වෙබ් ලිපිනය:

Wednesday, February 24, 2016

එක්ටාද? ඒක්තාද?


ලොව පුරා වසන මිලියන දහසයකගේ මවු බස සිංහලයි. මේ මිලියන දහසයෙන් මිලියන දෙකක් පමණම මේ වන විට වෙසෙන්නේ ලංකාවෙන් පිටතය. මෙයට අමතරව මවුබස සිංහල නොවන තවත් මිලියන තුනක් පමණද සිංහල කතා කරති.

සිංහල සැලකෙන්නේ ඉන්දු ආර්ය භාෂාවක් ලෙසිනි. භාෂාවේ ඇති ඉන්දු ආර්ය මූලයන් හඳුනා ගැනීම අපහසු නොවුවද සිංහල භාෂාව අනෙතුත් උතුරු ඉන්දීය ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් දුරස්ථව හා දකුණු ඉන්දීය ද්‍රාවිඩියන් භාෂා සමඟ මුසු වෙමින් සහශ්‍ර දෙකහමාරක පමණ කාලයක් වෙනම පරිණාමය වීම නිසා අද වන විට සිංහල මවු බස වූ අයෙකුට උතුරු ඉන්දීය භාෂාවක් මුල සිටම අමුතුවෙන් අධ්‍යනය නොකර තේරුම් ගත නොහැකිය. එහෙත්, හින්දි, මරාති, බෙංගාලි වැනි උතුරු ඉන්දීය බසක් මවු බස වූ අයෙකුට අමුතු ඉගෙනීමක් නැතිව වෙනත් උතුරු ඉන්දීය බසක් යම් තරමකට තේරුම් ගැනීමට පුළුවන. මේ අයුරින්ම දෙමළ මවුබස වූ අයෙකුට මලයාලම් වැනි වෙනත් දකුණු ඉන්දීය බසක් තේරුම් ගැනීමද විශාල ලෙස අපහසු කාර්යයක් නොවේ.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් භාෂා 22ක් ඉන්දියාවේ ප්‍රධාන භාෂා ලෙස හඳුනාගෙන තිබේ. මේ අතරින් 15ක් ඉන්දු-ආර්ය භාෂාවන් වන අතර 5ක් ද්රාවිඩියන් භාෂාවන්ය. මේ බොහෝ භාෂාවන් සිය මුල් බස ලෙස වහරන ජනකොටස් ඉන්දියාවේ කිසියම් ප්‍රදේශයක කේන්ද්‍රගතව සිටිති. භූගෝලීය වශයෙන් ලංකාවට කිට්ටුවෙන්ම සිටින ඉන්දු-ආර්ය භාෂාවක් මුල් බස වූ ජනකොටස මරාතීන්ය. මුල්බස ලෙස කතාකරන ජනගහණය අනුව ඉන්දියාවේ සිවුවන විශාලතම භාෂාව සහ ලෝකයේ 19වන විශාලතම භාෂාව වන මරාති බස වහරන්නෝ මිලියන 72ක් ඉන්දියාවේ සිටිති. ඔවුන් බොහොමයක්ම වෙසෙන්නේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේය. තවත් මිලියනයක් පමණ ඉන්දියාවෙන් පිටත වෙසෙති.

හින්දි හා නේපාලි භාෂා මෙන්ම මරාති බසද ලියන්නේ සංස්කෘත ලිවීමේදී භාවිතා කරන දේවනාගරී හෝඩිය භාවිතා කිරීමෙනි. වෙනත් ඇතැම් උතුරු ඉන්දීය භාෂා ලියන අක්ෂර මාලාවන් දේවනාගරී අක්ෂර වලින් යම් තරමකට විකාශනය වූ ඒවාය. පහතින් ඇත්තේ මරාති වාක්‍යයකි.

तू एकटा आहेस का?

තූ එක්ටා ආහෙස් කා?

මෙහි අර්ථය "ඔබ තනියම ඇයි?" යන්නයි. මෙහි එක්ටා (एकटा) යන වචනයේ තේරුම තනිව, හුදෙකලාව, අතහැර දමනු ලැබ වැන්නකි.

ලංකාවේ සිට දකුණු ඉන්දියානු භාෂා කලාප හා මරාති භාෂා කලාප පසුකර උතුරට ගිය විට හින්දි භාෂා කලාපය හමුවේ. ඉන්දියාවේ රාජ්‍ය භාෂාව වන හින්දි බස මවුබස වූ මිලියන 422ක් (2001 සංගණන දත්ත අනුව හින්දි වලට බොහෝ ආසන්න වෙනත් භාෂා රැසක්ද ඇතුළත්ව) ඉන්දියාවේ වෙසෙති. හින්දි ලෝකයේ භාෂා අතරින් මවුබස ලෙස වහරන ජනගහණය අනුව සිවු වැනි තැන සිටී.

පහතින් ඇත්තේ හින්දි වාක්‍යයකි.

एकता में बल है

ඒක්තා මේන් බල් හේ

මෙහි අර්ථය "සමඟිය බලය වේ" යන්නයි. මෙහි ඒක්තා (एकता) යන වචනයේ අරුත සමඟිය, ඒකීයත්වය, එකතු වීම වැන්නකි.

