වෙබ් ලිපිනය:

Monday, March 18, 2024

ලංකාවේ ජනගහණය අඩු වෙයි!


රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛණ අනුව, 2023 ජූනි 30 දිනෙන් අවසන් වූ වසරක කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනගහණය 144,395කින් අඩු වී තිබෙනවා. මෙය මෑතකාලීන ඉතිහාසය තුළ (නිදහසින් පසුව) මෙවැන්නක් සිදු වූ ප්‍රථම අවස්ථාව විය යුතුයි. මේ ආකාරයෙන් රටේ ජනගහණය අඩු වීමට හේතුව අදාළ කාලය තුළ 222,715 දෙනෙකු රටෙන් පිටව යාමයි. 

රටක ජනගහණය වෙනස් වීමට හේතු වන කරුණු හතරක් තිබෙනවා. ඒ උපත් ප්‍රමාණය, මරණ ප්‍රමාණය, රටින් පිටවූ ප්‍රමාණය හා රටට පැමිණි ප්‍රමාණයයි. මේ අනුව, කිසියම් කාලයක් තුළ රටක ජනගහණය වෙනස් වීම පහත ආකාරයෙන් ගණනය කළ හැකියි.

ජනගහණයේ වෙනස් වීම = උපත් ප්‍රමාණය - මරණ ප්‍රමාණය - රටින් පිටවූ ප්‍රමාණය + රටට පැමිණි ප්‍රමාණය

ලංකාවේ නීතිය අනුව උපත් හා මරණ ලියාපදිංචි කළ යුතු අතර රටින් පිටවීමේදී හා රටට පැමිණීමේදී ආගමන විගමන නීති අනුව කටයුතු කළ යුතුයි. ඒ නිසා, ජනගහණයේ වෙනස් වීම සෑහෙන තරම් නිවැරදිව ඇස්තමේන්තු කළ හැකියි. 

සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට සිදුවන උපත් ප්‍රමාණය වසරකට සිදුවන මරණ ප්‍රමාණයට වඩා වැඩි නිසා රටට පැමිණෙන ප්‍රමාණයට වඩා විශාල පිරිසක් රටින් පිටව නොගියහොත් ජනගහණය වර්ධනය වෙනවා. ඇතැම් වසර වලදී රටට පැමිණෙන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටින් පිටව යන නමුත් එම සංඛ්‍යා අතර වෙනස උපත් හා මරණ ප්‍රමාණ අතර වෙනසට වඩා අඩුයි. එමෙන්ම, 2015-2018 අතර කාලයේදීත් ඉන් පසුව 2020/21 වසංගත කාලය තුළත් සිදු වූයේ රටෙන් පිටව යන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් රටට පැමිණීමයි. 

ආර්ථික අර්බුදය උග්‍ර වෙද්දී ශ්‍රී ලාංකිකයින් රටෙන් පිටව යාම විශාල ලෙස ඉහළ ගියා. ඊට අමතරව, උපත් ප්‍රමාණය අඩු වීම සහ මරණ ප්‍රමාණය ඉහළ යාමද ජනගහණ වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපා තිබෙනවා. 

බොහෝ දෙනෙකුගේ අදහස් අපේ මතයට වඩා වෙනස් විය හැකි වුවත්, අපගේ අදහස වනුයේ වත්මන් සන්දර්භය තුළ ශ්‍රී ලාංකිකයින් වැඩි වැඩියෙන් විදේශගත වීම රටට නරක දෙයක් නොවන බවයි. අප එසේ සිතන්නේ ඔවුන් රටට විදේශ විණිමය එවනු ඇතැයි යන අදහසින් නෙමෙයි. ශ්‍රමික ප්‍රේෂණ වල සාධනීය පැත්තක් වගේම නිශේධනීය පැත්තකුත් තිබෙනවා.

ලංකාව ප්‍රාග්ධනය හිඟ රටක් බව බොහෝ දෙනෙකු පිළිගන්නා කරුණක්. රටක ප්‍රාග්ධන අවශ්‍යතාව හෝ ප්‍රාග්ධන හිඟය ගැන කතා කළ හැක්කේ ඒ රටේ මානව සම්පත් ප්‍රමාණයට සාපේක්ෂවයි. ලංකාව සතු මානව ප්‍රාග්ධනය කාර්යක්ෂම ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා දැනට තිබෙනවාට වඩා වැඩි භෞතික ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා. ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් නොලැබෙන්නේ මේ හේතුව නිසා. භෞතික ප්‍රාග්ධනයට වඩා වැඩියෙන් මානව ප්‍රාග්ධනය වර්ධනය වෙද්දී තරඟය ඉහළ යාම නිසා මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පහළ යනවා. ලංකාවේදී මානව ප්‍රාග්ධනය වෙනුවෙන් සාපේක්ෂව අඩු ප්‍රතිලාභ ලැබෙන්නේ ඒ නිසා. 

ලංකාවේ ප්‍රාග්ධන හිඟය වෙනත් ආකාරයකින් විග්‍රහ කරමින්, රටේ දැනට තිබෙන භෞතික ප්‍රාග්ධනයට සාපේක්ෂව මානව ප්‍රාග්ධන අතිරික්තයක් ඇති බව කියන්නත් පුළුවන්. ඒ නිසා, එම මානව ප්‍රාග්ධන සංචිතය අඩු වීම රටේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවනවා. ඒ නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව හා මැදිකාලීනව, ශ්‍රී ලාංකිකයින් විශාල ලෙස රටින් පිටවීම රටට හානියක් නෙමෙයි. ඒ වගේම, ඒ හරහා ගොඩ නැගෙන සම්බන්ධතා ලංකාවට දිගුකාලීන වාසියක්.

සාමාන්‍යයෙන් ලංකාවේ ජනගහණය සෑම වසරකම මෙන් වර්ධනය වන නිසා රටේ ඒක පුද්ගල ආදායම වර්ධනය වන්නේ ආර්ථික වර්ධන වේගයට වඩා අඩු වේගයකින්. එහෙත්, ජනගහණය අඩු වෙද්දී රටේ ආර්ථික වර්ධන වේගයට වඩා වැඩි වේගයකින් ඒක පුද්ගල ආදායම ඉහළ යනවා. ඒ අතරම, ශ්‍රමය සඳහා වන තරඟය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස රටේ ආදායමෙන් ශ්‍රමයේ පංගුව ඉහළ යාමක්ද අපේක්ෂා කළ හැකියි.

වත්මන් ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රමිකයින් විදේශ ගත වීම් ප්‍රවර්ධනය කරමින් සිටින බව පෙනෙනවා. මෙම ප්‍රතිපත්තිය ඇතැම් අයගේ විවේචන වලට බඳුන්ව ඇති බවද දැකිය හැකියි. කෙසේ වුවත්, ජාජබ වැනි පක්ෂ විසින්ද මේ අයුරින් වැඩි වැඩියෙන් ශ්‍රමිකයින් රට පැටවීමේ වැදගත්කම ආර්ථික අර්බුදයට පෙර සිටම හඳුනාගෙන ඇති බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙස බැලූ විට පැහැදිලි වෙනවා. ධීවර කාර්මිකයින්ගේ සිට ඉදිකිරීම් කර්මාන්තයේ ශ්‍රමිකයින් දක්වා පිරිස් රජය මැදිහත් වී රට පැටවීම ජාජබ ප්‍රකාශිත ප්‍රතිපත්තියේ කොටසක්. එම පක්ෂයේ ප්‍රතිපත්ති වල වෙනස්කම් කෙරෙහි විශාල අවධානයක් යොමුව ඇතත්, දැනට ක්‍රියාත්මක ප්‍රතිපත්ති සහ ජාජබ ප්‍රතිපත්ති සමපාත වන මෙවැනි තැන්ද ගණනාවක් හඳුනා ගත හැකියි.

6 comments:

  1. ඉකොනෝ,
    ශ්‍රී ලාංකිකයන් කොපමණ දෙනෙක් ලංකාවෙන් පිට ඉන්නවාද කියල පෙන්වන එක සාධකයක් මේ. මේ තියෙන්නේ අද උදේ මගේ බ්ලොගයෙ දත්තවලින් උපුටාගත් ටිකක්. බොහොමයක් පාඨකයන් එන්නේ ශ්‍රී ලංකාවෙන්ම නෙවෙයි.

    United States
    440
    Sri Lanka
    192
    Canada
    43
    Spain
    41
    United Kingdom
    40
    Australia
    39
    Saudi Arabia
    32
    Singapore
    17
    Switzerland
    16
    Other
    270

    ReplyDelete
    Replies
    1. අයර්ලන්තයෙන් කීයක් තියෙනවද නිදි?

      Delete
    2. අද දත්ත අනුව නම් අයර්ලන්තයෙන් 5 යි මයියා මහත්තයෝ.
      නෝර්වෙවලින් 2 යි. United States වලින් 705.

      Delete
  2. 2024 ජනවාරි මාසයෙ සංගණනයක් ගියා මම ලංකාවේ ඉන්න කොට..

    මේ සංඛ්‍යා ඉදිරිපත් කරලා තියෙන්නෙ ඊට කලින් සංගණනයකින් නේ? එහෙම ලග ලග ජනගහන සංගනන කරනවද?

    ReplyDelete
    Replies
    1. සංගණනයක් කරන්නේ වසර 10කට වරක්. එයත් බොහෝ විට කල් යනවා. කලින් අන්තිමට කළේ 2012දී. ඊට කලින් හරියටම එකක් කළේ 1981දී. ඔය අතරමැද හරියකට සංගණනයක් කෙරුනේ නැහැ සිවිල් යුද්ධය සහ දකුණේ කැරලි නිසා. 2021 සංගණනය කෝවිඩ් නිසා කල් ගියා. මේ අවුරුද්දේ කරන්නේ ඒක. සංගණන හැම වසරකම නොකළත් උපත්, මරණ, රටින් පිටවීම් හා පැමිණීම් වාර්තා කෙරෙන එක හැමදාම වෙනවා. ඒ නිසා, ජනගහණයේ වෙනස්වීම ඇස්තමේන්තු කළ හැකියි. "අතුරුදහන් වීම්" හා හොරෙන් රටෙන් පිටවීම් (බෝට්ටු වලින් වගේ) වාර්තා වෙන්නේ නැහැ. ඒ නිසා සංගණන වසරකදී ඇස්තමේන්තු වල යම් නිවැරදි වීමක් වෙනවා. මෙහි සංඛ්‍යාලේඛණ වල එවැනි නිවැරදි වීමක් ඇතුළත්ව නැහැ. සංගණන ප්‍රතිඵල පැමිණි විට එවැනි වැරැද්දක් ඇත්නම් දැනගන්න පුළුවන් (සාමාන්‍යයෙන් වැරැද්දක් තියෙනවා).

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: