT වැට් බදු පැහැර හරින සමාගම් අතිවිශාල ගණනක් ගැන සඳහන් වන වාර්තාවක්

      https://wedabima.lk/union-news/local/2022-11-12-01-35-57

      ජාවාරම්කාරයින් විසින් ආදායම් බදු වංචා කිරීමෙන් රුපියල් කෝටි සිය ගණනින් සිදුවන අතර, රජයට එළෙසින් අහිමිවන දේශීය ආදායම් පියවා ගැනීමට කිසිදු ආණ්ඩුවක් කිසිදු වැදගත් හා සාර්ථක පියවරක් නොගන්නා හෙයින් ඒවා ගෙවීමට සිදුව ඇත්තේ සාමණ්‍ය ජනතාවට බවත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ බදු නොගෙවන ජාවාරම්කාරයින්ගේ තොරතුරු හා වහා හෙළිකරන ලෙසයි.

      එම ලිපිය පහතින් දැක්වේ.

      //රුපියල් කෝටි සිය ගණනින් ආදායම් හා වැට් (VAT) බදු නොගෙවන ජාවාරම්කාරයින්ගේ තොරතුරු හා වහා ගත යුතු පියවර සම්බන්ධයෙනි.

      මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් මේ රටේ බදු වංචා කිරීම් පිළිබඳව වැදගත් තොරතුරු ප්‍රමාණයක් සමගින් මීට මාස එක හමාරකට පෙර ඉකුත් 2022 සැප්තැම්බර 20 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී බරපතල හෙළිදරව්වක් කළේය. ආණ්ඩුව හා මුදල් අමාත්‍යාංශය ඒ බදු වංචා සම්බන්ධව කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් හෝ සවිස්තර වාර්තාවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම නිසා එම තොරතුරු සත්‍යය යැයි පිළිගැනීමට අපට සිදු වන්නේය. අප අද මුහුණ දෙන ආර්ථික බිඳ වැටීමට මේ දූෂිත ජාවාරම්කාරයින් වගකීමට බැඳ තබන්නට ඒ අනුව ආණ්ඩුව පියවර ගත යුතුව ඇත.

      එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරු අනුව,

      A. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සහිතව ආදායම් බදු ලිපිගොනු ඇති ව්‍යාපාරික සමාගම් 100,005 කින් බදු ගෙවා ඇත්තේ සමාගම් 25,692 ක් පමණි. ඒ අනුව සමාගම් 74,313 ක් කිසිම ආකාරයක බදු ගෙවා නැත.

      B. අගය එකතු කිරීම මත පැනවෙන Value Added Tax හෙවත් VAT බදු වෙනුවෙන් ලියාපදිංචි ව්‍යාපාර 60,721 ක් ඇති අතර ඔවුන් පාරිභෝගිකයින්ගෙන් අය කරගනු ලැබූ VAT බදු පසුගිය සැප්තැම්බර් වන විට ආණ්ඩුවට භාරදී ඇත්තේ ව්‍යාපාර 185 ක් පමණි. ඉන් කියවෙන්නේ, ඉතිරි ව්‍යාපාර 60,536 විසින් පාරිභෝගිකයින්ගෙන් අය කරගනු ලැබූ VAT බදු ඔවුන් සන්තක කරගෙන ඇති බව යන්නයි.

      එමෙන්ම රජයට ගෙවීම සඳහා භාණ්ඩ හා සේවා විකුණන අතරතුරදී ජනතාවගෙන් එකතු කරන ලද වැට් බදු මෙම ව්‍යාපාරිකයෝ බහුතරයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව බිලියන සියගණනක් වංචා කර තිබේ. වැට් බද්ද පාරිභෝගිකයාගෙන් ඍජුව අය කර ගන්නා එකකි. එය ආණ්ඩුවට නො ගෙවා වංචා කර ගැනීම දැවැන්ත ලාභයක් ලැබීමට මගකි.