යුරෝපීය බසක් මුල්බස වූ අයෙකුට ඉතාම සමාන ලෙස ඇසෙන එක්ටා හා ඒක්තා යන වචන වල ඇත්තේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ තේරුම් දෙකකි. එක්ටා යනු තනිව යන ගමනකි. ඒක්තා යනු එකතුව යන ගමනකි.

යම් කරුණක් හා අදාළව තනිව යනවාද, එක්ව යනවාද, එක්ව යනවානම් ඒ කා සමඟද ආදී කරුණු පුද්ගල තේරීම්ය.




(Image: https://en.wikipedia.org/wiki/Languages_of_India#/media/File:Indoarische_Sprachen_Gruppen.png)

42 comments:

  1. एकता में बल है යන්නෙහි දළ අරුත `එකාත්මිකතාවය තුලම බලයක් ඇත` යනුවෙන් පරිවර්ථනය කළ හැක. එහෙත් ඉන්දියාව අපට උපදෙස් දෙන්නේ වෙන් කර ගැනීමටයි.

    ReplyDelete
    Replies
    1. ඔව්, කනිෂ්ක. एकता කියන එක ඒකාත්මිකතාවය නැත්නම් බ්‍රහ්මන් කියන සංකල්පය විස්තර කිරීමටත් යොදන වචනයක්.

      Delete
  2. මේ ආර්ය්‍ය කියන සීන් එකේ තියෙන තවත් කතාවක් තමයි, ඉන්දු යුරෝපිය ආර්ය්‍ය භාෂා කුලකය" කියන සංකල්පය මේකට නම් මුල් වෙලා තියෙන්නේ ජර්මානු ජාතික උගතෙක් උන මැක්ස් මුලර් මහත්තයයි. මේතුමා සංස්කෘත ගැන හොද දැනීමක් හා අසාවක් තිබ්බ කෙනෙක්. ඉන්දියානු ශිෂ්ඨාචාරයට හා සාහිත්‍යට ඒ මහතා තුල තිබ්බ අශාව කොතරම් ද කියනවනම්, ඒ මහත්තයා අන්තිමට ඉන්දියානු භාශා හා යුරොපියානු භාශා ඔක්කොම එකම මූලයකින් හෙවහ් ආර්ය්‍ය භාශා කුලකයකටඅයිතියි කියලා මථවාදයක් ගේනාවා.

    මේකට ඉන්දියාවේ හිටපු සම්කාලීන රබීන්ද්‍රනාත් තාගෝර් පඩිතුමන් වැනි අයෙගෙත් සපොර්ට් එක හම්බ උන නිසා කථාව නැගලා ගියා. කොහොමින් කොහොම හරි මේ කතාවෙන් ප්‍රයෝජන ගත්තේ යටත් විජිත පාලකයන් උන ඉංග්‍රීසීන්. ඔවුන් මෙය දකුනු ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගම පැතිර වීමට යොදා ගත්තා. මොකද ඒ වන තුරුත් ද්‍රවිඩයන් ගේ ඉතිහාසය උනේ හින්දු අගම හා බැදුනු කතාවලුයි. ඉතින් හින්දු ආගම හා තිබිච්ච සම්භන්දය කඩලා දාන්න මේ කියන ආර්ය සංකල්පය ඉංග්‍රීසීන් යොදා ගත්තා...ඒ ඔබ ද්‍රවිඩයන්, හින්දු ආර්ය්‍යන් ගේන් වෙනස් කියන මථය ව්ය්‍යප්ත කිරීමයි..

    යටත්විජිත පාලනය කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයන්ට තිබ්බ හොදම අයුදය තමයි " බෙදා වෙන් කර පාලනය කිරීම". මේක ඔය කාල්තුවක්කු, බොම්බ ආදීය අයුදවලට වඩා හොද මේවලමක්. ඉංග්‍රීසීන් තමන් ගේ යටත් විජිත වල පාරම්පරික වැසියන් අතර බේදීම් ඇති කරන්න නොයෙක් මථවාද පාවිච්චි කලා. ඔය ආර්ය්‍ය සංකල්පයත් ඒ වගේ මිනිස්සු අතර බේදීමක් ඇති කරන්න පාවිච්චි කරපු, ඒ මිනිස්සු මත බලෙන් පටවපු සංකල්පයක් .මේ අනුව ආර්ය්‍යන් හා ද්‍රවිඩ යනු වෙනස් ජාතින් දෙකක් ලෙස අර්තකතනය කරනවා. මේකේ ශ්‍රී ලංකන් වර්ශන් එකතමයි ආර්ය්‍යන් ගේන් පැවත එන සිංහල හා වෙනත් ජාතියක් උන ද්‍රවිඩ යන බේදීම.

    ReplyDelete
    Replies
    1. කවුරු මොන විදිහට යොදාගත්තත්, මැක්ස් මුලර්ගේ ප්‍රවාදය ශාස්ත්‍රාලීය අරමුණු වෙනුවෙන් ඉදිරිපත් කළ එකකට වඩා වැඩි එකක් නෙමෙයි (ඔබ එසේ නොවන බවක් කියා නෑ). සිංහල සහ උතුරු ඉන්දීය භාෂා වල මූලික මට්ටමේ ඇති සම්බන්ධතා ඉතාම පැහැදිලියි. මිහිඳු හිමිට දෙවනපෑතිස් රජු සමඟ ඉතා පහසුවෙන් අදහස් හුවමාරු කරගත හැකි වුනේ භාෂා වල එවකට පැවති සමානත්වය නිසා. විජය ප්‍රවාදය (කියන කතන්දරය කෙසේ වුවත්) මම විශ්වාස කරන දෙයක්. සරලව කියනවානම් උතුරු (ඊසානදිග) ඉන්දියාවෙන් පැමිණි කණ්ඩායම් ගණනාවක් විසින් (මෙයින් එක් කණ්ඩායමක බලපෑම සමහර විට සාපේක්ෂව වැඩි ඇති) සාපේක්ෂව කෙටි කලක් තුල එවකට ලංකාවේ භාවිතා වූ සංස්කෘතිය මත විශේෂ බලපෑමක් කල බව. ගෞතම බුදුන්ගේ ලංකාගමන කතා වලින් කියවෙන්නෙත් ඒ කාලයේ සිදුවුණු මෙවැනි සංස්කෘතික බලපෑම් ගැනයි. මෙය මා දකින්නේ ඕස්ට්‍රේලියාවට හෝ ඇමරිකාවට යුරෝපීයයන් පැමිණීම වැනි දෙයක් ලෙස. මේ සමඟ මුල් භාෂාවේ වචන කිහිපයක් හැරුණු විට අළුත් භාෂාව මඟින් පැරණි බස් නැති වෙලා යන්න ඇති. බොහෝ විට මෙහි කලින් (බුද්ධ කාලයට පෙර) තියෙන්න ඇත්තේ දැනටත් අප්‍රිකානු රටවල තියෙනවා වගේ එකිනෙකට වෙනස් ප්‍රාදේශීය/ගෝත්‍රික භාෂා ගණනාවක් වෙන්නත් පුළුවන්. නමුත්, ආර්ය-ද්රාවිඩියන් ලෙස වෙනස් වන්නේ භාෂාව. භාෂාවේත් වචන. සිංහල ඇතුළු දකුණු ඉන්දීය භාෂා සියල්ලේම පාහේ ආර්ය, ද්‍රවිඩියන් භේදයක් නැතුව, අක්ෂර මාලා වල මූලික පදනම බ්‍රාහ්මී අකුරු.. සිංහල අකුරු විකාශනය වන්නේ බ්‍රාහ්මී අකුරු විකාශනය වීමේදී දකුණු ඉන්දියානු අක්ෂර මාලා විකාශනය වන අත්තකින්. දකුණු හෝ උතුරු ඉන්දියානු අක්ෂරමාලා සහ රෝමන් අක්ෂර අතර සම්බන්ධයක් නැහැ. ඒ වගේම භාෂාවන් වල මුල් වෙනස් වුනත් එය ජනවාර්ගික වෙනස්කම් සමඟ හරියටම සමපාත වෙන්නෙත් නැහැ. භාෂාවේ වචන වල ආර්ය/ද්‍රවිඩියන් මුල් අනුව වෙනස්කම් තිබුණත් උතුරු ඉන්දියාවේම වුවත් සංස්කෘතික බලපෑමට සාපේක්ෂව ජීව විද්‍යාත්මක ලෙස ආර්ය බලපෑම අඩුයි. මා හිතන පරිදි ඉන්දියාවේ වගේම ලංකාවෙත් ආර්ය බලපෑම උතුරු ඇමරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ සිදු වූ ආකාරයට වඩා සමාන දකුණු ඇමරිකාවේ සිදු වූ දෙයටයි. කලින් සිටි ජනකොටස් සමූලඝාතනය නොවී සංස්කෘතිය පමණක් සමූලඝාතනය වීමක්. දැන් දකුණු ඇමරිකාවේ ස්පාඤඤ (හෝ පෘතුගීසි) භාෂාව ඉතිරි වී මුල් භාෂා නැතිවී ගොස් ඇති පරිදි.

      මේ බෙදා පාලනය කිරීමේ කතාවට ආවොත්, මෙය මකියාවෙල්ලි පවා කියා ඇති, කොයි පාලකයාත් අඩු වැඩි ලෙස ප්‍රයෝජනයට ගන්නා සාමාන්‍ය කරුණක්නේ. කුඩා ජනගහණ සිටි එංගලන්තය, ඕලන්දය, පෘතුගාලය, ස්පාඤඤය වැනි රටවල් වලට තමන්ට වඩා බොහෝ විශාල රටවල් පාලනය කිරීමට හැකි වුනේ ඒ රටවල් සංස්කෘතියෙන් තනි ඒකක නොවූ නිසා. ඇත්තටම ශාස්ත්‍රාලීය පදනමක් ඇති ආර්ය ප්‍රවාදය ඇතැම් අය දේශපාලනික හේතු මත ඉදිරියට ගත්තා. හැම මනුස්සයාම සමානයි කියන එක අදටත් හැම සමාජයකම එක ලෙස පිළිගන්නා දෙයක් නෙමෙයි. සමහර අයට ගැහැණු කියන්නේ පිරිමින්ගෙන් බාග. බොහෝ රටවල ළමයි කියන්නේ බාග වලටත් අඩු කෑලි. යුරෝපීයයන් ඔවුන්ගේ ආක්‍රමණ සාධාරණීකරණය කළේ මිනිසුන්ව ශිෂ්ඨ සම්පූර්ණ මිනිස්සු සහ අශිෂ්ඨ බාග මිනිස්සු ලෙස බෙදමින් (අදහස පමණක් ගන්න). ඉන්දියාව සහ ලංකාව නිදහස ඉල්ලන විට අපිත් උඹල වගේම ශිෂ්ඨ සම්පූර්ණ මිනිස්සු කියන එක පෙන්වන්න මේ ආර්ය ප්‍රවාදය ඇතැම් අය උඩට ගත්තා. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වගේ ගිහින් 'ශිෂ්ඨ' මිනිස්සු ලෙස ඉදිරියට ගිය ඉන්දියානුවන්ට (සහ ලාංකිකයින්ට) මේ ශිෂ්ඨකම උඹලගේ වගේම අපේ ජාන වලත් තියෙනවා, අපිත් 'සම්පූර්ණ' මිනිස්සු කියල කියන්න මෙය උදවු වෙන්න ඇති. අපි නිදහස ගැනීමේදී යොදාගත් තර්කයත් අපි උඹල වගේම ශිෂ්ඨ සම්පූර්ණ මිනිස්සු කියන එක.

      Delete
  3. සිංහල අකුරු නම් තෙලිඟු අකුරු වගේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සිංහලට වඩාම කිට්ටු මලයාලම් අකුරු කියලා.

      මේ අකුරු බලන්න.

      ගංගා මාර්ග, මහා මායා, ශාක්‍ය වංශික ගෞතම

      ഗംഗാ മാർഗ, മഹാ മായാ, ശാക്യ വംശിക ഗൌതമ

      Delete
  4. බ්‍රිතාන්‍යයන් බෙදා වෙන් කර පාලනය කිරීම ජනප්‍රිය සටන් පාඨයක්. ඒ වුනාට ඉතිහාසය පුරාම දකින්නට ඇත්තේ ඔවුන් විසින් කල එක් කිරීම්. වැඩිදුර නොගොසින් ලංකාව හා ඉන්දියාවම උදාහරණ ලෙස ගතහැකියි. මේ දෙකම බ්‍රිතාන්‍ය පාලන කාලයට පෙර තිබුනේ කොටස් වලට කැඩුණු රාජ්‍යයන් වසයෙන්. ඔවුනට ඒවා වෙනම පාලනය කිරීමට අවශ්‍ය වූවා නම් අමුතුවෙන් වෙන් කිරීමට උවමනා වෙන්නේ නැහැ. කොටින්ම, බ්‍රිතානින් මුලින්ම අල්ලාගෙන සිටි ලංකාවේ මුහුදුබඩ පළාත් වුනත්, මුල් අවුරුදු කිහිපය (ක්‍රි.ව. 1802 දක්වා)පාලනය වූවේ මදුරාසිය යටතේයි. 1802 ට පසුව පාලනය කිරීමේ පහසුව සඳහා ලංකාව වෙන් කළා. එහෙම නොවුනානම්, ලංකාව ඉන්දියාවේ කොටසක් වීමටත් ඉඩ තිබුනා. ඉතින් මා කියන්නට උත්සාහ කලේ, බෙදා වෙන්කර පාලනය කිරීම (divide and rule), ජනප්‍රිය එහෙත් සම්පූර්ණයෙන්ම වැරදි වූ සටන් පාඨයක් පමණක්ම මිස ඓතිහාසික සත්‍යයක් නොවන බවයි.

    ReplyDelete
    Replies
    1. බෙදා වෙන් කර පාලනය කිරීම යනු භූමීය බෙදීම නොවේ......ජනකොට්ඨාශ අතර තියෙන වෙනස් කම් තිව්‍ර කර ඔවුන් අතර ඇතිවන අසමගිය හා තරගකාරිත්වය ප්‍රයෝජනයට ගැනීමය

      Delete
    2. මයියාත් කියන පරිදි ඇත්තටම වුනේ කොහොමටත් තිබුණු බෙදීම්, වෙනස්කම් නිසා ඔවුන්ට පාලනය පහසුවීම. ඉංග්‍රීසින් විසින් කළමනාකරන උපාය මාර්ගයක් ලෙස මේ වෙනස්කම් ප්‍රයෝජනයට ගත්තා. ඇනෝ පෙන්වන වැරැද්ද ඇතැම් තැන්වල මෙය ඉංග්‍රීසින් විසින් කෘතිමව සිදුකළ බෙදීමක් කියන තර්කයට වැඩි බරක් වැටීම.

      Delete
  5. //"සිංහල සැලකෙන්නේ ඉන්දු ආර්ය භාෂාවක් ලෙසිනි."// ඔන්න ඔන්න ඉතිං මේ මැට්ටා අපේ ප්‍රෞඩ ශ්‍රී විභූතිමත් අසම සම ජාතිකත්වය කනවනේ , එහෙම නෑ සිංහල කියන්නේ පියෝ සිංහල . ලෝකේ පටන්ගද්දී සිංහල ජාතියත් වෙනම පටන් ගත්ත . ගම කන්න එපා හරිද සිංහලේ කකියනවා අපේ

    //"ලොව පුරා වසන මිලියන දහසයකගේ මවු බස සිංහලයි. මේ මිලියන දහසයෙන් මිලියන දෙකක් පමණම මේ වන විට වෙසෙන්නේ ලංකාවෙන් පිටතය. මෙයට අමතරව මවුබස සිංහල නොවන තවත් මිලියන තුනක් පමණද සිංහල කතා කරති. "// මහුලක් කියනවා අපිට ෆේස්බුක් එකේ කියල දීලා තියෙන්නේ සිංහල තියෙන්න මෙහෙ විතරයි ඒ නිසා රැකගන්න් ඕන කියලා .

    :P

    ReplyDelete
    Replies
    1. හි හි හී නියම comment එක. ඇත්තටම වෙන භාෂා සිය ගණනක් කතා කරන රටක ඉන්නකොට තේරෙනවා අපේ අය කොයි තරම් ලින් මැඩියෝ ද කියල. තමන්ගේ භාෂාවට ආදරේ කරන එක හොඳයි නමුත් ඒක කරන විදිහ ඉතාම මෝඩයි.

      Delete
    2. "මවුබස සිංහල නොවන තවත් මිලියන තුනක් පමණද සිංහල කතා කරති" කියන්නේ ලංකාවේ ඉන්නා දෙමල හෝ ඉංගිරිසි හෝ මැලේ හෝ මව්බස වූ නමුත් ප්‍රායෝගික තත්වයන් තුළ සිංහල කතා කරන අය නේද?

      Delete
    3. ඔව්, මෙහෙම එකකුත් කියනවා හැබැයි //"මේ මිලියන දහසයෙන් මිලියන දෙකක් පමණම මේ වන විට වෙසෙන්නේ ලංකාවෙන් පිටතය"//

      Delete
    4. //ලංකාවේ ඉන්නා දෙමල හෝ ඉංගිරිසි හෝ මැලේ හෝ මව්බස වූ නමුත් ප්‍රායෝගික තත්වයන් තුළ සිංහල කතා කරන අය නේද?// ලංකාවේ සිටින සිංහල මවු බස නොවූ ගොඩක් අයට යම් තරමක හෝ සිංහල කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ලංකාවෙන් පිට ජීවත්වන සිංහල මවුබස වූ දෙමවුපියන්ගේ හෝ දෙමවුපියෙකුගේ දරුවන් බොහොමයකගේ ප්‍රධාන බස සිංහල නොවූවත් හොඳින් හෝ යම් තරමකට සිංහල කතා කළ හැකියි. ලංකාවෙන් පිටත සිටින ශ්‍රී ලාංකික දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් බහුතරයකටත් සිංහල කතා කළ හැකියි. ඒ අයගෙන් ඇතැමෙකුගේ දරුවනුත් සිංහල කතා කරනවා. මා ඇසුරු කරන ශ්‍රී ලාංකික මුස්ලිම් පවුලක ලංකාවෙන් පිටත උපන් දරුවන්ට ඒ අය කුඩා කළ සිටම දෙමළ හා සිංහල දෙකම කියා දෙනවා. එක් උදාහරණයක් පමණක් වුවත්, මා මෙය ගත්තේ එවැනි අයත් ඉන්න බව පෙන්වන්නයි. හැබැයි ලංකාවට ගියහම සමහර සිංහල අය තමන්ගේ දරුවන්ට සිංහල බැරි බව කියන්නේ හරිම ආඩම්බරෙන්. ඒ වුනාට ඒ අයගේ දරුවන්ගේ ඉංග්‍රීසි (ඇක්සන්ට් එක නිසා) බටහිර රටක ඉංග්‍රීසි පමණක් පුරුදු ළමයෙක් තේරුම් ගන්නේ වෙනස්ම භාෂාවක් ලෙස.

      Delete
  6. ඉකොනොමැට්ටා මෙය හින්දියෙන් විස්තර කළාට මෙය කියවන විට මට හැඟී ගියේ සිංහලෙන් ද එය එලෙසම බවයි. අර ආර්ය භාෂා කේස් එක නිසා විය යුතුයි.

    අපි කාර් එකට, බස් එකට යනාදී තැන්වල දී මෙන්ම තනිව ගත්තද එක කියන්නේ තනි (සිංගල්) අරුතයි.

    නමුත් එකට යමු, එකට ජීවත් වෙමු, එකට මැරෙමු, යන තැන්වල එකට කියන්නේ එකතුවෙලා යන අරුතටයි.

    ReplyDelete
  7. දොස්තරලටයි අයි ටී කාරයන්ටයි කෙලවියන් කියලා අපි ඇථි හැම ඉඩකම පුවක් වගා කරලා කරුන්කා හදලා ඉන්දියාවට අපනයනය කරමු!

    ඉක්ටාව රැකගමු.... මඩපුවකෙන් ගොඩ එමු!

    ReplyDelete
    Replies
    1. මෙන්න මානසික ලෙඩා මෙතනටත් ඇවිත්. මොනා කරන්නද අනුකම්පා කරමු අපි මේ මානසික ලෙඩාට.

      Delete
    2. කරමු..කරමු!

      Delete
    3. අනේ සරසා, උඹ මහින්දගේ කොන්ත්‍රාත්තුවක් අරන් බ්ලොග් වල රගන්න හැදුවාට උඹ පොරක් වෙන්නෑ බං. උඹට රටම හිනාවෙයි මේවා දැක්කොත්. උඹලා නැට්ට පුකේ ගහගත්තු බල්ලෝ බං. බ්ලොග් වල තියෙන හරය සහ සංවාද අස්සේ රිංගන්නැතුව පල. සාටකේ අස්සට වෙලා හිටු පරයා.

      Delete
    4. සියලු ක්ෂේස්ත්‍ර අසාර්ථක නම් ඒ අසාර්ථකත්වය වලකා ගැනීමේ නොහැකියාව බැනුම් ඇසීමේ/තමුන් විසීම ලජ්ජාවට පත්වීමේ පිළිවෙල මෙසේ විය යුතුයි.

      1) ලොව ඉහලම අධ්‍යාපන සුදුයුකම් ලබා ඇති වැඩිම කාලයක් උගත් මහාචාර්ය වරු ඇසුරේ සිටි විශ්ව විද්‍යාල මහාචාර්ය/කථිකාචාර්ය වරු.
      2) අවුරුදු 6-7 පමණ උගත් මහාචාර්ය වරු සහ විශේෂඥ වෛද්‍ය වරු යටතේ ඇසුර ලැබූ වෛද්‍ය වරු.
      3) අඩුම වශයෙන් අවුරුදු 5-6 ක් වත් උගත් මහාචාර්ය වරු ඇසුර ලැබූ පශ්චාත් උපාධි/ඩිප්ලෝමා දාරීන්.
      4) අඩුම වශයෙන් අවුරුදු 4ක් වත් උගත් මහාචාර්ය වරු/ ඉංජිනේරු වරුන්ගේ යටතේ ඇසුර ලැබූ ඉංජිනේරුවරු.
      5) අවුරුදු 4ක් වත් උගත් මහාචාර්ය වරු ඇසුර ලැබු විශේෂ උපාධි දාරීන්
      6) අවුරුදු 3ක් වත් උගත් මහාචාර්ය වරු ඇසුර ලැබු සාමාන්‍ය උපාධි දාරීන්
      7) අවුරුදු 3ක් වත් අත්දැකීම් බහුල උගත් කථිකාචාර්ය වරු/වෘත්තිකයන් ඇසුර ඩිප්ලෝමා දාරීන්.
      8) අඩුතරමේ අවුරුදු 13ක් උසස් පෙළ දකවා පාසල් අධ්‍යාපනය ලැබූ කළමනාකරණ සහකාරවරුන්
      .
      .
      .

      9) තරමක් අධ්‍යාපනය ලැබූ රජයේ කම්කරුවන්.
      10) අධ්‍යාපනය හරිට නොලැබූ පුද්ගලික බස් කොන්දොස්තර වරුන්

      උගත් කමක් සහ ලැජ්ජාවක් හෝ අඩුම ගගනේ දෙකෙන් එකක හෝ තියෙනවා නම් දොස්තරලට කොන්දොස්තරලා වගේ හැසිරෙන්න බැරි ඒ නිසා. ඒවුනාට ලජ්ජා නැති දොස්තරලා එහෙම කරන්න පුළුවන්, මොකද ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකු නිසා.

      සා රස දොස් ද කොන්දොස් ද ?

      Delete

    5. // බ්ලොග් වල තියෙන හරය සහ සංවාද අස්සේ රිංගන්නැතුව පල. සාටකේ අස්සට වෙලා හිටු පරයා //

      හා මචන්!

      :D

      //සා රස දොස් ද කොන්දොස් ද ?//

      සා ර ස ට අන්දොස් මෙයාලා

      Delete
    6. සා රසගේ මඩපුවක් විරෝධී ජනතා ව්‍යාපාරය.

      Delete
    7. //සා රසගේ මඩපුවක් විරෝධී ජනතා ව්‍යාපාරය. //

      මැටි තුමා ගෙන් ස ර ස තුමා මීට වැඩි යමක් බලාපොරොත්තු වුනා...

      අද ගහකින් වැටෙන පුවක් ගෙඩියක් ගමේම කඩේ රුපියලකට එකඉ පනහකට විතර මිල දී ගන්නවා... නගරේ නම් පුවක් ගෙඩියක් සාමාන්යයෙන් රුපියල් දහයකට වැඩියි...

      සිරි ලන්කාවෙන් ඉන්දියාවට කරනා අපනයන වෙලඳාමේ 6% කරුන්කා වලින් උපයනවා...

      අවාසනාවකට වගේ එම කරුන්කා ඉන්දුනීසියාව වගේ රටවලින් මෙහෙ ගෙනත් ප්‍රතිඅපනයන ලෙසයි ඉන්දියාවට යවන්නේ...

      මැටිතුමෝ... පොඩ්ඩක් කල්පනා කරන්න... අපි පුවක් වෙලඳාමට ටිකක් කාලය ශ්‍රමය කැප කලොත් එම කරුන්කා අපේම රටේ නිශ්පාදනය කොට ඉන්දියාවට යවන්න පුලුවනි නේද? කොපමන විදේශ විනිමයක් එයින් ලැබේවිද???

      Delete
    8. පුවක් අපනයන/ප්‍රති අපනයන වෙළඳාම ගැන මම හදාරලා නැහැ. මේ දත්ත තියෙන තැන් ගැන මම දන්නෙත් නැහැ. එහෙත්, ඔබ කියන කරුණු මත කතා කරනවානම් (විශ්ලේෂණය එතරම් නිවැරදි නැතත් කරුණු වල බැලූ බැල්මට වැරැද්දක් පේන්නේ නැහැ.) මෙයින් පෙන්වන්නේ ලංකාවේ ආර්ථිකය හා සම්බන්ධ ඉතාම හොඳ තත්ත්වයක්.

      මේ අනුව, අපේ ඉන්දියානු අපනයන ආදායමෙන් 6%ක් ලැබෙන්නේ ඉන්දුනීසියාවෙන් පුවක් ආනයනය කර සකසා ඉන්දියාවට ප්‍රති-අපනයනය කිරීමෙන්. පුවක් හිටවීමට මහන්සි නොවී අපට පහසුවෙන් ලාභ ලැබිය හැකි මෙවැනි වෙනත් ක්ෂේත්‍රත් හඳුනාගෙන මෙවැනි දේ තව තවත් කිරීමයි සිදු විය යුත්තේ. ඉස්සර කතාවට කිවුවේ (කතාවට විතරක් නෙමෙයි ඇත්තටම සිදු වුනෙත්) අපි රබර් විකුණද්දී වෙනත් රටවල් ඒවායෙන් ටයර් හදා අපටම විකිණීමනේ. දැන් මෙතන අප කරන්නෙත් ඒ දෙයමයි.

      ඉන්දියාවේ කරුන්කා වලට විශාල වෙළඳපොළක් ඇති බව අපි හඳුනාගන්නවා. ඉන්දුනීසියාවේ අඩු මිලට පුවක් තියෙනවා. අපි ඉන්දුනීසියාවෙන් පුවක් ගෙනත් යම් සැකසුමක් කර ඉන්දියාවට විකුණා ඉතාම පහසුවෙන් ලාභයක් ලබනවා. මෙය තමයි වයව්සායකත්වය.

      දැන් අපි ලාභය වැඩි කර ගැනීමට ලංකාවේ පුවක් වැවිය යුතුද? මේක තමයි ගොඩක් අය වරද්ද ගන්න තැන. මොන හේතුවක් නිසා හෝ ලංකාවේ පුවක් නිෂ්පාදනය කළ හැකි මිලට වඩා අඩුවෙන් ඉන්දුනීසියාවේ එය කළ හැකියි. එක හේතුවක් ලංකාවේ මේ වන විට වගා කළ හැකි ඉඩම් බොහෝ දුරට වගා කර තිබීම. වගා කළ හැකි ඉඩම් වල බොහෝ විට පුවක් වලට වඩා වාසිදායක වගාවක් සිදු කෙරී ඇති. ඒ වගේම ලංකාවේ ශ්‍රමයත් සාපේක්ෂව මිල වැඩියි. අපි පුවක් වවන්න ගියොත් වෙන්නේ දැනට ලැබෙන ලාභය නැති වීම හෝ අඩුවීම. ඉන්දුනීසියාවෙන් ගෙනත් ඉන්දියාවට යැවීම ඊට වඩා ගොඩක් ලාභදායී වැඩක්. ඒ නිසා දැනට වැඩි ආදායමක් ගන්න රැකියාවක් කරන කෙනෙක් තමන්ගේ කාලය හා ශ්‍රමය පුවක් හිටවීම වැනි අඩු ඵලදායී වැඩකට යෙදවිය යුතු නැහැ.

      ඉන්දියාවට අපනයනය කිරීමේදී විශාල බද්දක් ගෙවන්න වුනානම් මෙවැනි ව්‍යාපාරික අවස්ථාවක් ඇති නොවිය හැකිව තිබුණා. එවැනි බදු දැනටත් තිබෙනවා. ඉන්දියාව තමන්ට වාසියක් නැතුව පාඩුවක් පමණක් කරගෙන කැමැත්තෙන් එවැනි බදු ඉවත් කරන්නේ නැහැ. ගිවිසුම් වලදී වෙන්නේ දෙපැත්තෙන්ම කතාකර ගෙන අන්යෝන්ය ලෙස බදු ඉවත් කර ගැනීමයි. එවිට කලින් නොතිබුණු ව්‍යාපාරික අවස්ථා දෙපැත්තටම ලැබෙනවා.

      Delete
  8. sinhala bhashawata kalin thibuna elu bashawa ganath monawa hari liyanna.

    ReplyDelete
    Replies
    1. එළු බස කියා කියන්නේ පැරණි සිංහල භාෂාවටම නේද, ජගත්? මේ ගැන මම ගොඩක් දේවල් දන්නේ නෑ. මම හිතන්නේ හොඳින් දන්න අය බ්ලොග් ලියන්නන් අතරම වුණත් ඇති.

      Delete
    2. එළු බසින් 'පුළුවන්' කියන්න දන්නවද ?
      :D

      Delete
  9. sinhala bhashawata kalin thibuna elu bashawa ganath monawa hari liyanna.

    ReplyDelete
  10. ඉකොනෝ..............

    ඔය විදිහට ම අපිත් පොඩි කාලේ කියපු හිංදි වචන ටිකක් මතක් වුණා..... අර කායෝ මීලා හිංගියේ ජලක් ජලක් එහෙම...... හැක්

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම සිංහල කතා කරන අයට හින්දි තේරෙන්නේ නෑ කියන එක බොරුනේ.

      Delete
  11. එක්ව යනවද වෙන් වෙලා යනවද කියල තීරණය කරන්නත් යන්නේ කොහෙද කියල දැනගෙන ඉන්න ඕනේ නේද...
    මට නම් ඔය මග තාම හරියට පැහැදිළි නැහැ...

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++
      තැන කෙසේ වෙතත් පැත්ත වත්.. දැනට තියෙන්නෙ ඇස් බඳින්නෙ කළු රෙද්දකින්.ඒ ගැන අපි ඇප වෙනවා.කරකවන්නෙ රවුම් පහයි.එහෙම නැත්තන් මම ඉල්ලා අස් වෙනවා වගේ තත්වයක් නෙ.ඒත් කරකලා අතෑරපුවම..??

      Delete
    2. මට මේ ගිවිසුමේ තියෙන දේවල් ගැන හරියටම දැනුමක් හෝ ඒ ගැන ප්‍රමාණවත් ලෙස අධ්‍යයනය කිරීමට කාලය යෙදෙවීමේ හැකියාවක් නැහැ. බ්ලොග් එක කියවන අය වෙනුවෙන් මට කළ හැකි දෙයක් ලෙස ජාත්‍යන්තර වෙළඳාම හා අදාළ සරල මූලධර්ම ගැන ලිපි කිහිපයක් ලියන්නම්.

      Delete
  12. බලාගෙන යනකොට යන තැනක තනියම යන එක හොඳයි වගේ...:P

    ReplyDelete
    Replies
    1. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩින්ගෙදීනෙ මේ කෝලම් නටන්නේ...

      Delete
  13. //යම් කරුණක් හා අදාළව තනිව යනවාද, එක්ව යනවාද, එක්ව යනවානම් ඒ කා සමඟද ආදී කරුණු පුද්ගල තේරීම්ය//

    ඒ තේරීම් කිරීම සඳහා බලය ඇති පුද්ගලයන් තෝරා පාර්ලිමේන්තුවට යවා ඇත්තේ අපි අපිමය.

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් එහෙම යවල කැමති දෙයක් කරගන්න දීලා මිනිස්සු බලා හිටියා. විශේෂයෙන්ම ආර්ථිකය හා අදාල කරුණු සම්බන්ධව. දැන් තරමකට හෝ සංවාදයක් සිදුවීම හොඳ ප්‍රවණතාවක්. රජයත් පහු වී හෝ මේ සංවාදයට ප්‍රතිචාර දැක්වීම හොඳ දෙයක්. මෙය දිගටම පවත්වාගත යුතුයි. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදය. නැතුව තමන්ගේ නියෝජිතයින්ට කැමති දෙයක් කරන්න දී බලා සිටීම නෙමෙයි. (විචාරකටත් මේ කාර්යයයේදී යම් පුරෝගාමී මෙහෙවරක් කර ඇති සහ කරන අයෙක් ලෙස සතුටු විය හැකියි.)

      Delete
  14. එක බසක් දන්න අයට වෙනත් බාසා යම් තරමකින් වටහා ගැනීමට හැකියි. අපූරු කතාවක් ඒක. ට්‍රාන්සිල් බ්ලොග් එකේ තිබුන යුක්‍රයීන බස දන්න අයට පෝලන්ත තේරෙනව කියල.

    ReplyDelete
    Replies
    1. සිංහල භාෂාවට නැති වුනාට වෙනත් බොහෝ භාෂා වලට මෙවැනි ළඟ නෑයෝ ඉන්නවා.

      Delete
  15. යකෝ බලාගෙන ගියාම අපේ රටට විරුද්ධව හැම තැනින්ම කුමන්ත්‍රණ විතරමනේ එන්නේ. බටහිර කුමන්ත්‍රණ, පෙරදිග කුමන්ත්‍රණ, ඉන්දියානූ කුමන්ත්‍රණ..

    මේ සියල්ලන්ගෙන්ම බේරිලා ජිවත් වෙන ක්‍රමයක් අපිට නැද්ද අනේ..

    එක්ටා ගැන අපූරු විග්‍රහයක්. මේ නිසාමද කොහෙදෝ දැන් සම හරක් ලියන්නේ ඉක්ටා කියලා..

    ReplyDelete
    Replies
    1. //බලාගෙන ගියාම අපේ රටට විරුද්ධව හැම තැනින්ම කුමන්ත්‍රණ// අපි ලෝකය දිහා බලන්නේ අපි අපි ගැන හිතන විදිහට නිසාද මන්දා...

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: