වෙබ් ලිපිනය:

Sunday, March 3, 2024

ඇමරිකාවේ උසස් අධ්‍යාපන අවස්ථා


ඇමරිකාවේ අධ්‍යාපන සංඛ්‍යාති ජාතික මධ්‍යස්ථානයේ නිල දත්ත අනුව, 2022/23 අධ්‍යයන වර්ෂයේදී ඇමරිකාවේ අධ්‍යාපන ආයතන 2,710ක් විසින් වසර-4 (හෝ වැඩි) උපාධි ප්‍රදානය කළා. තවත් ආයතන 1,550ක් විසින් වසර-2 (වසර 4ට අඩු) උපාධි ප්‍රදානය කළා.

වසර-4 උපාධි (Bachelor's Degree) ප්‍රදානය කළ ආයතන පහත පරිදියි.

රාජ්‍ය - 803

පෞද්ගලික ලාබ ඉලක්ක නොකරන - 1,587

පෞද්ගලික ලාබ ඉලක්ක කරන - 320

මේ අනුව, වසර 4ක කාලයක් ගත වන සාමාන්‍ය උපාධියක් ප්‍රදානය කළ ආයතන වලින් වැඩි ප්‍රමාණයක් (59%ක්) ලාබ ඉලක්ක නොකරන පෞද්ගලික අධ්‍යාපන ආයතනයි. එහෙත් වසර-2 උපාධි ප්‍රදානය කළ ආයතන වැඩි ප්‍රමාණයක් (58%ක්) රාජ්‍ය ආයතනයි.

වසර-2 උපාධි (Associate Degree) ප්‍රදානය කළ ආයතන පහත පරිදියි.

රාජ්‍ය - 897

පෞද්ගලික ලාබ ඉලක්ක නොකරන - 126

පෞද්ගලික ලාබ ඉලක්ක කරන - 527

මෙම ආයතන වල උසස් අධ්‍යාපනය ලබන මිලියන 20ක් පමණ වන සිසුන්ගෙන් ආසන්න වශයෙන් මිලියනයක් පමණ විදේශ සිසුන්. ඔවුන්ගෙන් අඩකට වඩා චීනයෙන් හා ඉන්දියාවෙන් පැමිණි අයයි. ඊට සාපේක්ෂව ලොකු ප්‍රතිශතයක් නොවුනත්, ශ්‍රී ලාංකික සිසුන් සැලකිය යුතු පිරිසක්ද මේ අතර සිටිනවා.

පහත තිබෙන්නේ නිදහස ලැබීමෙන් පසුව ගෙවුනු පළමු දශක හතරක කාලය තුළ ඇමරිකාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය ක්‍රමිකව හා සීඝ්‍රයෙන් වර්ධනය වූ ආකාරයයි.

1949/50 - 13

1954/55 - 34

1959/60 - 73

1964/65 - 96

1969/70 - 159

1974/75 - 230

1979/80 - 490

1984/85 - 1,480

1989/90 - 2,210

එහෙත්, ඉන් පසුව, මෙම ප්‍රවණතාවයේ වෙනසක් දැකිය හැකියි. මීට හේතුව පාසැල් වල ඉගැන්වීමේ මාධ්‍යය වෙනස් කිරීමේ පසුකාලීන බලපෑම හා අනෙකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විය හැකියි.

1994/95 - 2,097

1999/00 - 1,968

2004/05 - 1,992

කෙසේ වුවත්, 2005-2009 අතර  කාලයේදී මෙම ප්‍රමාණය නැවත වර්ධනය වෙනවා.

2005/06 - 2,157

2006/07 - 2,373

2007/08 - 2,591

2008/09 - 2,976

ඉන් පසුව දැකිය හැක්කේ බොහෝ දුරට ස්ථාවර මට්ටමක්.

2009/10 - 2,957

2010/11 - 2,965

2011/12 - 2,902

2012/13 - 3,046

2013/14 - 2,917

2014/15 - 2,882

2015/16 - 3,080

2016/17 - 3,263

2017/18 - 3,309

2018/19 - 3,334

2019/20 - 3,206

2020/21 - 2,770

2021/22 - 2,928

2022/23 - 3,106

ඉහත දත්ත වලින් පෙනෙන පරිදි පසුගිය කාලය තුළ ආසන්න වශයෙන් ශ්‍රී ලාංකික සිසුන් තුන් දහසක් පමණ ඇමරිකාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිට ඇති අතර එම ගණන විශාල ලෙස වෙනස් වී නැහැ. එහෙත්, පසුගිය කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණයේ විශාල වර්ධනයක් දැකිය හැකියි. 

ඇමරිකාවේ සරසවි වල 2022/23 අධ්‍යයන වර්ෂය තුළ ඉගෙනුම ලැබූ විදේශ සිසුන් ප්‍රමාණය 1,057,188ක්. එම ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය 0.3%ක් පමණයි. 2012/13 හා 2022/23 අධ්‍යයන වර්ෂ අතර වසර දහයක කාලය සැලකුවහොත් ඇමරිකාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත්තේ 2%කින් පමණයි. එහෙත්, එම කාලය තුළ ඉන්දියානු සිසුන් ප්‍රමාණය 96,754 සිට 268,923 දක්වා 178%කින්ද, පකිස්තානු සිසුන් ප්‍රමාණය 4,772 සිට 10,164 දක්වා 113%කින්ද, නේපාල සිසුන් ප්‍රමාණය 8,920 සිට 15,090 දක්වා 69%කින්ද, බංග්ලා දේශ සිසුන් ප්‍රමාණය 3,828 සිට 13,563 දක්වා 254%කින්ද වර්ධනය වී තිබෙනවා.

කලාපයේ අනෙකුත් සියලුම රටවලින් ඇමරිකාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙන සිසුන් ප්‍රමාණය පසුගිය දශකයක කාලය තුළ විශාල ලෙස වර්ධනය වී තිබීම සැලකූ විට ශ්‍රී ලාංකික සිසුන් ප්‍රමාණයේ වර්ධනයක් නොවීමට හේතුව ඇමරිකාවේ සරසවි වල පාඨමාලා ගාස්තු අධික වීම කියා හිතන්න බැහැ. ඇමරිකාවේ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළු කර ගැනීමේදී සලකා බලන නිර්ණායක අනුව කලාපයේ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව පසු කර ඉදිරියට යමින් සිටිනවා වෙන්න පුළුවන්. 

රැකියා හා විවාහ මත පදනම්ව මෙන්ම හා සරණාගතයින් ලෙසද ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් ඇමරිකාවට පැමිණියත් ඇමරිකාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින් එසේ පැමිණෙන ප්‍රධානම ක්‍රම දෙක වන්නේ ග්‍රීන්කාඩ් ලොතරැයිය හරහා පැමිණීම සහ උසස් අධ්‍යාපනය සඳහා පැමිණීමයි. ග්‍රීන්කාඩ් ලොතරැයිය දිනා පැමිණෙන අය ඇමරිකාවට පා තබන්නේම ස්ථිර පුරවැසියන් ලෙස නිසා රැකියාවක් සොයා ගැනීමට නීතිමය බාධාවක් නැතත්, අවශ්‍ය කුසලතා නොමැතිව තරඟකාරී ශ්‍රම වෙළඳපොළ තුළ රැඳී සිටීම සැලකිය යුතු අභියෝගයක්. එහෙත්, ඇමරිකාවේ උසස් අධ්‍යාපනය අවසන් කරන සිසුවෙකුට රැකියා වෙළඳපොළට පිවිසී තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගැනීම ඒ තරම්ම අපහසු කාර්යයක් නෙමෙයි. ඇමරිකානු අධ්‍යාපන සුදුසුකම් ඇති අයට සාමාන්‍යයෙන් ඇමරිකාවේ රැකියා තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දක්වන ශිෂ්‍යයන්ට ඒ සඳහා අවශය උපදේශක සේවා හා පුස්තකාල පහසුකම් ඇතුළු නිවැරදි තොරතුරු කොළඹ 5, ගවර් වීදියේ (විශාඛා විද්‍යාලය ආසන්නයේ) පිහිටි "එඩියුකේෂන් යූඑස්ඒ" (EducationUSA) ආයතනය මගින් සපයනවා. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: