පෙර ලිපි දෙක වගේම මේ ලිපියත් වියට්නාමයේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය අතර සංසන්දනාත්මක විග්‍රහයක්. අද ලිපියෙන් අපි පහත ප්‍රශ්න තුන මුල් කරගෙන කරුණු විමසා බලමු.
1. වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්ද? එයින් වෙනස්ව, ලංකාවේ ආර්ථිකය සේවා ආර්ථිකයක්ද?
2. වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්නම්, එහි හොඳ හා නරක මොනවාද?
3. වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක්නම් සහ ලංකාවේ ආර්ථිකය සේවා ආර්ථිකයක්නම් එය එසේ වී තිබෙන්නේ ඇයි? මේ වෙනසට හේතුව රාජ්‍ය ප්‍රතිපත්තිද?
පළමු ප්‍රශ්නය ගැන අපි පෙර ලිපි වලින්ද සාකච්ඡා කළා. එහෙත්, වඩා හොඳ පිළිතුරක් හොයා ගැනීම සඳහා අපි තවත් ටිකක් ගැඹුරට අදාළ දත්ත දෙස බලමු.
පහත තිබෙන්නේ වියට්නාමයේ 2022 දදේනිය සඳහා විවිධ ආර්ථික ක්‍රියාකාරකම් වල දායකත්වය. උපුටා ගන්නේ කෙළින්ම වියට්නාමයේ නිල සංඛ්‍යාලේඛණ වලින්.
කෘෂිකර්මය, වනවගා සහ ධීවර කර්මාන්තය - 11.88%
කැණීම් සහ ගල් කැඩීම් - 2.82%
නිෂ්පාදන කර්මාන්ත - 24.76%
විදුලිය, ගෑස්, වායු සමීකරණ ආදිය - 4.00%
ජලය හා අපජලය බැහැර කිරීම - 0.49%
ඉදි කිරීම් - 6.20%
තොග සහ සිල්ලර වෙළඳාම - 9.62%
ප්‍රවාහනය හා ගබඩා පහසුකම් - 4.65%
නවාතැන් හා ආහාරපාන සේවා - 2.27%
සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ සේවා - 3.51%
මූල්‍ය හා රක්ෂණ - 4.76%
නිවාස හා දේපොළ - 3.46%
වෘත්තීය සේවාවන් - 2.15%
රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂාව - 3.15%
අධ්‍යාපනය - 3.74%
සෞඛ්‍යය - 2.69%
අනෙකුත් පෞද්ගලික සේවාවන් - 1.33%
ශුද්ධ බදු - 8.53%
දැන් අපි ලංකාවේ 2022 දදේනියද මේ කාණ්ඩ යටතේම වර්ග කර සංසන්දනය කරමු.
කෘෂිකර්මය, වනවගා සහ ධීවර කර්මාන්තය - 8.75%
කැණීම් සහ ගල් කැඩීම් - 1.87%
නිෂ්පාදන කර්මාන්ත - 19.59%
විදුලිය, ගෑස්, වායු සමීකරණ ආදිය -0.62%
ජලය හා අපජලය බැහැර කිරීම - 0.22%
ඉදි කිරීම් - 7.96%
තොග සහ සිල්ලර වෙළඳාම - 13.83%
ප්‍රවාහනය හා ගබඩා පහසුකම් - 10.55%
නවාතැන් හා ආහාරපාන සේවා - 1.45%
සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ සේවා - 2.17%
මූල්‍ය හා රක්ෂණ - 6.78%
නිවාස හා දේපොළ - 4.11%
වෘත්තීය සේවාවන් - 1.79%
රාජ්‍ය පරිපාලනය හා ආරක්ෂාව - 4.24%
අධ්‍යාපනය - 1.89%
සෞඛ්‍යය - 1.94%
අනෙකුත් පෞද්ගලික සේවාවන් - 7.09%
ශුද්ධ බදු - 4.87%
මගේ නිරීක්ෂණයනම් මෙම සංයුතීන් අතර අසමානකම් වලට වඩා සමානකම් වැඩි බවයි. ලංකාවේ මෙන්ම වියට්නාම් ආර්ථිකයේද ලොකුම කොටස සේවා ආර්ථිකයයි. එහෙත් ලංකාවේ ආර්ථිකයේ සේවා අංශ වල පංගුව වඩා විශාලයි. විශේෂයෙන්ම බැංකු, රක්ෂණ, තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය ආදී අතරමැදි සේවා වල පංගුවේ පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබෙනවා.
වියට්නාම් රජය විසින් එහි නිෂ්පාදන ආර්ථිකයේ පංගුව ලෙස හඳුනා ගන්නා කොටස දදේනියෙන් 24.76%ක්. ලංකාවේ එම පංගුව ඊට වඩා තරමක් අඩුයි. එය දදේනියෙන් 19.59%ක් පමණයි. මෙම වෙනස මත පදනම්ව, ඔය සංඛ්‍යා දෙක අතර ඉරක් ඇඳ, වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් ලෙසත්, ලංකාවේ ආර්ථිකය එසේ නොවන සේවා ආර්ථිකයක් ලෙසත් වර්ග කිරීම නිවැරදියි කියා මා සිතන්නේ නැහැ. එහෙත්, ලංකාවේ ආර්ථිකයට සාපේක්ෂව බැලුවොත් වියට්නාමයේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බව කරුණක් ලෙස ඇත්තක්.
මෙවැනි වෙනසක හොඳ හෝ නරක මොනවාද?
ඒකීය පුද්ගල මට්ටමෙන් බැලුවොත් වඩා වැදගත් වන්නේ මොන විදිහකින් හෝ ලැබෙන ආදායමයි. පුද්ගල ශුභ සිද්ධිය ඉහළ යන්නේ ලැබෙන ආදායම ඉහළ යන තරමටයි. ආදායම ඉහළ යන තරමට පරිභෝජනය වැඩි කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම, අනාගත පරිභෝජනය වෙනුවෙන් වැඩියෙන් ආයෝජනය කිරීමටද ඉඩ ලැබෙනවා. පුද්ගල ආදායම ඔය කොටස් දෙක අතර බෙදී යද්දී, රටේ විදේශ අංශය තුලිතනම්, රටේ දදේනියද ආයෝජනය හා පරිභෝජනය අතර බෙදී යනවා.
මොන විදිහකින් හෝ වියට්නාමය මෙන්ම ලංකාවද ආසන්නව සමාන ඒකීය පුද්ගල ආදායම් මට්ටමක් කරා පැමිණ තිබෙනවා. ඒ තුළ, වියට්නාමයේදී නිෂ්පාදන ආර්ථිකයේ පංගුව තරමක් වැඩියි. එහෙත්, ලංකාව සේවා ආර්ථිකයේ පංගුව වැඩි කර ගැනීම මගින් එම අඩුව පුරවාගෙන තිබෙනවාක් මෙන්ම ඒක පුද්ගල ආදායම අනුව පසුගිය වසර දක්වාම වියට්නාමයට් වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ අනුව, පසුගිය වසරේදී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම පැත්තකින් තිබ්බොත්, ලංකාවේ ප්‍රවේශය වියට්නාමයේ ප්‍රවේශයට වඩා සාර්ථක වී තිබෙනවා. පූසා මීයන් අල්ලනවානම් ඇඟේ පාට කළු වැඩිද සුදු වැඩිද කියන එක එතරම් වැදගත් නැහැ.
කොහොම වුනත්, 2022 වසරේදී ලංකාවේ ආර්ථිකය කඩා වැටුණා. වියට්නාමයේ එවැන්නක් සිදු වුනේ නැහැ. නියම පාරේ යාම මගින් ලංකාවට වැටුණු වලෙන් ගොඩ පැමිණ නැවතත් වියට්නාමය සමඟ කරට කර ඒක පුද්ගල ආදායම් මට්ටමකට ඉතා ඉක්මණින් ලඟා වීමේ ශක්‍යතාවයක් තිබෙනවා. එහෙත්, වියට්නාම් ආර්ථිකය දිගටම වර්ධනය වෙද්දී ලංකාවේ ආර්ථිකය එසේ වර්ධනය නොවී කඩා වැටුණේ ඇයි කියා විමසා බැලිය යුතුයි.
සමස්තයක් ලෙස දදේනිය හා ඒක පුද්ගල ආදායම දෙස නොබලා, ආර්ථිකයේ විදේශ අංශය දෙස වැඩි අවධානයක් යොමු කර බැලූ විට, දෙරට ආර්ථිකයන්හි වෙනස්කම් හා අදාළ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි. ලංකාවට සාපේක්ෂව, වියට්නාමයේ නිෂ්පාදන ආර්ථිකය අපනයන ඉලක්ක කළ එකක්.
පළමුව අපි ලංකාවේ ගා වියට්නාමයේ සමස්ත නිෂ්පාදිතය පරිභෝජනය හා ආයෝජනය අතර බෙදී ගොස් තිබුණු ආකාරය පරීක්ෂාවට ලක් කරමු.
වියට්නාමය (2022):
පරිභෝජනය - 63.72%
ආයෝජනය - 32.57%
එකතුව (දේශීය ඉල්ලුම) - 96.29%
ලංකාව (2022):
පරිභෝජනය - 69.16%
ආයෝජනය - 34.39%
එකතුව (දේශීය ඉල්ලුම) - 103.55%
ලංකාවේ දදේනියෙන් පරිභෝජනය කරන කොටස වියට්නාමයේ එම කොටසට වඩා 5.44%කින් වැඩියි. එයින් අදහස් වන්නේ, සමාන ඒක පුද්ගල ආදායමක් ඇති අවස්ථාවක, ලාංකිකයෙකු විසින් වියට්නාම් ජාතිකයෙකුට වඩා හොඳ පරිභෝජන මට්ටමක් පවත්වා ගන්නා බවයි. එනම් සාපේක්ෂව වඩා හොඳ ජීවිතයක් ගෙවන බවයි.
මේ ආකාරයෙන් රටක දදේනියෙන් පරිභෝජනය සඳහා වෙන් වන පංගුව ඉහළ යන විට ජනතාවගේ ශුභ සිද්ධිය ඉහළ යන නමුත් එහිදී ආයෝජන සඳහා වෙන් කරන්නට වන කොටස අඩු වන නිසා ඔවුන්ගේ අනාගත පරිභෝජනය එලෙසම පවත්වා ගැනීම අභියෝගයට ලක් වෙනවා. කෙසේ වුවත්, ඉහත සංසන්දනය අනුව ලංකාව ආයෝජනය වෙනුවෙන්ද වියට්නාමයට වඩා වැඩි ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. මෙවැන්නක් සිදු වුනේ කොහොමද?
ලංකාවේ 2022 දේශීය ඉල්ලුම, එනම් පරිභෝජන ඉල්ලුමේ හා ආයෝජන ඉල්ලුමේ එකතුව දදේනියෙන් 103.55%ක්. ඒ කියන්නේ ඔය අවශ්‍යතා දෙක වෙනුවෙන් දදේනියට වඩා 3.55%ක් අවශ්‍ය වී තිබෙනවා. එයින් වෙනස්ව වියට්නාමයේ දැකිය හැක්කේ පරිභෝජන ඉල්ලුමේ හා ආයෝජන ඉල්ලුමේ එකතුව ඉවත් වූ පසු 3.71%ක අතිරික්තයක්.
මෙය 2022 වසරේදී පැවති සුවිශේෂී තත්ත්වයක් පමණක්ද?
පහත තිබෙන්නේ 2021 පැවති තත්ත්වයයි.
වියට්නාමය (2021):
පරිභෝජනය - 65.10%
ආයෝජනය - 32.90%
එකතුව (දේශීය ඉල්ලුම) - 98.00%
ලංකාව (2021):
පරිභෝජනය - 70.65%
ආයෝජනය - 36.74%
එකතුව (දේශීය ඉල්ලුම) - 107.39%
ඊටත් පෙර වසර, 2020, දෙස බැලුවත් මේ තත්ත්වය දැකිය හැකියි.
වියට්නාමය (2020):
පරිභෝජනය - 65.45%
ආයෝජනය - 31.92%
එකතුව (දේශීය ඉල්ලුම) - 97.37%
ලංකාව (2020):
පරිභෝජනය - 73.19%
ආයෝජනය - 32.98%
එකතුව (දේශීය ඉල්ලුම) - 106.16%
නැවත මතක් කර දීමක් ලෙස, මෙහි අප කතා කරන්නේ දදේනිහි පංගු ගැනයි. දදේනි යනු රටේ සමස්ත නිෂ්පාදිතයයි. මෙය මුදලින් මැන්නත්, ඇත්තටම මෙහිදී මනින්නේ භාණ්ඩ හා සේවා ප්‍රමාණය මිස මුදල් නෙමෙයි.
කිසියම් රටකට එම රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉක්මවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් පරිභෝජනය හා ආයෝජනය වෙනුවෙන් යෙදවිය හැක්කේ කෙසේද? මෙය කළ හැකි එකම ක්‍රමය රටෙන් පිටතට යන භාණ්ඩ හා සේවා ප්‍රමාණය ඉක්මවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් රට තුළට ගෙන්වා ගැනීමයි. එනම් අපනයන වලට වඩා වැඩියෙන් ආනයනය කිරීමයි.
ඉහත සඳහන් කර තිබෙන්නේ සාර්ව ආර්ථික සාම්‍යයක්. කිසියම් රටක භාණ්ඩ හා සේවා සඳහා වන දේශීය ඉල්ලුම එම රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉක්මවා යන්නේනම් ඊට සමාන ආනයන හා අපනයන අතර ඊට සමාන පරතරයක් ඇති වීම, එනම් වෙළඳ හිඟයක් ඇති වීම, සාමාන්‍ය තත්ත්වයක් පමණක් නොව අනිවාර්ය තත්ත්වයක්. මෙයින් වෙනස්ව, දේශීය ඉල්ලුම රටේ දදේනියට වඩා අඩුනම් එම අඩුවට සමාන වෙළඳ අතිරික්තයක් ඇති වෙනවා.
ලංකාව දිගින් දිගටම සිය දදේනිය ඉක්මවා ආයෝජන හා පරිභෝජන වෙනුවෙන් වෙන් කළ රටක්. එහි අනිවාර්ය ප්‍රතිඵලය දිගින් දිගටම නඩත්තු වන වෙළඳ ශේෂ හිඟයයි (ජංගම ගිණුමේ අනෙක් උප ගිණුම් වල බලපෑම නිසා මෙය මීට වඩා තරමක් සංකීර්ණ වුවත් දැනට මෙසේ සලකමු.) මෙයින් වෙනස්ව වියට්නාමයේ දදේනියෙන් ආයෝජන හා පරිභෝජන වෙනුවෙන් වෙන් වූ කොටස එරට දදේනියට වඩා අඩු නිසා වියට්නාමයේ දිගින් දිගටම පවතින වෙළඳ අතිරික්තයක් හැකියි. දෙරට ආර්ථිකයන් අතර දැකිය හැකි නිෂ්පාදන හා සේවා අංශ වල පංගු වල වෙනස්කම් වලට වඩා වැඩි අවධානයක් යොමු විය යුත්තේ මෙම කරුණ වෙතයි.
කිසියම් රටක් විසින් දිගින් දිගටම එරට දදේනිය ඉක්මවන දේශීය ඉල්ලුමක් පවත්වා ගනීනම් එම අඩුව පිරවිය හැකි තරමේ විදේශ ප්‍රාග්ධනයක් දිගින් දිගටම රට තුළට ගලා ආ යුතුයි. මෙම විදේශ ප්‍රාග්ධනය සෘජු විදේශ ආයෝජන ලෙස මෙන්ම ණය ලෙසද පැමිණිය හැකියි. අනෙක් අතට රටේ දේශීය ඉල්ලුම දදේනියට වඩා අඩුනම්, එහිදී රටේ ශුද්ධ විදේශ වත්කම් ඉහළ යාමක් සිදු වෙනවා.
වෙනත් කවර අඩුපාඩු තිබුණත්, සාමාන්‍යයෙන් සමාජවාදී රටවල් විදේශ වලට ණය වෙමින් දේශීය ඉල්ලුම ඉහළ මට්ටමක පවත්වා ගන්නේ නැහැ. සමාජවාදී රටවල බොහෝ විට සිදු වන්නේ කිසියම් ක්‍රමයකින් දේශීය පරිභෝජන ඉල්ලුම පාලනය කිරීමයි. දිගින් දිගටම ණය ගනිමින් පරිභෝජන ඉල්ලුම පවත්වා ගැනීම සිදු වන්නේ කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති තුළයි. මේ තත්ත්වයන් දෙකේදීම සිදු වන්නේ රජය ආර්ථිකයට මැදිහත්වීම වුනත් එය සිදු වන්නේ එකම ආකාරයකින් නෙමෙයි.
සෝවියට් පන්නයේ මධ්‍යගත සැලසුම් වෙනුවෙන් මේ වන විට කලාතුරකින් හැර කෙනෙකු පෙනී සිටින්නේ නැහැ. එම ක්‍රමය පැහැදිලි ලෙසම අසාර්ථක වූ ක්‍රමයක්. එහෙත්, මේ වන විට සමාජවාදී දේශපාලන ආකෘතියක් නඩත්තු කරන චීනය, වියට්නාමය වැනි රටවල් අනුගමනය කරන ආර්ථික ක්‍රමය එලෙස පැහැදිලි ලෙසම අසාර්ථක වී ඇති ක්‍රමයක් නෙමෙයි. මෙම ක්‍රමය හරහා ඇතැම් රටවල් පැහැදිලිව පෙනෙන ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා.
ඇතැම් අය මේ ක්‍රමය හඳුන්වන්නේ රාජ්‍ය ධනවාදය ලෙසයි. මෙම ක්‍රමයේ මූලික ලක්ෂණයක් වන්නේ රාජ්‍ය මැදිහත්වීම් හරහා වෙළඳපොළ හැසිරවීම මගින් රටේ විදේශ අංශය ශක්තිමත් ලෙස පවත්වා ගැනීමයි. චීනය මෙන්ම වියට්නාමය මේ කාර්යය සාර්ථක ලෙස කරන රටවල් දෙකක්. මේ ක්‍රමය කේන්සියානු ක්‍රමයේ රාජ්‍ය මැදිහත්වීම් වලට වඩා බොහෝ සෙයින් වෙනස් ක්‍රමයක්.
වියට්නාම් ක්‍රමය තුළ දදේනියේ පරිභෝජන පංගුව සාපේක්ෂව පොඩියි. එයින් අදහස් වන්නේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස සාපේක්ෂව කුඩා බවයි. ශ්‍රමය සාපේක්ෂව ලාබ බවයි. ඒ නිසා, එවැනි රටක අඩු පිරිවැයකින් නිෂ්පාදන සිදු කර අපනයන වර්ධනය කර ගත හැකියි. එමෙන්ම, රාජ්‍ය මැදිහත්වීම් හරහා රජය විසින් හඳුනාගත් අංශ වෙත සම්පත් විතැන් කළ හැකියි. මෙය සාර්ථක ප්‍රවේශයක්ද නැද්ද යන්න වෙනම කතා කළ යුතු කරුණක් වුවත්, මේ ආකාරයේ මැදිහත්වීම් හරහා නිෂ්පාදන ආර්ථිකයේ පංගුව වැඩි කරගත හැකියි.
අනෙක් අතට කේන්සියානු මූලධර්ම මත පදනම් වූ රාජ්‍ය මැදිහත් වීම් වලදී ඉලක්ක කරන්නේ නිෂ්පාදනය නොව ඉල්ලුමයි. මෙහිදී සිදු වන්නේ පරිභෝජනය ඉහළ යාමක්. එසේ පරිභෝජනය ඉහළ යාම දදේනිය තුළ තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහනය, නිවාස හා දේපොළ වැනි අතරමැදි සේවාවන් වල පංගුව ඉහළ යාමෙහි පිළිබිඹු වෙනවා. ලංකාවේ දැකිය හැක්කේ මෙම තත්ත්වයයි.
මුලින් කී පරිදි, අවසාන වශයෙන් වැදගත් වන්නේ ආර්ථිකය දිගුකාලීනව වර්ධනය වීම හෝ නොවීම මිස එහි එක් එක් අංශයේ පංගුව නොවන නිසා ඔය ප්‍රවේශ දෙකෙන් එකක් අනෙකට වඩා හොඳ හෝ නරක බව කියන්නට අසීරුයි. කෙසේ වුවද, දිගුකාලීනව ආර්ථිකය වර්ධනය කරගන්නා අතරම කෙටිකාලීනව ආර්ථිකය ස්ථායී ලෙස පවත්වා ගැනීමද අවශ්‍ය වෙනවා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමෙන් පිළිබිමු වූයේ ලංකාව එසේ කරන්නට අසමත්ව ඇති බවයි. ඒ නිසා, ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රමයේ අවුලක් තිබෙන බවද පැහැදිලියි.
ඉහත අවුල නිවැරදි කර ගැනීම සඳහා සැලසුම් සකස් කිරීමේදී ලංකාවට වියට්නාමයෙන් උගත හැකි පාඩම් මොනවාද? මේ ගැන කතා කිරීම පසුවට තබමු.
රතු මුහුදෙන් දිය නාගෙන එන්නේ ……
ReplyDeleteඅට වන ජනපති කොහෙදෝ යන්නේ…..
හෝ ..හෝ .හෝ.. හා..හා..හා..//
Economatta , රතු මුහුදට අපි යුධ නැව් යවන්නම ඕනැද? එහෙම නොකළොත් අපිට වෙන ආර්ථික අවාසිය මොකක්ද? Post එකක් දාන්නකො විස්තරාත්මකව.
ReplyDeleteමොකෝ මේ මෙච්චර වෙලා ගන්නෙ මගෙ සරල ප්‍රශ්නයට උත්තර දෙන්නෙ ?
Deleteහොඳ සංසන්දනාත්මක විග්‍රහයක් ඉකොනොමැට්ටා, ඇත්තටම වියට් නාමය ගැන හොඳින් විස්තර කර තව දිගටම පෝස්ට් කීපයක් ලියන්න පුළුවන් නම් හොඳයි ඒකෙන් රටවල් දෙකේ ආර්ථික සංවර්ධන පැත්ත ගැන වගේම ජන මනස තුළ ඇති ආකල්ප ආර්ථික සංවර්ධනයට බලපාන ආකාරය පිළිබඳවත් අවබෝධයක් ලැබෙන නිසා මේක ගොඩක් වටින වැදගත් මාතෘකාවක්
ReplyDeleteමමත් තරමක් තේරෙන වයසට ආවාම හිතපු දේ තමයි මේ ලංකාවේ සමාජ විද්‍යා අංශයත් ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට සැලසුම් කරන අය දැඩි ලෙස සැලකිය යුතු බව මොකද මගේ අවබෝධය අනුව ලංකාවේ ජන මනසේ තැන්පත්ව ඇති කුල භේදය, 21 වෙනි ශතවර්ෂයේ ද සමාජ යථාර්ථයේ කොටසක් ලෙස පවතින්නේ, ප්‍රාග්ධනයට දිවයින පුරා නිර්බාධිතව ගලායෑමට ඉඩ හසර සලසා නොදීම නිසා බවයි. එයට ඉඩ දුන්නානම්, ධනවාදී ආර්ථිකය ප්‍රසාරණ වී, සමාජය කාර්මීකරණයට සහ නාගරිකරණයට ලක් වී, කුල ක්‍රමයද අහෝසිවී යෑමට ඉඩ තිබුණ බවත් මගේ විස්වාසයයි
අතීතයේ ලාංකික සමාඡයේ කුල පීඩිතයන් විසින් සාමාජ පීඩනයෙන් මිදීමේ මෙවලමක් සේ යොදාගත්තේ වාමාංශික දේශපාලන පක්ෂ බව නොරහසකි. නමුත් එම පක්‍ෂවල ක්‍රියාකාරිවයේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වූයේ, පෙර කී කාර්මීකරණ/නාගරීකරණ ක්‍රියාවලියට බාධාවක් වීමයි. එය ලක්දිව තුල උත්ප්‍රාසයකි.
1953 හර්තාලය, පෞද්ගලික ව්‍යවසායයන් රජයට පවරා ගැණීම/ආර්ථික කටයුතු සඳහා නොයෙක් සංස්ථා, මණ්ඩල, අධිකාරීන්
සහ බැංකු වැනි දේ පිහිටුවා රාජ්‍ය අංශය ප්‍රසාරණය කිරීම/ආර්ථිකය සංවෘත කිරීම මෙන්ම, අසාර්ථක JVP කැරලි දෙක /LTTE කැරැල්ල ආදිය විසින් අවසාන විග්‍රහයේදී රටේ සමාජාර්ථික ප්‍රගතිය අවුල් කළා මිස, එය ඉදිරියට තල්ලූ නොකළ බවයි මාගේ අදහස. මේ ගැන ඔබටත් පසුව විග්‍රහයක් ඉදිරිපත් කරන්න පුළුවන් නේද?
සවිස්තරව නම් කියෙව්වේ නැහැ, මුල් කොටස ඇරෙන්න.
ReplyDeleteරටවල් දෙකේ නිෂ්පාදන කර්මාන්ත අංශයෙන් දදේනිය දායකත්වය % ලෙස සෑහෙන්න කිට්ටු බව පේනවා. නමුත් සේවා ආර්ථික කොටස් ලෙස වර්ගවෙන ඒවාත් ඒ සේවා සපයන්නේ කාටද කුමක් සඳහාද යන්න මත නිශ්පාදන ආර්ථිකයකට දායක වෙනවා නේ ද?
මේ ඉලක්කම් දිහා බැළුවාම, වියට්නාමයේ ප්‍රවාහනය හා ගබඩා පහසුකම් - 4.65%. ලංකාවේ මේ ඉලක්කම 10.55%. මේ වෙනස ප්‍රාමාණිකව අනෙක්වාට වඩා විශාලයි හිතුණා. ඒ වෙනසෙන් කියවෙන්නේ, නැත්නම් එතුලින් අප කියවිය යුත්තේ මොකක්ද පැහැදිලි නැහැ මට.
මෙහි තිබෙන්නේ අගය එකතු කිරීම් වල දායකත්වය. වියට්නාමයේ ප්‍රවාහන සේවා ගැන විශාල දැනුමක් නැති නිසා මේ ගැන නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි. පහළ සිට තෙවන හා සිවුවන ඡේද වල යම් පැහැදිලි කිරීමක් තිබෙනවා.
Deleteවැඩිම කුකුසක් ඇතිවුනේ, වියට්නාමයේ භූමි ප්‍රමාණය ලංකාව මෙන් පස්ගුණයක් නිසයි. ජනගහණ ඝනත්වය අතින්, රටවල් දෙකම සමීපයි. ලංකාව වර්ග කිමිටරයට 350 යි. වියට්නාමය 320 යි.
Delete//. එහෙත්, මේ වන විට සමාජවාදී දේශපාලන ආකෘතියක් නඩත්තු කරන චීනය, වියට්නාමය වැනි රටවල් අනුගමනය කරන ආර්ථික ක්‍රමය එලෙස පැහැදිලි ලෙසම අසාර්ථක වී ඇති ක්‍රමයක් නෙමෙයි//චීනයට කම්පුචියාවට යන ගමන් ගියා. ඔවුන්ගේ දියුණුව පුදුමයි. වුහන් ගුවන් තොටුපල හා ප්‍රංශයේ හොන්දම් එක ලෙස සලේකන් ඩිගෝල් ගුවන් තොටුපල නිකන් පරණ ගරා වැටෙන වලව්වක් වගේ.. මගේ බිරිඳ වියට්නාමයට ගියා අවුරුදු දෙකකට කලින්. ඊට කලින් යහළුවෙකු රැකියාව කළා. ඔවුන් දෙදෙනාගේම අදහස එහි සමාජවාදී ක්‍රමයක් නැති බවයි. කොමියුනිස්ට් පක්ෂයකින් රට පාලනය කරනවා පමණයි. ඉනෙස් කියන්නේ වියට්නාමය ඇමෙරිකාව සමග හොඳ හිත පවත්වා ගන්න පටන් ගත්තට පස්සේ ආයෝජන එන බවත් ශ්‍රී ලංකාවට වඩා තත්වය හොඳ බවත්. (ඇය මා සමග නිතරලංකාවට යන නිසා ලංකාවගැන දන්නවා )
ReplyDeleteඩිගෝල් ගුවන් තොටුපල ගැන වගේම ඇමරිකාවේ ඇතැම් ප්‍රධාන ගුවන් තොටුපොළ ගැනත් වෙනත් ඇතැම් යටිතල පහසුකම් ගැනත් මේ කතාව කියන්න පුළුවන්. අලුතෙන් දියුණු වන රටවල ගුවන් තොටුපොළ වැනි යටිතල පහසුකම් ගොඩක් හොඳ මට්ටමක තිබෙනවා. ප්‍රංශයේ හෝ ඇමරිකාවේ අලුතෙන් ගුවන් තොටුපොළක් හැදුවොත් බොහෝ විට ගොඩක් හොඳ මට්ටමක තියෙයි. නමුත් එම රටවල ගුවන් තොටුපොළ අවශ්‍ය ප්‍රධාන තැන් වල දැනටම හදලා ඉවරයි. අනෙක් පැත්තෙන් ගුවන් ගමන් සාමාන්‍ය දෙයක් වෙලා නිසා මගීන් ගමන ගැන මිසක් අමතර දේවල් ගැන හොයනවා අඩුයි. ඒ නිසා ගුවන් තොටුපොලක් ඔය වගේ ආකර්ශනීය කිරීමෙන් ලොකු ආර්ථික වාසියක් නැහැ. ඊට සාපේක්ෂව වියට්නාමය වගේ රටකට හොඳ ගුවන් තොටුපොළවල් තිබීමේ වාසි තිබෙනවා. එක හේතුවක් විශාල ආදායමක් ගෙන දෙන සංචාරක කර්මාන්තය. චීනයනම් හේතු ගණනාවක් නිසා යටිතල පහසුකම් වෙනුවෙන් විශාල බරක් දමනවා.
Deleteආකර්ශනීය බවටත් වඩා (ඒකත් තියනවා මම කිව්වේ ගුවන් මගීන්ට දෙන පහසුකම් හා කාර්යක්ෂමතාවය අතින් චීනයේ හොඳයි කියල.
Delete