      පොදුවේ ජනයා ගෙවන බිලට වැට් බදු එකතු කරන ව්‍යාපාරිකයන් ඒවා රජයට ගෙවන බවට ඇත්තෙන්ම ලංකාව තුල කිසිම සහතිකයක් නැත. ඒ බිල්පත් ව්‍යාජ ඒවා ලෙස රජයට ඉදිරිපත් කරමින් IRD සහ ව්‍යාපාර මගින් සිදුකරන VAT බදු වංචාව තවමත් සිදු වෙමින් තිබෙන අතර ඉදිරියටත් එය වැලැක්වීමට කිසිම ආකාරයක පියවරක් පෙනෙන තෙක් මානයක නොමැත.

      Delete
    3. ///සිල්ලර වෙළෙන්දා විසින් පාරිභෝගිකයාගෙන් රුපියල් 240ක් (200 + 40) අය කර එයින් රුපියල් 30ක් රජයට ගෙවන අතර සිල්ලර වෙළෙන්දා විසින් තොග වෙළෙන්දාට ගෙවූ රුපියල් 30ක වැට් බද්ද සිල්ලර වෙළෙන්දාට රජයෙන් ආපසු ලැබෙනවා. ඒ අනුව, සිල්ලර වෙළෙන්දා විසින් අතින් බදු ගෙවා නැහැ. ඒ වගේම මුලින් ලැබුණු රුපියල් 50 සිල්ලර වෙළෙන්දාට ලැබෙනවා. ////

      මෙන්න මේ ජේදයේ පොඩි අවුලක් තියෙනවා නේද? සිල්ලර වෙලෙන්දා රු 40 ක් රජයට ගෙවන්න ඕනේ නේද?

      - Mayya

      Delete
    4. ඔබ හරි. එය අත් වැරැද්දක්.

      Delete
  6. @ ඉකොනො සහ මයියා,

    ඇත්තටම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඔය කාලකණ්ණි IMF කන්ඩිෂන් තෘප්ත කරන්න කරපු ඔය මිනිස්සුන්ට පාන් කියාගන්න බැරි තරමට බරපතල ලෙස කණපැලෙන්නම බදු වැඩිකිරීම කියන කිඹුල කනවටත් වඩා අමාරු පොරගේ ඒ මෙතඩ් එක නිසා වෙන කොහිල කටු ඇනීම තමයි මේ බදු කියන කප්පම් ගෙවන්න තියෙන ක්‍රමවේදය නිසා ඇතිවෙච්ච මහා වධය, ලංකාවේ ඔය ලක්බේ බදුගෙවිල්ලත් මහා පණයන වැඩක්. හරි නම් අපෙන් අයවියයුතු බද්ද කියන රජයේ කප්පම් මුදල් IRD එක අපෙන් අයකරන්න ඕන අපිට කරදර නොකර පුලුවන් තරම් මහජන සහාය සහිතව.

    ඒ වෙනුවට දැන් වෙලා තියෙන්නේ ඒකට අපිම අපේ සේරම වැඩ ඇරගෙන දවස් ගණනක් මහන්සි වෙලා සේරම ඩොකියුමන්ට් අපිම හදලා form වර්ග දහයක් දොළහක් විතර හරියටම පුරවන විදිය ගැන වටේටම කතාකරලා හොයල බලල සේරම විස්තර දැනගෙන හරියටම ෆෝම් පුරවලා සියලුම අවශ්‍ය කරන කිසිම අදාලත්වයකුත් නැති ලොවෙත් නැති බහුබූත supporting document අටෝරාසියක් attach කරලා අපිම වැඩ සේරම ඇරගෙන ගිහින් බැංකුවල පෝලිම් වල කට්ට කාගෙන කාගෙන වද විඳලා සෑහෙන ගේමක් දීලා බද්ද බැංකුවට ගෙවලා රිෂිට් එකක් අරගෙන ඒගොල්ලන්ට ඒ රිසිට් ගිහින් තවපාරක් IRD පෝලිමේ ඉඳලා වැඩ ඇරගෙන තවපාරක් කට්ටකාලා ඒක බාර දීලා සේරම උන්ගෙන් ඕකේ කර ගන්න ඕන. වැරදුනොත් රිටන්, අපි ආපහු ගිහිල්ල වැරදි හදාගෙන හරියනකම්ම වාත වෙන්න ඕනේ

    ඒ උනාට ලක්බේ පිංපඩි ආදායම් බදු මංකොල්ලකාරී නිලධාරීන්ට කරන්න කිසිම වැඩක් නෑ, අඩුම තරමේ ඔය නිකම්ම ඉන්න වෙනත් රජයේ සේවයේ ලක්ෂ ගණනක හාල්පාරුවන්ට ඕකට හොඳම පුහුණුවක් දීලා බදු කියන කප්පම අපෙන් මංකොල්ල කාල එකතුකර ගන්න යොදවන්න බැරිද රනිල්ට? එහෙම වත් කිසිම ආකාරයක දැක්මක් නෑනේ

    ඒ නිසා ආණ්ඩුව කියනවා මෙහෙම;

    මේ වසර තුල වයස අවුරුදු 18 ලබන හෝ සියලුම වයස දහ අටට වැඩි පුද්ගලයින් පෙබරවාරි 01 වැනිදා සිට බදු ලිපිගොණුවක් විවෘත කිරීම අනිවාර්ය වන අතරම ලංකාවේ සියලුම ලියාපදිංචි බැංකු සහ මූල්‍ය ආයතන වල ඉතිරිකිරීමේ හෝ ජංගම ගිණුමක් ආරම්භ කිරීම, ස්ථිර තැන්පතු, ඉඩම් නිවාස සහ දේපළ මිලදී ගැනීම සහ ගොඩනැගිලි සැලසුම් අනුමැතිය, ඕනෑම වාහනයක් ලියාපදිංචි කිරීම, ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම, සියලුම රජයේ ලියාපදිංචි වෘත්තීය ආයතන වල සාමාජිකත්වය ලබාගැනීම සහ ඉඩමක අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු ලියාපදිංචි අංකය (ටින් අංකය) ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.

    - පුවතක්

    හෙන ගහල තොපි සේරම අකුලෝලම පලයව් කියලා ශාප කරනවා ඕකෙන් සේරම, ශාප වේවා හැඳිගෑවිලාම පලයව් කාලකණ්ණි සේරම IMF එකේ අමන පොතේගුරු හිවල් හැත්තත් එක්කම නොදකින් නොදකින් නොදෝමකින්

    ReplyDelete
    Replies
    1. මමත් 2019 සිට බදු ගෙවනවා. එක පාරක්වත් IRD එකට ගිහින් නැහැ. ඉතාම පහසුවෙන් online ලියාපදිංචි වීම, tax returns file කිරීම, ගෙවීම කළ හැකියි.

      Delete
    2. @ ඇනෝ 12.03 PM

      සහතික ඇත්ත තමයි මචන්

      ලංකාවේ රනිල් වික්‍රමසිංහ සහ උන්ගේ ගෝලයන් වන ගොබ් බ රජයේ නිලධාරීන් කියන පාහරයෝ අත ගැහුවද ගඳ ගැහුවා.... නැට්ටේ ඉඳන් ගොම...

      මේ තියෙන්නේ මම සහ wife දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් Taxpayer Identification Number (TIN) එකක් ලබාගැනීම සඳහා යොමු කල online application එකට අදාලව ලැබුණු email confirmation දෙක. 😁🤣🥴

      මේ email දෙකේ password policy එක තියෙන්නේ ආකාර දෙකකට. කියලා තියෙන හැම විදියටම උත්සාහ කරලා බැලුවත් මේ email දෙකට attach කරලා එවලා තියෙන TIN එක අඩංගු certificate එක open කරගන්න මගේ විසිපස් අවුරුදු IT දැනුම පාවිච්චි කරලත් තාම බැරි උනා. IT knowledge එකක් නැති සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද?

      Password policy එක ගැන මේ වගේ ගොන් තීරණ ගන්නේ නැතුව document password එක විදියට form එක fill කරද්දී සඳහන් කරපු බදු ගෙවන්නාගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC No) පාවිච්චි කරානම් ඉවරයි. NIC No එකේ තියෙන්නේ versions දෙකයි. එකක් 123456789V format එකට එන අංකය, අනික 191234506789 format එකට එන අංකය. ඕක දැම්ම නම් පිස්සෙක් නොවෙන ඕනෑම කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්න පුලුවන්.

      කරුණාකර දැන්වත් මේක හදපල්ලා කියලා ඔය ගෝත හැත්ත බුරුත්තටම වැඳලා කියන්නේ 🙏.... ෂිට් හැපන්ස් 🤬🤬🤬🤬

      Link will follow;

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: