මේ සමඟ පළ කරන රූප සටහන ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කර ප්‍රසිද්ධ කළ එකක්. ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන්නේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවයි. රූප සටහනෙහි පෙන්වා දී තිබෙන්නේ 2026 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා විවිධ අංශ වලින් ලැබුණු දායකත්වයයි.
කෘෂිකාර්මික = 7.3%
කර්මාන්ත = 27.3%
සේවා = 54.2%
සහනාධාර අඩු කළ බදු = 11.3%
ඇතැම් අය මේ රූප සටහන තේරුම් ගෙන තිබෙන ආකාරය අනුව, පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3%කටම දායක වී තිබෙන්නේ භාණ්ඩ හා සේවා මත අය කර තිබෙන ශුද්ධ බදු. එහෙමත් නැත්නම් භාණ්ඩ හා සේවා මත අය කළ බදු සහ රජයෙන් ලබා දුන් සහනාධාර අතර වෙනස. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා මත බදු අය කිරීම මගින් දළ දේශීය නිෂ්පාදිතය වැඩි කළ හැකිද?
වැඩියෙන් බදු අය කළ විට නිෂ්පාදනය අධෛර්යමත් වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ කියන එක සාමාන්‍ය බුද්ධියට වුනත් තේරෙන දෙයක්. ආර්ථික විද්‍යා න්‍යාය අනුව වුනත්, බදු නිසා ආර්ථික වර්ධනය සීමා වනු මිස ඉහළ යන්නේ නැහැ. එහෙමනම්, මේ රූප සටහනෙන් පෙන්වන අපභ්‍රංශය කුමක්ද?
දළ දේශීය නිෂ්පාදිතය යන්නෙන් සාමාන්‍යයෙන් අදහස් වෙන්නේ රට තුල සිදු වූ අගය එකතු වීම් වල එකතුව. ඒ කියන්නේ අවසන් භාණ්ඩ හා සේවා නිෂ්පාදිත වල වෙළඳපොළ වටිනාකම සහ නිෂ්පාදන යෙදවුම් පිරිවැය අතර වෙනස. උදාහරණයක් විදිහට සීනි කිලෝවක් සැලකුවොත්, පාරිභෝගිකයා විසින් ගෙවන මිල සහ නිෂ්පාදකයාගේ පිරිවැය අතර වෙනස. සීනි කිලෝවක් විකිණෙන්නේ රුපියල් 240කටනම් සහ නිෂ්පාදන පිරිවැය රුපියල් 180ක්නම්, මෙහි රුපියල් 60ක අගය එකතු වීමක් තිබෙනවා.
එහෙත් ඉහත තර්කය හරියන්නේ රජයේ මැදිහත් වීමක් නැත්නම් පමණයි. අපි හිතමු නිෂ්පාදන පිරිවැය රුපියල් 180ක් වීමට හේතුව රජය විසින් පොහොර ආනයනය කරද්දී විශාල බද්දක් අය කිරීම කියලා. බද්ද නැත්නම් නිෂ්පාදන පිරිවැය රුපියල් 160ක් පමණයි. ඒ අනුව, රුපියල් 80ක අගය එකතු වීමක් සිදු විය හැකිව තිබුණත් බද්ද නිසා එය රුපියල් 60කට සීමා වී තිබෙනවා. ඇත්තම අගය එකතු වීම විය යුත්තේ රුපියල් 80.
අනෙක් අතට නිෂ්පාදන පිරිවැය රුපියල් 180කට සීමා වී තිබෙන්නේ රජයෙන් ලබා දෙන සහනාධාර නිසා වෙන්න පුළුවන්. සහනාධාර නැත්නම්, පිරිවැය රුපියල් 200ක් කියා සිතමු. ඒ කියන්නේ ඇත්තම අගය එකතු වීම රුපියල් 40ක් පමණයි.
ඉහත උදාහරණ වලින් පෙන්වා දුන් පරිදි, රජය විසින් නිෂ්පාදන මත බදු අය කරද්දී සහ සහනාධාර ලබා දෙද්දී, ඒ ගැන නොසලකා ඇස්තමේන්තු කරන අගය එකතු වීම් වල විකෘතියක් සිදු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරද්දී සහනාධාර අඩු කළ බදු වල බලපෑම එකතු කිරීම මගින් කරන්නේ ඒ වැරැද්ද හදන එකයි.
ඉහත සංඛ්‍යාලේඛණ වලට ගියොත්, අවසන් අයිතමයෙන් අදහස් වන්නේ සහනාධාර අඩු කළ බදු දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3%කට හේතු වුනා කියන එක නෙමෙයි. එම බදු අය නොකළේනම් (සහ සහනාධාර ලබා නොදුන්නේනම්) කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල නිෂ්පාදිතය ඇස්තමේන්තු කරද්දී තවත් 11.3%ක කොටසක් එකතු විය හැකිව තිබුණා කියන එකයි. එසේත් නැත්නම් එම අංශ වල සැබෑ දායකත්වය පෙනෙන ප්‍රතිශත වලට වඩා වැඩි බවයි.
ඉහත කොටසද දළ දේශීය නිෂ්පාදිතයට එකතු කර තිබෙන්නේ කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වල නිෂ්පාදකයින් විසින්ම වුවත්, එම කොටස රජය විසින් බදු ලෙස එකතු කරගෙන ඇති බැවින් අදාළ නිෂ්පාදකයින්ගේ ආදායමක් බවට පත් වී නැහැ. නමුත් එම කොටසද ඔවුන් විසින් මහන්සියෙන් සිදු කර ඇති අගය එකතු කිරීම් වලම කොටසක්.
රට තුල සිදු වූ අගය එකතු වීම් වල එකතුව කියන්නේ දළ දේශීය නිෂ්පාදිතය අර්ථ දක්වන එක් ක්‍රමයක්. ඒ ක්‍රමය අනුව, සහනාධාර අඩු කළ බදු කොටසද කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා ලෙස වර්ග කළේනම්, අදාළ අංශයට අදාළ කොටස එකතු කර එක් එක් අංශයේ අගය එකතු වීම් නිවැරදිව ගණනය කළ හැකිව තිබුණා. නමුත් දළ දේශීය නිෂ්පාදිතය අර්ථ දක්වන තවත් ක්‍රමයක් වන්නේ එය රටේ සමස්ත ආදායම ලෙස සැලකීමයි. ඒ ක්‍රමය අනුව, මේ කොටස රජයේ ආදායමක් මිසක් නිෂ්පාදකයින්ගේ ආදායමක් නොවන නිසා, කෘෂිකාර්මික, කර්මාන්ත හා සේවා අංශ වලට එකතු කළ නොහැකියි. ඒ නිසා, මෙම කොටස වෙනම පෙන්නුවත්, මෙමගින් බදු රටේ නිෂ්පාදනය වැඩි කිරීමට දායක වන බවක් අදහස් වන්නේ නැහැ.
ස්තුතියි ඉකොනොමැට්ටා, නමුත් මෙතනදී අධික බදු නිසා වැසී යන ව්‍යාපාර, අධික බදු නීසා අධෛර්යයට පත්ව ව්‍යාපාර ආරම්භ නොකරන ව්‍යවසායකයන්, අධික බදු නිසාම රට හැර යන වෘත්තීයවේදීන් සහ ව්‍යාපාරික ප්‍රජාව නිසාම සිදුවන opportunity Cost එක, එනම් රටේ ආර්ථිකයට අහිමි වන පංගුව ගණනය කිරීමට ක්‍රමයක් නෑ, ඒ නිසාම මෙම අධික බදු නිසාම රටට වන පාඩුව මීට වඩා විශාල අගයක් ඇත්තටම සීනි සමාගම වගේ ආණ්ඩුවට කරන්න බැරි ව්‍යාපාර වල අයිතිය තබාගෙන හෝ ඒවායේ කළමණාකරණය කිරීම දක්ෂ පෞද්ගලික අංශවල අයට ලබාදී ඒවා පෞද්ගලීකරණය කිරීම, රජයේ අනවශ්‍ය වියදම් හැකිතාක්දුරට අවම කරගෙන ණය අවම කරගෙන බදු බර හැකිතාක්දුරට අඩු කරන්න පුළුවන් විදියට යාන්ත්‍රණයක් හදන්න ඕනේ, ඒ වගේම චීනයෙන් ඉගෙන ගෙන ලංකාවත් යුරෝපය සහ එක්සත් ජනපදය වෙනුවට ආසියානු කලාපීය ASEAN රටවල්, SAARC වගේම දකුණු කොරියාව මැදපෙරදිග කලාපය දකුණු අප්‍රිකාව නැගෙනහිර අප්‍රිකා රටවල් උතුරු සහ මධ්‍යම අප්‍රිකා වගේම ලතින් ඇමරිකාව ප්රමුඛ කලාප වලට ගැලපෙන අපනයන ආරම්භ කිරීමට ජාතික වැඩපිලිවෙලක් සකස් කරගෙන එක්සත් ජනපදය සහ යුරෝපය නැතිව BRICS ඇතුලු වෙනත් නව වෙළඳපොලවල් වලට අපනයන විවිධාංගීකරණය කරන්න ඉක්මනින්ම ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කාරණයක් නමුත් ආණ්ඩුවට ඒ ගැන කිසිම ආකාරයක අදහසක් වත් නෑ, මෝඩ ආතල් දිදී කාලය කනවා අන්තිමට ආර්ථිකයට කෙලවිලා යයි.
ReplyDelete